බයිසිකල් හෙවත් පාපැදි අද කාලීන මාතෘකාවකි. ලොකු ලොකු සැප පහසු වාහනවල ගිය අයවලුන් අද බයිසිකලයට හා පොදු ප්‍රවාහනයට වැටී ඇත. එක් අතකින් මෙය එක්තරා සමාජවාදයකි. එහෙත් තවමත් සියයට සියයකින් නොවේය. තවමත් යමක් කමක් හෝ බලපුලුවන්කාරකම් ඇති අයවලූන් කෙසේ හෝ තෙල් ලබාගෙන සිය කටයුතු සුපුරුදු පරිධි පවත්වාගැනීමට සමත්ව ඇත. ඔවුන් සියල්ල හෝ බහුතරයක් ප්‍රමාදවී හෝ පාපැදියට ගොඩවනු ඇත.
බයිසිකලය පැදීම කලාවකි. ජීවිතය මෙනි. සමබරතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍යය. නැතහොත් වැටීම නියතය, ජීවිත්වීමත් සමබරතාවය පවත්වා ගැනීමක් නොවන්නේ ද? එය කම්බියක් මත බයිසිකල් පැදීමකි.
80 දශකයේ ළමා විය ගෙවූ අපට බයිසිකල මහා සතුටකි. එකල සයිකලයක් මිලදී ගැනීම එක්තරා මට්ටමකට සමාජ තත්ත්වය හඟවනා සංකේතයකි. මෝටර් රථ හෝ මෝටර් බයිසිකල් අද තරම් සුලබ නොවූ එකල, සෑම නිවසකම පාහේ බයිසිකලයක් වීය. බයිසිකලයක් මිලදී ගැනීම සෑම කුටුම්බයකම සිහිනයකි. එකල බයිසිකල් ගැනීමට සිහින දකිනා මිනිසුන්ගේ කතා ඇසුරෙන් ඒකාංඟික ටෙලි නාට්‍ය පවා නිපැයුනා මතකය.
එකල බයිසිකල් ලොවේ රජ්ජුරුවෝ "රැලේ" සයිකල්ය. "රැලේ" බයිසිකලයක් ඇති එකා පොරකි. ඩබල් පෝර්ක් "හම්බර්" රැලේට දෙවෙනි වූයේ නොවේ. චීන "ෆීනික්ස්", "ෆ්ලයින් පිජන්", ඉන්දියන් "හීරෝ", ජපන් "ලුමාලා" එකල ජනප්‍රිය බයිසිකල් සන්නාමයන්ය. පොඩි අයට "චොපර්" යනුවෙන හැදින්වූ බයිසිකල් වර්ගයක් ද තිබුණී. ගියර මාරු කළ හැකි, L අකුර හැඩති ආසනයකින් සමන්විත මෙය එකල යමක් කමක් ඇති අයවලුන්ගේ දරුවන් භාවිතා කළ බයිසිකලයෙකි. මේවාට අමතරව හැන්ඩල් එකට යටට කරකැවූ, ගියර් වීල් සහිත රේසින් සයිකල් ද වීය. ඒවා බහුලව භාවිතා කෙරුණෙ සයිකල් රේස් පදින්නන්ය.
බයිසිකල් පැදීමේ මූලික පාඩම බයිසිකලය තල්ලු කිරීමය. එය කාලයක් සිදු කෙරෙණු ඇත. දෙවෙනි අදියර වම් පැඩලයට ගසමින් ඉදිරියට යාමයි. තෙවැන්න පොල්ල යටින් පැදීමයි. සමහරුන් මෙය හැන්ඩ්ල් එක් දෑතින් අල්ලාගෙන කරණ අතර තවත් සමහරුන් සීට් එක දකුණූ කිහිල්ලෙන් හිර කරගෙන වම් අතින් හැන්ඩ්ල එක මෙහෙයවමින් ඉදිරියට යනු ලබයි. මම දෙවෙනි වර්ගයේ එකෙකි. එම ක්‍රමය පොල්ල උඩින් පැදීමේ ක්‍රියාදාමය පමා කරවනු ඇත. ඒ වවුලකු මෙන් බයිසිකලයේ එල්ලී දකුණූ කකුල පොල්ලට උඩින් දමා ගැනිමට යාමේදි ඇතිවන සමබරතාවය ගිලිහීමෙන් ඇති කරවනු ලබන අධෛර්‍යය නිසාවෙනි. නමුත් ඒ කිසිවකට අප නතර කරවනු හැකි වූයේ නොවේ. නොදන්නා කිසියම් හේතුවක් නිසාවෙන් මුලින්ම බයිසිකලයේ පොල්ල උඩින පැදපු දිනය ලෙස 1987 දෙසැම්බර් 27 වනදා ලෙස මාගේ මතකයේ සඳහන්ව ඇත. එය නිශ්චිත මතකයක් නොවේ. නමුත් වසර නිවැරැදි විය යුතුය.
එයින් පසු එළබෙන්නෙ වැඩ දැමීමේ කාලයයි. මුලින්ම එක අතක් අත් හැර පැදීම, අත් දෙකම අතහැර පැදීම, ඩබල් දමා පැදීම, ට්‍රිබල් දමා පැදීම, හැන්ඩල් එක උඩ සිට පිටි පස්සට පැදීම, ලගේජ එක මත වාඩි වී පැදීම, ඉදිරිපස රෝදය ඔසවාගෙන පැදීම ආදී මෙකී නොකී සියලු වැඩ කෑලි අත් හදා බැලෙනු ඇත. ඒවා නිසා සිදුවූ අනතුරුද බොහොමය. තුවාල සිදුවීම් එමටය. නමුත් අපට නිදහස උපරිමයෙන් තිබිණී. මව හෝ පියා අපගේ පිටි පස්සෙන් එන පුරුද්දක් එකල නොතිබුනි. අපි වැරදි කරමින් උගෙන ගතිමු. නමුත් අපට ලැබුණු නිදහස අපගේ දරුවනට දීමට අප ඉගෙන නොගත්තේ මංද? කොතනක හෝ වරදක් වී ඇත.
එකල සෑම නිවසක්ම වින්කලයෙකි. පොඩි පොඩි අලුත් වැඩියාවක් කරගැනීමට අවැසි උපකරණ බොහෝ නිවෙස්වල තිබුණි. ටියුබ් එක ටයරයෙන් පන්නා, ජල පරික්ෂාවක් සිදු කොට සිදුර හඳුනාගෙන, පීරෙන් පිරිමැද සොලිසන් ගා, තවත් ටියුබ් කැබැල්ලක අලවා පැච් එකක් දමා ගැනීමේ හැකියාව එකල පොඩි උන් වූ අපටත් තිබිණි.
බයිසිකලය පැදීම ආස්වාදයක් වුවද එහි පොල්ලෙහි වාඩි වී යාම කරදරයෙකි. දකුණු කකුල හොලවා ගැනීමට බැරි තරම් හිරි වැටීම ලොකුම කරදරයෙකි. නමුත් නැවත රුධිරය ගමන් කිරීම ඇරඹී කකුල ක්‍රමයෙන් පණ ලැබීම ආශ්වාදය දනවන්නෙකි. ඒ මගින් නැතිවූ සෙරෙප්පු ගණන සැළකිය යුතු ගණනෙකි.
ලංකාව කාලයේ ආපස්සට ගමන් කිරීමේ දෝෂය නිසා මේ සහෘද්දයාට නැවතත් අපමණ අගයක් ලැබෙමින් පවති. මෝටර් රථ, මෝටර් බයිසිකල් තෙලේ බලය පෙන්වනා විට, අසරණ වූ මිනිසුන්ගේ පිහිටට නැවතත් බයිසිකල් පැමිණ ඇත. වින්කල් කරුවන්ද ගනන් උස්සමින් සිටී. ඒවටත් දැන් පෝලිම් ය.
බයිසිකලය අපූරු වාහනයෙකි. කම්මැලි නොවන මිනිසුන් එයට සැමදා පෙම් බඳිනු ඇත. එය තවත් කාලයක් මිනිසා සමඟ රැදෙනූ නිසැකය.
ලියුවේ;
සෙන්නා / 04.07.2022.
සෙන්නටත් ඉතිං රට වැටෙනකල්ම ඉන්න උනා පෝස්ට් එකක් දාන්න නෙහ්. :D
ReplyDeleteඔය අතරෙ බල්ලො අල්ලන්නැතුව පොල්ලෙ වැදිල වල්ල තලාගත්ත සීනුත් ඇති මං හිතන්නෙ.
Praසන්ன
මේ ගූ ගලය සමහර වෙලාවට මට ලොග් වෙන්න දෙල්ලෑ හාමුදුරුවනේ.
ඉහත ප්‍රතිචාරය මා විසින් පලකරන ලදී. ඉඳගෙන.
Deleteඒකනෙ නයෝ, බලහන් ඒකෙත් හැටි...හෙහ් හෙහ්..පහුගිය ටිකේ විවිධ තැන්වල සැරිසැරුවා හැබැයි මේ බ්ලොග්වල තියන ගතිය කොහෙවත් නෑ බන්..
Deleteකිව්වත් වගේ බල්ලො අල්ලන් නැති කේස් එක අමතක වුනානෙ බන්. සමහර වෙලාවට බල්ලො අල්ලන් නැති වුනාම ගලකින් දේයි ගාලා පත බෑවම හරි යනවා..
බොහොම ස්තූතියි කාලෙකට පස්සෙ දාපු පෝස්ට් එකටත් දුවගෙන ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට...
අඩ්ඩ්ඩෙහ්! සෙන්නා ලියලා... අද බොනව සතුටට තේ.
ReplyDeleteබොමු බොමු... :)
Deleteමගෙත් තිබ්බ ස්පෝට් බයික් එකක් පයනියර්. තාත්තගෙ තිබුණ රැලේ බයික් එකක්. රැලේ බයිසිකලේ නං මා ගාව තාම තියෙනව. එලියට අරං හෝදල හුළං ගහල පදින්න බලාපොරොත්තුව. ප්‍රශ්නෙ තියෙන්නෙ සීතල සුළඟ සහ වැස්ස.
ReplyDeleteපයනියර් බ්‍රෑන්ඩ් එක මට එච්ච්ර මතක නෑ..
Deleteසුළඟ වැස්ස ගනන් ගන්න එපා. අද උදේ මම බයිසිකලේට නගිනකොට ගස් අඹරවන සුළඟ...
@ඩ්‍රැකී,
Deleteතවුසෙ හුළං වෙලාවෙ බයිසිකලේට නැගල අත්තටු එහෙම දික්කරනව නෙමෙයි. බලංගොඩිං තමයි වවුල් සැකිල්ල අහුලන්න වෙන්නෙ.
මේ දවස්වල මෙහෙ හුළඟ හරියටම අර னයා කියල තියෙනව වගේ ම තමා. කොටිම්ම මෙහෙට වැටෙන අවුවත් හුළඟට ගිහිං පේරාදෙණිය පැත්තට වැටෙන්නෙ.
Delete//ටියුබ් එක ටයරයෙන් පන්නා, ජල පරික්ෂාවක් සිදු කොට සිදුර හඳුනාගෙන, පීරෙන් පිරිමැද සොලිසන් ගා// - මේවා තමා නියම ඉගෙනීම කියන්නෙ.. නැතුව පන්තිකාමරේ උගන්වන මොට විද්‍යා දැනුම නෙමේ
ReplyDeleteඇත්ත. ඕවා ඉස්කෝලෙ උගන්වන්නෙ නෑ...
DeleteWelcome back SS.
ReplyDeleteමිස්ටර් තට්ස් එනකම් ඉන්නෙ.
https://thattayagekolama.blogspot.com/2022/06/237.html
Thank you PJ.
Deleteතට්ස් බයිසිකල පිළිබඳ සැළකියයුතු දැනුමක් බෙදලා තියනවානෙ.
මා පිරිමියෙකු වන නිසා මාගේ පුරුෂාර්ථයන්ට හානිවන බැවින් බයිසිකල් පැදීමට යොමු නොවුනි.
ReplyDeleteනමුත් ට්‍රයිසිකලයක් පැදිමට කැමැත්තෙමි.
ඉදිරියෙන් රෝද දෙකක් ඇති ට්‍රයිසිකලයක් වඩා උචිත යයි සිතමි. මන්ද පසුපස රෝද දෙකක් ඇතිවිට එයට අන්තරයක්ද සවිකිරීමට සිදුවන නිසා වඩා සංකීර්ණ වීම සහ ඉදිරිපස රෝද දෙකක් ඇතිවිට හරවන දිසාව ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි නිසාය.
ලංකාවේදි හොඳ තත්වයේ වැඩිහිටි ට්‍රයිසිකලයක් අඩු මිලට ගතහැකි තැනක් දක්වනු මැනවි.
Jagath Pathirana බයිසිකල් පැදීම පුරුෂාර්ථයන්ට හානිකර වන අන්දම වඩා පැහැදිලිකලොත් ඔබට තුති.
