Monday, February 27, 2017

වාරි මැවිසුරන්....






උතුරු-දකුණු දිශානතිව පිහිටා ඇති දිගැටි ඉඩමෙකි. දිගින් යාර සියයක් පමණ ඇති මෙම ඉඩම, පළලින් යාර තිහක් හෝ හතළිහක් වනු ඇත. මෙය, එකිනෙකට සමාන්තරව, එකිනෙකට යාව පිහිටා තිබූ ඒ ආකාරයේ ඉඩම් හතරකින් එකකි. මතු සඳහන් ඉඩමෙහි සිට උතුරු දෙසට මුහුණ ලූ විට, දකුණු පසින් එක් ඉඩමක් ද, වම් පසින් තවත් ඉඩම් දෙකක් ද වන ආකාරයෙන් මෙම ඉඩම් පිහිටා තිබුණි. කොස්, දෙල්, පොල්, කිතුල්, මිල්ල, කජු, අඹ ආදි ශාකයන්ගෙන් මෙම ඉඩම් වැසී තිබූ අතර තැනින් තැන පැතිරුණු වෙනත් ගස් වැල් මගින් මනා සමබරතාවයක් රඳවාගෙන තිබිණි. ඉඩම් සතරෙහිම දකුණු කොටසට වන්නට ඒවායෙහි හිමිකරුවන් විසූ නිවාස පිහිටා තිබිණි.

මෙම ඉඩම් කැබලි සතර උතුරින් සහ නැගෙනහිරින් සම්පූර්ණයෙන්ම වට වී තිබුණේ "කුරුන්ද" යැයි ව්‍යවහාරයේ පැවතුණු කුරුඳු වත්තකිනි. සැබවින්ම මෙය කුරුඳු වත්තක් නොව කුරුඳු කැලෑවෙකි. එහි වූ අඹ, දං, කජු, දවට, වල් ඇහැල ආදී නානාප්‍රකාර ශාකයන් අසීමාන්තිකව වත්ත වසා පැතිර තිබුණේ එහි ප්‍රධාන බෝගය වූ කුරුඳු වගාව යටි වගාවක් බවට පත් කරවමිනි. සැබවින්ම එම කුරුඳු වත්ත, හිමිකරුවන්ගෙන් නිසි සැලකුම් නොලැබූ බැවින්, ස්වභාවධර්මයා සිය ග්‍රහණයට ගෙන එහි තමනට අවැසි පරිදි නෙක නෙක රූ රටා මවමින් සිටියාය. මෙම කැලෑව, අවට ප්‍රදේශයම සිහිල් කිරීමෙහි ලා දැක්වූයේ ඉමහත් දායකත්වයෙකි. තවද, මෙම කැලෑවට එහි වූ පලතුරු උදෙසා ඇදී ආ කුරුලු ගහණය නිසා තදාසන්න ප්‍රදේශය සෑම විටම පාහේ ඉමිහිරි කුරුලු කූජනයකින් සංගීතවත්ව පැවතුණි. 

පෙර සඳහන් ඉඩම් සහ මෙම කැලෑව අතර වූ සම්බන්ධය බිඳ දමා තිබුණේ, නැගෙනහිර මායිමේ මධ්‍යකින් ඇරඹී උතුරු දෙසට ගලා ගොස් ඉන් අනතුරුව වමට හැරී බස්නාහිර බලා ගලා ගිය දිය අගලකිණි. මෙය අඩි තුනක් හෝ හතරක් පමණ පළලකින් යුක්ත වූ දිය අගලක් වූ අතර බොහෝ ස්ථානයන් හී දී අඩියක් තරමේවත් ජල මට්ටමක් නොවුණි. එහෙත් සමහර ස්ථානයන් හීදී ඉවුරු අතර පරතරය වැඩි කරගන්නා ඇය එම ස්ථානයන්හීදීම සිය ගැඹුර ද වැඩි කරගෙන තිබුණාය. අගලෙහි, කුරුන්ද දෙසින් වූ ඉවුර, වල් ඇහැල, වල් දෙල්, දවට ආදී ගස් වර්ගයන්ගෙන් වැසී අගලට මනා සිසිලසක් එකතු කර තිබුණු අතර අනෙක් ඉවර වැඩි වශයෙන් ආවරණය වී තිබුණේ ඉතා ළඟින් පිහිටි පුවක් ගස් වලිනි. මෙම තත්ත්වය ඉඩම් සතරටම පොදු වූ අතර එම පුවක් වගාව මිනිස් නිර්මාණයක් ද, ස්වභාවධර්මයාගේ නිර්මාණයක් දැයි පැවසීමට උගහටය. මෙම දිය අගල නානාප්‍රකර මසුන්ගෙන් ද හිඟ නොවූ අතර තිත්තයන්, කණයන්, දණ්ඩින්, ලූලන්, හුන්ගන් ආදි මත්ස්‍යයන් ද, කුඩා කක්කුට්ටන් ද, වැහි කාලයට උඩු ගං බලා පීනන මගුරන් ද සුලභ දසුන් ය. මෙම මසුන්ට නිවහන වූ මෙම අගල, සෘතු භේදයකින් තොරව වසර පුරාම ගලා ගිය දිය අගලෙකි. වර්ෂා කාලයට, ඇය ගැබ්බර ළඳක් මෙන් මදක් පිම්බී, ආඩම්බරයෙන් ගලා ගියාය.

මතු, මුලින්ම සඳහන් ඉඩම අපි "නාන ලිඳ වත්ත" යයි නම් කරමු. ඒ, අනෙක් ඉඩම් තුනෙහිම නොවූ විශේෂ ලක්ෂණයක් වූ නාන ළිඳක් මෙහි පිහිටා තිබූ බැවිනි. සැබවින්ම එය, එහි හිමිකරුවන් විසින් තැනවූ, චතුරස්‍රාකාර නාන ළිඳකි.. එහි බැම්ම පොළව මට්ටම පරයා නොගියේය. ලිං කඩිත්ත පිහිටා තිබුණේ පොළව මට්ටමේ සිට අඩි දෙකක් පමණ පහතිනි. එයද ලිං බැම්මේම දිගුවක් වූ බැම්මකින් වට වී තිබූ අතර එක් මුල්ලකින් නාන ජලය බැස යාම සඳහා වූ විවරයෙකි. එයින් පිට වෙන ජලය ගලා ගොස් එකතු වූයේ පෙර කියවුණු දිය අගලටය...වර්ෂා කාලයට මෙම ලි‍ඳෙන් නෑම සඳහා බාල්දියක් පමණක් ප්‍රමාණවත් වූ අතර තදබල වියළි කාලයක දී වුවද අවැසි වන කඹයේ දිග යාරයකට අඩු මිස වැඩි නම් නොවේ.

ඒ අගෝස්තුවේ පාසල් නිවාඩුවයි. ළමයින්ට දඩි බිඩියේ මූණ කට හෝදාගෙන ආපසු දිවීමේ හදිස්සියක් නොමැත. නාන ළිද වත්තේ ළමුන් කොහොමත් උදෑසන පිරිසිඳු වීම සඳහා වත්ත පහළ වූ නාන ළිඳ වෙත එති. එයට වමෙන් පිහිටි අනෙක් වත්තේ ළමුන් ද දත් මදිමින් වත්ත පහළට ඒම සාමාන්‍ය සිරිතකි. අගල් කණ්ඩියේ එක පෙළට සිට ගන්නා ඔවුන්, දත් මදිමින් අගලට කෙළ ගසති. එවිට තමන්ට කෑමක් ලැබුණේ යැයි සලකා ඇදී එන තිත්තයන් රෑන මනහර දසුනෙකි.

අගලෙහි වසන මසුන් විශේෂයෙන් කණයන් ළමුන්ගේ මාළු බෑමෙහි ගොදුරු වූහ. මේ මාළු බෑම, ඇති කිරීම සඳහා මිස මැරීම පිණිස නොවුණේය. කිතුල් පිත්තක ගැට ගැසූ නයිලොන් නූලක් කෙළවර දැවටූ, දෙකට නැවූ හර්නෙල් කට්ටක් වැසී යන පරිදි, අගල් කණ්ඩියම හාරා මතු කරගන්නා ගැඩවිලකු දෙකට කඩා ගැසීමෙන් සකසා ගන්නා ඇම, අගලට දමා ටික වේලාවක් සිටින කල්හී එයට කෙටීම අනිවාර්යයෙන් සිදු වන දෙයකි. විටෙක ඇම කඩාගෙන යාමට තරම් මසුන් දක්ෂයන් වන නමුදු සමහර අවස්ථාවන් හී මෝඩ කණයෙකු කරමල් පසාරු වී යන ලෙස ඇමෙහි දැවටී ගොඩ ගනු ලබන්නේය. සීරුවෙන් ඇමෙන් ගලවනු ලබන මාළුවා ඔවුන්ගේ මාළු ටැංකිය වූ නාන ළිඳට දමනු ලැබෙයි. මෙසේ අල්ලා දැමුණු මසුන් දහ දෙනෙකු පමණ නිතරම ළිදෙහි ඔබ මොබ පිහිනනු දැකිය හැකි වේ.

අසේල, අගල් කණ්ඩියට වී තනියම දත් මදිමින් සිටි නමුදු ඔහුගේ සිත අගලෙහි සැරි සැරූ මසුන්ගේ රංගනයට හා කුරුන්දෙහි කරච්චල් කළ දෙමලිච්චන් රෑනෙහි සංගීතය දෙසට වරින් වර යොමු විය. අසේලලා ගේ කුකුළු රෑන ළිදෙන් වතුර බැස යන කාණුව අවුස්සා පණුවන් අහුලමින් සිටි අතර ඔහුගේ අවධානය විටින් විට කුකුළන්ගේ කා කොට ගැනීම වෙත ද යොමු විය. සැබවින්ම ඔහු මේ මොහොතේදී සොබා සිරියෙහි අතරමංව දත් වලට බුරුසුවෙන් අනිමින් සිටියේය. මද වේලාවකට පසු බුරුසුව කටේ ගසාගෙන පැමිණි අසල්වැසි නිවසේ නාලක ද ඔහු හා එකතු විය. ඔවුන් දෙදෙනා ගේ සාකච්ඡාවට විවිධ දේ මාතෘකා වූ අතර නිවාඩු සමය හෙයින් ආපසු දිවීමේ හදිසියක් ඔවුන් දෙදෙනාටම නොවුණි. කුසෙහි පණුවන් උද්ඝෝෂණය කරණ තෙක් ඔවුන් මෙහි ‍රැදෙනු ඇත. මේ වේලෙහි, අගල ඔස්සේ, කුරුන්ද දෙසින් වැටී ඇති අඩි පාර දිගෙහි රෙදි පොට්ටනියක් හිස තබාගත් ඩෝබි මාමා ගමන් කරනු ඔවුන්ගේ නිරීක්ෂණයට හසු විය. අසේල නිතර ඩෝබි මාමා ගේ මෙම ගමන දැක තිබුණු නමුදු ඔහු යන්නේ කොහිදැයි යන්න අසේලට සැමදා ගැටළුවක්ම විය.

"එයා කොහෙ ද ඒ යන්නේ, හැමදාම?" පැනය අසේලගෙන් නාලකටය.

"ඇයි දන්නැද් ද ඔහොම ටිකක් පහළට යනකොට මේ අගල එක තැනක ලොකු වළක් වගේ වෙලා තියනවා. එතන සෑහෙන ගැබුරයි මම හිතන්නේ. එයා රෙදි හෝදන්නේ ඒ වළේ තමා."

"එහෙම ද ? මම කවදාවත් එච්චර එහාට ගිහින් නෑ."

තවත් අඩ හෝරාවක් පමණ ඔවුන් විවිධ දේ සාකච්ඡා කරමින්, සොබාදහම රස විඳිමින් එහි ගත කරන්නට ඇත. හදිසියේම අසේලගේ සිතෙහි විදුලියක් සේ ක්ෂණික අදහසක් පහළ විය.

"අපි වැඩක් කර්මු ද?"

"ඒ මොකක් ද ?"

"වේල්ලක් බඳිමු!"

නාලකගේ දෑස් ඈයි ගියේය. මොහොතක් මවිතව අසේල දෙස බලා සිටි ඔහුගේ මුවෙහි ඊළඟ නිමේෂයේ සිහින් සිනා ඉරක් ඇඳි ගියේය.

"ඒකනම් මරු වැඩෙ.. ඒත් කොහෙද කරන්නේ ?"

"මම හිතන්නේ මෙතන තමා හොඳම තැන. මෙතන අගල ප‍ටුයි. අපිට වැඩේ ලේසියි එතකොට."

"කොහොමද වතුර නවත්වන්නේ?"

"ඉස්සෙල්ලා මෙහෙම ලී දඬු පේළියයි, අඩියක් විතර පල්ලෙහයින් තව දඬු පේලියයි හිටවනවා.. ළඟින් ළඟින් හිටවන්න ඕනා. ඊට පස්සෙ පට පට ගාලා පස් පුරවන්න ඕනා. ඕන්නම් පල්ලෙහා දඬු පේළියට පිටින් ගඩොල් පේළියක් අතුරමු පස් හෝදන් යන එක නවත්වන්න."

"පුළුවන් වෙයිද?"

"පුළුවන්, පුළුවන්.. මම දවසක් පොඩියට කළා. ටිකක් වෙලා අල්ලල හිටිය."

"හරි කරල බලමු.. එහෙනම් ටාර් ගාල ගිහින් කාල එමු."

කටට දෙකට හීලට වගකියූ ඔවුන් දෙදෙනා අඩ හෝරාවක් යාමටත් මත්තෙන් මන්නා පිහි, මිටි, උදලු සමඟ අගල් කණ්ඩියෙහි පෙනි සිටියෝය. අනතුරුව කුරුන්දට පැන වල් ඈහැල හා දවට ගස් වලට බඩ ගා ගත් ඔවුන්, තමන්ගේ කාර්යයට සෑහෙන ප්‍රමාණයේ ලී දඬු අවැසි පමණට කපා ගත්හ. එක් මට්ටමකට කපා ගත් ලී දඬුවල එක් කෙළවරක් තියුණුව උල්කර ගත්හ. ඉන්පසු අගලෙහි ප‍ටුම ස්ථානය ලෙස ඔවුන් ‍තෝරා ගත් ස්ථානයෙහි, අගල හරහා එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා විහිදී යන පරිදි ලී දඬු සිට වූහ. අඩියක් පමණ පහළට වන්නට එම ලී දඩු පෙළියට සමන්තරව විහිදී ගිය තවත් ලී දඬු පේළියකි. එම දෙවන පේළියට පිටින් එක පෙළට ගොඩ ගැසූ ගඩොල් බැම්මක් මගින් සවිමත් කළ වෙරගැන්වුමකි. අගල මධ්‍යයෙහි දඬු සිට වීම පහසු වුවද, ඉවුරු වලදී එම කාර්යය ඉතා අපහසු වුණි. ඉවුරේ දෙපස වූ ශාකයන්ගේ මුල් පසාරු වී යන ලෙස දඬු සි‍ටු වීමට තරමක වෙහෙසක් දැරීමට ඔවුන්ට සිදු වූහ. එහෙත් ගලායන සිසිල් ජලයෙහි බැස මෙම කාරියෙහී නිරත වීම ඔවුනට සැබෑම නවුම් අත්දැකීමක් විය.

තම ගමන නැවැත්වීමට කාහටවත් නොහැකියයි අඟවන්නාක් මෙන්, දිය පහර, ලී දඬු අතරින් වූ හිඩැස් තුළින් රිංගා ගියේය. ගඩොල් පේළිය යම් ප්‍රතිරෝධයක් දැක්වුව ද ජල පහර සම්පූර්ණයෙන් නැවැත් වීමෙහි ලා අපොහොසත් වූයේය. දැන් සියල්ල සූදානම්ය. අපහසුම කාර්යය ඇත්තේ දැන්ය.

නාන ළිඳ වත්තෙහි, අගල ආසන්නයට වන්නට කැපූ වල් දෙකකින් වේල්ලට පස් පිරවීම ඔවුන් ආරම්භ කළහ. වළෙන් කපා ගන්නා පස් පිඩැලි උදැල්ලෙන්ම වේල්ල වෙත විසි කරනු ලැබූහ. පළමු පස් පිඩැල්ල වහා දිය කර හැරීමට ජල පහර සමත් විය. ඒක්ෂණයෙන් පතිත වූ දෙවැනි පස් පිඩැල්ල අඩක් පමණ ද, තෙවැනි පස් පිඩැල්ල එයිනුත් අඩක් ආ දි වශයෙන් දිය වී යාමේ වේගය අඩුව ගොස් අවසානයේදී ජල පහර, ළමුන් ගේ ධෛර්යය ඉදිරියේ යටත් වූවා ය. වතුර ගලා යාම නතර වුණේය. එහෙත් සිය කාර්යයෙහි දිගටම නිරත වූ ළමුන්, නොකඩවා වේල්ල පිරවීමෙහි යෙදී සිටියහ. අඩියක් පමණ පස් පිර වූ ඔවුන් දෙදෙන හති ඇරීමට වන්හ.

පිර වූ පස් තට්‍ටුව උදලු මගින් තලා පහතට තෙරපා නැවතත් පස් පිර වීම ඇරඹූ ඔවුන් වේල්ල සම්පූර්ණයෙන්ම පස් වලින් වැසී, පිරී යන තෙක් මෙම කාර්යයෙහි නොකඩවා නිරත වූහ. දෙ හෝරාවක් පමණ වන විට, අඩි තුනක් පමණ දික් වූ, අඩියක් පමණ පළල, අඩි හතරක් පමණ උස් වූ පස් වලින් නිර්මිත අපූරු වේල්ලකින් අගලෙහි දිය පහර කපා හැරීමට මේ මැවිසුරුවන් දෙදෙනා සමත් වූහ. එය ඔහුනට ඔබ මොබ ඇවිද යා හැකි තරමින් සවි ශක්තියෙන් යුක්ත වූ වේල්ලකි. ඉතා සුලු ජල කාන්දුවක් තිබුණ ද එය සැලකිය හැකි තත්ත්වයේ නොවුණි. වේල්ලෙන් ඉහළ ජලය පිරෙනවා ඔවුන් බලා සිටියේ ආසාවෙනි. වේල්ලෙන් පහළ ජලය නැතිව වියලී යමින් තිබිණි. සිය සුපුරුදු ගමන් මාර්ගයෙහි ඉදිව ඇති මේ මහා බාධකයට විරෝධය පෑමට මෙන් වරින් වර එහි පැමිණි තිත්තයන් ‍රැල වේල්ලෙහි දඩු වලට කොටා ආපසු හැරී යන්නට වූහ.

සිය කාර්යයෙහි සාර්ථකත්වය විමසමින් තවත් වෙලාවක් එහි ‍රැදුණු ඔවුන් දෙදෙනා, සිය ආම්පන්න ද ‍රැගෙන නිවෙස් බලා ඇදුණේ නැවත වරින් වර පැමිණ තත්ත්ව සමාලෝචනයක යේදීමේ අරමුණ ඇතිවය. මේ මහා වාරි නිර්මාණය බොහෝ වේලාවක් අන් අයට රහසක්ව නොපැවතුණි. මොවුන් දෙදෙනා වරින් වර වත්ත පහළ ගොස් සිදු කරනා කාර්යය කුමක් දැයි අවධානයෙන් සිටි අසේලගේ සොයුරියක් එහි පැමිණ, එය නරඹා ඒ වෙගයෙන්ම නැවත දිව ගියේ කේලම මවගේ කනේ තැබීමටය.

"අම්මේ අන්න අයියලා අගල වහලා " යි ඇය කෑ ගැසූ බැවින් එය ඇසු අනිත් ළමෝද කුතුහලය සංසිදුවා ගැනීම උදෙසා එහි දිව ගියහ. මැවිසුරන් දෙදෙනා ආඩම්බරය මුසු ගර්වයකින් පිම්බී සිටියහ. "මේ මොකක් ද?" "මොකක් ද කරන්න යන්නේ? " ආදී එල්ල වූ දහසක් පැනයන්ට උඩින් පල්ලෙන් උත්තර ලැබුණේ එහෙයිනි. ළමෝ වේල්ල හරහා ඔබ මොබ ගමන් කිරීම උදෙසා උත්සුක වුව ද, එහි ආරක්ෂාව සලකා මැවිසුරන් විසින් එය තහනම් කරණ ලදී.

+++++

කුතුහලයෙන් මඩිනා ලද ඔවුන් දෙදෙනා පසු දින හිමිදිරියේම වේල්ල අසල පෙනී සිටිනු දක්නා හැකි විය. වේල්ලෙන් අඩකට මදක් අඩුවෙන්  වූ උසට ජලය පිරී තිබිණි. වේල්ලෙන් ඉහළ වූ මසුන් වැඩි වූ ජල තලයේ ප්‍රීතියෙන් එහා මෙහා පිහිනමින් සිටිනු දැකිය හැකි වුව ද වේල්ලෙන් පහළ තත්ත්වය ශෝචනීය විය. එය බොහෝ දුරට වියලී තිබූ අතර, අතරින් පතර වතුර ‍රැඳී තිබූ කුඩා වළවල් වල ‍රැදී සිටි මසුන් උඩ පනිමින් සිටියහ.

"අප්පා අරුන්ව මැරෙයි නේ..!" යි තමන්ටම දොස් පවරා ගන්නා ස්වරයෙන් අසේල පැවසීය. මෙය ඔවුන් විසින් එතරම් අවධානය යොමු නොකළ තත්ත්වයකි.

"අල්ලලා මෙහෙට දාමු ද එහෙනම් ?"

" හා එහෙමවත් කරමු" යි කියමින් ඔවුහූ වහා ක්‍රියාත්මක වූහ. ලොකු බේසමක් හා කුඩා බේසමක් ගෙනා ඔවුන්, කුඩා බේසමෙන් වල් වල ‍රැඳී සිටි මසුන් අල්ලා ලොකු බේසමට දමාගෙන පැමිණ, වේල්ලෙන් ඉහළ තටාකයට දැමීය. එවිට මසුන් ප්‍රීතියෙන් පිහිනා යනු දැක ඔවුන් සැනසුම් සුසුම් හෙළූහ. එහෙත් මෙම අගල තවත් බොහෝ දුරට ගලා යනවා ඇත. ඒ සියලු දුරෙහි ‍රැඳී සිටිනා මසුන් අල්ලා මෙහි ගෙන ඒම ප්‍රායෝගික ක්‍රියාවක් නොවුණි. අවසානයේ දී, මසුන් ජලය නොමැති වූ විට මඩ අතර සැඟව දිවි ‍රැක ගන්නා බවට නාලක විසින් ගෙනා තර්කය, අසේල විසින් ඒකමතිකව ස්ථීර කිරීම නිසා ඔවුන් පසුතැවීම අත්හැර දමා, පිරී සිටි ජල තටාකයේ සතුටින් පිහිනමින් සිටි මසුන් දැක ප්‍රීති වීම ඇරඹූහ.

ඩෝබි මාමා සිය සුපුරුදු කාර්යය උදෙසා මෙවෙලෙහි එතනින් ගමන් කරමින් සිටියේය. සිදු වී ඇති විපර්යාසය ඔහුගේ ඇස ගැ‍ටුණේ නිතැතිනි.

"ඔය මොකක්ද ඔය ළමයි කරන්නේ ?" ළමෝ උත්තර නොදී ඔහුගේ මුහුණ දෙස බලා සිටියහ.

"දැන් පල්ලෙහාට වතුර යන්නේ කොහොම ද, ඔතන ඔහොම බැම්මක් බැන්දම ?"

"නෑ නෑ.. අපි කරන්න යන්නේ මේ මට්ටමට වතුර පුරවලා, වේල්ල උඩින් වතුර යවන්න. එතකොට මේ පැත්තෙ හැමදාම මේ වගේ වතුර පිරිලා තියනවා නේ ඒකයි." කට පැත්තකට කර"හුහ්" යනුවෙන් ශබ්දයක්ය සමඟ පපුව ගස්සා අවමන් සහගත සිනාවක් නැගි ඩෝබි මාමා තවත් එතන නො‍රැදී සිය කාර්යය බලා ගියේය.

"ඒකත් මරු වැඩේ නේ ද? එතකොට හැමදාම මේ පැත්තේ මේ වගේ වතුර පිරිලා තියෙ යි" ඔවුන් දෙදෙනා කතිකා කර ගත්හ. මෙය ඔවුන්ගේ සැලසුමේ නොවූවකි. ඩෝබි මාමා ට කී බොරුව යථාර්ථයක් කිරීමට ඔවුන් අදිටන් කර ගත්හ.

" එහෙනම් උඩින් ගල් අතුරන්න වෙයි. නැත්නම් පස් හේදිලා ගිහින් වේල්ල කැඩෙන්න පුළුවන්."

"ඔවු එහෙම කරමු, මෙහෙම ගඩොල් පේළියක් අතුරමු උඩින්."

"ඇති වෙයි ද?"

" දන්නෑ කරලා බලමු." යි කියමින් පි‍ටුපසින් ඇසෙමින් තිබූ පනිට්‍ටු ශබ්දයට අවධානය යොමු කරමින් අසේල පි‍ටු පස බැලීය. තාත්තා ! නෑමට පැමිණෙමින් සිටියේය. පනිට්‍ටුව බිම තැබූ ඔහු, කරේ තිබූ ලේන්සුව අසල වූ වැලේ වනමින්;

"ඔය දෙන්නා මොකක් ද ඔය කරන්නේ" යි ඇසුවේය.. ළමෝ නිහඬය. අහිංසක මද සිනාවක් පමණක් මුහුණු වලට ආරූඪ කරගෙන ඔවුන් ඔහු දෙස බලාසිටියා පමණි. අසේල ගේ පියා වේල්ල අසලට පැමිණියේ ය.

"මේ මොකක් ද මේ?" යි ඔහු ඇසූව ද මේ සම්බන්ධයෙන් ඔහු පූර්ව දැනුවත් කිරීමකින් යුක්ත බව ළමෝ දෙදෙනාටම වැටහුණි.

"වේල්ලක්"

"මොකට ද?"

"නිකං... අපි හදන්නේ මේ මට්ටමට වතුර පුරවල උඩින් යවන්න. එතකොට මෙහෙ හැමදාම ව්තුර පිරිලනේ, ඒකයි."

මද වේලාවක් වේල්ල දෙස බල සිටි ඔහු එහි උස සිතින් සසඳා;

"මේක මේ මට්ටමට පිරුණොත්, ළිඳට වතුර දානවා." යි කිවේය.

"ගොනා දිවෙයි, කළය බිදෙයි, බිම පෙරළෙයි" ආදි වශයෙන් අනාවැකි කී හාමුදුරුවන් දෙස බලා සිටි කිරිහාමි මෙන් ළමෝ දෙදෙනා ඔහු දෙස බලා සිටියා මිස කිසිත් නොකීහ. ළමුන්ගේ වැඩ පිළිබඳ වෙහෙසෙනවාට වඩා, නියමිත වේලාවට රාජකරියට වාර්තා කළ යුතු බැවින් ඔහු එතනින් ඈත්ව ළිදට ගොස් සිය පැමිණි කාර්යයෙහි නිරත වන්නට වූයේය. ළමෝ දෙදෙනා කු‍ටු කු‍ටු අනුකරණයෙන් ඉදිරි වැඩ පිළිවෙළ සාකච්ඡා කළහ.

ගඩොල් කැට ‍රැගෙන විත් වේල්ල උඩින් ඇතිරීම හැර අන් යමක් ඔවුන් එදින වේල්ල උදෙසා නොකළහ. එලෙස,  ඔවුන් මහා වාන් දැමීම උදෙසා සූදානම්ව වූහ.


+++++

ජයග්‍රාහී තුන්වෙනි දිනයට එළබිනි. වේල්ල තවමත් එකතු වන ජල කඳ දරා යෙහෙන් වැජබුණි. ළමෝ තමන්ගේ නිර්මාණය ගැන ස්වයං ආඩම්බරයකින් පසු වූහ. දැන් ජල මට්ටම වේල්ලෙහි ඉහළ මට්ටමේ සිට අගල් හයක් පමණ පහළිනි. වේල්ලෙන් ඉහළ ප්‍රදේශයේ වූ ඉවුරු කිසි දිනක නොවූ තරමින් ජලයෙන් වැසී ගොස්ය. නාන ලි‍ඳෙහි පිටාර කාණුව ද මේ වන විට අඩකට වඩා වැඩියෙන් ජලයෙන් වැසී ගොස්ය. වේල්ල උඩි වතුර වාන් දමන මට්ටමට පැමිණියහොත්, අසේලගේ පියා කී අනාවැකිය සැබෑ වනු ඇතැයි දෙදෙනාටම සිතුණි. එය තමන්ගේ ව්‍යපෘතියට එතරම් සුබදායි නොවන බව ද පැහැදිලිය. වේල්ලෙන් පහළ කොටස බොහෝ දුරට සිඳි, වියලී ගොස්ය. අද සවස් වනු විට නැවතත් එම ප්‍රදේශය ජලයෙන් යට වී යනු ඇතැයි දෙදෙනා අනුමාන කළහ. එහෙත් කටයුතු සිදු වූයේ ඔවුන්ට අවැසි පරිදි නොවේය.

ඩෝබි මාමා හනි හනිකට වතු උඩින් පනිමින් අසේලලාගේ නිවැස පැත්තට යනවා මුලින්ම දු‍ටුවේ නාලකය. 

"ඒයි අර බලහන්, ලෙඩක් වගේ....!"

"හ්ම්ම් එයාට වතුර මදි වෙලා ද දන්නෑ..!" යි අසේල අනුමාන කෙළේය.

මොහොතකින් ඩෝබි මාමා සමඟ අසේලගේ පියා එතනට සැපත් වූහ.

"මේ පේනව ද ? වතුර බිංදක් යන්නෑ පහළට... මම කොහොම ද මගේ රෙදි ටික හෝද ගන්නේ.??" උරණව සිටි ඩෝබි මාමා ගේ කට හඬෙහි ස්වරය උච්චව තිබිණි.

"ඔය දෙන්නා මොකක් ද ඔය කරණ වැඩේ ? ඕක කඩලා වතුර ටික යවන්න. රෙදි හෝදන වලත් හොඳටම හිඳිල ලු. අනිත් එක ඔය පල්ලෙහා ඉන්න ඔක්කොම මාළු ටික මැරිලා යනව නේ ඔය කරන වැඩෙන්.. ඒ විතරක් නෙමේ තව ටිකක් වතුර පිරුණොත් අර ළිඳත් යට වෙලා යනවා." 

"දැන් මේක උඩින් වතුර යන්න ගත්තම හරිනේ තාත්තේ.. එතකොට ඒ පැත්තට වතුර යනවනේ.."

"ඕක උඩින් වතුර යනකම් මට රෙදි හෝදන් නැතුව ඉන්න ද කියන්නේ ?" ඩෝබි මාමා සැරෙන් විමසීය.

"ඔය බැම්ම කොහොමත් කඩලා යනවා ඕක උඩින් වතුර යන්න ගත්තට පස්සේ. ඔය විදිහට හදලා ඕක වතුරට ඔරොත්තු දෙන්නෑ. ඒක හින්දා දැම්මම ඕක කඩලා වතුර යවන්න. මේ මාමගේ වැඩ පාඩු නොකර." ඒ අවසාන විනිශ්චයයි. එයට අවනත වනවා හැර අන් යමක් කිරිමට පවතින වාතාවරණය ඔවුනට ඉඩ සලසා නොතිබුණි. එකිනෙකා ගේ මුහුණු බලා වේල්ල කඩා දැමීමේ අවසන් තීරණය අන්‍යයෝන්‍ය වශයෙන් අනුමත කරවා ගත්හ.

උඩින් අතුරා තිබූ ගඩොල් අතුරණය ඉවත් කළ ඔවූහු, වේල්ලේ මැදින් පස් ඉවත් කර වතුර ගලා බැසීමට ස්ථානයක් විවර කළෝය. ඒ ප්‍රමාණවත් වීය. මුලින් ඉතා සෙමෙන් ගලා ගිය ජල පහර, මද වේලවක් තුළ දී සිය වේගය වැඩි කර ගනිමින් වේල්ල සම්පූර්ණයෙන්ම් කඩා බිඳ දමමින් ගලා බැස්සේ අසේල ගේ පියා පැවසූ වදන් සනාථ කෙරෙමිනි. වියලී තිබූ අගලෙහි පහත ප්‍රදේශය දෙගොඩ තලා, ඉවුරු බිඳ දමමින් ගලා යමින් තිබූ ජල ප්‍රවාහය දෙස ළමෝ දෙදෙනා බලා සිටියේ සතුට සහ ශෝකය මිශ්‍ර හැඟීමකිනි. අවසානයේ දි ශේෂ වූයේ ඇදවී ගැලවී ගොස් තිබූ ලී දඬු පමණි. අගල් තෙමේ සිය සුපුරුදු ලාලිත්‍යයෙන් පහත බැසීම අරබා තිබූ අතර, තිත්තයන් රෑන ඔවුන්ට ඔච්චම් කෙරෙමින් වේල්ල තිබූ ස්ථානයද පසු කරගෙන පිනා යමින් සිටියහ.

ජාතියේ වාසනාවකට හෝ අවාසනාවකට, මේ කුඩා මැවිසුරන් දෙදෙනා, මැවිසුරන් නොවූ බව පමණක් අවසාන වශයෙන් පාඨකයා දැනගත යුතුය.

ලියුවේ;
සෙන්නා / 24.02.2017

Wednesday, February 15, 2017

Television කියන්නේ "දූර්දර්ශන්" ද ? "රූපවාහිනී" ද ?

                              Image result for tv




මගේ මතකය නිවැ‍රැදිනම් ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවුරුදු 34ක් පිරීම නිමෙත්තෙන් පැවත්වුණ සාකච්ඡාවක්. සහභාගිවුනු විද්වතුන් කිහිපදෙනා අතරින් එක්කෙනෙක් වුණේ රූපවාහිනී සංස්ථාවේ ආරම්භක ප්‍රධානියෙක්. අවාසනාවකට මට ඔහුගේ නමවත්, ඔහු එවකට දැරූ තනතුරවත් දැන් මතක නෑ. ඒත් එක මෙතනට එතරම් අදාළත් නෑ. "රූපවාහිනී" කියන නම හැදුණු ආකාරය විස්තර කරන්න පටන් ගත්තු ඔහු, මුලින්ම වගේ කිව්වේ TeleVision කියන එකට සාර්ථකම පරිවර්තනයක් සිදු වූණේ ඉන්දියාවේ ඒ තමයි "දූර්දර්ශන්" කියන එක කියලා. මේක ඇහුණු ගමන් මම මගෙන්ම අහගත්තා;

"ඇත්තටම ඒක එහෙමම ද" කියන ප්‍රශ්නය.

"ඇත්තටම ඒක එහෙමම ද?" මට හිතෙනවා ඒක එහෙම නෙමේ කියලා.

ඉංග්‍රීසි භාෂාවෙන් Tele කියන වචනෙට අන්තර්ජාල ශබ්දකෝෂ වල මෙන්න මේ වගේ තේරුම් තියෙන්නේ..

Transmission over a distance - Dictionery.com
Over a long distance - Cambridge dictionary
Reaching over a distance - The free dictionary
Carried out between two remote points - The free dictionary
performed or operating through electronic transmissions - The free dictionary
at a distance - The free dictionary

කිසියම් දුරස්ථ අන්ත දෙකක්, එකිනෙකට යාකෙරෙමින් සිදුකෙරෙන ක්‍රියාවලියක් Tele යන්නෙන් හැඟවෙන බවක් තමා ඒ තේරුම් වලින් පෙනෙන්නේ.

එහෙම බලපුවම, Vision හෙවත් "දර්ශණ" එහෙම නැත්නම් "රූප" එක් ස්ථානයක සිට, තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය(වහනය) කෙරෙන මාධ්‍ය Television යනුවෙන් නිර්වචනයක් නොදෙන්න බැරිකමක් නැ නේද? ඒ අනුව, රූප එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට වහනය කරන්නා "රූපවාහිනිය" හෙවත් Television නොවේද ?

දැන් අපි බලමු  "දූර්දර්ශන්" කියන වචනය ගැන.

ඒ වචනය අහපු ගමන්ම මගේ හිතට එන්නේ "දුරදකින්නා" යන තේරුමයි. "දූරදර්ශී" කියන වචනෙත් ඒක සනාථ කරනවා. "Tele" කියන ඉංග්‍රීසි වචනෙට "Far" යන අර්ථයත් තිබුණත්, "Television" එකෙන් කෙරෙන කාර්යයත් එක්ක බලපුවම, ඉංග්‍රීසින් මෙහිදි "Tele" යන්න යොදගන්නෙ "දුරස්ථ" කියන අර්ථයට වඩා "දුරක් අතර කෙරෙන සම්ප්‍රේෂණය" හගවන්න වෙන්න ඕනා. ඇත්තෙන්ම අපි "Television" එකෙන් දුර දකිනවද ? ඇත්තටම සිදුවෙන්නේ යම් තැනක සිට කෙරෙන සම්ප්‍රේෂණයක් වෙනත් තැනකින් බලා ගැනීම විතරයි. "Television" එකෙන් අපිට දුර දකින්න පුළුවන්නම්, මට අපේ ගෙදර TV එකෙන් වෙනත් ගෙදරක වෙන්නේ මොනවද කියලා බලාගන්ණ පුළුවන් වෙන්න ඕනා නේද ? එහෙම වෙන්නෑනෙ !

ඔය කාරණා සැලකිල්ලට අරන් බලපුවම අපි "Television" කියන එකට දීලා තියන පරිවර්තනය, කෙරෙන කාර්යයත් එක්ක සලකලා බැලුවාම ඉංග්‍රීසි වචනෙටත් වඩා ඒකට අර්ථාන්විතයි කියලා මට හිතෙනවා. මේක ඇත්තටම පරිවර්තනයක් කියලා කියන්නත් බෑ. කෙරෙන ක්‍රියාවලිය සලකලා අපි විසින්ම යොදාගත්තු අලුත්ම නමක් කියලා වුණත් "රූපවාහිනී" කියන එකට කියන්න පුළුවන්. හැබැයි "දූර්දර්ශන්" කියන්නේ වචනෙන් වචනෙ අරන් කරපු අසාර්ථක පරිවර්තනයක් විතරයි කියලා මට හිතෙනවා. 

මෙන්න මෙයාට  "දූර්දර්ශන්" කිව්වට මගේ අමනාපයක් නෑ. මොකද එයා ඇත්තටම දුර දකින නිසා.



                                      Image result for telescope


ඔය මට හිතුණ හැටි විතරයි. ඔය ගොල්ලන්ට හිතෙන  හැටි ප්‍රතිචාර තීරුවේ ලියලා දාන්න පුළුවන්. මට හිතුණ හැටි වැරැදිනම් නිවැ‍රැදි කරමු.

ලියුවේ;
සෙන්නා / 15.02.2017

Saturday, January 9, 2016

මැකී යන බිතු සිතුවම්....

2016  දුරුතු මස 09 වනදා


ළමයි බිත්ති වල කුරු‍ටු ගාන එක ගැන මත දෙකක් තියනවා. එක පාර්ශවයක් ළමයින්ට රිසි සේ නිදහස්ව කටයුතු කරන්නදෙන්න ඕනා කියන විට අනෙක් පාර්ශවය ඊට ඉඳුරාම වෙනස් මතයක් තමයි දරන්නේ. ජීවිතයේ එක වකවානුවකදි මටත් ඔයදෙකෙන් එකක් ‍තෝර ගන්න වුණා. හරි වැරද්ද කෙසේද කියලා නොදන්නවා නමුත් මම පළවෙන විකල්පය ‍තෝරගත්තා. 


ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ගෙදර සාලයේ විශාල ප්‍රදේශයක් අපූරු සිතුවම් වලින් වැහිලා ගියා. හැබයි මේවයෙ පොඩි වෙනසකුත් තියේ, ඒ මේවා ළමයෙකුගේ කුරු‍ටු චිත්‍ර මතින් වැඩි දියුණු වූ ඒවා වීමයි.

ආරම්භයක් තියන හැම දේකටම අවසානයකුත්, උපත සමඟම විපතත් ලියවිලා තියන නිසාම ඒවත් කවදා හරි නැසෙන එක නවත්වන්න අමාරුයි. කවදා හරි දවසක එයාටත් බලා ගන්නත් එක්ක මෙහෙම සංරක්ෂණය කරලා තියනවා.



ගෙට ආයෙමත් තීන්ත ටිකක් උලන්න කාලෙ හරි. 




















සෙන්නා / 09.01.2016

"යාචකයෝ" කියවපු නැති අයටයි මේ පාර.....

Friday, May 15, 2015

යාචකයෝ

2015 වෙසක් මස 15 වෙනිදා



ඇයි දරුවෝ ඉතින් ඔයා ඒ මනුස්සයව මැරුවේ !?      

ooooo

අසුන්දරත්වයේ ආරම්භයට මොහොතකට කලින්, එනම් බ්‍රේක් පැඩලයට දකුණු පය යෑමට නිමේෂයකට කලින්, ජීවිතය කෙතරම් සුන්දරදැයි මද හසින් යුතුව මම මෙනෙහි කරමින් සිටියෙමි. ආදරණීය බිරිඳක්, හැම දෙයකටම දක්ෂ දරු දෙදෙනෙකු, ඉහළ වැ‍ටුපක් සහිත ‍රැකියාවක්, නිවසක්, වාහනයක් ඇතුළු සැපපහසු දිවියකට ඇවැසි සියල්ල හිමිව සිටි මා හට එසේ සිතීමට අවැසි සියලු හිමිකම් තිබුණේයැයි කිව හැකිය.

එහෙත්, දෛවයේ නියමයන්ට යටත්ව හෝ කර්මයේ බලපෑමට අනුව රතු එළිය දැල්වුණ බැවින් දකුණු පය ක්‍රියාත්මක විය. රතු එළිය කොළ පැහැයට හැරෙන තෙක්, ගීත වාදකයෙන් වැයෙන මිහිරි ගීතයට අනුව උරුවම් බාමින්, ඇගිලි තුඩු වලින් සුක්කානමට තට්‍ටු දමමින් සිටි මම ඉදිරියෙන් තිබූ වාහන වලට අත පාමින් ක්‍රමක්‍රමයෙන් මා වෙතට ළඟා වෙන සිගන්නා දෙස අරමුණකින් තොරව බලා සිටියෙමි.

සිගන්නන්ට යමක් දීමේ දී මා විසින් සලකා බැලූ කාරණා කිහිපයකි. වෙනයම් කර්මාන්තයකින් දිවි ගැට ගසා නොහැකියැයි සිතෙනා තරමට අංග විකල වූ හෝ අත් පා අහිමූ වූ හෝ වයස්ගත වූ පුද්ගලයෙක්නම් අනිවාර්යයෙන් කීයක් හෝ පහතට යන වීදුරුවෙන් එළියට දික් වෙනු ඇත. සිගාකෑම වෘත්තියක් කරගත්තෙකුයැයි සිතෙන අයෙක් වුවහොත් පසුම්බියෙහි සෙලවීමක් සිදු නොවේ. එවන් අය දෙස එක එල්ලේ ඇසට ඇස යොමා බලා සිටීම ඔවුන්ව ඉක්මනින්ම වාහනය අසලින් ඉවත් කරවා ගැනීමට අත්දු‍ටු ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයකි.

මෙම හිගන්නාද දෙවෙනි ආකාරයේ වංචා කරුවෙකියැයිද, ඔහුට මා කිසිවක් නොදෙනේයැයිද, ඔහු මා වෙතට ඒමට පෙරම මම තීරණය කෙළෙමි. මවා ගත් කොරයකැයි මා අනුමාන කළ කොරයක්ද සහිතව, හැරමිටියක් ගසමින් මා වෙත පැමිණි ඔහු අත පාමින් මොන මොනවාදෝ කියා පැවේය. ඒවා ඇසීමට මාහට උවමනාවක් නොතිබූ බැවින් මම සුපුරුදු ක්‍රමවේදය අනුගමනය කරමින් ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටින්නට වූයෙමි. කිහිපයක් වැටීගිය දත් වලින් හා ඇද වූ තොල් වලින් සමන්විත වූ ඔහුගේ මුහුණට වැවී තිබූ ‍රැවුල එක් කොට තිබුණේ පුදුමාකාර විසුළු පෙනුමකි. මෙහිදි මා අතින් කිසි දිනෙක නොවුණු දෙයක් සිදු විය. ඔහුගේ මුහුණෙහි වූ විසුළු පෙනුම මා "බකස්" අනුකරණයෙන් සිනා ගැස්සවීය. මා එය නවත්වා ගැනීමට පමාවූවා වැඩිය. එයින් කුපිත වූ සිගන්නා අතෙහි දරා සිටි හැර මිටිය තෙවරක් බිමට ඇන්නේ මොනමොනවාදෝ මුමුණමිනි. ඒ සමඟම "දඩාං" අනුකරණයෙන් වාහනයේ බඳට හැරමිටියෙන් පහරක් ගසමින් වේගයෙන් එතනින් ඉවත් විය. වාහනයෙහි දොර හැර " ඒයි මෝඩයා" යි කෑ ගැසූ මම වාහනයෙන් බැස එය පරික්ෂා කිරීමට සිතනා මොහොතේම පි‍ටු පාස වාහන වලින් නිකුත් වූ අඛණ්ඩ නළා නාදය මා බලහත්කාරයෙන්ම ඉදිරියට තල්ලු කරවීය.

                                                                           ooooo

කරදර පැමිණෙන්නේ එකපිටය, වැල නොකැඩීය, අඛණ්ඩවය, අවිච්චින්නවය. ගංගාවක දිය වැල් පහතට ගලානා අයුරින් එකක් පි‍ටු පස එකක් වශයෙන් කරදර ඔබ සොයා එනු ඇත. එකකට මුහුණ දී අවසන් වීමටත් පෙර අනෙක් කරදරය ඔබ ඉදිරියේ ප්‍රාදූර්භූත වෙනු ඇත. ඒ, ඒවායේ ස්වභාවයයි. මුහුණ දීම හැර අන් යමක් ඔබට ඉතුරු නොකිරීමට ඔවුන් වග බලා ගනු ඇත. ඊශ්වරයාටත් බටකොළ කැවූ සෙනසුරාට මා මොන නර පනුවෙක්ද !

‍රැකියාව, මිනිසකුගේ අභිමානයයි. කු‍ටුම්භය රක්ෂා කරමින්, ඔවුන් ඉදිරියේ පතාක යෝධයෙකු සේ නැගී සිටීමට ඉවහල් වන ප්‍රබල සාධකයයි. එවන්වූ ‍රැකියාවටම කණකොකා හැඬු කල්හී!

එදින උදෑසන අවදිවන විටත් ලෝකය රුවිතයට යාමට ආරම්භ වී තිබිණි. පසුදින රාත්‍රියේ ඉතා සුහදව නින්දට ගිය බිරිඳ කිසිඳු සිතාගත නොහැකි හේතුවකින් තොරවම "පුප්පමින්, ගස්සමින්" සිටියාය. වෙනදා "මොර්නිං තාත්තා" කියා හාදුවක් පවා දෙන දරු දෙදෙනා වෛරක්කාරයන් මෙන් මා වෙත සමීප වීම පවා ප්‍රතික්ෂේප කළහ. විපිළිසරව සිටි මා, මාගේ දැනුමින් තොරව නින්දෙන් හෝ අමිහිරි යමක් වීදැයි මතක් කරගැනීමට මොළය වෙහෙසමින් සිටියෙමි. වෙනදා දණ ගසා වැඳ හාදුවක් පවා දී පාසල් යන දරු දෙදෙනා නොකියාම පාසල් බලා පිටත් වූ අතර, බිරිඳ මා පිටත් වීමට මොහොතකට පෙර නාන කාමරයට වැදී දොර වසාගත්තාය. "මම ගිහින් එන්නම්" යැයි කෑගසා කී මා ප්‍රතිචාරයක් වෙනුවෙන් නිමේෂයක් නැවතුනද එවැන්නක් නොලැබුණ බැවින් පිටත් වීය. ඔවුන් ඉදිරියෙහි මා මෙතරම් සැහැල්ලුවට පත්විය යුතු නොවේ යැයි මාන්නය මට බලකර සිටියේය.

"වෙරි ගුඩ් මොර්නිංග් සර් ! කොහොමද ? " ඒ ඊයේ සහ ඊට පෙරය. අද ආරක්ෂක නිළධාරියා මා පයිසයකටවත් මායිම් නොකෙළේය. මා දු‍ටුවද නොදු‍ටු ලෙස අහක බලාගනු මම හොඳින්ම නිරීක්ෂණය කෙළෙමි.
                                                                            
"අන්න බොස් ඔහේට එන්න කියනවා" ඒ වෙනදා ඉතා හිතවත් එහෙත් අද, ගරු සරු නැති ලේකම් වරියයි.

මම සැබවින්ම තුෂ්ණිම්භූත වී සිටියෙමි. මුළු ලෝකයම කතා වී මා හට බ්‍රහ්ම දණ්ඩනය දුන්නාක් වැනිය. මෙවැන්නක් සිදුවිය හැක්කේ කෙසේද !?

ගොදුරක් ගිලීමට හදන පිඹුරකු සේ ප්‍රධානියා පරිගණකයට ඔරවාගෙන සිටියේය. "ටක් ටක්" ලෙසින් දොරෙන් මතුවූ බාධාව නිසා මදක් හිස ඔසවා බැලූ ඔහු වැඩි තැකීමකින් තොරව ඇතුළට එන ලෙස මා හට අතින් සන් කොට නැවතත් පරිගණකය ගිලීමට සැරසුණි.

"ගුඩ් මෝර්නිංග් සර් ! " ප්‍රතිචාරයක් නැත. වෙනදා තිබෙන උණුසුම් හිතවත් කම් කිසිත් නැත. නිහඬව තත්ත්පර කිහිපයක් ගෙවී ගියේය. සිදු විය හැක්කේ අවැඩක් මිස වැඩක් නොවන බව ඉවෙන් මෙන් දැනුණ හෙයින් 'ලබ් ඩබ්, ලබ් ඩබ්' අනුකරණයෙන් හදවතින් නැගුණ ගැස්ම වැඩිවිය. එය නිහඬව ගෙවී ගිය තත්ත්පර ගණන අවබෝධ කරගැනීමට පිටිවහලක් විය. මා තාමත් සිටගත් ගමන්ය. හිඳ ගැනීමටවත් ආරධානයක් නොමැත.

"සර් මට එන්න කිව්වේ ?"

මා දෙස නොබලාම මේසයෙන් කොළයක් ගත් ඔහු, මා වෙත දික් කරමින් නැවැතත් ගොදුරට ඉව ඇල්ලීය. ගැහෙන හදවතින් හා වෙව්ලන දෑතින් එය පිළිගත් මා, මේ වරෙන්තුව කුමක් විය හැකිදැයි තේරුම් ගැනීමට උත්සහ කරමින් ඉහළ සිට පහළට දෑස් යැවීය.

"සේවය අත්හිටවීමේ නිවේදනයයි" යන අකුරු කිහිපය කියවා ගත් සැණින් මා අවසර නොගෙනම පු‍ටුවක් ඇද වාඩි වූයේ වෙව්ලීමට ගත් දෙපා තව දුරටත් ශරීරයේ බර දරාගෙන සිටීමට සූදානම් නැතැයි හැඟුණු හෙයිනි.

"ඇයි සර් මේ !? "

"වැඩි කතා ඕනා නෑ, විස්තරේ ඕකේ ඇතිනෙ. අපි ඉන්ක්වාරි එකට කතා කරලා ලියුමක් එවනකම් තමුන්ට ගෙදරට වෙලා ඉන්න පුළුවන්" පිඹුරා ගෙරවූයේ ගොදුරටයැයි මුලින් සිතුණ හෙයින් නිමේෂයක අස්වැසිල්ලක් ලැබුණද, ඊ ළඟ නිමේෂයේ ඒ වදන් මා වෙනුවෙන් බව පසක් වූයෙන් ඒ අස්වැසිල්ල නැවතත් මා හැර ගියේය.

වැඩි කතා සුබ නොවන බව අවබෝධ කොට ගත් මා කොළයත් ‍රැගෙන එතනින් ඉවත් විය. ප්‍රධානියාගේ කාමරයේ සිට එන විට ඒ වෙත යමින් සිටි මාගේ කාර්යාලීය පසමිතුරා වූ දර්ශන හමුවිය. මා දෙස බලා සමච්චල් සිනාවක් හෙළු ඔහු, මා නොතකාම ප්‍රධානියාගේ කාමරය බලා ගියේය.

ලිපියෙහි සඳහන්ව ඇති ආකාරයට, මාගේ දෙපාර්තමේන්තුවෙහි ලක්ෂ අසූවකට වඩා වටිනාකමින් යුක්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති අතර එහි ප්‍රධානියා වශයෙන් සම්පූර්ණ වගකීම මා වෙත පැවරී ඇත. මා ලෙහෙසියෙන් ගැලවිය නොහැකි උගුලක පැටලී සිටින බව අවබෝධවන විට ප්‍රමාද වැඩිය. මේ සියල්ල පි‍ටුපස ඇති හස්තය මා හට රහසක් නොවේ.

දර්ශන, ආයතනයෙහි පරණ සේවකයෙකි. සෑම මිලදී ගැනීමකින්ම, සෑම ටෙන්ඩරයකින්ම අයථා ලාභ ඉපයීමෙහි රුසියෙකි. වසර ගණනාවක් පුරා ඉතා සූක්ෂම අයුරින්, මා පැමිණීමට පෙර මෙම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියාද සමගින් එකතුව කෙරීගෙන ගිය මෙම වැඩ පිළිවෙළ මාගේ ආගමනයත් සමඟින් නතර වූයේ එවන් අයථා කටයුතු සම්බන්ධයෙන් මා දැක්වූ විරෝධය හේතුවෙනි. එවක් පටන් දර්ශන මා කෙරෙහි උඩින් මිතුරු, යටින් සතුරු ආකල්පයක් අනුගමනය කළ බව මා හට නොරහසක් වුවද මා එය නොදන්නවාක් මෙන් සුපුරුදු ලෙසින් ඔහුවද ඇසුරු කෙළේය. නමුත් ලක්ෂ ගණනින් ලද ආදයම් අහිමි වූවෙකු, එම ආදයමට හුරු වූවෙකු, වෙඩි කෑ ඌරකු මෙන් ක්‍රියාත්මක විය හැකියැයි අනුමාන නොකිරීමට තරම් අමනෝඥ වීමේ ප්‍රතිඵලය මම දැන් භුක්ති විඳිමින් සිටිමි.

ලිපියෙහි ප්‍රකාරව මා පරිහරණය කළ, ආයතනය සතු සියල්ල නැවත භාරදිය යුතුවූ බැවින් බොහෝ කලකට පසු දුරකථන ජාලයකින් මිදුණු මා බස් රථයකින් නිවෙස බලා ගමන් කරමින් සිටින්නේය.

උදෑසනම සිට අහේතුක බ්‍රහ්ම දණ්ඩනය නම් වූ ගසෙන් වැටී හතර හංදි කඩාගෙන සිටි මා හට, සේවය අත්හි‍ටුවීම යන ගොනාද ඇන්නේය. මේ සම්බන්ධයෙන් බිරිඳගේ ප්‍රතිචාරය කුමක් වේදැයි අනුමාන කිරීමට මම වෙහෙසුනෙමි.වෙන දිනෙකනම් ඇයගේ ප්‍රතිචාරය අනුමාන කිරීම අපහසු නොවුනද, අද උදෑසන පටන් සිදුවෙමින් පවතින දෑ නිසා අත්දකින තෙක් එය ගැටලුවක්මය. වේලාසනින් ආපසු පැමිණීම හා පයින් පැමිණීම යන කාරණා ඇය පුදුමයට පත් කළද කිසිත් නොවිමසා සිටීම සැබවින්ම මා ප්‍රකෝපයට පත් කළේය.

"තමුසෙට මොන යකෙක්ද වැහිලා තියෙන්නෙ ? උදේ ඉඳන් මෙතන බුම්මගෙන පුප්පන්නේ ? " ඒ, ඉවසීමේ සීමාව ඉක්මවා ගිය මාය.

මේ, මෙතෙක් කල් දක්නට නොතිබූ රංඩු සරුවල්, බැණ අඬ ගහගැනීම්, ශාප කිරිම්, නින්දා කිරීම, එකිනෙකා කෙරෙහි කරගන්නා අයථා චෝදනා, සැක කිරීම් වැලක ආරම්භය පමණි. පවුලේ මෙතෙක් පැවති සාමය, සතුට, සමාදානය, ආදරය, සෙනෙහස කොහේ ගියාදැයි සොයා ගැනීමටවත් නොහැකි ලෙසින් අප හැර ගියහ. දරා ගැනීමට අපහසුම කාරණයනම් දරු දෙදෙනාත් මා කොන් කිරීමයි. කිසිඳු හේතුවකින් තොරවම එදා සිට ඔවුන් මා සමගින් වචනයකුදු නොතෙපලූහ. අප රංඩු සරුවල් වන සෑම විටකම ඔවුන් හරි වැ‍රැද්ද නොතකාම මවගේ පාර්ශවය ගනු ලැබූයෙන් මා නිරන්තරයෙන්ම හුදකලා විය. ‍රැකියාව අහිමි වීමෙන් ලද ආර්ථික පීඩනය ඇවිලෙන ගින්නට මනාව ඉන්ධන එකතු කෙළේය.

වැටෙනා හුස්මක් පාසා ජීවිතය එපා වෙමින් පැවතුණි. ආශ්වාස ප්‍රාශ්වාසය නැවති සියල්ල හමාර වන්නේ නම් මැනවී යැයි සිතුණ වාර අනන්තය. දන්නා කියනා සැමගෙන්ම එකවරම අහේතුකව කොන්වීම මෙලොව වසනා කිසිඳු මිනිසෙකුට දරාගැනීමට පහසු වේයැයි මම නොසිතමි. අඩුම තරමින් සියල්ලන් එක්වරම මෙලෙස හැසිරීමට හේතුව දැන ගැනීම උදෙසා මා සතු සියලු සම්පත් පරදුවට තැබීමට වුව මා සූදානම්ය.

දෙතුන් වසරක් සේ හැඟුණු දෙතුන් මසක ඇවෑමෙන් පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වීය. විකල්ප දෙකකින් එකක් ‍තෝරා ගැනීමට මා හට බල කෙරුණි. වංචා කෙරුණේයැයි කියවුණු මුදල ගෙවා දමා සේවයෙන් ඉවත්ව යාම හෝ ආයතනය් විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගයනට මුහුණ දීමයි. මේ කවර විකල්පයකින් වුව අවසානයේ මා හට ‍රැකියාව අහිමි වන හෙයින්ද, නීතියමය ක්‍රියා මාර්ගයන්ට මුහුණු දීමට තරම් මානසික හෝ ආර්ථික ශක්තියක් නොතිබුණෙන්ද, තවමත් අභිමානය යැයි යම්දෙයක් මා කෙරෙහි ඉතිරිව පැවති බැවින්ද, මා සතු එකම දේපල වූ නිවස විකුණා දමා පළමු විකල්පය ‍තෝරා ගැනීමට මම තීරණය කෙළෙමි.

මාගේ තීරණය දැනගත් වාහාම දණ්ඩෙන් පහර ලද සැපින්නක සේ කිපුණු බිරිඳ, මා හට දෙස් දෙවොල් තබමින්, ශාප කරමින් බැණ වැදුනද මාගේ තීරණය වෙනස් කිරීමේහිලා ඒවාට කළහැකි වූ දෙයක් නොවුණි.

හඳුනන නොහඳුනන සියල්ලන්ම මා කෙරෙහි සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාම නිවස විකිණීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණි. අවසානයේදී ඉතා නොවටිනා එහෙත් මාගේ අවශ්‍යතාවයට අවැසි ප්‍රමාණයට වඩා මදක් වැඩියෙන් මුදල් ලබා ගැනීමට හැකි වන වර්ගයේ ගනු දෙනුවකින් නිවසේ අයිතිය මා වෙතින් ඉවත් විය. ඉතිරි මුදලින් ඉතා කුඩා කුලී නිවසක සෙවණ ලබාගත හැකි වූයේන්, මහ පාරට නොවැටීමේ අවදානමින් තාවකාලිකව මිදුනේය.

මා, ‍රැකියාවක් සොයා සිදු කල සැම උත්සහයක්ම අසාර්ථක වූ බැවින්, පවුලේ ආර්ථිකය වෙනුවෙන් බිරිඳ මා නොවිමසාම ‍රැකියාවක් සොයාගෙන තිබුණාය. එයට විරුද්ධ වීමට හෝ ප්‍රශ්න කිරීමට හැකි වාතාවරණයක් මා වෙත නොවුණි.

එයින් ටික කලෙකට පසු දිනක්, මා බැහැරට ගොස් නිවසට පැමිණෙන විට, එක්තරා අමුත්තෙකු ආලින්දයෙහි අසුන්ගෙන සිටියේය. වයසින් මා තරම්ම යයි හෝ එයට වඩා මදක් බාලයැයි අනුමානය කළ හැකි ලක්ෂණ ඔහු කෙරෙන් විද්‍යාමාන විය. හොඳින් වැඩුණු ශරීරයකට හිමිකම් කී ඔහු, කඩවසම් යැයි කිව හැකි වර්ගයේ එකෙකි. කකුලක් පිට කකුලක් දමාගෙන සඟරාවක් බලමින් සිටි ඔහු, මා පැමිණි බව දැනුණු හෙයින් හිස ඔසවා මා දෙස බැලුවද, ඊ ළඟ මොහොතේදී ඒ මුහුණේ ඇඳී ගිය සමච්චල් සහගත සිනාවක් සමඟින් නැවතත් සඟරාව දෙසට යොමු විය. දැන් දැන් එවන් දෑ මා හට නොහුරු නොවූ බැවින්, මා එය නොතකාම බිරිඳ සොයා නිවස තුළට වැදුණේය. ඇය ඔහු වෙනුවෙන් බීමක් පිළියල කරමින් මුළුතැන්ගෙහි සිටියාය.

"කවුද අර ? "

"මගේ ඔ‍ෆිස් එකේ යාළුවෙක්. ඇයි ??" තවදුරටත් කිවයුතු හෝ ඇසිය යුතු යමක් නොතිබිය යුතු බව ඇයගේ ස්වරයෙහි විය.

                                                                              ooooo

මේසය මත වූ වීදුරු මල් බඳුනෙහි බරින් නොසැලී සිටියෙද, විවර වූ තිබූ දොරින් හැමූ සුළගින් ඉගිල යාමට උත්සහා කරමින් තිබූ, දෙකට නැමූ කොළයට වෙවුලන ඇගිලි තුඩු ළංවූහ. චකිතයෙන් සැලුණු සිත, එය ඩැහැගනීම මදක් පමාකිරීමට සිතුවාක් මෙන් හස්තයට පසුපසට වන සේ විධානය කෙළෙන් රත් වූ යකඩයකින් ඉවත් වන්නාක් මෙන් ඇගිලි තුඩු පසු පසට වූයේ දහසකුත් එකක් සිතුවිලි දහරා මාගේ මොළය අභ්‍යන්තරයෙහි කැලබෙමින්, මොළය හිරි වට්ට්වමින් එහේ මෙහේ ගමන් කරමින් සිටියදීය.

මා නිවසට ගොඩ වන විට දොර හැර දමා තිබුණි. නිවසට ගොඩවන විට පිළිගැනීමට බිරිඳක් සිටියේ මින් බොහෝ කලකට පෙර හෙයින් දැන් එවැනි දෑ පිළිබඳ බලාපොරොත්තුවක් නැති මා ආලින්දයෙහි වූ වේවැල් පු‍ටුවට බර වී මදක් නිසොල්මනේ සිටියේය. නිවසෙහි කිසිඳු ශබ්දයක් නොමැත. බිරිඳගේ හෝ දරු දෙදෙනාගේ කට හඬකුද අසන්නට නොමැත. බිරිඳට නමින් ඇමතූවද ප්‍රතිචාර නොදක්වන හෙයින් මා එයද නවතා දමා බොහෝ කල්ය. පු‍ටුවෙන් නැගී සිටි මම, එම කුඩා නිවසෙහි වූ කාමර දෙක හා මුළුතැන්ගෙය යන සියල්ල පරික්ෂාකර බලා ඔවුන් මෙහි නොමැති බව සැකහැර දැගතිමි. ඔවුන් කොහේ හෝ ගොස් අතැයිද, තව මොහොතකින් නැවත පැමිණෙතැයිද අනුමාන කළ මා නැවතත් ආලින්දයට විත් පු‍ටුවට බර වී කල්පනා ලෝකයෙහි ගිලී ගියේය. අනේක විද වූ සිත වෙහෙසන කල්පනා අතුරින් මේසය මත වූ මල් බඳුනට යටවී ඉගිල්ලිමට වෙර දරමින් සිටි කොළය මාගේ අවධානයට හසු වූයේ නිරායාසයෙනි.

සිදුවෙමින් පවතින අස්වාභාවික සිද්ධි දාමය නිසාම, සෑම විටම නරකක්ම බලපොරොත්තුවෙන් සිටි මා, මෙහි ලියවී ඇති අකුරු කිනම් අසුභ පණිවිඩයක් ගෙනේවිදැයි අවිනිශ්චිතව, සැලෙන දෑතින් එය ‍රැගෙන දිග හැරියෙමි. සිය මූසල හඬ පරිසරය පුර නින්නාද කරවමින් කණකොකෙකු ඉගිල ගියේය.

ඔව්, අත්දැකීම් තුළින් ලද පුරුද්දෙන් කළ අනුමානය ටක්කයටම නිවැරැදිය. එහි සටහන්ව තිබුණේ ඔවුන්ගේ විගමනයේ නිවේදනයයි. නිශ්චිතව කිව නොහැකි නමුත් ඉතා නුදුරු දිනෙක විය හැකියැයි මා නිතරම සැක කළ දෙයම සිදුවී තිබිණි. බිරිඳ සහ දරු දෙදෙනා මා හැර ගොස්ය. එක් වරම ලෝකයෙහි භ්‍රමණ වේගය වැඩි වු හෙයින්, සමබරතවය ගිලිහී යන සෙයක් දැනුණි. මේසයට හේත්තුකොට තිබුණු පු‍ටුවලට බර වෙමින් නොවැටී ගමන් කළ මා ඉතා වෙහෙස වී නැවතත් වේවැල් පු‍ටුවට ශරීරයේ බර නිදහස් කළද පෘථුවියෙහි භ්‍රමණ වේගය යථා තත්ත්වයට පත් වීමට තවත් කෙටි වේලාවක් ගත වීය.

හුදකලාව, තනිකම, ප්‍රියයන් විසින් නොතකා හැරයාම ආදි කී නොකී සියලු ආකාරයේ චිත්ත පීඩාවන් එම නිමේෂයේ මා පෙළමින් සිටියහ. ලෝකය රුවිතයට යාමට පටන් ගත් දා සිට එල්ලවූ සියලු ප්‍රහාරයන් උපේක්ෂාවෙන් දරා සිටියද මේ බිහිසුණු ප්‍රහාරය දරා සිටිමට නොහැකි සෙයකි. අසරණභාවයේ පතුළෙහිම ගිලිගිය මම ඊළඟ නිමේෂයේදී මාගේ පාලනයකින් තොරවම ඉකි ගසා හඬමින් සිටියෙමි. වසර බොහෝ කලකට පසු, ළමා අවදියෙන් පසු මම නැවතත් ළමයෙකු සේ ඉකි ගසා හඬමින් සිටියෙමි. තනිකමට, හුදකලාවට වැඩිහිටියෙකු, කුඩා දරුවකු කිරීමට බොහෝ වේලාවක් අවශ්‍ය නොවන බවට මම සාක්ෂි දරමි.

සිහි එළවා ගත් මුල්ම නිමේෂයේ මාගේ සිතුවිලි අප ආදරයෙන් බැඳුණු ඒ මුල්ම කාලයට දිව ගියහ. ජීවිතය පවතින තුරා මා හැර නොයන බවට නැවත නැවතත් දිවුරා සපථ කළ ඒ අහිංසකාවිය අද සිය පොරොන්දු කඩකර තිබුණාය. ආදරිය, අප කෙතරම් නම් තදින් එකිනෙකාට බැඳි සිටියාද ? ඔබ හා මා එ බැම්මෙන් මුදවා වෙන් කළ මේ බලවේගය කුමක්ද ? අපගේ ජීවිත වලට එළිය ‍රැගෙන ආ ඒ මිණි පහන්ද ඔබ ‍රැගෙන ගොස්ය. ඉඳින් මාගේ ජීවිතය සදාකල්හිම අඳුරෙහි බව පුන පුන කිව යුතුද ?

"නෑ.. මේක හීනයක්.. මේක හීනයක්.." මාවම කොනිත්තා ගනිමින් මම තෙපලුවෙමි. නැත එය සිහිනයක් නොව සැබෑවටම සිදුවෙමින් තිබුණි.

වේව්ල් පු‍ටුවෙහි ඇන්දට හිස බර කළ මා, ඇස්බැස්ටස් තහඩු වෙත නෙතු යොමා නොකැඩී ගලා යන කඳුළු දහරාවන්ට ගලා යාමට සලස්වා මොහොතකට පාෂාණිභූත වූයෙමි.

කඳුළින් බොදව දිස්වූ ඇස්බැස්ටස් තහඩු අතර, එදා, මේ පු‍ටුවෙහිම කකුලක් පිට කකුලක් දමා වාඩි වී, මාහට සමච්චල් සිනාවක් පෑ ජේතුතුකාරයාගේ රුව මොහොතකට ඇඳි නොඇඳි ගියේය.

                                                                              ooooo

පෑම්....පෑම්....පෑම් යන හඬ නිසා පියවි ලෝකයට පැමිණි මා, දකුණු පස බලන විටම "බුදු සරණයි" ලෙසින් පච්ච කොටාගත් යක්ෂයා පිම්මේ මා දෙසට පැමිණෙමින් සිටියේය. හදවතෙහි ස්පන්දනය වැඩිවිය. රෝම උද්ගමනය වී මුළු ශරීරයම අප්‍රාණිකව යන්නාක් මෙන් දැනිණි. "බුදු සරණයි" යන්න අනුක්‍රමයෙන් විශාල වෙමින් විදුලි වේගයෙන් මා වෙත ළඟා වෙමින් පැවතුණු එම තත්ත්පරයෙන් දස දහසින් පංගුවේදී "ආපහු හැරිලා අහකට පැනපාං" යැයි කාගෙන්දෝ ලද අණ, දෙවරක් නොසිතාම ක්‍රියාත්මක කිරීම උදෙසා මා විදුලි වේගයෙන් වම් පාදය මත අංශක එකසිය අසූවක් කැරකී, ඒ වන විටත් ඉහළට එසවී තිබුණු දකුණු පාදය හැකි උපරිම දුරින් තියා නැවතත් වම් පාදය එස වූවා පමණී. ප්‍රමාද වැඩිය. බස් රථයේ ඉදිරි පස වම් කොනෙහි වැදුණු මා ඉදිරියට විසි වී මුණින් අතට බිම වැටීමත්, ඒ සමඟම වම් පාදයේ ඇතිවූ ඉවසිය නොහැකි දරුණු වේදනාවත් සමඟින් දෑස් ඉදිරියෙහි කළු අවකාශයක් මැවී යනු පමණක් මාගේ මතකයේ ඇත.

කරස්, කරස් හඬ නංවමින් කැරකෙමින් තිබුණු මළ බැඳුණු විදුලි පංකා පෙති, ලාවට විවර වෙමින් පැවතුණු දෑස් අතරින් මා දු‍ටු මුල්ම දසුනයි. ශරීරයට දැනුණු ඉවසිය නොහැකි වේදනාවෙන් නැගුනු කෙඳිරියත් සමඟින්, මා සිටින්නේ කොහිද යන්න සිහි එළවා ගැනීමට මම වෙහෙසුනෙමි. මොහොතකට සියල්ල හිස්ය. මම යනු කවුද කියා පවා මතකයෙන් ගිලිහී තිබිණි. එකි නෙකා හඹා ගොස් අල්ලා ගැනීමට අනවරත අසාර්ථක අරගලයක නියැලුණු පංකා පෙති දෙස බලා, සියල්ල සිහියට නංවා ගැනීමට මම වෙහෙසුනෙමි.

"ඒයි අන්න අර උන්නැහේට සිහිය එනවද කොහෙද !"

"කාටද බන්?"

"අර බස් එකට පැන්න පිස්සු යකාට බන්. අර කෙඳිරි ගගා දගලන්නේ, පොඩ්ඩක් බලහන්."

අපහාස, ඇනුම් බැණුම්, සමච්චල් කිරීම් මට නොහුරු දෙයක් නොවේ. ඒවාට උපේක්ෂාවෙන් මුහුණ දීමේ හා ප්‍රතිචාර දැක්වීමේ කලාව මම මැනවින් ප්‍රගුණ කර සිටියෙමි. සමච්චලයක්, අපහාසයක් මා හට මෙතරම් උදව්වක් කළ අවස්ථාවක් සිහියට නගා ගත නොහැකිය. ඔවුන්ගේ වදන් හිස් අවකාශයක අතරමංව සිටි මා හට සයුරේ අතරමංව සිටිනා විට හමුවූ මාලිමාවක් සේ විය. පිදුරු ගසෙහි එල්ලුණු මම ඒ ඔස්සේ අතීතයට ගියෙමි. "බුදු සරණයි" ලෙසින් පච්ච කොටා ගත් යක්ෂයා, අරමුණකින් තොරව ඇවිද ගිය මාවත, වෙන්ව යන බිරිඳ හා දරු දෙදෙනා, මහා හඬක් නංවමින් ඉහළ පහළ ගිය මිටිය, ‍තෝල්කයාගේ ගාම්භීර කෑගැසීම, කළු කබා හැඳගත් නීතිඥයන් හා මහේකාශ්‍යව ආසනාරූඪව සිටි සිටි විනිසුරුතුමා, එකින් එක මගේ මතකයට පැමිනුනි. එසේය, මම යනු කවුදැයි මම දැන් දනිමි. ඒ, කලෙක සියලු යස ඉසුරින් ආඪ්‍යව සැපවත් යැයි කිව හැකි ජීවිතයක් ගත කළ, හිමි කිසිවක් සැබෑවටම හිමි නැති බවත්, ඒ සියල්ල තාවකාලික බවත් මොනවට පසක් කරමින්, හිමිව තිබු සියල්ල වැල නොකැඩී අහිමිව ගිය අවාසනාවන්තයෙකි ! කාලකණ්නියෙකි !!

ඇඳ විට්ටමට හේත්තුවීමට අවැසි වූ බැවින් දකුණු කකුල නමා පතුල ඇඳට තද කොට, වම් කකුලද එම ස්ථානයටම ගෙන බර යෙදීමට කරන උත්සාහයේදී අමුත්තක් දැනිණි. වම් පාදය එසවුණද එහි අමුතු බරක් දැනුණ නිසා හා විලුබක් ඇඳට තද නොවූ බැවින් මදක් එසවී බැලූ විට අහිමි වීම් මා සිතා සිටි පරිදි අවසන්ව නොමැති බවත් එය ශරීරාංග දක්වාද පැමිණ ඇති බවත් පසක් වීය. වම් පාදය විලුබට මදක් ඉහළින් කපා දමා තිබුණි. මුළු හරීරයම දහදියෙන් තෙත්වී, අප්‍රාණික වීමට ගත වූයේ නිමේෂයකි. මළ මිනියක් සේ සුදු මැලිව සයනයෙහි වැතිරුණු මා කිසිවක් සිතා ගැනීමට නොහැකි තත්ත්වයක කොපමණ වේලා සිටියාදැයි මටම මතක නැත. අසරණ වීම යනු කුමක්දැයි මම වෙන කවරදාටත් වඩා හොඳින් අත්දකිමින් සිටියෙමි. බසයට යටවී මා මිය නොගියේ මංද ! සිදු විය යුතුව තිබුණේ එය වුවද සිදු වී ඇත්තේ අනෙකකි. මේ විඳවීමෙහි අවසානය කොතැනද !? නොදන්නා අත්භූත බලවේගයක් විසින් මුළු ලෝකයෙන්ම හුදකලා කරවනු ලැබූ මනුස්සයෙකුගේ පාදයක්ද අහිමි වූ විට අත්වන ඉරණම ගැන මා ඔබට විවරණ දිය යුතුද ? මාගේ අනාගතය හිතා ගැනීමටවත් නොහැකි තරමටම බිහිසුණුය.

බිරිඳ, දරුවන්, ‍රැකියාව, යාන වාහන, නිවස, නෑදෑ හිතවතුන්, මිතුරන් සහ අවසානයේදි මාගේ එක් පාදයක්ද මා හැර ගොස් අවසන්ය. ‍රැකියාව අහිමි වූ පසු ‍රැකියාවක් සොයා ගැනීමට මා ගත් වෙහෙස අපමණය. කිසිඳු ආකාරයක ‍රැකියාවක මා හට හිමිවීම මාගේ දුර්භාග්‍යය විසින් නතර කොට දමා තිබුණි. ඒ මා දෙපා සහිත ජීවියකුව සිටියදීය. දැන් මේ වාතාවරණය යටතේ කිසිඳු හෝ ‍රැකියාවක් ලැබේයැයි සිතීමට නම් මා උමතු වී සිටිය යුතුය. මම හදවතින් වැලපුනෙමි. එහි ආවේගය සිහින් ඉකි බිඳුම් වශයෙන් පිටත පැමිණීම වැළැක්වීමට මා හට හැකියාවක්වත්, උවමනාවක්වත් නොතිබුණි.

වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ, රෝහල් සහායකයන්ගේ අපහාස, සමච්චල්, බැණ වැදීම, අඩන්තේට්ටම් මතින් ගෙවී ගිය මාස හතරකට පසු, තුවාලය යම් පමණකට සුව වූයෙන්, රෝහලෙන් නික්මයාමේ අවස්ථාව ලැබුණි. මේ මාස හතර පුරාවටම සුව දුක් බැලීමට එකඳු වූ හිතවතකු නොපැමිණි  එකම රෝගියා මම වුනෙමි. භෞතචිකිත්සක විසින්, අනේකවාරයක් සිදු කළ අපහාස, සමච්චල්, බැණ වැදීම් වලින් පසුව මා හට ලබාදුන් මිය ගිය රෝගියෙකුගෙන් ලද කිහිලි කරු යුගලයට වාරු වෙමින් මම රෝහලෙන් පිටිවී ආවෙමි. ඉදිරිය කිනම් ආකාරයක් වේ දැයි අවිනිශ්චිත වුවද, මේ සිව් මාසය පුරාවට විඳි වේදනා සළකා බැලූ කල්හී කිනම් වූ ඉරණමක් සඳහා හෝ එතනින් නික්ම ඒම පිළිබඳ මම හදවතින්ම සතු‍ටු  වූයෙමි.

කළ යුත්තෙ කුමක්ද, යා යුත්තේ කොහේදැයි කියා අතීරණව මම මොහොතක් ගත කෙළෙමි. මෙයින් මතු මා හට ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන්නට වනවා ඇත. කෙතරම් අවලාද මධ්‍යයෙ වුවද කලට වේලාවට ආහාර ටික ලැබීම රෝහලේදී නොවැරදුනි. දැන් තත්ත්වය වෙනස්ය. අතෙහි සතයකුදු නොමැත. ‍රැකියාවක් ලබාගැනීමේ දුශ්කරතාවය නිසාම එය සළකා බැලීමටවත් නොහැකි තත්ත්වයක ඇත. ඉතිරිව ඇත්තේ සිඟාකෑම පමණී. අඩුම තරමින් වේලක් දෙකක් පිරිමසා ගැනීම උදෙසාවත් සිඟාකෑමට සිදුවී තිබිණි. අතීතයේදී කිසිඳු තත්ත්වයක් යටතේ සිතා නොබලන මෙම විකල්පය වර්තමාන තත්ත්වය ඉදිරියේදි ඉතා සාමාන්‍යය වී ඇත. මාන්නය, ආඩම්බරකම සමාජය විසින්ම තලා පෙලා ඉවත් කොට තිබූ බැවින්, සිඟා කෑමෙන් දිවි සරි කර ගැනීම පෙර මෙන් අපහසු කටයුත්තක්කැයි මට නොසිතුනි.

කිහිලි කරු වාරුවෙන් ඉතා වෙහෙසක් දරා මම ඉදිරියට ඇදුනෙමි. යා යුතු ඉසව්වක්, අරමුණක් නොමැති වූයේන් හිස හැරුනු අතට ගමන් කෙළෙමි. මා සිටියේ පුංචි බො‍රැල්ල හංදියේය. මෙයින් කොයිබට යන්නේදැයි මොහොතක් ලතැවුනු මා, දෛවයේ මග පෙන්වීම මත දකුණට හැරී බො‍රැල්ල දෙසට ගමන් කෙළේය. අතර මගදි කරුණාවන්තයැයි, මා මුහුණ බලා අනුමාන කළ කිහිප දෙනෙකුට අත පෑවද, නොතකාහැරීම්, ඔරවා බැලීම් හැර කිසිවක් නොලැබුනි. මාගේ දුර්භ්‍යය හිඟමනක්වත් ලැබීමට ඉඩ ප්‍රස්තා නොසළසන සෙයකි. තත්ත්වය මෙසේනම් ජීවිතය හැරයාම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.  එමගින් මා හට දුර්භාග්‍ය ලෙහෙසියෙන්ම පරදවාලිය හැකිය. ඒ පිළිබඳ සළකා බැලීම පසුවට කල්තැබූ මම කොර ගසමින් ඉදිරියටම ගියෙමි. මා දැන් බො‍රැල්ල මංසන්දියේය.

කිහිලිකරු දෙක පසෙක තබා බස් නැවතුම්පළ අසළ වූ සිමෙන්ති බැම්මෙහි අපහසුවෙන් වාඩි වී මදක් ගිමන් හැරියෙමි. බස් නැවතුමෙහි වූ බංකුවෙහි හිඳ ගැනීමට බිය වූයේ කිසිවකු හෝ මා එළවා දමාවියැයි සිතුනු බැවිනි. මිනිසුන් කඩියන් මෙන් එහේ මෙහෙ දුවමින් සිටියහ. කළෙක මා ද මේ ප්‍රවාහයට හසුවී ඉවක් බවක් නොමැතිව කඩි මුඩියේ දුවමින් සිටි අයෙකි. වාහන වලින් නැහුනු දුමාරය, නලා හඬ, දැඩි අවු රශ්මිය මා කඩිනමින්ම වෙහෙසට පත් කෙළේය. දැන් මධ්‍යහනටත් ආසන්නය. උදෑසන රෝහලින් ගත් ආහාරය මිස ඉන්පසු වතුර උගුරක්වත් නොලැබුනු බැවින් මා සිටියේ දැඩි පිපාසයකිනි. මා ක්‍රියාත්මක විය යුතු බවට ශරීරය අභ්‍යන්තරයෙන්ම පණිවිඩ නිකුත් වෙමින් පැවතුනි. නැතහොත් දිවා ආහාරයට වතුර උගුරක්වත් නොමැතිව දහවල ගෙවී යනු ඇත. දෙතුන් දෙනෙකුට අත පෑවද ප්‍රතිඵලය පෙරසේමය. තවමත් මාන්නය, ලැජ්ජාව සහමුළින්ම ඉවත්ව නොමැති බව ප්‍රායෝගිකව එහි නිරත වන විට ප්‍රත්‍යක්ෂ විය. සිගන්නන් සිගාකණ ආකාරය මදක් සිහියට නංවාගෙන එය උපරිමයෙන් රඟ දැක්වීමට උත්සහා කෙළෙමි.

ඒ දවසම කාලකන්නි, මූසල දවසකි. උදෑසන සිට අත පෑ කිසිවකුගෙන් සතයකුදු නොලැබීමට තරම් මාගේ දුර්භාග්‍යය බලවත් වී තිබුණි. කුසගින්න, වෙහෙස, දාහය, තුවාලයේ වේදනාව ආදි කී නොකී සියල්ල මා හෙම්බත් කොට මිරිකා දමා ඇත. අසල වූ වතුර නළයකින් කුස පුරා වතුර බී ගත් මම නැවතත් කොර ගසමින් බස් නැවතුමට පැමිණියේ ඒ රාත්‍රිය එහි ගත කිරීමේ සිතුවිලිද සමඟිනි. බස් නැවතුම පි‍ටුපසින් වූ තාප්පයත්, බස් නැවතුමත් අතර හොඳ ඉඩක්ද, සිමෙන්ති බැම්මක්ද වූයෙන් එය වර්ෂාවක් නොමැති නම් සිගන්නෙකුට රාත්‍රියක් ගත කිරීමට යහපත් තැනකි.

නින්දත් නොනින්දත් අතර මැදි ස්ථානයකදි යාන්තමින් දෑස පියවී ආවා පමණී. වේලාව කීයට පමණ ඇත්දැයි නිශ්චිත නොමැත. සමහර විට මධ්‍යම රාත්‍රියට ලඟා වී හෝ පසුවී ඇතුවා වන්නට පුළුවන. එක් වරම කොහේදෝ සිට කඩා වැදුනු හැඩි දැඩි පිරිමින් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු මා ඔසවා ගත්හ. කෑගැසීමට දැරූ තැත එකෙකුගේ දැඩි හස්තයෙන් මිරිකී ගියෙන් ව්‍යර්ත විය. ග්‍රහණයෙන් ගැලවීමට දැරූ තැතම මා තව තවත් එහිම සිර කරවීය. මොහොතකින් ඔවුන් මා වෑන් රථයකට දමා ගත් අතර මුව සහ දෑස් වහ වහා රෙදි පටි වලින් වැසී ගියේය. මා හට කළ හැකි වූයේ උගුරෙන් පිට කළ හ්හූක් හ්හූක් හඬ පිට කිරීම පමණකි. කලබලය හේතු කොටගෙන පෑරුණු වම් පාදයේ තුවාලය දැඩිව ඇදුම් කන්නේය.

ඒ මේ අත හැරෙමින් ගමන් කළ වෑන් රථය විනාඩි විස්සක පමණ ගමනකින් යම් තැනක නැවතුනි..

"හ්ම් වරෙන් බැහැපන්" යි විවර වූ දොරින් නික්මුනු රළු හඬකින් නිකුත් වූ විධානය මා දැන් බැසිය යුතුයැයි හැඟවීය. නමුත් ඒ වනවිට අන්ධ, ගොළු සහ කොර තත්ත්වයට පත්වී සිටි මා හට තනිව එවැනි හපන් කමක් කළ නොහැකියයි ඔවුන්ටම හැගුනු හෙයින්දෝ නැවතත් මා ඔසවා ගත්හ. දොරක් ඇරෙනු, වැසෙනු, තවත් දොරක් ඇරෙනු වැසෙනු ඇසුනු පසු මා එක් වරම බිම පතිත විය. තුවාලය බිම වැදීමෙන් දැනුනු වේදනාව තරු පෙනෙන තරමේ වුවද මා හට කල හැකි වූයේ උගුරෙන් හඩක් නැංවීම පමණකි.

"බොස්, මූ තමයි මිනිහා..." නැවතත් රළු හඬකි.. මම, අවට අත ගාමින්, කෙලින් වී බිම වාඩි වීමට උත්සහා කරමින් සිටියෙමි.

ටකස් ටකස් අනුකරණයෙන් ටයිල් ඇල්ලු පොලව මත වදින හඬකි. එය අනුක්‍රමයෙන් මා වෙත ළඟා වෙන බව තේරුම් ගැනීමට ශ්‍රවණය පමණක් ප්‍රමාණවත් වීය.

දැඩි අතකින් ඉදිරිපස කොණ්ඩයෙන් මිරිකා අල්ලා පිටිපසට කෙරිණි.

"‍තෝ කාගෙන් අහලද බල්ලො මගේ ඒරියා එකේ හිඟා කන්නෙ ? " ඒ සමඟම කම්මුල පුපුරා යන තරමින් වැදුනු කම්මුල් පහරකි.

                                                                               ooooo

ඔබ විශ්වාස නොකරණු ඇත. බොහෝ කාලයකට, එනම් ‍රැකියාව අහිමි වීමෙන් පසු මුල් වරට  මම සම්මුඛ පරීක්ෂණයක් සමත් වී තිබුණි. කුදලාගෙනයාම්, අඩන්තේට්ටම්, පහරදීම් මතින් ඇරඹුනු මේ අමුතු, අපූර්ව සම්මුඛ පරීක්ෂණය සමත් වීමම මා සැළකුවේ මෙතෙක් මා පෙළමින් තිබූ දුර්භාග්‍යයට එල්ල කළ පහරක් ලෙසිනි. මා බො‍රැල්ල මංසන්ධියෙහි "හිගන්නා හෙවත් යාචකයා" යන තනතුර සඳහා බඳවාගෙන තිබුණි. ‍රැකියාවෙහි කොන්දේසි සරළය. සෑම දිනෙක මා උපයන ආදායම "බොස්" ට ලබා දිය යුතු වන අතර ආදායමේ තරම මත "බොස්' විසින් තමනට කැමති මුදලක් මා අතට පත් කරණු ඇත. ඉඳ හිට ගැටයක් කපා අමතර ආදායමක් සොයා ගැනීමට බාධාවක් නොවුනද, එම කාර්යය වෙනත් "බොස්' කෙනෙකු යටතේ සිදු කෙරුණු බැවින් අපගේ "බොස්" ඒ සඳහා අප වැඩි වශයෙන් උනන්දු නොකිරීමට වගබලා ගත්තේ ගැ‍ටුම් අවම කරවා ගැනීමට විය යුතුය. මුදල් සඟවා ගැනීම හෝ වෙන යම් සෙල්ලම් දැමීමට යාම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමක් විය හැකි බවට ආරම්භයේදීම කෙරුණු පැහැදිලි අනතුරු ඇඟවීමකි.

සෝමදාස හෙවත් සෝමේ මා හඳුනා ගන්නේ මේ ඔස්සේය. ඔහු වසර ගනනාවක සිටම බො‍රැල්ල මංසන්දියෙහි සිගමනෙහි යෙදී සිටින යාචකෙයෙකු බවට මා හට දැන ගන්නට ලැබුනි. වයස හැට ඉක්මවූවෙකැයි අනුමාන කළ හැකි වුවද, ‍රැකියාවට පැමිණ කෙටි කලෙකින්ම සිගන්නන්ගේ පෙනුම බලා වයස කිව නොහැකි බව මම අවභෝධ කොටගෙන සිටියෙමි. රජය විසින් උපරිම වයස් සීමාවක් නිර්ණය කිරීමට අමතක කර දමා තිබූ මේ ‍රැකියාවට වයස වැඩි වීම, අංගවිකල වීම, ආබාධිත වීම් ආශිර්වාදයන්ය. "බොස්" පවා එවැන්නන් කෙරෙහි වැඩි අවධානයක් හා සැලකිල්ළක් දැක්වීය.

මත් පැනට ඉතා ගිජු වූවකු වූ සෝමේ, දවසේ උපයන ආදායමෙන් වැඩි කොටසක් සෑම දිනකම මත් පැන් වෙනුවෙන් වැය කළේය. මුලදි මුලදි ඔහු හා මිතුරු වීමටත්, ඔහුගෙන් වැඩි වැඩියෙන් උදව් පදව් හා ‍රැකියාවට අදාල වූ සියුම් ක්‍රම වේදයන් දැන හඳුනා ගැනීම උදෙසාත් මම ඔහුගේ මෙම දුර්වලතාවය පාවිච්චි කෙළෙමි. එකම මංසන්දියෙක උදෑසන සිට වෙහෙසෙන සෝමේ සහ මා, හවස ගනු දෙනු පියවීමෙන් පසු බො‍රැල්ල වෙලඳ සංකීර්ණයේ අඳුරු මුල්ලක් රාත්‍රිය ගතකිරීම  සඳහා ‍තෝරාගෙන තිබුණි. කඩෙන් ‍රැගෙන එන බත් පැකට් දෙකක් සහ සෝමේ විසින් නොවරදවා ගනු ලබන මත් පැන් බෝතලයෙන් සප්පායම් වන අප, නිදි දෙව් දුව සොයා යන්නේ බලාපොරොත්තු නොමැති හෙට දිනක් බලාපොරොත්තුවෙනි. බොහෝ කළකට පසු මා හට මිතුරකු ලැබි තිබුනෙ එසේය. සියයේ සිට බිංදුවට ඇද වැ‍ටුනු මා නැවතත් ඉහලට නැගීමේ අරමුණ පෙරදැරිව මෙසේ ජීවිතයට මුහුණ දෙමින් සිටියෙමි.

සිගමනෙන් ලද ආදායම පිළිබඳව මා මවිත නොවුයේයැයි කිවහොත් එය අමුම අමු මුසාවකි. ඒය ඒ තරම්ම විශාලය. විටෙක මටම සිනා සෙමින් "මේ ‍රැකියාවට පැමිණීමට මෙතරම් ප්‍රමාද වූයේ මංදැයි"  මගෙන්ම අසා ගනිමි.මෙහි නැත්තෙ සමාජ තත්ත්වය පමණි. සම්පූර්ණ එකතුව මා හට ලැබුනේ නම් එය මා කලින් ලද වැ‍ටුප මෙන් දෙගුණයක්වත් වනු ඇත. එහෙත් සෑම තැනකදීම මෙන්ම, මෙහිද වැඩි ප්‍රතිලාභ ලාභියා වූයේ  "බොස්" ය.

                                                                                ooooo

"එදා උදේ ඉඳන් සෑහෙන මහන්සි වෙලා හිටියේ ෆාදර්. කලෙක්ෂන් එකත් සෑහෙන හොඳයි. හැන්දෑවෙ හතරට විතර මම මහන්සි හින්දා, පාරෙ මැද්දෙ තිබුනු පේව්මන්ට් එකේ වැටට ටිකක් හේත්තු වෙලා මහන්සි ඇරගන්න ගමන් හිටියේ..."

සංඥා එළි යට නතරව තිබූ වාහන වලින් සිගමන් යදිමින් සිටි සෝමේ ගේ එක් ක්‍රියාකාරකමක්, මා හට එක් වරම මාගේ මතකය වසර ගනනාවක් අතිතයේ සිදුවූ, එහෙත් කාලයේ වැලි තලාවෙන් යටව අමතකව ගොස් තිබු, ඇත්තෙන්ම මාගේ ජීවිතයට අදාල නොවන්නේයැයි සිතුනු හෙයින් මා විසින් අමතක කර දමා තිබූ එක් සිද්දියක් නැවතත් සිහි කැඳවීය. මොන මොනවාදෝ කියමින් සෝමේගෙ හැරමිටිය තෙවරක් බිමට අනිනවාත්, ඒ සමඟින් දඩං හඬින් ඔහුගේ හැර මිටියෙන් වාහනයට වැදුනු පහරත්, ඒ සම්බන්දයෙන් මාහට ඇති අත්දැකීම නැවත මතකයට නැගීමට හොඳටම ප්‍රමාණවත් වීය. වාහනයේ හිමිකරු බැන වදිමින් සෝමේ  පසු පස අඩි දෙක තුනක් දිව ආවද නැවත හැරී ගොස්, වාහනය මදක් පරික්ෂා කර බලා වාහනයට ගොඩ විය. සෝමේ වාහන අතරින් නොපෙනී සැඟව ගියේ ක්ෂණිකව නොපෙනී සැඟව යන නින්ජා වරයෙකු මෙනි.

වහා යුහුසුළු වූ මා කිහිලිකරු වාරුවෙන්, කොර ගසමින් එහෙත් ඉක්මන් ගමනින් සෝමේ හමුවට ගියෙමි. ඔහුව හමුවූ විට මා ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියේ සිතෙහි ලාවට මෙන් ඇඳි තිබූ ඒ රුව මතකයට නංවා ගැනීමටය. දත් නැති මුව, පෙරලුනු තොල්, වැවුනු ‍රැවුල.. ඔව් මේ ඔහුම බවට කිසිඳු සැකයක් නොමැත. මේ සිද්ධිය නොවන්නට ඒ රුව කිසිම අයුරකින් නැවත මෙසේ මාගේ මතකයට නො එනු ඇත.

"මොකද උඹට වෙලා තියෙන්නෙ ? " සෝමේගේ හඬින් මා පියවි ලොවට පැමිණි නමුදු, මම මවිතයේත්, කුතුහලයේත් උපරිමයෙහි ‍රැඳි සිටියෙමි. මගෙන් සිගමනක් පතා මා වෙත අත පෑ මිනිසකු සමඟින් එක්ව සිඟා කෑමට සැලැස්වීමට තරම් මාගේ දෛවය මා හට අකාරුණික වී තිබීම ගැන මා සිටියේ දෛවයෙහි  ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉමහත් මවිතයකිනි. ඕනෑම මිනිසෙකුව, ඕනෑම තත්ත්වයකට පත් කළ හැකි බවට මා ජීවමාන සාක්ෂියක් නොවන්නේද !? තවද, සෝමේ විසින් සිදු කරණ මෙම අමුතු ක්‍රියාව පසු පස ඇත්තෙ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලයත් නො අඩුවම මා හට විය. එහෙත් මේ එයට වේලාව නොවේ. ඔව්, අරක්කු !

එදින සවස අප නවාතැන්පල බලා ඇදීමට පෙර මා විසින් වෙනදා සෝමේ විසින් ගනු ලබන භාගය වෙනුවට මෙදින අරක්කු බෝතලයක්ම මිළදී ගතිමි. ඔහුව මත්පැනින් නහවා මගේ කුතුහලය සංසිදුවා ගැනීම අරමුණයි.

නිසි කල් යල් බලා, සෝමේ නිසි පදමට ලංවූ කල්හී මම ප්‍රශ්ණය ඉදිරිපත් කෙළෙමි.

" ඒයි සෝමේ, මොකෝ බන් උඹ අද හවස අර වාහනේට පොල්ලෙන් දමලා ඇරියේ. තව පොඩ්ඩෙන් ඌ උඹව සම්බෝල කරනවා... "

"හෙහ්... හෙහ් ඌ ඌ.. කොහෙ අල්ලන්ඩද බන් මාව.. අල්ලයි මගෙ නැට්ට.. හෙහ්.." 

"ඇයි ඉතින් උඹ පොල්ලෙන් හැහුවේ.. උඹ හැමදාම ඔහොම වාහන වලට ගහනවද ?"

"නෑ ශනා මම හැමදාම ඔහොම කරන්නැ...අරී.. හැමදාම ඕම කරන්නෑ.. " මත් පැන් යහමින් ක්‍රියත්මක වෙමින් පැවතුනි.

"මම් ඕම කරන්නේ බල්ලන්ට විතරයි මලේ.. බල්ලොන්ට විතරයි..අපි හිගන්නෝ තමා බන්.. ඒ වුනාට අපි උන්ගේ අත් පල්ලෙන් වැටිලා නෑනෙ.. උඹ දන්නවද සමහර බල්ලෝ අපිට හිනා වෙනවා මලේ අපිව දැක්කම.. මට ඒ බැල්ලිගෙ පුතාලව පේන්න බෑ... හරී.."

"අඩෝ අපි හිඟා කෑවට උන්ට වැඩිය හම්බ කොරනවා කියලා ඔය මහත්තුරු දන්නවද දන්නැ... අම්මගෙ සෙද්දේ මහත්තුරු.. සමහර එවුන්ගෙ අතේ පිච්චිය නෑ.. මහ ලොකු වාහන වල ගියාට. අම්මගෙ ශෙද්දෙ මහත්තුරු.. හෙහ්.. ක්‍රැශ් .. තුප් හ්..."

"ඉතිං ඌ උඹට හිනා වුනාද ? "

"නැතුව...! අහවල් මගුලකටද මම එහෙනම් ඌට ගැහුවෙ ??"

"උඹ මීට කලිනුත් ඔහොම කරලා තියනවද සෝමෙ අයියේ ?"

"වැඩිය නෑ බන් දෙතුන් පාරක්..මට හිනා වුන බල්ලො දෙතුන් දෙනෙකුට.." ක්‍රාහ් තුප් හ්. එයින් එක් බල්ලෙක් ඔහු ඉදිරියෙහි බව ඔහු දන්නේ නම් !

"ඉතින් ඇයි බන් සෝමෙ අයියේ උඹ එහෙම කරන්නෙ ? ඔහොම ගැහුවා කියලා උන්ට දැනෙන්නෙවත් නෑනෙ. අනික උන් දන්නෙත් නැනෙ උඹ මොකට එහෙම ගැහුවද කියලා."

"යකෝ උඹ මාත් එක්ක එකට හිගා කණ එකා තමා, ඒත් ඒවා දේව රහශ් මලේ.. අහන්නනම් එපා මම් කියන්නෑ..." මෙහි, සිනාසෙන අයට පහර දෙනවාට වඩා වැඩි දෙයක් ඇති බව මා හට එයින් පැහැදිලි විය. කුතුහලය දෙගුණ විය.

"ආඅන්න ආන්න සෝමෙ අයියේ උඹ මටත් කොලේ වහන්න හදනවා. එකට කන එකා වෙච්චි මටත් කියහන්කෝ ඉතින් හොඳ එකා වගේ"

මුලින් මුලින් ඔහු විසින් එය පැවසීම ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මත්පැනින් මනාව පෝෂණය වන විට, මා විසින් ඔහුව චා‍ටුවෙන් මුරුංගා ගසෙහි දල්ලටම ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගෙ හදවත විවර කරවා ගැනීමට මා හට හැකි විය.

"මලේ මේ අහපන්.. මම මේක උඹට විතරමයි ඕන් කියන්නේ..ශරි.. ආයෙ කටේ කෙල බිඳක් බිම තියනවා නෙමේ ඕන්.. එහෙම කළොත් මම උඹව ඉතුරු කරන්නෑ.. ආයෙ එකේ දෙකක් නෑ.. ශරි.." ක්‍රාක්හ් තුප් හ්..

"කිව්වට පිළිගනින් ඕන්. මං ගාව තියනවා බන් පොඩි මන්තරයක්..ඕක මට දුන්නේ අපේ සීයා. උන්දෑ රුහුණේ මහ බලගතු මන්තරකාරයා. සීයාගේ ශාශ්තරේ අපි කාටවත් හරියට දුන්නේ නෑ. එක එකාට පොඩ්ඩ පොඩ්ඩ තමා දුන්න්නෙ. ඒක මතුරලා කාට හරි ඔහොම ගැහුවොත් ඌ ආයෙ විනාශයි...නැත්තටම නැති බංගස්තාන වෙනවා ඕන්. දැන ගනින්..මට ඔය අපේ බොශාව උනත් ලොකු නෑ බොල.. ඌ දන්නෑ මම කවුද කියලා.. ඕකා මාව ශූරන් කන්න හැදුවොත් මම ඕකටත් දෙනවා ශම්බුව.........." ඔහු විසින් තව තවත් මොන මොනවාදෝ දෙඩෙව්වද ඒ කිසිවක් මාගේ සවන් පත් අතරින් නොගියේය...මුලින්ම මා එය පිළිනොගත්තෙමි. සිහිනයක් දකිනවා යැයි සිතුවෙමි. හිස භ්‍රමණය වීමට ආරම්භ වූයෙ මත්පැන් නිසා නොවන බව සහතිකය. මොහොතකට සියල්ල විශ්වාසයත්, අවිශ්වාසයත් අතර දෝලනය විය. මාගේ ජීවිතය විනාශ කළ පුද්ගලයා මා ඉදිරියෙහි මත්වී නන් දොඩවමින් සිටී. මා කළ යුත්තේ කුමක්ද ? 

පලිගැනීමේ දූතයා නිදි ගැට හරිමින් අවදි වෙමින් සිටි භයානක නිමේශයයි ඒ.. මාගේ ජීවිතය එහෙම් පිටින්ම විනාශ කල මේ කාලකණ්නියාට තව දුරටත් ජීවත් වීමට ඉඩ දිය යුතුද ? තව කීදෙනෙකුගේ ජීවිත මෙලෙසින් විනාශ නොකරාවිද ? මේ කාලකණිනියාගේ මුහුණ දු‍ටු විට හිනා නොයන්නේ කාටද ? මම නොදන්නා අර පුද්ගලයා ගැන අවංකවම දුක් වූවෙමි. ඔහුට විඳිමට සිදුවන කරදර, ගැහැට වල ප්‍රමාණය ඔහු දන්නේ නම්.. ! අනෙක් අතට මූ කියන්නේ හුදු හිතලුවක්නම් ! මූගේ හිතලුව හා මගේ දෛවෝපගත ඇදවැටීම අහබු ලෙස හමු වූ සිද්දීන් ද්විත්වයක් විය නොහැකිද ? එසේනම් මූ තමා සතුව ඇතැයි සිතාගෙන සිටින මායාවී බලයක් පිළිබඳ හුදු සිහින දකින්නෙක් පමණක්ම විය හැකිය. මුගෙන් පහර කණ සියල්ලන් මා මෙන් විනාශයෙහි පතුලටම අද නොවැටෙනවාත් වන්නට පුළුවන. "පොඩ්ඩක් හිටහන්" මම මා හටම විධාන කෙළෙමි. "උඹට වෙච්ච දේ ආයෙ හිතලා බලපන්, මෝඩයා. මේ යකා කියන්නේ ඇත්ත තමා.. හිතපන් උඹේ විනාශය කොහොමද පටන් ගත්තේ කියලා. මුළු ලෝකයම උඹව කොන් කළා මතක නැද්ද ? එහෙම වුනේ මොකක් හරි අත්භූත යමක් නිසා නොවෙයිද ? මිනිස්සු ඇදගෙන වැටෙනවා තමා, ඒත් උඹට වුනා වගේ දෙයක් අහලවත් තියනවාද ? මේ කාලකණ්නියා කියන්නේ ඇත්ත තමා.. ඔය ඉන්නේ උඹේ විනාශයේ දූතයා. ඉතින් දැන් උඹ මොකද කරන්නෙ ?"

මාගේ දෛවය මා හට පෙන්වමින් සිටින මේ රඟදැක්වීම කුමක් විය හැකිද ? අවසන එය විසින්, මාව විනාශ කළ පුද්ගලයා යැයි සිතිය හැකි පුද්ගලයා අභිමුඛයටම මා ගෙනැවිත් ඇත. මා එය සම්පූර්ණ කළ යුතුද ? නොකළ යුත්තෙ මන්ද !

තවමත් මොන මොනවාදෝ වෙරි මතින් කියවමින් සිටි කාළකණ්නියා දෙස මම අධික පිළිකුලින් යුතුව බැලිමි. මත්පැනට ඉතා කෑදර මේ හිඟන කාලකණ්නියා, නැවතත් බෝතලය අතට ගෙන අමු අමුවේ උගුරට හලා ගනිමින් සිටියේය. ඌ සිය ජීවිතයේ බොන අවසන් අරක්කු වඩිය දෙස මම ද්වේෂය, පිළිකුල, නොයිවසිල්ල මුසු බැල්මකින් බලාගෙන සිටියෙමි.

-- නිමි --

ලියුවේ :
~~ සෙන්නා / 15.05.2015

Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog