2012 මැදින් මස 13 වනදා,
අද 13. සාමාන්‍යයෙන් 13 අසුභ ලකුණක් කියලා තමා පොදු පිළිගැනීම. සිකුරාදා දිනය 13 වැටුනොත් තවත් නපුරු බව පැවසෙයි. ජේසු තුමාව කුරුසියේ ඇණ ගසා ඝාතනය කළේත් එවැනි දවසක බවටද මතයක් ඇත. ජේසු තුමාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගන්ඩ ඕනානම් ඒකට වඩාම සුදුසුම පුද්ගලය තමා, මම කවදාවත් නොදැන සිටි මේ කතාව ගැන දැනුවත් කොට ඒ ගැන ලිපියක් ලිවීමට පෙළඹු හීනලන්තයේ හරී.
13 හෝ 13 වෙනිදා සිකුරාදාවක් වුණොත් අසුභයි කියන එක සනාථ කළත්, නොකළත්, මේ සිද්ධිය සිදුවී ඇත්තේත් එවැනි දවසක.
දිනය 1972 ඔක්තෝබර් 13 වෙනි සිකුරාදා.
ඇන්ඩීස් කඳු වැටියට උඩින් පියාසර කරනා යානයකි. 45 දෙනෙකුගෙන් සමන්විත් පිරිසක් යානය තුළ විය. ඒ චිලී හී සන්තියාගෝ නුවරට රග්බි තරගයක් සඳහා උරුගුවේ හී මොන්ටිවීඩියෝ සිට ගමන් ගන්නා Old Christians Club රග්බි කණ්ඩායම හා ඔවුන්ගේ හිතවතුන්ගෙන් සමන්විත පිරිසයි. මොහොතකින් තමන් විසින් මුහුණ දීමට නියමිත භයානක අනතුර ගැන හැඟීමකුදු නොවූ තරුණයෝ පිරිස යානය තුළ කෙළිදෙලෙන් පසු විය.
ඇත්ත වශයෙන්ම ගමන ආරම්භ කෙරුණේ දිනකට කලිනි. අයහපත් කාලගුණය නිසා ආර්ජෙන්ටිනාහී මෙන්ඩෝසා නගරයේ දවසක් නතර කෙරුණි. මෙම ගුවන් යානයට විශේෂ වූ සීමිත පියාසර මට්ටම හා අයහපත් කාලගුණය හේතුකොටගෙන, මෙන්ඩෝසා නගරයේ සිට ඇන්ඩීස් කඳුවැටිය හරහා කෙළින්ම චිලී වෙත ගමන් කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒ වෙනුවට ඇන්ඩීස් කඳුවැටියට සමාන්තරව මෙන්ඩෝසා නගරය ඔස්සේ දකුණට ගොස් කඳු වැටියේ පහත් දුර්ගයක් ඇති තැනකින් බටහිරට හරවා කඳුවැටිය පසු කොට චිලී වෙත ළඟාවිය යුතුවිය.
යානය ගුවන් ගතවී ටික වේලාවකින් කඳුවැටියේ දුර්ගය පසු කරමින් තිබුණි. සන්තියාගෝ පාලන මැදිරිය ඇමතු නියමුවා, යානය චිලි හී කූරේකෝ නුවරට උඩින් ගමන් කරමින් තිබෙන බවත්, ගොඩබෑම සඳහා සූදානම් බවත් දැනුම් දුනි. ඇත්ත වශයෙන්ම නියමුවා මෙහිදී මාරන්තික වරදක් කර තිබුණි. ඔහු විසින් තමන් මුහුණ දෙමින් තිබුණ තද සුළඟ අමතක කොට සිය ගණනය කිරීම සිදු කොට තිබුණි. සුළඟ මගින් ගමනට සිදු කළ පමාව නොසලකා හැරි නියමුවා තමන් කූරේකෝ නගරයට ඉහළින් පියාසර කරමින් සිටිතැයි අනුමාන කොට යානය ගොඩබැස්සවීමට සූදානම් වෙමින් යානය පහත් කළේය. ඔවුන් ඒ වන විට සිටි ස්ථානය ඔවුන් සිතූ තරම් බටහිරට නොවන්නට විය. නියමුවා විසින් කළ මේ මාරන්තික වරදේ ආදීනව ඔවුන් සියලුදෙනාම මොහොතකින් අත්විදින්නට වූහ. වලාකුළින් බර අයහපත් කාලගුණ තත්ත්වය යටතේ යානය පහත් කිරීමට කළ උත්සහායේදී යානය අධික ලෙස ගැස්සීමට ලක්විය.
හදිසියේම යානයේ දකුණු පස තටුව අසල වූ කඳු ගැටයක හැපී යානයෙන් වෙන්වී ගිය අතර, පාලනයෙන් තොර වූ යානය මොහොතකින් අසල වූ තවත් කඳු ගැටියක හැපී වම් පස තටුවද, පිටුපස කොටසද ගැලවී වෙන්විය. පසුපස ආසන වල පසු වූ සියලු දෙනා එසැනින් ගුවනට මුසු වී ගසාගන ගියහ. හිම මත පතිත වූ යානයේ ඉදිරිපස කොටස සැළකිය යුතු දුරක් ලිස්සා ගොස් හිම වැටියක ගැටී නතර විය.
යානයේ සිටි 45 දෙනාගෙන් 33 දෙනෙකු දිවිගලවා ගැනීමට සමත්වී තිබුනි. යානය අනතුරට පත්වූයේ කිනම් ප්‍රදේශයකදීදැයි කිසිවකුට අදහසක් නොතිබුනි. ඔවුන් සීමිත ආහාර සහ ජල සැපයුමක් සමඟින් අධික සීතලින් යුතු කඳු වළල්ලක අතරමංව තිබුනි.
" මා දුටු පළමු දේ වූයේ, අප වටේටම වූ සුදු පැහැති කඳු වළල්ල සහ දරාගැනීමට නොහැකි තරම්වූ වූ අධික ශීතලයි " - Carlitoz Paez.
දිවිගලවා ගත් පිරිස සියලු ආකාරයේ මදිපාඩු වලින් පීඩා විඳිනට වූහ. අඩි 12000 ක පමණ උසකදී සීතලෙන් ආරක්ෂා වීමට සුදුසු තරමේ වූ ඇඳුම්, පාවහන්, අත්වැසුම් කිසිවක් නිසි පරිදි නොවූහ. අනතුරින් සිදුවූ තුවාල සහ කැඩුම් බිඳුම් වලට ඇවැසි ඖෂධ හෝ වෛද්‍ය පහසුකම්ද නොවුණි. කණ්ඩායමේ වෛද්‍යවරයාද අනතුරින් මිය ගොස් තිබුණි. පසු දින තවත් 04 දෙනෙකු සටන අත්හැර ජීවිතයෙන් සමුගත්හ.
ඔවුන් යානයේ ඉතිරිව තිබූ සියලු දෑ පරික්ෂාකර දිවි රැක ගැනීමට හැකි සෑම දෙයක්ම සොයා බැලුහ. මුහුණ දී සිටි අති දුෂ්කර තත්ත්වය ඔවුන්ව නිර්මාණශීලී කළේය. යානයේ සෑම අසුනක් පිටිපසම වූ ඇලුමිනියම් තහඩුවක් උපයෝගී කොටගෙන හිම දියකොට ජලය යම් ප්‍රමාණයක් සපයා ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් සකසා ගත්හ. මෙය ඔවුන් පිඩා විදීමෙන් සිටි විජලනයෙන් ආරාක්ෂාකාරී වීමට මහෝපකාරී විය.
අනතුර සිදුවූ දින සිට දින තුනක් සිහිසුන්ව සිටි නන්දෝ පරාඩෝ, තෙවෙනි දින පියවි සිහිය ලැබුවේය. ඒවන විට ඔවුන් සමඟ ගමන් කළ ඔහුගේ මව මිය ගොස් සිටි අතර, නැගනිය ආසාධ්‍ය තත්ත්වයේ පසුවිය.
අනතුර සිදුවී 08 වන දින නන්ඩෝ පරාඩෝ ගේ නැගණිය දීර්ඝ සටනකින් පසු මරුවාට යටත් විය. මෙම කම්පනය නන්ඩෝ පරාඩෝ හට නව ජවයක් ගෙන එන ලදී. ඇයගේ නික්ම යාමත් සමඟම දිවිගලවා ගත් සංඛ්‍යාව 27 දක්වා පහත වැටුණි.
" මගේ නැගණිය මිය ගිය පසු, මගේ සිතුවිලි වල ලොකු වෙනසක් සිදු වුණා. මට ඒක විස්තර කරන තේරෙන්නෑ. ඒත් හදවතේ ගැඹුරුම් තැනින් කව්රුන් හෝ මාව ආමන්ත්‍රණය කරනවා වැනි හැඟීමක් ඒක. මම ඉදිරියටම යායුතු බවත්, දිවි ගලවා ගැනීමට සටන් කළ යුතු බවත්, මා විසින් විනාශ වීමට ඉඩ ප්‍රස්ථා නොතැබිය යුතු බවත් මට හැඟුණා. " - Nando Parrado.
අනතුරින් දසවන දින වන විට සියලු දෙනාම සාගින්දරින් පීඩා විඳිමින් සිටියහ. ආහාරයට ගත හැකි සෑම දෙයක්ම ඔවුන් ඒ වන විට අත්හදා බලා තිබුණි. ආසන වලින් ගලවා ගත් සම් කැබලි, සපත්තු කොටස්, ලී කැබලි සහ කොණ්ඩා වළට දමන ජෙල්ද ඒ අතර විය. ඒ සියල්ල තව තවත් ඔවුන්ව දුර්වල කළා මිස ශරීරයට ශක්තියක් දීමට සමත් නොව්නි. දීර්ඝ කාලයක් නිසි අහරක් නොළැබීම හේතු කොටගෙන ඒවන විට ඔවුන්ගේ ශරීරයන් විසින් තැන්පත් වූ මේද කොටස් සහ පේශී පටක දිය කරමින් ශරීරයට අවැසි ශක්තිය නිපදවමින් සිටියහ. එහෙත් එය තව දුරටත් සිදුවුවහොත් ඔවුන්ගේ ශරීරයන්ගේ වැදගත් ඉන්ද්‍රීයන් වූ, වකුගඩු, පෙනහලු, අක්මාව ටික කලකින් අක්‍රීය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක පැවතුණි.
පේන තෙක් මාණයක ආහාරයට ගත හැකි ශාක වර්ගයක්වත්, සතකුවත් නොසිටියහ. නව ප්‍රෝටීන් ප්‍රභවයක් සොයාගැනීමට අපොහොහසත් වුවහොත් ඔවුන් සියලුදෙනාටම කෙටි කලකින් සිය මිතුරන් ගත් මග ගැනීමට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිව තිබුණි.
රොබේටෝ කනේසා, කණ්ඩායමේ වූ වෛද්‍ය සිසුවා අනතුරින් දසවන දින කණ්ඩායම ඇමතීය.
" දැන් අපි සියලු දෙනාම සාගින්දරින් පසු වෙන්නේ. අපිට ඉක්මනින්ම ප්‍රෝටීන් අඩංගු ආහාරයක් සොයාගන්ඩ බැරි වුණොත් අපි ඔක්කොවන්ටම මැරෙන්ඩ සිදු වෙනවා ඒකාන්තයි. මෙහෙ එකම එක විදිහයි තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රෝටීන් අඩංගු ආහාර ලබා ගන්ඩ. "
" ඒ තමයි අපේ මිය ගිය මිතුරන්. "
ශිෂ්ට සමාජයේ සිටින අපට මෙම අදහස ඇඟ කිළිපොලා යවන්නක් වුවද, එම මොහොතට, එම තත්ත්වයට මුහුණදී සිටියහොත් අප වුවද මෙම තීරණයට පැමිණෙනවා නොඅනුමානය.
කනේසාගේ අදහස සෙමෙන් සෙමෙන් අනුමත විය. ඔවුන් යානයේ නියමුවාගේ සිරුරින් සිය ආහාර අවශ්‍යයතාවය සපුරා ගැනීම ඇරබූහ.
අනතුරින් 11 වන දින, බාහිර සමාජය විසින් සෙවීමේ උත්සහාය අත්හැර දමන ලදී. යානයේ වූ කුඩා ට්‍රාන්සිස්ටර් ගුවන් විදුලි යන්ත්‍රයක් ආධාරයෙන් සෙවීමේ මෙහෙයුම ගැන පුවත් දැනගැනීමට උත්සහ කළ කණ්ඩායමට මෙම අසුභ ප්‍රවෘත්තිය කණ වැටුණු විගස සියලු බලාපොරොත්තු කඩ විය.
" මේ ආරංචිය දැන ගත්තු වේලෙම මට තේරුනා අපි ගැලවිය නොහැකි උගුලක පැටලිලා ඉන්නේ කියලා. මම මටම කියා ගත්තා මෙතන ඉඳන් ටික ටික මිය යනවට වැඩිය සටනක් දීලා මිය යනවා කියලා. " - Nando Parrado
අනතුරින් 17 වන දින, එනම් ඔක්තෝබර් මස 29 වන දින රාත්‍රියේ යානය තුලා නිදාසිටි කණ්ඩායමට භායානක ශබ්දයක් ඇසිණි. මොහොතකින් දරුණු හිම කුණාටුවක් ඔවුන්ව ආක්‍රමණය කොට තිබුණි. යානය අඩි ගණනක් හිම වලින් වැසී ගියේය. දින තුනක් ඔවුන් මෙසේ පණපිටින් වැළලී සිටියහ. අවසානයේදී නන්ඩෝ පරාඩෝ විසින් යානයෙහි වහලෙහි විදින ලද සිදුරකින් වාතාශ්‍රය ලබා ගැනීමට සමත් විය. එම සිදුවීම තවත් 08 දෙනෙකු ඔවුන්ගෙන් වෙන් කරවීය. ඉතිරි වූ සංඛ්‍යව 19 දක්වා පහත වැටුණි.
නොවැම්බර් 15 හා 18 තවත් දෙදෙනෙකු මරුවාට යටත් වූයේ 17 දෙනෙකු ඉතිරි කරවමිනි. මේ අතර අවට ගවේෂණයේ යෙදුණු නන්දෝ ඇතුළු තරුණයෝ පිරිස යානයේ පසුපස කොටස සොයා ගැනීමට සමත් වූහ. එය ඔවුන්ගේ බලාපොරොත්තු නංවන සිදුවීමක් විය. යානයේ එම කොටසේ ඔවුනට පරිහරණය කළ හැකි ආහාර ද්‍රව්‍ය හා තවත් නොයෙකුත් දෑ බොහෝ විය. එහි වූ විදුලි කෝෂ අවධානය වැඩියෙන්ම දිනා ගත්තේය. ඔවුන්ගේ අරමුණ වූයේ එම විදුලි කෝෂ යානය වෙත ගෙනගොස් එහි ඇති ගුවන් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාත්මක කොට බාහිර ලොවට පණිවිඩයක් නිකුත් කළ හැකිදැයි සොයා බැලීමයි. එහෙත් විදුලි කෝෂ රැගෙන යාමට බර වැඩි වූ හෙයින්, ඒ වෙනුවට ගුවන් විදුලි පද්ධතිය ගලවාගෙන විදුලි කෝෂ වෙත රැගෙන එන ලදී. කෙසේවෙතත් ඔවුන්ගේ මේ උත්සහාය සම්පූරණයෙන්ම අසාර්ථක වූයේ, ඒ පිළිබඳ නිසි දැනුමක් කිසිවෙකුටවත් නොවූ බැවිනි. ඔවුන් නොදැන සිටි අනිත් කරුණ වූයේ ගුවන් විදුලි පද්ධතිය ක්‍රියාත්මක වූයේ ප්‍රත්‍යාවර්තක විදුලියෙනි. ( A/C )
සියල්ල මෙසේ අසාර්ථක වන විට, කන්ද තරණය කොට අනෙක් පසට උදව් සොයා තමන්ම ගමන් කිරීම හැරුණ කොට වෙන සරණක් නොමැති බව ඔවුන්ට ඒත්තු යන්නට විය. නන්දෝ පරාඩෝ මේ ගැන වැඩියෙන්ම උනන්දුවූ පුද්ගලයාය. අවසානයේදී දෙසැම්බර් මස 12වන දින ගවේෂණය සඳහා නික්මීමට තීරණය විය. සියලු දෙනාම ගමන් කිරීම ප්‍රායෝගික නොවූ හෙයින් තෝරාගත් සුදුසු දෙතුන් දෙනෙකු කඳුවැටිය තරණය කොට උදව් ලබාගෙන පැමිණීමට අවසානයේදී තීරණය කළහ.
මෙහිදී ගවේෂකයන් මුහුණදුන් බරපතලම ගැටලුව වූයේ රාත්‍රියේදී සීතලට මුහුණ දීමයි. අවසානයේදී එයටද සුදුසු විසඳුමක් ලැබුණි. යානයේ පසුපස කොටසින් ලබා ගත් නිදන මලු උපයෝගී කොටගෙන ඔවුන්ට රාත්‍රියේදී සීතලින් ආරක්ෂාකාරීවිය හැකි ආවරණයක් නිර්මාණය කොට ගන්නා ලදී. මැසීම ගැන හොඳ පළපුරුද්දක් තිබූ කාලිටෝස් මෙහිදී මුල්වී ක්‍රියා කළේය. අනෙත් අයගෙන්ද නොමද සහයක් ඔහුට ලැබුණි. ඒ අතර ගවේෂණ කණ්ඩායමට අවැසි ආහාරද සකසන ලදී. සියලුදෙනාම එකාවන්ම, කණ්ඩායක් හැඟීමෙන් යුතුව සියලු කාරයයන්ට දායක වූ බැවින් සියල්ල පවතින පහසුකම් යටතේ ඉතා හොඳින් සකසා ගැනීමට ඔවුනට හැකිවිය.
දෙසැම්බර් 12වන දින උදා විය. එදිනම තවත් එක් පුද්ගලයකු මියගිය බැවින් ඉතිරි වූ සංඛ්‍යාව 16 බවට හැරුණි.
නන්ඩෝ පරාඩෝ, රොබේටෝ කනේසා සහ ඇන්ටෝනියෝ වීසන්ටීන් ගමනට සූදානම්ව සිටියහ. පිටත්වීමට කලින් නන්ඩෝ පරාඩෝ විසින් සිය මවගේ සහ නැගණියගේ දේහයන් අනෙත් අයට ආහාර සඳහා දීමට තරම් පරිත්‍යාගශීලී විය.
" නන්දෝට තිබුණේ කඳුවටිය තරණය කිරීමට තිබූ ධෛර්යය පමණක් නෙමේ, ඒ වන විට ඔහු සතුවූ උතුම්ම වස්තුවූ සිය මවගේ සහ නැගණියගේ දේහයන් අපට ආහාර ලෙස ගැනීමට දීමට තරම් හැකියාවකුත්, ධෛර්යයකුත් ඔහුට තිබුණා. " - Carlitoz Paez.
කඳුවැටිය තරණය කිරීම සිතූතරම් පහසු නොවීය. විශේෂයෙන්ම මාස දෙකකට ආසන්න කාලයක් දුෂ්කර ජීවිතයක් ගතකළ පිරිසකට සැබැවින්ම එය අභියෝගයක්ම විය. ඔවුන් සතුවූයේ චිත්ත ධෛර්යය පමණී. ඉහළට ගමන් කිරීමේදී ඔවුන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්නට වූහ. ප්‍රධානම ගැටලුව වූයේ දුර්වල වාතාශ්‍රයයි. ඔවුන් තබන අඩියක් අඩියක් පාසා හොඳින් හුස්ම ගැනීමට සිදුවිය.
දින තුනක දුෂ්කර වෑයමකින් පසු නන්දෝ සහ රොබේටෝ කඳු ශිඛරයෙහි මුදුනට ළඟාවිය. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කඳුවැටියෙන් අනෙක් පස චිලී හී රතු නිම්නය දැකීමටයි. නැවතත් ඔවුනට වැරදී තිබුණි. නන්දෝ සහ රොබේටෝ සුන්වූ බලාපොරොත්තු සහිතව කඳු මුදුනේ සිටගෙන ඉදිරිපසින් වූ කඳු මාලාවක් දෙස දැස්යොමා සිටියේ දුටු දේ අදහා ගැනීමට නොහැකිවය. ඔවුන් සිතා සිටියේ අනතුර සිදුවූයේ කඳුවැටියේ චිලී දෙසට වන්නට කඳු පාමුලක බවයි. එම ගණනය කිරීම ඔස්සේ සලකා බැලූ නන්දෝ තමන් දැන් තරණය කළ කඳුවැටියට පසු චිලී හී රතු නිම්නය දැකීමට බලාපොරොත්තු විය. සැබෑ ලෙසම ඔවුන් ඇන්ඩීස් කඳුවැටිය මධ්‍යයේ සිරවී සිටියහ.
සීමිත ආහාර ප්‍රමාණය ඉතිරිකර ගැනීම සඳහා ඔවුන් විසින් ඇන්ටෝනියෝව නැවතත් යානය වෙත හරවා එවා, නන්දෝ සහ රොබේටෝ පමණක් ඉදිරියට ගමන් කළහ. ඔවුන් කඳුවටිය බසිමින් දුෂ්කර ගමනක් ඉදිරියට ගමන් කළහ. යානයෙන් නික්මී දින නවයකට පසු ඔවුන් දෙදෙන බැවුම ප්‍රදේශයක් වූ ගංගාවක් අසබඩට පැමිණිහය. එම ප්‍රදේශයේ මිනිස් වාසයක ලක්ෂණ මද වශයෙන් පෙන්නුම් කරන්නට විය. ඒවන විට ඔවුන් තමන්ගේ ශරීරයට දැරිය හැකි උපරිම සීමාවට ළඟා වී සිටි අතර රොබේටෝ තව දුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකි තත්ත්වයක නොසිටියේය.
එම මොහොතේ නන්දෝ විසින් ගිනිමැලයක් ගැසීම සඳහා කෝටු කැබලි එකතු කරමින් සිටියේය. හදිසියේම අසකු පිට නැගි මිනිසකු වැනි රුවක් ගඟේ එහා ඉව්රෙන් නිරික්ශණය කළ රොබේටෝ වහාම එය නන්දෝට දක්වා සිටියේය. වහා ගං ඉව්ර වෙත දිව ගිය නන්දෝ එම අසරුවාට කෑගසා ඔහුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. එහි අසරුවන් තිදෙනෙකු වූහ. ගඟෙහි ශබ්ධය ඔව්නතර හොඳ සන්නිවේදනයකට බාධාවක් විය. නන්දෝ ඔවුන් මුහුණපා සිටින තත්ත්වය පැහැදිලි කිරීමට උත්සහා කළේය. එක් අසරුවෙකු හස්ත මුද්‍රාවෙන් දක්වා " හෙට " යයි පැවසීය. දැනට මේ පිළිතුරෙන් සෑහීමකට පත්වීමට ඔවුන් දෙදෙනාට සිදුවූහ. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉතාම ඉහල මට්ටමේ වූ බැවින් දිගු කලකට පසු ඔවුනට හොඳ නින්දක් ලැබීමට හැකිවිය.
පොරොන්දු වූ පරිදිම අසරුවා පසුදින උදයේ නැවතත් පැමිණියේය. ඔහු විසින් ඔවුන් වෙත පාන්ගෙඩි කිහිපයක් ගඟ හරහා මෙහා ඉවුර වෙත විසි කළ අතර එය තරුණයන් දෙදෙනා විසින් වහා අනුභව කරණ ලදී. අනතුරුව ගලක දවටන ලද පෑනක් සහ කොලයකි. නන්දෝ විසින් එහි සිද්ධිය සැකෙවින් විස්තර කොට උදව් ඉල්ලා ලියුමක් ලියා නැවතත් එහා ඉවුරට විසි කරණ ලදී. අසරුවා විසින් එය තේරුම් ගත් බව ඉඟියෙන් දක්වා සිටියේය.
ඔක්තෝබර් මස 13 වන දින සිදුවූ සිද්ධියෙන් දිවි බේරා ගත් අය ඇති බවත්, ඔවුන්ව ගලවා ගැනීමට සූදානම් වන බවත් පසුදින වන විට ජාත්‍යන්තර මධ්‍ය වෙත වාර්තා වී තිබුණි. එම පුංචි ගම්මානය ඔවුන්ව දැකීමට වැල නොකැඩී පැමිණි නා නා ප්‍රකාර ජනමාධ්‍ය කරුවන්ගෙන් පිරී යන්නට විය.
පසු දින එනම් දෙසැම්බර් මස 22 වන දින හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ගලවා ගැනීමේ මෙහෙයුම ඇරබුණි. මග පෙන්වීම සඳහා නන්දෝ ඔවුන් සමග එකතු විය.
ඉතා අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ එදින මධ්‍යහන වන විට ඔවුනට කඩා වැටුණ යානය වෙත පැමිණිය හැකි වූහ. තමන් වෙත එන හෙලිකොප්ටර් යානය දුටු තරුණයෝ පිරිස දිවිගැලවීමේ ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් නටන්නට වූහ.
එදින සය දෙනෙකු පමණක් රැගෙන, ගලවා ගැනීමේ කණ්ඩායමේ කිහිප දෙනෙකු අනෙක් අය සමඟ නතර කොට යානය පිටත් විය. ඉතිරි 08 දෙනාව පසු දින ගලවා ගත්හ.
ඔවුන්ව පිළිගැනීමට ආශාවෙන් බලා සිටි තවත් විශේෂ අමුත්තෙක් විය. ඒ සිද්ධිය සිදුවූ දින සිට නොකඩවා ඔවුන්ව සොයා ගැනීමේ උත්සහයක නිරතවී සිටි, කර්ලිටෝ පයෙස් ගේ පියාය. හෙලිකොප්ටරයෙන් බැසගත් සිය පුතුනුවන්ව ඔහු ඉතා ආදරයෙන් වැළඳ ගත්තේ උතුරා ගිය දාරක සෙනෙහසකිනි. නන්දෝ පරාඩෝගේ නොපසුබස්නා උත්සහය නොවන්නට මෙලෙස එක්වීම ඔවුනට සිහිනයක්ම පමණක් වීමට තිබුණි.
දින 72ක් අධික සීතලෙන් යුත් හිමකතරක, අවම පහසුකම්වත් නොමැතිව දිවිගෙවා, නැවතත් මෙලොවට පැමිණි ඔවුන්ගේ කතාව මිනිස්සුන් සතු අධිෂ්ඨාන ශක්තිය පෙන්නුම් කරන කදිම අවස්ථාවකි.
2010 වසරේ චිලී හී සිදුවූ පතල් කම්කරුවන් හිරවූ සිද්ධියේදී මෙම දිවි ගලවා ගත් 16 දෙනා විසින් ඔවුනට සහය පලකිරීමටද ඉදිරිපත් විය.
මූලාශ්‍ර :
1. http://en.wikipedia.org/wiki/Uruguayan_Air_Force_Flight_571
2. http://www.youtube.com/watch?v=UWTN6nAIBcY
3. http://www.viven.com.uy/571/eng/historia.asp
4. http://www.parrado.com/
විශේෂ ස්තූතිය හරීට.
~~සෙන්නා / 13.03.2012