Deleteට්‍රයිසිකලෙන් ඔය කියන හානිය වෙන්නැද්ද? දැන්නම් ට්‍රයිසිකල් තිය බයිසිකල් රෝදයක්වත් හොයා ගන්න නෑ.
Deleteට්‍රයිසිකල් වලට සැප පහසු ආසනයක් සවි කරන්න පුළුවන්.
Deleteනිදිමත වෙලාවට හිමින් පදවන්න පුළුවන්.
හති වැටුනුවිට වාඩිවෙලා විවේකගන්න පුළුවන්.
මෝටරයක් සවි කරන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=c3a0sSPOhb0
ස්තූතියි ජගත්.
Deleteමම මුලින්ම බයිසිකල් පදින්න පුරුදු වෙච්චි කාලේ ඉතින් කකුල් දිග නැති නිසා අහල පහල ළමයෙක්ව හැප්පුවා. පුරුදු වුනේ ඉතින් ලොකු රැලේ බයික් එකක. ඊට පස්සේ මම බයිසිකලේ එනකොට උන් දුවනව. දැන්නම් උසට සරි ලන සේ තියනව එකක්. - කොළඹ ගමයා. (අකවුන්ට් එක වැඩ කරන්නේ නැහැ)
ReplyDeleteහෙහ්..ඕක පුරුදුවෙන්න ගිහින් මොන මොන කටු කාලා ඇත්ද?
Deleteඅකවුන්ට්වල අවුලක් තියනවා වගේ. ඔය නයාත් කියලා තියෙන්නෙ ලොග් වෙන්න බැරි වුනා කියලා.
බයිසිකලයක් පදින්න බැරිව හිටි මං අඬු කඩා නොගෙන දවස් කීපයක් විතරක් පුරුදු වෙලා, ආලුවෙක්ගේ ලණුවක් කාලා- ඒ පිම්මෙම හංවැල්ලට යනකල් සයිකල් පැද්දා. එන ගියාමයි වැඩේ! පස්සේ දිය පට්ට... ඒ අත්දැකීම ගැන නං කාලෙකට කලින් post එහෙකත් ලීවා.
ReplyDeletehttps://nidigepanchathanthare.blogspot.com/2019/12/blog-post.html
කම්මැලි නැතිව තව ලියමු!
පස්ස රිදෙන එක තමා සයිකලේ ලොකුම අවුල නේද? ලියන්න කියලා හිතන් ඉන්නෙ නිදි බලමු එන විධිහට..
Deleteබයිසිකල් එකක් ගෙදර නොතිබුන නිසා සති අන්තයේ එන මහප්පගේ බයිසිකල් එකෙන් තමයි පුරුදු වුනේ. රැලේ, හම්බර්, රජ් සහ බී.එස්.ඒ වර්ග හතර තමයි බ්‍රෑන්ඩඩ් ඒවට තිබුනෙ. ලංකාවේ හදපු බයිසිකල් වර්ගය තමයි රෝඩ් මාස්ටර්. පානදුරේ පැත්තෙ කර්මාන්ත ශාලා ව තිබුනෙ. චීන , ඉන්දියන් බයිසිකල් එන්න ගත්තෙ හැත්තැ හතෙන් පස්සේ.
ReplyDeleteඅඩුම අඩ සිය වසක මතකයක්. රජ්, බී.එස්.ඒ. බයිසිකල් ගැන මම ඇහුවෙත් දැනුයි. බී.එස්.ඒ. මෝටර් සයිකල්නම් තිබුනා කියලා අහලා තිබුනා. රෝඩ් මාස්ටර් ගැනත් අහලා නෑ. ලුමාලා නම් දැන් හදන්නෙ ලංකාවෙ. ලංකාවට අයිති සමාගමක්.
Deleteස්තූතියි කුමාර.
++++++++
ReplyDeleteතව තිබුනා හර්කියුලිස්, ඉම්පෝට් කරන්න පටන් ගත්ත ගමන් චීනෙන් ආවා ෆ්ලයින් පිජන් සහ ෆීනික්ස් රුපියල් 375 කටද කොහෙද ලංගමෙන් දුන්නා RMI
ReplyDeleteබයිසිකල් මතක කියන්නේ හරි ආතල් දෙයක්... මාත් බයිසිකලයක් ගන්න හිතාගෙන ඉන්නේ මේ දවස්වල ..
ReplyDelete