Saturday, November 19, 2022

පොලිස් කතාවක්...

 19.11.2022


"පොලිස්" නම දුටු සැනින් ස්ත්‍රීයකගේ බෙල්ලෙන් මිරිකා ඉදිරියට තල්ලු කරණ චිත්ත රූපයක් පාඨකයාට මැවෙන්නෙ නම්, ඒ රචකයාගේ ලිවීමේ දෝෂයක් නිසා නොව පොලීසියේම දෝෂයක් නිසා බව පාඨකයා දැනගත යුතුය. එය හැරුණු කල, තව තවත්, වෙන වෙනත් චිත්‍ර රූප මැවේ නම් ඒවා සම්බන්ධයෙන් ද රචකයාගේ වගකීමක් නොමැති බවත් පාඨකයා දැනගත යුතුම වන්නේ ය.

පස් වෙනිදා කාර්‍යාලයෙන් සංවිධානය කළ දානමය කටයුත්තක් වෙනුවෙන් කටුනේරියට යාමට සිදු විය. සිදු කළ යුතුම වූ වෙනත් වැඩ කටයුතු නිසා ඒ සඳහා කාර්‍යාලයෙන් පිටවීම ප්‍රමාද වූ අතර අනෙක් පිරිස කලින්ම පිටත්ව ගියහ. වේලාවට අදාල ස්ථනයට ළඟා විය යුතු බැවින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ යාම වඩා සුදුසුයැයි තීරණය කළෙන් එයට අවතීර්ණ විය. වේලාවට යා යුතු බැවින්, සමහර ස්තානයන්හීදී වේග සිමා උල්ලංඝණය වූ බව සඳහන් කළ යුතුය.

කටුනායක හුවමාරුවෙන් එළියට ආ විගසම අසල සිටි පොලිස් නිළධාරියෙකු අත දිගු කොට නතර කළේය. වම්පස වීදුරුව පහත් විය.

"සර්, කරුණාකරලා අර පැත්තෙ අයිනට කරලා නවත්තන්න. පරිස්සමින් බලලා ගන්න, අර ලයින් වලින් වාහන එනවා." වාහනය වම් පස තීරුවෙන් නතර විය. පොලිස් නිළධාරියා රියදුරු කවුලුව අසලට පැමිණියේය.

"සර්, ඇයි දන්නව ද නැවැත්තුවේ?" වරද අනුමාන කළ හැකි විය. 

"ඔබ තුමා ජා-ඇල පහු කරලා එනකොට එක තැනකදි 110ත් පහු කරළා ඇවිත් තියනවා. කරුණාකරලා මට ලයිසන් එක දෙන්න." බොහොම පැහැදිලි විධානයකි. රියදුරු බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි නිළධාරියා අතට පත්වීය.

"සර්, කරුණාකරලා පොඩ්ඩක් අතෙන්ට එනවද? දඩයක් ලියලා දෙන්නම්."

මෙයිට පෙර මාර්ග නීති උල්ලංඝණය කොට පොලිසියට අසුවූ අවස්තා නිතැතින්ම සිහියට නැගිනි.

"ඔයා කරපු වරද බොහොම බරපතල වරදක්. මේක කෙලින්ම උසාවි දාන්න ඕනා වරදක්. මම වෙන වරදක් දාල ලියලා දෙන්නම්. මොකද කියන්නෙ? මොකක්ද කරන්න ඕනා?"  ආදී වශයෙන් ගලා යන, වෘත්තීය ගරුත්වය කෙළසන, සුපුරුදු  වදන් මාලාව ඔබ බොහෝ දෙනෙකු අසා ඇතුවාට සැකයක් නොමැත. මෙහි ඒ කිසිත් නොමැත.

අදාල ස්තානයට යන විටත් තාවකාලික බලපත්‍රය ලිවීම අරඹා තිබුනි. ලියන අතර තුරම දඩය ගෙවිය හැකි ආකාරය, බලපත්‍රය නැවත ලබා ගත හැකි ආකාරය ඉතාම පැහැදිලිව විස්තර කර දුන්නේය. ඉතා සුහදය, නිහතමානීය. විශේෂම දේ නම්, දඩ කොළයක් ඒ අවස්තාවේදීම ලියා අතට ලබා දීමයි. පෙර අවස්තාවන් වලදී දඩ කොළය ලබාගැනීමට නැවතත් වෙනමම පොලීසියට ගොස් රස්තියාදු වීමට සිදු විය.

"සර්, මේක ගෙවලා ඇවිත් ලයිසන් එක අරගන්න. 100 පන්නලා යන්න එපා සර්, ඒක සර්ට වගේම අනික් අයටත් හොඳ නෑ." එය මින් පෙර නොවිඳි අමුතුම අත්දැකීමකි.

ඊළඟ ජවනිකාව දිග හැරෙන්නෙ දඩය ගෙවා බලපත්‍රය ගැනීමට ගිය අවස්තාවේදීය. පොලිස් ගොඩනැගිල්ල අසලට යන විට එහි ඇතුලේ කටයුතු කරමින් සිටි නිල ඇඳුමෙන් සැරසුනු නිලධාරීන් දක්නට ලැබුනි. නමුත් සියලු කවුලු වසා තිබුනු බැවින් විමසිල්ලෙන් බලමින් දොර සොයා යන්නට විය.

"ගූඩ් මෝර්නින් සර්, මෙහෙන් එන්න සර්." එක වරම පිටුපසින් විවර වූ කවුලුවකින් ඇසුනි. නිල ඇඳුමින් සැරසුනු, සුහද සිනාවකින සැරසුනු ප්‍රියමනාප නිලධාරියෙකු ජනෙල් කවුලුව අසල සිටගෙන සිටියේය.

"ලයිසන් එක ගන්න පුළුවන් මෙහෙන්ද?"

"ආ ඔව් සර්, කොළ දෙක දෙන්න සර්, මම මෙතනින් දෙන්නම්." තාවකාලික බලපත්‍රය සහ දඩය ගෙවූ රිසිට් පත ඔහු අතට පත් කෙරිණි. එය අතට ගත් නිළධාරියා තත්පර තිහක් ගතවීමට මත්තෙන්,

"මේක නේද සර්?"යි කියමින් රියදුරු බලපත්‍රය දැක්වීය.

"හරි, මේක තමා. බොහොම ස්තූතියි."

"හරි සර්, පරිස්සමින් යන්න සර්. බුදු සරණයි !" මේ වචන සියල්ලම ඔහුගේ මුවින් පිට වූ ඒවා බවට සහතික කරමි.

මෙය මින් පෙර අත්විඳි පොලිස් අත්දැකීම් වලට වඩා වෙන්ස්ම වූ අත්දැකීමකි. ඒ ශ්‍රී ලංකා පොලීසියදැයි සිතෙන තරමට ඔවුන් වෙනස්ය. මෙය, පොලීසිය පුරා බෝ විය යුතු වෙනසකි. එම නිලධාරීන්ට කරණ ගෞරවයක් වශයෙන් මේ සටහන ලියා තබමි. ඔබ, නම් ගම් නොදත් ඒ ගෞරවණීය නිළධාරින්ගෙන් කෙනෙකු හෝ දන්නෙ නම් මේ සටහන ඔවුන් වෙත යවන්න. ඔවුන් අගය කිරීමට ලක්විය යුතු සේවයක් කරමින් සිටිති.

මේ පිළිබඳ සැකයක් ඇත්නම් කළ යුත්තෙ කටුනායක අධිවේගී මාර්ගයට අවතීර්ණව රථයේ ත්වරකය මදක් වැඩියෙන් පෑගීම පමණකි. යම් හෙයකින් පිටවීමේදී යමෙකු ඔබගේ ගෙලෙන් අල්ලා තල්ලු කිසීමක් සිදු කළහොත් එය රචකයාගේ වරදක් නොව ඔබගේම වරදක් නිසා බව සැළකිය යුතුය.

නිමි.

ලියුවේ;

~~සෙන්නා / 19.11.2022

42 comments:

  1. '"හරි සර්, පරිස්සමින් යන්න සර්. බුදු සරණයි !'

    පොලිස් නිලධාරීන් බුදු සරණයි කීම වෘත්තීය ගරුත්වයට ගැලපෙන්නේ නැහැ. ඔබට එයට විරුද්ධ වන්න තිබ්බේ. පරිස්සමින් යන්න කීම ගැටළුවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල ඒ කතාවෙ තේරුම. එතෝට... සුදුමහත්තුරුන්ගෙ රටවල මේ කාලේ පොලීසිය නත්තලට සුබ නත්තලක් කියන ඒවා එහෙමත් පොලෝසි ගවුරවේ සිඳින වැඩක්.

      Delete
    2. @ඩ්‍රැකී, යකෝ දර්ම චක්කරේ ගහගෙන ඉන්නෙ. එතකොට බුදු සරණයි කියන්න සිවුරල්ස්ලට වැඩිය ලැයිසන් තියෙනව.

      Delete
    3. බුදු සරණයි කීම වෘත්තීය ගරුත්වයට නොගැලපෙන්නෙ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නෙ.

      Delete
    4. https://www.cbc.ca/radio/checkup/should-public-servants-be-banned-from-wearing-religious-clothing-and-jewelry-1.2784002

      Delete
    5. සොර්‍රි ඇනොනිමස් කියල වැටුනෙ. ෆෝන් එකෙන් කමෙන්ට් කරනකොට එක එක වෙලාවට වෙනස් වෙනව සෙටින්ස්

      Delete
    6. Pra, අවුලක් නෑ...කොහොම හරි දැම්මනෙ කමෙන්ට් එකක්.. ඒකට ස්තූතියි.

      ඩ්‍රැකී, මේ ඩ්‍රැකී හැර වෙනත් ඩ්‍රැකීලත් සිටීද ?

      Delete
  2. පොලිසියේ සිටින්නේද මේ සමාජයේම ජීවත්වන මිනිසුන්ය. එය ද සමාජයේම කැඩපතකි. නරක තටු ලැබ පියාඹන අතර හොඳ යටගොස් පතුළේ තැන්පත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා. හොඳ දැක්කම උලුප්පලා අරගෙන පෙන්වන්න ඕනා. හොඳ බෝ කරන්න ඕනා. මේක දැකලා තව එක නිළධාරියෙක් හරි මමත් මෙහෙම වෙනවා කියලා හිතුවනම් අරමුණ සාර්ථකයි.

      Delete
  3. හොඳ දෙයක් අගය කිරීම... ඉතාම වටිනා කාර්යයක්. අද හැමෝම තමුන්ගෙන් දෙයක් දෙනවා වෙනුවට ලබෙනවාටනෙ කැමති. අගයකිරීමකට උනත්... ඒ සංතෑසියම තමා

    ReplyDelete
  4. ඔහොම හොඳ කට්ටිය ඉන්න තැං තියෙනව. මටත් ඔය වගේ හොඳ කට්ටියක් හම්බ උනා එකපාරක් වැල්ලවායෙ යද්දි කහ ඉරක් උඩ ඕවටෙක් කරල.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා...සමහරු ඉන්නවා මේ වගේ.. තාම බහුතරය ඉන්නෙ නරක කට්ටිය...

      Delete
  5. highway police, tourist police කෝමත් අනිත් ඒවට සාපේක්ෂද හොඳයි නෙහ්

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ තමා ඔවුන් එහෙම හොඳ වෙන්නෙ කොහොමද කියන එක. ඒ විධිහටම අනිත් අයවත් හදන්න බැරිද? ස්තූතියි නවීන් අදහසට.

      Delete
    2. එයාලට වෙනම traning දෙනව නෙහ්. හැමෝටම එහෙම traning දෙන්නත් අමාරුයි. අනිත් එක උඩ Litseeker කීවා වගේ එයාලත් සමජයේ කොටසක්. සමාජය මොන වගේද කියලත් ඒකෙන් තේරුම් ගන්න පුලුවන් නෙහ්. සමාජෙට ගැලපෙන විදියටයි පොලීසිය

      Delete
  6. ඔව් සෙන්නා විනය ගරුක සුහද නිලධාරීන් ඉන්නවා. බිග් පික්චර් එකේ සෙවනින් ඒවාත් අඳුරු වෙනවා අවාසනාවට. මේ ලියමන අගයමි, අපි පුලුවන් හැම වෙලාවෙම අකුරින් යහපත් දේ දකිමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩීන් අයියා. යහපත් අය අතලොස්සක් ඉන්නවා.. ස්තූතියි කමෙන්ට් එකට .

      Delete
  7. නිලදාරියට වැඩේ කරන්න දීලා සෙන්නා පාඩුවේ හිටපු එකත් වැදගත් නේ... මම සල්ලි දෙන්නම් රාලහාමි දඩේ ගෙවන්නකෝ කියල කියන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. එක දවසක් මාව පොලොන්නරුවෙදි ඇල්ලුවනෙ. ඉරිදා දවසක්. පොලීසියට ගිහින් දඩ කොලෙත් අරගෙන ඇහුවා දැන් මේක කොහොමද ගෙවන්නෙ කියලා. මම එදාම එන්නත් ඕනා. පොලිස් තුමා කිව්වා ඔබ තුමාට කරණ උදව්වක් හැටියට මම හෙට දඩේ ගෙවන්නම්. සල්ලි දීලා යන්න කියලා. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. දඩ කොලේ කඩලා හින්දා නිලධාරියට හොරයක් කරන්න බැරි වෙයි කියලා හිතලා මම සල්ලි දීලා ආවා...

      Delete
  8. දැන් හයිවේ එකේ දකුණෙන් ගියයි කියල අල්ලන්නෙ නැද්ද? එහෙම නැත්නම් මිනිස්සු එහෙම නොකරන්න ඉගනගෙනද?

    ReplyDelete
    Replies
    1. සොර්‍රි ඒ කමෙන්ට් එක ඇනොනිමස් කියල වැටුනෙ. ෆෝන් එකෙන් කමෙන්ට් කරනකොට එක එක වෙලාවට වෙනස් වෙනව සෙටින්ස්

      Delete
    2. මමනම් යන්නෙම දකුණෙන්. වමෙන් යන්න බෑනෙ කට්ටිය හයිවේ එකට දාගෙන ඉබි ගමනින් යනවනෙ...

      Delete
  9. මමත් දැක්ක දෙයක් තමා ඒක . හොයල බලන කොට හයිවේ එකට දාන නිලධාරීන් ට වෙනම පුහුණුවක් දීල තියනව . ඒ කියන්නේ සාමාන්‍ය ට්‍රැෆික් පොලිස් පුහුණුවට අමතරව. අනික් දැක්ක දේ තමා ලංකාවේ හයි වේ වල පුදුම විධිහට මාර්ග නීති කඩනවා. මම දැක්ක ලොරි කාරයෝ කිහිප දෙනක් hard shoulder එකේ යනව. මොබියිල් අතට අරන් කතා කරනවා. කෑම කනවා, Full beam headlightsඑක ගහනවා අයින් වෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. හෙඩ් ලයිට් ගහන එක වරදක්ද? මම දැනගෙනහිටියෙ නෑ සහ කරණවා...ඉස්සර කරන්න දෙන්නැතුව ගාටනකොට මොනවද කරන්න පුළුවන් දේවල්....🤔

      Delete
    2. හෙඩ් ලයිට් ගහන යන්න පුළුවන් පොලිසියට සහ හදිසි අනතුරු සේවා වලට විතරයි නේද? ගාටනකොට කරන්න දෙයක් නැහැ තමයි. නමුත් ඒ ගොල්ලෝ ස්පීඩ් ලිමිට් එකට නම් යන්නේ කරන්න දෙයක් නැහැ. මෙහෙ නම් කරන්නේ ගොඩක් ලං කරලා පොඩි ප්‍රෙෂර් එකක් දෙන එක. හැබැයි ඒක ටිකක් අනතුරුදායකයි

      Delete
    3. මේකේ කමෙන්ට් ඇනෝ වැටෙන්නේ සිලෙක්ට් කලේ නැත්නම් . උඩ එක දැම්මේ මම.

      Delete
  10. සෙන්නෝ කියවද්දී ඔහෙගේ post එක
    රසබර හීනයක් කියලා කළෙමි සැක
    නැහැ, දැන් දනිමි මෙය ඇත්තක් කියන එක
    නියමයි නිස්සාට පැසසුම් කරන එක!

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ වැඩ කරවන යන්තරේ..
      දැති කැරකෙන අපි නොදන්න මන්තරේ
      දිගටම ගියොත් රට වැටෙනව අනතුරේ
      නොකරණ විටදි පැසසුම් පුදමු තන්තරේ

      Delete
  11. මටත් ඔහොම එකක් උනානෙ. සති දෙහෙකට කලින් ගියා නුවර එලි. ඩ්‍රෑකියයි ඩ්‍රැකියානියි පොඩි ඩ්‍රැකියයිත් හ්ම්බවුනා. නාරන් කැවුමුත් කෑවා. නගරෙ එලවනකොට අර කාගිල්ස් පෑත්තට යන පාර මගදි දෙකට බෙදිල වන් වේ වෙනවනෙ. මම ඔහේ කල්පනා නොකර ගියා කියමුකො කාගිල්ස් ලඟටම වැරදි පැත්තට..
    පොලිස් මහත්තයා අල්ල ගත්ත. දෝස්මුරේ දැම්ම. මම අහන් හිටියා. හාමිනේ ඉතින් නොයෙකුත් හේතු කියන්න ගත්තා.. මන් කිව්ව වරද කරලා හේතු කියන එකේ තේරුමක් නෑ. මම කල්පනා නොකර ඇවිත් බෙදෙන තැනින් වැරදි පැත්තට එලෙව්වා.වරද මගෙ. කියල මම කඩදාසි ටික දුන්න. පොලිස් මහත්තයට තේරුනා මේ අත්වැරැද්දක් කියලා. ඉතින් මීට පස්සෙ පරිස්සමින් යන්න. අනිත් පැත්තෙන් එන අය බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔහොම එයි කියලා. ඔන්න ඔහොම කියලා මට කඩදාසි ටික දුන්න. ඊලඟ පාර මම ඔය පාරෙන් යන්කොට බැලින්නම් අර පාර බෙදෙන තැන තියෙන දැන්වීම ඉස්සරහින් වාහන නතර කරලා ඒක පෙනෙන්නෙ නෑ. හැබැයි ඒ හින්ද නෙවෙයි මම වරද්ද ගත්තෙ.
    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා... නාරං කැවුම් නේ?

      මෙහෙ එහෙම තමයි සරත් අයියා. එක පාකින් ටිකට් එකකින් ටවුමෙ ඕනෙම තැනක පාක් කරන්න පුළුවන්. දවසට ම එක ටිකට් එකයි. ස්තූතිය යන්න ඕනෙ අපේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහත්තයටයි, පොලිසියෙ ඩීඅයිජී, එස්එස්පී සහ ඒඑස්පී මහත්වරුන්ටයි.

      Delete
    2. සරත් අය්යව දකින්න ලැබීම කණ කැස්බෑවා ව්ය සිදුරෙන් අහස දකිනවා වගේ අති විරල සිදු වීමක්..

      Delete
    3. මම 2015 දෙසැම්බර් කොලඹ ආවට පස්සෙ තාමත් වැඩ මෙහෙ. වරාය වටේම තමයි. සෙන්නා හමු නොවීම පුදුමයක්
      සරත්

      Delete
    4. අපි එක සැරයක් හම්බුනා රාජකාරිමය කටයුත්තකට. සරත් අයියා අඳුන ගන්න නැතිව ඇති..

      Delete
  12. බලන්ඩ සෙන්නා, ඒ විදිහෙ සර්විස් එකක් නිසා හරි කුරුන්දෙ පෝස්ට් එකක් ලියවෙන එක ම මදිද, ඒ උදවියට ස්තූති කරන්ඩ?

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනෙ කියන්නෙ.. ඒකනෙ මේ ස්තූතියි කිව්වෙ...

      Delete
  13. බලන්ඩ සෙන්නා, ඒ විදිහෙ සර්විස් එකක් නිසා හරි කුරුන්දෙ පෝස්ට් එකක් ලියවෙන එක ම මදිද, ඒ උදවියට ස්තූති කරන්ඩ? 2

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනෙ කියන්නෙ.. ඒකනෙ මේ ස්තූතියි කිව්වෙ. X 2..

      Delete
  14. ආන්න ඒකනෙ කියන්නෙ.. ඒකනෙ මේ ස්තූතියි කිව්වෙ...x 3

    ReplyDelete
  15. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. දැන්නෙ දැක්කෙ. බකුසු රාලහාමිටත් සුබම සුබ නව වසරක් වේවා !

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog