Tuesday, January 21, 2020

පිට වූ හඬ පටය.....

21.01.2020

පිට වූ හඬ පටය.....

හෙලෝ අසඩක්, මමයි රංජන්....
හොරුන් අල්ලන ඇමති මම වෙමි..

නුඹත් හොරෙකිය දනිමි ඒ බව
නාල්ලමි මම කළොත් මේ දෙය

අබෂ්විල්ලී බලන් ඉන්නේ 
දරුවා එනතුරු මාළිගාවට
දරුවා හැදුවේ ගෲෂා අම්මා
දනිමි ඒකිව කුඩා කල සිට

නැතොත් දරුවා මැරෙයි ඒකී
දනිමි හොඳටම ඒවගත් මම
කරලා දෙනු මැන යමක් මේ ගැන
උඹට විතරයි ඒක පුළුවන්

හෙලෝ රංජන්, මමයි අසඩක්
යුක්ති පසදින උතුමා මම වෙමි

හොරුන් අල්ලන ඇමති ඔබ වේ
මමත් හොරෙකිය නාල්ලනු මැන

තියනු දරුවව රවුම මැද්දෙන්
කියනු ගෲෂට අතාරින්නට
ඉතිරි කාරිය මගේ කාරිය
අබෂ්විල්ලිත් පරාදයි මට

සෙන්නා / 21.01.2020

Saturday, January 18, 2020

යා නොදුන් ප්‍රේමය...........

18.01.2020

යා නොදුන් ප්‍රේමය...........




සීගිරියෙ සිංහයා, ඇසුව නුඹ කෝ කියා
විමතියෙන් මම ඇසුවා
උඹත් දන්නෙ ද කියා
ආවලු අපි එහේ, නවම් සඳ නැගෙනදා
පවසමින් ඇසක් අඩවන් කරා...

මතකයිද කාරියව 
කිව්ව ඒ සාත්තර
දඹුල්ලෙදි ගසක් යට

දෙවරක්ලු විවාහය
අපොයි ! මේ අහිංසක මට
වියෝවම පැතු නුඹට
ඒක මරු හේතුවට

වැසුවේද මේ කතා, කාලයේ වැලි තලා
නැතිද උඹ කුරුටු ගා, කැටපතේ මේ කතා
විමසුවේ සිංහයා....

~~ සෙන්නා / 18.01.2020

Monday, April 1, 2019

කනාමැදිරි එළි

                                         Related image




මුල්ම සිතුවිල්ල වුණේ මල් වට්ටියක් වගේ අහස වහගෙන තිබුණ තරුවලින් එකක් කඩන් වැටෙනවා කියලා. ටිකක් වෙලා බලන් ඉන්නකොට තමා තෙරුණේ මම අවුරුදු ගණනාවකට පස්සේ කනාමැදිරියෙක්ව දකිනවා කියලා. මම විශ්වාස කරගෙන හිටියේ කනාමැදිරියෝ අපිව දාලා ගිහින් කියලා. ඒත් අපි තාමත් වාසනාවන්තයි. පළාතම අඳුරින් වැහිලා තියන පරිසරයක, වලාකුළක් දකින්න නැතිව තරුවලින් අහස වැහුණ පරිසරයක, ඒ තරු අතරින් එකක් එහෙට මෙහෙට ගමන් කරනවා වගේ, කනාමැදිරියෙක් පියාබලා යන දිහා බලන් ඉන්න එක හරිම ආනන්දජනක වැඩක්. එක කනාමැදිරියෙක් පියාබලා ගිහින් වම් පැත්තේ තිබුණ රඹුටන් ගහේ කොළ අස්සේ හැංගිලා යනවත් එක්කම දකුණු පැත්තෙ තිබුණ කොහොඹ ගහේ අතු අතරින් තවක් එකෙක් මතු වුණා. මම ඌ දිහාත් බලන් හිටියේ කොහාටද යන්නේ කියලා. ටිකක් වෙලා එහෙට මෙහෙට වෙවී හිටපු ඌ ටිකක් උඩට පියාබලා ගිහින් අඹ ගහේ අතු අතර අන්තරස්දහන් වුණා. අවුරුදු ගණනාවකට පස්සේ කනාමැදිරියෙක් දකින්න ලැබිච්ච් එක මට ලොකු සතුටක් වුණා. කනාමැදිරියෝ වඳ වෙනවට වැඩිය, මට උන්ව බලන්න විවේකයක්, සැහැල්ලුවක් නොතිබුණ එක තමා වෙලා තිබුණේ කියලා කනාමැදිරියෝ ගැන දිගින් දිගටම කල්පනා කරද්දි මට හිතුණා.

හුළං බින්දුවක්වත් නොතිබුණ නිසා ගහක කොළයක්වත් හෙල්ලුණේ නෑ. ඒවා නිකම් හිස් අවකාශයේ අලවලා වගේ නොසෙලී බලාගෙන හිටියා. දවල් තිබ්බ අධික දාහයේ බලපෑම මේ රෑත් තාම තියනවා. හුළං පොදක්වත් ආවනම් හොඳයි කියලා හිතුණට හුළං තිබුණෙම නෑ.

අඹ කොළ අතර හැංගිච්ච කනාමැදිරියා ආයෙත් මතුවුණා. ඌ අඹ ගහේ කොළ අතරෙම එකෙල මෙකෙල වෙවී හිටියා. ගහේ අඹ හැදෙන්න ඕනා කාලෙ වුණත් අඹ මල්වත් ඇවිත් තිබුණ බවක් මට මතක නෑ. පොඩි කාලේ මේ වත්තෙ තිබුණ අඹ ගස්වල වගේම සීයලෑ පළාතෙ තිබුණ අඹගස් වලත් කොච්චර ගෙඩි හැදුනද අවුරුදු කාලෙට! දැන් මොකද වෙලා තියෙන්නේ! අඹ ගස් අපිත් එක්ක තරහා වෙලාද? ඒ කාලේ අපි අඹ කාපු කෑම කොච්චරද කිව්වොත් අවුරුදු ඉවර වෙනකොට ඵලදාව පිටවෙන්නේ අපේ අත් කකුල් වලින්. දැන් ගස්වල අඹ හැදෙන්නැද්ද, අපිට ගස් වටේ ඇවිද ඇවිද ගෙඩි හොය හොය කඩාගෙන කන්න වෙලා නැති වෙලා ද? මේ අඹ ගහේනම් ගෙඩි නෑ කියලා මට සහතිකේටම කියන්න පුළුවන්. මේ අඹ ගහ හැර වෙනත් අඹ ගස් වල ගෙඩි ඇති කියලා මම හිත හදා ගත්තා.

මම අඹ ගැන කල්පනා කර කර ඉන්න අතරේ රඹුටන් ගහේ හැංගුන කනාමැදිරියා එළියට ඇවිත් අහසේ තරුත් එක්ක මුහු වෙලා යනවා දැක්කා. එ එක්කම පියඹලා ගිය වවුලන් දෙන්නෙක් මගේ අවධානය උගෙන් උදුර ගත්තේ නිරායාසයෙන්.

ඇත්තෙන්ම ඒ වවුලන්ගෙ විශාලත්වය දැකලා මම පුදුම වුණා කිව්වොත් හරියටම හරි. උන්ගෙ ලොකු! අත්ත‍ටු දෙක අතර පරතරය අඩි තුනක්වත් ඇති මට හිතුණ හැටියට. දෙකයි..තුනයි.. හතරයි... මම වවුලෝ ගනින්න පටන් ගත්තා. උන් කොහේ ඉඳලා කොහාට පියාඹනවද කියලා හිතන්නයි මම වෙහෙසුණේ.. සමහර විට උන් අඹ කන්න යනවා ඇති.

කනාමැදිරියා පහතට පියාඹලා වැට මායිමේ තිබුණ නාරං ගහ අස්සෙ ඉඳන් එළිය විහිදුවන්න ගත්තා. නාරං ගහේ ගෙඩි ඇවිල්ලා. ඔය ගෙඩි මවන්න සොබදහම ක්‍රියාත්මක වෙච්ච හැටි මට රහසක් නෙමේ. මී මැස්සෝ ඇවිල්ලා නාරං මල්වල දැවටෙමින් උන්ගේ සේවය ඉ‍ටු කරනවා මගේ කැමරා කාචයේ සටහන් වෙලා තියනවා. උන්ගේ මහන්සිය සාර්ථකයි. ගහ ගෙඩි වලින් පිරිලා නැතත් සැලකිය යුතු තරමක පලදාවක් තියනවා.



නාරං ගහ ලගිම තියෙන්නේ මම වැට මායිමේ හිටවපු තේක්ක පැල තුනෙන් එකක්. ඒක පොඩිම එක. අනිත් දෙක ඊට වැඩිය උසයි. ඊට පස්සේ කෝපි පඳුරු වගයක් වැට දිගටම තියනවා. විවිධත්වය. ගේ ඉස්සරහාම දකුණු පැත්තේ අඹ ගහ, කොහොඹ ගහ, කරපිංචා ගහක්, රඹුටන් පැළයක්. වම් පැත්තෙන් රඹුටන් ගහ, නාරං ගහක්, නෛනං පැළයක්, ක‍ටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ මැද්දේ හිටවලා තියන ගස් වර්ගය ඇතුළුව නම නොදන්න ගස් වර්ග කිහිපයක්. වැට මායිම දිගේ කෝපි ගස්, තේක්ක ගස්, නාරං ගහ, පේර ගහක්. පොඩි ඉඩේ සැලකිය යුතු තරමක වෘක්ෂලතා ගහණයක් තියනවා. උදේට කුරුල්ලන්ගේ කිචි බිචියෙනුත් අඩුවක් නෑ. ඒවා රසවිඳින්න වෙලාවක් තමා නැත්තේ. 

රිද්මයකට වතුර වැටෙන ශබ්දයක් ආවේ ඉස්සරහා ගෙදරින්. ගෙදරින් පිටට වෙන්න හදලා තිබුණ නාන කාමරයක කවුරු හරි නාමින් හරි ඇඟ හෝදමින් හරි හිටියා. දුර්වල ඉටිපන්දම් එළියක් ඒ අසලින්ම නික්මුණා. එකම රිද්මයකට වතුර වැටෙන තාලය අල්ල ගන්නයි මම වෙහෙසුණේ. ටිකකින් ඒ ශබ්දෙත් නැතුව ගිහින් මුළු පරිසරයම නිහඬ වුණා. මිනිස් ක්‍රියාකාරකම් නැති පරිසරයක් බොහෝ විට හරිම නිහඬයි, නිශ්චලයි.

මගේ ළඟ තිබුන ඉටිපන්දමේ දැල්ල වේගෙන් වැනෙන්න ගත්තේ හුළඟක් ඇවිත්නම් නෙමේ. මැරෙන්න ළංවෙනකොට ශක්තිය වැඩිවෙනවා කියනවනේ. ඉටි පන්දම තමන්ගේ අන්තිම මොහොත ගතකරමින් හිටියේ. ඉටිපන්දම ජීවිතේ ‍රැකගන්න දාන වෙහෙස දැකපු මට විද්‍යා පාඩමයි බුද්ධාගමයි දෙකම මතක් වුණා. ඉන්ධන, ඔක්සිජන් වායුව හා ජ්ව්ලන උෂ්ණත්වය යන සාධක තුන එකතු වෙන තැන ගින්නක් හට ගන්නවා කියලා නේද ඉගැන්නුවේ. එකක් හරි ඉවත් වුණාම දහනය නැතුව යනවා. ගිනි නිවන්න පාවිච්චි කරන්නේත් ඔය න්‍යායම තමා. ඒ විද්‍යා පාඩම. ඒ වගේම සංසාරයේ පැවත්තමට අවශ්‍ය සාධක ඉවත් කළොත් එතන නිර්වාණය ඇති වෙයිද? එකක් ඇතිද? ඔක්කොම ඉවත් කරන්න ඕනද? අසම්පූර්ණ දැනුම. කාටවත් ප්‍රයෝජනයක් නෑ. නිර්වාණයට උදාහරණයක් හැටියට කවුරුහරි හාමුදුරුනමක් ගිනි දැල්ල උපමා කරල දැක්කුවා වගේ මතකයක් තියනවා. ඒ මතකය තමා විද්‍යාවයි, බුද්ධාගමයි එකට සම්බන්ධ කළේ. පණ ගහගන්න විශාල අරගලයක් කරපු ඉටි පන්දම සොබාදහමට යටත් වුණා. ආයෙ නො එන්නම නිවිලා ගියා. ඒ ඉටි පන්දම ආයෙ කවදාවත් පත්තු වෙන්නෙ නෑ. දැන් පළාතම අඳුරුයි. 

තීවෘර වුන අඳුර මැද්ද ආපහු කනාමැදිරියෝ දෙන්නම අනන්ත අප්‍රමණ තරු අස්සේ හැංගෙමින්, මතු වෙමින් ආයෙත් සෙල්ලම් කරන්න ගත්ත. කනාමැදිරියන්ගෙන් මිදුන මගේ සිත පෘතුවියෙනුත් එහාට ගියා. තරු, කවදාවත් ගැනලා ඉවර කරන්න බැරි තරු. සමහර තරු ඔය පෙනුනට මීට කාලෙකට කලින් මැරිච්ච ඒවලු. ඒව දැන් ඇත්තෙත් නෑලු. ඒත් අපිට තාම පේනවා. විශ්වයේ දිග පළල ගැන හිතන්න ගියාම ඇත්තටම ඔලුව විකාර වෙන එක නවත්වන්නම බෑ. ඔය තරු වගේ පෙන සමහර එළි ග්‍රහලෝක වෙන්නත් ඇති. ඒවයේ අපි වගේ ජීවීනුත් ඇති සමහර විටක. එහෙම නේද? නෑයි කියන්න පුළුවන්ද? මට මතක් වුනේ මට ඉස්සර හිතුන සමාන්තර ග්‍රහලෝකය ගැන.  මේ වගේම තවත් පෘතුවියක් තියනවා මේ විශ්වයේ. ඒක් මොන අතින් ගත්තත් අපිට සමානයි. ඉන්න සත්තු, ගහකොල, මිනිස්සු ඔක්කොම සමානයි. කොටින්ම ඒක මේකෙ ප්‍රති බිම්භයක්. මෙහෙ තියෙන්නෙ මොනාද එහෙත් ඒවා තියනවා. මෙහෙ වෙන්නෙ මොනවද එහෙත් ඒකම වෙනවා. වෙන එකක් තියා, එහෙ ඉන්න මම, මේ නිශ්චිත මොහොතේ මිදුලේ වාඩි වෙලා අහස දිහා බලාගෙන සමාන්තර පෘතුවියක් ගැන හිතමින් ඉන්නෙ. ඕවා කාටවත් නොකිව්වට කමක් නෑ. නැත්නම් ඒ පෘතුවියෙ ඉන්න අහිංසකයත් හෙට ඉඳන්, එහෙ තියන අංගොඩ.

ඇත්තටම් මේ විශ්වයේ මෙච්චර තරු ගොඩකුයි, ග්‍රහලෝක ගොඩකුයි තියෙන්නෙ මොකටද? කගෙ උවමනාවකටද? මොකටද මිනිස්සු, සත්තු ඉපදිලා මැරිලා යන්නේ? මොකක් සඳහාද? උත්තර නැති ප්‍රශ්ණ!

පෝය පහුවෙලා ටිකක් කල් නිසා හඳක් පේන්න නෑ. තව අවුරුදු පහකින් ආයෙ හඳට යන්න ප්ලෑන් එකක් තියනවාලු. හඳත් නැති වෙන පොටක් වෙයිද දන්නැ ඒක.! බෙයාර් ග්‍රිල්ස් ස්කව්ට්ලා කට්ටියක් එක්ක ISS එකට යන්න හදනවා කියලා අද නිවේදනය කරලා තියනවා දැක්කා. ඒකනම් මරු අත්දැකීමක් වෙයි පොඩි උන් ටිකට. අහස දිහා බලාගෙන කොහෙ කොහෙ යන්න පුළුවන්ද!

යාන්තම් පොඩි හුළඟක් හමලා ගියා. දැනුන සිසිල කියන්න වචන නෑ. මෙච්චර වෙලා අලවපු පින්තූර වගේ හිටපු ගස් වල කොල යාන්තම් හිනා වුනා. මුලු පරිසරයේම එකම සජීවී වස්තු දෙක වෙච්ච කනාමැදිරියෝ දෙන්නා පියාබල ගිහින් කොහොඹ කොල අස්සේ හැංගුනා. කොහොඹ ගහක් කියන්නේ සොබාදහමේ  තවත් අපූරු නිමැවුමක්. ඒ සිසිල වචන වලින් විස්තර කරන්න බෑ. අපේ පරණ ගෙදර පිටි පස්සේ තිබුන මහ විශාල කොහොඹ ගහ මතකද? ගෙදර ඉස්සරහා මිදුලේ වාඩි වුනාම ගෙට උඩින් අහස පුරා පැතිරුනු ඒ කොහොඹ ගහ පේනවා. ඒකේ විශේෂත්වය ඒක නෙමේ. හුළගට ගහ හෙලවෙනකොට ඒකෙන් හරි අපූරු රටාවක් මැවෙනවා. පීරිසියක තියාගන තේ බොන මසුස්සයෙකුගේ දර්ශණයක්. අපි කිව්වේ "තේ බොන්නා" කියලා. මම ඉස්සර පැය ගනන් මිදුලේ වඩි වෙලා ඒක දිහා බලන් ඉන්න ඇති. ලිඳේ කාණුව කොහොඹ ගහේ මුලට හරවලා වැඩි දවසක් ගියේ නෑ ගහ මැරෙන්න ගත්තා. දන්න කෙනෙක් කිව්වේ කොහොඹ වලට වැඩිය වතුර හොඳ නැ කියලා. අපරාදෙ මතක් වෙද්දිත දුකයි. ඒ නැතත් අද වෙද්දි කොහොමත් ඒ ගහ එතන තියෙන එකක් නෑ. මගේ දැන් ගේ හදලා තියෙන්නේ ඒ ගහ තිබුන තැනත් වහගෙන. ඒක එක්ක බලද්දි මේක පොඩි පැලයක්. මෙයත් දවසක ඒ වගේ රටා මවයි. ඒත් ඒ රටා බලන්න මේ පර්චස් දහයේ ඉඩ මදි වෙයි.

හෙනයක් ගැහුවා වගේ පලාතම ඒකාලෝක වුනා. "ලයිට් ආවා" පුතා ගේ ඇතුලේ ප්‍රීතියෙන් උඩ පනිනවා ඇහුනා. මම නැගිටලා ගෙට ගිහින් ටීවී එක ඉස්සරහ තිබුන සෝෆා එකේ වාඩි වුනේ රිමෝර්ට් එක අතට ගන්න ගමන්.

ලියුවේ:
සෙන්නා / 01.04.2019


Wednesday, October 24, 2018

සීනු ගසන්නා.....

24.10.2018

දුක්පත්, අසරණ, එකැස් කාසිමොඩෝ කබලෙන් ලිපට ඇද දමමින් බිහිරකු කරවූයේ ඔහු බෙහෙවින් ඇලුම් කළ සීනූ බව නොත්‍රඩාම් කියවා ඇති පාඨකයන් දනී. නොදන්නා අය එය එසේ යැයි දත යුතුය. සීනු ගැසීම කරණ කොටගෙන එක් කනක් බිහිරි නොවී අනූනවයෙන් බේරුණු අයෙකු පිළිබඳ මම දන්නෙමි. එය අපූරු කථාවෙකි, මේ ඔහුගේ කතාවයි.



Image from : https://www.cartoonstock.com

අප පාසලේ අපූරු චාරිත්‍රයක් වීය. උදෑසන හතයි තිහට ආරම්භ වන පාසලට ළමුන් සහ ගුරුවරුන් එයට පෙර පැමිණීම කිසිසේත් විමතියකට කාරණයක් නොවන්නේය. එය එසේ විය යුතුය. එසේ පැමිණෙන සමහර ළමෝ ක්‍රීඩා පිටියට වැද සෙල්ලම් කරති, සමහරෙක් පන්ති සහ ඒ අවට මිදුල් පිරිසිදු කිරීමෙහි යෙදෙති. අයෙක් ආපන ශාලාවේය. සමහරු පිට්ටනිය වටා ඇති මහ විශාල මාර ගස් සෙවණෙහි අල්ලාප සල්ලාපයෙහිය. ඒ විශේෂයෙන්ම උසස් පෙළ ළමුන්ය.පිට්ටනියට වැද සෙල්ලම් කිරිමෙහි පුරුද්දක් ඔවුන් කෙරෙහි නොවෙති. පිරිසිදුවට, පිළිවෙළට සිටීම ඔවුන් මහත් සේ අගය කළහ. ඒ නව යව්වනයේ හැටිය. ගුරුවරුද විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙති. සමහරු ගුරු විවේකාගාරයට වැද උදැසන ආහාරය ගනිති. සමහරෙක් පාඩම් වලට සූදානම් වෙති. තවකෙක් පාසල වටා ගමන් කරමින් ළමෝ නිසි පරිදි පිරිසිදු කරන්නේදැයි සොයා බලති. මේ ආකාරයෙන් හතයි තිහට පෙර පාසල කඩි ගුලක් මෙන් කඩිසරය. කාර්යබහුලය.

මේ සියල්ලන් සිටි තන්හීම පාෂාණිභූත කරවනා විධානය එන්නේ මේ කඩිමුඩිය මැද්දෙන්ය. හරියටම උදෑසන හතයි තිහට වදිනා සීනුවට මුළු පාසලම එකවර ගල් ගැස්සෙන්නේය. පළමු සීනූ නාදයට සියල්ලන් තමන් සිටිනා ඉරියව්වෙන් නොසැලී සිටිය යුතුය. පන්දුව දමන්නා පන්දුව නිදහස් කිරීමට යන අවස්ථාවේ සීනුව වැදුණේනම් ඔහු ඒ ඉරියව්වේම නැවතිය යුතුය. පන්දුව පහර දෙන්නාටද එය පොදුය. අතුගාන්නා සිටින ඉරියව්වේන්ම සිටිය යුතුය. යමෙක් කුණු එකතු කිරීමට නැමුනේනම් ඔහු ඒ ඉරියව්වෙන්ම සිටිය යුතුය. පමාවී පැමිණ වැටෙන් පනින්නා එක් කකුලක් පාසල පැත්තට දාමාගෙන සිටීද ඔහු ඒ අයුරින්ම පාෂාණිභූත විය යුතුය. ඉතිරි කකුල ගැනීම පසුවය. මෙලෙස මුළු පාසලම එකම නිශ්චල පිළිම ගොඩක් බවට පත්වන්නේ විසූවියස් විසින් වසා දැමූ පොම්පේ නගරයෙන් මතුවූ මිනිස් රූ සිහි ගන්වමිනි. මෙම අපූරු නීතියට විදුහල්පතිවරයා පවා ගරු කළේය. අවනත වූයේය. යමෙක් එයට අවනත නොවේද හේ විදුහල්පතිවරයා ඉදිරියට පැමිණවීමේ වගකීම ඒ අසලම සිටින ශිෂ්‍ය නායකයා සතු වගකීමකි. නොසෙලෙන පිළිම ගොඩක් මැද, සැලෙන වුන් සොයා ගැනීම ඉතා පහසුය. විනාඩි භාගයකට හෝ  විනාඩියකට පසු ඊළඟ සීනුව වදින්නේය. ඒය නැවත සක්‍රීය වීමේ නිවේදනයයි. පන්දු දමන්නාට පන්දුව සම්පූර්ණ කිරීමට ඇති අවසරයයි.පන්දු යැවීම අත් හැර දැමීම ප්‍රායෝගික තත්ත්වයයි. වැටෙන් පනින්නාට අනෙක් කකුල පාසල දෙසට ගැනීමට ලැබෙන අවසරයි. කිනම් පාදය කුමණ පසෙකට ගන්නේ ද යන්න ඔහුගේම තීරණයයි. ළඟ පාත ශිෂ්‍ය නායකයෙක් වෙතොත්, වැටෙන් පනින්නා පිට්ටනිය පිරිසිඳු කිරීමේ දඬුවමට ලක්විම අනිවාර්යයයි. කුණු එකතු කිරීමට නැමුනේ හට නැවත කෙළින් වීමට අවසරයයි. ඉක්මනින් වැඩය අවසන් කළ යුතු බවට දෙන විධානයයි.

එයින් පසු ළමෝ පන්ති වශයෙන් උදෑසන රැස්වීමට පෙළ ගැසෙති. මෙහෙව් විස්මිත පෙළහර පාන සීනුව කෙරෙහි මාගේ වූයේ බිය මුසු ගෞරවයකි. එය අනෙක් ළමුන්ටද එසේම බව මම දනිමි. සීනුව ගැසීමට පත්කර ඇති ළමයා හැරුණු කළ, වෙන කිසිවකුට එය නාද කිරීම සපුරා තහනම්ය. මෙම නීතිය පාසලෙන් පසු කාලය සඳහාද අදාළය. යමෙක් එය නාද කර හසු වුවහොත් දඬුවම ඉතා දරුණුය. ඒවැනි දඬුවමක් වින්දෙකු පිළිබඳ ඇසීමටවත් නොතිබුණි. සියල්ලෝ ඒ තරමට එයට ගරු කළහ. අවනත වූහ. එහෙව් වූ සීනූ රාජයෙකු නාද කොට බැලීමෙහි යටපත් කළ අශාවක් මසිතෙහි කුඩා කළ පටන්ම තිබුණි. සීනු ගසන්නා කෙරෙහි ඊරිසියාව මුසු ගෞරවයක්ද විය. රිද්මයානූකූලව සීනුව නාදය කිරීම කලාවෙකි. ඔහු එහි පිකාසෝය.

කාලය ගලා ගියේය. අප උදෑසන පිට්ටනියට වැද සෙල්ලම් කරන්නන් ගේ ගොඩෙන් ගැලවී, ගස් යටට වී අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නන්ගේ ගොඩට එකතු කරමින් කාලය ගලා ගියේය. දැන් සීනු ගසන්නා අපගේ පන්ති සගයෙකි. මම කොතෙක් එයට ආශා කළද සීනූ ගැසීමෙහි වගකීම ලබා ගැනීමට මාහට නොහැකි විය. ඒ මා ශිෂ්‍ය නායකයකු නොවූ බැවිනි. ඇත්තෙන්ම එය සිත යට තැන්පත් වූ ආශාවක් මිස, වෙහෙස වී ලබා ගැනීමට තරම් උත්තේජනයක් ඇති කළ ආශාවක් නොවුණි. එසේ වූයේ නම් ඒ සඳහා උත්සහයක් යොදා බැලීමට අවස්ථා කොතෙකුත් තිබිණි.

"මචං මම එක දවසක් සීනුව ගහන්නද?" යයි කියා මා කිසි දිනෙක ඔහුගෙන් අසා නොමැත. ඒ, ඔහුට එය අන් අයෙකුට පැවරීමට අවසරයක් නොතිබූ බව මා හොඳින් දැන සිටි බැවිනි.

එදින ගුරුවරයෙකු නොමැති කාලපරිච්ඡේදයක් විය. අප සුපුරුදු පරිදි කයියක් දමාගෙන සිටියහ. සීනු ගසන්නා පන්තියෙහි නොවුවේය. ඔහු කුමක් හෝ වැදගත් කටයුත්තක යෙදී ඇතිවාට නිසැකය. කාලපරිච්ඡේදය අවසන් වීමට ආසන්නය. ඔහු කොහේ හෝ පැමිණ සීනුව ගසන බව අපට ස්ථීරය. සීනූ රාජයා අපගේ පන්තිය ඉදිරියෙහි වූ මාර ගසක හරස් අත්තක එල්ලී එහි දිවෙහි ගැට ගැසූ කඹ කැබැල්ල සුළගේ ලෙලවමින් සිටියේය. සිදු වූයේ අප නොසිතූවකි. කුඩා පන්තියක ළමයෙකු විදුහල්පතිවරයාගෙන් පණිවිඩයක් ‍රැගෙන ආවේය. එයින් කියවුණේ සීනූ ගසන්නා ගැලවිය නොහැකි විශේෂ රාජකාරියක යෙදී සිටිනා බැවින් කාලපරිච්ඡේදය අවසන් කිරීමේ සීනුව නාද කිරීමෙහි අවසරය අප පන්තියේ වූ වෙනත් ශිෂ්‍ය නායකයෙකුට පවරා ඇති බවය. එහෙත් ඔහු සැලෙන්නට විය. "අනේ මට ඕක ගහලා පුරුදු නෑ බන්, උඹ ගහපන්කෝ" යි ඔහු මගෙන් ඉල්ලීය. අගනා අවස්ථාවෙකි. ළමා කාලයේ සිට මුදුන් පත් කරගැනීමට බලාපොරොත්තුව සිටි ආශාවක් ඉෂ්ට කරගැනීමට මහගු අවස්ථාවෙකි. මම මදක් කල්පනා කෙළෙමි. ඊළඟ නිමේෂයේ මම සීනුව වෙත දිව යමින් සිටියෙමි. සුළගේ ලෙලෙනා කඹය අතට ගත්තෙමි. කඹයෙහි ගැට ගසා ඇති සිනූවේ දිව, කඹයෙන් ඇද සිනූ බ‍ඳෙහි වැද්දවිය යුතුය. එය රිද්මයානුකූලව කළ යුතුය, එවිට සීනූව ලතාවකට හඬ නගා කෑ ගසනු ඇත. එයයි ක්‍රමවේදය. එය අදිමින් සීනුව සුපුරුදු රිද්මයට නාද කරවීමට උත්සහ කෙළෙමි. අහෝ ඛේදයකි ! එය මා සිතු තරම් පහසු කටයුත්තක් නොවුණි. වෙනදා ඇසෙන රිද්මයානුකූල නාදය වෙනුවට, කඩින් කඩ ඇසුණු අමුතු සීනූ නාදයක් පාසලටම ඇසුණි. අවසර නැත්තෙකු තමන්ව නාද කරමින් සිටිනා බවට සීනූ රාජය මුළු පාසලටම ගතු කේලම් කීවේය. සමහරුන් පන්ති වලින් එබිකම් කරමින් සීනූව දෙස බලනවා මම දුටිමි. සර්පයෙකු අත්හරින්නක් මෙන් කඹය අතහැර දැමූ මා අඩියට දෙකට පන්තියට වැද ගත්තේය. පන්ති සගයන්ගේ සමච්චල් සහගත මුහුණු මේ දැනුත් මට මැවී පෙනේ. සිනූ ගැසීම සිතූ තරම් පහසු කටයුත්තක් නොවන බව මම පසක් කරගත්තෙමි. එය එතෙකින් අහවර යැයි මම සිතුවෙමි. එහෙත් එසේ නොවුණි.

ටිකකින් විදුහල්පතිවරයාගේ දූතයෙකු අප පන්තියේ පෙනී සිටියේය.

"දැන් සීනුව ගහපු කෙනාට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා." කිව්වා යන වචනය පිට වෙන විටත් ඌ පිටවී හමාරය. සීනුව ගහපන්යැයි මට යෝජන කළ සිසුවා මදෙස බැලිය. මා ඔහු දෙස බැලීය. අනෙක් හැමෝම අප දෙස බැලූහ. හද ගැස්මෙහි වේගය වැඩි විය. දඬුවම කුමක්දැයි අවිනිශ්චිතය.

මම විදුහල්පති වරයා ඉදිරියේ පෙනී සිටියෙමි. ඔහු සහ විනය භාර ගුරුතුමා, විදුහල්පතිවරයාගේ කාමරය අසල සිටගෙන සිටියෝය. දෙදෙනාම දිගු වේවැල් දරා සිටියහ.

"තමා කාගේ අවසරයක් පිටද සීනුව ගැහුවේ?" විදුහල්පති වරයා රකුස් මුහුණින් යුතුව ප්‍රශ්න කෙළේය.

"සර් මට අහවලා තමා ගහන්න කිව්වේ, එයාට ගහන්න දන්නෑ කියලා."

"අහවලා කිව්වොත් තමා ගගටත් පනිනවද?" යි යන්න සම්පූර්ණයෙන්ම ශ්‍රවණය නොවූයේ ඒ සමඟ පැමිණි විදුහල්පතිවරයගේ සුරත මාගේ වම් කණ වැරෙන් සිපගත් බැවින්, කණ ඇතුළෙහි සීනු නාද වීමට ආරම්භ වූ බැවිනි. හිසෙන් කොම්බු, කුරුල්ලන්, කො‍ටු, රවුම්, තරු පිටවූ බැවිනි. දරා ගැනිමට අපහසු වේදනාව දරා ගැනීමට මා වමතින් කණ වසා ගත්තේය.

" ආයේ කිසිම දවසක, කවුරු කිව්වත් සීනුව ගහලා අහුවෙන්න එපා. දැන් යනවා."

කණ ඇතුළේ අඛණ්ඩ සීනූ නාදයෙකි. මද වේලාවක් යන තුරු එම කණෙන් කිසිවක් නෑසී ගියේය. දරා ගැනීමට අපහසු දුකකි, වේදනාවෙකි, ලැජ්ජාවෙකි. ඒවා කඳුළු කැට බවට පෙරළී ශරීරයෙන් පිට වූ නමුදු අන් අයට නොපෙන්වීමට මම වගබලා ගතිමි. කණ බිහිරි වේයැයි මා බිය වුවද වාසනාවකට එවැන්නක් සිදු නොවුණි. මාගේ සීනු ගැසීමෙහි ආශාවද එයින්ම වියැකී ගියේය. 

ලියුවේ:
සෙන්නා / 24.10.2018

Saturday, September 29, 2018

මං ගත්තු ටික....

ඉවර වෙන්න දවසක් තියලා යන්තම් ප්‍රදර්ශනේට ඔළුව දාගත්තා. මේ තියෙන්නෙ මම ගත්තු ටික. තව ගොඩක් දේවල් ගන්න ඕනෑ කම තිබුනත් පර්ස් එක රවපු නිසා ලබන වාරෙට කල් දාලා හිත හදා ගත්තා..


"එදා හෙළ දිව" මට මතක විදිහට මම පොඩි කාලේ පුස්තකාලෙන් කියවපු පොතක්. මගේ පොත් එකතුවට ඕන නිසා ගත්තා. ආයෙ හිමීට කියවලා බලන්න ඕනා.


"වැනීසියේ වෙළෙන්දා" කතාව එහෙන්, මෙහෙන් අහලා තිබුනට මට කවදාවත් පිළිවෙළකට කියවන්න ලැබුන එකක් නෙමේ. මේකනම් සංක්ෂිප්ත අනුවර්තනයක් ද කොහෙද! ඇත්තටම මේක ගත්තේ පුතාට.


"බැද්දේගම" ත් කවදාවත් කියවන්න ලැබුන නැති පොතක්. එක නිසා අරගත්තා.


"සාරභූමි" ත් පොඩි කාලේ පුස්තකාලෙන් කියවපු එකක්. කුඹුරු වැඩ කරන චීන ගොවියෙක්ගේ කතාවක් කියලා ලාවට මතකයක් තියනවා. ආයෙ කියවන්න ඕනා. එක අතකින් කියවපු පොත් අමතක වෙන එකත් හොඳයි. ආයෙ ආයෙ කියවන්න පුළුවන්නේ එතකොට. හෙහ් හෙහ්..

"සැමීගේ කතාව" මට අලුත් පොතක්. මේකෙන් හදපු චිත්‍රපටියේ රඟපු ජගත් චමිලට සාම්මානයක් ලැබුනා මතකයි. ලඟදි සහභාගි වෙච්ච ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනකදි මේ පොත ගැන ප්‍රශ්නෙකුත් තිබුනා. ඒක නිසා ගන්න ඕනා කියලා හිතුනා.




"පිච්චමල" පොත් අටම දැනටමත් මා ගාව තියනවා. අර මගේ බහුබූත ගැටලුව විසඳපු "බුරතීනෝ" තමන්ට හිමි ත්‍යාගය කාට හරි  දෙන්න කියුවනේ. මේක ගත්තෙ ඒකට. මනුසත් දෙරණ සිපිරිගෙට පොතක් වැඩසටහනට දෙන්න කියලා. ඒත් කාලය හරස් වෙච්ච නිසා මට ඉක්මනට එන්න වුනා. දැන් මේක දෙන්න වෙන කෙනෙක්/තැනක් බලන්න ඕනා.













නිමන්සා ප්‍රකාශකයෝ චිත්‍රකතා පොත් සෙට් එකක්ම ගහලා තියනවා. ඔය තියෙන්නේ මම ගත්තු ටික. තව මහ හුඟක් තිබුනා. ආර්ථිකේ හරස් නොවුනනම් තව ටිකක් ගැන සළකලා බලන්න තිබුනා. ඒ ටික දැක්කම නිකං පරණ යාළුවො වගයක් දැක්කා වගේ හැඟීමක් ඇති වුනේ. හෙහ් හෙහ්..





උඩ තියන පොත් දෙක ගත්තේ පුතාට.

මේක නිමන්සා එකෙන් නොමිලේ දුන්නේ. සතුට පත්තරේනේ කියලා බොහොම ආසාවෙන් අරගෙන ඇවිත් බැලුවම තමා දුකක් දැනුනේ. අනුර ශ්‍රීනාත් මහජන බැංකුවට විකිණිලා තියන විදිහ දැකලා පොඩි දුකක් දැනුනා හිතට. ඒත් ඉතින් අපි බණ කිව්වට ඒ මිනිස්සුන්ට කන්න අදින්න දෙන්නේ නෑනේ. වරදක් කියනන් බෑ. 

මේ පත්තරේ තනිකරම තියෙන්නේ අනුර ශ්‍රීනාත් ඇඳපු, ලියපු කෙටි කතා. හැබැයි ඒ ඔක්කොම මහජන බැංකුවේ වෙළඳ දැන්වීම්.

ඊළගට තියන ලොකුම අභියෝගය පොත් අරන් ගිහින් ජීවිතේට ආපහු නොදෙන, ඒවා තමන්ගෙ පොත් වගේ වෙන වෙන අයට බෙදලා දෙන උන්ගෙන් මේවා පරිස්සම් කරගන්න එක.




ලියුවේ:
සෙන්නා / 29.09.2018


Monday, September 24, 2018

ස්වයංක්‍රීය ජල සැපයුම් මාරුකරනය (a DIY project)



24.09.2018


අපේ කුඩා කාලයේදී නිවසට ජලය සපය ගත්තු ප්‍රධාන මාර්ග දෙකක් තිබුණා. මාර්ග දෙකක් කිව්වට ඒ දෙයාකාරයක් ගත්තු එකම විදිහේ ජල සැපයුම් මාර්ග. ඒ, බොන ළිඳ සහ නාන ළිඳ. බොන ළිඳ විශාල ගැබුරකින් යුක්ත රවුම් හැඩයට නිර්මාණය කෙරිච්ච, දෙපැත්තෙන් කණු දෙකක් උඩට ගිහින් මැද්දෙන් බොලොක්කයක් සවි කෙරිච්ච, බාල්දියක් සහ කඹයක් සහිත සාම්ප්‍රදායික ළිඳක්. ගෙදර බීමට සහ ඉවුම් පිහුම් කටයුතු වෙනුවෙන් ජලය සම්පාදනය කරගන්නේ මේ ලි‍ඳෙන්. ලි‍ඳෙන් කළයට පුරව ගන්න වතුර තමා නිවසේ ප්‍රයෝජනයට ගන්නේ. ඉඳලා හිටලා වතුර බාල්දි හත අටක් ඇදලා ඇඟට හලා ගන්න එකත් මේ ලි‍ඳෙන් නොවුනාම නෙමේ. සිංහල අවුරුද්දට ගනු දෙනු කෙරුණෙත් මේ ළිඳත් එක්ක තමා.

එතකොට දෙවෙනි ළිඳ තමා නාන ළිඳ. එතරම් ගැඹුර නැති, වැසි කාලයට අතින් ගත්තු පනිට්‍ටුවෙන් කෙළින්ම වතුර ඇදල ගන්න පුළුවන්, නියං කාලයට වැඩිම වුණොත් මීටරයක් විතර කෙටි කඹ කෑල්ලක් ඕනෑ වෙන, හත‍රැස් හැඩයෙන් යුක්ත මේ ළිඳ පිහිටලා තිබුණේ වත්ත පල්ලෙහාට වෙන්න. නෑම සහ රෙදි සේදීම යන කටයුතු ඔක්කොම කෙරුණේ මේ ලි‍ඳෙන්. වතුර පනිට්‍ටු විස්සක්, තිහක් ඇඟේ හලාගෙන මේ ලි‍ඳෙන් නාපු නෑමේ තියන සනීපය, කාක්කො නානවා වගේ Bathroom Shower එකෙන් නාලා ජීවිතේට ලබන්න බැරි බව, ඒ වගේ ළිඳකින් නාපු/නාන අය හොඳටම දන්නවා ඇති.

කාලයාගේ අවැමෙන්, පුංචි ඉඩම් කට්ටි වලට කො‍ටු වුණාට පස්සේ ලිඳ කියන සංකල්පයට ආයුබොවන් කියලා, නිකන් ලැබුණු වතුර ටිකට සල්ලිත් ගෙවලා, ජල සම්පාදන මණ්ඩලයේ වතුර සැපයුම මත යැපෙන්න සිදු වෙලා තියෙන්නෙ දැන්.

මේ සැපයුමත් එකි නෙකා තම තමන්ගේ රුචියට ගැලපෙන පරිදි සකස් කරගන්නවා. සමහරු මණ්ඩලේ සැපයුමෙන් තමන්ගේ ටැංකියක් පුරවගන, එකෙන් තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නවා. මම පුද්ගලිකව ඔය ක්‍රමයට මනාප නෑ මොකද එතකොට වතුර පීඩනය බොහොම බාල වෙන නිසා. ඒක නිසා මගේ පුද්ගලික මනාපය මණ්ඩලේ සැපයුමෙන් කෙළින්ම නිවසේ පද්ධතියට ජලය ලබාගෙන භාවිතා කිරීමට. එතකොට ප්‍රායෝගික ගැටලුවක් මතු වෙනවා හදිසියෙවත් වතුර කැපුවොත්. ඒ වගේ වෙලාවලට අවශ්‍ය වෙන්න එහෙනම් වතුර ටැංකියක් පුරවගෙන ඉන්න ඕනා. ඕකෙ මම මුහුණ දීපු ප්‍රායෝගික ගැටලු කිහිපයක්ම තිබුණා.

1. සැපයුම මාරු කරන්න වුණාම, අවශය පරිදි Ball Valve එහාට මෙහාට සීරු මාරු කරන්න වෙනවා. සැපයුම විසන්ධි කරණ සෑම වාරයකම දෙපාරක් මේක කරන්න වෙනවා. ඒ, ප්‍රධාන සැපයුමෙන් ටැංකියට. ආයේ වතුර ආපුවම, ටැංකියෙන් ප්‍රධාන සැපයුමට ආදී වශයෙන්. කාන්තා පාර්ශවයට කොච්චර කියලා දුන්නත් ඕක ගැන එච්චර වැටහීමක් නෑ. හැමදාම කෝල් එකක් එනවා දවල් කාලයේ වතුර කැපීමක් සිදු වුණොත්. 

2. වතුර සැපයුම ආයෙත් ලැබිලද කියලා, වෑල් කරකවලාම බලන්න ඕනෑ වීම. සමහර වෙලාවට, කෙටි වෙලාවක් ඇතුළත ප්‍රධාන සැපයුම නැවත ලැබුණත්, අපි දිගටම ටැංකියේ වතුර පාවිච්චී කරනවා ඒ ගැන නොදැන. ටැංකියේ වතුර ඉවර වුණාම තමා බලන්නේ වතුර ඇවිල්ලද කියලා. 

3. සමහර වෙලාවට ආපහු ටැංකිය පුරව ගන්න අමතක වෙනවා. එතකොට ඊළඟ සැරේ වතුර කපපුවම තමා දන්නේ " ආ වතුර පුරවලා නෑනේ කියලා".

4. අනිත් කාරණය ටැංකියට පිරෙන වතුර ඉබේ නතර වෙන්න ක්‍රමයක් සකසලා තිබුණේ නෑ. ඉතින් වතුර පුරවන හැම වෙලාවකම ටැංකියෙන් වතුර ඉතිරිලා යනකම්ම ඉන්න ඕනා ටැංකිය පිරුණ බව දැන ගන්න. ටැංකියට සැපයුම කපා හරින කාලය වෙනකම් සැලකිය යුතු වතුර ප්‍රමාණයක් අපතේ යනව.

ඔය දුෂ්කරතා මග හරව ගන්න මම ගහපු සැලැස්ම තම ඔය උඩ පින්තූරේ තියෙන්නෙ. පහළ පින්තූරේ තියෙන්නේ ඒක ප්‍රායෝගිකව යථාර්ථයක් වෙච්ච් විදිහ තමා.

                       

මේ ක්‍රමයේදී ප්‍රධාන ජල සැපයුම ක්‍රියාත්මක අවස්ථාවේදී නිවසේ නල පද්ධතියට අවශ්‍ය කරණ වතුර ඒකෙන් කෙළින්ම ලැබෙනවා වගේම ටැංකිය අවශ්‍යය ප්‍රමාණයට පිරිලා නතර වෙනවා. ප්‍රධාන සැපයුම නතර වෙච්ච වහාම ටැංකියෙ සැපයුම ස්වයංක්‍රීයව ක්‍රියත්මක වෙලා නිවසේ පද්ධතියට අවශ්‍ය ජලය එයින් ලැබෙනවා. ආයෙත් ප්‍රධන සැපයුම සක්‍රිය වෙච්ච වහාම ටැංකියේ සැපයුම නතර වෙලා, ජල සැපයුම ප්‍රධාන පද්ධතිය භාර ගන්නවා වගේම ටැංකියත් අවශ්‍ය ප්‍රමාණයට පිරිලා නතර වෙනවා.

මේක තනිකරම මගේ සිතේ ඇඳිච්ච, මමම නිර්මාණය කරපු සැලැස්මක්. මම කියන්නැ මේ සැලැස්ම වෙන තැනක නැතිම වෙයි කියලා. මොකද මේක ජලනළ වැඩ පිළිබඳ හසළ දැනුමක් තියෙන කෙනෙකුට ඒ හැටි අරුමයක් හෝ අපූරු දෙයක් නොවෙන්න පුළුවන්. මම මුහුණදිපු ගැටලුවට මුහුණදීලා විසඳුමක් සොයන කෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි කියන අරමුණෙන් තමා මේ ලිපිය පළකරන්න හිතුවේ.

මේ ක්‍රමයේ මම දකින එකම දුර්වලතාවය යම් හෙයකින් ප්‍රධාන සැපයුමේ දීර්ඝකාලීන විසන්ධිවීමක් සිදු නොවුණොත් ටැංකියේ පිරිලා තියන ජලය භාවිතා නොවී පල්වීමකට ලක් වෙන්න තියන ඉඩ කඩ. කාට හරි විසඳුමක් තිබේනම් කියන්න කියලා ඉල්ලා සිටිනවා.

"කාලෙකින් වතුර කැපුවේ නෑ" කියලා තමා දැන් අපේ ගෙදර අය කියන්නේ.  😄😄😄😄😄😄😄😄

ලියුවේ;
සෙන්නා / 24.09.2018


Sunday, September 16, 2018

ආදරය සහ අකුරු..





ව යොවුන් වියේදී මල්සරාගේ හීසරයෙන් බේරෙන්න මටත් හම්බුනේ නෑ. තමන්ගේ පාඩුවේ පොතක් පතක් බලාගෙන හිටපු මටත් මේ යකා අර මලකඩකාච්ච දුන්නෙන් විද්දයි කියමුකෝ ඉතින්. ඊට පස්සේ වෙන සන්තෑසිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑයි?

උසස් පෙළ ආරම්බ කරපු මුල් අවදියේදී වුනු මේ හදිසි අනතුර නිසා හිතේ ඉතින් අමුතු අමුතු හැඟීම් පීදෙන්න ගත්තා. මට ඕනා කළා මේ හැඟීම් අකුරු කරන්න. ලේසී වැඩක් යෑ ඕක ඉතින්. කොහොම කොහොම හරි අකුරුවලට පෙරලගත්තා කියලා කියමුකෝ. මල මගුලයි දැන් ඕක අනිත් උන්ගෙන් ආරක්ෂාකර ගන්නත් එපැයි. හිතේ තියන ඒවනම් ඉතින් බැංකුවේ සේප්පුවේ දැම්මා වගේ තමා. හීනෙන් කියවන පුරුද්දකුත් නැති නිසා බයවෙන්න කාරණයක් තිබුනෙම නෑ. ඒත් අකුරු එහෙමයෑ.. ලංකාවේ සාක්ෂරතාවයත් වැඩියි කියලා ඒ කාලෙ විදුසර පත්තරේක කියලා තිබුනා මට මතකයි.

අපිට ඉතින් තමන්ටම වෙන් වෙච්ච කාමර, යතුරු සහිත මේස ලාච්චු, අල්මාරි තිබුනයි කියලා එකක්යැයි. අයියයි, මායි දෙන්නම හිටියේ එකම කාමරේ. බෙදාගෙන පාවිච්චි කළේ එකම මේසේ ලාච්චු දෙක. ඒවට ආයේ යතුරු තිබුනයි කියලයෑ. ඕනැම වෙලාවක අනිත් කෙනාගේ ලාච්චුවට හොට දැමීමේ හැකියාව සහ පූර්ණ බලතල තිබුනා. අනිත් එක ඉතින් අම්මලා තාත්තලත් තමන්ගේ තරුණ දූ පුතුන් ගැන අවධානෙන් තමා හිටියේ. නිතර නිතර පොත් පත් රහස් පරීක්ෂණයන්ට අහුවෙලා තියන බව මටනම් තේරිලා තිබුනේ.

ඉතින්, දැන් මොකද කරන්නේ. කුළුදුල් ආදර හැඟීම් අකුරු කරන්නත් ඕනා. ඒවා හංග ගන්නත් ඕන. හංග ගන්න තැනකුත් නෑ.

ආවා අදහසක්!

කාටවත් තේරුම් ගනන් බැරි භාෂාවකින් ලියුවොත් මොකද? හහ් ඔය තියෙන්නේ වැඩ. තවත් පරක්කු නොවී වහ වහාම හැදුවා අලුත් භාෂාවක්. ඒක හොඳට මතක තියාගත්තා, හෝඩිය ඉරලා විසිකරලා දැම්මා.

ඔන්න දැන් ටික ටික 93 ඩයරිය අලුත් අකුරු වලින් පිරෙන්න ගත්තා. ඒ ලියපු ඒවා දිහා වැඩිහිටියෙක් හැටියට අද ආපහු හැරිලා බලද්දි මටම හිනා ගියත් ඒවා එහෙම වෙන්න ඇහි නේද හැමෝටම.

කොහොමින් කොහොම හරි මම, මට ලියන්න ඕන ඒවා නිදහසේ කුරු‍ටු ගාලා, සිංහයා වගේ ඩයරිය මේසෙ උඩ තියලා ගියා. ආයේ මෙලෝ මල යකෙකුට ඕක කියවන්න බැරි එකේ බයවෙන්නේ අහවල් මගුලකටද?

තාත්තා දවසක් මේක දැකලා තමන්ගේ හිතවතුන් කීප දෙනෙක් එක්ක බොහොම ආඩම්බරෙන් කතාකරල තිබුනා කියලා ආරංචියි, තමන්ගේ පුතා මොකක්ද අමුතු බාසාවකින් ලියනවයි කියලා. ඒත් ඕක මේ ලෝකෙ මුල් වරට කරපු එකා මම නෙමේ කියලයි මට හිතෙන්නේ.

අද ඒ ඩයරිය කොහෙද කියලා හොයා ගන්න නෑ. තිබුනනම් ඒක ආයෙ කියවන එක බොහොම ආනන්ද ජනක වැඩක් වෙන්න තිබුනා. ඒ කොහොම වෙතත් අවුරුද්දක් පුරා ලියපු එකේ ප්‍රතිපළයක් හැටියට අදටත් මට ඒ අකුරු මතකයි.

ඔය උඩ තියන පින්තූරේ තියෙන්නේ ඒ බාසාවෙන් ලියපු වැකි දෙකක් තමා.

හොඳයි, දැන් රහස්පරික්ෂක කතා කියවලා Decoding වලින් ඔළුව කුරුවල් කරගෙන ඉන්න බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂයන්ට ඔන්න අභියෝගයක් තියනවා. මේක කරන්න බැරි වැඩක් නෙමේ. පුළුවන්නම් කියන්න ඔය උඩ පින්තූරේ ලියලා තියන වැකි දෙක මොකක්ද කියලා. හරිම උත්තරේ දෙන කෙනාට මේ සාහිත්‍ය මාසයේ තමන් නම් කරණ පොතක් ( හොයාගන්න  බැරි පොත් නම් කරන්න එපෝ. ) තෑගි ලැබීවි.

පුංචි ඉඟියක් දෙන්නම් වැඩේ ලේසි කරගන්න.

ඉඟිය : පුංචි ටාර්සන්ට එයාගෙ යාළු මකුණන්ව හඳුනගන්න ලැබුනා.

සෙන්නා / 16.09.2018

වහල්ලු..

 අගෝස්තු 21, 2024 "තොපි වහල්ලු"  කෑගසති සකසමින් පා බැඳි යදම් ! ලියුවේ: සෙන්නා / 21.08.2024

Search This Blog