Thursday, February 7, 2013

ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා... | සංශෝධිත නිකුතුව



2013 නවම් මස 07වනදා

තකද "ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා"  ?

ඕක තමයි කුරුන්දෙ දිශානතිය වෙනස් කරපු ලිපිය. නොහිතපු විදිහට පාඨක ආකර්ෂණයට ලක් වෙච්ච ලිපිය. අදටත්, කුරුන්දෙ ලිපි අතරින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. මේක කුරුන්දෙ තුන්වෙනි ලිපිය. ඊට කලින් දාපු ලිපි දෙකට මගේ ප්‍රතිචාරත් එක්ක ප්‍රතිචාර දහයක් දොළහක් තමා තිබුණෙ. හැබැයි මේක රොකට් එක වගේ කඩාගන උඩට ගියා. දවස් දෙකතුනක් යනකොට මගෙ ඒවත් එක්ක ප්‍රතිචාර හතළිස් ගාණක් වුණා. අංකුර බ්ලොග් කාරයෙක් වෙච්ච මට ඒක මහ මෙරක් වගේ. සතුට උපරිමයි. මහන්සි වෙලා තොරතුරු හොයලා හදපු ලිපිය කට්ටිය කියවලා අගය කරද්දි දැනුණ සතුට නිමක් නෑ..

ඒත්, කියන්ඩ කණගාටුයි.. මට මේ ළඟදි දැනගන්න ලැබුණා ලිපියෙ අන්තර්ගත සමහර කරුණු සත්‍යයෙන් බොහෝ දුරස්ථ බව. ඒ වගේම අසම්පූර්ණයි කියලා. ඉතින් මම තීරණය කළා ලිපිය නැවත සංශෝධනය කරන්න. නොකියවපු අයට කියවන්නත්, කියවපු අයට නිවැරදි තොරතුරු එක්ක නැවත කියවන්නත් මේකෙන් අවස්ථාව ලැබේවි. සංශෝධනයට හේතු වෙච්ච සබැඳි යටින්ම රතු පාටින් සලකුණු කරල තියනවා. ඒවත් කියවලා, ශ්‍රවණය කරලා බලන්න. 


~~~~~




දිනය, 1982 ජුනි 30 වැනිදා. ටෝකියෝ බලා ගමන් කිරිමට නියමිත ගුවන් යානය, ලහි ලහියේ ඒ සඳහා සුදානම් වෙමින් පවතී. සියළු මගීන් යානයට ගොඩවී තමනට වෙන්වු අසුන් සොයා යයි. ගුවන් සේවිකාවන්ද ඔවුන්ට සහය වෙමින් යානය ගුවන් ගත කිරිමට අවශ්‍ය පූර්ව සුදානම් කිරිම් වල නියෙලෙමින් සිටියාය. මොහොතකින් සියල්ල සුදානම්. මගීන් 340 ක් රැගත් Alitalia 1790 ( Boeing 707 ) ගුවන් යානය නව දිල්ලි අහස් කුස දෙබෑකරගන ගුවන් ගතවිය.

සියල්ල යථාපරිදි සිදුවෙමින් පැවතුනි. මගීන් සුවපහසු ලෙස සිය අසුන්වලට බරදෙමින් සිටින අතරතුර කාර්‍ය්‍යය මණ්ඩලය සිය කටයුතුවළ නිරත වෙමින් සිටී.

යානය අඩි 35,000 ක්වු, පියාසර මට්ටමට ලඟාවිය. මේ අතරතුර එක් ගුවන් සේවිකාවක් විසින් කපිතාන් Georgo Amarosa වෙත මගියෙකුගෙන් ලද ලියමනක් යොමුකරන ලදී. තමන් විසින් පාලනය කරනු ලබන යානය සිය පාලනයෙන් ගිලිහී ඇති බව අවබෝධ කොට ගැනීමට මේ පළපුරුදු නියමුවාට එම ලිපිය දෙවරක් කියවීමට අවශ්‍ය නොවුනි.

                                     ~~~~~

1949 ජුනි 03 වෙනිදා, මාතර කරතොට ග්‍රාමයේ උපත ලබන සේපාල, හම්බන්තොට යෝධකණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබයි. කුඩාඅවදියේ සිටම විප්ලවකාරි චරිතයක් වන සේපාල, 50 දශකයේ අග බාගයේදී සිය පියාත් සමඟ ඇතිකරගන්නා ආරවුලක් හේතුකොටගෙන නිවසින් පිටව ගොස්, එවකට ආනන්ද කනිශ්ඨ විද්‍යාලයේ විදුහල්පති  D.L.B. පෙරේරා මහතාගේ නිවසේ නතරව සිටී. 1972 දී, බටහිර ජර්මනියේ සිටි සිය අසල්වැසි මිතුරකු මාර්ගයෙන් සේපාල ඉසුරු සොයා බටහිර ජර්මනිය බලා යෑමට තීරණය කරයි.

1973 දී, බටහිර ජර්මනිය බලා යන සේපාල, පළමුවෙන්ම කම්කරුවෙකු ලෙස අව්රුදු තුනක් බටහිර ජර්මනියේ රැකියාව කරයි. මේ අතර තුර, ඉතාලි ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ මිතුදමක් ගොඩ නගා ගන්නා සේපාල, 1976 ඔවුන්  සමඟ ඉතාලියට පැමිණ,  සිය මිතුරන් ගේ සහායෙන් ඉතාලියේ මොඩෙනා නගරය ආසන්නයේ ගොවිපලක රැකියාවක් ලබා ගනී.


සිය මිතුරකු මාර්ගයෙන් Anna Aldrovandi හඳුනා ගන්නා සේපාල, ඇය සමඟ පෙම්සබඳ තාවයක් පටන් ගන්නා අතර, ටික කලකින් එක්ව වාසය කිරිමට පටන් ගනී. 1978 දී සිය දරුවා වූ ෆ්‍රී ඒකනායක, ඔවුන් අතරට පැමිනෙන අතර එම වසරේදීම ඇනාගේ පාර්ශවයෙන් එල්ලවන විරෝධයද නොතකා ඔවුන් නීත්‍යණුකූලව විවාහ වේ.


කාලය සෙමෙන් ගලා ගියේය. කාලයාගේ ඇවෑමෙන් සේපාල හා අන්නා අතර සබඳතාවය බිඳී යන තැනටම කටයුතු සිදු වෙමින් පැවතුණි. ඔවුන්ගේ විවාහ දිවිය එතරම් සාර්ථක එකක් නොවුණි. 

මේ අතරතුර, සේපාල විසින් වාර්ෂික අලුත් කිරීමට භාරදුන් සිය පුරවැසිභාවයට අදාළ කිසියම් ලියවිල්ලක් නැවත ලබා ගැනීමට අදාළ කාර්යාලයට ගිය විට ඔවුන් පවසා සිටියේ තමනට එවැනි ලියවිල්ලක් ඔහුගෙන් නොලැබුණ බවයි. එහෙත් එම කාර්ඩ් පත අලුත් කිරීම උදෙසා ඔවුනට භාරදුන් බවට මතකයක් ඇති සේපාල විසින් එය පිළිබඳව සොයා බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියද සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණි. ඔවුන් දැනුම් දුන්නේ ලංකාවට ගොස් එහි තානාපති කාර්යාලයෙන් විමසා බලන ලෙසයි. එම උපදෙස් මත සේපාල ලංකාවට පැමිණියද ඔහුව මවිත කරවමින් ඉතාලි තානාපති කාර්යාලය දැනුම් දුන්නේ එවැනි කාඩ් පතක් තමනට එවා නොමැති බවත්, එය භාරදුන් කාර්යාලයෙන්ම නැවත ලබා ගන්නා ලෙසත්ය. සේපාල නැවතත් ඉතාලියට ගමන් කෙරුවේය. ඉතාලියට ගොස් අදාලා කාර්යාලයට ලංකාවේ තානාපති කාර්යාලයෙන් දැනුම් දුන් දේ දන්වා සිටියද ප්‍රතිඵලයක් රහිත විය. මාස දෙකක පමණ ඔහු ඉතාලියේ සිට ඒ සම්බන්ධයෙන් වෙහෙසුනද පලක් නොවුණි. ඔවුන් සෑම විටම පවසා සිටියේ ලංකාවට ගොස් එහි ඉතාලි තානාපති කාර්යාලයෙන් අදාළ ලියවිල්ල ලබා ගන්නා ලෙසයි. එබැවින් සේපාල නැවතත් ලංකාවට පැමිණීමට සිදුවිය.

සේපාල පවසන පරිදි අදාළ ලියවිල්ල ඉතාලියට ඇතුල්වීම සඳහා ඔහුට අවශ්‍යය නොවුණත්, එහි රැකියාවක් කිරීම වැනි කටයුතු සඳහා එය ඉතා ප්‍රයෝජනවත් වේ. එබැවින් ඔහුට මෙය නැවත ලබා ගැනීමේ දැඩි උවමනාවක් විය. ලංකාවට පැමිණි පසු හත් අට වරක්ම ඉතාලි තානාපති කාර්යාලයට ගොස් මේ පිළිබඳව විමසා සිටියද ඔවුන් විසින් ඔහුව රස්තියාදු කරමින් නැවත නැවත පැමිණ බලන ලෙස දන්වනවා මිස ප්‍රතිඵලදායක යමක් නොවුණි. ඉවසීමෙහි අන්තිම සීමාවත් ඉක්මවා ගිය සේපාල විසින් අවසානයේදී දිනක් එහි සිටි නිලධාරියාට තදින් කතා කරන්නට යෙදුණි. අවාසනාවකට තරුණවියෙහි සිටි නිළධාරියාද සේපාල සමඟ බහින්බස්වීම නිසා එය ආරවුලක් බවට හැරුණි. තානාපති නිළධාරියාවත්, සේපාලවත් එකිනෙකාට යටත් වීමට මැලිකමක් දැක්වීය. අවසානයේදී එය ඔවුන්ගේ පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයක් බවට පෙරලුණි. දෙදෙනාගෙන් එක් අයෙකුවත් අනෙකාට දිනුම දීමට සූදානම් නොවීය. මෙසේ බහින් බස් වීම යන අතරතුර ඇවිලෙන ගින්නට පිදුරු දමමින් එම නිලධාරියා අතින් සේපාලගේ ලියකියවිල වගයක් බිම පතිත විය. සේපාලට එය ලෙහෙසියෙන්ම අහුලා ගත හැකි වුවද පැවති වාතාවරණය නිසා නිලධාරියා විසින් ඒවා අහුලා දිය යුතු බව ඔහු තදින් පවසා සිටියේය. මෙහිදී එම නිලධාරියා;


" උඹ ඔහොම හැසිරුනොත් උඹට ආව කාරණාව කවදාවත් ඉෂ්ට කරගන්න බැරිවෙයි." යයි පැවසීය.

" උඹ කරලා නොදුන්නට මම දන්නවා ඒක කරගන්නෙ කොහොමද කියලා"

"හඃ පුළුවන්නම් කරගනින් "

" මට සති දෙකක් කල් දෙන්න " යැයි කියමින් ආයෙ කිසි දිනක මෙහි පස් නොපාගමියි අදිටන් කරගත් සේපාල එතනින් එළියට බැස්සේය.

මෙසේ අභියෝගකොට තානාපති කාර්යාලයෙන් පිට වුවද, අභියෝගය ජය ගැනීමට කළ යුත්තේ කුමක්දැයි ඒ වනවිටත් සේපාලට අදහසක් නොවුණි. ඒ ගැන සිය කල්පනාව මෙහෙයවනන්ට වූයේ තානාපති කාර්යාලයේ මිදුලේ සිටමය. තානාපති කාර්යාලයට පහරදීම, තානාපති කාර්යාලයේ පිරිසක්ව ප්‍රාණ ඇපයට ගැනීම වැනි නොයෙක් නොයෙක් විකාර අදහස් ඔළුවට පැමිණියත් ඒ එකක්වත් ක්‍රියාත්මක කිරීමට ඔහු මැලිවිය. අවසානයේදී කළ යුතු කුමක්දැයි ඔහු විසින් තීරණය කෙරුණේ තානාපති කාර්යාලයේ මිදුලෙන් ඉවත්ව ඒමටත් ප්‍රථමය. 

1982 ජූනි අග, සේපාල තවත් සිය මිතුරකු සමඟ නව දිල්ලි නගරයට පැමිණියේ සිය සැළසුම් සහගත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අදහසිනි. නමුත් ඔහුගේ මිතුරා මොහු කිරීමට යන භයානක කාර්යය පිළිබඳව හාන්කවිසියක්වත් නොදැන සිටියේය. කෙසේ නමුත් අවසානයේදී ඔහුගෙන් අවශ්‍යතාවයක් නැතැයි තීරණය කළ සේපාල, නැවත ඔහුට ලංකාවට යන ලෙස දැනුම් දී ඔහුගෙන් වෙන් විය.

1982 ජුනි 30, සිය සැලසුම සිතේ තබාගෙන සේපාල නව දිල්ලි ගුවන් තොටේ රඳවා තිබූ අලිතාලියා ගුවන් යානයට ගොඩ වී අසුන් ගත්තේය.. ඔහුගේ අරමුණ වූයේ භාරගත් අභියෝගය ජයගැනීම උදෙසා මෙම ගුවන් යානය පැහැර ගැනීමයි. මෙය එක්තරා විදිහක පිස්සුවක් යැයි කෙනෙකුට හැඟී යා හැකිය. ඒ වන විට කිසිඳු ශ්‍රී ලාංකිකයකු මෙවැනි ක්‍රියාදාමයකට කිසිදා සම්බන්ධ නොවී තිබුණි. නමුත් දැන් සේපාල ඒ සඳහා තනිවම අතගසා ඇත. එවකට පැවති ගුවන්යානා පැහැර ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය වූයේ ආයුධ රැගෙන යානයට ඇතුල් වී නියමුවා මරණ බවට තර්ජනය කොට, යානයේ පාලනය කොල්ලකරුවන්ගේ අතට ගැනීමයි. එහිදී මුලු යානය පුරාම ඔවුන් භීෂණය පතුරවන අතර මගීන්වද ත්‍රාසයට පත්කෙරේ. මෙම සාම්ප්‍රදායික ක්‍රමය මැඩ පැවැත්වීමට එවකට කමාන්ඩෝ බළකායන් ඒ පිළිබඳව හොඳ පුහුණුවකින් සිටින බව දත් සේපාල, විකල්ප ක්‍රමයක් කෙරෙහි සිය අවධානය යොමු කළේය. එතුළින් ඔහු විසින් ගුවන් යානා මංකොල්ල කෑමේ ශ්‍රී ලාංකීය ක්‍රමවේදය ලොවට හඳුන්වා දුන්නේය. 


~~~~~


සේපාල ඒකනායක

යානය ගුවන්ගතවී මොහොතකින්, සේපාල විසින්, තමාට සිදුවූ අසාධාරණය සඳහන් කොට, එයට සාධාරණයක් ඉෂ්ටකර ගැනීම උදෙසා තමාට අකමැත්තෙන් වුවද යානය තමන්ගේ අතට ගැනීමට සිදුවන බවත්, එසේ නොවුණහොත් තමන් යානය පුපුරුවා හරින බවට තර්ජනයක් කෙරුණු ලිපියක් යානයේ නියමුවා වූ කපිතාන් අමරෝසා වෙත ලිවීය. එහිම ඔහු විසින් සිය ඉල්ලීමද සඳහන් කිරීමට වගබලා ගත්තේය.

ලිපිය ගුවන් සේවිකාවකට ඉදිරිපත් කොට එය ගුවන් නියමුවා වෙත රැගෙන යන ලෙස කීවද ගුවන් සේවිකාව එයට විරෝධය පෑවාය. නමුත් සේපාල ඉන්පසුව තදින් කළ අණ කිරීමට යටත් වී ඇය ලිපිය කපිතාන් වරයා වෙත ගෙන ගොස් භාර දුන්නාය.

මොහතකට පසු පිටුපස වූ දුරකථනයක් අසලට ගිය සේපාල එමගින් කපිතාන්වරයාට අමතා ලිපිය ලැබුනේදැයි විමසා සිටියේය. ලිපිය ලද බවත් තමන් එය කියවමින් සිටින බවත් කපිතාන් වරයා සේපාලට දැනුම් දුන්නේය. විනාඩි දහයකින් නැවත අමතන බව සඳහන් කළ සේපාල සිය අසුනට නැවත බරවිය. මේ අතර යානයේ කටයුතු සුපුරුදු පරිදි කෙරෙමින් පැවතිණි. ආහාර ගන්නන් ආහාර ගනිමින්ද, මධු විත තොල ගාන්නන් එසේ කරමින්ද සුව පහසු ලෙස සිටියහ. යානය පැහැර ගැනීමකට ලක්වී ඇති බව කිසිඳු මගියෙක් ඒ වන විටත් නොදැන සිටියහ. ගුවන් යානා පැහැර ගැන්මේ ශ්‍රී ලාංකීය ක්‍රමවේදයේ වෙනස එයයි.

නැවත විනාඩි දහයකින් පමණ සේපාල විසින් නියමුවා ඇමතීය. නමුත් නියමුවා එක වරම යටත් වීමට අදිමදි කොට සේපාල හා බහින්බස් විය. එහෙත් පසුව සේපාලගේ තර්ජනය හමුවේ අසරණවූ නියමුවා ඔහුට යටත් විය.

" සියලුම මගීන් සිය ආසන පටි සවිකරගන, හදිසි ගොඩබැස්සවීමක් සඳහා සුදානම් වන්න"

නියමුවාගෙන් නිකුත් වූ මෙම නිවේදනයත් සමගම, එක් මගියකු හැර අනික් සියළුම මගීන් තුෂ්නිම්භූත විය. අවිනිශ්චිතතාවයට පත්විය. සිදුවෙමින් පවතින්නේ  කුමක්දැයි ඔවුන්ට සිතා ගැනීමට අපහසු විය. 

සේපාල ඒකනායකගේ නියෝගය මත, යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩබැස්සවීය. ඔහු විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් තුනකි.

1. ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා, ඔහු වෙත පැමිණවිය යුතුය.
2. ඩොලර් 300,000.00 මුදලක් ඔහුට ගෙවිය යුතුය.
3. සියළුම මගීන්, ආරක්ෂක පරික්ෂා කිරීම් වලින් තොරව ගුවන් යානයෙන් පිටවීමට අවසර දිය යුතුය.

මෙම පැහැර ගැනීමේ අරමුණ පෙර සඳහන් ලියවිල්ල ලබා ගැනීම වුවද මෙම පැහැර ගැනීමෙන් පසුව තමාට නැවත ඉතාලියට යාමට නොහැකි බව සේපාලට පසක් විය. අනෙක් කරුණ වූයේ ගුවන්යානයක් මංකොල්ලකා කුඩා කාඩ් පත්‍රයක් ඉල්ලා සිටීම ලෝකයා ඉදිරියේ විහිළුවකට කාරණයක් වීමයි. එමනිසා ඔහු එම කාර්ඩ් පත වෙනුවට තමාගේ පුත්‍රයාව තමන් ළඟට ගැනීමට කල්පනා කළේය. අණ්නා සමඟ තමාගේ සබදතාවය කෙතරම් දුරස් උවද දරුවාට මව නොමැතිව සිටිය නොහැකි බැවින් ඇයවද ඉල්ලා සිටියේය. එයට අමතරව මෙම සමස්ත ක්‍රියාදාමයටම තමන්ට වූ වියදම් පියවා ගැනීම සඳහා ඩොලර් 300,000/- මුදලක් ඉල්ලා සිටියේය. සේපාලගේ අර්ථකථනයට අනුව මෙම මුදල ඉල්ලා සිටියේ කප්පමක් වශයෙන් නොව හුදෙක්ම සිය වියදම් පියවා ගැනීමේ අරමුණින් පමණකි. මේ එය සේපාලගේම වදනින්;

"පැහැදිලිවම මම එදත් කිව්වා ඒක කප්පමක් නොවෙයි. මට මේ ක්‍රියාවලියට යම්කිසි මුදලක් වියදම් වුණා. ඉතාලියට යන්න එන්නත්, ගුවන් යානා කොල්ලයට අවශ්‍යය දේවල් ගන්නත්. නමුත් ඩොලර් ලක්ෂ තුනක් වියදම් වුණේ නෑ. ඒත් ඉතාලිය වගේ රටකින් ඩොලර් 40000ක් ඉල්ලන්න ලැජ්ජයිනෙ. ඒක හරියට ලංකා ආණ්ඩුවෙන් රුපියල් 50ක් ඉල්ලනවා වගේ වැඩක්නෙ. ඒ වගේම මේ සිදුවීමෙන් පස්සෙ අළුත් ජීවිතයක් ගත කරන්නත් එපැයැ. ඒ නිසා මම කිව්වා ඩොලර් ලක්ෂ 03ක් දෙන්න කියලා. කප්පමක් ඉල්ලුවනම් මම ඉල්ලනවා ඩොලර් මිලියන 30ක් වගේ ගාණක්. මොකද ඉතාලියෙන් කප්පම් ගන්නවනම් ලක්ෂ ගණනින් අරන් වැඩක් නෑ. ඒක ඉතාලියත් දන්නවා. මොකද මම මේ තත්ත්වයට පත්වුණේ ඉතාලි රජයේ වරදින්. ඒ අනුව තමයි මම මේ ඉල්ලීම ඉල්ලුවෙ." 


මේ අතර සේපාලගේ ඉල්ලීම මත ඔහු අසල සිටි මගීන්ව, ඔවුනට වෙනසක් නොදැනෙන ලෙස ඉදිරි අසුන් කරා යොමු කරවන ලදී. ඉන් ටික වේලාවකට පසු යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩ බැස්වූ අතර කාර්මික දෝෂයක් නිසා යානය සැලකිය යුතු වේලාවක් බැංකොක් ගුවන්තොටුපළේ නවතා තැබීමට සිදුවන බව නියමුවා විසින් මගීන්ට දන්වා සිටියේය.

නියමුවා වූ කපිතාන් ජෝජෝ අමරෝසා සහ සේපාල අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව සුහදව කටයුතු කිරීමට තරම් එකිනෙකා සමඟ සුහදව සිටියහ. සිය ඉල්ලීම් ඉතාලි රජයට දැනුම් දුන් බව කපිතාන් විසින් සේපාල වෙත දන්වා සිටියේය. මේ අතර සේපාල විසින් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ සිටි අදාළ නිලධාරියාව සම්බන්ධකොට දෙන ලෙස කපිතාන්ගෙන් ඉල්ලා සිටියේය. ඉල්ලීම ඉටු විය.

"ඔන්න මම මගේ පොරොන්දුව ඉෂ්ට කළා,ඔයා සූදානම් වෙන්න" යි සේපාල විසින් පවසන විටම ඔහු විසින් දුරකථනය විසන්ධි කළේය. නැවත මොහොතකට පසු ඔහු හා සම්බන්ධ වූ සේපාල තමන්ට පැවසීමට ඇති දෑ පවසා අවසානයේදී " ඔයා ලෑස්ති වෙන්න ආපහු ඉතාලියට යන්න" යැයි කියමින් සංවාදය නතර කළේය.

කටයුතු යහපත්ව සිදු වෙමින් පැවතුණි. කපිතාන්වරයා විසින් වරින් වර සියලු විස්තර වාර්තා කොට සිටියේය. සිය දරුවා සහ බිරිඳ ඉතාලියෙන් පිටත්වූ බවද සේපාලට දැනගැනීමට ලැබුණි. සිය ඉල්ලීම් ලැබීමට යන බව දැනගත් සේපාල විසින් වයසක අය සහ ස්ත්‍රීන්ව පිටත් කිරීමට අවසර ලබා දුන්නේය.

මේ අතර යානය පැහැරගැනීමකට ලක්වී ඇති බව මගීන්ටද අවබෝධවී තිබුණි. එහෙත් ඔවුන්ව මවිත කරමින් පැහැර ගත්තෙක් දක්නට නොවුණි. ඔවුන් දැන සිටියේ තුවක්කු, රයිෆල් මානාගෙන යානය යටත් කරගන්නා මංකොල්ලකරුවන් පිළිබඳව පමණී. එබැවින් ඔවුන් දකින්නට බලාපොරොත්තු වූයේද එවැනි දසුනකි. එහෙත් මෙහි තත්ත්වය ඉඳුරාම වෙනස් විය. හාස්‍යජනක කරුණනම් එක මගියකු සේපාල වෙතම පැමිණ "කවුද ප්ලේන එක හයිජැක් කරලා තියෙන්නේ !" යයි විමසීමයි. " මමත් මේ ඒ ගැන තමයි හොයන්නෙ." යැයි පවසා සේපාල එයින් මගහැරීය. 

පසු දින රාත්‍රියේ, නිතර කවුළු තුළින් අවට නිරීක්ෂණය කරමින් සිටි සේපාලට අමුතු දසුනක් දක්නට ලැබුණි. ඒ යානය දෙසට සෙමෙන් සෙමෙන් ඇදෙන කමාන්ඩෝ භටයන්ගේ දසුනයි. ඉතාලි රජය ලෙහෙසියෙන්ම යටත්වීමට සූදානම් නොවන බව සේපාලට වැටහුණි. වහාම නියමුවාට ඇමතූ සේපාල;

"ජොජෝ, ඔයා අද ගෙදරින් එනකොට මොකක් කියලද ආවෙ ? යන්නම් කියලද නැත්නම් ගිහින් එන්නම් කියලද ? "

"ගිහින් එන්නම් කියලා සේපාල."

"මමනම් යන්නම් කියලා ආවෙ, මොකද මට ආපහු ගෙදර යන එක ශුවර් නෑනෙ. ඔයා ගෙදරට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් කියලා ඔයාට විශ්වාසද ? "

"අපි දෙන්නා බොහොම සුහදව වැඩ කරනවනෙ සේපාල, ඉතින් මම හිතන්නෑ එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. "

"මගෙ නෙමේ ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝජෝ, පොඩ්ඩක් කව්ළුවෙන් බලන්නකො නැගෙනහිර පැත්ත, එතැන වෙන දේ නිසා සමහර විට ඔයාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වෙයි"

"මගෙන් අවසරයක් නැතුවයි මේ අය මේ එන්නෙ. මම ඒ ගොල්ලන්ව ඉවත් කරන්නම්"

"මටනම් ප්‍රශ්නයක් නෑ ජෝජෝ, මම යන්නම් කියලා ආපු මිනිහනෙ. ඒත් ඔයා ගිහින් එන්නම් කියලා ආපු එක්කෙනානෙ. ඒ වගේම, පළමු පහර දීම මගෙන් නෙමේ වෙන්නෙ, මොනවා වුණත් සේපාල තනියෙන් මැරුම්කයි කියලා නෙමේ, සියගාණක් මරාගෙන මැරෙයි කියලා පත්තර වල වැටෙයි."

