Friday, November 9, 2012

සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ?

2012 ඉල් මස 09 වනදා

පෙර වදන :

කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපටයකි. Guns, Germs and Steel නමින් නම්වු මෙම චිත්‍රපටයට පදනම් වූයේ අප කතා නායකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයකින් පසු ලියවුණු Guns, Germs and steel යන පොතය. මෙම චිත්‍රපටය පිළිබඳව මට දැන ගැනීමට ලැබෙනුයේත් සිංහල බ්ලොග් අවකාශයෙන්මය. ඒ කතාව මෙසේය.

2011 නොවැම්බර මස 01 වන දින, ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ බ්ලොග් රචක, දිනේශ් දීපාල් විසින් ඔහුගේ සත් සමුදුර බ්ලොග් අඩවියේ "ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? " නමින් ලිපියක් පල කරයි. ලිපියෙහි අන්තර්ගත වූයේ අදාළ ටෙලි වෘතාන්තය ගැන ඔහුගේ අදහස් දැක්වීම හා ඒ ඔස්සේ යමින් යම්හෙයකින් යුරෝපීයන් අප රටට නොපැමිණියේ නම් අද තිබිය හැකි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමයි.

මෙම ලිපියට ප්‍රතිචාරයක් දක්වන අපගේ තවත් බ්ලොග් සහෘදයෙක් වූ චතුරංග පෙරේරා වෙතින් දිනේශ්ට හරි අපූරු ප්‍රශ්නයක් එල්ල වෙනවා. දිනේශ්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන චතුරංග අවසානයට යොමු කරන්නෙ " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? " යන ගැටලුවයි.

දිනේශ් විසින් ඒකට පිළිතුරු දෙන ආකාරය නිසා ගැටලුවේ අපූර්වත්වය තවත් වැඩිවෙනවා කියලයි මට හිතුණේ. පැනයට පිළිතුරු දෙන්න දිනේශ් විසින් අති දීර්ඝ ලිපි මාලාවක් අරඹන්නේ, එම පැනයට එක එල්ලෙ සරල ලෙස කෙටි පිළිතුරක් දිය නොහැකි නිසාම වෙන්න ඇති. 2011 නොවැම්බර් 09 වන දින " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? " යනුවෙන් දිනේශ් විසින් එම ලිපි මාලාව අරඹනවා.

ප්‍රශ්නෙ අහපු චතුරංග, ඊට පස්සෙත් ඒ ගැන වැඩිදුරටත් සොයන්න ඇති කියලා මට හිතුණෙ, දිනේශ්ගෙ මෙම ලිපියෙහි ඔහු පළ කරන මෙම ප්‍රතිචාරය නිසා. එතනින් දී තිබූ සබැඳියෙන් ගොස්, අඹ ගහ යට අඩවියේ, මාලන් විසින් මේ පිළිබඳ ලියා තිබූ අපූරු සටහන කියවීමෙන් පසුව තමා, මම මුල් වරට මෙම වාර්තා චිත්‍රපටය ගැන දැනුවත් වුයේ. මම ඒකට කොච්චර ආකර්ෂණය වුණාද කිව්වොත් ඒ මොහොතෙම ඒක බාගත කරගත්තා. මාලන් සහෘදයා විසින් ඒ පිළිබඳ සිය ලිපිය පළ කොට තිබූ අපූර්වත්වයත් ඒකට බලපාන්න ඇති.

දෙතුන් වතාවක්ම නැරඹීමෙන් පසු මෙම චිත්‍රපටය මගේ පරිගණකයේ දෘඪ තැටියේ කොනක් අල්ලන් වසරකට ආසන්න කාලයක නිද්‍රාවකට පත් වෙනවා. මෑතකදි පරිගණකයෙහි සිදු කල පරණ ගොනු සැකසීමකදි, මෙම චිත්‍රපටය දකින්න ලැබීමත් සමඟම, මට සිතුවිල්ලක් පහළ වෙනවා "මේකෙන් ලිපියක් ලියුවොත් කොහොමද ? " කියලා. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමා මෙම ලිපිය.

මේ ලිපිය කියවූ වහාම, ඔබ, ප්‍රශ්න ඇසීම හා පිළිතුරු සෙවීම පිළිබඳ ඉහත සිද්ධියෙහි හා ලිපියෙහි අතර හරි අපූරු ආසන්න සමානත්වයක් දකීවි.

මෙම ලිපිය සියයට සියයක්ම චිත්‍රපටයෙහි පරිවර්තනයක් නොවේ. ආශ්‍රිත වෙනත් ලිපි වලින් උකහා ගත් දැනුමත් මෙයට මුසු වී ඇත. එහෙත් ලිපියෙන් වැඩි ප්‍රමාණයකට පාදක වන්නෙ චිත්‍රපටයම වේ. මෙම කොටසෙහි පළ කොට ඇති ඡායාරූප, අදාළ චිත්‍රපටයෙන්ම හා මෙම සබැඳියෙන් උපුටා ගත් ඒවා වේ.

මේ ගැන දැනුවත් වීමට මග පිළිසකර කළ දිනේෂ් දීපාල් සහෘදයාටත්, චතුරංග පෙරේරා සහෘදයාටත්, මාලන් සහෘදයාටත් නොවක් තුති.

ලිපිය දිග වැඩි නිසාත්, දීර්ඝ ලිපි කියවීම වෙහෙසකර නිසාත්, කොටස් වශයෙන් පළවේවි. කෙටි කාලයක් ඇතුළත ලිපිය සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි.

ලිපිය සැකසීමට පහත් මෘදුකාංග වලින් ලද සහය අපමණයි. නොමිලේ එම සේවාවන් සපයන ඒවයෙහි හිමි කරුවන්ටත් ස්තූතියි !

මධුර ශබ්ද කෝෂය 
Cambridge ශබ්ද කෝෂය
සුබස අකුරු විනිස පිරික්සුව.
මාලින්ද යුනිකේත පරිවර්තකය



1

"සුදු ජාතිකයන් හෙවත් යුරෝපීයන් අන් ජාතීන්ට වඩා ධනයෙන්, බලයෙන් ආඪ්‍ය වී ඇත්තේ මන්ද ?" ඔබට මේ ගැන නිකමට හෝ දිනෙක සිතී තිබේද ? එයට බලපෑ හේතුව කුමක් විය හැකිද ? ඔවුනට වඩා දිගු ශිෂ්ටාචාරයකට හිමිකම් කී සමහර දියුණුයැයි සම්මත ජාතින් පවා ඔවුන් අබියස නිවට නියාළුව ගියේ කුමන හේතුවක් නිසාද ? මුළු ලොවම සිය අණසකට යටත් කරගෙන තමනට අභිමත පරිදි එය හැසිරවීමේ බලය ඔවුනට ලැබුණේ කුමන ශක්තියකින්ද ? ඒ පිටුපස වූ සැබෑම ශක්තිය කුමක්ද ?  කළු ජාතික නිව් ගිනියානු වැසියකුගෙන් එල්ල වූ, ඒ සම්බන්ධ පැනයකට ක්ෂණික පිළිතුරක් නොමැතිව අසරණ වූ සුදු ජාතිකයකු, එයට හේතුව සොයා කළ ගවේෂණයයි මේ.
~~~~~

Pro. Jared diamond

මහාචාර්ය Jared Diamondකැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මුලින්ම කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර ලැබූවෙකි. එහෙත් පරිසර අධ්‍යනයට වැඩි මනාපයක් හා නැබුරුවක් දැක්වූ ඔහු සිය දිවියේ නාඹර යෞවනයේදීම නිව් ගිනියා දූපත් බලා ගමන් කරන්නෙ ඒ සම්බන්ධ පරීක්ෂණ උදෙසාය. පසුව මානව පාරිසරික ක්‍රියා අධ්‍යනයට යොමුවන ඔහු, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්ම භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යය තනතුරකින්ද පිදුම් ලබයි. උක්ත විෂය පිළිබඳව හැරුණු කොට තවත් පොත් පත් කිහිපයක්ම ලියා පළ කළ, පිළිගත් විද්වතෙකි. සිය තරුණ වියේදී නිව් ගිනියානු වැසියකු අසන පැනයකට පිළිතුරු සොයා රටින් රට, දේශයෙන් දේශය ගමන් කරමින් සිය ජීවිතයෙන් වසර තිහක් පමණම ඒ සඳහා වැය කරනු ලැබූවෙකි.ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වූයේ පක්ෂීන් නිරීක්ෂණය හා අධ්‍යනයයි. වසර 26 දී මේ සඳහා නිව් ගිනියා වෙත පැමිණෙන මහාචාර්යය ජෙරඩ්, දුටු පළමු දසුනෙන්ම වෙන්කළ නොහැකි ලෙස එම පරිසරයට ආකර්ෂණය වේ. එයින් පසු ඔහු නිව් ගිනියා වෙත පැමිණි වාර ගණන, ගිණිය නොහැකි තරම්ය. එතරම්ම ඔහු එම පරිසරයට හා මිනිසුන්ට ඇලුම් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහු දැන් එම දිවයිනේ පක්ෂී චර්යා පිළිබඳ විශේෂඥයෙකි.

අදින් වසර හතළිහකට පමණ පෙර, මෙලෙස නිව් ගිනියා දූපත්හී කටයුතු කරමින් සිටිනා මහාචාර්යය ඩයමන්ඩ් හට, තමන් අවට සිටිනා මේ නිව් ගිනියානුවන් හා තමන් පිළිබඳව දෙවරක් සිතීමට සිදුවෙන, සිද්ධියකට මුහුණ දීමට සිදු විය.

"යාලි" යනු එවකට නිව් ගිනියානු දේශපාලඥයෙක් සහ තවත් වෘත්තීන් ගණනකම නියැලුණු ස්වදේශිකයෙකි. 1972 එක්තරා දිනක මහාචාර්ය ඩයමන්ඩ් මුහුදු වෙරළක ඇවිදිමින් සිටින විට අහම්බෙන් මෙන් මෙම දෛවෝපගත මිනිසාව මුණගැසුණේ අපූර්ව ගවේෂණයකට මංපෙත් විවර කරමිනි. ඔවුනතර කෙරුණු දීර්ඝ කතාවක් අතරතුරේ මහාචාර්ය ඩයමන්ඩ් හට පෙනුමෙන් සරල වූවත් එක එල්ලේ පිළිතුරු දිය නොහැකිවූ මෙම පැනය යාලිගෙන් එල්ල විය.

" Why, you white man have so much cargo ? and we New Guineans have so little ?"

"යාලිගේ පැනය මාව සම්පූර්ණයෙන්ම අසරණ කළා. බැලූ බැල්මට සරල හා පැහැදිලි පිළිතුරක් ඇති පැනයක් ලෙස පෙනී ගියත්, ඔහු ඒ පැනය යොමු කළ විට ඔහුට දිය යුතු පිළිතුර ගැන මට කිසිම අදහසක් තිබුණේ නෑ. මහාචාර්ය ඩයමන්ඩ්.

"Cargo" යන වදන නිව් ගිනියානුවන් භාවිතා කරනු ලැබුයේ බටහිරයන් විසින් සිය රටට ගෙන එන ලද නා නා ප්‍රකාර ආම්පන්න වලටය. සුදු මිනිසාගේ බලය පෙන්වන සංකේතයක් ලෙස මෙම ආම්පන්න සලකනු ලැබූ අතර එවාට දේවත්වයෙන් වන්දනාමාන කිරීමක්ද දක්නට ලැබුණි. යුරෝපීයන්ට අනුව, බලය යනු සිය ජන කොටස් වලට උපතින්ම හිමිව ඇති දායාදයකි. තමන් ස්වදේශිකයන්ට වඩා උපතින්ම සුපිරි ජාතියක් බව ඔවුන්ගේ හැඟීම විය. ඒ අනුව ඔවුන් නිව් ගිනියානුවන්ට වඩා බලසම්පන්න වීම අතිශය ස්වභාවික තත්ත්වයක් බව ඔවුන්ගේ විශ්වාසයයි.

ඒ ගැන සිය අදහස් දක්වන මහාචාර්ය ඩයමන්ඩ්...

" මගෙ අදහස අනුව, ජන වර්ග පදනම් කොටගෙන සිදු කරණ පැහැදිලිකිරීම් අර්ථ විරහිතයි. ඉතාමත්ම තීක්ෂණ නිව් ගිනියානුවන් බොහොමයක් මට මුණ ගැහිල තියනවා. ඔවුන් සතු හැකියාවන් මාව බොහෝවිට විස්මයට පත්කර තිබෙනවා. ඔවුනට, ඕනෑම දුෂ්කර පරිසර තත්ත්වයකට හිස් අතින්ම ගොස්, කෙටි වේලාවකින්ම සිය පැවැත්ම තහවුරු කරගැනීමේ අපූරු හැකීයාවක් තියෙනවා. මට නම් කොහෙන් පටන් ගන්නද කියලවත් හිතා ගන්ඩ බැරි තරම්. ඇත්තෙන්ම මෙවැනි පරිසර තත්ත්වයක් තුළ ඔවුන්ගේ සහයෝගය නැත්නම් මම අන්ත අසරණයි. ඒත්, ඇයි මේ දක්ෂයන් ඉතාම සුළු උපකරණ කිහිපයක් පමණක් නිපදවා තිබෙන්නෙ? ඇයි ඔවුන් අතී නවීන නගර ඉඳි කොට නැත්තේ ? කොටින්ම නූතන ශිෂ්ටාරගතවීමේ දක්නට ඇති කිසිඳු ලක්ෂණයක් ඔවුන් කෙරෙන් විද්‍යාමාන නොවන්නේ මන්ද ? අනෙක් අතින් ඇමෙරිකා එක්සත් ජනපදය, මිහිමත ඇති බෙහෙවින්ම ධනවත් හා බලගතු රාජ්‍යය. එය බොහොමයක් වූ නිව් ගිනියානුවන්ට හිතා ගැනීමටවත් අපහසු තරමේ ආම්පන්න තොගයකින් පිරී පවතී. ඒ ඇයි ? යාලිට පිළිතුරු අවැසි පැනය මෙයයි. ලෝකයේ මෙතරම්ම විෂමතාවයක් දක්නට ඇත්තේ මන්ද ? "  මහාචාර්ය ඩයමන්ඩ්.

යාලිගේ පැනය මුලින් පෙනුනාට වඩා විශාල සහ සංකීර්ණ එකක් බව මහාචාර්ය ඩයමන්ඩ් හට කල් නොයවාම අවබෝධ විය. එය මානව ඉතිහාසයේ ආරම්භය තරම් ඇතට දිවෙනා ගැටලුවකි. සත්‍යවශයෙන්ම  එය විෂමතාවයේ මූලයන් පිළිබඳවූ ගැටලුවකි.

" අතීතයේ සිටම සමහර ජන සමාජ අනෙක්වාට වඩා ශීඝ්‍ර දියුණුවක් පෙන්වීමට බලපෑ හේතුව කුමක්ද ? ලෝකයේ එවකට පැවති බොහොමයක් ජන සමාජ දිවි ගැටගසා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙන විට, ඊජිප්තුව අහස සූරන පිරමීඩ තැනුවේ කෙසේද ? ග්‍රීක් වරුන්, රෝමන් වරුන් හෝ මායා වරුන් එවකට පැවති දියුණුම ශිෂ්ටාචාර ගොඩ නැගුවේ කෙසේද ? මේ සෑම සමාජයක පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා. දියුණු තාක්ෂණය, විශාල ජනගහනය සහ හොඳින් සංවිධානයවූ ශ්‍රම බලකාය යන සාධක ලින් ඔවුන් සමන්විත වෙලා හිටියෙ. මෙම සාධකවල පැවැත්මෙහි ආරම්භය ගැන අවබෝධයක් ලබා ගතහොත් ඊලඟට සමහර ශිෂ්ටාචාර ඉතිහාස ගමනේදී අනෙක්වාට වඩා වේගයෙන් ඉදිරියට යෑමට බලපෑ හේතුවසොයා ගැනීමත් අවශ්‍යය වෙනවා." - මහාචාර්ය ඩයමන්ඩ්.

මහාචාර්ය ඩයමන්ඩ්, තිබීම සහ නොතිබීම යනුවෙන් ලෝකයේ පවතින බේදීම ගවේෂණය කිරීම අරඹමින් මෙම සුවිශාල කර්තව්‍යයට මුල පිරීය. ඉතිහාසඥයෙක් නොවූ විද්‍යඥයාට එය විශාල අභියෝගයක් විය. මානව ඉතිහාසයේ විශාලම ගැටලුව ඔහු විසින් විසඳන අයුරු අප ඉවසිල්ලේ බලාසිටිමු.

විවිධ ජන සමාජ අතර පවත්නා විෂමතාවය තෙරුම්ගැනීමට මහාචර්යය ඩයමන්ඩ් හට මානව ඉතිහාසයේ වසර දහස් ගණනක් පසු පසට යාමට සිදු විය. මිනිසුන් ලෝකය පුරාම බොහෝදුරට එකම තත්ත්වයන් යටතේ දිවි ගෙවුවේ යැයි සැලකිය හැකි තරම්, එක් එක් ජන සමාජයන් අතර විෂමතාවයක් නොව්නේ යැයි සැලකිය හැකි තරම් ඈත අතීතයට යාමට ඔහුට සිදුවිය. එය මුල්ම ශිෂ්ටාචාරගතවීමටත් පෙර අතීතයයි.

වසර 13000 කට පෙර, අවසාන හිම යුගය අවසන් වෙමින් පැවති කාලයයි. පෘතුවිය උණුසුම් සහ තෙත් ගතිය ඇති ස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පැවතිණි. මානව ක්‍රියාකරකම් දියුණු වෙමින් පැවති එක් ප්‍රදේශයක් වූයේ මැද පෙරදිග කලාපයයි. එකල මැදපෙරදිග යනු දැන් මෙන් කාන්තාරවලින් ගහන ප්‍රදේශයක් නොවුණි. එය බොහෝ වනාන්තර, ශාක සහ පැළෑටි වලින් ගහන විය. එහි විසූ මිනිසුන් එවකට ලොව ඕනෑම තැනක විසූ මිනිසුන් මෙන් වූහ. ඔවුන් දඩයමින් දිවිගෙවූ, කුඩා ජංගම කණ්ඩායම්ය. ඔවුන් නිතරම තැනින් තැනට ගමන් කරමින් විසූහ. යහමින් දඩයම් හෝ පල වැල සපයා ගත හැකි ස්ථානයක් හමුවූ විට තාවකාලික වාසස්ථානයක් අටවාගන එහි දිවි ගෙවූහ. එක් ස්ථානයක ඔවුන් සති කිහිපයකට වඩා දිවි නොගෙවූ අතර සෘතු වෙනස් වන විට, සතුන් වෙන ස්ථාන වලට සංක්‍රමණය වනවිට, ඔවුන්ද ඒ සමඟම විතැන් වූහ.

වර්තමානයේත් දඩයමින් දිවි ගෙවීම දැකිය හැකි සීමිත ස්ථාන කිහිපයෙන් එකක් වනුයේ පැපුවා නිව් ගිනියානු වැසි වනාන්තරයි. මහාචාර්ය ඩයමන්ඩ් පවසන පරිදි, පුරා විද්‍යා පොත්පත් වලින් මෙම ජීවන ශෛලිය පිළිබඳව කියවනවාට වඩා, මීට වසර 13000 කට පමණ පෙර මිනිසුන් දඩයමින් දිවිගෙවූ අන්දම සියැසින්ම දැක අත්විදීමට තරම් ඔහු මේ නිසා වාසනාවන්ත වී ඇත.

සතකු එලා ගැනීමට, දක්ෂකම, සුක්ෂම බව යනාදි ලක්ෂණවලට අමතරව සියගණක් වූ සත්ත්ව විශේෂ පිළිබඳව විශ්වකෝෂීය දැනුමක් තිබීම අත්‍යවශය කාරණයක් වේ. දඩයක්කරුවකු වීමටනම් සුවිශේෂී දක්ෂයෙක් විය යුතුමය. වසර 13000 කට පෙර විසූ මානවයාටත් එම කරුණු එලෙසින්ම පොදුය. දඩයමෙහි ඇති මූලිකම දුර්වලතාවයනම් එයට යොදවන කාලය හා බලන විට එතරම් ප්‍රතිඵලදායක නොවීමයි. සතකු එලා ගැනීම වෙනුවෙන් බොහෝකාලයක් වැය කොට අවසානයේ දඩයම් කරගන්නා ගොදුර ප්‍රමාණවත් නොවීම බොහෝ විට සිදු වන්නකි. එමෙන්ම දුන්නයි ඊතලයයි භාවිතා කරමින් කළ දඩයමෙහි කිසිඳු නිශ්චිතතාවයක් නොවුණි.

දඩයමෙහි වූ මෙම අවිනිශ්චිතතාවය නිසාම, සාම්ප්‍රදායික ජනසමාජ පළ වැල ආදිය රැස් කිරීම කෙරෙහි උනන්දු විය. මහචාර්ය ඩයමන්ඩ් අධ්‍යනයෙහි යෙදෙන නිව් ගිනියාහී මෙම කලාපයේ මෙම කාර්යය ප්‍රධාන වශයෙන් කතුන්ගේ අතින් සිදු විය. ප්‍රධානම ආහාර ප්‍රභවයක් වූයේ සව්හාල්ය. ( SAGO ) දඩයමට සාපේක්ෂව මෙය ප්‍රතිඵලදායක වුවද, ඒ සඳහාද නොමද වෙහෙසක් දැරිය යුතුව තිබුණි. අවසානයේ ලබන ඵලය වෙහෙසට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන අතර සව්හාල් කල් තබා ගැනීමද එතරම් පහසු කටයුත්තක් නොවුණි. එමෙන්ම සව්හාල් ගසකින් ලබා ගත හැක්කේ රාත්තල් හැට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් පමණී. එයද දින තුන හතරක වෙහෙසකින් පසු වූ අතර එතරම් ඵලදායී ප්‍රෝටීන් ප්‍රභවයක්ද නොවුණි. එහෙත් එම කලාපයේ නිව් ගිනියානු වැසියනට පරිසරයෙන් ලබාගත හැකිවූ වෙනත් ප්‍රතිඵලදායක ආහාර ප්‍රභවයක්ද නොතිබුණි.

වසර 13000 කට පෙර මැද පෙරදිග කලාපයේ ආහාර එකතු කිරීමේ ක්‍රමවේදය වෙනස්ම ස්වභාවයක් ඉසිලීය. ඔවුන්, ගස් අතර වැවී තිබූ තෘණ වර්ග වූ බාර්ලි සහ තිරිඟු එකතු කොට ආහාරයට ගැනීමට හුරුවී සිටියහ. ඒවා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සව්හාල් වලට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් පසු විය. මෙම සරල තෘණ දෙවර්ගය මානවයා වර්තමාන ශිෂ්ටාචාරගතවීම දක්වා ආ මාර්ගයේ දිශානතිය සකස් කිරීමේහීලා විශාල මෙහෙවරක් සිදු කොට තිබුණි.

වසර 12500 කට පමණ පෙර පෘථුවියෙහි දේශගුණය හදිසියේම නැවතත් වෙනස් විය. හිම යුගයේ  පරිසර තත්ත්වයන් නැවතත් ඇතිවීම හේතුකොටගෙන පෘතුවිය නැවතත් වියළි,සීතල ස්ථානයක් බවට හැරෙමින් තිබුනි. මැදපෙරදිග කලාපය දරුණු දේශගුණික ව්‍යසනයකට ලක්වූ අතර සතුන් සහ ගහ කොළ විනාශ වී ගියහ. මැදපෙරදිග, කාන්තාර බවට හැරවූ මෙම නියඟය, වසර 1000 ක් පමණ පැවතුණි. කලාපයෙහි විසූ මිනිසුන්ට නව නව ස්ථාන හා ආහාර ප්‍රභවයන් සොයා යාමට සිදු වුවද මෙම තත්ත්වයන් යටතේත් ඔවුන් සිය පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වූහ. මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයෙහි නව ජීවන ශෛලියකට මූල පිරූ අතර එය ලෝකයෙහි අනාගත මුහුණුවර වෙනස් කිරීමට සමත් විය.

මහාචාර්ය  Ian Kuijt, මැදපෙරදිග ශිලා යුගය පිළිබඳ විශේෂඥ පුරා විද්‍යාඥයකි. ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජෝර්දාන් නිම්නයේ කළ පුරා විද්‍යා කැණීමකින් එක් සුවිශේෂී සාධකයක් මතුකර ගත්හ. ඒ වසර දහස් ගණනක් පැරණි ගම්මානයක ඉපැරණි සුන්බුන්ය. කාල නිර්ණ කාබන් පරීක්ෂණ මගින් හෙළිවූයේ මෙම ගම්මානය මින් වසර 11500 ක් පමණ පැරණි ඉතිහාසයකට හිමිකම් කී එකක් බවයි. එය මිහිමත බිහිවූ මුල්ම ගම්මාන වලින් එකකි. එය මිනිසුන් හතළිහක් හෝ පනහකින් පමණ සැදුම් ලත් වූ ගම්මානයක් විය හැකි බව  මහාචාර්ය  Ian Kuijt  ඇතුළු පුරා විද්‍යඥයින්ගේ මතයයි.

"එතරම් දුෂ්කර කාලයක, මුළු ගම්මානයටම ආහාර සැපයීම කෙසේනම් සිදු වන්නට ඇත්ද ?"

සිව් වසරක් තිස්සෙ ඔවුන් කළ පරික්ෂණ වලින් පසුව, මෙම පැනයට පිළිතුරයැයි අනුමාන කළ හැකි සොයා ගැනීමක් කළහ. එය, මැටි බිත්ති වලින් නිර්මිත ඕවලාකාර හැඩයකින් යුතු ව්‍යවහයකි. මහාචාර්ය  Ian Kuijt ඇතුළු පිරිස විශ්වාසකරන පරිදි මෙය ධාන්‍ය රැස්කිරීමට යොදාගත් ධාන්‍ය බිස්සකි. එය ලෝකයේ මුල්ම ධාන්‍ය බිස්සක් විය හැකි බවට ඔවුන්ගේ විශ්වාසයයි. මූලික වශයෙන්ම තිරිඟු, බාර්ලි ගබඩාකිරීමට මෙය යොදා ගෙන තිබිණ. එහෙත්, එසේ රැස්කිරීමට තරම් ධාන්‍ය ඔවුනට ලැබුණේ කෙසේද ? මෙයට පිළිතුර මානව ඉතිහාසයේ එක් විප්ලවකාරී නැම්මක් පෙන්නුම් කරයි. මැදපෙරදිග දරුණු නියගය පැවතුණු අවදියෙහි,  දඩයමට හා ආහාර රැස්කිරීමට වූ අපහසුතාවය නිසාම, මිනිසා, තමන් විසින්ම ධාන්‍ය වගාකිරීමට යොමුවීමක් දක්නට ඇත. දඩයම් හෝ ආහාර සොයමින් තැනින් තැනට යාම වෙනුවට, ඔවුන් විසින් සොයාගත හැකිවූ ජල ප්‍රභවයක් අසල ස්ථානගතවීමෙන් අනතුරුව බීජ වපුරා අස්වැන්න ලබා ගැනීමට යොමු වූහ. බාර්ලි සහ තිරිඟු ප්‍රධාන වශයෙන් මෙලෙස අස්වැද්දූ ධාන්‍ය විය. මෙලෙස, ශිලා යුගයේදී, මැද පෙරදිග විසූ මිනිසුන් ගොවියන් බවට පත්ව තිබුණි. ලොව මුල්ම ගොවියන් වීමේ ගෞරවය ඔවුනට හිමිය.

මිනිසුන් ගොවිතැනට යොමුවීම සැබවින්ම මානව ඉතිහාසයේ පැහැදිලි හැරවීම් ලක්ෂයකි. දඩයමේ හෝ පල වැල එකතු කෙරීමෙහි යෙදුණු මිනිසුන්ට ගොවිතැනෙන් ලද සාර්ථකත්ත්වය කිසිකලෙකවත් ලැබිය නොහැකි විය. ගොවිතැනට සාපේක්ෂව සෑම කල්හීම දඩයමෙහි පැහැදිලි අවාසි දක්නට වූහ.

දැන් මහාචාර්ය ඩයමන්ඩ්ගේ උත්සහාය ලොව, මිනිසුන් ගොවියන් බවට පත්වූ වෙනත් ස්ථාන හඳුනා ගැනීමයි. ගොවිතැනෙහි පැතිරීම සහ ශිෂ්ටාචාරගතවීම පැතිරීම අතර ඇති සබඳතා හඳුනාගත හැකිනම් යාලිගේ පැනයට දිය හැකි පිළිතුරට තමන් ළඟාවෙමින් සිටින බව ඔහුගේ විශ්වාසයයි.

අතීත ලෝකයෙහි, ගොවිතැන ස්වාධීනව වැඩි වර්ධනය කරගත් ප්‍රදේශ කිහිපයක් හඳුනා ගත හැකිය. මැදපෙරදිගට සමකාලීනව චීනය විසින් තවත් එවැනිම ධාන්‍ය වර්ගයක් වූ සහල් වගාකිරීම ඇරඹූහ. පසුව ඇමෙරිකා මහද්වීපයේ සහ අප්‍රිකා මහද්වීපයෙහිද තම භූමියට ආවේණික වූ ධාන්‍ය හෝ ආහාර වර්ග වගා කිරීම අරඹා තිබුණි. මෙලෙස වගා කිරීම ඇරඹු සෑම සමාජයකම වාගේ සාපේක්ෂව දියුණු ශිෂ්ටාචාර ගතවීමක් දක්නට තිබුණි. මෙයට ව්‍යතිරේකයන් නොතිබුණාත් නොවේ. සමහර ප්‍රදේශ අතීතයේ සිට වගා කිරීම දක්නට තිබුණද, අනෙකුත් වගාකිරීම් ඇරඹූ ප්‍රදේශ වලට සාපේක්ෂ දියුණුවක් දක්නට නොවුණි. නිව් ගිනියානු උස් බිම මෙයට උදාහරණයකි. මෙහි දක්නට ඇති වගා කිරීමේ ක්‍රමවේදය ලොවෙහි පැරණිම වගා ක්‍රම වලින් එකක් ලෙස පිළිගැනේ. එලෙසම නිව් ගිනියානු වැසියන් මින් වසර 10000ක් තරම් ඈත කාලයේ සිටම වගා කිරීමෙහි යෙදී සිටින්නට ඇති බවත් පුරා විද්‍යාඥයන් විශ්වාසය පළකරති. එය මැද පෙරදිග වගා කිරීම ඇරඹි කාලයෙන් එතරම්ම දුරස් නොවූ කාලයකි.

" මේ නිව් ගිනියානු මිනිසුන්, යාලිගේ මිනිසුන්, ලොව මුල්ම ගොවියන්ගෙන් කොටසක් බව දැනගන්නට ලැබීම සැබවින්ම විස්මය දනවන කාරණයක්. ඔවුන්ට එතරම් පැරණි කෘෂිකාර්මික ඉතිහාසයක් ඇතත්, මැද පෙරදිග හෝ චීනයේ හෝ මධ්‍යම ඇමෙරිකාවෙ ගොවියන් අතර දක්නට වූ ශිෂ්ටාරගත වීමක් මේ නිව් ගිනියානු සමාජයේ දක්නට නැත්තෙ මන්ද ? ඔවුන් තමන් විසින්ම නිපදවන ලද ආම්පන්න සංඛ්‍යාව මෙතරම් සීමිත මන්ද ? අනිවාර්යයෙන්ම නිව් ගිනි ගොවියන් කිසිසේත්ම අඩු හැකියාවන්ගෙන් සමන්විත වූ පිරිසක් නොවන බව සහතිකය. එසේනම් වෙනස ඇත්තේ කොහිද ? පිළිතුර රඳා ඇත්තේ වගාකරන බෝග වර්ගය මත බව පෙනෙන්නට තිබේ.  නිව් ගිනියානු උස් බිම වල වගා කෙරුණ බෝග, තිරිඟු හෝ බාර්ලි මෙන් නිරායාසයෙන් අස්වැද්දවිය නොහැකි වූ එකින් එක සිටවිය යුතු අල වර්ග වේ. ඒ වගේම ඒවා කල්තබා ගැනීම අතින්ද තිරිඟු වලට සාපේක්ෂව දුර්වල බෝග වේ. මෙම බෝග, තිරිඟු වලට සපේක්ෂව අඩු ප්‍රෝටීන් ප්‍රාමාණයකින් සමන්විත බැවින් නිව් ගිනියානු වැසියන් තිරිඟු භාවිතයට ගත් මැද පෙරදිග වැසියනට වඩා ප්‍රෝටීන් ඌනතාවයනට ලක් වීමක් දකින්නට ඇත. නිව් ගිනියානු අනෙකුත් බෝගද ඔවුනට සැලකියයුතු තරම් ප්‍රෝටීන් ලබා දීමට සමත් නොවේ. මහාචාර්ය ඩයමන්ඩ්.

මහාචාර්ය ඩයමන්ඩ්, කෙමෙන් කෙමෙන් යාලිගේ පැනයට අවැසි පිළිතුර කරා ළඟාවෙමින් සිටියේය. මේ දක්වා කළ පරීක්ෂණ වලින්, මිනිසාගේ ගොවිතැනට යොමුවීම යන සාධකය මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක නැම්මක් ඇති කිරීමට සමත්ව ඇති බව ඔහු විසින් අවබෝධ කොටගෙන තිබුණි. වගා කරණ භෝගය කුමක්ද යන වග සමාජයන් අතර අසමානාත්මතාවයක් ඇතිවීම කෙරෙහි අතිශයින්ම තීරණාත්මක සාධකයක් වී ඇති බව මහාචාර්යය ඩයමන්ඩ් හට අවබෝධ විය. ඉතා පෝෂ්‍යදායී, ඵලදායක භෝගයන් වගා කිරීමට සමත්වූ ජන සමාජයන්, ඉතා සාර්ථක ගොවියන් වී තිබිණි. අවසාන වශයෙන්, එය භූගෝලීය වාසිය මත තීරණය වූ සාධකයක් බවට මහාචාර්යය වරයාගේ තීරණය විය.

ආහාරයට ගන්නා භෝග වර්ගය අනුව ලොවෙහි පවත්නා අසමානතාවය හට ගන්නා බව පැවසීම අභියෝගාත්මක අදහසකි. මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව ඇමෙරිකානුවන් නිව් ගිනියානුවන්ට වඩා ඉදිරියෙන් පසු වන්නේ ඔවුන් සිය වස් ගනනක් පුරා වඩා පෝශ්‍යදායි, ඵලදායක තිරිඟු අනුභව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. තිරිඟු වලින්, නිව් ගිනියාවේදී ලැබෙන අල වර්ගයක් හෝ කෙසෙල් වර්ගයකින් ලබනවාට වඩා වැඩි පෝශ්‍යගුණයක් ලැබිය හැකිය. තිරිඟු නොවන්නට නූතන ඇමෙරිකාවේ සෞභාග්‍යය සිහිනයක් පමණක් විය හැකිව තිබූ අතර කිසි කලෙකවත් කෙසෙල් හෝ අල වර්ග මත එම තත්ත්වයට පත් විය නොහැකි බව මහාචාර්යය ඩයමන්ඩ්ගේ මතයයි.

ලොව පුරා ජන සමාජ අතර මෙතරම් පැහැදිලි විෂමතාවයක් හා මානව ශිෂ්ටාචාරයේ දිශානතියේ පැහැදිලි වෙනසක් පැලෑටියක ඵලයකින් පමණක්ම සිදුවිය හැකිද ? එසේ නැත්නම් එයට බලපෑ තවත් හේතුවක් තිබුනේද ? ලොවෙහි, තිබීම සහ නොතිබීම අතර වෙනස පැහැදිලි කිරීමට මහාචාර්යය ඩයමන්ඩ් තවත් හේතුවක් ඉදිරිපත් කරයි.

වසර 9000 කට පමණ පෙර ලොව මුල්ම ජනාවාස පිහිටුවාගතේයැයි විශ්වාස කළ හැකි මැද පෙරදිග මිනිසුන් මේ වන විට තමන්ට අවශ්‍ය ආහාර බෝග වාගා කොටගෙන ජීවත්වීමට හොඳින් හුරුවී සිටියහ. මේ වන විට ඔවුන් ධාන්‍ය වලට අමතරව වෙනත් ආහාර ප්‍රභවයක්ද සපයාගෙන තිබුණි.

හීලෑ කළ සතුන් !

දඩයමින් දිවිගෙවීම ඇරඹු මිනිසාට, සත්ව මාංශ ආහාරයට ගැනීම අරුමයක් නොවන බව පැහැදිලිය. එහෙත් සතුන් හීලෑ කොටගෙන අවශ්‍ය විටක මස් පිණිස භාවිතා කිරීම, දඩයම් කිරීම මෙන් අවිනිශ්චිත කාර්යයක් නොවුණි. මසට අමතරව ඔවුන්ගෙන් කිරි, සම් සහ ලෝම වැනි අනිකුත් ප්‍රයෝජන ලබන ආකාරයද මිනිසා විසින් කෙටි කලෙකින්ම හඳුනා ගන්නා ලදී. ගොවිතැනින් ශේෂ වූ පිදුරු වැනිදෑ සත්ත්ව ආහාර වශයෙන් යොදා ගත හැකි වීමත්, සත්ත්ව මල, මුත්‍රා ගොවිතැනට පොහොර වශයෙන් යොදාගත හැකි වීමත් මේ නිසා ඇතිවූ අන්‍යෝන්‍ය වාසි සහගත තත්ත්වයන් වූහ. මෙමගින් වගාව මෙන්ම සතුන්ද ප්‍රයෝජන ලැබූ අතර, අනිවාර්යයෙන්ම අවසාන ප්‍රායෝජනය මිනිසා සතු විය.

එළුවන් සහ බැටළුවන්, පුරාණ ලෝකයේ මුලින්ම හීලෑ කිරීමට ලක්වූ සතුන් දෙවර්ගය වේ. ක්‍රමක්‍රමයෙන් අද භාවිතයට ගන්නා විශාල සතුන් දක්වා එය වැඩි වර්ධනය විය. මේ සෑම සතෙකුම මුලින්ම මස් පිණිස භාවිතා කළද, වෙනත් අමතර ප්‍රයෝජන ගත හැකි බවද පසුව ප්‍රත්‍යක්ෂ විය. විශේෂයෙන්ම නගුල සොයා ගැනීමත් සමඟම . මෙමගින් මිනිසාට වැඩි අස්වැන්නක් ලැබීම හේතු කොටගෙන වැඩි ප්‍රමාණයකට ආහාර සැපයීමේ හැකියාව ලැබුණි.

නිව් ගිනියාවේ හෝ ලොවෙහි බොහොමයක් වූ අනෙකුත් ප්‍රදේශ වල ගොවිතැන සඳහා නගුල භාවිතා කොට නොතිබුණි. හේතුව, ඔවුනට එය ඇදීම සඳහා යෝග්‍ය වූ සතුන් නොමැති වීමයි. වර්තමානයේද නිව් ගිනිහී විශාලම ගෘහාශ්‍රිත සත්ත්වයා වන්නේ ඌරාය. එහෙත් යුරෝපය ආශ්‍රිත සමාජයේ හරකුන්, අශ්වයන්, බැටළුවන් ආදී විශාල විවිධත්ත්වයකින් යුතු සත්ත්ව ගහණයක් සිටි අතර මිනිසා විසින් ඔවුන්ව හීලෑ කොටගෙන නා නා ප්‍රකාර ප්‍රයෝජන ලබා ගෙන, ලබා ගනිමින් සිටිති. ඌරන්ගෙන් මස් ලබාගත හැකි වුවද අනෙකුත් සතුන්ගෙන් ලැබිය හැකි වූ බහුවිධ ප්‍රයෝජන ලැබිය නොහැකි විය. ප්‍රධානම අවාසි සහගත කාරණය වූයේ ඌරන්ගෙන් බාහු බලය ලබා ගත නොහැකි වීමයි.

සතුන් හීලෑ කොටගෙන මස් පිණිස හෝ ගොවිතැන සඳහා යොදාගැනීම යන කාරණය ඒ ඒ සමාජයන් අතර ශිෂ්ටාචාරගත්වීමේ වේගයෙහි පැහැදිලි වෙනසක් ඇති කිරීමට තරම් සමත් වී ඇත. මිලියන දෙකකට ආසන්න සත්ත්ව විශේෂ හඳුනාගත තිබුණද ඔවුන්ගෙන් අති විශාල බහුතරයක් මිනිසාගේ ප්‍රයෝජනයට ගත නොහැක. සමහර සතුන් හීලෑ කිරීමේ දුෂ්කරතා තිබුණු අතර සමහර සතුන්ගේ පරිණත වීමේ කාලය අධික බැවින් එවැනි සතුන් ආහාර පිණිස හෝ ගොවිතැන සඳහා යොදා ගැනීම ප්‍රායෝගික නොවුණි. මහාචාර්ය ඩයමන්ඩ් කළ පරීක්ෂණ මගින් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ලොව පුරා අතීතයේ සිට සාර්ථකව භාවිතා කළ සත්ත්ව විශේෂ 14ක් හඳුනා ගෙන තිබුණි.
  • එළුවන්
  • බැටළුවන්
  • ඌරන්
  • හරකුන්
  • අශ්වයන්
  • බූරුවන්
  • බැක්‍ට්‍රියන් ඔටුවන්
  • අරාබි ඔටුවන්
  • මී ගවයන්
  • ලාමා සතුන්
  • පිනි මුවන්
  • යැක් ගවයන්
  • මිතාන් ගවයන්
  • බාලි ගවයන්
ඒ සතුන් දාහතර වේ.

මෙම සතුන්ගෙන් ලාමා හැරුණුකොට අනිකුත් සියලුම සතුන් පාහේ ආසියාව, යුරෝපය හා උතුරු අප්‍රිකාව ආශ්‍රිතව හමුවූ සතුන්ය.එයිනුත් ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන් මැදපෙරදිගින් හමුවූ, හීලැකරගනු ලැබූ සතුන්වේ. ලොව හොඳම බෝග කිහිපයකට මුල් බිම් වූ මැදපෙරදිග, ලොව හොඳම ගෘහාශ්‍රිත සතුන් කිහිපයකටම මුල්බිම් වීම, එහි විසූ මුල් මිනිසුන්ව වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට සමත්ව තිබුණි. සැබවින්ම ඔවුන් භූගෝලිය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමක් වූහ. ගොවිතැනට සතුන්ගේ සහයෝගය ලබා ගැනීමට ඇරඹූ තැන් සිට, මිනිසුන්ට සිය නිෂ්පාදන අතිරික්තයක් ලබා ගත හැකිවූ අතර එය සමාජයේ සියලු දෙනාම නිතරම ගොවිතැනෙහි යෙදීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබීය. මෙලෙස ලද විවේකය ඔවුන් නව දක්ෂතා හා නව තාක්ෂණය බිහිකිරීම උදෙසා භාවිත කොට ඇති සෙයක් දක්නට ලැබේ. දුකුණු ජෝර්දානයේ කැණීම් වලින් හමුවූ පුරා විද්‍යා සාක්ෂි වලින් දැක්වෙන පරිදි එහිවූ ආදිවාසීන්, නිසි පරිදි සැකසු නිවාස තානාගෙන ජීවත්ව සිට ඇත. නිකම්ම හිසට සෙවණක් වෙනුවට සුව පහසු ලෙස ජීවත්විය හැකි ලෙස ඒවා ගොඩනගාගෙන තිබූ බවට සාක්ෂි දක්නට වූහ. එම නිවාස වල අභ්‍යන්තරයෙහි කාලය ශ්‍රමය වැඩි වැඩියෙන් අවශ්‍ය වූ කපරාරු කිරීම් පවා නිරීක්ෂණය කොට තිබුණි. එනම් සැලකිය යුතු කාලයක් සිය ආහාර උපදවා ගැනීමේ කාර්යයෙන් බැහැරව ගත කිරීමට තරම් විවේකයක් ලද සමාජයක් එකල තිබූ බව අනුමාන කළ හැකිය. තවද, ගින්දර භාවිතාකොට කපරාරු සඳහා අවැසි හුණුගල් රත්කොට සකසා ගැනීම මිනිසුන් ලැබූ විශාල තාක්ෂණික විජයග්‍රහනයක් විය. ගින්දරින් වැඩගැනීමට අවබෝධ කොට ගැනීම, ලොවෙහි හැඩරුව වෙනස් කළ වානේ සැකසීම සදහා තැබූ මුල්ම පියවර විය.

එහෙත්, නිව් ගිනි ඇතුළු ලොව අනෙකුත් භූගෝලීය වශයෙන් අසාර වූ ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් දක්නට නොවුණි. ඔවුන්ගේ ගොවිතැනෙහි වූ අඩු ඵලදායිත්වය සහ අඩු කාර්යක්ෂමතාවය නිසාම ඔවුන් හට ආහාර අතිරික්තයක් ලැබිය නොහැකි වූහ. ප්‍රතිඵලය වූයේ ඔවුනට නිතරම ආහාර වෙනුවෙන් වෙහෙසිය යුතු වීමයි. නව දක්ෂතා හෝ නව නිපැයුම් වැඩිවර්ධනය කරගැනීමට තරම් කාලයක් නොවුණි. ඒ සඳහා සිය කාලය ශ්‍රමය වෙන් කළහැකිවූ පිරිසක් බිහිවීමද මෙයින් වැළකුණි. මෙම තත්ත්වය මානව ශිෂ්ටාචාරය තුළ ඔවුන්ගේ ගමන මන්දගාමී කොට තිබුණි.

මැදපෙරදිග කලාපයේ මේ සියලු වාසි සහගත තත්ත්වයන් තිබුණද, වර්තමාන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් උසුලයි. එය තවදුරටත් මානව ශිෂ්ටාචාරයට ජීවය දුන් තෝතැන්න නොවීය. කෙතරම් පෝෂ්‍යදායී ධාන්‍ය තිබුණද, ගොවිතැනට උපයෝගී කොටගත හැකි සතුන් සිටියද, කලාපයේ ඇති වියළි ස්වභාවය දිගින් දිගටම ගොවිතැනෙහි යෙදෙමින් එම කලාපයේ රැදීසිටීමට යෝග්‍ය නොවීය. කලාපයේ ඇතිවූ මහා නියන් තත්ත්වය සහ මානවයාගේ අපරික්ෂාකාරී ක්‍රියා හේතුකොටගෙන සිදුවූ පරිසර විනාශයද, වියළි ස්වභාවය වැඩි කළ බැවින්, එය ජීවිතය පවත්වාගෙන යාමට තවදුරටත් යෝග්‍ය නොවුණි. එබැවින්, එහි විසූ ආදි වාසීන්ට ප්‍රදේශය අතහැර නව යෝග්‍ය ප්‍රදේශ කරා විතැන් වෙනවා හැර අන් විකල්පයක් ඉතිරිව නොතිබුණි.

Fertile crescent 


Fertile Crescent යනුවෙන් හැදින්වූ මෙම මුල්ම ශිෂ්ටාචාරයේ නිජ බිම, "යුරේශියා" යනුවෙන් හැදින්වූ ආසියාව හා යුරෝපය එකතුව සෑදී තිබුණු මහා බිම් කඩක මධ්‍යට වන්නට පිහිටා තිබුණි. එබැවින් Fertile Crescent වෙතින් නික්මුණ මිනිසුන්, එයින් පෙරදිගටත්, බටහිරටත් පැතිරුණි. නමුත් ඔවුන්ගේ විතැන්වීම අධ්‍යනය කළහොත් එය එක සමාන අක්ෂාංශ කිහිපයක පෙරදිගට හා බටහිරට වන්නට වූ විතැන්වීමක් ලෙස හඳුනා ගත හැකිය. මෙයට බලපෑ හේතුව කුමක්ද ? පෘතුවියේ එකම අක්ෂාංශ මත පිහිටා ඇති භූමි ප්‍රදේශ බෝහෝ විට එකම කාලගුණික හා දේශගුණික තත්ත්වයන් අත්විඳිනු දක්නට ලැබේ. එබැවින් සිය වගාවන් සහ සතුනට හුරු සහ යෝග්‍ය වූ සමාන කාලගුණ සහ දේශගුණ තත්ත්වයන් සොයාගෙන මිනිසාගේ විතැන්වීම සිදුවන්නට ඇතැයි යන නිගමනය බෝහෝදුරට සිදු විය හැකි සංසිද්ධියකි.

ශිෂ්ටාචාරයේ පැතිරීම


මෙලෙස ඔවුන්ගේ බෝග වූ තිරිඟු සහ බාර්ලිද, සතුන් වූ ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන්ද, මැදපෙරදිග කලාපයේ සිට ඉන්දියාව දෙසටත්, යුරෝපය දෙසටත් පැතිර ගියහ.

Fertile Crescent  සිට පැමිණි මිනිසුන්, ඊජිප්තුවට පැමිණීම විශාල ශිෂ්ටාචාර පිබිදීමක් ඇති කිරීමට සමත් විය. අතිවිශාල පිරමීඩ ගොඩනැංවීමට අවැසි තාක්ෂණය දියුණු කිරීම දක්වාම එහි බලපෑම දක්නට ඇත. ඒ ආකාරයෙන්ම යුරෝපියානු ශිෂ්ටාචාරය ගොඩනැවීම සහ හැඩගැස්වීමද Fertile Crescent  සිට සංක්‍රමණය වූ මිනිසුන්, තිරිඟු, බාර්ලි සහ සතුන්ගේ බලපෑම මතම සිදුවිය. දාසයවන සියවසේදී එම බෝග සහ සතුන්ව යුරෝපීයන් විසින් නව ලෝකය හෙවත් ඇමෙරිකාවට හදුන්වා දෙන ලදී. එසේ හදුන්වා දීමට ප්‍රථම ඇමෙරිකාවේ මෙම සතුන් සහ බෝග දක්නට නොවුණි. වර්තමානයේ ඇමෙරිකාවෙ පමණක් ගවයන් මිලියන සියයක් පමණ ඇතැයි සැලකේ. ඇමෙරිකානුවන්ගේ වාර්ෂික තිරිඟු පරිභෝජනය වර්තමානයේදී වසරකට ටොන් මිලියන විස්සක් පමණ වේ. Fertile Crescent  වෙතින් හදුන්වා දුන් මෙම බෝග, සතුන් ඇතුළු ගොවිකම නොවන්නට නූතන කාර්මික ඇමෙරිකාවක් පිළිබඳ සිතීමටවත් උගහටය.

අපි දැන් මහාචාර්යය ඩයමන්ඩ් ගොඩනැගූ න්‍යාය සංක්ෂිප්ත කොට විමසා බලමු. මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව;
  • දඩයමින් දිවිගෙවීම, අවිනිශ්චිත අකාර්යක්ෂම ජීවනෝපායකි. එහි, එයටම ආවේණික වූ දුර්වලාතා රැසක්ම වූහ.
  • දඩයමෙහි වූ අකාර්යක්ෂමතාවය නිසාම, මිනිසුන් පරිසරයෙන් සපයාගත හැකි ශාකමය ආහාර එකතු කොට පරිභෝජනයට ගැනීමට යොමු වූහ. මැදපෙරදිග විසු අතීත මානවයා මේ සඳහා ප්‍රදේශයේ වූ තිරිඟු සහ බාර්ලි එකතු කොට ආහාරයට ගැනීම ඇරබූහ. තිරිඟු සහ බාර්ලි ස්වභාවයෙන්ම පෝෂ්‍යදායී ආහාර බැවින්, එම මිනිසුනට ලොව අනෙකුත් ස්ථානවල දිවිගෙවූ මිනිසුන්ට සාපේක්ෂව වැඩි පෝෂ්‍ය ගුණයක් ලබා ගැනීමේ ස්වභාවික වාසිය උරුම විය.
  • පසුව එළබියේ ගොවි යුගයයි. පරිසරයේ ඉබේ වැවෙන දෑ එකතු කොට ආහාරයට ගැනීම වෙනුවට, තමන් විසින්ම බීජ වපුරා ආහාර බෝග වගා කොට ඵලදාව ලබා ගැනීමට මිනිසා හුරු වූහ. එය දඩයම මෙන්ම ආහාර එකතු කිරීමටත් වඩා ඵලදායී විය. එහෙත් වගා කරණ බෝගයේ ස්වභාවය මත එහි ඵලදායීතාවය තීරණය විය. ලොව ගොවිතැන ඇරබි බොහොමයක් ශිෂ්ටාචාර වල ප්‍රගමනයක් පෙන්නුවද සමහර කෘෂිකාර්මික ශිෂ්ටාචාර එසේ නොවුණි. එයට බලපෑ හේතුව ඔවුන් වගා කල බෝගය මත රඳා පැවතුණි.
  • ඉන් පසුව ඇරඹියේ සතුන් හීලෑ කොටගෙන භාවිතයට ගත් යුගයයි. එමගින් මාංශ ආහාර වැඩි වෙහෙසකින් තොරව ලබා ගත හැකිවූ අතර සතුන්ව ගොවිතැන් කටයුතු වලට යොදා ගැනීමේ වාසියද හිමි විය. එයට අමතරව සතුන්ගේ අපද්‍රව්‍ය ගොවිතැනට පොහොර ලෙස භාවිතා කිරීමේ හැකියාවද ලැබිණි. මෙය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිඵලදායකවූ සංකල්පයක් බවට පත්විය. සමහර සමාජයන්හී මෙලෙස සතුන් භාවිතයට ගැනීම නොපුළුවන් වූයේ ස්වාභාවිකවම ඒ සඳහා සුදුසු සතුන් ඔවුන් ආශ්‍රයේ නොමැති වීමයි.ගොවිතැනට සතුන්ගේ දායකත්වය ලබා ගැනීමත් සමඟම එහි ඵලතායීතාවය තව තවත් වැඩි විය. විශේෂයෙන්ම නගුල් වැනි උපකරණ සතුන් ලවා භාවිතා කළ හැකි වීම මගින් වැඩි පල ලැබිය හැකි තත්ත්වයක් නිර්මාණය විය.
  • ගොවිතැනෙහි ඵලදායීතාවය වැඩිවීම කරණකොටගෙන, සමාජයේ සියලුම මිනිසුන් ඒ සඳහා වෙහෙසීමේ අවශ්‍යතාවය ඉවත් විය. වැඩි පිරිසක් පෝෂණය කිරීමට හැකිවීම නිසා සමාජයෙන් කොටසක් වෙන වෙනත් කාර්යයන් හී නිරතව නව දක්ෂතා, නව දැනුම සහ නව තාක්ෂණ ශිල්පීය දැනුම ගොඩ නංවා ගැනීමේ හැකියාව ලැබුණි.
  • මෙයට වෙනස්ම තත්ත්වයක්, පැපුවා නිව් ගිනි ඇතුළු අඩු ඵලදායීතා ගොවිතැන්හී නියුතු සමාජයන් වල දක්නට ලැබුණි. එනම් ඔවුන්ගේ ගොවිතැනෙහි වූ අඩු ඵලදායීතාවය නිසා වැඩි වේලාවක් ආහාර සපයා ගැනීම වෙනුවෙන් වෙහෙසීමට සිදු විය. නව නිර්මාණ, නව දැනුම ජනනය කිරීම සඳහා කාලයක් ඔවුනට නොලැබුණි.
එලෙස බලන විට පැහැදිලිවම භූගෝලීය වාසිය කරණකොටගෙන, මානව ඉතිහාසයේ එක ශිෂ්ටාචාරයක් තවෙකක් අභිබවා ඉදිරියට ගොස් ඇති ආකාරය මැනවින් නිරීක්ෂණය කළ හැකිය.

මහාචාර්යය ඩයමන්ඩ්ගේ තර්කය සංකීර්ණ නොවූ සරල එකක් බව දක්වන පිරිසක්ද වෙති. සෞභාග්‍යයේ සහ බලයේ බෙදීයාම, තිරිඟු සහ ගවයන්ට පමණක් ලඝු කොට දැක්විය හැකිද ? එසේනම් මෙම නාටකයේදී සංස්කෘතිය, ආගම, දේශපාලනය රඟ දැක්වූ කොටස් මොනවාද ? ඒවායේ බලපෑම නොසලකා හැරිය හැකිද ?

වසර ගණනාවක් නිව් ගිනි හී ගතකළ ජීවිතය මට ඒත්තු ගැන්වූවා, ලොව වටා වෙසෙන සෑම මිනිසෙක්ම මූලික වශයෙන් එක හා සමාන බව. ලොව ඕනෑම සමාජයක දක්ෂ, තීක්ෂණ මිනිසුන් දැකිය හැකියි. ඒ පිළිබඳ ඒකාධිකාරයක් කිසියම් වූ එක සමාජයකට පමණක් හිමි නොවේ. අනිවාර්යයෙන්ම විවිධ ජන සමාජවල විවිධ වූ සංස්කෘතික, ආගමික, දේශපාලනික ලක්ෂණ දැකිය හැකියි. එහෙත් ඒවා අසමාණාත්මතාවයේ ප්‍රතිඵලයන් මිස, අසමාණාත්මතාවයේ මූල බීජය නොවේ.  - මහාචාර්ය ඩයමන්ඩ්.

" Why, you white man have so much cargo ? and we New Guineans have so little ?"

වසර තිහකට පෙර මෙම පැනය මගින් යාලි මාව අන්ත අසරණ කළා. එයට දිය යුතු පිළිතුර කුමක්දැයි එවකට මට කිසිම අදහසක් තිබුණේ නෑ. එහෙත් මම හිතන්නෙ අද මට එයට පිළිතුර තියනවා.

 " යාලි, නුඹගේ මිනිසුන් නව තාක්ෂණය සොයා නොගැනීමට හේතුව කෞශල්‍යයේ වූ අඩුපාඩුවක් නොවේ. නුඹලා සතුව මේ අපහසු දායක පරිසරය ජය ගැනීමට තරම් වූ කෞශල්‍යයයක් තිබුණි. නුඹගේ ගැටලුවට පිළිතුරනම් "භූගෝලිය තත්ත්වයයි". මගේ මිනිසුන් වසර දහස් ගණනකට පෙර අත්විඳි භූගෝලීය වාසිය, නුඹලාගේ මිනිසුන් ලැබුවා නම්, අද දින මේ නව නිපයුම් කරන්නේ නුඹලාගේ මිනිසුන්ය." මහාචාර්ය ඩයමන්ඩ්.



Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 09.11.2012

Thursday, September 20, 2012

BOAC Flight 781 | ගුවන් ගමනේ අනාගත හැඩ රුව වෙනස් කළ Comet යානා අනතුර.

2012 බිනර මස 20 වනදා.



1954 ජනවාරි 10 වන දින දහවල් 01:30 යි ( ලංඩන් වේලාව ), ලංඩන් හීතෲ ගුවන් තොටුපළ. 

Jain Wilmot සිය මව සහ සහෝදර සහෝදරයින් සමඟ, ඕස්ට්‍රේලියාවේ සිට ගෙදර පැමිණෙන සිය පියාණන් වූ Chester Wilmot මහතාව පිළිගැනීමට නොයිවසිල්ලෙන් බලා සිටියාය. Chester Wilmot, BBC ආයතනය වෙනුවෙන් සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදියෙකි. බ්‍රිතාන්‍යය රැජිනගේ ඕස්ට්‍රේලියානු සංචාරයක් ආවරණය කිරීමට ඕස්ට්‍රේලියාව බලා ගොස් නැවත නිවස කරා පැමිණීමට තිබුණේ එදිනය. 

තත්පරයෙන් තත්පරය ගෙවී ගියේ දස හැවිරිදි අර්ධ ශ්‍රවණාබාධිත Jain ගේ නොයිවසිල්ල තීවෘර කරමිනි. ගුවන් යානය පැමිණීමට නියමිතව තිබූ වේලාව පසු විය. පැමිණීම් සටහන් පුවරුවල ගුවන් යානය "ප්‍රමාදයි" ලෙසින් සටහන් විය. ඇය නැවත නැවතත් පැමිණීම් සටහන් පුවරු පරික්ෂාකරමින් පසු වූවාය. හස්දිසියේම ඇයගේ හිත බියෙන් පුරවාලමින් සිය පියා පැමිණීමට නියමිතව තිබූ BA781 ගුවන් යානය පුවරුවෙන් අතුරුදහන් විය. BOAC British Overseas Airways Corporation සේවා කවුළුව වෙත ගිය ඈ ඒ ගැන විමසා සිටියාය.

" ඒක ඔයාට කියන්ඩ බෑ දරුවෝ, ගිහින් ඔයාගෙ අම්මව එක්කන් එන්න " ඒ ඈ ලද පිළිතුරයි. 

~~~~~

1954 ජනවාරි 10 වනදින උදෑසන 09:30 යි ( රෝම වේලාව ), Ciampino ගුවන් තොටුපළ, රෝමය.

සිංගප්පූරුවේ සිට පැමිණි  BA 781 යානය සිය ගමනාන්තය වූ ලංඩන් බලා යාම සඳහා ලහි ලහියේ සැකසෙමින් තිබුණි. මෙම යානය එවකට තාක්ෂණයේ සුපිරි සංකේතයක් බඳු වූ, ලොව මුල්ම මගී ජෙට් යානා කාණ්ඩයවූ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Comet යානා වලින් එකකි. Comet යානා එවකට ගුවනෙහි ජය කෙහෙලි නැංවූ, එවකට පැවති උපරිම තාක්ෂණයෙන් සන්නද්ධ වූ මගී ගුවන් යානා සමූහය විය. මෙම යානා අධිබලැති ජෙට් එන්ජින් හතරකින් සමන්විත වූ අතර කාර්යය මණ්ඩලයද ඇතුළුව 42 දෙනෙකුට ගමන් කිරීමේ පහසුව තිබුණි. වේගය පැයට කිලෝ මීටර 800 කි. එය ආසන්නම තරගකාරී යානයේ වේගය මෙන් දෙගුණයට ආසන්න වේගයකි. මෙම සුපිරි වේගය කාර්යක්ෂමව ලබාගැනීමට ආධාරකයක් වශයෙන්, Comet යානා මීටර 12000 ක් තරම් වූ උසකින් ධාවනය වුයේ එම මට්ටමේදී වාතය තුනී බැවිනි. එම වකවානුව වනවිට එවැනි කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් දක්නට වූයේ ප්‍රහාරක යානාවල පමණී. හඳුන්වාදී මාස 20කට පසුවදී යානා 17ක් සේවයේ යෙදවී තිබුණි. එයින් නවයක්ම අයත්ව තිබුණේ  BOAC හටය. BA 781 එයින් එකකි.

රෝම ගුවන් තොටුපලේදී, යානය පිටත් වීමට පෙර BOAC ඉංජිනේරු Gerry Bull ගේ සුපරික්ෂාවට යානය භාජනය විය. උදෑසන දහය වන විට Bull සිය පරික්ෂාකිරීම අවසන් කොට සෑහීමකට පත්ව සිටි බැවින් කාර්යය මණ්ඩලය යානයට ගොඩවැදුණි. යානයේ කපිතාන් වූයේ තිස් එක් හැවිරිදි Alan Gibson . ඔහු BOAC හී ලාබාලම කපිතාන් වරුන්ගෙන් කෙනෙකි. මේවන විට රෝම ගුවන් තොටුපළ පර්යන්තයේ මෙම යානයෙන් ලංඩන් බලා ගමන් කිරීමට නියමිතව සිටි මගීන්, පාතරාසය ගනිමින් සිටියහ. ඔවුන් අතර Jain ගේ පියාණන් වූ Chestor Wilmot ද විය. පෙර සඳහන් වූ පරිදි ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංඩන් බලා ගමන් කරමින් සිටියේය. දහයයි පහට යානය ගමනාරම්භ කිරීමට සූදානම්. විසි නව දෙනෙක් වූ මගීන් සහ සය දෙනෙකුගෙන් සමන්විත් කාර්යය මණඩලය සිය දෛවෝපගත ගමනාන්තය බලා යාමට යානයට ගොඩවී සිටියහ. ඔවුන් අතර සිය විවාහය වෙනුවෙන් ගම රට බලා යන විදුලි ඉන්ජිනේරුවකු වූ Bernard Butler ද විය. ඔහු සිය අනාගත මනමාලියව පුදුම කරවීම උදෙසා ඇය වෙනුවෙන් ධවල වර්ණ මංගල ඇඳුමක්ද රැගෙන යමින් සිටියේය.

BA 781 එදින රෝමයේ සිට ලංඩන් බලා යාමට නියමිතව තිබූ ගුවන් යානා පහෙන් එකකි. BA 781 ගුවන් ගත වීමට විනාඩි දහයකට පෙර ලංඩන් බලා ගුවන් ගතවූ පැරණි පන්නයේ ගුවන් යානයක් වූ BOAC Argonaut යානය රෝම ගුවන් තොටින් නික්මුණි. උදෑසන දහයයි තිහට BA 781 ධාවන පථයට පිවිසියේය. ඉන් මොහොතකට පසු යානය අහස් ගැබ දෙබෑ කරවමින් ගුවනට මුසු විය. මේ දක්වා සියල්ල යහපත්.

එය හොඳින් හිරු බැබලූ දිනයකි. ගුවන් ගමනකට යෝග්‍ය කාලගුණ තත්ත්වයක් පැවතුණි. රෝමයේ සිට ලංඩන් දක්වා සම්පූර්ණ කාලය පැය දෙකකුත් විනාඩි තිස් හතක් විය. BA 781 කට කලින් රෝමයෙන් පිටත්වූ BOAC Argonaut යානයට දෙහෝරාවකට ප්‍රථම යානය ලංඩන් වෙත ළගාවීමට නියමිතව තිබුණි. එයයි එහිවූ විශේෂත්වය. එහෙත්, යානයේ සිටි කිසිවකුත් නොදැන සිටි ලොමු දැහැගන්වන රහසක් තිබුණි. ඒ, ඔවුන් කිසි දිනෙක සිය ගමනාන්තය වූ ලංඩන් වෙත ළඟා නොවන බවයි.

ඒ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලොව පුරා සියලු රටවල් හිස ඔසවමින් සිටි අවධියයි. ලොව පුරා ගුවන් මඟීන් සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් දක්නට තිබුණි. අවශ්‍යතාවයට සරිලන ලෙස සැපයුම උදෙසා නව ගුවන් යානා වලට වූ ඉල්ලුමද ශීඝ්‍රයෙන් වැඩිවිය. Comet නිෂ්පාදකයන්වූ De Havilland ගේ මුඛ්‍ය අරමුණ වූයේ මෙම නැගී එන වෙළදපළෙහි සිය අණසක පතුරුවාලීමයි. ඒ සඳහා Comet යානා වලින් ලද සහය අති මහත්ය. ඒ වෙන කිසිවක් නිසා නොව එවකට පැවති කිසිම යානයක්, අමෙරිකාවේ නිෂ්පාදිත Boeing හෝ Douglas යානවන් පවා, Comet යානා සමඟ තරගකිරීමට අසමත්ව සිටි බැවිනි. Comet යානා සේවයට පැමිණීමේ සිට ඒ දක්වා අනතුරු දෙකක් පමණක් වාර්තාවී තිබුණි. එකක් පකිස්තානයේදී, යානයක් ගුවන් ගත කිරීමකදීය. ඊට මාස දෙකකට පමණ පසු ඉන්දියාවේදී තවත් අනතුරක් සිදුවූයේ අයහපත් කාලගුණය හේතුකොටගෙනය. මෙම අනතුරු දෙකෙන්ම මගීන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. අනතුරු දෙකම අපහසු දායක තත්ත්වයන් යටතේ සිදුවූ බැවින්, Comet යානා වල විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න කිරීමක් ඇති නොවුණි.

උදෑසන 10:38 යි. යානය මීටර 11000 ක උසකට ළඟාවිය. යානයේ අභ්‍යන්තර පීඩනය මිනිස් සිරුරට යෝග්‍යවන තරමට වැඩි කෙරිණි. කාර්යය මණ්ඩලය සිය සේවා සැපයීමේ යුහුසුළුව නිරතව සිටිනු දක්නා ලදී. මගීන් කාර්යය මණඩලයේ සත්කාර විඳිමින් සුවපහසු ලෙස සිය අසුන් වලට බරවී සිටියහ. මේ අතර කපිතාන් GibsonBOAC Argonaut හී කපිතාන් Johnson හා ගුවන් විදුලි පණිවුඩ මගින් සම්බන්ධව කාලගුණ තත්ත්වයන් හා අනෙකුත් විස්තර හුවමාරු කරගන්නා ලදී.

උදෑසන 10:41 යි. කපිතාන් Gibson විසින් රෝම ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානය අමතා විස්තර සපයා සියල්ල යහපත්ව සිදුවන බව වාර්තා කොට සිටියේය. යානය ඒවන විට ඉතාලි වයඹ වෙරළ තීරය ඔස්සේ ගමන් කරමින් සිටි අතර එල්බා දිවයින ආසන්නයේ පසු විය. වේලාව උදෑසන 10:51යි. කපිතාන් Gibson නැවත කපිතාන් Johnson ව සම්බන්ධ කරගන්නා ලදී. ගුවන් විදුලි සන්නිවේදනය අතර තුර හදිසියේම කපිතාන් Johnson ට අනෙක් පසින් ශ්‍රවණය වූයේ විශාල පිපිරුම් හඬක් සමඟ මිනිසුන්ගේ මර ළතෝනියකි. ඒ සමඟම සම්බන්ධතාව විසන්ධි විය. ඔහු, නැවත සම්බන්ධ කර ගැනීමට කිහිප වරක්ම උත්සහා කළද සාර්ථක නොවුණි. සිද්ධිය වහාම රෝම ගුවන් තොටුපලට වර්තා කෙරුණ අතර BA 781 සම්බන්ධ කරගැනීම රෝම ගුවන්තොටුපළ පාලක මධ්‍යස්ථානය දැරූ උත්සහයද අසාර්ථක විය.

සිදු වූයේ කුමක්ද ?? ..............................


රෝමයේ සිට කිලෝ මීටර් 200 ක් පමණ වයඹට වන්නට වූ එල්බා දිවයිනේ, සිය දැල් ආම්පන්න සකසමින් සිටිනා ඉතාලි ධීවර කාර්මිකයන් පිරිසකි. ඔවුන්ගේ අවධානය බිඳිමින් හදිසියේ අහස ගුගුරන්නට විය. එය මින් පෙර කිසිඳු දිනක ඔවුන් නොඇසූ විරූ ගිගිරීමකි. නිතැතින්ම ඉහළ බැලු ඔවුන්, ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ අවසනාවන්ත සිද්ධියක සාක්ෂි කරුවන් පිරිසක් වූහ. ඔවුන් දුටුවේ ගිනි ගෙන දැවෙමින් සයුරට කඩා වැටෙනා ගුවන් යානයක සුන්බුන්ය.

වහා ක්‍රියාත්මක වූ ධීවරයන් පිරිස සිය යාත්‍රා යානය කඩා වැටුණේයැයි ඔවුන් අනුමාන කළ ස්ථානය බලා යාත්‍රා කළහ. මුලින්ම ඔවුනට කිසිවක් දකින්නට නොලැබුණි. සීගල් කුරුලු රංචුවක් පියාසර කරමින් සිටි ඉසව්වක් බලා යාත්‍රා කළ ඔවුනට තමන් බලාපොරොත්තුවූ දෙය දකින්නට ලැබුණි. එය අතිශය ඛේදජනක දසුනකි. සුන්බුන් සහ මල සිරුරු දියෙහි පාවෙමින් තිබුණි. සුන්බුන් අතර පාවෙමින් සුදු පැහැති මංගල වස්ත්‍රයක්ද විය.

ඉතාලි ධීවරයන් වහ වහා මල සිරුරු දියෙන් ගොඩ ගැනීම ඇරඹූහ. අනතුරින් යානයේ සිටි තිස් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව සිටියහ. දිවි ගලවාගත් කිසිවකුදු නොවුණි. පහළොස් දෙනෙකුගේ සිරුරු ධීවරයන් විසින් ගොඩ ගන්නා ලදී. මරණ පරීක්ෂණයෙන් පසු කුඩා දේවස්ථානයක ඔවුන් වෙනුවෙන් පැවැත්වූ දේව මෙහෙයකින් පසු එම සිරුරු එල්බා දිවයිනේ භූමදාන කෙරිණ.

මෙම අවාසනාවන්ත අනතුර ලොව පුරා පුවත්පත් වල ශීර්ෂපාඨ පිරවීමට සමත් විය. සැමගේ මුවග රැඳි ප්‍රශ්නය වූයේ " ගුවන් ගමන් ඉතිහාසයේ මෙතරම්ම දියුණු තාක්ෂණයකින් හෙබි යානය, අහේතුකවම කඩා වැටුනේ කෙසේද ? " යන්නයි. එය සාමාන්‍ය අනතුරක ප්‍රතිඵලයක්ද ? නැතහොත් කිසියම් දුෂ්ට ක්‍රියාවක ප්‍රතිඵලයක්ද ? රහස හෙළිකිරීමේ වගකීම විශේෂඥයනට පැවරුණි.

අනතුරින් හෝරා කිහිපයක් නික්මෙත්ම BOAC විශේෂඥයන් Comet යානා පිළිබඳ තාක්ෂණික පරීක්ෂණ ඇරඹූහ. ඔවුන් විසින් යානාවල සැලැස්මේ හෝ නිෂ්පාදන දෝෂයන් ඇත්දැයි සොයා ගත යුතු වූහ. ලෝකයේ ප්‍රමුඛම මගී ජෙට් යානා නිෂ්පාදකයා ලෙස බ්‍රිතාන්‍යයට තිබුණු තත්ත්වයෙහි අනාගතය එම පරික්ෂණ වල ප්‍රතිඵල මත රඳා පැවතුණි. එයින් ඇරඹුණු පරීක්ෂණය ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ වඩාත් සංකීර්ණම සහ වැදගත්ම පරීක්ෂණය බවට පත්විය.

~~~~~
පරීක්ෂකයන්ට මුල සිටම අති විශාල අභියෝග වලට මුහුණ දීමට සිදු විය. 1954 දී, වර්තමානයේ භාවිතා කරනා කළු පෙට්ටි නොවීය, නියමු කුටියේ හඬ පටිගත කිරීමක්වත්, යානයේ තොරතුරු වාර්තා කරගැනීමේ පහසුකම්වත් එකල නොවීය. සිදුවූයේ කුමක්දැයි නිසියාකාරව දැන ගැනීමේ හැකියාවක් කිසි ලෙසකින්වත් නොතිබුනි. ගුවන් යානා අනතුරක් පරීක්ෂණය කල යුත්තේ කෙසේදැයි ක්‍රමවේදයක්වත් ඒ වන විට සැකසී නොපැවතුණි. ඔවුනට සියල්ල මුල සිට ගොඩනගා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වූහ. තිබුණු ප්‍රබලම සාක්ෂිය වූයේ යානයේ සුන්බුන්ය. අවාසනාවකට එයද මධ්‍යධරණි මුහුදේ සැගව ගොස්ය.

අතරවාරයේ මාධ්‍ය වල සැකය කඩාකප්පල්කාරීන් දෙසට යොමුවිය. ධනවාදය සහ සමාජවාදය ගැටෙමින් තිබූ එම අවධියේ සැකයේ හස්තය සමාජවාදී කදවුරට නිතැතින්ම එල්ල විය. නමුත් එය පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු වූ කරුණකි.

පරීක්ෂකයනට ඉතාලි ධීවරයන්ගෙන් සහ BOAC Argonaut හී කපිතාන් Johnson ගෙන් යම් යම් තොරතුරු දැන ගැනීමට හැකි වුවද ඒ කිසිවක් ඉදිරියට යාමට තරම ප්‍රමාණවත් නොවීය. මේ අතර වාරයේ ඉතාලියානු මරන පරීක්ෂක වෛද්‍ය Antonio Fornari ගේ සුපරික්ෂාවට මගීන්ගේ සිරුරු භාජනය විය. පරික්ෂාවට ලක්වූ සෑම සිරුරකම වාගේ අත පය කැඩී බිඳී හෝ තුවාල වී තිබෙනු දක්නට ලැබුණි. මේවා මරණයට පසු සිදුවූ හානි ලෙස වෛද්‍ය  ෆොනාරි හඳුනා ගත්තේය. මෙයට අමතරව ඔහුව ව්‍යාකූලත්වයට පත්කළ පොදු ලක්ෂණ කිහිපයක් සෑම සිරුරකම පාහේ දක්නට තිබුණි. එනම් බිඳී ගිය හිස් කබල් සහ පුපුරා ගිය පෙනහළුය. බොහොමයක් දෙනාගේ පෙනහළු පුපුරා ගිය බැලුන් ලෙස සුණු විසුණු වී තිබෙනු ඔහු විසින් නිරීක්ෂණය කරණ ලදී. බෝම්බ පිපිරීමක සාක්ෂි දක්නට නොවුණි. අවසානයේදී සිරුරුවල දක්නට ඇති හිසේ සහ පෙනහළු හානිවීම සිදුවූයේ කෙසේදැයි විග්‍රහ කිරීමට නොහැකිව වෛද්‍ය ෆොනාරි අසරණ විය.

ප්‍රමාණවත් නොවූ සාක්ෂි කරණ කොටගෙන පරීක්ෂණය අතර මග නවතා දමන ලදී.

නමුත්, Comet යානා වල සාර්ථකත්වය මත රඳාපැවති බ්‍රිතාන්‍ය ජාතියේ අභිමානය සහ සමෘද්ධිය ගැන සැලකිලිමත් වූ එක් පුද්ගලයෙක්ගේ අණින් නැවතත් සියල්ල සක්‍රීය විය. පරීක්ෂණය ඉදිරියට ගෙන යාමට අවැසි ප්‍රධානම සාධකය යානයේ සුන් බුන් බව අවබෝධ කොට ගත් එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ Sir Winston Churchill, කඩා වැටුණු යානය ගොඩ ගැනීමේ නියෝගය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත නිකුත් කෙරිණ.

නාවික හමුදාවට පැවරුණු කර්තව්‍යය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවුණි. ඉන් පෙර මෙවැනි ගොඩගැනීමේ කටයුත්තක් සිදුවී නොතිබුණි. යානයේ සුන්බුන් මධ්‍යධරණි මුහුදේ මීටර් 120ක් පමණ ගැඹුරේ ගිලී ගොස්ය. කිසිවෙකුටත් ස්ථානය පිළිබඳ අදහසක් නොවුණි. නාවික යාත්‍රා වර්ග කිලෝමීටර 260ක කලාපයක් අවරණය වෙන පරිදි සිය සෙවීම් කටයුතු සිදු කළහ. යාත්‍රා හතරක් මේ සඳහා යොදා ගැනුණි. එම යාත්‍රා, ජලය යට භාවිතා කලහැකි කැමරා සහ මුහුදු අභ්‍යන්තර නිරීක්ෂණ කුටීර වැනි එවකට පැවති නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ වී සිටියහ.

1954 පෙබරවාරි 12 වනදා, අනතුරෙන් දින තිස් තුනකට පසු නාවික හමුදාව සිය කැමරා මගින් යානයේ කුඩා කොටසක් නිරීක්ෂණය කළේය. ඊළඟ සති කිහිපය ඇතුළට වරින් වර ගොඩ ගැනුණු යානයේ කුඩා කොටස් එංගලන්තයට යැවුණි. අවසානයේදී නාවික හමුදාව විශාලම ජයග්‍රහණය ලබා ගනිමින් යානයේ පිටුපස අර්ධයෙහි විශාල කොටසක් සොයාගෙන ගොඩට ගැනීමට සමත්වූහ.

මේ අතරවාරයේ Comet යානා සියල්ල අකර්මණ්‍යව ලංඩන් වල රඳවා තැබිණි. BOAC විසින් සැලකිය යුතු ආයෝජනයක් Comet යානා වෙනුවෙන් සිදුකොට තිබූ බැවින්, යානා නැවතත් සේවයට ගැනීම උදෙසා පීඩනයක් ගොඩනැගෙමින් පැවතුණි. මාර්තු 23 වන දින, අනතුරින් සති දහයකට පසු නැග එන පීඩනය හමුවේ බ්‍රිතාන්‍ය රජය විසින් නැවතත් Comet යානා ගුවන් ගත කිරීමට අවසර ලබා දුනි. කෙසේ වෙතත් ඒ වන විටත් BA 781 යානය කඩා වැටීමට හේතුව සොයා ගෙන නොතිබුණු අතර විශේෂඥයන් ඒ වෙනුවෙන් වෙහෙසෙමින් සිටියහ. වාණිජ කරුණු ගැන පමණක් සලකා බලා ගත් මෙම තීරණය මගින් බ්‍රිතාන්‍ය රජය භයානක වරදක් සිදු කළහ. එය Comet යානා වල සහ එහි නිෂ්පාදකයාගේ අනාගතය තීරණය කරන්නාවූ තීරණයක් විය.

මධ්‍යධරණි මුහුදෙන් ගොඩ ගන්නාවූ සුන්බුන් කැබලි ක්‍රමක්‍රමයෙන් එංගලන්තය වෙත ළඟා වෙමින් තිබුණි. පර්යේෂකයන් ලී වලින් සැදූ  යානා සැකිල්ලකට ඒවා අමුණමින් යානය නැවත ප්‍රතිනිර්මාණය කොට ගැනීමට වෙහෙසෙමින් සිටියේ මෙම අවුල විසඳා ගැනීමට පොටක් පාදා ගන්නා අටියෙනි.

දැන් නැවතත් සියලුම Comet යානා සේවයේ. 1954 අප්‍රේල් 08, ගුවන් ගමන් නැවත ඇරඹීමෙන් දින දාසයකට පසු, මරුවා නැවතත් බිල්ලකට ඉව අල්ලමින් සිටියේය. සුපුරුදු පරිදිම රෝම ගුවන් තොටුපළේදී Gerry Bull අතුළු ඉංජිනේරු කණඩායමේ සුපරික්ෂණයෙන් පසු තවත් Comet යානාවක් ඊජිප්තුව බලා යාමට ගුවන් තොටු පළින් නික්මිණ. මගීන් 14ක් සහ කාර්යය මණ්ඩලයේ 07ක් යානය තුළ විය. විනාඩි 33ක් ධාවනය වීමෙන් පසු යානය මීටර් 11000 ක උස සීමාවට පැමිනුනි. නියමුවා රෝම ගුවන් තොටුපළ අමතා විස්තර වාර්තාකරමින් සිටින අතර තුර සම්බන්ධතාවය විසන්ධි විය. තවත් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින් යානය මධ්‍යධරණි මුහුදට කඩා වැටුණි.

නැවතත් බ්‍රිතාන්‍යය නාවික හමුදාව සාක්ෂි සෙවීමෙහි උත්සුක විය. මල සිරුරු පහක් සමඟ පුද්ගලික බඩු භාණ්ඩ කිහිපයක් සොයා ගැනුණි. ලෝකය පුරාම ප්‍රවෘත්තිය වේගයෙන් පැතිරුණු අතර බ්‍රිතාන්‍ය රජය මෙම අනතුරු සඳහා හේතුව සොයා ගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන් යමක් කළ යුතුව තිබුණි. Winston Churchill, විසින් පරීක්ෂණය Royal Air Craft Establishment වෙත භාර කෙරුණි. එය එවකට බ්‍රිතාන්‍යයේ පැවති ප්‍රමුඛතම ගුවන් ගමන් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය විය. පරීක්ෂණ කණ්ඩායමේ නායකත්වය පිළිගත් විද්‍යඥයෙක් වූ Sir Arnold Hall ට පැවරුණි. Winston Churchill, ගෙන් Arnold Hall ට පුද්ගලිකවම ලැබුණු උපදෙස වූයේ, පරීක්ෂණය සඳහා වැයවන මුදල් ගැන සැලකිලිමත් නොවන ලෙසයි. කෙටියෙන් පැවසුවහොත් පරීක්ෂණයට අවැසි ඕනෑම දෙයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සපයා තිබුණි.

Sir Arnold Hall


දෙවෙනි ගුවන් යානය මීටර් දහස් ගණනක් ගැඹුරු මුහුදේ ගිලී ගොස් තිබූ බැවින් එය ගොඩ ගැනීම ප්‍රායෝගික කාර්යයක් නොවුණි. එකම බලාපොරොත්තුව වූයේ ප්‍රථම ගුවන් යානයේ සුන්බුන්ය. එය කැබැල්ලෙන් කැබැල්ල ඇමිණෙමින් BA 781 යානයේ දළ ආකෘතියක් නිමවමින් සිටියේය. මින් පෙර කිසිවකු මෙසේ විනාශ වී ගිය යානයක් එකලස් කොට නොතිබූ බැවින් පරීක්ෂක කණඩායමට එය සැබෑම අභියෝගයක් විය. ඔවුනට ඒ සඳහා පූර්වාදර්ශයක් නොවූ බැවින් තමන්ගේම ක්‍රමවේදයක් ගොඩනගා ගත යුතුව තිබුණි. මෙම සුන්බුන් පිළිබඳ සිදුකළ සියුම් පරික්ෂාවේදී ඔවුනට වැදගත් සාක්ෂියක් සොයා ගැනීමට හැකිවිය. එනම්, ප්‍රථමාධාර පෙට්ටියක වූ බෙහෙත් ස්වල්පයක්, කාපට් කැබලි කිහිපයක්, පුද්ගලික බඩු භාණ්ඩ කිහිපයක් ඔවුන් යානයේ අපර කොටසේ තිබී සොයා ගනු ලැබූහ. මෙමගින් එළඹි නිගමනය වූයේ යානයේ ඉදිරිපස ඇතිවූ පිපිරීමක් විසින් මෙම ද්‍රව්‍යයන් පිටුපසට විසිකිරීමක් සිදුකොට ඇති බවයි. ප්‍රශ්නය වූයේ කිනම් ස්ථානයක, කෙසේ පිපිරීම සිදුවූවාද යන්නයි !

මේ අතර දෙවන අනතුරෙන් ගොඩ ගත් මළසිරුරු හතරක් මරණ පරික්ෂකයන්ගේ නිරීක්ෂණයට භාජනය විය. ඔවුන්ව මවිතයට පත් කරවමින් පළමු අනතුරේදී දක්නට වූ ශරීර හානි එලෙසින්ම දෙවැන්නේදීද දක්නට ලැබුණි. එනම්, පැලුණු හිස් සහ පුපුරා ගිය පෙනහළුය.

දීර්ඝ පරීක්ෂණ මාලාවකට පසු Arnold Hall සහ ඔහුගේ කණ්ඩායම විය හැකියැයි අනුමාන කළ හැකි න්‍යායක් ගොඩ නැංවීය. එනම්, යානයේ මගීන්ගේ සුව පහසුව සඳහා සිදු කළ කුටීර පීඩනය අඩු වැඩි කිරීම වලදී Comet  යානයේ පිටත ඇලුමිනියම් ආවරණයෙහි දැඩි ආතතියක් ඇතිකරන්නට ඇති බවත්, කිසියම් වූ ව්‍යහාත්මක දෝෂයක් වීනම් එම ස්ථානයෙන් පිපිරීමක් ඇතිවිය හැකි බවටත් ඔවුහූ අනුමාන කළහ. මල සිරුරුවල දක්නට වූ හානිවීම් මේ මගින් පැහැදිලි කළ හැකියැයි ඔවුන් විශ්වාස කළහ.

මෙම න්‍යාය ඔප්පු කිරීම සඳහා ඔවුන් විසින් BA 781 යානයේ දහයෙන් එකක් ප්‍රමාණයේ ආකෘතියක් නිර්මාණයක කළහ. මගීන්ගේ ආකෘති කිහිපයක්ද ආසන වල අසුන්ගන්වන ලදී. ආකෘතියෙහි අභ්‍යන්තර පීඩනය යානය මීටර 12000 ක උසකදී පවත්වා ගන්නා පීඩනයට ගෙනවිත්, ආකෘතිය පුපුරුවා හරින ලදී. ප්‍රතිඵලය අධිවේගී කැමරා කාචයන්හී සටහන් විය. පරීක්ෂණයේ ප්‍රතිඵලය මල සිරුරුවල දක්නට වූ අභ්‍යන්තර හානි සිදුවන ආකාරය කදිමට පෙන්වා සිටියේය. හදිසියේ ඇතිවන පීඩනය අඩුවීම මගින් යානයේ අසුන් ගැලවී මගීන් ( ආකෘති ) සමග ඉහළට විසිවී යන අතර බොහොමයක් මගීන්ගේ ( ආකෘති වල ) හිස් යානයේ සිවිලිමෙහි වැදීම කරණකොටගෙන හානියට පත් වන ආකාරය කැමරා කාචයන්හී පැහැදිලිව සටහන් වී තිබුණි. එසේම හදිසියේ ඇතිවන අවපීඩන තත්ත්වය මගීන්ගේ පෙනහලු ක්ෂණිකව පුපුරා යාමට සලස්වන්නට ඇතැයි නිගමනය කෙරිණ. යානයෙහි මගී කුටීරය අධික පීඩනයක් යටතේ පවතින විට ඇතිවන හදිසි පුපුරා යාමක් විශේෂඥයන් සමාන කරන්නේ රාත්තල් 500 ක බෝම්බයක් ඒ තුළ පුපුරා යාමකටය.




ආකෘතිය හා පරික්ෂණයේ ප්‍රතිඵලය
මෙමගින් පරීක්ෂක කණ්ඩායම යානයෙහි ඇළුමිනියම් බඳෙහි ඇති දෝෂයක් හේතුවෙන් මෙම පුපුරා යාම වන්නට ඇතැයි නිගමනයකට එළඹුණි. එහෙත් නිෂ්පාදකයන්ගේ පරීක්ෂණ වාර්තා වල දැක්වෙන ආකාරයට බඳෙහි ආයු කාලය පියාසර වාර දසදහසකටත් වඩා වැඩිය. එය විනාශවූ යානා ද්විත්වයම ගමන් කළ වාර ගණනට වඩා බෙහෙවින්ම වැඩි වූ අගයකි. නමුත් Arnold Hall එය එලෙසින්ම පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ඔහු සම්පූර්ණ යානයක්ම පූර්ණ පරික්ෂාවකට බඳුන් කිරීමට සැලසුම් කළේය. BOAC වෙතින් ඒ සඳහා ඔහුට  G-ALYU ("Yoke Uncle") යානය ප්‍රදානය කෙරිණ.

මෙම නව පරීක්ෂණය ඇරඹීමට පෙර Arnold Hall ඇතුළු කණ්ඩායම Comet යානා වල සැලැස්ම තියුණු පරීක්ෂාවකට ලක් කෙරෙනි. ගුවන් යානයක පිටත බඳ නිතර නිතර ඇති කරවනු ලබන පීඩන අඩු වැඩි කිරීම් වලට ඔරොත්තු දෙන සවිමත් එකක් විය යුතුය. එමෙන්ම සැහැල්ලු විය යුතුය. මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා De Havilland  විසින් මිලි මීටර භාගයක ඝනකමින් යුක්ත සැහැල්ලු ඇලුමිනියම් ඇලෝයි තහඩු භාවිතා කොට තිබුණි. යානයෙහි බඳෙහි ඔරොත්තුදීමේ ශක්‍යතාවය පිරික්සීම සඳහා Arnold Hall  විසින් ඉන් පෙර සිදුකර නොතිබූ පරීක්ෂණයක් සැලසුම් කළේය. ඒ සඳහා අති විශාල ජල තටාකයක් නිර්මාණය කිරීම අවැසි විය. එය දිගින් මීටර 34ක්, පළලින් මීටර 07ක් සහ ගැඹුරින් මීටර 05 කින් යුක්ත විය. ජල තටාකය සාර්ථකව නිමවා අවසන් කිරීමට සේවකයනට නොකඩවා සති හයක් වැඩ කිරීමට සිදු වූහ. මැයි මස 29 වන දින විට එය පරීක්ෂණය සඳහා සූදානම්ව තිබුණි. එන්ජින් සහ අභ්‍යන්තර කොටස් ඉවත් කළ හිස් යානය තටාකයට ඇතුල් කෙරිණ. තටාකයෙන් දෙපසට විහිදී තිබුණ තටු, බාහිර යාන්ත්‍රණයක් මගින් මෙහෙය වුයේ  පරීක්ෂණයේදී පියාසර තත්ත්වයන් මවා පෑම උදෙසාය. ඉන්ජිනේරුවන් විසින් තටාකයට, යානය වැසී යන පරිදි ජලය පුරවනු ලැබීය. ඉන්පසු යානය පියාසර කරනා විට ඇති කරනු ලබන පීඩනයට සමාන පීඩනයක් ඇති කරනු ලැබූ අතර විනාඩි පහකට පසු නැවතත් පීඩනය අඩු කරන ලදී. මෙම සෑම පරීක්ෂණ අවස්ථාවකදීම, යානය මීටර 12000 ක උසකදී, යානයෙහි බඳ මත පීඩනය වැඩි කිරීමෙන් ඇති කරවනු ලබන තත්ත්වයම ඇති කරවන ලදී. මෙමගින් පරීක්ෂකයන් බලාපොරොත්තු වූයේ දිගින් දිගටම සිදු කෙරෙන පීඩන අඩු වැඩි කිරීම් වලට යානයෙහි ඔරොත්තුදීමේ හැකියාව පරීක්ෂා කිරීමය. පරික්ෂණය නොකඩවා දවසේ පැය 24 පුරාවටම සිදු කෙරුණ අතර බලාපොරොත්තුවන තත්ත්වයට ළඟා වීමට මාස පහක කාලයක්වත් ගතවෙනු ඇතයි අනුමාන කරනු ලැබීය.

අතර වාරයේ අනෙකුත් පරීක්ෂණ කටයුතු නොකඩවා සිදු වෙමින් පැවතිණ. මේ වන විට යානයෙන් තුනෙන් දෙකක් පමණ එකතු කරගත් සුන්බුන් ආධාරයෙන් ලී සැකිල්ල මත ගොඩ නගා තිබුණි. යානයේ පිටත තහඩු ඉරී ගොස් ඇති ආකාරය අධ්‍යනය කිරීමෙන් පරීක්ෂකයන් නිගමනය කෙරුවේ යානය පිපිරීමක් සමඟ දරුණු අවපීඩන තත්ත්වයකට භාජනය වී ඇති බවයි. වැඩිදුර අධ්‍යනයන්ගෙන් පසු පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වූයේ මුල්ම පුපුරා යාම මගී කුටීරයත් නියමු කුටියත් අතර සිදුවී ඉන්පසු අවර සහ පිටිපස බඳ කොටස කැඩිවෙන්වී, තෙවනුව පියාපත්හී පිටුපස කොටස් සහ අග කොටස්, අවසානයට නියමු කුටිය කැඩී වෙන්වී යන්නට ඇති බවයි. නමුත්, අනතුරට මුල්වූ සැබෑ හේතුව තවමත් අභිරහසක්.

ජුනි 24 වන දින, ජල තටාක පරීක්ෂණය සංධිස්ථානයකට ළඟා විය. පරික්ෂණය ඇරඹී මසකටත් වඩා අඩු කාලයකදී, පියාසර වාර තුන්දහසකට සමාන අවස්ථාවකදී යානයේ බඳ පුපුරා ගොස් තිබුණි. මෙමගින් හෙළිවූ කරුණු සියලු දෙනාවම මවිත කරවීමට සමත් විය. තටාකයේ ජලය හිස් කළ කණ්ඩායම යානයට සිදුවී ඇති හානිය තියුණු පරික්ෂාවකට භාජනය කළහ. ඔවුනට යානයේ බඳෙහි විශාල පැලුම් දක්නට ලැබුණු අතර එම පැලුම් යානයෙහි කවුළු සහ දොරවල් ඔස්සෙ පැතිර පැවතිණි. ඔවුන් Comet යානා ව්‍යුහයේ වූ ප්‍රධානතම දුර්වලතාවය හෙළිදරවු කරගැනීමට සමත්ව තිබුණි. Comet යානා සමූහයම මෙම මාරාන්තික දෝෂයෙන් යුක්ත යැයි අනුමාන කෙරින. මෙම දෝෂයේ මූලාරම්භය Metal Fatigue ( ලෝහ ප්‍රයාසය ) යනුවෙන් හැඳින්වූ, ලෝහයක් මත දිගින් දිගටම ප්‍රතිවිරුද්ධව යොදවන තෙරපුමක් හෝ බලයක් හේතුකොටගෙන ලෝහයේ දරාගැනීමේ ශක්තිය අවම වීමෙන් හට ගන්නා දුර්වලතාවය ලෙස සලකනු ලැබීය. ( ලෝහ කැබැල්ලක් ගෙන දිගින් දිගටම ඉහළට හා පහළට නැමීමේදී, මුලින්ම නැමුම් පාරක්ද, ඉන් පසු ටිකෙන් ටික එම ස්ථානයෙන් ලෝහය කැඩී වෙන්වන ආකාරයද ඔබ අත් දැක ඇත. මෙහිදීත් සිදුවනුයේ ඒ හා සමාන ක්‍රියාවලියකි. යානයේ අභ්‍යන්තර පීඩනය වැඩි කිරීමේදී අනිවාර්යයෙන්ම බඳෙහි යම් ප්‍රාසාරණයක් සිදු වන අතර, නැවත පීඩනය අඩු කිරීමේදී යානය පෙර තිබුණු තත්ත්වයට පත්වේ. මෙහිදී ඇතිවන ප්‍රසාරණය හා හැකිලීම මගින් Metal Fatigue හෙවත් ලෝහ ප්‍රයාසය යනුවෙන් හඳුන්වන සංසිද්ධිය ඇති විය හැකි බව පරීක්ෂකයන්ගේ මතයයි. )

නමුත් මෙහිදී ඔවුන් ගැටලු දෙකකට මැදි විය. පළමුවැන්න වූයේ මේ දක්වා ගොඩ ගත් කිසිම කොටසක මෙම දෝෂය පෙන්නුම් කරන ලක්ෂණ දක්නට නොවීමයි. දෙවැන්න වූයේ Comet නිර්මාපකයන් යානා වෙළද පළට නිකුත් කිරීමට පෙර ලෝහ ප්‍රයාසය පිළිබඳ පරීක්ෂණ පවත්වා යෝග්‍යය බවට සහතිකයක් ලබා තිබීමයි. Arnold Hall ඇතුළු කණ්ඩායම තම මතය තහවුරු කිරීම උදෙසා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඒ සඳහා ලෝහ ප්‍රයාසය පෙන්නුම් කෙරෙන යානයේ කොටසක් සොයා ගැනීම අත්‍යවශ්‍යය විය. අවාසනාවකට මෙන් මෙම සාක්ෂිය තවමත් මධ්‍යධරණි මුහුදු පතුලේ සැගව තිබුණි.

මේ අතර සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලින් හෙළි කරගනු ලැබුයේ, යානයේ අභ්‍යන්තර පීඩනය වැඩි කිරීම මගින් යානයේ බඳ මත ඇති කරනු ලබන මුළු ආතතියෙන් 70% ක් පමණ බඳෙහි දුර්වල ස්ථාන වූ කවුළු සහ දොරවල් අවට ඇති කරනු ලබන බවයි. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. මෙම අගය යානයේ සැලසුම් කරුවන් බලාපොරොත්තු වූවාට වඩා දෙගුණයකින් පමණ වැඩි අගයකි. තව දුරටත් කළ පරීක්ෂණ වලින් සොයාගනු ලැබුයේ කවුළු වටා ඉඳි කර ඇති ආධාරකය, ඇලවීම වෙනුවට රිවට් ඇණ යොදා සවිකිරීම හා එම ඇණ විදුම් යන්ත්‍ර මගින් සිදුරු කොට සවිකිරීම වෙනුවට කාවැද්දීම හේතුකොටගෙන ඇණය අවට කලාපයේ ක්ෂුද්‍ර පිපිරුම් සිදුවී ඇති බවයි. ඉතා තදින් ආතතියට හසුවන කවුළු අවට ඇතිවූ මෙම ක්ෂුද්‍ර පිපුරුම් ඔස්සෙ, දිගින් දිගටම සිදුවූ පීඩනය අඩු වැඩි වීම කරණ කොටගෙන, ලෝහ ප්‍රයාසය සිදුවීම මගින් එම ස්ථානයකින් මුල්ම පුපුරා යාම වන්නට ඇති බව අවසන් නිගමනය විය. එහෙත් මෙම නිගමනය සනාථ කෙරෙන යානයේ කොටසක් මේ දක්වා පරීක්ෂකයන්ට සොයා ගැනීමට නොහැකිවී තිබුණි.

කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, අගෝස්තු 12 වන දින, ඉතාලි ධීවර යාත්‍රාවක් මගින් යානයේ තවත් විශාල කොටසක් ගොඩ ගනු ලැබීය. එය යානයේ වහලයෙහි කොටසකි. මෙහි ගුවන් විදුලි තරංග හුවමාරු කරගැනීම සඳහා භාවිතා කළ කවුළු ද්විත්වයක් විය. මෙම කොටස තියුණු පරික්ෂාවකට ලක්කළ Arnold Hall  සහ පිරිස තමන් බලාපොරොත්තුවෙන් සිටි සාක්ෂිය ක්ෂණිකවම සොයා ගන්නා ලදී. එක් කවුළුවක තිබූ රිවට් සිදුරක, ලෝහ ප්‍රයාසය නිසා සිදුවූ කුඩා පිපුරුමක් නිරීක්ෂණය කිරීමට ඔවුනට හැකි විය. යානයේ අනෙකුත් කොටස් හා මෙම කොටස එකතු කළ විට ඔවුන් විසින් නිරීක්ෂණය කෙරුණේ, සිදුව ඇති සියලු පිපුරුම් වල ආරම්භය මෙම ස්ථානය බවයි. අවසානයේදී,  Arnold Hall සහ පිරිස විසින් මෙම අභිරහස  මෙලෙස විසඳනු  ලැබූහ.


පිපිරුම ආරම්භ වූ, ගුවන් විදුලි සංඥා කවුළු.

~~~~~


Paul Withey, ගුවන් යානා ලෝහ පිළිබඳ නූතන විශේෂඥයෙකි. වසර 52 කට පසු ඔහු මේ සැරසෙන්නෙ Arnold Hall ඇතුළු පිරිස 50 දශකයේ තාක්ෂණය යොදාගන විසඳු අභිරහසෙහි නිරවද්‍යතාවය 21වන ශතවර්ෂයේ තාක්ෂණය යොදාගන නැවත පරික්ෂා කිරීමටය. එමගින් Withey විසින් Arnold Hall ගේ සොයාගැනීම් වලට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලදහොත්, ගුවන් යානා පර්යේෂණ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට සිදු වනවා ඇත. Withey ට අනුව Arnold Hall ඇතුළු පිරිස අවසාන පරික්ෂා කිරීම් සිදු කරනු ලැබුවේ සාම්ප්‍රදායික අන්වීක්ෂයක් භාවිතා කරමිනි. පරීක්ෂණ කණ්ඩායම අවසාන නිගමනයට එළබීම සඳහ සිය අත්දැකීම් මත පිහිටා කටයුතු කොට තිබුණි. Withey මේ සැරසෙනුයේ එහි සැක හැර දැනගැනීමටය.

ලංඩන් නුවර Science කෞතුකාගාරයේ තබා ඇති BA 781 යානයේ සුන්බුන් වලින් ලෝහ ප්‍රයාසය දක්වන කොටස් වල අච්චු, සිලිකන් පොටි භාවිතා කර ලබා ගත් Withey , ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මගින් විශාලනය කොට පරික්ෂා කළේය. දෙසිය වාරයක් විශාලනය කළ විට Arnold Hall විස්තර කළ ලෝහ ප්‍රයාසය මගින් ඇතිකළ පැලුම් ඔහුට දක්නට ලැබීය. අටසිය වාරයක් විශාලනය කළ විට Withey  හට දක්නට ලැබුණේ Arnold Hall විසින් කිසි කලකත් නොදුටු, නමුත් ඉතා නිවැරදිවම අනුමාන කරන ලද නිෂ්පාදන දෝෂයයි. එනම්, රිවට් ඇණ කාවැද්දීම නිසා බඳෙහි තහඩුව මත ඇතිකරනු ලබූ ක්ෂුද්‍ර පිපුරුම්ය. මෙලෙස වසර 52කට පසු, 21වන සියවසේ තාක්ෂණය යොදගන Withey  විසින් Arnold Hall සොයා ගත් කරුණු ඉතා නිවැරදි බවට නැවත සහතික කරනු ලැබීය.

~~~~~
සිදු වූයේ කුමක්ද ?? ..............................

Comet යානා බඳ අසාමාන්‍ය ලෙස තුනී ඇලුමිනියම් තහඩු උපයෝගී කරගෙන නිපදවා තිබුණි. එයට අමතරව කවුළු සහ දොරවල් අවට ආධාරක රාමු රිවට් ඇණ කාවැද්දීම මගින් සවි කිරීම හේතුකොටගෙන යානයෙහි තහඩු මත නිෂ්පාදකයන්ද නොදන්නා ක්ෂුද්‍ර පිපිරුම් ඇතිවී තිබුණි. සෑම පියාසර වාරයකදීම ඇති කරවනු ලබන අභ්‍යන්තර පීඩනය, යානයෙහි බඳ මත අති විශාල ආතතියක් ඇති කරනු ලැබූ අතර විශේෂයෙන්ම කවුළු සහ දොරවල් අවට කලාපයන්හී මෙම ආතතිය අති විශාල විය. මෙසේ සෑම පියාසර වාරයකදීම නැවත නැවතත් සිදුවූ පීඩනය වැඩි කිරීම නිසා පෙර සඳහන් ක්ෂුද්‍ර නිෂ්පාදන දෝෂය ක්‍රමක්‍රමයෙන් ලෝහ ප්‍රයාස පිපුරුම් බවට පරිවර්තනය වී සෑම පියාසර වාරයකදීම එය මදින් මද විශාල විය. 1954 ජනවාරි මස 10 වන දින, ඒ අවාසනාවන්ත මොහොතේදී, යානයෙහි වහලය මත වූ ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණ කවුළුවකින් ඇරඹී, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබූ ඒ පැළුම, මිනිස් ජීවිත තිස් පහකට වග කියමින් යානය විනාශ කොට දැමීය.

යානය කැඩී ගිය ආකාරය පෙන්වන සටහනක්. රතු - 1  /  කහ - 2  / දම් - 3  / කොල - 4  / දුඹුරු - 5


Arnold Hall  ඇතුළු කණ්ඩායම මගින් කළ සොයාගැනීම් නිසා එයින් පසු ඇරඹි අනාගත ගුවන් ගමනේ හැඩ රුව බෙහෙවින්ම වෙනස් විය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල මත, යානාවල ආරක්ෂාව වෙනුවෙන් බොහොමයක් වූ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එල්බා දිවයිනේ, මිය ගිය තිස් පස් දෙනා වෙනුවෙන් ඉදිවී ඇති සිහිවටන ස්මාරකය, වසර පනහකටත් වැඩි කාලයක් තිස්සේ නිහඩව කියාපන්නේ, ඔවුන් විසින් සිය ජීවිත පරිත්‍යාග කිරීම මගින් නොදැනුවත්ව හෝ අනාගත මගී ගුවන් යානා වල ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ ඒ අගනා මෙහෙයයි. ඔබ අද ආරක්ෂිතව ගුවනේ ගමන් කරයිද, ඒ සෑම ගුවන් වාරයක් පාසා ඔබගේ ජීවිතය ඔවුනට ණය ගැතිය.

~~ නිමි ~~

Seconds from disaster - Comet Air Crash [ BOAC Flight 781 ]



සහ

http://en.wikipedia.org/wiki/Comet_Flight_781
http://en.wikipedia.org/wiki/Metal_fatigue

ඇසුරින් සකස් කෙරුවේ ;

~~සෙන්නා / 20.09.2012


පින්තූර උපුටා ගැනීම ;
1. Wikipedia
2. modelairplanenews.com
3. Seconds from disaster - Comet Air Crash [ BOAC Flight 781 ] - Video

Friday, July 27, 2012

සැවුලෙකුගේ විලාපය

2012 ඇසල මස 27 වනදා



යාන්තම් ඇහැ පියවීගන ආවා විතරයි, එතකොටම වගේ ඇහැරුණා වගේ තමා මතක. ඒ ඉතින් අපේ හැටිනෙ. තාම හොඳටම කළුවරයි. එළිය බැලුවට එච්චරම පැහැදිලිත් නෑ. මම වාඩි වෙලා හිටපු පටිය දිගේ බිත්තිය අයිනට ගියේ යාන්තම් හරි එළියක් පේනවද බලන්ඩ. මොන ! පට්ට කළුවරයි. අල්ලපු ගෙදර කුකුල් රාජයනම් අඬලන සද්දෙ ඇහුණා. ඒ කියන්නෙ තව සෑහෙන වෙලාවක් මෙහෙම ලැගගන ඉන්ඩ ඕනා කියන එකයි. මට එපාම කරපු දෙයක් තමයි ඇහැරුණාට පස්සෙ මේක ඇතුළට වෙලා ඉන්න එක. ඒත් කොහොමද එළියට යන්නෙ. එකක් දොර අගුල දාලා. ඒ නැතත් බෝධිසත්වයගෙන් කිසිම අවසරයක් නෑ මේ කළුවර ජාමේ එළියට බහින්ඩ.

මට ඉතින් මෙහෙම ඉන්නකොට නා නා ප්‍රකාර දේවල් ඔළුවට එනවා. ආයෙත් අර කුකුළා අඬලනවා. එයාල ඉන්නෙ හරි උඩින්. ඒක නිසා කෑ ගහන සද්දෙ වටේටම හොඳටම ඇහෙනවා. ඒ ගොල්ලන්ගේ කූඩුව හරි අමුතුයි. ඒක තියෙන්නෙ ගහක අත්තක එල්ලලා. ඒ ගෙදර මිනිස්සු හැමදාම හවසට ඒකට ඉණිමගක් හේත්තු කරනවා. එතකොට කුකුල්ලු ටික ඒ ඉණිමග දිගේ නැගලා තමා කූඩුවට යන්නෙ. මම බලන් ඉඳලා තියනවනෙ ඒ ගොල්ලො නගින හැටි. එක එකා සැරින් සැරේ ඒ ගොල්ලන්ට ඕනා වෙලාවට තමා ඇවිත් නගින්නෙ. එක පඩියක් නගිනවා, ආයෙ ටිකක් ඉන්නවා, ඔන්න ඔහොම තමා නැගිල්ල. කොහොමින් කොහොම හරි ගොම්මන් කළුවර වැටෙනකොට ඔක්කොමල්ලා ටික ඉණිමග නැගලා කූඩුවට යනවා. ඒ ගොල්ලො ඒකට පුරුදු වෙලා. ඊට පස්සෙ ඒ ගෙදර මිනිස්සු ඉණිමග අයින් කරනවා. උදේට ඒ ගොල්ලො පියාබලා පහළට එනවා. මාත් දවසක ගිහින් බලන්ඩ ඕනා ඕකට. ඒ කූඩුවෙ ලගින රත්තා අයියානම් කියන්නෙ ඒ ගොල්ලන්ගෙ ආරක්ෂාවටලු ඒක එහෙම හදලා තියෙන්නෙ. කලවැද්දන්ගෙන් එහෙම බේර ගන්ඩ. ඒ කථාවත් ඇත්ත එක අතකින් බලපුවම. එල්ලලා තියන කම්බිය දිගේ බඩගාගන ආවොත් මිසක් කාටවත් ඒකට ළංවෙන්න ලේසි නෑ. කාටද ඔය කම්බි දිගේ බඩ ගාන්ඩ පුළුවන්.

අපිටනම් එච්චර ආරක්ෂාවක් නෑ තමා. මේක නිකම්ම නිකන් ගල් වලින් බැඳපු කූඩුවක්. ඒකත් බිම ඉඳන් අඩි තුනක් විතර. ඊට පස්සෙ වටේටම පුවක් ලී වගේ පටි ජාතියක් ගහලා තියෙන්නෙ. අපේ කට්ටිය නම් තාම හොඳටම නිදි වගේ. එතකොට මට විතරද මේ නින්ද නොයන්නෙ ? නැත්තම් ඒ ගොල්ලොත් නිදි වගේ ඉන්නවද ?

අපි ඔක්කොම අට දෙනෙක් මේ කූඩුව ඇතුළෙ හිටියා. ගෑනු පිරිමි කලවමේ. වැඩියෙන් හිටියෙ පිරිමි තමා. කුකුළො හයයි, කිකිළියො දෙන්නයි. අපි හය දෙනාම ලැගලා හිටියේ කූඩුව හරහා අඩි දෙකක් විතර උඩින් හයි කරලා තිබුණ පටි උඩ. අපිට වෙන් වෙච්ච ස්ථාන තිබුණා ඒ පටි වල. කිසිම හේතුවක් නිසා කවදාවත් ඒවා මාරු වුණේ නෑ. කවදාවත් අනිකගෙ තැන ගන්ඩ අපි පොරකෑවෙත් නෑ. කිකිළියො දෙන්න නම් හිටියෙ බිම ලැගලා. දහයියා ගොඩේ. ඒවයෙ ටිකක් යටට පොඩි වළක් හාරගන ඒක ඇතුලෙ තමා උන් ළගින්නෙ. එහෙම ඉන්නකොට පොඩි උණුසුමක් දැනෙනවා.

අපේ කාණ්ඩෙ නායකයා තමා "බෝධිසත්ත්වයා". ඌ බොහොම ආඩම්බරකාර, හොඳට උස මහතට හැදුණ කුකුල් නාම්බෙක්. අපි ඔකොම ගරු කළේ උගෙ ඇඟේ ප්‍රමාණෙට නෙමේ. උගෙ තියන බෝසත් ගති වලට. ඌ අපි හැමෝටම හොඳ නායකයෙක්. අපි හැමෝ ගැනම හොඳට හොයලා බැලුවා. හොඳ මොකක්ද නරක මොකක්ද කියන එක ගැන ඌට හොඳ අවබෝධයක් තිබුණා. අපි අතර වෙන පොඩි පොඩි සණ්ඩු සරුවල් වුණත් ඌ මැදිහත් වෙලා තමා විසදෙන්නෙ. දවසක් රාජාලියයි මමයි අතර කඳන් පණුවෙකුට ඇතිවුණ පොරය බේරුවෙත් බෝධිසත්ත්වයා තමා. අපිට මේ ඔක්කොම නම් දාලා තියෙන්නෙ මේ ගෙදර ඉන්න ළමයි. ඒ ගොල්ලො ගැන පස්සෙ කියන්නම්. බෝධිසත්ත්වයට ඒ නම් දාන්න ඒ ගොල්ලොත් මේ මම දකින විශේෂ ලක්ෂණ දකින්න ඇති කියලා මට හිතෙනවා. බෝධිසත්ත්වයා තනිකරම සුදුම සුදු කුකුළෙක්. කරමල විතරක් රතු පාටින් කැපිලා පේනවා.

ඊ ළඟට "රාජාලියා". අපේ රැහේ කේන්ති කාරයා. බෝධිසත්ත්වයා ඇරෙන්න අපි හැමෝම ඌට බයයි. ඌට මහ දරුණු පොර කටු දෙකක් තිබුණා. අපිව බය වුණේ ඒ පොර කටු වලට තමයි. ඌ හරි හයිරන් කාරයා. හැමතිස්සෙම අනුන්ගෙ දේවල් බලෙන් උදුර ගන්ඩ තමා මාන බැළුවෙ. පොර කටු දෙකේ හයිය නිසාද මංදා හැම තිස්සෙම වලියකටම තමා අරාදින්නෙ. මමත් හුගක් වෙලාවට ඌට තැන දීලා මගෑරල යනවා. ඒ අර පොර කටු දෙකෙන් පාරක් කන්ඩ අමාරු නිසා. ඒත් හැම වෙලාවෙම ඉවසන්ඩත් බෑනෙ. එහෙම ඇතිවෙච්ච සණ්ඩුවක් තමා එදා බෝධිසත්ත්වයා මැදිහත් වෙලා බේරුවෙ. මූ කෙට්ටු උස කුකුල් නාම්බෙක්. රතට හුරු දුබුරු පාටක් තමා මූට තිබුණෙ. නිකන් රාජාලියෙක්ගෙ පාටට හුරු පාටක්. පෙනුමත් ටිකක් ඒ වගේ. ඒක නිසා වෙන්ඩ ඇති ඌට ඒ නම හම්බෙන්ඩත් ඇත්තෙ.

ඊට පස්සෙ ඉන්නෙ අපේ "ජොකොල". ඌ නම් පොඩි කාලෙම වෙච්ච මොකක්ද අනතුරකින් එක කකුලක කොරයක් තියන එකෙක්. දුබුරු පාට හොඳ පුෂ්ටිමත්ව හැදුණ කුකුල් නාම්බෙක්. හබැයි අහින්සකයා. ඒ ආබාධිත හින්දමත් නෙමේ. ඒ උගේ හැටි. 

ඊළඟට මම ගැන කියන්නම්කො. මට මේ ගෙදර ළමයි දීලා තියන නම තමා "සුද්දා". මම බෝධිසත්ත්වයා තරම්ම සුදු නොවුණත් සැහෙන සුදක් තිබුණ කුකුළෙක්. ඒත් බෝධිසත්ත්වයට සුද්දා නොකියා මට සුද්දා කිව්වෙ, බෝධිසත්ත්වයට, බෝධිසත්ත්වයා කියන නම හොඳටම ගැලපෙන නිසා වෙන්න ඇති. 


ඊළඟට "පොඩි එකා". ඌ ශරීර ප්‍රමාණයෙන්ම පොඩියි. ඒක නිසා වෙන්ඩ ඇති ඒ නම දාන්ඩ ඇත්තෙ. කළුපාට ඇඟේ සුදු පාට වෛරම් වැටිච්ච කුකුළෙක් ඌ. ඌට නාම්බෙක් කියන්ඩ නම් බෑ. එච්චරට පොඩියි.

අන්තිමට ඉන්නෙ " අන්තිමයා ". ඌට ඇයි අන්තිමයා කියන්නෙ කියලා මම දන්නෑ. ඌත් බොහෝ දුරට මම වගේ.. පාටනම් මට ප්‍රතිවිරුද්ධයි. කළු පාට. ඌට "කල්ලා" නොකියා අන්තිමයා කිව්වෙ ඇයි කියලා ඉතින් මේ ගෙදර ළමයින්ගෙන්මයි අහන්ඩ ඕනා.

ඊට පස්සෙ ඉන්නෙ අපේ නෑම්බියො දෙන්නා. උන් දෙන්නා ගැන කියන්ඩ ඉතින් විශේෂ දෙයක් නෑ. අපි හැමෝගෙම ආදරය කරුණාව උන් දෙන්නට යහමින් හම්බුනා. ඉඳලා හිටලා අල්ලපු ගෙදර රත්තයි, අනික් නාම්බයිත් උන්ට ආදරය කරන්ඩ එනවා මම දැකලා තියනවා. කුකුල්ලු වෙච්ච අපිට ඕවා ඉතින් මහ ලොකු දේවල් නෙමේ. බෝධිසත්ත්වයගෙන් උණත් ඒවට විරෝධයක් තිබුණෙ නෑ. ඒ උන්දැට ලෝකස්වභාවය ගැන හොඳ වැටහීමක් තියන නිසා වෙන්ඩ ඇති. අපේ නෑම්බියො දෙන්නා දාන බිත්තර නම් මේ ගෙදර අය ඔක්කොම එකතු කරගන්නවා. මුන් දෙන්නත් ආ මෙන්න ඇවිත් අර ගනිල්ලා කියනැහැ බිත්තරේ දාලා කෑ ගහනවනෙ. ගෙදර අයත් පොඩි වී අහුරක පගාවක් දීලා බිත්තරේ අරගන යනවා.

කුක්කු කූක් කූක්......

ඒ බෝධිසත්ත්වයගේ නාදය. මමත් අඩලන්න කිහිප වරක් උත්සහ කළාට තාම මට ඒක හරියට බෑ. රාජාලියත් ඉඳලා හිටලා අඬලනවා අහලා තියනවා. දැන් ඉතින් බෝධිසත්ත්වයි, එහා ගෙදර නාම්බයි තරගෙට අඩලන එක සාමාන්‍යය දෙයක් අපිට.

අපේ කූඩුවට යාබදව ඉස්සරහින් තියෙන්නෙ අර මම කලින් කියපු ළමයි ඉන්න ගෙදර. බෝධිසත්ත්වයා අඬලලා ටික වෙලාවකින් ඒ ගෙදර එළි පත්තුවෙන්ඩ ගන්නවා. ඕක තමා සාමාන්‍යයෙන් හැමදාම වෙන සුපුරුදු චර්යාව. මේ ගෙදර මිනිස්සු උදෙන්ම ඇහෙරෙන අය. ගෙදර හැමෝමත් නෙමේ. ගෙදර ළමයි "අම්මා" කියලා කතා කරන ගෑනු කෙනා අනිවාර්යයෙන් බෝධිසත්ත්වයා කෑගහලා ටිකකින් නැගිටිනවා. ඒ ඇරුණම ලොකු පිරිමි ළමයි දෙන්නම හෝ එක්කෙන් නැගිටලා ඉන්නවත් පේන්ඩ හම්බෙනවා. වටේ පිටේ අනිත් ගෙවල්වල ඔක්කොම අය ඊට ගොඩක් පස්සෙ තමා අවදිවෙන්නෙ.


දැන්නම් හොඳටම එළිය වැටිලා. ඒත් අපේ කූඩුව තාම වහලා. මට ඔය තරම් කේන්ති එන වැඩක් තවත් නෑ. මෙච්චර එළි වෙලත් අපිව මේ කූඩුවෙ හිර කරන් ඉන්න එක කොච්චර අසාධාරණද ? ඒකට අල්ලපු ගෙදර රත්තලා. උදෙන්ම පහළට පියාබලා එනවා. එහෙව් නිදහසක් !

ටිකකින් අපේ කූඩුව ඇරියේ මේ ගෙදර ලොකු ගෑනු ළමයා. කූඩුව රපු ගමන් උන්දැ දුවලා ගිහින් ළඟ තියන බිත්ති කණ්ඩියට නැග ගන්නවා. මොකද අපි ගාල කඩා ගත්තු හරක් වගේ එක රොත්තට එළියට පැනලා දුවගෙන එන එකට ඒ ළමය බයයිද කොහෙද. රැයක් තිස්සෙ හිරවෙලා ඉඳලා ඇඟේ හිරි ඇරගන්ඩත් එක්ක අපි වේගෙන් වත්ත පල්ලැහට දුවගන ගියා. බෝධිසත්ත්වයා, රාජාලියා එහෙම නම් ටිකාක් දුර පියාබගනත් ගියා. 

අපේ කූඩුව තිබුණ, මේ වත්තෙ ඉස්සරහාම තිබුණෙ මම අර කලින් කියපු ගෙදර. ඊට පස්සෙන් අපේ කූඩුව තිබුණා. වත්තෙ මැද්දට වෙන්ඩ තවත් ගල්වලින් බැඳපු කාමරයක් වගේ එකක් තිබුණා. ඒ ගොල්ලො නම් ඒකට කිව්වෙ " කක්කුස්සිය " කියලා. ඔතනින් එහාට මේ වත්තෙ සෑහෙන විශාල ගස් වලින් ආවරණය වෙලා තිබුණෙ. කොස්, පොල්, දෙල්, කිතුල්, මිල්ල, කෝපි ආදී නනාප්‍රකාර ගස් වලින් වත්ත පිටි පස්ස හෙවන වෙලා තිබුණෙ. අපි කූඩුව ඇරපු ගමන් දුවගන එන්නෙ මේ පිටිපස්සට තමා. එහෙ හොයාගන්ඩ කෑම ඕන තරම්. පොඩ්ඩක් බිම පහුරු ගාපුවම පණුවෙක්, වේයෙක්, කැරපොත්තෙක් හොයාගන්න එක මහ අමාරු දෙයක් උණේ නෑ. රත්තලා හිටපු වත්තත් මේ අපේ එක වගේමයි. ඉස්සරහා ගෙදර, පිටිපස්සෙ වදුල. එතකොට අනිත් පැත්තෙන් තිබුණ වත්තත් එහෙමයි. අපි බඩගෝස්තරය හොයගන යන රාජධානිය වෙලාතිබුනෙ ඔය වතු තුන එකතු වෙච්ච ප්‍රදේශය තමා. ඔය වතු තුනටම පිටිපස්සෙන් ගලාගන ගිය පුංචි දිය අගලක් තිබුණා. අපි වතුර තිබහක් එහෙම ආවොත් ඕකෙන් තමා පිරිමහ ගන්නෙ. ඔය අගලට එහායින් තිබුණෙ මහා කැලයක්. ඒකෙ එක එක ජාතියෙ විශාල ගස් තිබුණා. ගෙදර අය නම් ඒකට කිව්වෙ "කුරුන්ද" කියලා. බෝධිසත්ත්වයා අපිට එහෙට යන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබුණේ. ඒ කුරුන්දෙ අගල් කණ්ඩිය උඩ ඉඳන් නරි කෑ ගහනවා ඇහිච්ච රාත්‍රියේ ඉඳලා. එහෙ නොගියට අපිට මේ වතු තුනේ කෑම ජාති එමටයි. අපි හිටපු වත්තෙ පිටිම පස්සට වෙන්න හරි අපූරු ළිඳක් තිබුණා. මේ මිනිස්සු ඒක පාවිච්චි කළේ වතුර ඇදලා ඇඟේ හලා ගන්ඩ. මට හිතාගන්ඩ බෑ මිනිස්සු ඇයි වතුර අරන් ඇඟේ හලා ගන්නෙ කියලා. දූවිලි ටිකක් ඇඟේ තවරගත්තම ලැබෙන සනීපෙ ලබෙනවද ඒකෙන් ! මෝඩ මිසිස්සු. ඒ ළිඳේ වැහි කාලෙට කට ගාවට වතුර පිරිලා. මේ ගෙදර අය අතින් වතුර ඇදලා තමා ඇඟේ හලා ගත්තෙ. පායන කාලෙට වතුර ටිකක් අඩු වෙනවා. එතකොට ඒ ගොල්ලන්ට කොට කඹ කෑල්ලක් ඕනා වෙනවා. එච්චරයි. ඔය ඇඟේ හලා ගන්න වතුර ඔක්කොම පොඩි කාණුවක් දිගේ යන්නෙ අර මම කලින් කියපු අගලට. ඔන්න ඔය කාණුව අපිට කෑම උල්පතක්. ඔතන පොඩ්ඩක් පහුරු ගාපුවම පණුවො රොත්තක් හොයා ගත්තෑකි.

බා බා බා බා ......

ඔය හඬ ඇහෙන්නෙ අපි කෑම හොයන්ඩ පිටිපස්සට ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සෙ. ඉර මුදුන් වෙන්ඩ ටික වෙලාවක කලින්. ඔය සද්දෙ මොකක්ද කියන්ඩ අපි පුරුද්දෙන්ම දන්නවා. ඒ කතා කරන්නෙ අපිට කෑම දෙන්ඩ. අපිට මෙහෙ කොච්චර කෑම වලින් හිඟයක් නොතිබුණත්, නිකන් හම්බෙන ඒ කෑම ටික කන්ඩ අපි ඔක්කොමලා දුවගන යනවා. ඒ ගියාම ඒ ගෙදර මිනිස්සු බතුයි, පොල්කුඩුයි, පුන්නකුයි අනපු කෑම අහුරු අහුරු අපි ඉන්න දිහාට විසි කරනවා. අපි ඉතින් වටවෙලා ඕවා අහුලගන කනවා. ඉඳලා හිටලා පොඩි පොඩි ආරවුළුත් ඇති වෙනවා කෑම බෙදාගන්ඩ ගිහින්. ඒව ඔක්කොම ඉතින් බෝධිසත්ත්වයගෙ එක කෙටීමකින් ඉවර වෙනවා. ඔය ටික කෑවට පස්සෙ ආයෙත් සුපුරුදු රාජකාරියට යනවා. පොළව පහුරු ගගා කෑම සොයා යාම. ඇති වුණාම හොඳට දූවිලි ඉතියන තැනක් බලල හොඳට පෙරළි පෙරළි දූවිලි ටිකක් නා ගන්නවා. ඔය අතරෙ නෑම්බියන් පස්සෙන් පැන්නීමත් සිද්ධ වෙනවා. ඒකට ඉතින් අපේ නෑම්බියො දෙන්නයි, අල්ලපු ගෙදර රත්තලාගෙ කූඩුවෙ හිටපු නෑම්බියො ටිකයි හිටියා. ඔහොම ඉතින් දවස ගෙවාදාලා ඉර අවරට යන ගොම්මනේ අපි හිමීට කූඩුවට ගාටනවා. ගෙදර අයත් ඒ ගැන දන්න නිසාද කොහෙද කූඩුවෙ දොර ඇරලා තමා තියෙන්නෙ. ඕක තමා අපේ දින චර්යාව. ඇත්තටම මම නම් හරිම තෘප්තිමත් මේ ජීවිතය ගැන. ලෝකෙ කොච්චර ලස්සන තැනක්ද ! 

~~~~~

අද නම් මට ඇහැරුණේ එහා ගෙදර නාම්බගේ ඇඬලිල්ලට. මමත් තටු දෙකම එහම ගහලා පොඩ්ඩක් අඬලන්ඩ උත්සහා කළා, මොන ! තව ටිකක් කල් ඕනා වගේ.

පුරුදු විදිහටම ටිකකින් බෝධිසත්ත්වයා ඇඬලුවා. ඊට ටිකකට පස්සෙ ඉස්සරහා ගෙදර එළි පත්තු වුණා. මට එක අතකින් හරි ප්‍රශ්නයක් ඇයි මේ ගෙදර මිනිස්සු විතරක් උදෙන්ම නැගිටින්නෙ කියලා. අහල පහළ අනිත් ගෙවල්වල ඔක්කොමල්ලා හොඳටම නිදි. වෙන එකක් තියා අපේ සමහර ඇයෝත් හොඳ නින්දේ.

මේ ගෙදර හිටිය පිරිමි මනුස්සයා, අර ළමයි " තාත්තා" කියපු මනුස්සයා, ගෙදර හැමෝටම වඩා උස, උසට සරිලන මහත මනුස්සයෙක්. මට හිතුණ හැටියට නම් ඒ මනුස්සයා හොඳ කෙනෙක්. අපිට නම් අබමල් රේණුවක් තරම් වත් හිරි හැරයක් තිබුණෙ නෑ. හුගක් වෙලාවට උදෙන්ම නැගිටලා රෝද දෙකක් උඩ යකඩ පටි හයිකරපු වාහනයක නැගලා යනවා. ආයෙ එන්නෙ හවසට. ගෙදර ඉන්න දවසට නම් වත්තෙ පිටියෙ මොකක් හරි වැඩක් කරනවා. හුඟක් වෙලාවට මොනවද හප හප රතු පාටට කෙළ ගහනවා. හැබැයි උදේ ඉන්න මනුස්සයා නෙමේ හවසට ඉන්නෙ. උදේට කනට ඇහෙන්ඩ කතා නොකරන මනුස්සයා හවසට හරියට කියවනවා. ඒත් සද්දෙන් කතා කරනවනම් කවදවත්ම ඇහිලා නෑ.

ගෙදර ගැනු මනුස්සයත් හරි උත්සහවන්තී. මම හිතන්නෙ ඔය උදෙන්ම නැගිටින්නෙත් ඒ වගේ මොකක් හරි දේකට තමා. කොයි වෙලේ බැලුවත් මොකක් හරි වැඩක තමා ඉන්නෙ. නිතරෝම ලොකු ඉඳිකටුවක් වගේ එකක් අතේ තියන් ලොකු කඹ වගේ ජාතියක් එකට මහමින් ඉන්නවා මම දැකලා තියනවා, ඉඳල හිටලා ඔය ගේ අතුලට ගිය දවස් වලට. මේ ගෙදර ළමයි ඔය කඹ වගේ ජාතිය ගොතනවා මම දැකලා තියනවා. සමහර වෙලාවට රත්තලෑ ගෙදර හිටපු පිරිමි ළමයෙකුත් ඒකට හවුල් වුණා. ඒ ගොල්ලො ඔය වැඩේ කරනකොට මමත් ඉතින් ඔය අහල පහළ දැවටි දැවටි කෑම හොයනකොට හුණ කතා වලින් තේරුණේ මේවා ගොතනවට ඒ ගොල්ලන්ට අර "අම්මා" කියන ගැහැණු මනුස්සයා පොඩි ගාණක් ගෙවනවා. ඒ ගොල්ලො ඒවයෙන් ඉස්සරහට එන මොකක්ද උත්සවයකදි රතිඤ්ඤාද මොනවද ගන්ඩ තමා කතාව. 

ඊට පස්සෙ ළමයි පස් දෙනා. මම කලින්, සැරින් සැරේ කීවෙ ඒ ගොල්ලො ගැන තමයි. අපිට දාලා තියන නම් ඔක්කොම ඒගොල්ලන්ගෙ නිර්මාණ. ලොකුම එක්කෙනා පිරිමි ළමයෙක්. මිනිහත් හරි ධෛර්යයවන්තයා. හුඟක් වෙලාවට උදෙන්ම නැගිටලා අම්මා කරන මොකක් හරි දේකට එයත් උදව්වෙනවා කියලා තමා මට හිතුණේ.

දෙවෙනියත් පිරිමි ළමයෙක්. මිනිහා ටිකක් අපේ රාජාලියා වගේ. හැමතිස්සෙම මොකක් හරි රණ්ඩුවක පැටලෙන්ඩ තමා බලන්නෙ. එයාට බාල අය නිතරම එයාගෙ අඩන් තේට්ටම් වලට යට වුණා කියලා තමා මට හිතුණේ. " අම්මෙ පොඩි අයියා ගැහුවා " කියන ආඩපාලිය නිතරම වගේ අහන්ඩ ලැබුණා. මිනිහට තව කාලෙන් කාලෙට එක එක පිස්සු තියනවා. කාලයක් පුවක් පටියකට ලණුවක් ගැට ගහලා ඒක මැද්දෙන් තවත් කෝටු කෑල්ලක් තියලා දකින දකින් ඒවට විද විද හිටියා. හුඟක් වෙලාවට අහිංසක කෙහෙල් ගස් තමා ඒවට වන්දි ගෙව්වෙ. කාලයක් වල් කපලා ඒවා උඩින් වහලා ඒවට අනිත් අයව වට්ටන්ඩ හැදුවා. ඒවට වැටුණ කෙනෙක් නෑ.. අඩුම ගානේ පූසෙක්වත් නෑ. බැරිම තැන මිනිහම ගිහින් ඒවට පනිනවා. මිනිහා වෙලාවකට හරිම හොඳයි, අපිවත් අල්ලගන තටු අතගගා හුරතල් කරනවා. වෙලාවකට යකා වගේ අතේ තියන එකෙන් දමලා ගහනවා. හරිම භායානකයි.

තුන්වෙනියා ගෑනු දැරිවියක්. අර ඊයෙ ඇවිත් දොර ඇරියෙ එයා තමා. එයා අර දෙවෙනියට වැඩිය ටිකක් බාල ඇති ඕන නම්. මෙයා එක්ක තමයි අර මනුස්සයා නිතරම රණ්ඩු ඇල්ලුවෙ. එයත් කියන්ඩ තරම් වරදක් තිබුණේ නෑ. අපිටත් වරදක් නෑ. හැබැයි අපි ගේ අතුලෙ ඉන්නවා දැක්කොත් නම් එලෝලා දානවා. අපි බෙටි දානවා කියලා එන්ඩ දෙන්නෑ.

තව හිටියා පිරිමි ළමයෙකුයි, චුටි ගෑනු දරුවෙකුයි. ඒ දෙන්න නම් බොහොම පොඩියි.

ඊට අමතරව හිටියා වයසක ගෑනු කෙනෙක්. වයසෙ හැටියට උන්දෑ බොහොම නිරෝගියි. ගෙදර අනිත් අයට උන්දැගෙන් ලැබුණ සහය අපමණයි. මේ ගෑනු කෙනා අර මම කලින් කීව අගලෙ පොල් ලෙලි පොගවලා ඒවයෙ කොහු අරගන ලණු විව්වා.

ඔයිට අමතරව තව පිරිමි මනුස්සයො දෙන්නෙක් හිටියා. ඒ ගෙදර ළමයි ඒ ගොල්ලන්ට කතා කළේ "ලොකු අංකල් " සහ "පොඩි අංකල්" කියලා.

ඔය ගෙදර තව එක්කෙනෙක් හිටියා. එයා නිකන් ගෙදර අයිතිකාරයා වගේ තමා හිටියේ. ඒ තමයි බලු තඩියා. මූ එච්චර උසත් නැති, දුඹුරු පාට බලු තඩියෙක්. රට බල්ලෙක් එහෙම නෙමේ වල්ම වල් බල්ලෙක්. හැබැයි මූ මහ ආඩම්බර කාර බල්ලෙක්. මම කවදාවත් අහලා නෑ මේ බල්ලා බුරනවා. මම හිතන්නෙ උගෙ අම්මට අමතක වෙලාද කොහෙද ඌට ඒක උගන්වන්ඩ. හැබැයි වටේ පිටේ මිනිස්සුයි, බල්ලොයි ඔක්කොම මූට බයයි. දෙතුන් දෙනෙක්වම පලු යන්ඩ කාලා තිබුණා. ඒ කිසිම සද්දයක් නැතුව හොරෙන්ම පිටි පස්සෙන් ගිහින්. එයාගේ ප්‍රහාරය ඒක තමා. ඌට ගෙදර ඕනැම තැනක ඉන්ඩ ගෙදර අය අවසර දීලා තිබුණේ. අපි පොඩ්ඩකට ගෙට ගොඩ වුණොත් ශෝ ශෝ ගාලා අපිව එළවන මිනිස්සු බලන්ඩ ඕනා අර බල්ලට දීලා තිබුණ නිදහස. ඌ ඉන්නෙ ගෙදර සාලෙ මැද්දෙම තිබුණ ලොකු පුටුව උඩ. අත් දෙක ඉස්සරහට දික්කරගන, කකුල් දෙක පස්සට දික් කරගන. ගෙදර කවුරුවත් නෙමේ ඌට කටක් ඇරලා පලයන් කිව්වෙ. උගේ නම " බුමට්". වෙන බල්ලො වගේ නෙමේ මුගෙන් අපිටත් කිසි කරදරයක් තිබුණෙ නෑ. කවදාවත් විහිලුවටවත් අපේ පස්සෙ පන්නලා නෑ. මූ මහ අමුතු බල්ලෙක්. 

~~~~~

කාලය ඉතින් ඔහොම ගෙවිලා ගියා. අපේ දින චර්යාවෙත් කිසිම වෙනසක් තිබුණෙ නෑ. අපේ පුංචි ලෝකය සතුටින් පිරිලා තිබුණෙ.

පළවෙනි කම්පනය, බිය, ත්‍රාසය දැනුණ දවස මට අද වගේ මතකයි. රාජාලිය එදා තමා මුල්ම වරට බෝධිසත්ත්වයා එක්ක රණ්ඩු කළේ. ඒ රාජාලියා බෝධිසත්ත්වයත් එක්ක කරපු පළමු සහ එකම රණ්ඩුව. රණ්ඩුවට හේතුව රාජාලියාට කුරුන්දට යන්ඩ උවමනා වීම. එහෙ රස කෑම ජාති තියන බව තමා රාජාලියාගේ මතය වුණේ. කොහොම හරි රණ්ඩුවෙන් පස්සෙ බෝධිසත්ත්වයා තීරණය කළා ඔහුට යන්ඩ දෙන්න. ඒ ගියා ගියාමයි එදායින් පස්සෙ අපිට රාජාලියව දකින්ඩ හම්බුනේ නෑ. ගෙදර අය නම් කිව්වෙ එක්කෝ නරියෙකුට අහුවෙන්ඩ ඇති නැත්නම් කවුරුහරි මිනිහෙක් අල්ලගන්ඩ ඇති කියලා. කොහොම හරි එදා අපිට රාජාලියාව නැතිවුණා. අපි කොච්චර උගේ වැඩ වලට අකමැති වුණත් ඌ නැති වෙච්ච එක ගැන අපි හැමෝම කම්පා උණා. රාජාලියා නැතුව ගෙවපු ඒ පළවෙනි රාත්‍රිය මහ මූසල රාත්‍රියක්. මිනිස්සුනම් හිතන්නෙ අපිට හැඟීම දැනෙන්නෑ කියලා. ඒත් ඒක එහෙම නෙමේ කියලා මිනිස්සු කවදා දැනගනියිද ?

ඊට පස්සෙ උදා වුණේ ශීත කාලෙ. උදෙන්ම හමා යන සිහිල් සීතල හුළන් රැල්ල දේශගුණයේ වෙනස්වීම අපිට කියා පෑවා. 

එදා හවස ගෙදර ළමයි ටික එකතු වෙලා වත්ත ඔක්කොම අතු ගෑවා. වැටිලා තිබුණ කොළ ඔක්කොම එකතු කරලා ලොකු කසළ ගොඩක් ගැහුවා. මොනවා කරන්ඩ යනවද කියලා අපිට තේරුමක් තිබුණේ නෑ. පහුවෙනිදා උදේ අපි කූඩුවෙන් එළියට එනකොට මේ ගෙදර ළමයිනුයි රත්තලෑ ගෙදර ළමයිනුයි අර කහළ ගොඩට ගිනි තියලා ඒක වටේ වටවෙලා ඉන්නවා. සීතල දරාගනඩ බැරුවද කොහෙද.

ඔය සිද්ධිය වෙලා ටික දවසකින් පස්සෙ අපි වෙනදා වගේම වත්ත පල්ලැහැ කෑම හොය හොය හිටියේ. එක පාරටම බා බා බා ගාලා අපිට කතා කරනවා ඇහුණා. කවදාවත්ම නැතුව අද දෙපාරක් කෑම ! අපිත් දෙපාරක් නොහිතා දුවගෙන ගියා. හැබැයි මෙදා සැරේ අමුත්තක් තියනවා. වෙනදට එළියට කෑම විසිකරනවා අපිට අහුලන් කන්ඩ. ඒත් අද ! කොටුව ඇතුළටයි කෑම දාලා තියෙන්නෙ. අපිත් ඉතින් දෙපාරක් හිතන්නැතුව කෑම කන්ඩ කොටුව ඇතුළට ගියා. එතකොටම දොර වැහුණා. වෙන දේ ගැන අපි ටිකක් තුෂ්නිම්භුත වෙලා හිටියෙ. මොකද මේක අමුතුයි. මෙන්න ටිකකින් කවදාවත් දැකලා නැති මිනිස්සු දෙන්නෙක් කොටුව ඇතුළට ඇවිත් අපි එක එකාව අල්ලන්ඩ ගත්තා. අපිත් කෑ ගගහා හතර අතේ දිව්වා. ඒත් කවුරුවත් ආවෙ නෑ අපිව බේර ගන්ඩ. අඩු ගානෙ අර ගෙදර මිනිස්සුවත්. ඒගොල්ලොත් ටිකක් එහායින් ඉඳන් බලා ඉන්නවා දැක්කා. ළමයින්ගෙ මූණු දැක්කම නම් මට මොකක්දෝ භයානක දෙයක් වෙන්ඩ යන බව ඉවෙන් වගේ තේරුණා. කොටුවට පැනපු මිනිස්සු බෝධිසත්වයවයි, ජොකොලවයි, පොඩි එකාවයි අන්තිමයවයි අල්ලගන ගෝනියකට දාගත්තා. අපේ යාළුවන්ගේ විලාපය මට අහන් ඉන්ඩ බැරි තරම්. ඒත් දෙවියනේ මම කියලා මොනවා කරන්ඩද ?

අන්තිමට ඉතුරු වුණේ මමයි අපේ නැම්බියො දෙන්නයි විතරයි. අටදෙනෙක් ලැගපු කොටුව ඉවසන්ඩ බැරි පාළුවකින් වෙලිලා ගිහිල්ලා. මුලු ජීවිතේම එපා කරවන කාලකණ්ණි මූසල කමක් හිත පුරාම වෙලිලා. මිනිස්සුන්ට තේරෙනව නම් අපිටත් මේ හැඟීම් දැනෙනවා කියලා. අහෝ මිනිසුනී නුඹලා මෙතරම් රෞද්‍ර වූයේ කෙසේද ?

අන්තිමට ඒ මූසල දවස උදා වුණා. එදා උදේ වෙනදා වගේ කොටුව ඇරියෙ නෑ අපිට එළියට යන්ඩ. කලින් දවසෙ රෑ මහා පිපිරුම් සද්ද ගොඩාක් ඇහුණා. මගෙ ජීවිතේට එච්චර ශබ්ද ගොඩක් ඇහුවමයි ඒ. මොනවද ඒ ?

ඉර මුදුන්වෙන්ඩ ටිකකට කලින් අර පොඩි අංකල් කියන මනුස්සයා කොටුවට ඇවිත් මාව අල්ල ගත්තා. මාව කකුල් දෙකෙන් අල්ලලා තමා උස්ස ගත්තෙ. නෑම්බියො දෙන්නව පයින් ගහලා එළියට එළවලා දැම්මා. මම තටු ගහලා බේරිලා යන්ඩ දැගලුවත් බේරෙන්ඩ නම් හම්බුනේ නෑ. එච්චරට තදින් මිනිහා මාව අල්ලගන හිටියා. මාව දැන් අරගන යනවා කොහාටද තැනකට. අල්ලන් ඉන්න විධිය හින්දා මට පේන්නෙ අහස. ඔක්කොම ගස්කොළන් කැරකෙනවා වගේ දැනුණා. යාන්තමට වගේ දැක්කා මිනිහගෙ දකුණු අතේ තිබුණ ලොකු මන්න පිහිය. මට තේරුණා වෙන්ඩ යන වැඩේ. මේ ලෝකෙ ජීවත් වෙන හැම සතෙකුටම දැනෙන ඒ මාරන්තික මරණ බිය මටත් දැනුණා. ඒත් මම අසරණයි. මගේ දැගලිල්ලෙන් පලක් නෑ.ඒත් මම අන්තිම මොහොත වෙනකම්ම කෑගගහ දැගලුවා. අන්තිමට මාව ගහක කඳක් උඩ තිබ්බා වගේ මතකයි. අන්තිමට දැක්කෙ අර මන්නා පිහියා වේගයෙන් පහළට එන දර්ශනය. ඊට පස්සෙ මගේ ඇස් නිලංකාර උණා. එච්චරයි !

~~නිමි~~

ප/ලි :
අපේ කතාව හීනියට කුකුළකුගේ ඇසින්.

~~සෙන්නා / 27.07.2012




Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog