2012 ඉල් මස 09 වනදා
පෙර වදන :
කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපටයකි. Guns, Germs and Steel නමින් නම්වු මෙම චිත්‍රපටයට පදනම් වූයේ අප කතා නායකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයකින් පසු ලියවුණු Guns, Germs and steel යන පොතය. මෙම චිත්‍රපටය පිළිබඳව මට දැන ගැනීමට ලැබෙනුයේත් සිංහල බ්ලොග් අවකාශයෙන්මය. ඒ කතාව මෙසේය.
2011 නොවැම්බර මස 01 වන දින, ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ බ්ලොග් රචක, දිනේශ් දීපාල් විසින් ඔහුගේ සත් සමුදුර බ්ලොග් අඩවියේ "ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් මොනවගේ වෙයිද? " නමින් ලිපියක් පල කරයි. ලිපියෙහි අන්තර්ගත වූයේ අදාළ ටෙලි වෘතාන්තය ගැන ඔහුගේ අදහස් දැක්වීම හා ඒ ඔස්සේ යමින් යම්හෙයකින් යුරෝපීයන් අප රටට නොපැමිණියේ නම් අද තිබිය හැකි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමයි.
මෙම ලිපියට ප්‍රතිචාරයක් දක්වන අපගේ තවත් බ්ලොග් සහෘදයෙක් වූ චතුරංග පෙරේරා වෙතින් දිනේශ්ට හරි අපූරු ප්‍රශ්නයක් එල්ල වෙනවා. දිනේශ්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන චතුරංග අවසානයට යොමු කරන්නෙ " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? " යන ගැටලුවයි.
දිනේශ් විසින් ඒකට පිළිතුරු දෙන ආකාරය නිසා ගැටලුවේ අපූර්වත්වය තවත් වැඩිවෙනවා කියලයි මට හිතුණේ. පැනයට පිළිතුරු දෙන්න දිනේශ් විසින් අති දීර්ඝ ලිපි මාලාවක් අරඹන්නේ, එම පැනයට එක එල්ලෙ සරල ලෙස කෙටි පිළිතුරක් දිය නොහැකි නිසාම වෙන්න ඇති. 2011 නොවැම්බර් 09 වන දින " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූයේ ඇයි? " යනුවෙන් දිනේශ් විසින් එම ලිපි මාලාව අරඹනවා.
ප්‍රශ්නෙ අහපු චතුරංග, ඊට පස්සෙත් ඒ ගැන වැඩිදුරටත් සොයන්න ඇති කියලා මට හිතුණෙ, දිනේශ්ගෙ මෙම ලිපියෙහි ඔහු පළ කරන මෙම ප්‍රතිචාරය නිසා. එතනින් දී තිබූ සබැඳියෙන් ගොස්, අඹ ගහ යට අඩවියේ, මාලන් විසින් මේ පිළිබඳ ලියා තිබූ අපූරු සටහන කියවීමෙන් පසුව තමා, මම මුල් වරට මෙම වාර්තා චිත්‍රපටය ගැන දැනුවත් වුයේ. මම ඒකට කොච්චර ආකර්ෂණය වුණාද කිව්වොත් ඒ මොහොතෙම ඒක බාගත කරගත්තා. මාලන් සහෘදයා විසින් ඒ පිළිබඳ සිය ලිපිය පළ කොට තිබූ අපූර්වත්වයත් ඒකට බලපාන්න ඇති.
දෙතුන් වතාවක්ම නැරඹීමෙන් පසු මෙම චිත්‍රපටය මගේ පරිගණකයේ දෘඪ තැටියේ කොනක් අල්ලන් වසරකට ආසන්න කාලයක නිද්‍රාවකට පත් වෙනවා. මෑතකදි පරිගණකයෙහි සිදු කල පරණ ගොනු සැකසීමකදි, මෙම චිත්‍රපටය දකින්න ලැබීමත් සමඟම, මට සිතුවිල්ලක් පහළ වෙනවා "මේකෙන් ලිපියක් ලියුවොත් කොහොමද ? " කියලා. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමා මෙම ලිපිය.
මේ ලිපිය කියවූ වහාම, ඔබ, ප්‍රශ්න ඇසීම හා පිළිතුරු සෙවීම පිළිබඳ ඉහත සිද්ධියෙහි හා ලිපියෙහි අතර හරි අපූරු ආසන්න සමානත්වයක් දකීවි.
මෙම ලිපිය සියයට සියයක්ම චිත්‍රපටයෙහි පරිවර්තනයක් නොවේ. ආශ්‍රිත වෙනත් ලිපි වලින් උකහා ගත් දැනුමත් මෙයට මුසු වී ඇත. එහෙත් ලිපියෙන් වැඩි ප්‍රමාණයකට පාදක වන්නෙ චිත්‍රපටයම වේ. මෙම කොටසෙහි පළ කොට ඇති ඡායාරූප, අදාළ චිත්‍රපටයෙන්ම හා මෙම සබැඳියෙන් උපුටා ගත් ඒවා වේ.
මේ ගැන දැනුවත් වීමට මග පිළිසකර කළ දිනේෂ් දීපාල් සහෘදයාටත්, චතුරංග පෙරේරා සහෘදයාටත්, මාලන් සහෘදයාටත් නොවක් තුති.
ලිපිය දිග වැඩි නිසාත්, දීර්ඝ ලිපි කියවීම වෙහෙසකර නිසාත්, කොටස් වශයෙන් පළවේවි. කෙටි කාලයක් ඇතුළත ලිපිය සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි.
ලිපිය සැකසීමට පහත් මෘදුකාංග වලින් ලද සහය අපමණයි. නොමිලේ එම සේවාවන් සපයන ඒවයෙහි හිමි කරුවන්ටත් ස්තූතියි !
මධුර ශබ්ද කෝෂය
Cambridge ශබ්ද කෝෂය
සුබස අකුරු විනිස පිරික්සුව.
මාලින්ද යුනිකේත පරිවර්තකය
පෙර වදන :
කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපටයකි. Guns, Germs and Steel නමින් නම්වු මෙම චිත්‍රපටයට පදනම් වූයේ අප කතා නායකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයකින් පසු ලියවුණු Guns, Germs and steel යන පොතය. මෙම චිත්‍රපටය පිළිබඳව මට දැන ගැනීමට ලැබෙනුයේත් සිංහල බ්ලොග් අවකාශයෙන්මය. ඒ කතාව මෙසේය.
2011 නොවැම්බර මස 01 වන දින, ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ බ්ලොග් රචක, දිනේශ් දීපාල් විසින් ඔහුගේ සත් සමුදුර බ්ලොග් අඩවියේ "ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් මොනවගේ වෙයිද? " නමින් ලිපියක් පල කරයි. ලිපියෙහි අන්තර්ගත වූයේ අදාළ ටෙලි වෘතාන්තය ගැන ඔහුගේ අදහස් දැක්වීම හා ඒ ඔස්සේ යමින් යම්හෙයකින් යුරෝපීයන් අප රටට නොපැමිණියේ නම් අද තිබිය හැකි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමයි.
මෙම ලිපියට ප්‍රතිචාරයක් දක්වන අපගේ තවත් බ්ලොග් සහෘදයෙක් වූ චතුරංග පෙරේරා වෙතින් දිනේශ්ට හරි අපූරු ප්‍රශ්නයක් එල්ල වෙනවා. දිනේශ්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන චතුරංග අවසානයට යොමු කරන්නෙ " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? " යන ගැටලුවයි.
දිනේශ් විසින් ඒකට පිළිතුරු දෙන ආකාරය නිසා ගැටලුවේ අපූර්වත්වය තවත් වැඩිවෙනවා කියලයි මට හිතුණේ. පැනයට පිළිතුරු දෙන්න දිනේශ් විසින් අති දීර්ඝ ලිපි මාලාවක් අරඹන්නේ, එම පැනයට එක එල්ලෙ සරල ලෙස කෙටි පිළිතුරක් දිය නොහැකි නිසාම වෙන්න ඇති. 2011 නොවැම්බර් 09 වන දින " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූයේ ඇයි? " යනුවෙන් දිනේශ් විසින් එම ලිපි මාලාව අරඹනවා.
ප්‍රශ්නෙ අහපු චතුරංග, ඊට පස්සෙත් ඒ ගැන වැඩිදුරටත් සොයන්න ඇති කියලා මට හිතුණෙ, දිනේශ්ගෙ මෙම ලිපියෙහි ඔහු පළ කරන මෙම ප්‍රතිචාරය නිසා. එතනින් දී තිබූ සබැඳියෙන් ගොස්, අඹ ගහ යට අඩවියේ, මාලන් විසින් මේ පිළිබඳ ලියා තිබූ අපූරු සටහන කියවීමෙන් පසුව තමා, මම මුල් වරට මෙම වාර්තා චිත්‍රපටය ගැන දැනුවත් වුයේ. මම ඒකට කොච්චර ආකර්ෂණය වුණාද කිව්වොත් ඒ මොහොතෙම ඒක බාගත කරගත්තා. මාලන් සහෘදයා විසින් ඒ පිළිබඳ සිය ලිපිය පළ කොට තිබූ අපූර්වත්වයත් ඒකට බලපාන්න ඇති.
දෙතුන් වතාවක්ම නැරඹීමෙන් පසු මෙම චිත්‍රපටය මගේ පරිගණකයේ දෘඪ තැටියේ කොනක් අල්ලන් වසරකට ආසන්න කාලයක නිද්‍රාවකට පත් වෙනවා. මෑතකදි පරිගණකයෙහි සිදු කල පරණ ගොනු සැකසීමකදි, මෙම චිත්‍රපටය දකින්න ලැබීමත් සමඟම, මට සිතුවිල්ලක් පහළ වෙනවා "මේකෙන් ලිපියක් ලියුවොත් කොහොමද ? " කියලා. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමා මෙම ලිපිය.
මේ ලිපිය කියවූ වහාම, ඔබ, ප්‍රශ්න ඇසීම හා පිළිතුරු සෙවීම පිළිබඳ ඉහත සිද්ධියෙහි හා ලිපියෙහි අතර හරි අපූරු ආසන්න සමානත්වයක් දකීවි.
මෙම ලිපිය සියයට සියයක්ම චිත්‍රපටයෙහි පරිවර්තනයක් නොවේ. ආශ්‍රිත වෙනත් ලිපි වලින් උකහා ගත් දැනුමත් මෙයට මුසු වී ඇත. එහෙත් ලිපියෙන් වැඩි ප්‍රමාණයකට පාදක වන්නෙ චිත්‍රපටයම වේ. මෙම කොටසෙහි පළ කොට ඇති ඡායාරූප, අදාළ චිත්‍රපටයෙන්ම හා මෙම සබැඳියෙන් උපුටා ගත් ඒවා වේ.
මේ ගැන දැනුවත් වීමට මග පිළිසකර කළ දිනේෂ් දීපාල් සහෘදයාටත්, චතුරංග පෙරේරා සහෘදයාටත්, මාලන් සහෘදයාටත් නොවක් තුති.
ලිපිය දිග වැඩි නිසාත්, දීර්ඝ ලිපි කියවීම වෙහෙසකර නිසාත්, කොටස් වශයෙන් පළවේවි. කෙටි කාලයක් ඇතුළත ලිපිය සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි.
ලිපිය සැකසීමට පහත් මෘදුකාංග වලින් ලද සහය අපමණයි. නොමිලේ එම සේවාවන් සපයන ඒවයෙහි හිමි කරුවන්ටත් ස්තූතියි !
මධුර ශබ්ද කෝෂය
Cambridge ශබ්ද කෝෂය
සුබස අකුරු විනිස පිරික්සුව.
මාලින්ද යුනිකේත පරිවර්තකය
1
"සුදු ජාතිකයන් හෙවත් යුරෝපීයන් අන් ජාතීන්ට වඩා ධනයෙන්, බලයෙන් ආඪ්‍ය වී ඇත්තේ මන්ද ?" ඔබට මේ ගැන නිකමට හෝ දිනෙක සිතී තිබේද ? එයට බලපෑ හේතුව කුමක් විය හැකිද ? ඔවුනට වඩා දිගු ශිෂ්ටාචාරයකට හිමිකම් කී සමහර දියුණුයැයි සම්මත ජාතින් පවා ඔවුන් අබියස නිවට නියාළුව ගියේ කුමන හේතුවක් නිසාද ? මුළු ලොවම සිය අණසකට යටත් කරගෙන තමනට අභිමත පරිදි එය හැසිරවීමේ බලය ඔවුනට ලැබුණේ කුමන ශක්තියකින්ද ? ඒ පිටුපස වූ සැබෑම ශක්තිය කුමක්ද ? කළු ජාතික නිව් ගිනියානු වැසියකුගෙන් එල්ල වූ, ඒ සම්බන්ධ පැනයකට ක්ෂණික පිළිතුරක් නොමැතිව අසරණ වූ සුදු ජාතිකයකු, එයට හේතුව සොයා කළ ගවේෂණයයි මේ.
මහාචාර්ය Jared Diamond, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මුලින්ම කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර ලැබූවෙකි. එහෙත් පරිසර අධ්‍යනයට වැඩි මනාපයක් හා නැබුරුවක් දැක්වූ ඔහු සිය දිවියේ නාඹර යෞවනයේදීම නිව් ගිනියා දූපත් බලා ගමන් කරන්නෙ ඒ සම්බන්ධ පරීක්ෂණ උදෙසාය. පසුව මානව පාරිසරික ක්‍රියා අධ්‍යනයට යොමුවන ඔහු, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්ම භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යය තනතුරකින්ද පිදුම් ලබයි. උක්ත විෂය පිළිබඳව හැරුණු කොට තවත් පොත් පත් කිහිපයක්ම ලියා පළ කළ, පිළිගත් විද්වතෙකි. සිය තරුණ වියේදී නිව් ගිනියානු වැසියකු අසන පැනයකට පිළිතුරු සොයා රටින් රට, දේශයෙන් දේශය ගමන් කරමින් සිය ජීවිතයෙන් වසර තිහක් පමණම ඒ සඳහා වැය කරනු ලැබූවෙකි.ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වූයේ පක්ෂීන් නිරීක්ෂණය හා අධ්‍යනයයි. වසර 26 දී මේ සඳහා නිව් ගිනියා වෙත පැමිණෙන මහාචාර්යය ජෙරඩ්, දුටු පළමු දසුනෙන්ම වෙන්කළ නොහැකි ලෙස එම පරිසරයට ආකර්ෂණය වේ. එයින් පසු ඔහු නිව් ගිනියා වෙත පැමිණි වාර ගණන, ගිණිය නොහැකි තරම්ය. එතරම්ම ඔහු එම පරිසරයට හා මිනිසුන්ට ඇලුම් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහු දැන් එම දිවයිනේ පක්ෂී චර්යා පිළිබඳ විශේෂඥයෙකි.
අදින් වසර හතළිහකට පමණ පෙර, මෙලෙස නිව් ගිනියා දූපත්හී කටයුතු කරමින් සිටිනා මහාචාර්යය ඩයමන්ඩ් හට, තමන් අවට සිටිනා මේ නිව් ගිනියානුවන් හා තමන් පිළිබඳව දෙවරක් සිතීමට සිදුවෙන, සිද්ධියකට මුහුණ දීමට සිදු විය.
"යාලි" යනු එවකට නිව් ගිනියානු දේශපාලඥයෙක් සහ තවත් වෘත්තීන් ගණනකම නියැලුණු ස්වදේශිකයෙකි. 1972 එක්තරා දිනක මහාචාර්ය ඩයමන්ඩ් මුහුදු වෙරළක ඇවිදිමින් සිටින විට අහම්බෙන් මෙන් මෙම දෛවෝපගත මිනිසාව මුණගැසුණේ අපූර්ව ගවේෂණයකට මංපෙත් විවර කරමිනි. ඔවුනතර කෙරුණු දීර්ඝ කතාවක් අතරතුරේ මහාචාර්ය ඩයමන්ඩ් හට පෙනුමෙන් සරල වූවත් එක එල්ලේ පිළිතුරු දිය නොහැකිවූ මෙම පැනය යාලිගෙන් එල්ල විය.
" Why, you white man have so much cargo ? and we New Guineans have so little ?"
"යාලිගේ පැනය මාව සම්පූර්ණයෙන්ම අසරණ කළා. බැලූ බැල්මට සරල හා පැහැදිලි පිළිතුරක් ඇති පැනයක් ලෙස පෙනී ගියත්, ඔහු ඒ පැනය යොමු කළ විට ඔහුට දිය යුතු පිළිතුර ගැන මට කිසිම අදහසක් තිබුණේ නෑ. - මහාචාර්ය ඩයමන්ඩ්.
"Cargo" යන වදන නිව් ගිනියානුවන් භාවිතා කරනු ලැබුයේ බටහිරයන් විසින් සිය රටට ගෙන එන ලද නා නා ප්‍රකාර ආම්පන්න වලටය. සුදු මිනිසාගේ බලය පෙන්වන සංකේතයක් ලෙස මෙම ආම්පන්න සලකනු ලැබූ අතර එවාට දේවත්වයෙන් වන්දනාමාන කිරීමක්ද දක්නට ලැබුණි. යුරෝපීයන්ට අනුව, බලය යනු සිය ජන කොටස් වලට උපතින්ම හිමිව ඇති දායාදයකි. තමන් ස්වදේශිකයන්ට වඩා උපතින්ම සුපිරි ජාතියක් බව ඔවුන්ගේ හැඟීම විය. ඒ අනුව ඔවුන් නිව් ගිනියානුවන්ට වඩා බලසම්පන්න වීම අතිශය ස්වභාවික තත්ත්වයක් බව ඔවුන්ගේ විශ්වාසයයි.
ඒ ගැන සිය අදහස් දක්වන මහාචාර්ය ඩයමන්ඩ්...
" මගෙ අදහස අනුව, ජන වර්ග පදනම් කොටගෙන සිදු කරණ පැහැදිලිකිරීම් අර්ථ විරහිතයි. ඉතාමත්ම තීක්ෂණ නිව් ගිනියානුවන් බොහොමයක් මට මුණ ගැහිල තියනවා. ඔවුන් සතු හැකියාවන් මාව බොහෝවිට විස්මයට පත්කර තිබෙනවා. ඔවුනට, ඕනෑම දුෂ්කර පරිසර තත්ත්වයකට හිස් අතින්ම ගොස්, කෙටි වේලාවකින්ම සිය පැවැත්ම තහවුරු කරගැනීමේ අපූරු හැකීයාවක් තියෙනවා. මට නම් කොහෙන් පටන් ගන්නද කියලවත් හිතා ගන්ඩ බැරි තරම්. ඇත්තෙන්ම මෙවැනි පරිසර තත්ත්වයක් තුළ ඔවුන්ගේ සහයෝගය නැත්නම් මම අන්ත අසරණයි. ඒත්, ඇයි මේ දක්ෂයන් ඉතාම සුළු උපකරණ කිහිපයක් පමණක් නිපදවා තිබෙන්නෙ? ඇයි ඔවුන් අතී නවීන නගර ඉඳි කොට නැත්තේ ? කොටින්ම නූතන ශිෂ්ටාරගතවීමේ දක්නට ඇති කිසිඳු ලක්ෂණයක් ඔවුන් කෙරෙන් විද්‍යාමාන නොවන්නේ මන්ද ? අනෙක් අතින් ඇමෙරිකා එක්සත් ජනපදය, මිහිමත ඇති බෙහෙවින්ම ධනවත් හා බලගතු රාජ්‍යය. එය බොහොමයක් වූ නිව් ගිනියානුවන්ට හිතා ගැනීමටවත් අපහසු තරමේ ආම්පන්න තොගයකින් පිරී පවතී. ඒ ඇයි ? යාලිට පිළිතුරු අවැසි පැනය මෙයයි. ලෝකයේ මෙතරම්ම විෂමතාවයක් දක්නට ඇත්තේ මන්ද ? " - මහාචාර්ය ඩයමන්ඩ්.
යාලිගේ පැනය මුලින් පෙනුනාට වඩා විශාල සහ සංකීර්ණ එකක් බව මහාචාර්ය ඩයමන්ඩ් හට කල් නොයවාම අවබෝධ විය. එය මානව ඉතිහාසයේ ආරම්භය තරම් ඇතට දිවෙනා ගැටලුවකි. සත්‍යවශයෙන්ම එය විෂමතාවයේ මූලයන් පිළිබඳවූ ගැටලුවකි.
" අතීතයේ සිටම සමහර ජන සමාජ අනෙක්වාට වඩා ශීඝ්‍ර දියුණුවක් පෙන්වීමට බලපෑ හේතුව කුමක්ද ? ලෝකයේ එවකට පැවති බොහොමයක් ජන සමාජ දිවි ගැටගසා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙන විට, ඊජිප්තුව අහස සූරන පිරමීඩ තැනුවේ කෙසේද ? ග්‍රීක් වරුන්, රෝමන් වරුන් හෝ මායා වරුන් එවකට පැවති දියුණුම ශිෂ්ටාචාර ගොඩ නැගුවේ කෙසේද ? මේ සෑම සමාජයක පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා. දියුණු තාක්ෂණය, විශාල ජනගහනය සහ හොඳින් සංවිධානයවූ ශ්‍රම බලකාය යන සාධක වලින් ඔවුන් සමන්විත වෙලා හිටියෙ. මෙම සාධකවල පැවැත්මෙහි ආරම්භය ගැන අවබෝධයක් ලබා ගතහොත් ඊලඟට සමහර ශිෂ්ටාචාර ඉතිහාස ගමනේදී අනෙක්වාට වඩා වේගයෙන් ඉදිරියට යෑමට බලපෑ හේතුවසොයා ගැනීමත් අවශ්‍යය වෙනවා." - මහාචාර්ය ඩයමන්ඩ්.
මහාචාර්ය ඩයමන්ඩ්, තිබීම සහ නොතිබීම යනුවෙන් ලෝකයේ පවතින බේදීම ගවේෂණය කිරීම අරඹමින් මෙම සුවිශාල කර්තව්‍යයට මුල පිරීය. ඉතිහාසඥයෙක් නොවූ විද්‍යඥයාට එය විශාල අභියෝගයක් විය. මානව ඉතිහාසයේ විශාලම ගැටලුව ඔහු විසින් විසඳන අයුරු අප ඉවසිල්ලේ බලාසිටිමු.
විවිධ ජන සමාජ අතර පවත්නා විෂමතාවය තෙරුම්ගැනීමට මහාචර්යය ඩයමන්ඩ් හට මානව ඉතිහාසයේ වසර දහස් ගණනක් පසු පසට යාමට සිදු විය. මිනිසුන් ලෝකය පුරාම බොහෝදුරට එකම තත්ත්වයන් යටතේ දිවි ගෙවුවේ යැයි සැලකිය හැකි තරම්, එක් එක් ජන සමාජයන් අතර විෂමතාවයක් නොව්නේ යැයි සැලකිය හැකි තරම් ඈත අතීතයට යාමට ඔහුට සිදුවිය. එය මුල්ම ශිෂ්ටාචාරගතවීමටත් පෙර අතීතයයි.
වසර 13000 කට පෙර, අවසාන හිම යුගය අවසන් වෙමින් පැවති කාලයයි. පෘතුවිය උණුසුම් සහ තෙත් ගතිය ඇති ස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පැවතිණි. මානව ක්‍රියාකරකම් දියුණු වෙමින් පැවති එක් ප්‍රදේශයක් වූයේ මැද පෙරදිග කලාපයයි. එකල මැදපෙරදිග යනු දැන් මෙන් කාන්තාරවලින් ගහන ප්‍රදේශයක් නොවුණි. එය බොහෝ වනාන්තර, ශාක සහ පැළෑටි වලින් ගහන විය. එහි විසූ මිනිසුන් එවකට ලොව ඕනෑම තැනක විසූ මිනිසුන් මෙන් වූහ. ඔවුන් දඩයමින් දිවිගෙවූ, කුඩා ජංගම කණ්ඩායම්ය. ඔවුන් නිතරම තැනින් තැනට ගමන් කරමින් විසූහ. යහමින් දඩයම් හෝ පල වැල සපයා ගත හැකි ස්ථානයක් හමුවූ විට තාවකාලික වාසස්ථානයක් අටවාගන එහි දිවි ගෙවූහ. එක් ස්ථානයක ඔවුන් සති කිහිපයකට වඩා දිවි නොගෙවූ අතර සෘතු වෙනස් වන විට, සතුන් වෙන ස්ථාන වලට සංක්‍රමණය වනවිට, ඔවුන්ද ඒ සමඟම විතැන් වූහ.
වර්තමානයේත් දඩයමින් දිවි ගෙවීම දැකිය හැකි සීමිත ස්ථාන කිහිපයෙන් එකක් වනුයේ පැපුවා නිව් ගිනියානු වැසි වනාන්තරයි. මහාචාර්ය ඩයමන්ඩ් පවසන පරිදි, පුරා විද්‍යා පොත්පත් වලින් මෙම ජීවන ශෛලිය පිළිබඳව කියවනවාට වඩා, මීට වසර 13000 කට පමණ පෙර මිනිසුන් දඩයමින් දිවිගෙවූ අන්දම සියැසින්ම දැක අත්විදීමට තරම් ඔහු මේ නිසා වාසනාවන්ත වී ඇත.
සතකු එලා ගැනීමට, දක්ෂකම, සුක්ෂම බව යනාදි ලක්ෂණවලට අමතරව සියගණක් වූ සත්ත්ව විශේෂ පිළිබඳව විශ්වකෝෂීය දැනුමක් තිබීම අත්‍යවශය කාරණයක් වේ. දඩයක්කරුවකු වීමටනම් සුවිශේෂී දක්ෂයෙක් විය යුතුමය. වසර 13000 කට පෙර විසූ මානවයාටත් එම කරුණු එලෙසින්ම පොදුය. දඩයමෙහි ඇති මූලිකම දුර්වලතාවයනම් එයට යොදවන කාලය හා බලන විට එතරම් ප්‍රතිඵලදායක නොවීමයි. සතකු එලා ගැනීම වෙනුවෙන් බොහෝකාලයක් වැය කොට අවසානයේ දඩයම් කරගන්නා ගොදුර ප්‍රමාණවත් නොවීම බොහෝ විට සිදු වන්නකි. එමෙන්ම දුන්නයි ඊතලයයි භාවිතා කරමින් කළ දඩයමෙහි කිසිඳු නිශ්චිතතාවයක් නොවුණි.
දඩයමෙහි වූ මෙම අවිනිශ්චිතතාවය නිසාම, සාම්ප්‍රදායික ජනසමාජ පළ වැල ආදිය රැස් කිරීම කෙරෙහි උනන්දු විය. මහචාර්ය ඩයමන්ඩ් අධ්‍යනයෙහි යෙදෙන නිව් ගිනියාහී මෙම කලාපයේ මෙම කාර්යය ප්‍රධාන වශයෙන් කතුන්ගේ අතින් සිදු විය. ප්‍රධානම ආහාර ප්‍රභවයක් වූයේ සව්හාල්ය. ( SAGO ) දඩයමට සාපේක්ෂව මෙය ප්‍රතිඵලදායක වුවද, ඒ සඳහාද නොමද වෙහෙසක් දැරිය යුතුව තිබුණි. අවසානයේ ලබන ඵලය වෙහෙසට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන අතර සව්හාල් කල් තබා ගැනීමද එතරම් පහසු කටයුත්තක් නොවුණි. එමෙන්ම සව්හාල් ගසකින් ලබා ගත හැක්කේ රාත්තල් හැට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් පමණී. එයද දින තුන හතරක වෙහෙසකින් පසු වූ අතර එතරම් ඵලදායී ප්‍රෝටීන් ප්‍රභවයක්ද නොවුණි. එහෙත් එම කලාපයේ නිව් ගිනියානු වැසියනට පරිසරයෙන් ලබාගත හැකිවූ වෙනත් ප්‍රතිඵලදායක ආහාර ප්‍රභවයක්ද නොතිබුණි.
වසර 13000 කට පෙර මැද පෙරදිග කලාපයේ ආහාර එකතු කිරීමේ ක්‍රමවේදය වෙනස්ම ස්වභාවයක් ඉසිලීය. ඔවුන්, ගස් අතර වැවී තිබූ තෘණ වර්ග වූ බාර්ලි සහ තිරිඟු එකතු කොට ආහාරයට ගැනීමට හුරුවී සිටියහ. ඒවා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සව්හාල් වලට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් පසු විය. මෙම සරල තෘණ දෙවර්ගය මානවයා වර්තමාන ශිෂ්ටාචාරගතවීම දක්වා ආ මාර්ගයේ දිශානතිය සකස් කිරීමේහීලා විශාල මෙහෙවරක් සිදු කොට තිබුණි.
වසර 12500 කට පමණ පෙර පෘථුවියෙහි දේශගුණය හදිසියේම නැවතත් වෙනස් විය. හිම යුගයේ පරිසර තත්ත්වයන් නැවතත් ඇතිවීම හේතුකොටගෙන පෘතුවිය නැවතත් වියළි,සීතල ස්ථානයක් බවට හැරෙමින් තිබුනි. මැදපෙරදිග කලාපය දරුණු දේශගුණික ව්‍යසනයකට ලක්වූ අතර සතුන් සහ ගහ කොළ විනාශ වී ගියහ. මැදපෙරදිග, කාන්තාර බවට හැරවූ මෙම නියඟය, වසර 1000 ක් පමණ පැවතුණි. කලාපයෙහි විසූ මිනිසුන්ට නව නව ස්ථාන හා ආහාර ප්‍රභවයන් සොයා යාමට සිදු වුවද මෙම තත්ත්වයන් යටතේත් ඔවුන් සිය පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වූහ. මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයෙහි නව ජීවන ශෛලියකට මූල පිරූ අතර එය ලෝකයෙහි අනාගත මුහුණුවර වෙනස් කිරීමට සමත් විය.
මහාචාර්ය Ian Kuijt, මැදපෙරදිග ශිලා යුගය පිළිබඳ විශේෂඥ පුරා විද්‍යාඥයකි. ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජෝර්දාන් නිම්නයේ කළ පුරා විද්‍යා කැණීමකින් එක් සුවිශේෂී සාධකයක් මතුකර ගත්හ. ඒ වසර දහස් ගණනක් පැරණි ගම්මානයක ඉපැරණි සුන්බුන්ය. කාල නිර්ණ කාබන් පරීක්ෂණ මගින් හෙළිවූයේ මෙම ගම්මානය මින් වසර 11500 ක් පමණ පැරණි ඉතිහාසයකට හිමිකම් කී එකක් බවයි. එය මිහිමත බිහිවූ මුල්ම ගම්මාන වලින් එකකි. එය මිනිසුන් හතළිහක් හෝ පනහකින් පමණ සැදුම් ලත් වූ ගම්මානයක් විය හැකි බව මහාචාර්ය Ian Kuijt ඇතුළු පුරා විද්‍යඥයින්ගේ මතයයි.
"එතරම් දුෂ්කර කාලයක, මුළු ගම්මානයටම ආහාර සැපයීම කෙසේනම් සිදු වන්නට ඇත්ද ?"
සිව් වසරක් තිස්සෙ ඔවුන් කළ පරික්ෂණ වලින් පසුව, මෙම පැනයට පිළිතුරයැයි අනුමාන කළ හැකි සොයා ගැනීමක් කළහ. එය, මැටි බිත්ති වලින් නිර්මිත ඕවලාකාර හැඩයකින් යුතු ව්‍යවහයකි. මහාචාර්ය Ian Kuijt ඇතුළු පිරිස විශ්වාසකරන පරිදි මෙය ධාන්‍ය රැස්කිරීමට යොදාගත් ධාන්‍ය බිස්සකි. එය ලෝකයේ මුල්ම ධාන්‍ය බිස්සක් විය හැකි බවට ඔවුන්ගේ විශ්වාසයයි. මූලික වශයෙන්ම තිරිඟු, බාර්ලි ගබඩාකිරීමට මෙය යොදා ගෙන තිබිණ. එහෙත්, එසේ රැස්කිරීමට තරම් ධාන්‍ය ඔවුනට ලැබුණේ කෙසේද ? මෙයට පිළිතුර මානව ඉතිහාසයේ එක් විප්ලවකාරී නැම්මක් පෙන්නුම් කරයි. මැදපෙරදිග දරුණු නියගය පැවතුණු අවදියෙහි, දඩයමට හා ආහාර රැස්කිරීමට වූ අපහසුතාවය නිසාම, මිනිසා, තමන් විසින්ම ධාන්‍ය වගාකිරීමට යොමුවීමක් දක්නට ඇත. දඩයම් හෝ ආහාර සොයමින් තැනින් තැනට යාම වෙනුවට, ඔවුන් විසින් සොයාගත හැකිවූ ජල ප්‍රභවයක් අසල ස්ථානගතවීමෙන් අනතුරුව බීජ වපුරා අස්වැන්න ලබා ගැනීමට යොමු වූහ. බාර්ලි සහ තිරිඟු ප්‍රධාන වශයෙන් මෙලෙස අස්වැද්දූ ධාන්‍ය විය. මෙලෙස, ශිලා යුගයේදී, මැද පෙරදිග විසූ මිනිසුන් ගොවියන් බවට පත්ව තිබුණි. ලොව මුල්ම ගොවියන් වීමේ ගෞරවය ඔවුනට හිමිය.
මිනිසුන් ගොවිතැනට යොමුවීම සැබවින්ම මානව ඉතිහාසයේ පැහැදිලි හැරවීම් ලක්ෂයකි. දඩයමේ හෝ පල වැල එකතු කෙරීමෙහි යෙදුණු මිනිසුන්ට ගොවිතැනෙන් ලද සාර්ථකත්ත්වය කිසිකලෙකවත් ලැබිය නොහැකි විය. ගොවිතැනට සාපේක්ෂව සෑම කල්හීම දඩයමෙහි පැහැදිලි අවාසි දක්නට වූහ.
දැන් මහාචාර්ය ඩයමන්ඩ්ගේ උත්සහාය ලොව, මිනිසුන් ගොවියන් බවට පත්වූ වෙනත් ස්ථාන හඳුනා ගැනීමයි. ගොවිතැනෙහි පැතිරීම සහ ශිෂ්ටාචාරගතවීම පැතිරීම අතර ඇති සබඳතා හඳුනාගත හැකිනම් යාලිගේ පැනයට දිය හැකි පිළිතුරට තමන් ළඟාවෙමින් සිටින බව ඔහුගේ විශ්වාසයයි.
අතීත ලෝකයෙහි, ගොවිතැන ස්වාධීනව වැඩි වර්ධනය කරගත් ප්‍රදේශ කිහිපයක් හඳුනා ගත හැකිය. මැදපෙරදිගට සමකාලීනව චීනය විසින් තවත් එවැනිම ධාන්‍ය වර්ගයක් වූ සහල් වගාකිරීම ඇරඹූහ. පසුව ඇමෙරිකා මහද්වීපයේ සහ අප්‍රිකා මහද්වීපයෙහිද තම භූමියට ආවේණික වූ ධාන්‍ය හෝ ආහාර වර්ග වගා කිරීම අරඹා තිබුණි. මෙලෙස වගා කිරීම ඇරඹු සෑම සමාජයකම වාගේ සාපේක්ෂව දියුණු ශිෂ්ටාචාර ගතවීමක් දක්නට තිබුණි. මෙයට ව්‍යතිරේකයන් නොතිබුණාත් නොවේ. සමහර ප්‍රදේශ අතීතයේ සිට වගා කිරීම දක්නට තිබුණද, අනෙකුත් වගාකිරීම් ඇරඹූ ප්‍රදේශ වලට සාපේක්ෂ දියුණුවක් දක්නට නොවුණි. නිව් ගිනියානු උස් බිම මෙයට උදාහරණයකි. මෙහි දක්නට ඇති වගා කිරීමේ ක්‍රමවේදය ලොවෙහි පැරණිම වගා ක්‍රම වලින් එකක් ලෙස පිළිගැනේ. එලෙසම නිව් ගිනියානු වැසියන් මින් වසර 10000ක් තරම් ඈත කාලයේ සිටම වගා කිරීමෙහි යෙදී සිටින්නට ඇති බවත් පුරා විද්‍යාඥයන් විශ්වාසය පළකරති. එය මැද පෙරදිග වගා කිරීම ඇරඹි කාලයෙන් එතරම්ම දුරස් නොවූ කාලයකි.
" මේ නිව් ගිනියානු මිනිසුන්, යාලිගේ මිනිසුන්, ලොව මුල්ම ගොවියන්ගෙන් කොටසක් බව දැනගන්නට ලැබීම සැබවින්ම විස්මය දනවන කාරණයක්. ඔවුන්ට එතරම් පැරණි කෘෂිකාර්මික ඉතිහාසයක් ඇතත්, මැද පෙරදිග හෝ චීනයේ හෝ මධ්‍යම ඇමෙරිකාවෙ ගොවියන් අතර දක්නට වූ ශිෂ්ටාරගත වීමක් මේ නිව් ගිනියානු සමාජයේ දක්නට නැත්තෙ මන්ද ? ඔවුන් තමන් විසින්ම නිපදවන ලද ආම්පන්න සංඛ්‍යාව මෙතරම් සීමිත මන්ද ? අනිවාර්යයෙන්ම නිව් ගිනි ගොවියන් කිසිසේත්ම අඩු හැකියාවන්ගෙන් සමන්විත වූ පිරිසක් නොවන බව සහතිකය. එසේනම් වෙනස ඇත්තේ කොහිද ? පිළිතුර රඳා ඇත්තේ වගාකරන බෝග වර්ගය මත බව පෙනෙන්නට තිබේ. නිව් ගිනියානු උස් බිම වල වගා කෙරුණ බෝග, තිරිඟු හෝ බාර්ලි මෙන් නිරායාසයෙන් අස්වැද්දවිය නොහැකි වූ එකින් එක සිටවිය යුතු අල වර්ග වේ. ඒ වගේම ඒවා කල්තබා ගැනීම අතින්ද තිරිඟු වලට සාපේක්ෂව දුර්වල බෝග වේ. මෙම බෝග, තිරිඟු වලට සපේක්ෂව අඩු ප්‍රෝටීන් ප්‍රාමාණයකින් සමන්විත බැවින් නිව් ගිනියානු වැසියන් තිරිඟු භාවිතයට ගත් මැද පෙරදිග වැසියනට වඩා ප්‍රෝටීන් ඌනතාවයනට ලක් වීමක් දකින්නට ඇත. නිව් ගිනියානු අනෙකුත් බෝගද ඔවුනට සැලකියයුතු තරම් ප්‍රෝටීන් ලබා දීමට සමත් නොවේ. - මහාචාර්ය ඩයමන්ඩ්.
මහාචාර්ය ඩයමන්ඩ්, කෙමෙන් කෙමෙන් යාලිගේ පැනයට අවැසි පිළිතුර කරා ළඟාවෙමින් සිටියේය. මේ දක්වා කළ පරීක්ෂණ වලින්, මිනිසාගේ ගොවිතැනට යොමුවීම යන සාධකය මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක නැම්මක් ඇති කිරීමට සමත්ව ඇති බව ඔහු විසින් අවබෝධ කොටගෙන තිබුණි. වගා කරණ භෝගය කුමක්ද යන වග සමාජයන් අතර අසමානාත්මතාවයක් ඇතිවීම කෙරෙහි අතිශයින්ම තීරණාත්මක සාධකයක් වී ඇති බව මහාචාර්යය ඩයමන්ඩ් හට අවබෝධ විය. ඉතා පෝෂ්‍යදායී, ඵලදායක භෝගයන් වගා කිරීමට සමත්වූ ජන සමාජයන්, ඉතා සාර්ථක ගොවියන් වී තිබිණි. අවසාන වශයෙන්, එය භූගෝලීය වාසිය මත තීරණය වූ සාධකයක් බවට මහාචාර්යය වරයාගේ තීරණය විය.
ආහාරයට ගන්නා භෝග වර්ගය අනුව ලොවෙහි පවත්නා අසමානතාවය හට ගන්නා බව පැවසීම අභියෝගාත්මක අදහසකි. මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව ඇමෙරිකානුවන් නිව් ගිනියානුවන්ට වඩා ඉදිරියෙන් පසු වන්නේ ඔවුන් සිය වස් ගනනක් පුරා වඩා පෝශ්‍යදායි, ඵලදායක තිරිඟු අනුභව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. තිරිඟු වලින්, නිව් ගිනියාවේදී ලැබෙන අල වර්ගයක් හෝ කෙසෙල් වර්ගයකින් ලබනවාට වඩා වැඩි පෝශ්‍යගුණයක් ලැබිය හැකිය. තිරිඟු නොවන්නට නූතන ඇමෙරිකාවේ සෞභාග්‍යය සිහිනයක් පමණක් විය හැකිව තිබූ අතර කිසි කලෙකවත් කෙසෙල් හෝ අල වර්ග මත එම තත්ත්වයට පත් විය නොහැකි බව මහාචාර්යය ඩයමන්ඩ්ගේ මතයයි.
ලොව පුරා ජන සමාජ අතර මෙතරම් පැහැදිලි විෂමතාවයක් හා මානව ශිෂ්ටාචාරයේ දිශානතියේ පැහැදිලි වෙනසක් පැලෑටියක ඵලයකින් පමණක්ම සිදුවිය හැකිද ? එසේ නැත්නම් එයට බලපෑ තවත් හේතුවක් තිබුනේද ? ලොවෙහි, තිබීම සහ නොතිබීම අතර වෙනස පැහැදිලි කිරීමට මහාචාර්යය ඩයමන්ඩ් තවත් හේතුවක් ඉදිරිපත් කරයි.
වසර 9000 කට පමණ පෙර ලොව මුල්ම ජනාවාස පිහිටුවාගතේයැයි විශ්වාස කළ හැකි මැද පෙරදිග මිනිසුන් මේ වන විට තමන්ට අවශ්‍ය ආහාර බෝග වාගා කොටගෙන ජීවත්වීමට හොඳින් හුරුවී සිටියහ. මේ වන විට ඔවුන් ධාන්‍ය වලට අමතරව වෙනත් ආහාර ප්‍රභවයක්ද සපයාගෙන තිබුණි.
හීලෑ කළ සතුන් !
දඩයමින් දිවිගෙවීම ඇරඹු මිනිසාට, සත්ව මාංශ ආහාරයට ගැනීම අරුමයක් නොවන බව පැහැදිලිය. එහෙත් සතුන් හීලෑ කොටගෙන අවශ්‍ය විටක මස් පිණිස භාවිතා කිරීම, දඩයම් කිරීම මෙන් අවිනිශ්චිත කාර්යයක් නොවුණි. මසට අමතරව ඔවුන්ගෙන් කිරි, සම් සහ ලෝම වැනි අනිකුත් ප්‍රයෝජන ලබන ආකාරයද මිනිසා විසින් කෙටි කලෙකින්ම හඳුනා ගන්නා ලදී. ගොවිතැනින් ශේෂ වූ පිදුරු වැනිදෑ සත්ත්ව ආහාර වශයෙන් යොදා ගත හැකි වීමත්, සත්ත්ව මල, මුත්‍රා ගොවිතැනට පොහොර වශයෙන් යොදාගත හැකි වීමත් මේ නිසා ඇතිවූ අන්‍යෝන්‍ය වාසි සහගත තත්ත්වයන් වූහ. මෙමගින් වගාව මෙන්ම සතුන්ද ප්‍රයෝජන ලැබූ අතර, අනිවාර්යයෙන්ම අවසාන ප්‍රායෝජනය මිනිසා සතු විය.
එළුවන් සහ බැටළුවන්, පුරාණ ලෝකයේ මුලින්ම හීලෑ කිරීමට ලක්වූ සතුන් දෙවර්ගය වේ. ක්‍රමක්‍රමයෙන් අද භාවිතයට ගන්නා විශාල සතුන් දක්වා එය වැඩි වර්ධනය විය. මේ සෑම සතෙකුම මුලින්ම මස් පිණිස භාවිතා කළද, වෙනත් අමතර ප්‍රයෝජන ගත හැකි බවද පසුව ප්‍රත්‍යක්ෂ විය. විශේෂයෙන්ම නගුල සොයා ගැනීමත් සමඟම . මෙමගින් මිනිසාට වැඩි අස්වැන්නක් ලැබීම හේතු කොටගෙන වැඩි ප්‍රමාණයකට ආහාර සැපයීමේ හැකියාව ලැබුණි.
නිව් ගිනියාවේ හෝ ලොවෙහි බොහොමයක් වූ අනෙකුත් ප්‍රදේශ වල ගොවිතැන සඳහා නගුල භාවිතා කොට නොතිබුණි. හේතුව, ඔවුනට එය ඇදීම සඳහා යෝග්‍ය වූ සතුන් නොමැති වීමයි. වර්තමානයේද නිව් ගිනිහී විශාලම ගෘහාශ්‍රිත සත්ත්වයා වන්නේ ඌරාය. එහෙත් යුරෝපය ආශ්‍රිත සමාජයේ හරකුන්, අශ්වයන්, බැටළුවන් ආදී විශාල විවිධත්ත්වයකින් යුතු සත්ත්ව ගහණයක් සිටි අතර මිනිසා විසින් ඔවුන්ව හීලෑ කොටගෙන නා නා ප්‍රකාර ප්‍රයෝජන ලබා ගෙන, ලබා ගනිමින් සිටිති. ඌරන්ගෙන් මස් ලබාගත හැකි වුවද අනෙකුත් සතුන්ගෙන් ලැබිය හැකි වූ බහුවිධ ප්‍රයෝජන ලැබිය නොහැකි විය. ප්‍රධානම අවාසි සහගත කාරණය වූයේ ඌරන්ගෙන් බාහු බලය ලබා ගත නොහැකි වීමයි.
සතුන් හීලෑ කොටගෙන මස් පිණිස හෝ ගොවිතැන සඳහා යොදාගැනීම යන කාරණය ඒ ඒ සමාජයන් අතර ශිෂ්ටාචාරගත්වීමේ වේගයෙහි පැහැදිලි වෙනසක් ඇති කිරීමට තරම් සමත් වී ඇත. මිලියන දෙකකට ආසන්න සත්ත්ව විශේෂ හඳුනාගත තිබුණද ඔවුන්ගෙන් අති විශාල බහුතරයක් මිනිසාගේ ප්‍රයෝජනයට ගත නොහැක. සමහර සතුන් හීලෑ කිරීමේ දුෂ්කරතා තිබුණු අතර සමහර සතුන්ගේ පරිණත වීමේ කාලය අධික බැවින් එවැනි සතුන් ආහාර පිණිස හෝ ගොවිතැන සඳහා යොදා ගැනීම ප්‍රායෝගික නොවුණි. මහාචාර්ය ඩයමන්ඩ් කළ පරීක්ෂණ මගින් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ලොව පුරා අතීතයේ සිට සාර්ථකව භාවිතා කළ සත්ත්ව විශේෂ 14ක් හඳුනා ගෙන තිබුණි.
- එළුවන්
- බැටළුවන්
- ඌරන්
- හරකුන්
- අශ්වයන්
- බූරුවන්
- බැක්‍ට්‍රියන් ඔටුවන්
- අරාබි ඔටුවන්
- මී ගවයන්
- ලාමා සතුන්
- පිනි මුවන්
- යැක් ගවයන්
- මිතාන් ගවයන්
- බාලි ගවයන්
මෙම සතුන්ගෙන් ලාමා හැරුණුකොට අනිකුත් සියලුම සතුන් පාහේ ආසියාව, යුරෝපය හා උතුරු අප්‍රිකාව ආශ්‍රිතව හමුවූ සතුන්ය.එයිනුත් ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන් මැදපෙරදිගින් හමුවූ, හීලැකරගනු ලැබූ සතුන්වේ. ලොව හොඳම බෝග කිහිපයකට මුල් බිම් වූ මැදපෙරදිග, ලොව හොඳම ගෘහාශ්‍රිත සතුන් කිහිපයකටම මුල්බිම් වීම, එහි විසූ මුල් මිනිසුන්ව වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට සමත්ව තිබුණි. සැබවින්ම ඔවුන් භූගෝලිය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමක් වූහ. ගොවිතැනට සතුන්ගේ සහයෝගය ලබා ගැනීමට ඇරඹූ තැන් සිට, මිනිසුන්ට සිය නිෂ්පාදන අතිරික්තයක් ලබා ගත හැකිවූ අතර එය සමාජයේ සියලු දෙනාම නිතරම ගොවිතැනෙහි යෙදීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබීය. මෙලෙස ලද විවේකය ඔවුන් නව දක්ෂතා හා නව තාක්ෂණය බිහිකිරීම උදෙසා භාවිත කොට ඇති සෙයක් දක්නට ලැබේ. දුකුණු ජෝර්දානයේ කැණීම් වලින් හමුවූ පුරා විද්‍යා සාක්ෂි වලින් දැක්වෙන පරිදි එහිවූ ආදිවාසීන්, නිසි පරිදි සැකසු නිවාස තානාගෙන ජීවත්ව සිට ඇත. නිකම්ම හිසට සෙවණක් වෙනුවට සුව පහසු ලෙස ජීවත්විය හැකි ලෙස ඒවා ගොඩනගාගෙන තිබූ බවට සාක්ෂි දක්නට වූහ. එම නිවාස වල අභ්‍යන්තරයෙහි කාලය ශ්‍රමය වැඩි වැඩියෙන් අවශ්‍ය වූ කපරාරු කිරීම් පවා නිරීක්ෂණය කොට තිබුණි. එනම් සැලකිය යුතු කාලයක් සිය ආහාර උපදවා ගැනීමේ කාර්යයෙන් බැහැරව ගත කිරීමට තරම් විවේකයක් ලද සමාජයක් එකල තිබූ බව අනුමාන කළ හැකිය. තවද, ගින්දර භාවිතාකොට කපරාරු සඳහා අවැසි හුණුගල් රත්කොට සකසා ගැනීම මිනිසුන් ලැබූ විශාල තාක්ෂණික විජයග්‍රහනයක් විය. ගින්දරින් වැඩගැනීමට අවබෝධ කොට ගැනීම, ලොවෙහි හැඩරුව වෙනස් කළ වානේ සැකසීම සදහා තැබූ මුල්ම පියවර විය.
එහෙත්, නිව් ගිනි ඇතුළු ලොව අනෙකුත් භූගෝලීය වශයෙන් අසාර වූ ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් දක්නට නොවුණි. ඔවුන්ගේ ගොවිතැනෙහි වූ අඩු ඵලදායිත්වය සහ අඩු කාර්යක්ෂමතාවය නිසාම ඔවුන් හට ආහාර අතිරික්තයක් ලැබිය නොහැකි වූහ. ප්‍රතිඵලය වූයේ ඔවුනට නිතරම ආහාර වෙනුවෙන් වෙහෙසිය යුතු වීමයි. නව දක්ෂතා හෝ නව නිපැයුම් වැඩිවර්ධනය කරගැනීමට තරම් කාලයක් නොවුණි. ඒ සඳහා සිය කාලය ශ්‍රමය වෙන් කළහැකිවූ පිරිසක් බිහිවීමද මෙයින් වැළකුණි. මෙම තත්ත්වය මානව ශිෂ්ටාචාරය තුළ ඔවුන්ගේ ගමන මන්දගාමී කොට තිබුණි.
මැදපෙරදිග කලාපයේ මේ සියලු වාසි සහගත තත්ත්වයන් තිබුණද, වර්තමාන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් උසුලයි. එය තවදුරටත් මානව ශිෂ්ටාචාරයට ජීවය දුන් තෝතැන්න නොවීය. කෙතරම් පෝෂ්‍යදායී ධාන්‍ය තිබුණද, ගොවිතැනට උපයෝගී කොටගත හැකි සතුන් සිටියද, කලාපයේ ඇති වියළි ස්වභාවය දිගින් දිගටම ගොවිතැනෙහි යෙදෙමින් එම කලාපයේ රැදීසිටීමට යෝග්‍ය නොවීය. කලාපයේ ඇතිවූ මහා නියන් තත්ත්වය සහ මානවයාගේ අපරික්ෂාකාරී ක්‍රියා හේතුකොටගෙන සිදුවූ පරිසර විනාශයද, වියළි ස්වභාවය වැඩි කළ බැවින්, එය ජීවිතය පවත්වාගෙන යාමට තවදුරටත් යෝග්‍ය නොවුණි. එබැවින්, එහි විසූ ආදි වාසීන්ට ප්‍රදේශය අතහැර නව යෝග්‍ය ප්‍රදේශ කරා විතැන් වෙනවා හැර අන් විකල්පයක් ඉතිරිව නොතිබුණි.
![]() |
| Fertile crescent |
Fertile Crescent යනුවෙන් හැදින්වූ මෙම මුල්ම ශිෂ්ටාචාරයේ නිජ බිම, "යුරේශියා" යනුවෙන් හැදින්වූ ආසියාව හා යුරෝපය එකතුව සෑදී තිබුණු මහා බිම් කඩක මධ්‍යට වන්නට පිහිටා තිබුණි. එබැවින් Fertile Crescent වෙතින් නික්මුණ මිනිසුන්, එයින් පෙරදිගටත්, බටහිරටත් පැතිරුණි. නමුත් ඔවුන්ගේ විතැන්වීම අධ්‍යනය කළහොත් එය එක සමාන අක්ෂාංශ කිහිපයක පෙරදිගට හා බටහිරට වන්නට වූ විතැන්වීමක් ලෙස හඳුනා ගත හැකිය. මෙයට බලපෑ හේතුව කුමක්ද ? පෘතුවියේ එකම අක්ෂාංශ මත පිහිටා ඇති භූමි ප්‍රදේශ බෝහෝ විට එකම කාලගුණික හා දේශගුණික තත්ත්වයන් අත්විඳිනු දක්නට ලැබේ. එබැවින් සිය වගාවන් සහ සතුනට හුරු සහ යෝග්‍ය වූ සමාන කාලගුණ සහ දේශගුණ තත්ත්වයන් සොයාගෙන මිනිසාගේ විතැන්වීම සිදුවන්නට ඇතැයි යන නිගමනය බෝහෝදුරට සිදු විය හැකි සංසිද්ධියකි.
![]() |
| ශිෂ්ටාචාරයේ පැතිරීම |
මෙලෙස ඔවුන්ගේ බෝග වූ තිරිඟු සහ බාර්ලිද, සතුන් වූ ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන්ද, මැදපෙරදිග කලාපයේ සිට ඉන්දියාව දෙසටත්, යුරෝපය දෙසටත් පැතිර ගියහ.
Fertile Crescent සිට පැමිණි මිනිසුන්, ඊජිප්තුවට පැමිණීම විශාල ශිෂ්ටාචාර පිබිදීමක් ඇති කිරීමට සමත් විය. අතිවිශාල පිරමීඩ ගොඩනැංවීමට අවැසි තාක්ෂණය දියුණු කිරීම දක්වාම එහි බලපෑම දක්නට ඇත. ඒ ආකාරයෙන්ම යුරෝපියානු ශිෂ්ටාචාරය ගොඩනැවීම සහ හැඩගැස්වීමද Fertile Crescent සිට සංක්‍රමණය වූ මිනිසුන්, තිරිඟු, බාර්ලි සහ සතුන්ගේ බලපෑම මතම සිදුවිය. දාසයවන සියවසේදී එම බෝග සහ සතුන්ව යුරෝපීයන් විසින් නව ලෝකය හෙවත් ඇමෙරිකාවට හදුන්වා දෙන ලදී. එසේ හදුන්වා දීමට ප්‍රථම ඇමෙරිකාවේ මෙම සතුන් සහ බෝග දක්නට නොවුණි. වර්තමානයේ ඇමෙරිකාවෙ පමණක් ගවයන් මිලියන සියයක් පමණ ඇතැයි සැලකේ. ඇමෙරිකානුවන්ගේ වාර්ෂික තිරිඟු පරිභෝජනය වර්තමානයේදී වසරකට ටොන් මිලියන විස්සක් පමණ වේ. Fertile Crescent වෙතින් හදුන්වා දුන් මෙම බෝග, සතුන් ඇතුළු ගොවිකම නොවන්නට නූතන කාර්මික ඇමෙරිකාවක් පිළිබඳ සිතීමටවත් උගහටය.
අපි දැන් මහාචාර්යය ඩයමන්ඩ් ගොඩනැගූ න්‍යාය සංක්ෂිප්ත කොට විමසා බලමු. මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව;
- දඩයමින් දිවිගෙවීම, අවිනිශ්චිත අකාර්යක්ෂම ජීවනෝපායකි. එහි, එයටම ආවේණික වූ දුර්වලාතා රැසක්ම වූහ.
- දඩයමෙහි වූ අකාර්යක්ෂමතාවය නිසාම, මිනිසුන් පරිසරයෙන් සපයාගත හැකි ශාකමය ආහාර එකතු කොට පරිභෝජනයට ගැනීමට යොමු වූහ. මැදපෙරදිග විසු අතීත මානවයා මේ සඳහා ප්‍රදේශයේ වූ තිරිඟු සහ බාර්ලි එකතු කොට ආහාරයට ගැනීම ඇරබූහ. තිරිඟු සහ බාර්ලි ස්වභාවයෙන්ම පෝෂ්‍යදායී ආහාර බැවින්, එම මිනිසුනට ලොව අනෙකුත් ස්ථානවල දිවිගෙවූ මිනිසුන්ට සාපේක්ෂව වැඩි පෝෂ්‍ය ගුණයක් ලබා ගැනීමේ ස්වභාවික වාසිය උරුම විය.
- පසුව එළබියේ ගොවි යුගයයි. පරිසරයේ ඉබේ වැවෙන දෑ එකතු කොට ආහාරයට ගැනීම වෙනුවට, තමන් විසින්ම බීජ වපුරා ආහාර බෝග වගා කොට ඵලදාව ලබා ගැනීමට මිනිසා හුරු වූහ. එය දඩයම මෙන්ම ආහාර එකතු කිරීමටත් වඩා ඵලදායී විය. එහෙත් වගා කරණ බෝගයේ ස්වභාවය මත එහි ඵලදායීතාවය තීරණය විය. ලොව ගොවිතැන ඇරබි බොහොමයක් ශිෂ්ටාචාර වල ප්‍රගමනයක් පෙන්නුවද සමහර කෘෂිකාර්මික ශිෂ්ටාචාර එසේ නොවුණි. එයට බලපෑ හේතුව ඔවුන් වගා කල බෝගය මත රඳා පැවතුණි.
- ඉන් පසුව ඇරඹියේ සතුන් හීලෑ කොටගෙන භාවිතයට ගත් යුගයයි. එමගින් මාංශ ආහාර වැඩි වෙහෙසකින් තොරව ලබා ගත හැකිවූ අතර සතුන්ව ගොවිතැන් කටයුතු වලට යොදා ගැනීමේ වාසියද හිමි විය. එයට අමතරව සතුන්ගේ අපද්‍රව්‍ය ගොවිතැනට පොහොර ලෙස භාවිතා කිරීමේ හැකියාවද ලැබිණි. මෙය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිඵලදායකවූ සංකල්පයක් බවට පත්විය. සමහර සමාජයන්හී මෙලෙස සතුන් භාවිතයට ගැනීම නොපුළුවන් වූයේ ස්වාභාවිකවම ඒ සඳහා සුදුසු සතුන් ඔවුන් ආශ්‍රයේ නොමැති වීමයි.ගොවිතැනට සතුන්ගේ දායකත්වය ලබා ගැනීමත් සමඟම එහි ඵලතායීතාවය තව තවත් වැඩි විය. විශේෂයෙන්ම නගුල් වැනි උපකරණ සතුන් ලවා භාවිතා කළ හැකි වීම මගින් වැඩි පල ලැබිය හැකි තත්ත්වයක් නිර්මාණය විය.
- ගොවිතැනෙහි ඵලදායීතාවය වැඩිවීම කරණකොටගෙන, සමාජයේ සියලුම මිනිසුන් ඒ සඳහා වෙහෙසීමේ අවශ්‍යතාවය ඉවත් විය. වැඩි පිරිසක් පෝෂණය කිරීමට හැකිවීම නිසා සමාජයෙන් කොටසක් වෙන වෙනත් කාර්යයන් හී නිරතව නව දක්ෂතා, නව දැනුම සහ නව තාක්ෂණ ශිල්පීය දැනුම ගොඩ නංවා ගැනීමේ හැකියාව ලැබුණි.
- මෙයට වෙනස්ම තත්ත්වයක්, පැපුවා නිව් ගිනි ඇතුළු අඩු ඵලදායීතා ගොවිතැන්හී නියුතු සමාජයන් වල දක්නට ලැබුණි. එනම් ඔවුන්ගේ ගොවිතැනෙහි වූ අඩු ඵලදායීතාවය නිසා වැඩි වේලාවක් ආහාර සපයා ගැනීම වෙනුවෙන් වෙහෙසීමට සිදු විය. නව නිර්මාණ, නව දැනුම ජනනය කිරීම සඳහා කාලයක් ඔවුනට නොලැබුණි.
එලෙස බලන විට පැහැදිලිවම භූගෝලීය වාසිය කරණකොටගෙන, මානව ඉතිහාසයේ එක ශිෂ්ටාචාරයක් තවෙකක් අභිබවා ඉදිරියට ගොස් ඇති ආකාරය මැනවින් නිරීක්ෂණය කළ හැකිය.
මහාචාර්යය ඩයමන්ඩ්ගේ තර්කය සංකීර්ණ නොවූ සරල එකක් බව දක්වන පිරිසක්ද වෙති. සෞභාග්‍යයේ සහ බලයේ බෙදීයාම, තිරිඟු සහ ගවයන්ට පමණක් ලඝු කොට දැක්විය හැකිද ? එසේනම් මෙම නාටකයේදී සංස්කෘතිය, ආගම, දේශපාලනය රඟ දැක්වූ කොටස් මොනවාද ? ඒවායේ බලපෑම නොසලකා හැරිය හැකිද ?
වසර ගණනාවක් නිව් ගිනි හී ගතකළ ජීවිතය මට ඒත්තු ගැන්වූවා, ලොව වටා වෙසෙන සෑම මිනිසෙක්ම මූලික වශයෙන් එක හා සමාන බව. ලොව ඕනෑම සමාජයක දක්ෂ, තීක්ෂණ මිනිසුන් දැකිය හැකියි. ඒ පිළිබඳ ඒකාධිකාරයක් කිසියම් වූ එක සමාජයකට පමණක් හිමි නොවේ. අනිවාර්යයෙන්ම විවිධ ජන සමාජවල විවිධ වූ සංස්කෘතික, ආගමික, දේශපාලනික ලක්ෂණ දැකිය හැකියි. එහෙත් ඒවා අසමාණාත්මතාවයේ ප්‍රතිඵලයන් මිස, අසමාණාත්මතාවයේ මූල බීජය නොවේ. - මහාචාර්ය ඩයමන්ඩ්.
" Why, you white man have so much cargo ? and we New Guineans have so little ?"
වසර තිහකට පෙර මෙම පැනය මගින් යාලි මාව අන්ත අසරණ කළා. එයට දිය යුතු පිළිතුර කුමක්දැයි එවකට මට කිසිම අදහසක් තිබුණේ නෑ. එහෙත් මම හිතන්නෙ අද මට එයට පිළිතුර තියනවා.
" යාලි, නුඹගේ මිනිසුන් නව තාක්ෂණය සොයා නොගැනීමට හේතුව කෞශල්‍යයේ වූ අඩුපාඩුවක් නොවේ. නුඹලා සතුව මේ අපහසු දායක පරිසරය ජය ගැනීමට තරම් වූ කෞශල්‍යයයක් තිබුණි. නුඹගේ ගැටලුවට පිළිතුරනම් "භූගෝලිය තත්ත්වයයි". මගේ මිනිසුන් වසර දහස් ගණනකට පෙර අත්විඳි භූගෝලීය වාසිය, නුඹලාගේ මිනිසුන් ලැබුවා නම්, අද දින මේ නව නිපයුම් කරන්නේ නුඹලාගේ මිනිසුන්ය." - මහාචාර්ය ඩයමන්ඩ්.
Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 09.11.2012