එසැනින් ක්‍රියාන්විතය අවලංගු කෙරිණ.


~~~~~

අවසානයේදී, සේපාලගේ බිරිඳ සහ දරුවාද, ඉල්ලූ මුදලද බැංකොක් වෙත ලඟාවූ බව නියමුවා විසින් සේපාල වෙත දැනුම් දුන්නේය. කෙසේවෙතත්, සියල්ල එලෙසින්ම විශ්වාසයට ගැනීමට අදිමදි කල සේපාල, තමන්ට තම දරුවාගේ කට හඬ ශ්‍රවණය කිරීමට අවැසිබව දන්වා සිටියේය. ( පසුකලෙක ෆ්‍රී ඒකනායක, තමාට මෙම සිද්ධිය මතක බවද සඳහන් කළේය. ) සිය ඉල්ලීම් සියල්ල ලබාගත් පසු සේපාල විසින් යානය එහි මගීන් සමඟම නිදහස් කොට තමන්ද එයින් පිටත් විය.

මෙහිදී සේපාල හමුවට එන එවකට තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිනිය වූ, මානෙල් අබේසේකර මහත්මිය, ඔහුට නැවත කිසිදු බියකින් තොරව ශ්‍රි ලංකාව බලා යා හැකි බව දැනුම් දුන්නාය. ( මෙම ප්‍රකාශය ගැන පරස්පර විරෝදතා ඇති අතර, පසුකලෙක ඇය විසින් එය මෙසේ ප්‍රතික්ශේප කොට ඇත.) එබැවින් සේපාල විසින්, තමන් කලින් සැලසුම් කොට තිබූ ගමනාන්තය වෙනස් කොට ශ්‍රී ලංකාව බලා යාමට තීරණය කළේය.

සේපාල, 1982 ජුලි 02 වන දින සිය බිරිඳ සහ දරුවා සමගින් ලංකාවට පැමිනෙන්නේ රුහුණේ ජනතාව වෙතින් වීරයකුට ලැබෙන පිළිගැනීමක්ද සමගිනි. ඩොලර් 300,000/- ක්වු මුදලද කිසිඳු අවහිරයකින් තොරව රේගුවෙන් නිදහස් කරගන්නා සේපාල, ගුවන්තොටුපලේ සිට Ceylon Inter- Continental හෝටලය වෙත ගමන් කෙරුවේය.

මෙම සිද්ධිය විශ්ලේෂණය කොට බැලීමේදී, සමාජගතව ඇති ජනප්‍රිය මතය වන " සේපාල මේක කළේ දරුවා වෙනුවෙන්" ය යන්න බැහැර කිරීමට සිදුවේ. ඔහුට ඉතාලියට යාමට බාධවක් නොවුන බැවින් අවැසිනම් ඉතාලිය ගොස් දරුවා සමඟ විසීමට හෝ රැගෙන ලංකාවට පැමිණීමේ හැකියාව ඔහුට තිබුණි. මෙය තරුණ මදයෙන් හා උද්ධච්චකමෙන් මත්වූ තරුණයකුගේ ආවේගකාරී ක්‍රියාවක් යැයි පැවසීම වඩාත් සත්‍යයට ආසන්නයැයි සිතිය හැක. දරුවාව ඉල්ලා සිටීම මෙම ක්‍රියාවලිය නිසා හට ගන්නා අතුරු ප්‍රතිඵලයක් හේතු කොටගෙන ඇතිවූ තත්ත්වයක් පමණක් වේ. 

***************************************************************************************************************
***************************************************************************************************************

සිද්ධිය මෙසේ අවසන් වුවද, ඉතාලි රජය සහ ජාත්‍යන්තරය එය ලෙහෙසියෙන් අත්හැරීමට සූදානම් නොවීය. ශ්‍රි ලංකා රජයට බලකරමින් ඔවුන් දන්වා සිටියේ, සේපාලව  අත්අඩංගුවට ගෙන ඉතාලි රජයට බාර දිය යුතු බවයි. සුපුරුදු පරිධි සිය තර්ජනාංගුලිය දිගුකරමින් ලෝක පොලිස් කාරයා වූ ඇමරිකාව දන්වා සිටියේ, ශ්‍රි ලංකාව මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ශ්‍රි ලංකාවද ගුවන් මංකොල්ලකෑම් සම්බන්ධයෙන්, ලිබියා රාජ්‍යය ගණයේ රටක් ලෙස සැලකීමට සිදුවන බවයි. නැග එන ජාත්‍යන්තර පීඩනය හමුවේ ශ්‍රි ලංකාවද මේ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කළයුතු තැනට තල්ලුවෙමින් පැවතුනි.

1982 ජූලි 02 වන දින රාත්‍රී 0800 පමණ, විදේශ ඇමති A. C. Shaul Hamid සිය ජේෂ්ඨ නිළධාරි මණ්ඩලය, නීති උපදේශක වරුන්, විදේශ ලේකම් සහ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක  සිය නිළ නිවසට කැඳවන්නේ මේ තත්ත්වය හමුවේ යම් දෙයක් කලම යුතු වූ බැවිනි.

පැයක පමණ සාකච්චාවකින් පසු, කොළඹ දිශාව බාර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද සාකච්චාවට සහභාගී කරගැනිම සඳහා කැඳවන ලදී. මිනිත්තු 15 ක් පමණ කාලයකදී එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා අදාළ ස්ථානයට පැමිණුනි. අවෙලාවේ කැඳවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කොට සිටි, විදේශ ඇමති තුමා, කැඳවීමට හේතුව කෙටියෙන් විස්තර කරන ලදී. මෙය ශ්‍රි ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුවත් කළ මුල්ම අවස්ථාව විය.

මේ අතර සේපාල සිය බිරිඳ සහ දරුවා සමගින් Ceylon Inter- Continental හෝටලයේ 730 කාමරයේ නතරවී සිටි අතර, දෙස් විදෙස් මාධ්‍ය ඇතුළු, ඉතා විශාල පුද්ගල සංඛ්‍යාවක් ඔහුව හමුවීමට පැමිණෙමින් සිටියේය. කොටුව පොලිසිය සේපාලගේ සියළු කටයුතු සම්බන්ධයෙන් ඇස ගසාගන සිටි අතර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද දැනුවත් කොට තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඇමති තුමා ඇතුළු පිරිස, නවතම තත්ත්වය පිළිබඳව දැනුවත් කළහැකිවිය. ඇමති තුමා මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකොට සිටියේය.

අවසානයේදී, දීර්ග සාකච්චාවකින් පසුද, ගත හැකි ක්‍රියාමර්ගයක් නොදුටු ඇමතිතුමා, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහාතා දෙසට හැරෙමින්,

"ඇයි අපිට මේ මනුස්සයව අත් අඩංගුවට ගන්ඩ බැරි ? " යැයි ඇසීය.

" සර්, මේ සම්බන්ධයෙන් පුවත් පත් වාර්ථා මිස, මේ දක්වා කිසිදු පාර්ශවයකින් අපිට පැමිණිල්ලක් ලැබිලා නැහැ. අනිත් එක, ශ්‍රි ලංකා නීතියේ හැටියට ඔහු කිසිදු අපරාධයක් නොකරපු කෙනෙක් හැටියට තමා සලකන්ඩ වෙන්නේ, මොකද ගුවන් යානා මංකොල්ලකෑම් වලට එරෙහි නීතියක් මේ දක්වා ශ්‍රි ලංකාවේ සම්මත කරගන නැහැ."

මේ අවස්ථාවේදී එක් නීති උපදේශකයකු කතා කරමින්,

" සර් අපි මේ සම්බන්ධයෙන්, පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉක්මනින්ම සම්මත කරගමු."

"තමුසෙට පිස්සුද ? ඕකට සතිගානක් යයි. අනිත් එක විපක්ශෙන් අපිට හොඳ ප්‍රහාරයක් හම්බවෙයි, IATA සම්මුතියට අත්සන් කරපු වෙලාවෙම මේක සම්මත කරගතේ නැති එක ගැන." ඇමතිතුමා කෝපයෙන් උත්තර දෙයි.

මෙහිදී කතාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, "සර් මේකට සම්බන්ධ කුමන හෝ පාර්ශවයකට, මේ ගැන පැමිණිල්ලක් කරන්ඩ පුළුවන්නම්, මම වගකීම බාර අරගන ඔහුව අත් අඩංගුව ගන්නම්." තවදුරටත් කතාකරමින් ඔහු යොජනා කොට සිටියේ Alitalia ගුවන් සේවයේ අයිතිකරුවන් ලෙස, ඉතාලි රජය වෙනුවෙන්, ඉතාලි තානාපති මේ සම්බන්ධයෙන් පමිණිල්ලක් කරන්නෙනම් වඩාත් ප්‍රතිඵලදායක විය හැකි බවයි.

මෙහිදී දුරකථනය වෙත ගිය ඇමතිතුමා ඉතාලි තානාපතිවරයා අමතන්නට විය. " මිනිහා දැන්මම එන්නම් කිව්වා "  කියමින් ඇමතිතුමා දුරකථනය විසන්දි කළේය.

රාත්‍රී 11.00 ට පමණ ඉතාලි තානාපති Franco Micieli de Biase මහතා, එම ස්ථානයට ලඟාවිය. තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු, ඉතාලි තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට එකඟ වූ අතර, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා පසුදින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට ගොස් එම පැමිණිල්ල ලබා ගැනීමට එකඟ විය.

පසු දින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට වාර්ථාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා සහ කොටුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක George Nicholas මහතා පහත සඳහන් පැමිණිල්ල, ඉතාලි තානාපතිවරයා අතින් බාරගන්නට යෙදුනි.

Colombo, 2nd July 1982

"Ambasciata d'Italia
Colombo.

N. 1508

The Inspector General of Police,
Police Headquarters,
Colombo 1

Dear Sir,

Acting on behalf of the Italian Government, I wish to lodge a complaint with the Sri Lanka Police Authorities that the Sri Lankan national Sepala Ekanayake, born on 30.6.1947 at Matara, has hijacked an airplane (Flight No. AZ 1790) of Itali's national airline ALITALIA on 29.6.82 in Bangkok, Thailand, taking hostage of the crew and passengers and subsequently extorted and obtained a ransom of 300,000 US $ from the Italian Government for the release of such hostages and the aircraft.
On behalf of the Government of Italy, I kindly request the Sri Lanka Police Authorities to take necessary action under law against said Sepala Ekanayake for the crime committed and for the return of 300,000 US $ to the Italian Government.

Thanking you,

Yours sincerely,

Sgd/

(Franco Micieli de Biase)
Italian Ambassador

පරිවර්තනය.

1982 ජූලි 02

ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය
කොළඹ

අංක 1508

පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 1.

මහත්මයාණනී,

ඉතාලි රජය වෙනුවෙන් කටයුතු කරමින්, පහත සඳහන් පැමිණිල්ල ඔබ වෙත බාර දීමට මා බලාපොරොත්තු වෙමි.

1947 ජුනි 03 වන දින මාතරදී උපත ලද, ශ්‍රි ලංකිකයකු වූ, සේපාල ඒකනායක නැමැත්තා 1982 ජුනි මස 29 වන දින තායිලංතයේ බැංකොක් නුවරදී, ඉතාලි රජයට අයත් Alitalia AZ 1790 ගුවන් යානය එහි ගමන් ගත් මගීන්ද සමඟ පැහැරගෙන,  ඔවුන් සහ කාර්‍ය්‍යය මණ්ඩලය, ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඩොලර් 300,000/- කප්පම් මුදලක් ඉතාලි රජයෙන් ලබා ගැනීමට කටයුතු කොට ඇත.

ඉතාලි රජය වෙනුවෙන්, මා ශ්‍රි ලංකා පොලීසියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, කළ වරද සම්බන්දයෙන්, පවත්නා නීතිය යටතේ, සේපාල ඒකනායක නැමැත්තාට එරෙහිව නිසි පියවර ගෙන, ඩොලර් 300,000.00 මුදල නැවත ඉතාලි රජයට ලබාදීමට කටයුතු කරන මෙනි.

ස්තූතියි.

මෙයට විශ්වාසී,


Sgd/
(Franco Micieli de Biase)

ඉතාලි තානාපති.
---------------------------------

එම ලියවිල්ල නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස, පොත්වල සටහන් කිරීමෙන් පසු, එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතාට, නියෝග කරමින් කියා සිටින්නේ සේපාල ඒකනායකව වහා අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හමුවට පමුණුවන ලෙසයි.


මේ අනුව ක්‍රියාත්මක වන ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතා, සේපාල ඒකනායකව අත්අඩංගුවට ගැනිමට හෝටලයට ගියද ඔහුට දැනගනීමට ලැබෙන්නේ සේපාල ඒකනායක ඒ වනවිටත් සිය බිරිඳ හා දරුවා සමඟ හෝටලයෙන් පිටව ගොස් ඇතිබවයි. වැඩිදුරටත් සිදුකල පරික්ශණ වලින් දැන ගැනීමට ලැබෙන්නේ ඔවුන් ගාල්ල බලා ගමන් කොට ඇති බවයි. එදිනම සවස ගාල්ලේදී සේපාල ඒකනායකව අත්අඩංගුවට ගනු ලබයි.



මෙහිදී වහා ක්‍රියාත්මක වූ, ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය, සේපාලගේ බිරිඳව සහ දරුවාව, කඩිනමින් නැවත ඉතාලියට යැවීමට කටයුතු කරන ලදී.

සේපාල ඒකනායකව මෙසේ අත් අඩංගුවට ගත්තද ඔහුට එරෙහිව කටයුතු කිරීම්ට නීතියක් ශ්‍රි ලංකාවේ ඒ වන විට නොපැවති හෙයින්, සේපාලව අධිකරණය ඉදිරියට පැමිණවීමට පෙර එය සම්මත කර ගැනීම අවශ්‍යය විය.

එලෙස ගුවන් මංකොල්ලකෑම් වලට එරෙහි නීතිය, අතීතයටද බලපාන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කරගැනීමෙන් අනතුරුව, සේපාල ඒකනායකව, ඉහල උසාවියෙ විනිසුරු J.J.S.A ඩයස් උපවංශ යාපා මහතා ඉදිරියට පමුණුවන ලද අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ද නීතීඥ රන්බංඩා සෙනෙවිරත්න මහතා පෙනී සිටින ලදී.

නඩු විභාගය අවසානයේදී, සේපාල ඒකනායකට, පස් වසරක සිරදඩුවමක් හිමිවන අතර, 1987 දී ඔහු එයින් නිදහස් විය. පසුකලෙක සේපාල, ඉංග්‍රීසි ගුරුවරියක හා විවාහ වන අතර, ඔවුන්ගේ කැදල්ලට දරු දෙදෙනෙකුද එකතු වේ.

වයස 19 දී සිය පියා බැලිමට  ෆ්‍රී ඒකනායක ලංකාවට පැමිනෙන අතර, පිය පාර්ශවයෙන් ශ්‍රි ලංකිකයකු වන ෆ්‍රී, තමන් ලංකාවට හා එහි අහාර වලට රුචි බවද සඳහන් කරයි. අනාගතයේ දවසක කරුණු යෙදෙන ලෙස, සමහර විට තමන් ශ්‍රි ලංකාවේ පදිංචි වීමට පැමිණීම උවද විය හැකි බව ෆ්‍රී ඒකනායක සඳහන් කරයි. වැඩි විස්තර මෙතනින්.

වසර 16කට පසු හමුවූ පියා සහ පුතා
ෆ්‍රී සිය සොයුරු සොයුරියන් සමඟ

එදා මෙදා තුර ගුවන් යානා මංකොල්ලාකෑම් ඉතිහාසය පරික්ෂා කිරීමේ දී, දේශපාලනික නොවූ හේතුවක් පදනම් වූ, එකම ගුවන් යානා මංකොල්ලය, සේපාල ඒකනායක විසින් සිදුකල ගුවන් කොල්ලය සේ සැලකිය හැකිය. එසේම ගුවන් යාන මංකොල්ලයක් සිදුකල ප්‍රථම සහ එකම ශ්‍රි ලාංකිකයා ලෙසද සේපාල ඒකනායක ඉතිහාසයට එක්වේ.


පසු සටහන :

මෙහි එන සමහර දෙබස් සහ අවස්ථා, එලෙස සිදුවන්නට ඇතැයි උපකල්පනය කොට මනඃකල්පිතව යොදන ලදී. ඒවා සත්‍යය සිද්දියෙන් මදක් බැහැර විය හැකි බව කරුණාවෙන් සළකන්න.

මූලාශ්‍ර;

http://lankanews.org/?p=1019
http://www.hirunews.lk/sinhala/37735


විශේෂ ස්තූතිය;
මුළින් ලියවුන, සදොස් බහුල ලිපිය කියවා, ඒ ගැන සිය අදහස් ප්‍රකාශ කොට, වඩා නිවැරදි තොරතුරු අඩංගු සබැඳියක් ලබා දුන්, හරී ට. 

සැකසුම:
~~සෙන්නා / 07.02.2013

Friday, February 1, 2013

බිනර මහේ එක් දවසක්


2013 නවම් මස 01 වනදා

බ නිමිති විශ්වාස කරන්නෙහිද ? අපේ වැඩිහිටියන් ගමනක් යන්න පිටත්වන විට හූනෙක් හැඬීම, බල්ලකු කන්පට ගැසීම, පය පැටලී වැටීමට යාම ආදී හේතු නිසා ගමන ටිකකට කල්දමා හෝ අවලංගු කොට දමන්නේ හුදු මිථ්‍යා විශ්වාසයන් නිසාම පමණක් විය හැකිද ? නැතිනම් එහි ගත යුත්තක් තිබේද ? සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, නිමිති විශ්වාස කළේනම් ඔහුට ගැලවෙන්න වුණත් තිබුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් වෙන්ඩ තියන දේ කොහෙ හිටියත් වෙනවා කියන තර්කය බැලුවම නැවතත් නිමිති විශ්වාස කිරීම තේරුමක් නැති වැඩක් කියන මතය ඉදිරියට එනවා.

~~~~~

දරුවට අසනීපයි කියලා සිය බිරිඳ සමඟින් ආපසු නිවසට පැමිණි ඔහු, දරුවගේ තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් දැනුම්දුන් විට ආපහු පිටත් වුණේ බිරිඳව දරුවා සමඟ නතර කරලා. ඔහුව දුම්රිය පළට ඇරලවන්න පමණක් ඇය ඔහු සමඟ ගියා. වාසනාවකට ඔවුන් දුම්රිය පළට ළඟාවන විටත් ඔහුගෙ දුම්රිය පිටත් වෙලා. ඒහෙත් ඒ වාසනාව, වාසනාවක් බවට පෙරලගන්න තරම් ඔහු වාසනාවන්ත වුනේ නෑ.  ඔහුගෙ අදහස වුණේ එදා රෑ නිවසේ නතර වෙලා නැවත පහුවදා පිටත්වීම. ඒත් ඔහුගේ පමාව නිසා කණ්ඩායමේ ප්‍රශ්නයක් ඇතිවෙතැයි සිතු සිය බිරිඳ යෝජනා කළේ  "නෑ අපි ඊළඟ දුම්රියපළට යමු" කියලා. අධික වේගයෙන් රථය පදවා අවසාන තත්පරයේදී ප්‍රවේශ පතක්ද නොගෙන සිය අවසානය කරා ඔහුව රැගෙන ගිය දුම්රියට ඇතුල් වීමට ඔහු සමත් වුණා. ඒ ඇය ඔහුව පියවි ඇසින් දුටු අවසන් වතාවයි. දරුවගෙ අසනීපය නිසා නැවත එන්න වීම සහ ආපසු යන විට දුම්රිය මග හැරීම වැනි දේවල් ඔහුට එම ස්ථානයෙන් ඉවත්ව සිටින ලෙස පෙන්නුම් කරණ ලද අසුභ නිමිතිද ? 

~~~~~

අන්කී ස්පිට්සර්ට මේ ගැන පැවසීමට ඇති දෑ කොහෙත්ම සුළුකොට තැකිය නොහැකිය. ඒ ඇය මෙම ඛේදවාචකයේ එක් වින්දිතයකුගේ බිරිඳ වූ නිසාම පමණක් නොව, එයින් පසු සත්‍ය හෙළිකර ගැනීමටත්, ඔවුන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලබාගැනීම උදෙසාත් ඇය උදක්ම වෙහෙසුන නිසාය.



" අපේ විවාහ ජීවිතය යාන්තම් අව්රුද්දකුත් මාස තුනකට පමණක් සීමාවුන එකක්.  ඒත් ඒ කෙටි කාලය තුළ ඔහු මා කෙරෙහි ඇතිකළ බලපෑම අති විශාලයි. සමහර වෙලාවකට මට හැඟෙනවා ඔහු මුලු ජීවිත කාලෙම මා සමඟ ගතකරපු බවක්. මට න්ඩ්‍රේව මුලින්ම හමුවෙන්නෙ මම කඩු හරඹ ඉගන ගන්න ගිය වෙලාවෙ. ඔහු තමා මගෙ පුහුණුකරු වුණේ. මම දැනගෙන හිටියෙ නෑ ඔහු ඊශ්‍රායෙල් ජාතිකයෙක් බව. ඔහු ඕලන්ද බස අමුතුම ඌරුවකට හැසිරුවේ. ඉතින් මම හිතුවෙ ඔහු නැගෙනහිර යුරෝපියානු රටක කෙනෙක් වෙන්න ඇති කියලා. ඔහු පුදුම විදිහට නිවුන කෙනෙක්. තමන් අවට සිටි අය සමඟ බොහොම සුහදව කටයුතු කරපු කෙනෙක්. මම එතරම්ම නිවුන ගති තිබුණ කෙනෙක් නොවුන නිසා, ඒ ගති ගුණ වලට මම නිකන්ම ආකර්ෂණය වුණා. ඔහු වගේ අයෙක් සමඟ ආදරයෙන් බැඳීම වැළැක්වීම ඇත්තෙන්ම අමාරු කාරියක්. "

විවාහයෙන් පසු අන්කී සහ අන්ඩ්‍රේ ඊශ්‍රායෙලය හා ලෙබනනය අතර වූ දේශසීමාවෙහි පදිංචියට පැමිණියහ. වසරකට මදක් වැඩියෙන් එහි ගත කාලය කෙතරම් දුෂ්කර වූවත් අන්කී අදටත් එම කාලය සිය ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය ලෙසින් හදුන්වනීය. එහිදී අන්ඩ්‍රේ නවකයන්ට කඩු හරඹ ක්‍රීඩාව පුහුණු කරමින් නගරයෙන් නගරයට සැරි සැරුවේය. ඔහුගේ අරමුණ වූයේ ප්‍රතිවාදීන්ට ගරු කරමින් කඩු හරඹ ක්‍රීඩාවේ නියැලීමේ කලාව නවකයනට පුහුණු කිරීමයි. වයස 27ක් වන විට අන්ඩ්‍රේ ඊශ්‍රායලයේ ප්‍රධානම කඩු හරඹ පුහුණුකරු බවට පත්විය. එපමණක් නොව ඔහු ඊශ්‍රායලයේ ජාතික කඩු හරඹ ඇකඩමිය ආරම්භ කිරීමටත් මුල්වී ක්‍රියා කළ අයවලුන්ගෙන් කෙනෙකි. එසේම වින්ගේට් ක්‍රීඩා පුහුණු ආයතනයේ ප්‍රධාන කඩු හරඹ පුහුණුකරු තනතුරද හෙබවීය.

"ඔහුගෙ එකම සිහිනය වුණේ ඔලිම්පික් උළෙලකට සහභාගී වීම. මම හිතන්නෙ සෑම මලල ක්‍රීඩකයෙකුගෙම එකම අභිලාෂය එයයි. " - අන්කී ස්පිට්සර්

එම සිහිනය මල්ඵල ගන්වමින් 1972 මියුනික් ඔලිම්පික් උලෙළේ ඊශ්‍රායෙල් කණ්ඩායමේ කඩු හරඹ පුහුණු කරු ලෙස සම්බන්ධවීමේ භාග්‍යය ඔහුට හිමි විය. භාග්‍යයක් ලෙසින් වෙස් වළාගෙන තමන් වෙත පැමිනුනේ ඉමහත් අභාග්‍යයක් බව තේරුම් ගැනීමට ඔහුටවත්, ඔහු අවට සිටි කිසිවකුටත් හැකියාවක් නොතිබුණි.

අන්ඩ්‍රේට සහ අනෙකුත් ඊශ්‍රායෙල් ක්‍රීඩකයනට 1972 මියුනික් ඔලිම්පික් උළෙල විශේෂ අවස්ථාවක් වූහ. ඒ මන්දයත් එය පැවැත්වූයේ වසර 30කටපමණ පෙර යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමේ මෙහෙයුමක් දියත් කළ ජර්මානු බිමෙහි වීම නිසාය. මියුනික් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවයේදී ඊශ්‍රායෙල් කණ්ඩායම සිය ධජය සෙවණේ ගමන් කිරීම සැබැවින්ම හැඟීම් බර අවස්ථාවක් විය. එය ක්‍රීඩාවෙහි ජීව ගුණයට කළ හැකිදෑ ලොවටම පෙන්වූ එක් සොඳුරු මොහොතක් ලෙස ඉතිහාසයේ ලියවී ඇතිවාට නොඅනුමානය.

බටහිර ජර්මන් බලධාරිනට මෙම ඔලිම්පික් උලෙළ මිත්‍රශීලී පරිසරයක් තුළ පැවැත්වීමේ දැඩි වුවමානාවක් වූහ. ඒ දෙවන ලෝක යුද්ධයෙන් ඇතිවූ කැලැල් මකා දැමීමේ සහ විශේෂයෙන්ම 1936 දී බර්ලින් නුවර පැවැත්වූ ඔලිම්පික් උළෙල නාසීන් විසින් සිය ප්‍රචාරණ යාන්ත්‍රණය උදෙසා අවභාවිතා කිරීමේ කැළල මකා ගැනීම උදෙසාය. ඒ සඳහා ඔවුන් ලිහිල් ආරක්ෂණ පටිපාටියක් අනුගමනය කිරීම කෙරෙහි උත්සුක වූහ. එය කෙතරම් ලිහිල් වීද යත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසි හැදුනුම් පත් නොමැතිවම ඔලිම්පික් ගම්මානයෙන් පිටතට ගොස් පැමිණීම දක්නට ලැබුණි. එමෙන්ම බොහොමයක් ක්‍රීඩකයන් ආරක්ෂක පරික්ෂණ ස්ථාන මග හැර ගම්මානය වටෙහි වූ යකඩ දැලෙන් පැන ඇතුල් වීම හා පිටවීමද සුලභ දසුනක් විය. ආරක්ෂක බලධාරින්ද එවැනි කරුණු පිළිබඳ එතරම් තැකීමක් සිදු නොකළහ. ආරක්ෂාව වෙනුවෙන් 2000 ක පමණ බට පිරිසක් සිටියද ඔවුන් ආයුධ වලින් සන්නද්ධව නොසිටියහ.

මෙම අනාරක්ෂිත තත්ත්වය හා තම කණ්ඩායමට ලැබී තිබුණ නවාතැන් පහසුකම් පිහිටි ස්ථානය පිළිබඳවද ඊශ්‍රායෙල් කණ්ඩායමේ ප්‍රධානී සැමුවෙල් ලාල්කින්, කණ්ඩායම මියුනික් නුවරට පැමිණීමටත් ප්‍රථමම සිය අප්‍රසාදය බටහිර ජර්මන් බලධාරින් වෙත පළකොට තිබුණි. ඔලිම්පික් ගම්මානයේ පාළු පෙදෙසක, ගේට්ටුවක් අසල පිහිටා තිබූ සිය කණ්ඩායමේ නිවස්නයට පිටතින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතිවිය හැකි බව ඔහු විසින් බටහිර ජර්මානු බලධාරින්ගේ අවධානයට යොමු කරවීය. ඔවුනට ඇවැසි ආරාක්ෂාව තර කරන බවට බටහිර ජර්මානු බලධාරින් පොරොන්දු වුවද ඒම පොරොන්දුව ඉටු වූවාදැයි ලාල්කින්ට ඇත්තේ සැකයක්ම පමණකි.

~~~~~

ජමාල් අල් ගාෂේගෙ කථාවත් කිසිසේත්ම නොසලකා හැරිය නොහැක්කේ ඔහු මෙම ඛේදවාචකයේ අමතක කළ නොහැකි චරිතයක් බැවිනි. මෙහිදී ඔහු විසින් නියෝජනය කරනු ලබන්නේ ඝාතකයන්ගේ පාර්ශවයයි. මෙහෙයුමට සම්බන්ධවූ අයගෙන් අදටත් ජීවතුන් අතර ඇතැයි සැලකෙන්නේ ජමාල් පමණකි.

" මම, යුදෙව් මැර කණ්ඩායමක් විසින් 1948දී ගලීලයේ තිබුණ අපේ ගම්මානයෙන් පලවා හැරපු පලස්තීන පවුලක දරුවෙක්. අපේ පවුල සරණාගතයන් වශයෙන් කඳවුරෙන් කඳවුරට මාරුවෙවී තමා ජීවත් වුණේ. අවසානයට නතර වුණේ බීරුට් වල තිබුණ "චතිලා" කඳවුරේ. වයසින් මුහුකුරා වැඩෙත්ම මට තේරුණා අපි පලස්තීනයට නැවත නොගියොත් අපට අනාගතයක් නැහැයි කියලා. ඒක නිසයි මම නිදහස් ව්‍යාපාරෙට සම්බන්ධ වුණේ. අපිට තුවක්කුවක් දීලා ඒක පාවිච්චි කරණ පිළිවෙලා කියලා දුන්නා. ඒකෙන් තමයි මට ජීවිතයේ ප්‍රථම වතාවට යමක් කළ යුතුයි හා හැකියි යන හැඟීම ඇතිකරනු ලැබුවේ, මම කඳවුරක ඉන්න දුක්ඛිත සරණාගතයෙක් නොව විප්ලවයකට සහභාගී වන නියම පලස්තීන සටන්කාමියෙක්ය කියන හැඟීම ඇතිකරන ලැබුවේ."

ලෙබනන් වල පැවැත්වූ පුහුණු වීම කඳවුරු කිහිපයකට සහභාගී වූ ජමාල්ව සිය නායකත්වය විසින් විශේෂ පුහුණුවක් සඳහා ලිබියාව වෙත යවන ලදී. එහිදී ඔවුන් මසක පමණ කාලයක් අති දුෂ්කර පුහුණුවක් ලැබූහ.

~~~~~

1972 අගෝස්තු 26 වැනි දින ඇරබුණු විසිවන නූතන ඔලිම්පික් උළෙල ජර්මනියේ මියුනික් නුවර ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ඇමෙරිකානු පිහිනුම් ශූර මාර්ක් ස්පිට්ස් රන් පදක්කම් හතක් දිනා තැබූ ලෝක වාර්තාවත්, සෝවියට් ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඔල්ගා කෝර්බට් දැක්වූ දක්ෂතාත්, ඇමෙරිකාව පරදවා සෝවියට් දේශය බාස්කට්බෝල් වලින් ලද තියුණු ජයග්‍රහණයත් ඒ වන විට ලොවෙහිම අවධානය දිනාගනිමින් ඔලිම්පික් උළෙල වර්ණවත් කොට තිබුණි. එහෙත් මේ සියලු වර්ණ බොඳකොට ලොවෙහිම අවධානය තමන් වෙත ඇද ගැනීම සඳහා පිරිසක් කැසකවමින් සිටි බව කිසිවෙකුත් නොදැන සිටියහ. බටහිර ජර්මානු බලධාරිනට ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබී තිබුණද එය කිසිසේත්ම නොතකා බැහැර කෙරුණේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නොමැත.

දුෂ්කර ව්‍යායාමයකින් මගහැරුණු දුම්රියට ගොඩවී සිය අවාසනාව තුරුළු කරගත් ඊශ්‍රායෙල් කණ්ඩායමේ කඩු හරඹ පුහුණුකරු වූ අන්ඩ්‍රේ ස්පිට්සර්, 1972 සැප්තැම්බර් මස 04 වන දින රාත්‍රියේ ඔලිම්පික් ගම්මානයට නැවත ළඟාවිය. එදින රාත්‍රියේ ඊශ්‍රායෙල් කණ්ඩායම Fiddler on the Roof සංගීත නාටකයේ දර්ශනයක් නැරබීමට ගොස් පසුව එහි නළුවකු වූ සැමුවෙල් රොඩෙන්ස්කි සමඟින් රාත්‍රී භෝජනයද ගෙන නැවත සිය නිවස්නයට පැමිණෙන විට මාධ්‍යම රාත්‍රිය පමණ වී තිබුණි. කණ්ඩායමෙන් 11 දෙනෙකු, ඒ සිය ජීවිතයේ අවසාන රාත්‍රී භෝජනය බව නොදැන සිටියහ.

~~~~~

ජමාල්ද ඇතුළුව තිදෙනෙක් ලිබියාවේ සිට මියුනික් නගරය වෙත සේන්දු වූයේ මෙහෙයුමට දින දෙකකට කලිනි. ඔවුන් නවාතැන්ගත් හෝටලයේදී තවත් පස් දෙනෙකුගෙන් සැදුම් ලද කණ්ඩායමක් ඔවුන් හා එකතු වූහ. පසු දින එනම් සැප්තැම්බර් 04වන දින ඔවුන් අත්පන්දු තරග කිහිපයක් බලමින් සැහැල්ලු ලෙස කාලය ගෙවා දැමූවේ ඒ වනවිටත් මෙහෙයුම පිළිබඳ තොරතුරු හා එහි සැලසුම් පිළිබඳව ඔවුන්ව සිය නායකත්වය විසින් දැනුවත් කොට නොතිබුණ බැවිනි.

එදින රාත්‍රියේදී ආහාර ගැනීම උදෙසා ඔවුන් දුම්රිය පළෙහි වූ ආපනශාලාවක් තෝරා ගැනුණි. එහිදී හමුවූ සංවිධානයේ නායකයකු විසින් ඔවුනට මෙහෙයුම පිළිබඳ සියලු තොරතුරු නිරාවරණය කරන ලදී. ඒ පිළිබඳ සිය අදහස් දක්වන ජමාල්;

"ප්‍රථම වතාවට ඊශ්‍රායෙල් ජාතිකයන් හා මුහුණට මුහුණ මුණගැසීමේ අවස්ථාව උදාවීම පිළිබඳව මම සැබවින්ම ආඩම්බර වූණා. "

ඔවුන්ව හඳුනාගැනීම වැළැක්වීමේ අරමුණින් නායකත්වය විසින් ඔවුන්ගේ ගමන් බලපත්‍ර හා අනෙකුත් ලියකියවිලි තමන් සන්තකයට ගෙන කණ්ඩායම ඔලිම්පික් ගම්මානය බලා පිටත් කරවීය. කණ්ඩායම ඔලිම්පික් ගම්මානයේ වූ වැටෙන් පැනීමට යන විට ඔවුනට, පිටතට ගොස් නැවත පැමිණෙමින් සිටි ඇමෙරිකානු ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් හමු වූහ. ( මෙම කණ්ඩායම සැබවින්ම කැනේඩියානු කණ්ඩායමේ පිරිසක් බව පසුව අනාවරණය විය. ) අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැටෙන් ඇතුළට පැනගත් කණ්ඩායම් දෙක එකිනෙකාට සුබ පතා වෙන්ව ගියහ.

දිනකට කලින් ත්‍රස්ත කණ්ඩායමේ නායකත්වය නැගෙනහිර ජර්මානු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ ආධාරයෙන් ගම්මානයට ඇතුල්වී අධ්‍යයනයක් සිදුකොට තිබුණ බැවින් ඔවුන් වැරදීමකින් තොරව කෙළින්ම ඊශ්‍රායෙල් කණ්ඩායමේ නිවස්නය වූ අංක 31 දරණ ගොඩනැගිල්ල බලා ගමන් කළහ. එවිට වේලාව සැප්තැම්බර් මස 05වන දින අළුයම හතරයි තිහ පසුවී තිබුනි. ඔවුන් ක්‍රීඩකයන් ලෙසින් සැරසී ක්‍රීඩා ගමන් මලු තුළ සැගවූ අවි ආයුධ අතදරා සිටියහ. කණ්ඩායමේ එකිනෙකාට පැවරුණු වගකීම් තිබූ අතර ජමාල්ට පැවරී තිබුණේ අනෙක් අය ගොඩනැගිල්ල ඇතුළට ගිය පසු පිටතින් මුර කිරීමේ කාර්යයයි.

ඊශ්‍රායෙල් නිවස්නය කොටස් පහකින් සමන්විත විය. පළමු කොටසෙහි වූයේ කණ්ඩායම් විනිසුරුවන්  හා පුහුණුකරුවන්ය. ත්‍රස්තයන්ගේ ඇතුල්වීමෙන් ඇතිවූ සිහින් සීරිම් ශබ්දයක් හේතු කොටගෙන අවදි වූ මල්ලවපොර විනිශ්චකරු යෝසෙෆ් ගට්ෆ්‍රෙන්ඩ් සෙමෙන් විවරවෙන දොර තුළින් පිටත සිටි මුහුණු ආවරණ පැළදගත් තුවක්කු කරුවන්ව දැකීමත් සමඟම දොර වැසීමට අසාර්ථක උත්සහයක් දරමින් සිය සගයනට අනතුරු හඟවමින් කෑගැසීය. ඔහුගේ මෙම ක්‍රියාව නිසා ගට්ෆ්‍රෙන්ඩ්ගේ එක සගයකු වූ බර ඉසිලීම් පුහුණුකරු ටුවියා සොකොලොව්ස්කිට ජනේලයෙන් පැන යාමට හැකියාව ලබා දුනී. මල්ලවපොර පුහුණුකරුවකු මෝෂේ වයින්බර්ග් විසින් ත්‍රස්තයන් සමඟ පොර බැදූ නමුත් කම්මුල හරහා එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ඔහු අඩපණ විය. ඉන්පසුව ඔහුව තවත් ප්‍රාණ ඇපකරුවන්ව අල්ලා ගැනීම සඳහා බලහත්කාරයෙන් පෙරටුකොට ගන්නා ලදී. මෙහිදී වයින්බර්ග් විසින් ත්‍රස්තයන්ව දෙවන කොටසට රැගෙන නොගොස්, මල්ලවපොර හා බර ඉසිලීම් ක්‍රීඩකයන් නැවතී සිටි තෙවන කොටසට යන්නට ඇත්තේ ඔවුනට ත්‍රස්තයන් වෙත සටනක් දීම පහසු වෙතැයි සලකා බව අනුමාන කළ හැකිය. එහෙත් ඔවුන් අධික නිදිමත නිසා තුශ්නිම්භූතව සිටියහ. තෙවන කොටසින් තවත් ප්‍රාණ ඇපකරුවන් සිය ග්‍රහණයට ගත් ත්‍රස්තයන් ඔවුන්ව රැගෙන නැවතත් පළමු කොටසට පැමිණියහ. මෙහිදී තුවාල ලබා සිටි වයින්බර්ග් විසින් ත්‍රස්තයන් වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල කළේය. වෙඩිතබා ඝාතනය කිරීමට පෙර, ඔහු විසින් එක ත්‍රස්තයකුට සිහි නැතිවන සේ පහර දුන් අතර තවත් ත්‍රස්තයෙකුට පිහියකින් පහරදී තුවාල සිදු කළේය. එසේම බර ඉසිලුම් ක්‍රීඩක යෝසෙෆ් රොමානෝද එක් ත්‍රස්තයෙකුට පහර දී තුවාල සිදු කළේය. ඔහුවද වෙඩි තබා ඝාතනය කරණ ලදී. මෙම අවසරයෙන් මල්ලවපොර ක්‍රීඩක ගෑඩ් සභාරි හට ගැලවී පැනගැනීමට හැකියාව ලැබුණි. මෙලෙස,  "බ්ලැක් සෙප්ටෙම්බර් " සංවිධානයයැයි තමන්ව හදුන්වා ගන්නා ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් පිරිසක් විසින් ඊශ්‍රායෙල් කණ්ඩායමේ දෙදෙනෙකුව ඝාතනය කොට නව දෙනෙකුව ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. ප්‍රාණ ඇපකරුවන් නව දෙනා පහත පරිදි වේ;

1. මල්ලවපොර විනිශ්චකරු යෝසෙෆ් ගට්ෆ්‍රෙන්ඩ්
2. වෙඩිතැබීම් පුහුණුකරු කෙහාට් සෝර්
3. ජවන හා පිටිය තරඟ පුහුණුකරු අමිට්සර් ශපිරෝ
4. කඩු හරඹ පුහුණුකරු ඔන්ඩ්‍රේ ස්පිට්සර්
5. බර ඉසිලිම් විනිසුරු යකොව් ස්ප්‍රින්ගර්
6. මල්ලවපොර ක්‍රීඩක එලීයේසර් හල්ෆින්
7. මල්ලවපොර ක්‍රීඩක මාර්ක් ස්ලේවින්
8. බර ඉසිලුම් ක්‍රීඩක ඩේවිඩ බර්ගර්
9. බර ඉසිලුම් ක්‍රීඩක සීයව් ෆ්‍රීඩ්මන්

සැප්තැම්බර් 05වනදා ලෝකය අවදි වූයේ මෙම ඛේදවාචකයේ ආරංචියෙනි. අන්‍යයන්ගේ අවධානයට හසුවනු පිණිස ත්‍රස්තයන් විසින් ගොඩනැගිල්ලෙන් පිටතට දමාතිබූ වයින්බර්ගගේ මෘත දේහය පොලීසිය විසින් සොයාගැනීමත් සමඟම සිද්ධිය ලැව් ගින්නක් සේ පැතිරෙන්නට විය.

"මම නිදාගන හිටියෙ. මගේ අම්මලා මා ළඟට ඇවිත් කිව්වා ඊශ්‍රායෙල් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වෙලා තියන බවත් බොක්සිං පුහුණුකරුව ඝාතනය කොට ඇති බවත්. මම දැනගෙන හිටියා කණ්ඩායමේ බොක්සිං පුහුණුකරුවෙක් නොසිටිය බව. එහෙනම් මේ කොයි පුහුණුකරු වෙන්න පුළුවන්ද ? සමහර විට ඒ අන්ඩ්‍රේ වෙන්න පුළුවන් කියලා මට හිතුණා." අන්කී ස්පිට්සර්

විය යුතු පරිදිම මුලින් මුලින් ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ ලැබුණු ආරංචි නිවැරදි නොවීය. විටෙක එය දාසයක් වන විට තවකෙකු එය දහතුනක් යැයි පැවසීය. පසුව එය නවය බවට නිවැරදි විය.

"කිසිවකුට හරියටම කියන්න බැරිවුණා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. අන්ඩ්‍රේ මෙම ප්‍රාණ ඇපකරුවන් අතරද ? නැත්නම් ඔහුට පැනගන්න ඉඩ ලැබිලද ? කියලා ඒ මොහොතෙදි කිසිවෙකුටත් හරියටම කියන්න පුළුවන් කමක් තිබුණෙ නෑ" - අන්කී ස්පිට්සර්.

සිද්ධිය නිතැතින්ම මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ගේ උරහිස මතට පැටවිණි. වහාම ඔහුගේ නායකත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණි. ශ්‍රයිබර්ට වැඩි වේලාවක් බලාසිටීමට සිදු නොවුණි. ත්‍රස්තයන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් උදෑසන හය වන විට ඉදිරිපත් කොට තිබුණි. ත්‍රස්තයන්ගේ ඉල්ලීම වූයේ, ඊශ්‍රායලයේ, ජර්මනියේ හා අනෙකුත් රටවල රඳවා සිටි 234ක්වූ පලස්තීන හා අනෙකුත් විප්ලවීය සටන්කරුවන් නිදහස් කරන ලෙසයි. ඒ සඳහා එදින දහවල් 1200 වන තෙක් ඔවුනට වේලාව ලැබුණි. එසේ කිරීමට අසමත් වුවහොත් ප්‍රාණ ඇපකරුවන්ව ඝාතනය කෙරෙනු ඇත.

ශ්‍රයිබර් සමඟ ඊසා
ත්‍රස්තයන්ගේ ඉල්ලීම් පිළිබඳව ඊශ්‍රායෙල් රජයේ තීරණය ක්ෂණික හා නිශ්චිත එකක් විය. එනම්, කිසිදු තත්ත්වයක් යටතේ ත්‍රස්තයන් සමඟ ගනු දෙනු කිරීමක් සිදු නොකරන බවයි. එවකට ඊශ්‍රායෙල් අගමැතිනී ගෝල්ඩා මේයර්ගේ අදහස වූයේ එවැනි ගනු දෙනු කිරීමක් අනාගත ප්‍රහාරයන් සඳහා භායානක උත්තේජනයක් සැපයිය හැකි බවයි. එවැනි ගනු දෙනු කිරීමක් මගින් මෙලොවෙහි සිව් දිගම වෙසෙන යුදෙව්වන්ගේ අනාගතය අනාරක්ෂිත වන බව ඊශ්‍රායෙල් රජයේ විශ්වාසය විය.

ත්‍රස්තයන්ගේ නායකයා ලෙසින් පෙනී සිටියේ සුදු ඇඳුමකින් සැරසුණු ලතීෆ් අෆීෆ් හෙවත් ඊසා යනුවෙන් තමාව හඳුන්වා ගත් පුද්ගලයෙකි. මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ට අනුව ඊසා යනු බොහෝ තැන්පත්, අධිෂ්ඨානශීලී, සිය විශ්වාසයන් කෙරෙහි ඉමහත් භක්තිමත් පුද්ගලයෙකි. මියුනික් ඔලිම්පික් ගම්මානයේ නගරාධිපති වූ වෝල්ටර් ට්‍රෝජර් පවසන්නේ තමන් ඊසාට ඔහු කළ දේ නිසා අකමැති වුවද, වෙන අවස්ථාවක ඔහුව මුණගැසුනේ නම් ඔහුට ප්‍රියතාවයක් දැක්වීමක් සිදුවිය හැකි තරමට ඔහු ප්‍රියමානාප පුද්ගලයෙක් වූ බවයි. ඊසා, තමන්ව හඳුනා ගැනීම දුෂ්කර කිරීමේ අරමුණින් සිය මුහුණේ සපත්තු ඔපවර්ධක තවරාගෙන සිටියේය. ඊසාගේ සහෝදරයන් තිදෙනෙක්ද "බ්ලැක් සෙප්ටෙම්බර්" සංවිධානයේ සාමාජිකයන් වූ අතර දෙදෙනෙක් ඒ වෙන විටත් ඊශ්‍රායෙලයේ සිරගත වී සිටියහ.

ඊසා

ඊශ්‍රායලයේ ස්ථාවරය දැන ගත් සැණින්, මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්, මියුනික් ඔලිම්පික් ගම්මානයේ නගරාධිපති වෝල්ටර් ට්‍රෝජර් සහ තවත් ජර්මානු දේශපාලඥයන් කිහිප දෙනෙක්ම ත්‍රස්තයන් හා සාකච්ඡා කොට සිද්ධිය ගොඩින් සමථයකට පත් කර ගැනීමට උත්සහ කළහ. සාකච්ඡාකරුවන් ත්‍රස්තයන් පිළිබඳ කිසිම නිවැරදි තොරතුරක් නොදැන සිටි අතර වරින් වර ඔවුන් ඉදිරියේ පෙනී සිටි ඊසාත් ඇතුළු ත්‍රස්තයන් තිදෙනා පිළිබඳව පමණක් ඔවුන් දැන සිටියහ. අඩුම තරමින් අභ්‍යන්තරයේ ත්‍රස්තයන් කී දෙනෙකු සිටිනවාදැයි යන්නත් ඔවුනට ප්‍රහෙලිකාවක් විය.

වෝල්ටර් ට්‍රෝජර්
ප්‍රාණ ඇපයට ගැනීමේ සටනේදී තවත් ඊශ්‍රායෙල් ජාතිකයකු මිය ගිය බවට ඊසා විසින් සාකච්ඡාකරුවන් වෙත දන්වා සිටියේය. එහෙත් ඔහුගේ නම හෙළිකිරීම හෝ ඔහුගේ සිරුර ඉවත් කිරීමට ඉඩ දීම, ඉල්ලා සිටි සියලුම පලස්තීන සිරකරුවන්ව නිදහස් කරන තෙක් ඊසා විසින් තරයේ ප්‍රතික්ෂේප කෙරිණි.

මෙම සිද්ධිය නිසා ජර්මානු රජය තවත් අපහසුතාවයට පත්වූයේ ප්‍රාණ ඇපකරුවන් යුදෙව්වන් වීම හේතුකොටගෙනය. යුදෙව්වන් හා බැඳුණු සිය අඳුරු අතීතය අමතකකොට නැවත ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස හිස එසවීමට දගලන ජර්මනියට මෙම තත්ත්වය එතරම් සුවදායක නොවීය. ජර්මානු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර්ගේ මෙම ප්‍රකාශය එයට කදිම නිදසුනකි.

"සාකච්ඡා මඟින් ගැටලුව නිරාකරණය කරගැනීම අසාර්ථක වෙන බව තේරුණු පසු මම කිව්වා ඔවුන්ගේ නායකයාට " ඔබ දන්නවානේ අපේ පහුගිය අතීතය පිළිබඳව, ජර්මානුවන් කොහොමද යුදෙව්වන්ට සැලකුවෙ කියලා, ඔබ තේරුම් ගන්න ඕනා මේ තත්ත්වය අපිට ප්‍රායෝගික ගැටලු කිහිපයක්ම ඇති කරවනවා" කියලා. තව, මම ඔහුට කිව්වා ඔවුන්ට යන්න දීලා ඒ වෙනුවට මාව ප්‍රාණ ඇපයට ගන්න කියලත්. නමුත් ඔහු ඒ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවා."

තවද ජර්මානු රජය විසින් ත්‍රස්තයනට සීමා රහිත මුදල් ප්‍රමාණයක් ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ලබා දීමටද ඉදිරිපත් විය.

"ෆෙඩරල් සහ බවාරියා රජයන් වෙනුවෙන් කටයුතු කරමින්, මම ත්‍රස්තයන් වෙත, ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගැනීම වෙනුවෙන් සීමා රහිත මුදල් ප්‍රමාණයක් පිරිනැමීමට යෝජනා කළා. නමුත් ඔවුන් එය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් හෝ ප්‍රාණ ඇපකරුවන් ආදේශ කිරීමක් පිළිබඳ ගැටලුවක් නොව, ඔවුන්ගේ සිරකරුවන් පිළිබඳ ගැටලුවක් පමණක් යැයි පවසමින් එම යෝජනාවද ප්‍රතික්ෂේප කෙරුණා. - මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්

අරාබි ලීගයේ උපදේශකයන් දෙපළක් වූ මජ්ඩි ගොහාරි සහ මොහම්මඩ් කාඩිෆ් විසින්ද ඊසා සමඟ සාකච්ඡා කොට සමථයකට ඒමට උත්සහ කළහ. නමුත් අසාර්ථක විය.

"පවතින දේශපාලන වාතාවරණයත් සමඟ, ඊශ්‍රායෙල් රජය සිය මුලු මලල ක්‍රීඩා කණ්ඩායමම මිය ගියත් මෙම ඉල්ලීම ලබා දේයැයි සිතිය නොහැකි බව මම ඊසාට ඒත්තු ගන්වන්න උත්සහ කළා. නමුත් ඔහු මාව අවිශ්වාසයෙන් නොතකා හැරියා." - මජ්ඩි ගොහාරි

මජ්ඩිව නොතකන ඊසා
ඊශ්‍රායෙල් රජය සාකච්ඡා පිළිබඳ සිය ස්ථාවරයේම නොවෙනස්ව රැදී සිටින විට,  සාකච්ඡාකරුවන් ඊසාට වංචා කරමින්, තමන් තවමත් ජෙරුසලම් නුවරින් තීරණයක් ලැබෙන තෙක් බලා සිටින බවත්, හැකිනම් දී තිබෙන කාලය මදක් දීර්ඝ කරන ලෙසත් පවසමින් ඊසාට ආයාචනා කළහ. මෙයට ප්‍රතිචාර දක්වමින් ඊසා අලුත්ම තර්ජනයක් ඉදිරිපත් කළේය. තමන්ගේ ඉල්ලීම් දහවල් දොළහට පෙර ඉටු නොවුණහොත් පැයකට එකා බැගින් ප්‍රාණ ඇපකරුවන්ව ප්‍රසිද්ධියේ ඝාතනය කරන බවට ඔහු විසින් තර්ජනය කළේය.

මෙම සියලු නාටක මෙසේ රඟදැක්වෙමින් තිබෙන අතරතුර හෝරා යන්ත්‍රය නොනැවතී ධාවනය වෙමින් නියමිත කාලයට ළඟා වෙමින් තිබුණේ ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන්ගේ හදවත් තුළ ගිනිදැල් අවුළුවමිනි. අන්කී ස්පීට්සර් පවසන්නේ මධ්‍යාහ්නයට ළඟාවන විට, ඊළඟට කුමක් වේදැයි යන අවිනිශ්චිතතාවය තමන්ටද මාරාන්තික අත්දැකීමක් සේ දැනුණ බවයි. කෙසේවෙතත්, මධ්‍යාහ්නයට තත්ත්පර ගණනක් පමණක් තිබියදී නියමිත කාලය දික්කරවා ගැනීමට ඊසාව නම්මා ගැනීමට සාකච්ඡාකරුවන් සමත් වූහ. පැය පහකින් කාලය දීර්ඝ කිරීමට අවසානයේදී ඊසා එකඟවී තිබුණි.

ප්‍රහාරය හෙළා දකිමින් ලොව පුරා විරෝධතා සංවිධානය වෙමින් තිබුණි. එහෙත් ඔලිම්පික් ගම්මානයේ ඒ වන විටත් අවඥා සහගත දෙයක් සිදුවෙමින් පැවතුණි. ඒ, සිය සහෝදර ක්‍රීඩකයන් දෙදෙනෙකු ඝාතනයවී නව දෙනෙකු ප්‍රාණ ඇපකරුවන්ව ඔලිම්පික් ගම්මානයේම සිරවී සිටින මොහොතක, අනෙකුත් ක්‍රීඩකයන් ඒ ආසන්නයේම සිය පුහුණුවීම සිදුකරමින් තමන්ගේ ඊළඟ තරඟයට මුහුණ දීමට සූදානම් වෙමින් පසුවීමයි.  ITN මාධ්‍යවේදී ජෙරල්ඩ් සීමෝර්ට අනුව එය තනිකරම ආත්මාර්ථය මත පදනම් වූ ක්‍රියාකලාපයක් විය. ඒ වනවිටත් ඔලිම්පික් තරඟාවලිය නවතා දමන ලෙසට බල කරමින් විරෝධතා ඇතිවෙමින් තිබුණද ඔලිම්පික් කමිටුව එය ගණනකට නොගෙන බැහැර කොට දැමුණි.

සාකච්ඡා මාර්ගයෙන් සමථයකට ඒම ඵලරහිත බව අවබෝධ කොටගත් බටහිර ජර්මානු බලධාරින් විසින් අවසානයේදී බලය යොදා ත්‍රස්තයන්ව යටත් කොට ගැනීමක් පිළිබඳව සලකා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට වූහ. එහි මූලිකත්වය පැවරුණේ මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ටය. ඔහු විසින් ඒ සඳහා පිඹුරුපත් සකසන්නට විය.

අතරවාරයේ ජර්මානු බලධාරීන් විසින් ත්‍රස්තයනට හා ප්‍රාණ ඇපකරුවනට ආහාර සැපයිමට ඉදිරිපත් වූහ. මෙහිදී ආහාර පෙට්ටි පහක් අරක්කමියන් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇතුළු පිරිසක් සමඟ ඔවුන් වෙත පිටත් කොට හැරියේ ආහාර ලබා ගැනීමට එක පුද්ගලයකුට වඩා පිරිසක් පැමිණෙතැයිද, එසේ වුවහොත් බලය යොදා ඔවුන්ව යටත් කොට ගත හැකි වේ යැයි හෝ ආහාර සැපයීමේ මුවාවෙන් ඇතුළට ගොස් ත්‍රස්තයන් කීදෙනෙකු සිටින්නේදැයි දැන ගැනීම යන බලාපොරොත්තු සිතැතිවය. එහෙත්, අවාසනාවකට ඊසා පැමිණ  එකින් එක පෙට්ටිය බැගින් අතුලට ගනු ලැබුයේ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරවමිනි.

මෙසේ සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වන විට, ජර්මානු බලධාරීන් විසින් තවත් තුරුම්පුවක් භාවිතා කරමින් තමනට ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව සිටින්නේදැයි සෑහීමකට පත්වීම උදෙසා ඔවුන් සමඟ කතා කිරීමට අවැසි බව ත්‍රස්තයන් වෙත දන්වා සිටියහ. එහිදී ඊසා විසින් ජර්මන් බස හොඳින් හැසිරවිය හැකිවූ අන්ඩ්‍රේ ස්පිට්සර්ට හා කේහාට් සෝර් හට දෙවන මහලේ ජනේලයකින් ජර්මානු බලධාරින් හා සුළුවේලාවක් කතා කිරීමට අවසර ලබා දුන්නේ දෙපසින් වූ රැකවලුන්ද සමඟිනි. මෙහිදී අන්ඩ්‍රේ විසින් එක් කෙනෙකු හැර අන් සියලු දෙනාව සුවෙන් සිටින බව දැනුම්දී තුවාලකරු කවුරුදැයි ජර්මන් බලධාරින් ඇසූ පැනයට පිළිතුරු සැපයීමට යන විටම එක් ත්‍රස්තයකු විසින් රයිෆල් මිටකින් ඔහුගේ හිසට පහර දී පිටිපසට ඇද දමා තිරය වසා දැමීය. ඒ අන්කී විසින් අන්ඩ්‍රේ ස්පිට්සර්ව දුටු අවසන් මොහොත විය.

අන්ඩ්‍රේට එල්ලවන තුවක්කු පහර
ඉන් ටික වේලාවක පසු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර් සහ නගරාධිපති වෝල්ටර් ට්‍රෝජර් හට අතුලට ගොස් ප්‍රාණ ඇපකරුවන් සමඟ කතා බහ කිරීමට ඊසා විසින් අවසර දෙන ලදී. පොලිස් ප්‍රධානී ශ්‍රයිබර්ද මෙම අවස්ථාවට එක්වීමට කළ ඉල්ලීම ඊසා විසින් බැහැර කෙරුණේ ඔහු පොලිස් නිලධාරියකු වූ බැවිනි. ඇතුළෙහි සිටින ත්‍රස්තයන් ගණන දැනගන්නා ලෙස ශ්‍රයිබර් වෙතින් අනෙක් දෙදෙනාට උපදෙස් ලැබුණි.

අභ්‍යන්තරයට ගිය දෙදෙනාට දකින්නට ලැබුණේ සිත් පාරවන දසුනකි. ප්‍රාණ ඇපකරුවන් ත්‍රස්තයන්ගේ අඩන්තේට්ටම් වලට ලක්වී තිබුණ සැටි හොඳින්ම නිරීක්ෂණය කිරීමට තිබුණි. යෝසෙෆ් රොමානෝගේ සිරුර පසෙකින් වැටී රුධිරය ගලමින් තිබුණ අතර බිත්ති පුරා ලේ පැල්ලම් දක්නට තිබුණි. සිරුරින් ප්‍රමාණිකයකුවූ ගට්ෆ්‍රෙන්ඩ්ව පුටුවකට තබා බැඳ තිබූ අතර අනෙක් අට දෙනාව මැණික් කටු සහ වළලු කරින් ගැට ගසා, ඉන්පසු දෙදෙනා බැගින් එකට ගැට ගසා තිබුණි. අභ්‍යන්තරය නිරීක්ෂණය කළ ජර්මානුවන් දෙදෙනාට ත්‍රස්තයන් හතරක් හෝ පහක් මෙහෙයුමට සම්බන්ධව ඇතැයි යන නිගමනයට ඒමට හැකියාව ලැබුණි. එය එලෙසින්ම ශ්‍රයිබර්ට වාර්තා කෙරුණ අතර මෙම නිගමනය හෝ සංඛ්‍යාව ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමේදී අතිශය තීරණාත්මක භූමිකාවක් රඟදක්වනු ලැබේ. ආරක්ෂක ප්‍රධානියකුට එතරම් අමනෝඥ විය හැකිද යන්න විශාල ගැටලුවකි !


ජෙනරාල් ( එවකට කර්නල් ) ඌල්රික් වෙගුනර්, ( ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර්ගේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් මෙහෙයුම නිරීක්ෂණය කළ හමුදා නිලධාරියෙක් වූ අතරම පසුව ප්‍රථම ජර්මානු ත්‍රස්ත විරෝධී බලකාය තැනීමටත් මුල්වූ කීර්තිමතෙකි. එමෙන්ම 1977දී ත්‍රස්ත කණ්ඩායමක් සෝමාලියාවේ මොගඩිෂු නගරයේදී ලුෆ්තන්සා ගුවන්යානයක් පැහැරගෙන මගීන්ව ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට නායකත්වයදී සියලුම ප්‍රාණ ඇපකරුවන්ව පණ පිටින් ගලාවාගෙන ජර්මන් රජයෙන් සම්මාන ලද කීර්තිමත් හමුදා නිලධාරියෙකි. ) පවසන පරිදි මෙම අවස්ථාවේදී ඊශ්‍රායෙල් රජයෙන් ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීම සඳහා තම කණ්ඩායමක් එවීමට ජර්මානු රජයෙන් අවසර පැතූ නමුත් ජර්මානු රජය එය බැහැර කළ බවයි. එහෙත් මෙහෙයුම් කමිටුවේ සිටි බවාරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ මර්ක්ට අනුව එවැනි ඉල්ලීමක් කිසි දිනක ඊශ්‍රායෙල් පාර්ශවයෙන් ඉදිරිපත් වී නොමැත. තම යෝජනාව ප්‍රතික්ෂේප වීම නිසා ඊශ්‍රායෙල් රජය සිය රහස් ඔත්තු සේවයේ එවකට ප්‍රධානී ස්වී සමීර්ව මෙහෙයුම සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම උදෙසා ජර්මනියට යැවීමට තීරණය කළේය. එදින හවසම ඔහු මියුනික් නුවර බලා ගුවන් ගත විය.

ස්වී සමීර්
මේ අතර සිද්ධියෙන් පැය දොළහකට පමණ කාලයකට පසුව ගොඩනැගෙමින් තිබූ පීඩනයට හිස නමමින් ඔලිම්පික් කමිටුව විසින් තරඟාවලිය නවතා දමන ලදී. ඊශ්‍රායෙල් කණ්ඩායමේ නිවස්නය ලොව පුරා නන්දෙසින් පැමිණි ජනමාධ්‍යවේදින්ගෙන් සහ කැමරා කරුවන්ගෙන් වටව තිබූ අතර 75000-80000 කට ආසන්න ජනකායක්ද සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීම උදෙසා එම ස්ථානය වටකොටගෙන සිටියහ.

හවස 04:30ට ශ්‍රයිබර් විසින් ත්‍රස්තයනට පහරදී ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීමේ මෙහෙයුමක් අරඹන ලදී.  මලල ක්‍රීඩකයන්ගේ ඇඳුමින් සැරසුණු භටයන් විසින් අදාළ ගොඩනැගිල්ල වැටලූහ. ඔහුන්ගේ අරමුණ වූයේ වාතාශ්‍රය සපයන නළ දිගේ අදාළ ස්ථානයට බැස ත්‍රස්තයන්ව යටත් කොට ගැනීමයි. මෙහෙයුමේ කේත පදය "Sunshine" වූ අතර එය ශ්‍රවණය වූ සැණින් මෙහෙයුම අරඹන ලෙසට ශ්‍රයිබර් විසින් ඔවුන් වෙත උපදෙස් දී තිබුණි. ගොඩනැගිල්ලෙහි වහලය මතට නැග ගත් භටයන් කේත පදය ඇසෙන තෙක් සූදානම්ව බලා සිටියද එය නෑසුණි. ඒ වෙනුවට සවස පහට සුලු මොහොතක් තිබුයදී මෙහෙයුම අත්හැර දැමූ බව ඔවුනට දැන ගන්නට ලැබුණි. ජීවිත නවයක් බේරා ගැනීමට මෙහෙයුමක් දියත් කළ ශ්‍රයිබර්ට අවාසනාවකට මෙන්, තමන්ව වට කොටගෙන දසතින්ම කැමරාකරුවන් සිටින බවත්, ඔවුන් සියල්ල සජීවීව විසුරුවා හරින බවත්, ක්‍රීඩකයන්ගේ කාමර වල රූපවාහිනී යන්ත්‍ර තිබෙන බවත්, ඒවායින් ත්‍රස්තයනට සියල්ල නැරඹිය හැකි බවත් අමතකවී තිබුණි. ගොඩනැගිල්ලේ වහලය මතට නැග තමන් වෙත ළඟා වීමට සැරසෙන භටයන්ව රූපවාහිනියෙන් දුටු ඊසා, මෙහෙයුම නතර නොවුණහොත් දෙදෙනෙකු මරා දමන බවට කළ තර්ජනය හමුවේ ශ්‍රයිබර්ට මෙසේ හකුළා ගැනීමට සිදු වී තිබුණි.

සවස හයට ඊසා වෙතින් වෙනත් විධානයක් නිකුත් විය.

"අපිට උපදෙස් ලැබිලා තිබුණෙ තත්ත්වය පැය 24කට වඩා ඇදී ඇදී යාමට ඉඩ නොතබන ලෙසයි. මොකද ඒ තමයි අපිට දරාගන ඉන්න පුළුවන් උපරිම කාලය. ඊශ්‍රායෙල් රජය සිර කරුවන්ව නිදහස් කිරීම දිගටම ප්‍රතික්ෂේප කළොත් අපිට උපදෙස් ලැබිලා තිබුණෙ ප්‍රාණ ඇපකරුවන් සමඟම අරාබි රටකට යාමට ගුවන් යානයක් ලබා ගන්ඩ කියලයි." - ජමාල් අල් ගාෂේ

නමුත් ජර්මානු රජයට හෝ ඔලිම්පික් සංවිධායක කමිටුවට මෙම ඉල්ලීම දීමට අදහසක් නොවුණි. ඔවුන්ගේ ස්ථාවරය වූයේ අමුත්තන් ලෙස තම රටට පැමිණි කිසිවකුත් බලහත්කාරයෙන් රටෙන් රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවයි. එබැවින් ගුවන් යානයක් මගින් පිටව යැමට ඉඩ දෙන්නේයැයි ත්‍රස්තයන්ට අඟවමින් ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීම උදෙසා කළ හැකි සියල්ල කිරීමට ඔවුන් අධිෂ්ඨාන කොට ගත්හ. ශ්‍රයිබර් නැවතත් ක්‍රියාත්මක විය.

එහෙත් ස්වී සමීර්ට අනුව ජර්මානු බලධාරිනට අවැසිව තිබුණේ හැකි සෑම ඉක්මනින්ම මෙම පිරිස ඔලිම්පික් ගම්මානයෙන් ඉවත් කොට නැවතත් තරඟාවලිය ඇරබීමේ අවශ්‍යයතාවය බවයි. ඊශ්‍රායෙල් කණ්ඩායම ගලවා ගැනීම ද්විතීය කාරණයක් වූ බව ඔහුගේ අදහසයි.

ත්‍රස්තයන්ගේ ඉල්ලීම ඉටුකරන බව පෙන්වීම උදෙසා ඔවුන්ව හා ප්‍රාණ ඇපකරුවන් නව දෙනාව හෙලිකොප්ටර් මගින් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන් හමුදා ගුවන් තොටුපළ වෙත ගෙන යාමට කටයුතු සකස් කෙරිණි. එහි ඔවුනට සිය ගමනාන්තය බලා යාමට අවැසි බෝයිං වර්ගයේ ගුවන් යානයක් නවතා තිබුණි. යානයේ කාර්යය මණ්ඩලය ලෙස වෙස් වලගෙන සිටියේ පොලිස් නිලධාරින්ය. ඊසා සහ ඔහුගේ සහයකයා යානය පරික්ෂා කිරීම සඳහා එයට ගොඩ වැදුණු විට ඔවුන්ව යටත් කර ගැනීමට එම පොලිස් නිලධාරින්ට නියෝග ලැබී තිබුණි. එයට අමතරව පාලන මැදිරියෙහි වහලය මත තවත් ස්නයිපර් කරුවන් තිදෙනෙක්ද, බිම තිබුණ ට්‍රක් රථයකට සැඟවී ස්නයිපර් කරුවකුද, කුඩා සංඥා කුලුනකට මුවා වී තවත් ස්නයිපර් කරුවකුද රඳවා තිබුණේ අනෙක් ත්‍රස්තයන් යටත් කොටගැනීම හෝ ඝාතනය උදෙසාය. ස්නයිපර් වරුන් පස් දෙනෙකු රැඳවීමට තීරණය කෙරුණේ ත්‍රස්තයන් පස්දෙනෙකු පමණක් ඇතැයි මුලින් ලැබුණු තොරතුරට අනුවය.

කාමරයේ සිට හෙලිකොප්ටර් යානයට ගමන් කිරීමට මුලින් ඊසා විසින් තීරණය කොට තිබුණේ බිම් මහලේ වූ රථ ගාල හරහා පා ගමනින්ය. මෙහිදී නැවත වතාවක් අවස්ථාවක් දුටු පොලීසිය, සිය තුවක්කු කරුවන් කිහිප දෙනෙකු රථ ගාලේ සැඟවූයේ ඊසා ඇතුලු පිරිස එය හරහා ගමන් කරන විට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණිනි. නමුත් ඊසා විසින් තමනට මුලින්ම මාර්ගය පරික්ෂා කිරීමට අවැසි බව තදින්ම දන්වා සිටියේය. නගරාධිපති ට්‍රෝජර්ව පෙරටුකොට ගත් ත්‍රස්තයන්, මාර්ගය පිරික්සමින් ඉදිරියට යන විට සැඟවී සිට් පොලිස් භටයන් පසු බැස යන ආකාරය නිරීක්ෂණය කළ ඊසා පා ගමනින් යෑමේ අවදානම හඳුනාගෙන වහාම සිය තීරණය වෙනස් කොට ඒ වෙනුවට තමන් බස් රථයකින් හෙලිකොප්ටර් යානා වෙත යන බව දැන්වීය.

රාත්‍රී 10:00ට පමණ ඊශ්‍රායෙල් නිවස්නයේ පහත වූ රථ ගාලට පැමිණි බස් රථයට ත්‍රස්තයන් හා ප්‍රාණ ඇපකරුවන් නවදෙනා ඇතුල් වුයේ තමන් වෙනුවෙන් නවතා ඇති හෙලිකොප්ටර් යානා වෙත ගමන් කිරීමටය. බස් රථය හෙලිකොප්ටර් ආසන්නයේ නතර කළ පසු ඊසා විසින් පළමු යානය හොඳින් පරික්ෂා කොට දුන් සංඥාවෙන් අනතුරව ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු පළමු යානයට ගොඩ වීමට පැමිණියහ. හෙලිකොප්ටර් යානා වෙත ගොඩ වීම සඳහා ගත වූයේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි. මෙම සුලු වේලාව අතරතුර ජර්මානු පොලිස් බලධාරින්ට ඉතා වැදගත් තොරතුරක් හෙළිකර ගැනීමේ අවස්ථාව උදා විය. මුලින් සිතා සිටියාක් මෙන් ත්‍රස්තයන් පහක් නොව අට දෙනෙකුම සිටින බව මෙහිදී දැනගැනීම හැකියාව ලැබුණි. නමුත් එවිට ප්‍රමාද වැඩිය.  ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපළේ රැඳී සිටිනා පොලිස් භටයන් තවමත් මේ පිළිබඳ නොදැනුවත්ය. අන්‍යෝන්‍යය සන්නිවේදන හැකියාවෙන් තොරවූ ස්නයිපර් කරුවන් පස් දෙනෙකු පමණක් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපලට වී ත්‍රස්තයන් පස් දෙනෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියහ. ඔවුනට මේ නව තොරතුර දැනුම් දීමට හෝ ඒ වෙනුවෙන් අතිරේක දෙයක් කිරීම උදෙසා ජර්මන් බලධාරින් උත්සුකවූ බවට තොරතුරු නොමැත.

හෙලිකොප්ටරයට නගිමින්
හෙලිකොප්ටර් යානා දෙක මොහොතකින් එකක් පසු පස එකක් වශයෙන් පිටත් වූහ. ඉන්පසු ජර්මන් බලධාරින් සමඟ මොසාඩ් ප්‍රධානී ස්වී සමීර් ගොඩ නැගුණු තෙවන හෙලිකොප්ටරයක්ද ඔවුන් පසු පස ඇදෙන්නට විය.

රාත්‍රී 10:30ට පමණ ඔවුන් ගුවන් තොටුපලට ළඟා වූහ. හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමට තත්පර ගණනකට පෙර තවත් දෙයක් සිදු විය. ගුවන් යානය තුළ සිටි පොලිස් භටයන් පස් දෙනා විසින් ඒකඡන්දයෙන් එකඟව මෙහෙයුමෙන් ඉවත් වීමට තීරණය කොට යානයෙන් පිටත් වූහ. මෙය දැනගත් වහාම ජෙනරාල් ඌල්රික් පැවසුවේ " මට විශ්වාසයි මේක හින්දා මුලු මෙහෙයුමම විනාශවෙනවා" යනුවෙනි.

අනෙක් තුවක්කුකරුවන් පස් දෙනා ප්‍රහාරයට සූදානම්ව සිටියද ඔවුන් අතර අන්‍යෝන්‍යය වශයෙන් සංනිවේදනයක් නොවුණි. එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමට හැකියාවක් නොතිබුණි. උපදෙස් ලැබී තිබුණේ පළමු තුවක්කුකරු වෙඩි තැබූ විට අනෙක් අයද වෙඩි තැබිය යුතු බවටයි.

හෙලිකොප්ටර් යානා ගොඩබෑ පසු එකඟ වූ පරිදි ඊසා හා ඔහුගේ දෙවෙනියා විසින් ගුවන් යානය පරික්ෂා කිරීමට එයට ගොඩ වූහ. හිස් යානය දුටු පසු තමන් උගුලක සිරවී ඇති බව වටහා ගැනීමට ඊසාට අපහසු නොවුණි. ගුවන් යානයේ සිට කලබලයෙන් දිව එන ඊසා හා ඔහුගේ දෙවෙනියා දුටු තෙවෙනි ස්නයිපර් කරු විසින් සිය අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට තීරණය කොට ඊසාව ඉලක්ක කොට ප්‍රථම උණ්ඩය නිදහස් කළේය. නමුත් දුර්වල ආලෝකය තත්ත්වය නිසා වැරදුණු ඉලක්කය ඊසා වෙනුවට ඔහුගේ සහයකයාගෙ කලවය පසාරු කොටගෙන ගොස් ඔහුව බිම හෙළීය.

"නායකයා ගුවන් යානයේ ඉඳන් එනකොටම එක පාරම මුලු ප්‍රදේශයම එළිය කරමින් වෙඩි වරුසාවක් එල්ල වුණා. අපිත් වෙඩි පැමිණෙන දිසාව ඔස්සේ වෙඩි තැබීම පටන් ගත්තා. " - ජමාල් අල් ගාෂේ.

හෙලිකොප්ටර් යානය අසලට පැමිණීමට සමත්වූ ඊසා අනෙක් ත්‍රස්තයන් හා එක්ව පාලන මැදිරිය දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට වූයේ මොහොතකින් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපළ එකම යුද පිටියක් කරවමිනි. වසර තිහකට පමණ පෙර යුදෙව්වන් සොය සොයා ඝාතනය කළ ජර්මානුවන් හට යුදෙව්වන් නව දෙනෙකු බේරා ගැනීම උදෙසා මෙසේ සටන් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේද ? නමුත් තමනට පැවරුණු වගකීම ඔවුන් නිසි අයුරින් ඉටු කළාදැයි යන්න සැකසහිතය.

සටන අතරතුර බිම සිටි පළමු සහ දෙවන ස්නයිපර් කරුවන්ට සටනට සහභාගී වනවා වෙනුවට පාලන කුළුණ මත සිටි අනෙක් ස්නයිපර් වරුන්ගේ වෙඩි පහරවල් වලින් ආරාක්ෂාවීමට සිදුවූහ. ඒ ඔවුන් එක එල්ලයේම තෙවන, සිව්වන හා පස් වන ස්නයිපර් කරුවන්ගේ ප්‍රහාර සීමාවෙහි ස්ථානගතව සිටි බැවිනි. එබැවින් ත්‍රස්තයන් අට දෙනෙකු හා සටන් කිරීමට සිදුවූයේ සනයිපර් කරුවන් තිදෙනෙකුට පමණි. විනාඩි තිහක් පමණ පැවති සටන හදිසියේම නතරවන විට ත්‍රස්තයන් දෙදෙනෙකු හා පාලන කුළුණෙහි බිම් මහලෙහි සිටි පොලිස් නිලධාරියකු මිය ගොස් තිබුණි.

පිටත සිටි දහස් සංඛ්‍යාත ජනකාය සහ මාධ්‍යවේදීන් සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට දෑස් දල්වා බලා සිටියහ. ඔවුන්ගේ සිත්සතන් ප්‍රීතියෙන් පුරවාලමින් සියලුම ප්‍රාණ ඇපකරුවන් මුදා ගත්තේ යැයි යන පුවත ඔවුන්ගේ කණ වැකුණි. එසැනින් එය ලොව පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. උදෑසන සිට තියුණු අවිනිශ්චිතතාවයකින් පීඩා විඳි ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් සැනසුම් සුසුම් හෙළීය. සියලු දෙනාම සතුටින් උද්දාමව මෙම ප්‍රීතිය සමරන්නට වූහ. එහෙත් අවාසනාවකට එම සතුට වැඩි වේලාවක් නොතිබුණි.

සටන නතරව හෝරාවකට පමණ පසු ගුවන්තොටුපළ වෙත සන්නද්ධ රථ හතරක් ඇතුල් වෙනු පිටත තෙරපෙමින් සිටි අයවලුනට නිරීක්ෂණය කළ හැකි විය. එයින් මොහොතකට පසු නැවතත් වෙඩි හඬ ඇසුණු අතර ඒ සමඟම විශාල පිපිරුම් හඬක් ඇසුණි.

සන්නද්ධ රථ ගුවන්තොටුපළ ඇතුළට පිවිසෙනු දුටු ත්‍රස්තයන් කලබල වී පළමු හෙලිකොප්ටරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනාට වෙඩි තැබූහ. ඉන් අනතුරුව එයට අත් බෝම්බයක් එල්ල කොට පුපුරුවා හැරියහ. ඒ අතරතුර ස්නයිපර් කරුවන් විසින් ඊසාව වෙඩි තබා ඝාතනය කිරීමට සමත් වූහ. ඒ සමඟම වාගේ දෙවන හෙලිකොප්ටරයේ සිටි ත්‍රස්තයකු විසින් එහි සිටි ප්‍රාණ ඇපකරුවන් පස් දෙනාට වෙඩි තබා මරා දමන ලදී. මේ අතර සන්නද්ධ රථ විසින් ත්‍රස්තයන්යැයි වැරදියට වටහා ගත් එක් ස්නයිපර් වරයකුට හා හෙලිකොප්ටර් නියමුවකුට වෙඩි තැබීම නිසා ඔවුන් මාරාන්තික තුවාල ලදහ.

සටනින් ත්‍රස්තයන් පස් දෙනෙකුද, එක් ජර්මන් පොලිස් නිලධාරියකුද සියලුම ප්‍රාණ ඇපකරුවන්ද මිය ගොස් තිබුණි. ජර්මානු පොලිස් වෙදැදුරන්ගේ සැත්කම සාර්ථක වුවද අවාසනාවකට රෝගියා මිය ගොස් තිබුණි.

~~~~~


එදින සන්ධ්‍යාවේ නරබන්නන් 80000ක්, ක්‍රීඩකයක් 3000ක් සහ මියගිය ඊශ්‍රායෙල් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ඥාතීන් සහභාගිත්වයෙන් අනුස්මරණ මෙහෙයක් පවත්වා ඔවුනට ගෞරව දැක්වීය. ඉන්පසු නැවතත් ඔලිම්පික් තරඟ ආරම්භ කෙරුණ අතර ඉතිරිවූ ඊශ්‍රායෙල් සාමාජිකයන් තරඟයෙන් ඉවත්ව සියරට බලා ගියේ මිය ගිය අයවලුන්ගේ සිරුරුද සමඟිනි. මිය ගිය ත්‍රස්තයන් පස් දෙනාගේ සිරුරු ලිබියවට භාර දුන් අතර එහිදී ඔවුන් වීරයනට ලැබෙන සැලකිලි වලින් පිදුම් ලද අතර සම්පූර්ණ හමුදා ගෞරව සහිතව මිහිදන් කරණ ලදී. සැප්තැම්බර් 07වන දින ඊජිප්තු, පිලිපීන හා ඇල්ජීරියානු කණ්ඩායම් හා ඕලන්ද හා නොර්වේජියානු කණ්ඩායම් වල සමහර ක්‍රීඩකයන්ද තරඟාවලියෙන් ඉවත් වූහ.

ලිබියාවේ පිළිගැනීම
~~~~~

ජර්මානු පොලිස් බලධාරින් විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කළ ආකාරය පිළිබඳ බරපතල විවේචන දක්නට ඇත.

එක්සත් ජනපද හිටපු හමුදා නිලධාරියකු වූ ලීරෝයි තොම්සන් විසින් මේ පිළිබඳ දීර්ඝ පරීක්ෂණයක් සිදු කොට බටහිර ජර්මන් පොලිස් බලධාරින් මෙම මෙහෙයුමේදී සිදු කළ බරපතල වැරදි හෙළි කර ගැනීමට සමත් විය. තොම්සන් වැටලීම් පිළිබඳ විශේෂඥ දැනුමැත්තෙකි. ආරක්ෂක කරුණු පිළිබඳ පොත් තිහකට වැඩියෙන් ලියා ඇති ඔහු ලොව පුරා පොලීසී සඳහා දේශන පවත්වන්නෙකි. ඔහු ඇතන්ස් සහ බාසිලෝනා ඔලිම්පික් උළෙලවල් සඳහා ආරක්ෂක උපදේශකයකු වශයෙන්ද කටයුතු කෙරූවෙකි.

තොමසන්ගේ අවධානය යොමුවූ මූලික කරුණක්නම් තත්ත්වය මෙහෙයවීමට ඇතිකළ කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද යන්න සොයා බැලීමයි. මෙහිදී ඔහුට වැදගත් තොරතුරක් සොයා ගැනීමට ලැබුණි. කමිටුවේ සිටි සාමාජිකයන් වූයේ ජර්මන් අභ්‍යන්තර කටයුතු ඇමති හෑන්ස් ජෙන්ශ්චර්, බවාරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ මර්ක් සහ මියුනික් පොලිස් ප්‍රධානී මැන්ෆ්‍රිඩ් ශ්‍රයිබර් යන අයවලුන්ය. එනම් දේශපාලකයන් දෙදෙනෙකු සහ එක් පොලිස් ප්‍රධානියෙකි. ශ්‍රයිබර්ද මින් පෙර මෙහෙයවූ ප්‍රාණ ඇපකරු මෙහෙයුමකදී ගත් තීරණයක් නිසා අහිංසක කාන්තාවකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූවාය.මෙහිදී ශ්‍රයිබර්ට චෝදනා එල්ල වුවද පසුව ඔහු නිවැරදි කරු බවට නිදහස් කෙරිණි. එහෙත් මෙම සිද්ධිය ඔහු කෙරෙහි ඇති කළ බලපෑම මියුනික් සිද්ධියේදී ගත් තීරණ කෙරෙහි බලපෑ බව විශේෂඥයන්ගේ අදහසයි.

තොම්සන් විසින් සිය පරීක්ෂණයෙන් ශ්‍රයිබර් විසින් සිදු කළ වැරදි මාලාවක්ම සොයා ගැනීමට සමත් විය. මුලින්ම තොම්සන් කළ නිරීක්ෂණය වූයේ සියලුම ත්‍රස්තයන් සිය අනන්‍යතාවය සඟවා ගැනීමට උත්සහා කොට තිබූ බවයි. එයින් හැඟවෙනුයේ ඔවුන්ට මෙම මෙහෙයුමෙන් මිය යාමට අදහසක් නොවූ බවයි. එසේ වීනම් ඔවුන් අනන්‍යතාවය සැඟවීමට කරදර නොවනු ඇත. ත්‍රස්තයන්ගේ අරමුණ වන්නට ඇත්තේ කෙසේ හෝ සිය ඉල්ලීම දිනාගෙන නිදහස්ව පැනගැනීම බව තොම්සන්ගේ නිගමනය විය. ඔවුන් විසින් දුන් කාලය දෙවරක්ම ඉකුත් වූ පසුත් ඔවුන් විසින් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය නොකිරීමෙන් මෙය තවත් පැහැදිලි කරගත හැකිය. තොම්සන්ට අනුව මෙය ශ්‍රයිබර්ගේ අවධානයට හසුව නැත.

ඔහු විසින් පෙන්වන අනෙක් කරුණනම් ත්‍රස්තයන් සතු වූ AK47  රයිෆලයේ වූ ආරක්ෂක උගුළයි. පලස්තීන සටන්කාමින් වැනි තුවක්කරුවන්ව සෑම විටම ආරක්ෂක උගුල සක්‍රීයව තබා ගැනීමට පුහුණු කොට තිබෙන බව තොම්සන් දන්නා කරුණකි. AK47 රයිෆලයේ ආරක්ෂක උගුල අක්‍රීය කිරීමට රයිෆලයේ ට්‍රිගරයෙන් ඇඟිල්ල ඉවතට ගැනීමට සිදුවේ. ජර්මානු පොලිසිය ප්‍රහාරයකට යාමට අවශ්‍ය වීනම් මෙම කරුණ ඔවුනට තත්ත්පර කිහිපයක වාසියක් හිමිකරදෙන බව තොම්සන්ගේ මතයයි. තත්පරයක් යනු ජීවිතයත් මරණයත් අතර වෙනසක් ඇති කළ හැකි කාලයකි. තත්පර දෙකක් යනු පුහුණු තුවක්කු කරුවකුට සිය ඉලක්කය ගෙන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට හොඳටම සෑහෙන කාලයකි. එහෙත් ජර්මානු රජයෙන් නිකුත් කළ මෙහෙයුම පිළිබඳ නිල වාර්තාවේ මේ පිළිබඳ කිසිම සටහනක් දක්නට නොවුණි. ශ්‍රයිබර්ට මෙම ඉතා වැදගත් කරුණද මග හැරී තිබුණි.

AK 47 - ආරක්ශක උගුල පෙන්වන තොම්සන්. උගුල අක්‍රීය කිරීමට, දබර ඇඟිල්ල ට්‍රිගරයෙන් ඉවත් කිරීමට සිදුවේ.
ඊශ්‍රායෙල් නිවස්නය අසල රැස්වී සිටි ජනතාව සහ මාධ්‍යකරුවන් ඉවත් නොකිරීම ශ්‍රයිබර් විසින් සිදු කළ තවත් බරපතල වැරැද්දකි. AK47 අවිය එකවර උණ්ඩ විශාල ප්‍රමාණයක් නිකුත් කළ හැකි ස්වයන්ක්‍රීය අවියකි. යම් හෙයකින් සටනක් ඇතිවී ත්‍රස්තයන් විසින් ජනතාව ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කළේනම් විශාල පිරිසක් ක්ෂණිකව මිය යෑමේ අවදානමක් තිබුණි. ශ්‍රයිබර් හට එම සරළ ආරක්ෂක උපක්‍රමයද මග හැරී ඇත.

තොම්සන්ට අනුව ඕනෑම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමේදී තමන්ගේ සතුරා ගැන දැන ගැනීම ඉතා වැදගත් සාධකයකි. නගරාධිපති වෝල්ටර් ටෝජර් විසින් සැපයූ දත්ත මත පදනම්ව ශ්‍රයිබර් විසින් සැලැසුම් කළ ගලවා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කළ තොම්සන් කිසිසේත්ම ඒ පිළිබඳ සෑහීමකට පත් නොවුණි. ශ්‍රයිබර් විසින් එහිදී වැරැදි රාශියක්ම සිදු කොට තිබුණි. ප්‍රහාරය එල්ල කිරීම උදෙසා ගොඩනැගිල්ලේ වහලය මතට වන් පොලිස් භටයන් භාවිතා කළ උපක්‍රම වෘත්තීය මට්ටමේ නොවන තරම් බව තොම්සන්ගේ අදහසයි. ඔවුන් භාවිතා කළ අවි පාවිච්චි කිරීමට පළපුරුද්දක් තිබූ බවක් දක්නට නොවූ බවත් තොම්සන් පවසයි. එම භටයන් එවන් මෙහෙයුමකට කිසි සේත්ම නොසුදුසු, නොපළපුරුදු දේශ සීමා ආරක්ෂක භටයන් බව තොම්සන් විසින් පසුව සොයා ගන්නා ලදී. මෙම මෙහෙයුමට අදාළ භටයන්ව තෝරා ගැනීමේදී ශ්‍රයිබර් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ගැන පවසන ජනරාල් ඌල්රිච්;

" ශ්‍රයිබර් විසින් ඔවුන් තෝරා ගැනුණේ "ඔබ කවදා හෝ තුවක්කුවකින් වෙඩි තබා තිබේද ? " වගේ ප්‍රශ්න ඇසීමෙන් පමණයි. ඔවුනට කිසිම පුහුණුවක් තිබුණේ නෑ. "

එසේම මාධ්‍යවේදීන් ඉවත් කිරීමට නොහැකිවීමේ බරපතල වරද නිසා ශ්‍රයිබර්ට අතරමගදී මෙහෙයුම හකුළා ගැනීමට සිදු විය.

ගුවන්තොටුපළේදී ඇතිවූ තත්ත්වය පිළිබඳ පරික්ෂා කළ තොම්සන්, අවසාන නිමේෂයේදී පොලිස් භටයන් ගුවන් යානයෙන් ඉවත් වීම වෘත්තීය ආරක්ෂක සාමාජිකයන් අතින් කිසි කලෙක සිදු නොවිය යුතු සිද්ධියක් සේ හඳුන්වයි.

හෙලිකොප්ටර් නියමුවනට උපදෙස් ලැබී තිබුණේ ගොඩ බස්වන විට පාලන මැදිරිය දෙසට යානාවන්හී බඳ පෙනෙන ලෙස ගොඩබාන ලෙසයි. එහෙත් නොදන්නා හේතුවක් නිසා නියමුවන් දෙදෙනාම යානා දෙකම ගොඩ බස්වනු ලැබුවේ පාලන මැදිරිය දෙසට මුහුණත සිටින ලෙසය. එබැවින් පාලන මැදිරිය මත සිටි ස්නයිපර් කරුවන්ට ඉලක්ක ගැනීම අපහසු වූවා පමණක් නොව ප්‍රතිවිරුද්ධව බිම් මට්ටමෙහි රඳා සිටි ස්නයිපර් කරුවන් දෙදෙනා කෙළින්ම ඔවුන්ගේ ප්‍රහාර සීමාවෙහි පසු වුහ. සටන අතරතුව පළමු සහ දෙවන ස්නයිපර් කරුවන්ට සිය සගයන්ගෙන් නිකුත් වන වෙඩි වලින් ආරක්ෂාකාරී වීමට සිදු වූයේ මෙබැවිනි. තවද මෙම ස්නයිපර් කරුවනට රාත්‍රී දර්ශක, වෙඩි නොවදින කබා, යකඩ හිස් වැසුම් ආදී ආරක්ෂක උපකරණ කිසිවක් නොවුණි. අඩුම තරමින් එකිනෙකා හා සන්නිවේදනයේ යෙදිය හැකි රේඩියෝ යන්ත්‍රවත් ඔවුනට ලබා දී නොතිබුණි.

මෙම ස්නයිපර් කරුවන් සියලු දෙනාම ඔවුනට පැවරූ කාර්යයෙහි විශේෂඥයන් නොවූ සාමාන්‍ය පොලිස් භටයන් පමණක්ම වූහ. මෙම තත්ත්වය ඇති වීමට බලපෑ විශේෂ හේතුවක් තිබුණි. එවකට පැවති බටහිර ජර්මානු ව්‍යවස්ථාවට අනුව ජර්මානු හමුදාවන්ට රට අභ්‍යන්තරයෙහි වූ සටන් වලට සම්බන්ධ වීමේ හැකියාවක් නොවුණි. එබැවින් ජර්මානු හමුදාවෙහි වූ අති දක්ෂ ස්නයිපර් කරුවනට මෙම මෙහෙයුමට එක් වීමට අවස්ථාවක් නොලැබුණි. ශ්‍රයිබර්ට නොපුහුණු පොලිස් භටයන් මත යැපීමට සිදුවී තිබුණි.

නමුත් මෙහෙයුම අසාර්ථකවීමට බලපෑ ප්‍රබලම හේතුව අනෙකකි. එය කුඩා තොරතුරක් මත රඳා පැවතියකි. සැප්තැම්බර් 05වන දා සවස ඊශ්‍රායෙල් ක්‍රීඩකයන්ව හමුවට ගිය වෝල්ටර් ට්‍රොජර්, ඇතුළත ත්‍රස්තයන් හතරක් හෝ පහක් සිටින බව ශ්‍රයිබර්ට දන්වා සිටියේය. මෙම සංඛ්‍යාව අවසාන නිවැරදි අගය සේ සලකා සිය මුලු මෙහෙයුමම සැලසුම් කිරීමට තරම් ශ්‍රයිබර් අමනෝඥ විය. එහි ත්‍රස්තයන් පහක් නොව අටක්ම සිටිනවා යන්න ඔවුනට දැන ගැනීමට ලැබෙනුයේ ගුවන්තොටුපලට ඒමට පැය භාගයකට පමණ පෙරය. විස්මිත කාරණය නම් සැබෑ ත්‍රස්තයන් ගණන දැනගත් පසුවවත් ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවීමයි. අඩුම තරමින් ස්නයිපර් කරුවන්ට දැනුම් දීමක් කිරීමක්වත් සිදුනොවීමයි. එසේම ත්‍රස්තයන් පස් දෙනෙකු ඝාතනය කිරීම සඳහා ස්නයිපර් කරුවන් පස් දෙනෙකුම පමණක් රැඳවීම ප්‍රායෝගික නොවන බව විශේෂඥ මතයයි. අඩුම වශයෙන් එක ඉලක්කයක් උදෙසා දෙදෙනෙකුවත් රැඳවිය යුතු වූවත් ශ්‍රයිබර් විසින් එය නොසලකා හරී.

තවද ගුවන්තොටුපළ වෙත සන්නද්ධ රථ හා භටයන් ගෙන්වා තැබීමට ශ්‍රයිබර් අමතක වී තිබුණි. එය සිහියට එන්නේ සටන ඇරඹී විනාඩි විස්සක් පමණ ගිය කල්හීය. එහෙත් අතර මග වූ තදබදය නිසා සන්නද්ධ රථ ගුවන් තොටුපලට පැමිණෙන විට පැයක් පමණ ගතවී සටන බොහෝ දුරට අවසන්ව තිබුණි.

~~~~~
සති හතකට පසු බේරුට් සිට ෆ්‍රැන්ක්ෆර්ට් බලා ගමන් කෙරුණු ලුෆ්තන්සා ගුවන් යානයක් පැහැර ගැනුණි. කොල්ල කරුවන්ගේ ඉල්ලීම වූයේ මියුනික් මෙහෙයුමේදී අත් අඩංගුවට පත්වූ පලස්තීනුවන් තිදෙනා නිදහස් කරණ ලෙසයි. බටහිර ජර්මානු රජය ඊශ්‍රායෙල් රජයෙන් විමසීමක් නොකරම සිරකරුවන් තිදෙනාව කොල්ලකරුවනට භාරදීම සිදු විය. නමුත් පසුව මෙම සිද්ධිය පිළිබඳ සැක මතු වන්නට විය. එවැනි විශාල යානයක් මගීන් දොළහක් පමණක් සිටියේ මන්ද ? යානය තුළ ළමයින් හෝ ගැහැනුන් නොසිටියේ මන්ද ? ඉල්ලීම් වලට එතරම් ලෙහෙසියෙන්ම එකඟ වූයේ මන්ද ? යන ගැටළු මතු වන්නට විය.

සිද්ධියට සම්බන්ධවූ පලස්තීනුවකු විසින් පසුව මුලු සිද්ධියම බටහිර ජර්මානු රජය හා ත්‍රස්තයන් එක්ව සැලසුම් කළ එකක් බව හෙළි කරණු ලැබීය. මෙසේ කිරීම මගින් අනාගතයේදී ජර්මනියට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම ජර්මානු රජයේ අරමුණ වී තිබුණි. එම චෝදනාව සත්‍ය එකක් විය හැකි බව ජනරාල් ඌල්රිච් පවා පිළිගනී.

නිදහස් වූ ත්‍රස්තයන් තිදෙනා ලිබියාවට ගොඩ බසින්නේ වීරයන් ලෙසය. ඔවුනට ලැබෙන පිළිගැනීම එතරම්ම උත්කෘෂ්ඨය. එහිදී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වන ජමාල් අල් ගාෂේ අතුළු පිරිස පවසා සිටින්නේ මෙමගින් තමනට, කලින් නොතිබුණු පලස්තීනුවන්ගේ හඬ මුලු ලොවෙහිම පැතිරවිය හැකි වූ බවයි.

ජමාල් මෙහෙයුමෙන් පසු ලිබියාවේදී

"මම ආඩම්බර වෙනවා මම මියුනික් වලදී කරපු දේ ගැන. මෙම දවසට කලින් පලස්තීනුවන්ගේ අරගලය ගැන ලෝකයටම එතරම් වැටහීමක් තිබුණෙ නෑ. නමුත් එදායින් පස්සෙ අපිට පුළුවන් වුණා "පලස්තීනය" කියන නම ලොව පුරාම ප්‍රතිරාවය කරවන්න." - ජමාල් අල් ගාෂේ.

මෙම සිදුවීමෙන් ටික කලෙකට පසු බටහිර ජර්මන් රජය විසින් ජනරාල් ඌල්රික්ගේ නායකත්වයෙන් ත්‍රස්ත විරෝධී ඒකකයක් පිහිටුවන ලදී. ඊශ්‍රායෙලය විසින් දියත් කළ ප්‍රහාර දෙකකින් ඉතිරිවූ ත්‍රස්තයන් තිදෙනගෙන් දෙදෙනෙකුව ඝාතනය කිරීමට සමත් වූ අතර ජමාල් අල් ගාෂේ පමණක් අදටත් අප්‍රිකාවෙහි කොතැනක හෝ රහසිගතව ජීවත් වනු ඇතැයි සැලකේ.

~~~~~

පසුගිය ලංඩන් ඔලිම්පික් උලෙළ, මෙම සිද්ධියෙන් වසරක හතළිහක් පිරෙන 2012 වසරේදී යෙදී තිබිණ. එම ඛේදවාචකයේ හතළිස් වන සැමරුම සිහිකරමින් 2012 ලංඩන් ඔලිම්පික් උළෙලේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමට අන්කී ස්පිට්සර් ඇතුළු පිරිස කළ අහිංසක යෝජනාව ඔලිම්පික් සංවිධායකයන් විසින් බැහැර කරණ ලදී. අවසානයේදී, 2012 ඔලිම්පික් උලෙළ ඔවුන් පිළිබඳ කිසිඳු සිහි කිරීමකින් තොරවම ගෙවී ගියේය.

~~නිමි ~~

1. One day in September - 1999 : A Documentary film directed by Kevin Macdonald
3. http://en.wikipedia.org/wiki/Munich_massacre
4. http://en.wikipedia.org/wiki/Andre_Spitzer
5. http://en.wikipedia.org/wiki/Jamal_Al-Gashey

ඇසුරින් සකස් කෙරුවෙ ;
~~ සෙන්නා / 01.02.2013

ඡායාරූප උපුටා ගැනීම්;

1. One day in September - 1999 : A Documentary film directed by Kevin Macdonald

2. Seconds From Disaster - Munich Olympic Massacre

Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog