Friday, April 26, 2013

GSG 9 - Operation fire magic | මොගඩිෂූ ගිනිකෙළිය

2013 බක් මස 26 වනදා

බිනර මහේ එක් දවසක සිදුවූ ඒ ඛේදවාචකය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි සිතමි. එම මෙහෙයුමේදී හා ඉන් පසුව බටහිර ජර්මනිය විසින් පෙන්වූ අදක්ෂතාවය මුළු ලොවටම රහසක් නොවුණි. අඩු අත්දැකීම් මත සිදුකළ අනුවණකම් රැසක් හේතුවෙන් සියලුම ඊශ්‍රායෙල් ප්‍රාණඇපකරුවනට සිය ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූ ආකාරයද  ඔබට මතක ඇතැයි සිතමි.

හොඳින් පුහුණුව ලත් ත්‍රස්ත මර්ධන ඒකකයක අවශ්‍යතාවය බටහිර ජර්මන් රජයට එයින් පසු තදින්ම දැනෙන්නට විය. රජය, එහි වගකීම මියුනිච් සිද්ධියේදී ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර්ගේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් මෙහෙයුම නිරීක්ෂණය කළ කර්නල් ඌල්රික් වෙගුනර් ට පැවරීය. ඔහුගේ ප්‍රධානත්වයෙන් GSG 9 - Grenzschutzgruppe 9 (Border Police Group 9) බලකාය බිහිවූ අතර එවකට ලොව කීර්තිමත් ත්‍රස්ත මර්දන ඒකක  විශේෂ ක්‍රියාන්විත බලකායන් වූ බ්‍රිතාන්‍යයේ SAS හා ඊශ්‍රායලයේ Sayeret Matkal බලකායන්ගේ පුහුණුව GSG 9 හට ලබාගැනීමට කර්නල් වෙගුනර් වගබලාගත්තේය. 



GSG 9 ඒකකය 1973 අප්‍රේල් මස 17වන දින නිල වශයෙන් ආරම්භවූ අතර එතැන් සිට 2003 වසර දක්වා ඔවුන් මෙහෙයුම් 1500කට වැඩි සංඛ්‍යාවකට සහභාගීවී ඇති අතර අවස්ථා පහකදී පමණක් සිය තුවක්කු හැඬවීමට ඔවුනට සිදුවී තිබිණ. ජර්මානුවන් සතු හැකියාව ලොවටම පෙන්වමින් 2005දී පැවැත්වූ SWAT World Challenge තරඟාවලියේදී තරඟ අටකින් අටම ජයග්‍රහණය කොට, අනෙකුත් තරඟකරුවන් 17 දෙනෙකුව අභිබවා යාමට ඔවුන් සමත් වූහ. 2008දී සිදුවූ මුම්බායි බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉන්දියානු ත්‍රස්ත මර්දන ඒකකය සවිමත් කිරීමටද GSG 9 හී දායකත්වය ලැබිණි.


---------------------

1977 ඔක්තෝබර් 13 වනදා, ස්පාඤ්ඤ දූපතක් වූ Palma de Mallorca හී ගුවන් තොටෙහි Lufthansa flight LH181, Landshut යානය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් බලා යාමට සැරසෙමින් සිටියාය. සහායක නියමු  යෝර්ගන් වියේටොර් ( Jürgen Vietor )ද පූර්ව සූදානම්කිරීම් වල නියැලෙමින් සිටින අතර ජනේලයෙන් පිටත බැලූ විට දුටුවේ මිනී පෙට්ටි දෙකක් යානයට පැටවීමට සූදානම් කොට තිබෙන අයුරු‍යි. ඔහු එය කපිතාන් යෝර්ගන් ෂූමන් ( Jürgen Schumann )ගේ අවධානයට යොමු කළද ඔහු ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළේය. වියේටොර්ගේ විශ්වාසයනට අනුව එය එතරම් සුබ ලකුණක් නොවුණි. එවැනි අසුභ ලකුණු දෙකක්ම තිබීම ඔහුගේ සිතෙහි අවිනිශ්චිත අවාසනාවන්ත හැඟීම් ඇතිකරවීමට සමත් විය. නමුත් ප්‍රායෝගික තත්ත්වය ඒ පිළිබඳ යමක් කිරීමෙහි ඉඩ කඩ අසුරා තිබුණි.

කාලගුණයද ගුවන් ගමනකට යෝග්‍යය අයුරින්ම විය. වෙනත් කිව යුතු බාධකයක්ද ඔවුනට නොවුණි. උදෑසන 1100 ට යානය ෆ්‍රැන්ක්ෆර්ට් බලා ගුවන් ගත විය.

Palma de Mallorca දිවයිනේ සිය නිවාඩුව අවසන් කළ බියර්ගිට් රෝඑල් ( Birgit Roehllමහත්මිය සිය පුතණුවන් සමඟින් නැවතත් ජර්මනිය බලා යාමට මෙම යානය තෝරාගෙන තිබුණාය. හිස් ආසන වෙනුවෙන් පොරොත්තු ලේඛනයේ රැදී සිටීමට සිදු වුවද, යානයට ගොඩවීමට තරම් ඔවුන් වාසනාවන්ත වී තිබිණි. බියාටහ් කෙලර් ( Beate Keller )ඇතුළු පිරිස යානයට ගොඩවූයේ රූරැජින තරඟයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත ජර්මනිය බලා යාමටය. ගුවන් යානයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවතුණි. එහෙත් දෑස් අටක් සිය වේලාව පැමිණෙන තෙක් විමසිල්ලෙන් අවට නිරීක්ෂණය කරමින් සිටින බව යානයේ වූ අන් කිසිවෙකුත් නොදත්හ.

ගුවන්ගත වී විනාඩි තිහකින් පමණ එක්වරම යානයේ පසු පස කොටසින් මගීන්ගේ කෑගැසීමක් ඇසෙන්නට විය. අවි ගත් සිව් දෙනෙකුගෙන් සැදුම් ලද කණ්ඩායමක් විසින් භීතියට පත් මගීන් නිහඩ කරවීමට වියරුවෙන් මෙන් දගලමින් සිටිනු ඒ පිළිබඳ විමසීමට පසු පසට පැමිණි ගුවන් සේවිකාවට දර්ශනය විය. ඒ සමඟම ත්‍රස්ත කල්ලියේ අයෙකුගෙන් ඇයට තදබල පහරක් එල්ල වුණි. යානය තුළ අවි අමෝරාගෙන, භීතියට පත්ව කලබල කරනා මගීන්ව පාලනය කිරීමට උත්සහකරනා සතර දෙනෙකි. පිරිමින් දෙදෙනෙකුගෙන් සහ ගැහැනුන් දෙදෙනෙකුගෙන් මෙම කල්ලිය සමන්විත වූහ. ඔවුන්ගේ නායකයා වූයේ කපිතාන් මහතීර් මහමූඩ් ලෙසින් තමන්ව හඳුන්වා ගත් සොහෙයිර් යූසුෆ් අකාචේ නම්වූ 22 හැවිරිදි ලෙබනනයේ උපත ලද පලස්තීන ජාතික තරුණයෙකි. ඔහුගේ සහයට හින්ද් අලමේහ් නම්වූ 22 හැවිරිදි ලෙබනන් ජාතික ක්‍රිස්තියානි තරුණියද ( මැය සිද්ධිය වනවිට මහමූද් හා විවාහ ගිවිසගෙන සිටියාය ), සුහෙයිලා සයේහ් නැමැති 22 හැවිරිදි ඊශ්‍රායලයේ උපත ලද පලස්තීන ජාතික ක්‍රිස්තියානි තරුණියද, 23න් හැවිරිදි ලෙබනන් ජාතික තරුණයෙක් වූ වාබිල් හර්බ්ද වූහ.

"නිහඬවනු.. නිහඬවනු..මම කපිතාන් මහමූඩ්. මමයි නායකයා.. පලස්තීන ජනතාවගේ නාමයෙන්, මෙම ගුවන් යානය මගේ යටතට ගන්නවා" යි කියමින් කල්ලියේ ප්‍රධානියායැයි හඳුන්වා ගත් තැනැත්තා මගීන්ට නිවේදනය කළේය. එයින් පසු නියමු කුටිය කඩාවැදුණු ඔහු සහායක නියමු වියේටෝර් හට පසු පස මගීන් සිටින පෙදෙසට යැමට නියෝග කොට කපිතාන් යෝර්ගන් ෂූමන් හට යානය සයිප්‍රස් හී ලනර්කා වෙත රැගෙන යාමට අණකළේය. එතෙක් දුර ගමන් කිරීමට ඉන්ධන නොමැති බව පවසා, කපිතාන් ෂූමන් විසින් යානය ඉන්ධන ලබා ගැනීමට රෝම ගුවන් තොටුපලට ගොඩ බැස්සවිය යුතු බව දන්වා සිටියේය. 

ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් යානය රෝම ගුවන් තොටට ගොඩ බැස්සවීය. ත්‍රස්තයන්ගේ ඉල්ලීම් රෝම ගුවන් තොටෙහිදී ඉදිරිපත් විය. ජර්මනියේ සිරගත කොට සිටි Red Army Faction නම්වූ වාමාංශික සංවිධානයේ සාමාජිකයන් දස දෙනෙකු, තුර්කියේ සිරගතකොට සිටි පලස්තීන සටන්කාමීන් (PFLP) දෙදෙනෙකු නිදහස් කිරීම සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක කප්පම් මුදලක් ඔවුන්ගේ ඉල්ලීම් වූහ. ඉල්ලීම ලබාදීමට අපොහොසත් වුවහොත් යානය මගීන් සමඟම පුපුරුවා හරින බවට තර්ජනය කළහ. මින් පෙර ඔවුන් එකීලෙසින්ම පැහැරගත් යානා ඉල්ලීම් නොලැබීම නිසා මගීන් සමඟම පුපුරුවා හැර තිබුණි. 

මෙහිදී ජර්මානු රජය, ඉතාලි රජයෙන් ඉල්ලා සිටියේ යානය පිටත්වීම වැළැක්වීම උදෙසා එහි ටයර් වෙත වෙඩි තබා හිල් කරණ ලෙසය. එහෙත්, මෙම කරදරයෙන් සම්පූර්ණයෙන්ම අත්මිදීම වඩා යහපත් යැයි සැලකූ ඉතාලි රජය, මහමූඩ් ඉල්ලූ පරිදි ඉන්ධන ලබාදී යානය පිටත් කොට ඇඟබේරා ගත්හ. 1977 ඔක්තෝබර් මස 13වන දින සවස 0545ට යානය පාලක මධ්‍යස්ථානයේ නිසි අවසරයද නොමැතිව රෝම ගුවන් තොටින් සයිප්‍රස්හී ලනර්කා බලා නික්මුණි.

---------------------


සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම කර්නල් වෙගුනර්ගේ GSG 9 ඒකකයට පැවරිණි. GSG 9 ඒකකය ඇරඹීමෙන් පසු පැවරුණු මුල්ම වගකීම මෙය වූ නිසාම, කර්නල් වෙගුනර් විසින් බ්‍රිතාන්‍යය SAS ඒකකයේ අධීක්ෂණය අපේක්ෂා කොට සිටියේය. ඔවුන් ඒ සඳහා නිරීක්ෂකයන් දෙදෙනෙකු අනුයුක්ත කළහ.

---------------------

රාත්‍රී 0828ට ලැන්ඩ්ශට් යානය ලනර්කා හී ගොඩබස්වනු ලැබීය. එයින් පැයකට පමණ පසු ගුවන් විදුලි සංනිවේදන යන්ත්‍ර ඔස්සේ මහමූඩ්ව අමතනු ලැබූ PLO සංවිධානයේ නියෝජිතයා විසින් ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කර හරින ලෙස ඉල්ලා සිටියේය. මහමූඩ් විසින් මෙයට දැක්වූ එකම ප්‍රතිචාරයනම්, PLO නියෝජිතයා විසින් උත්සහය අත්හරින තෙක්ම බෙරිහන්දී බැණවැදීමයි. නැවතත් ඉන්ධන පිරවූ යානය බීරුට් වෙත ගෙනයන ලෙස කපිතාන් ෂූමාන් හට උපදෙස් ලැබුණි. එහෙත් බීරූට් ගුවන් තොට ඔවුන් සඳහා වසා ඇතිබව කපිතාන් ෂූමාන් හට දැනගැනීමට ලැබුණි. එමනිසා මහමූඩ් විසින් දමස්කස් බලා පියාසර කරණ ලෙස ඔහුට නියෝග කළේය. රාත්‍රී 1050ට යානය ලනර්කා වලින් නික්මුණි. ඔවුන් මුලින්ම බීරූට් බලා පියාසර කළ අතර, එහි ගොඩබෑමේ අවසරය ඔවුනට නොලැබුණි. එයින් පසු, දමස්කස්, බැග්ඩෑඩ් සහ කුවෙයිට් වෙතින්ද එම ප්‍රතිචාරයම දැක්වූහ. අවසන, යානය බහරේන් බලා පිටත් විය. 

ඔවුන් බහරෙන් වෙත පැමිණෙන විට බහරේන් ගුවන් තොටුපළද වසා ඇතිබව දැනගැනීමට ලැබුණි. කපිතාන් ෂූමාන් විසින් පාලක මධ්‍යස්ථානය අමතා, වෙන කිසිඳු තොටුපළකට යාමට තරම් තමන් සතුව ප්‍රමාණවත් ඉන්ධන නොමැති බැවින් කෙසේ හෝ ගොඩබැස්විය යුතු බව දැනුම් දුන්නේය. පසුව බහරෙන් ගුවන් තොටට ගොඩබෑමේ අවසරය ඔවුනට ලැබුණි. ගොඩබෑ විගසම යනය හමුදා භටයන් විසින් වටලනු ලැබූහ. හමුදා භටයන්ව ඉවත් කර නොගතහොත් සහයක නියමුවා ඝාතනය කරණ බවට මහමූඩ් විසින් කළ තර්ජනයෙන් පසුව හමුදා භටයන් සිය ක්‍රියාන්විතය අත් හළහ. නැවතත් ඉන්ධන පිරවූ යානය ඩුබායි බලා ගුවන් ගත විය.

ඩුබායි වෙතින්ද ඔවුනට යහපත් ප්‍රතිචාරයක් හිමි නොවුණි. ගොඩබෑමේ අවසරය නිකුත් කිරීමට ඔවුන්ද මැලි වූහ. ධාවන පථය ට්‍රක් රථ වලින් සහ ගිනි නිවන රථ වලින් අවහිර කොට තිබෙනු ඔවුන් විසින් නිරීක්ෂණය කළහ. ඩුබායි ඉහළ අහසේ සැරිසරමින් සිටි ඔවුනට, ගොඩබෑමේ අවසරය හිමි වුයේ කපිතාන් ෂූමාන් විසින් ඉන්ධන අවසන් වෙමින් පවතින බව දැනුම් දුන් පසුවය. ඔක්තෝබර් 14 වන දින උදෑසන 0540 ට ලෑන්ඩ්ශට් යානය ඩුබායි ගුවන් තොටට ගොඩබැස්සවීය.

ලෑන්ඩ්ශට් යානයේ ගමන්මග සියුම්ව නිරීක්ෂණය කළ ඌල්රික් වෙගුනර්ගේ නායකත්වයෙන් යුතු  GSG 9 කණ්ඩායම ඩුබායි වෙත ළඟා වූහ. ත්‍රස්තයන් කී දෙනෙකු සිටීද, ඔවුන් කවුරුද යන තොරතුරු වෙගුනර් ඇතුළු කණ්ඩායමට වැදගත් වුවද, බුද්ධි නිළධාරීන් එම තොරතුරු සැපයීමට අපොහොසත් වූහ. අවසානයේ ඔවුන්ගේ සහයට පැමිණියේ කපිතාන් ෂූමාන්ය.

දුම්වැටියක් පානය කිරීමේ අවසරය සහිතව මදක් පිටතට පැමිණි කපිතාන් ෂූමාන්, සිගරට් හතරක් ගෙන දෙකක් කොටටද, අනෙක් දෙක ඊට වඩා දිගටද සිටින ලෙස මිටි බැඳ, රහසින් එළියට විසි කරනු ලැබීය. කර්නල් වෙගුනර් විසින් මෙම සංඥව නියමාකාරයෙන් ග්‍රහණය කරගනු ලැබීය. පිරිමින් දෙදෙනෙකු සහ ගැහැනුන් දෙදෙනෙකු යානය තුළ සිටින බව ඔහු විසින් අවබෝධ කොට ගත්තේය.

"කොල්ල කරුවන් කණ්ඩායමේ හතර දෙනෙක් හිටියා. දෙන්නෙක් පිරිමි, දෙන්නෙක් ගැහැණු. අපි මහත ගැනි ලෙසින් හඳුන්වපු සුහෙයිලා හැම තිස්සෙම ක්‍රෝධයෙන් පසු වෙච්ච දුෂ්ට ගැහැනියක්. කල්ලියේ නායකයා වුණේ මහමූඩ් ලෙසින් තමන්ව හඳුන්වා දුන් පුද්ගලයා. ඔහුත් හරිම භායානක, ඉක්මනින් කලබලවෙන ක්‍රෝධයෙන් පිරිච්ච නහර කාරයෙක්. මිනිහා කියන එක නෑහුවොත් වෙඩි තියලා මරලා දාන්න දෙපාරක් නොහිතන ජාතියෙ කෙනෙක් එයා."  - බියර්ගිට් රෝඑල් 

මේ අතරවාරයේ යානයේ දොරටුවක් විවර කළ මහමූඩ් පිටතට නිරාවරණය විය. මෙය කර්නල් වෙගුනර් ඇතුළු පිරිසට ඔවුන් ගැන අවබෝධයක් ලබා ගැනීමට මහඟු අවස්ථාවකි. ඔවුන් විසින් ඡායාරූප කිහිපයක්ම අරගැනීමට සමත්වූ අතර එමගින් කොල්ලකරුවන් විසින් අතදරා සිටින ආයුධ කුමන ආකාරයේ ඒවාදැයි මනා අවබෝධයක් ලබා ගැනීමටද ඔවුනට හැකිවිය. 

ඔක්තෝබර් 16වන දින SAS නිලධාරීන් දෙදෙනාද ඩුබායි වෙත ළඟා වූහ. කර්නල් වෙගුනර් ඇතුළු කණ්ඩායම හා එකතුවූ ඔවුන් ක්‍රියාන්විතය සැලසුම් කිරීමට වූහ. 

ලෑන්ඩ්ශට් යානයට සැතපුම් දෙකක් මෙපිටින්, කර්නල් වෙගුනර් ඇතුළු කණ්ඩායමට අවැසි සියල්ලම සපයා තිබුණි. ලෑන්ඩ්ශට් යානය Boeing 737 වර්ගයේ යානයක් වූ බැවින් එවැනිම තවත් යානාවක් ඔවුන්ගේ පෙර පුහුණුවීම් සඳහා සපයා තිබිණ.

මූලික සැලසුම වූයේ යානයේ තටු දෙකට ඉහළින් වූ හදිසි දොරටු දෙක සහ ඉදිරි දොරටුව පිටතින් විවර කොටගෙන ඇතුළට කඩාවැදීමයි. එවිටම වාගේ යානයේ පහතින් වූ විදුලි පරිපථ පාලක පුවරුවක් ආධාරයෙන් යානයේ විදුලිය විසන්ධි කිරීම මගින් ත්‍රස්තයන්ව වික්ෂිප්ත කොට හදිසි ප්‍රහාරයක් මගින් යටත් කොට ගැනීමට හෝ ඝාතනය කිරීමට සැලසුම් සකස් කෙරිණ. ත්‍රස්තයන් සිව් දෙනා, කෙනෙකු නියමු කුටියේද, දෙදෙනෙකු ඉදිරි පස සහ මධ්‍යයේද, අනෙකා පසුද පස ස්ථානගත වී ඇතැයිද ඔවුන් උපකල්පනය කළහ.

මෙම සැලසුම ඔස්සේ ඔවුන් විසින් කිහිප වාරයක්ම සිය පෙර පුහුණුවීම් සිදු කරනු ලැබූහ. මේ අතර වාරයේ ත්‍රස්තයන් විසින් යානයට ඉන්ධන, ආහාර, ජලය ලබා ගැනීම හා කසළ බැහැර කිරීම් සිදු කරණ ලදී.

දැන් ප්‍රහාරයට සියල්ල සුදානම්. එහෙත් හදිසියේම අනපේක්ෂිත දෙයක් සිදු විය. හදිසියේම යානය ඩුබායි තොටින් නික්මිණි. කර්නල් වෙගුනර් ඇතුළු කණ්ඩායමට යානය කුමන දිශාවක් බලා ගමන් කළේද යන්න පිළිබඳ කිසිඳු අදහසක් නොවුණි. ඒ ඔක්තෝබර් 17 වෙනිදායි.

ඩුබායි වලින් නික්මුණ යානය යේමනයේ ඒඩන් ගුවන් තොටුපළ වෙත ළඟා විය. ඒඩන් බලධාරින්ද යානය ගොඩබෑමට අවසර නිකුත් නොකළ අතර ධාවන පත දෙකම වාහන මගින් අහුරා තිබුණි. යානයේ ඉන්ධන අවසන් වෙමින් පවතින බව දැනුම් දුන්නද ඔවුන්ගේ තීරණයේ වෙනසක් නොවුණි. අවසානයේදී කපිතාන් ෂූමන් හට ඒ අසල වූ වැලිතීරුවක් මතට හදිසි ගොඩබෑමක් කිරීමට සිදුවූයේ ඉන්ධන අවසන් වීමෙන් යානය කඩා වැටීම වළක්වා ගැනීමටය.

යානය ගොඩබැස්වූ පසු යේමන් බලධාරීන් විසින් එය ඉවත් කරගැනීමට බලකරමින් සිටීම හමුවේ මහමූඩ් විසින් නැවතත් යානය ගුවනට ගන්නා ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී කපිතාන් ෂූමන් විසින් තමනට යානය ගුවන් ගතවීමකට සුදුසු තත්ත්වයේ තිබෙනවාදැයි පරීක්ෂා කිරීමට අවැසි බව දන්වා සිටියේ හදිසි ගොඩබෑම නිසා යානයට කිසියම් අනතුරක් වී ඇත්දැයි සැකහැරගත යුතු බැවිනි. මෙයට මහමූඩ්ගේ අවසරය ලැබුණි.

යානය පරික්ෂාකොට අවසන් කළ කපිතාන් ෂූමන් එයින් පසු රහසින්ම යේමන් බලධාරින්ව හමුවීමට ගුවන්තොටුපළ වෙත ගමන් කෙරුවේය. එසේ යෑමෙහි අදහස අපැහැදිලි වුවද, ඔහු විසින් කිසියම් මැදිහත්වීමක් ඉල්ලා සිටිම පිණිස ගියා වන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් මෙයට මැදිහත්වීමට අකමැතිවූ යේමන් බලධාරීන් විසින් ඔහුට නැවතත් යානයට යන ලෙස බලකොට සිටියහ.

කපිතාන්ගේ පමාව දුටු මහමුඩ් කෝපයෙන් දැවෙමින් සැමෝටම බැණ වදිමින් කෝපාවිෂ්ටව සිටියේය. කපිතාන්වරයා බියගුල්ලකු සේ පැනගියේයැයි ඔහු විසින් චෝදනා කළේය. මේ අතර වාරයේ යේමන බලධාරීන් විසින් කපිතාන්වරයාව නැවත හරවා එවන බව ගුවන් විදිලි සංනිවේදන යන්ත්‍ර මගින් මහමූඩ් වෙත දන්වා සිටියහ.

කපිතාන් ෂූමන් යානයට පැමිණි වහාම ඔහුව ගෙලෙන් අල්ලා යානය තුළට තල්ලු කළ මහමූඩ් විසින් යානය මධ්‍යයේ ඔහුව දණ ගස්වනු ලැබීය.

"මේ කළ දේට තමා වැරදි කරුද, නිවැරදි කරුද ?" යි කපිතාන්වරයාව ප්‍රශ්න කර සිටියේය.

"කැප්ටන් මම. මම.... " කපිතාන් ෂූමන් යමක් පැහැදිලි කිරීමට සැරසිනි.

"මේ සම්බන්ධයෙන් තමා වැරදි කරුද නිවැරදි කරුද ? " කපිතාන් වරයාට පැහැදිලි කිරීමට ඉඩ නොතබාම නැවතත් ඇසීය. නැවතත් කපිතාන් ෂූමාන් විසින් යමක් පැහැදිලි කිරීමට උත්සහ කෙරිණි.

"මේ සම්බන්ධයෙන් තමා වැරදි කරුද නිවැරදි කරුද ? " නැවතත් එකම ප්‍රශ්නය එල්ල විය.

කපිතාන් ෂූමාන් විසින් තමා නිවැරදි කරු බවට ප්‍රකාශකර සිටියේය. ඉන්පසු මහමූඩ් විසින් කිසිඳු පැහැදිලි කිරීමකට ඉඩ නොතබාම, හිසට වෙඩි තබා කපිතාන් ෂූමාන්ව ඝාතනය කර දැමීය.

"ඒ මොහොතෙ යානය තුළ පුදුම නිහැඩියාවක් තිබුණෙ, කාටවත් ඕනා වුණේ නෑ ඇඬීමක් මගින් මහමූඩ්ගේ අවධානයට ලක්වෙලා මිනිහගෙන් වෙඩි කන්න. ඒක හින්දා අපි හැමෝම නිහඬවම හිටියා. පිළිකුල් සහගතම දේ තමා අර මහත ගෑනි මේ ඔක්කොම දිහා ඇපල් ගෙඩියක් කකා බලන් හිටිය එක. " - බියාටහ් කෙලර් 

ඔක්තෝබර් 17 වන දින උදෑසන 0630ට නැවතත් යානයට ඉන්ධන ලබා ගැනීමෙන් පසු, මහමූඩ් විසින් නියමු වියේටෝර් හට යානය සෝමලියාවේ මොගඩිෂූ වෙත රැගෙන යන ලෙස උපදෙස් දුන්නේය.

කපිතාන් ෂූමාන්ව ඝාතනය කිරීමේ ප්‍රවෘත්තිය හා යානයේ ඊළඟ ගමනාන්තය පිළිබඳ තොරතුරු ඩුබායිහී රැඳී සිටි කර්නල් වෙගුනර් ඇතුළු පිරිසට දැනගැනීමට ලැබුණි. ඔවුන් වහාම මොගඩිෂූ බලා ගමන් කළහ.

මොගඩිෂූ දක්වා වූ, යානයේ මාර්ග සටහන
මොගඩිෂූ වේලාවෙන් උදෑසන 0622ට පමණ ලෑන්ඩ්ශට් යානය මොගඩිෂූ වෙත ගොඩබස්වනු ලැබීය. හිරකරුවන් නිදහස් කිරීමේ කාලය ඔක්තෝබර් මස 17 වන දින සවස 0400 දක්වා දීර්ඝ කෙරිණි. අසමත් වුවහොත් යානය මගීන් සමඟම පුපුරුවා හරින බවට මහමූඩ් විසින් ප්‍රකාශ කළේය. ජර්මානු රජය සිරකරුවන් නිදහස් කිරීමට එකඟ වූ බවත්, ඔවුන් මොගඩිෂූ දක්වා පැමිණීමට කාලයක් ගතවෙන බැවින් කාලය දීර්ඝ කරණ ලෙසත් ඉල්ලීමක් කෙරිණ. එබැවින් ඔක්තෝබර් මස 18 වන දින උදෑසන 0230 දක්වා කාලය දීර්ඝ කෙරිණ. කෙසේවෙතත්, මහමූඩ් ඇතුළු පිරිස විසින් සියලු මගීන්ගේ අත් ගැටගසා, ඔවුන් මතට යානයේ වූ මධ්‍යාසාර ඉස, වඩා හොඳ දැවීමකට ඔවුන්ව සුදානම් කිරීමට වගබලා ගත්හ. සියලු මගීන් මෙයින් පසු තමන් සිය ජීවිතයේ අවසානයට ළඟාවී ඇති බව නිශ්චය කරගත්හ.

කර්නල් වෙගුනර් ඇතුළු පිරිස මොගඩිෂූ වෙත ළඟා වූ අතර ජර්මනියේ බොන් නුවර සිට තවත් GSG 9 කණ්ඩායමක් ක්‍රියාන්විතයට සහභාගීවීම පිණිස මොගඩිෂූ වෙත ළඟා විය. ජර්මානු රජය, ක්‍රියාන්විතය උදෙසා සෝමාලියානු රජයේ පූර්ණ අනුමතිය ලබාගෙන තිබුණි. එපමණක් නොව සෝමාලියානු හමුදාවෙ සහයද ඔවුනට හිමි විය.

ප්‍රහාරය, ඔක්තෝබර් මස 18 වෙනි දින අලුයම 0200 ට පමණ දියත් කිරීමට සැලසුම් කළහ. මේ අතර සැලසුමෙහි සුළු වෙනස්කම් කිහිපයක් සිදු කෙරිණි. ප්‍රහාරය එල්ල වන විට කොල්ල කරුවන්ව හැකිතාක් මගීන්ගෙන් ඉවත් කොට තැබීමට ඔවුනට අවැසි විය. මහමූඩ්ව නියමු කුටියේම රඳවා තැබීම උදෙසා ඔවුන් විසින් හිරකරුවන් හුවමාරු කරගැනීම පිළිබඳ ගනු දෙනුව පාලක මධ්‍යස්ථානය ඔස්සේ ගුවන් විදුලි සංනිවේදන යන්ත්‍ර මගින් සිදු කළහ. එම පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීම උදෙසා මහමූඩ් හට නියමු කුටියේම රැඳී සිටීම අනිවාර්යය විය. එමගින් ප්‍රහාරය එල්ල වන විට මහමූඩ් යානයේ නිශ්චිත, දන්නා ස්ථානයක රඳවා තබා ගැනීමට කර්නල් වෙගුනර් ඇතුළු පිරිස උපායශීලී විය. තවද, මහමූඩ් ඇතුළු පිරිසගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා ප්‍රහාරයට තත්පර කිහිපයකට පෙර යානය ඉදිරිපස විශාල ගින්නක් දැල්වීමට සැලසුම් කෙරිණි. මෙහි වගකීම සෝමාලියානු හමුදාවට පැවරිණි.

අලුයම දෙක පසුවී මොහොතකට පසු හිරකරුවන් රැගත් යානය කයිරෝ වෙතින් නික්මුණු බවට පාලක මධ්‍යස්ථානයෙන් නිකුත් කෙරුණු ගුවන් විදුලි පණිවිඩයෙන් මහමූඩ් වෙත දන්වා සිටියේය. මෙය ඇත්තෙන්ම ව්‍යාජ පණිවිඩයක් විය. ප්‍රහාරක කණ්ඩායම් තුනක් ඉදිරිපස දොරටුව සහ තටු මත වූ හදිසි දොරටු අසල යානයට කඩා වැදීමට සූදානම්ව සිටිහය. ඉන් ඉදිරිපස කණ්ඩායම කර්නල් වෙගුනර්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය. එසැනින් යානය ඉදිරිපස විශාල පිපිරුමක් සමඟ ගිනි ජාලාවක් හට ගත්තේය, ඒ සමඟම දොරටු ත්‍රිත්වය විවර කරගත් GSG භටයන් මගීන්ට පහත් වී සිටින ලෙසත්, තමන් බේරාගැනීම පැමිණිබවත් ජර්මන් භාෂාවෙන් කෑගසමින් යානය තුළට කඩා වැදුණි. හින්ද් අලමේහ් මුලින්ම ඔවුනට මුණ ගැසුන අතර ඇයව වහාම වෙඩි තබා ඝාතනය කළේය. ඊළඟට වාබිල් හර්බ් අත්බෝම්බ දෙකක් රැගෙන පහර දීමට සැරසෙන විටම GSG භටයන්ගේ ප්‍රහාරයට ලක්විය. එහෙත් ඒ සමඟම අත්බෝම්බ දෙක පුපුරා ගිය අතර කාර්යය මණ්ඩල සාමාජිකාවක් සුළු තුවාල ලැබීම හැරුණුකොට එයින් වැඩි ව්‍යසනයක් සිදු නොවුණි. මොහොතක කාලයකට එය එකම ගාලගෝට්ටියක් විය. ඇතැම් භටයන් කලබල වූ මගීන්ව හදිසි දොරටු ඔස්සේ ඉවත් කරමින් සිටිනා අතර අනෙක් අය විසින් ත්‍රස්තයන් දඩයමේ නියුක්ත වූහ. දෙදෙනෙකු මිය ගොස් හමාරය. මහමූඩ් නියමු කුටියේ සිටින බව ඔවුන් දැන සිටියහ. ඔහුව දඩයම් කිරීම සඳහා දෙදෙනෙකු නියමු කුටිය අසල රැඳී සිටියහ. මහමූඩ් විසින් කුටියෙන් පිටතට නික්මෙන විටම ඔහු ප්‍රහාරකයන්ගේ ඉලක්කයට හසු විය. එසැනින් ඔහු මිය ගියේය. මේ වනවිට සියලුම මගීන් පාහේ යානයෙන් ඉවත්වී සිටියහ. නමුත් තවමත් මගීන්ගේ වෛර්යයට පාත්‍රවූ මහත ගෑනියැයි නම ලද සුහෙයිලාව ඔවුනට හමුවී නොතිබුණි. ඇය මගීන් සමඟම පැන ගත්තේ යැයි යන සැකයද ඔවුනට ඇති විය. එහෙත් නැවතත් යානය සියුම්ව පරික්ෂා කරනවිට වැසිකිළිය තුළ සැඟවී සිට පහර දීමට සැරසුණු ඇය GSG භටයන්ගේ පහරින් තුවාල ලැබීය. ක්‍රියාන්විතය එලෙසින් අවසන් විය.


මුලු කියාන්විතයම විනාඩි හතකට අඩු කාලයකට සීමා විය. සියලුම ප්‍රාණ ඇපකරුවන්ව නිරුපද්‍රිතව බේරා ගැනුණු අතර ත්‍රස්තයන්ගෙන් තිදෙනෙකු ඝාතනය කෙරිණි. එක් අයෙකු ජීව ග්‍රහණයෙන් තුවාල සහිතව අල්ලා ගැනුණි. කපිතාන් ෂූමාන්ගේ මරණය නොවන්නට ක්‍රියාන්විතය සම්පූර්ණ සාර්ථකත්වයකින් අවසන්වූ එකක් ලෙස ඉතිහාස ගත වීමට තිබුණි.

හෝරා කිහිපයකට පසු ඔවුන් සියලු දෙනාම එම ගුවන් යානයෙන්ම ජර්මනිය වෙත ළඟා වූයේ වීරයනට හිමි උණුසුම් පිළිගැනීමක් සමඟිනි.

මියුනික් හීදී ජර්මනියට ඇතිවූ කළු පැල්ලම, යම්තාක් දුරකින් හෝ මකා දැමීමට කර්නල් ඌල්රික් වෙගුනර් ගේ නායකත්වයෙන් දියත් කෙරුණු මෙම ක්‍රියාන්විතයට හැකි වූවා නොඅනුමානය. ඒ පිළිබඳ ඇගැයීමක් වශයෙන් ක්‍රියාන්විතයෙන් පසු ඔහු Großes Bundesverdienstkreuz (Commander's Cross of the Federal Cross of Merit ) සම්මානයෙන් පිදුම් ලද අතර පසුව ඔහුව ජනරාල් පදවිටද උසස් කරණ ලදී.

~~නිමි~~

මූලාශ්‍ර ;


සැකසුම ;
~~සෙන්නා / 26.04.213

94 comments:

  1. වටිනා ලිපියක්. නොදන්න බොහෝ දේවල් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. පුංචි, කාලෙකින් උදෙන්ම ඇවිත්.. :D

      නොදන්න දේවල් දැනගන්න සැලැස්වීමට ලැබීම සතුටක්.. ස්තූතියි.

      Delete
  2. මදි මදි,මේ කතාවේ ත්‍රාසය හා භීතිය මීට වඩා ගොඩාක් තියනවා. කම්මැලිකමට කෙටියෙන් ලියලා.

    කමක් නැහැ සෙන්නා. සමහර අය ඔබේ මේ සටහනෙන් වෙන්න පුළුවන් මුලින්ම මේ කතාව දැනගන්නේ. ඒ වගේම මේ ත්‍රස්තවාදී සංවිධාන ගැනත් ලියන්න. එතකොට තමයි අග මුල සම්පූර්ණ වෙන්නේ. 'ලයිලා ඛාලිඩ්' ගැන එහෙම ඊළඟ ලිපියකින් කියවන්න බලාපොරොත්තු වෙනවා.

    ලෝක ත්‍රස්තවාදයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පෝෂණය වුන බවත් සඳහන් කරන්න ඕනෙ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහතා,

      එහෙනම් කතාවෙ සමහර කරුණු මට මග හැරිලා කියලා හිතෙනවා.. මට දැන ගන්න ලැබුනු සම්පූර්ණ කතාවම වගේ ලිව්වා.. ලිපිය දිග වෙන එකනම් ටිකක් පාලනය කරන්න වෙහෙසුනා, මොකද බොහොමයක් අය දිග ලිපි වලට මනාප නැති නිසා..මේකත් දිග වැඩිද මංදා.. :(

      ස්තූතියි ඔබේ අවංක අදහස් දැක්වීමට..

      Delete
    2. භයානක ත්‍රස්ත කණ්ඩායමක් එක්ක යුදපිටියෙ සටන් කල හිටපු හමුදා විරුවෙක් වන විචාරක තුමාගෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනව මෙවන් සිදුවීමක් ලියන්න කියල.

      Delete
    3. නැහැ සෙන්නා, අපේ පාඨකයෝ බුද්ධිමත්, රසය තියනවානම් කොටස් කීපයක ලිපියක් වුනත් කියවනවා. මම අදහස් කරේ ඔබ කියා ඇතිදේම විරුද්ධ පැත්ත. ඒ කියන්නේ තව විස්තර කරලා ලියන්න කියලා.

      @කෙන්ජි. මගේ අඩවියේ කෙටුම්පත් ගොඩක් තියනවා. ඇත්තටම අවංකවම කියනවානම්, මේ වර්ගයේ ලිපි මම කියවන්නේ කුරුන්දෙන්. සෙන්නා ලඟත් ඇති තව කෙටුම්පත්. මම අර මතක් කරලා තියෙන්නේ ලයිලා ඛාලිඩ් කියලා ත්‍රස්ත සාමාජිකාවක් ගැන. අපේ සෙන්නටම කියමු තවත් මෙවනිදේ ලියන්න කියලා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. විචාරක මහතා,

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් දැක්වීම වලට.. මතු ප්‍රයෝජණය සඳාහා හොඳින් ධාරණය කර ගතිමි. ඇත්තෙන්ම මම ලඟ කෙටුම් පත් කිසිවක් නෑ විචාරක මහතා..රසවත් කියලා හැඟෙන කතාවක් දැක්කොත් ඒක ලියලා දානවා.. මේ ලිපියෙ ඔබලා දකින අඩුපාඩු වලට හේතුව මට පැහැදිලියි.. මොකද මේක ලියන්න මම වෙනදා වගේ වෙලා ගත්තෙ නෑ.. දවසකින් ඉවර කළා.. ඒ ඉක්මන් කම ලිපියේ රසය මරලද කියලා හිතෙනවා.. ලයිලා බාලිඩ් ගැන හොයලා බලන්න ඕනා..

      කෙන්ජි,

      සිංහල බ්ලොග් අවකාශයේ මෙවැනි ලිපි සඳහා සුදුසුම පුද්ගලයා විචාරක මහතා තමා.. ඔහු මෙවනි ලිපියක් ලියන විට නිරායාසයෙන්ම ඔහුගේ අත්දැකීම් එකතුවෙන නිසා ලිපිය නිකන්ම රසවත් වෙනවා.. අපි කොච්චර දැඟලුවත් ඒ තත්ත්වෙට ගන්න අමාරුයි..

      දෙන්නගෙම අදහස්වලට බොහොම ස්තූතියි.

      Delete
  3. බොහොම කාලෙකට ඉස්සර පත්තරේක ගියා ලිපියක්.. ආයෙමත් කතාව මතක් කලාට තැන්කූ සෙන්නා.. :)


    පලි: SAS කියන්නෙ ත්‍රස්ත මර්දන ඒකකයක්ම නෙවෙයි.. ඒක special elite force එකක්.. හරියට US - Delta, Russian - Spetsnaz වගේ..

    පපලි: විචාරක මහතා හා එකඟයි.. මේ කතාව මීට වඩා බොහොම රසවත්ව ලියන්ට තිබුනා.. අර පත්තරේ ලිපියනං මීට වඩා දිගයි, චෝයි මට මතක විදියට.. සෙන්නා කම්මැලි වෙන්ට එපා බං.. :D

    ReplyDelete
    Replies
    1. පලියට - තැන්කුයි...උඹ නිවැරදියි තමා..

      පපලියට - මටත් මතකයි පොඩි කාලෙ දිවයිනේ ගියා කතාවක් මොගඩිෂූ ප්‍රහාරය කියලා.. මම මේ මතක් කරන්න වෙහෙසුනේ මේ ඒ කතාවමද කියලා..පත්තරේ ගිය එකනම් සති ගානක් ගියා වගේ මතකයි. කම්මැලි වුනේනම් නෑ බන්.. ඒත් මට මීට වැඩිය දෙයක් දැන ගන්න ලැබුනෙ නෑ.. තව මොනවා හරි තියනවද මට මගහැරුනු..කොට කරන්න එක හේතුවක්නම් විචාරක මහතාට කියපු එකම තමා..

      Delete
    2. නැහැ නැහැ.. මං කිවුවෙ ඒ දිවයින පත්තරේ ගිය ලිපිය ගැන නෙවෙයි මචං.. මං ඉපදෙන්නත් කලින් නවයුගය (වෙන්න ඕන. හරියටම ෂුවර් නෑ) පත්තරේක ගිය ලිපියක් ගැන.. අපේ තාත්තටත් ඔය වගේ ලිපි එකතුකරන පිස්සුවක් තිබුනනෙ (මට තියෙන පිස්සු ඉතිං වෙන කොහෙන් එන්ටද බං).. මැද පිටු 2ක් පුරෝලා, පින්තූර එහෙම දාලා ලස්සන විස්තරයක් තිබුනා..

      පපලිය ගැන: කතාවට තව එකතු කරන්ට දෙයක් නෑ.. ඒක නෙවෙයි මං කිවුවෙ, තව රසවත්ව සීන් එක මවලා පෙන්නන්ටයි කියලා, නිකං, කියෝන එවුං ටිකත් ප්ලේන් එක ඇතුළේ ඉන්නවා වගේ මැවිලා පේන්ට.. දිග වැඩි කරන්ට ඕන නෑ.. මේ ගාන හොඳයි.. :D

      Delete
    3. මම ඉපදෙන්නත් කලින් නවයුගය? නව යුගය කියන්නේ අලුත් කාලය කියන එකනේ. ඉතිං කොහෙද ඉපදෙන්නත් කලින් අනාගතය? :D :D :D

      ඇත්තටම සමහර සිදුවීම් පැටලෙනවා. මොගඩිෂු වලට සම්බන්ධ සිදුවීම් දෙකක් තියනවා. එකක් සෙන්නා ලියලා තියන මේ කතාව. අනික් සිද්ධිය මෙන්න මේක ඔය අතරේම මතකයට එන තවත් සිද්ධියක් තමයි එන්ටබේ ක්‍රියාන්විතය

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. බූරා,

      ස්තූතියි බන්ස් උඹේ වටිනා අදහස් වලට.. සීන් එක මවලා පෙන්වන එකේදි ටිකක් අසාර්තකයි කියලා මටත් දැන් හිතෙනවා.. බලමු ඊලඟ ලිපිවලදි ඒ ගැන අවදානය යොමු කරන්න.. මේක වෙනදා වගේ හිමින් ලියපු එකක් නෙමේ.. ඒක තමා මේකට හේතුව කියලා මට හිතෙනවා..

      ඒක නෙමේ special elite force කියන එකට හරියන සිංහල නමක් කියහන්කො.. ඒතන හදලා දාන්න..

      විචාරක මහතා,

      නවයුගය හරි පුරස්නයක් තමා.. :D :D :D

      ඔබ කියන අනිත් මොගඩිෂු කේස් එකනම් මම අහලම තිබුනෙ නෑ.. කියවන්න ඕනා ඒක.. ජනරල් වෙගුනර් එන්ටැබේ ක්‍රියාන්විතයටත් සම්බන්ධ වෙලා තියනවා.. එන්ටැබේ ක්‍රියාන්විතය පිළිබඳ සත්සමුදුරේ ලියවුනු අංග සම්පූර්ණ ලිපිය මෙතනින්..

      Delete
    5. @ විචාරකතුමා,

      මං කිවුවය කියලා හිතාගන්ට ඕං.. :D

      ඔය 93 මොගඩිෂු යුද්ධෙ සම්බන්ධ සිරා ෆිල්ම් එකක් තියෙනවා 'Black Hawk Down' කියලා බලලා තියෙනවද.??

      @ සෙන්නා,

      අරකට සිංහල නමක් දාන්ට අපි විචාරකතුමාටම කියමු.. නැත්තං ඩූඩියත් හොඳා..

      Delete
    6. @ බූරා :D :D :D

      දන්නවා නේද මම ඔය ජාතියේ 'පිච්චර් පෙරේතයෙක්' බව. බ්ලැක් හෝක් ඩවුන් ටොරන්ට් මගින් බාගෙන ඩී.වී.ඩී. එකකට ගහලා මගේ චිත්‍රපටි එකතුවට ඇතුළු කලේ ටික කලකට ඉහතදී.

      @ සෙන්නා. elite force කියන ගණයට වැටෙන්නේ කමාන්ඩෝ සහ විශේෂ බලකාය වැනි විශේෂ ක්‍රියාන්විත සඳහා යොදාගන්නා හමුදා. ඔවුන්ට ලබාදෙන්නේ ඉතා දුෂ්කර සහ විශේෂඥ පුහුණුවක්. ඒ කණ්ඩායමක, ප්‍රහාරක සෙබළුන්ගේ සිට වෛද්‍ය,ඉංජිනේරු,ගුවන් නියමු,පිපිරවීම් විශේෂඥ,අති දක්ෂ රියදුරු, විවිධ වාහන හැසිරවීමේ දක්ෂයන් ආදී මෙකී නොකී සියල්ලන් ඉන්නවා. එමෙන්ම ඔවුනට ආවේනික වූ ඇඳුම් ආයිත්තම් පමණක් නොව ඔවුන් සඳහාම නිපදවූ අවි ආයුධ සහ පණිවිඩ හුවමාරු උපකරණද තිබෙනවා. මමනම් හිතන්නේ වඩාත් සුදුසු 'විශේෂ බලකාය' හෝ 'විශේෂ ක්‍රියාන්විත බලකාය' කියන එකයි.

      එන්ටබේ ගැන මම කියලා තියන සිද්ධිය පිළිබඳව චිත්‍රපටි සහ වාර්තා චිත්‍රපටි කීපයක් තියනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    7. බූරා / විචාරක මහතා, දෙන්නටම බොහොම ස්තූතියි නැවතත්.. මම කැමතියි විශේෂ ක්‍රියාන්විත බලකාය කියන එකට..

      Delete
    8. @ Buratheno,

      මට නම් 'Black Hawk Down' බලනකොට ආවෙ සුළඟ එනු පිණිස බලනකොට ආව හැඟීමමයි. මඟක් යනකොට අන්තිම බෝරින්නෙ.. :(

      Delete
    9. හෑ බෝරින්..!!?? ෂුවර්ද ඔය බැලුවෙ Black Hawk Down film එකමයි කියලා..?? :S

      Delete
    10. ඔව් අර.. හෙලිකොප්ටරේ වැටෙන සීන් එක තියෙන එකනෙ.. ඊටපස්සෙ ඒක බේරගන්න යන තවත් ඒවා වැටෙන්නෙ..

      Delete
  4. SAS එක කරලියට ආවෙ ඉරාන තානාපති කාර්යාලයෙ සිද්දියත් එක්ක නේද? මට මේක කියවද්දී මතක් උනේ ඒකයි, අර එන්ටෙබේ ගුවන් තොටුපළෙන් ඊශ්‍රායල් කාරයො ප්‍රාණ ඇපකරුවන් ගලවගත්ත සිද්දියයි. සැහෙන වෙහෙසක් අරන් තියෙනව වගේ ලියන්න. දිගට ලියනවට වඩා අමාරුයි ලියපු දෙයක් කෙටි කරන එක.

    ReplyDelete
    Replies
    1. මුහුදු,

      SAS එකේ ඉතිහාසයනම් වැඩිය දන්නෑ බන්.. හොයලා බලන්න ඕනා.. ලිපිය සංක්ශිප්ත කරන්න ගිහින් පොඩ්ඩක් අලවෙලා කියලා තමා මටත් දැන් හිතෙන්නෙ.. :D

      ස්තූතියි බන්..උඹේ කමෙන්ට් එකට..

      Delete
    2. SAS එකේ අතීතය දෙවෙනි ලෝක යුද්ධ කාලෙට යනවා.. විශේෂයෙන්ම සතුරාට පිටිපස්සෙන් පැරෂුට්වලින් ගොඩබැහැලා කරන පහරදීම්, මර්මස්ථාන විනාශ කිරීම්, පාටිසාන්ලත් එක්ක එකතු වෙලා කරන ගරිල්ලා පහරදීම් වලට තමා මෙයාලව යොදාගත්තෙ‍..

      ඒත් මේක වෙනමම regiment එකක් විදියට පිහිටවන්නේ ලෝක යුද්ධෙන් ටික කාලෙකට පස්සෙ, DP කමාන්ඩෝ යුනිට් එකක් හැටියට.. මේක අයිතිවෙන්නෙ UK Special Forces යටතටයි..

      මලයාවෙ කමියුනිස්ට් ගරිල්ලන්ට පහරදෙන්ට පටන්ගත්ත කාලෙ ඉඳන් මේ වෙනකම් හැම ප්‍රධාන යුධ අවස්ථාවකම වගේ - ෆෝක්ලන්ඩ්ස්, උතුරු අයර්ලන්තෙ, IRA attacks, ගල්ෆ් I හා II, එතකොට බොස්නියාවෙ NATO attacks, ඇෆ්ගනිස්ථාන් - ඔය හැම එකකම වගේ සම්බන්ධ වෙලා තියෙනවා..

      මෙයාලගෙ Counter Terrorist Wing එකක් වෙනම තියෙනවා.. ඒක තමා මුහුදු ඔය උඩින් කියලා තියෙන ඉරාන් එම්බසි සීන් එකේදී ගේමට බැස්සෙ..

      Delete
    3. බූරා, ගොඩක් ස්තූතියි විස්තර වලට.. ගොඩක් දේවල් එතනින් දැනගත්තා..

      තෝව මරාගෙන කන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි..දැන් කී පාරක්නම් කිව්වද බ්ලොග් එකක් පටන් අරන් ඕවා ටික පිළිවලට ලියලා දාපන් කියලා.. බීරි අලින්ට වීනා ගහනවා වගේ.. :D

      Delete
    4. මොකක්ද බං "බීරි අලින්ට වීනාවෙන් ගහනවා" වගේ කියන්නෙ..!? අනික ඕක සංශෝධනය වෙන්ට ඕන නේද "බීරි අලින්ට කටුස්සා කියලා කෑ ගහනවා වගේ" කියලා.. :P

      උඹලගෙ මේ කණ්කරච්චලේ ඉවසන්ට බැරිම තැන මං තීරණය කලා බ්ලොග් එකක් ලියන්ට පට්ටාං ගන්ට ඕන කියලා.. හැබැයි ඒකෙ ලියන්නෙ කවි විතරයි.. හිටපල්ලාකො බොලාට හොඳ වැඩක් කරන්ට.. :D

      Delete
    5. ඈහ්.. කවි ????????????????????????? d( =D>

      උඹ ඔය ඉන්න විදිහටම හිටහන්.. අවුලක් නෑ මචන්.. :D

      කවුරුහරි උඹට බ්ලොග් එකක් පටන් ගනින් කියලා කරදර කළොත් මට කියහන්.. මම බලාගන්නම් ඉතුරු ටික.. :D :D

      Delete
  5. සෑහෙන්න වටින විස්තරයක් සෙන්නා අයියේ.. මං මේ ගැන වාර්ථා වැඩ සටහනක් බැළුවා වගේ මතකයි.. හැබැයි හරියටම ශුවර් නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලී.. සමහර විට ඔයා මේකම වෙන්නැති බලලා ඇත්තෙ..

      Delete
  6. මම කියවද්දී නම් ත්‍රාසය,භීතිය සහ කුතුහලය ටික ගානට තිබුන කියල හිතුන.
    කොහොමත් මෙවැනි සිදුවීම් නොදන්නා අයට ඉතාමත් වටින ලිපියක්.
    ඉදිරියේදීත් මෙවැනි ලිපි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි. ඒත් මටත් දැන් හිතෙනවා තවටිකක් මවලා ලිව්වනම් හොඳයි කියලා..

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.. ඉස්සරහටත් මෙවැනි ලිපි ලියවේවි..ඔබගේ ප්‍රතිචාරය එයට හයියක්..

      Delete
  7. මේ වගේ එව්වා ඉස්සරහටත් ලියන්න මේ වගේ කතා ලියවෙනවා අඩුයිනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි KKROXC ඔබගේ අදහසට.. ඉදිරියටත් මෙවැනි ලිපි ලියවේවි..

      Delete
  8. සෙන්නෝ. මේ කට්ටිය කියන්නේ මේකයි.

    මෙන්න මෙතනින් >> අලුයම දෙක පසුවී මොහොතකට පසු හිරකරුවන් රැගත් යානය...<< පටන් අරන්
    මෙන්න මෙතනින් >>ක්‍රියාන්විතය එලෙසින් අවසන් විය.<< අවසන් වන ඡේදය උඹට තව දිග ඇරලා බලාගෙන හිටියා වගේ, dramatize කරලා ලියන්න තිබ්බා කියන එකයි.

    මොකද උඹ මෙච්චර පසු බිම සකස් කලේ ඒ ටිකට නිසා. ඒ කොටස නොසිතූ වේගයෙන් අවසන් වුනත් සංක්ෂිප්ත වැඩියි කියලයි කෙනෙකුට හිතෙන්නේ.

    වෙනදා වගේම උඹ වෙච්ච මහන්සිය මම ඉහලින් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩූඩෙ, මෙහෙම දුර්වලතා පෙන්නලා දෙන්න උඹලා වගේ කට්ටියක් ඉන්න එක කොච්චර වටිනවද.. ඕකෙ ප්‍රතිපලය ඉදිරි ලිපිවලින් පිටවේවි..

      උඹ දැන් කිව්වම තමා මටත් ඒක තේරුනෙ.. එතන තව ටිකක් විස්තරාත්මකව ලිව්වනම් හොඳයි කියලා හිතෙනවා..

      මහන්සිය අගය කිරීම ගැනත් ගොඩක් ස්තූතියි.. ඒත් මෙහෙම අඩුපාඩු පෙන්නලා දෙන එක ගැන කෝටිවාරයක් ස්තූතියි..

      Delete
    2. මේ ඉන්නෙ සෙන්නා සිංහල බ්ලොග් ලෝකයේ කතා පරිවර්තනය,අපට කැප භාෂාවෙන් ලියන දෙදරු පියා.
      මෙයා අපි/ඔබලාටත් උපදෙස් දෙන අපේ සහෝදර බොක්කෙ පියා.

      Delete
    3. අකුරක් පාසා ඇත්ත කෙන්ජි.. ඩූඩ් කියන්නෙ සිංහල බ්ලොග් අවකාශයේ පරමාදර්ශී චරිතය.. ආයෙ දෙකක් නෑ..

      Delete
    4. හුටා. අනේ බොලව් මාව නග්ගල තිබ්බට ස්තුතියි, ඒ වුනාට මාව පරමාදර්ශී චරිතයක් නම් කරන්න එපා ඕං. මොකද මම කැමති අනිත් උන් කරන වැරදි වැඩම කරගෙන ආතල් එකේ ඉන්න. ප්‍රතිරූප කියන්නේ බිඳ වැටෙන ඒවා. ප්‍රතිරූප නැතුවාම බිඳ වැටෙන්නෙ දෙයක් නෑ. :)


      අඩේ කෙන්ජිගෙ ප්‍රොෆයිල් ෆෝටෝ එක දැක්කද? :)

      Delete
    5. ඩූඩෙ, අනිත් උන් කරණ වැරදි කර කරම ආතල් එකේ ඉන්න ඕනානම් ඔහොම ඉඳලා බෑ.. අනිත් උන් කරන වැරදි කරන්න ඕන. :D

      දන්නවනෙ.. ?

      ඔව් ඔව් ඒවා තමා.. :D

      Delete
  9. මොගඩිෂු ප්‍රහාරය ගැන අහල තිබුණට ‍මෙච්චර විස්තර දැනගෙන හිටියෙ නෑ. ස්තුතියි මේ තොරතුරු වලින් දැනුවත් කළාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න...දැනුවත් වූ බව දැනුවත් කිරීම ලියන්න ලොකු හයියක්.. :D

      Delete
  10. මේ ප්‍රහාරයේ හොද සජීවි විස්තරයක් ඔබ අරන් ආවා. ඒක ඔබ ඉක්මනින් අවසන් කලා කිව්වත් අවශ්‍ය සියළු තොරතුරු හොදින් තියෙනවා. මම දැක්කා විචාරක මහත්තයා මේකේ ත්‍රාසය භීතිය මතුකරල නෑ කියල තියෙනවා. ඒක අදාළ නෑ ඔබට.. ඔබ කියන්නේ තියෙන දේ මිසක් රචනාවක් නෙමෙයි. ඒක නිසා ඒ ගැන හිතන්න අවශය නෑ.. අපේ විචාරක මහත්තයට ඒ විස්තර ඌනපුරණයක් විදියට ඉදිරිපත් කරන්න තිබුනා ඕන නං... සෙන්නා මේවා කියවන්න ඉතිං උඹ ළගටම එන්න උනා නෙව අපේ කරුමෙට.. හැක්...

    ReplyDelete
    Replies
    1. දේශකයා, උඹේ අදහසට ස්තූතියි.. විචාරක මහතා ඉතින් අහිතකින් කියපු දෙයක් නෙමේ..එතුමට දැනුන දේනෙ කිව්වෙ.. සියලු අදහස් වලට විවෘත්තයි මෙතන..

      >> සෙන්නා මේවා කියවන්න ඉතිං උඹ ළගටම එන්න උනා නෙව අපේ කරුමෙට.. හැක්... <<

      ඔය කරුමෙනම් ලේසියෙන් ගෙවලා ඉවර කරනන් බැරි වෙයි උඹට...

      Delete
    2. කව්ද බං අහිතකින් කිව්වේ. අනික ඔය පැන්සොන් ගිය විචාරක මහත්තයලට අපි බයද නෑනේ.. හැක්.. හැක්...

      Delete
    3. :D I Leave it for veteran Mr. Wicharaka.

      Delete
  11. හපොයි අර මහත ගෑනිව තාමත් අල්ලාගෙන නැද්ද?

    මට නම් හිතුනේ සෙන්නා ත්‍රසජනක ලෙස කතාව ලියලා තියෙනවා කියලයි.

    ඒ එක්කම මම ස්තූතිවන්තවෙනවා මෙන්න මේකට. හී හී...
    //LH181, Landshut යානය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් බලා යාමට සැරසෙමින් සිටියාය//

    ගුවන් යානය ස්ත්‍රියක් හැටියට දැක්වූවා වගේනේ. පිරිමියෙක් මේකට හරි නෑ. කොහේ හරි ගිහින් තමන්ගේ යානය හප්ප ගනී. අනෙක බලන්ට යානය ස්ත්‍රී. නියමුවා පිරිමියෙක්නේ. :D:D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, මහත ගෑනි ගැන විස්තරයක් තියනවා දෙවෙනි මූලාශ්‍රයේ අන්තිමට.. කියවන්නකො..

      ඔය ගුවන් යානා, නැව්, ගංගා වගේ ඒවා කොහොමත් ස්ත්‍රී වාචී කියලනෙ සළකන්නෙ.. හැබැයි බිස්මාර්ක්ට විතරක් එහෙම කළේ නෑලු.. කියවන්න විචාරක මහතගේ බිස්මාර්ක් ලිපිය..

      හැබැයි ගෑනු කැප්ටන් කෙනෙක් ආවොත් මොකෑ කොරන්නෙ එතකොට.... ශ්‍රී ලන්කන් එකෙත් ඉන්නවා මම දන්න විදිහට ගෑනු කැප්ටන් කෙනෙක්.. :-? :-O

      Delete
    2. හෝ හෝ මහරජගේ අක්කණිඩියගේ දියණියද සිටී.. ඇයි බොල මත්තලට ලොක්කව බෑවේ එයා නේ...

      Delete
    3. එහෙමද ඈහ්හ් ?? ලොක්කා පුදුමයි නාමල් කොලුවට ඕක බාන්න නොදුන්නා.. :D

      Delete
    4. "ලොක්කා පුදුමයි නාමල් කොලුවට ඕක බාන්න නොදුන්නා"

      කාවද ගෑණු කැප්ටන්වද? :P

      Delete
    5. හරීගෙ ප්‍රොෆයිල් එක හැක් කරලා කියලා හසිත කිව්වට මම ඒත් විශ්වස කළේ නෑ.. :D

      Delete
  12. ආසාවෙන් කියෙව්වා සෙන්නා... මට පොඩි අපැහැදිලි තැනක් ආවා... යානය මොගඩිෂු වලට පිටත් වෙන බවත් කපිතාන්ව මරා දැමුනු බවත් යානයෙන් එලියේ ඉන්න අය දැනගත්තේ කොහොමද... සහායක නියමුවා මහමූඩ් ට හොරෙන් ඒක පණිවුඩ හුවමාරු වලින් දැනුම් දුන්නාද?

    අච්චර සිගරැට් කඩලා පණිවුඩ දෙන්න ගත්ත මහන්සියටත් වටිනාකමක් නැතුව යනවා එහෙම ඩිරෙක්ට් කමියුනිකේට් කරන්න විදියක් තිබුනානම් :( මොනවා උනත් මෙතන ප්‍රධාන නියමුවාට ලැබිල තියෙන ගෞරවය මටනම් මදි... හැකි හැම විදියටම ඔහු උත්සාහාකරලා තියෙනවා යමක් කරන්න... මට හිතෙන විදියට කර්නල් වෙගුනර් තරම්ම ඔහුත් වීරයෙක්... :)

    ReplyDelete
    Replies
    1. බීට්ල්,

      ඕක මටත් අපැහැදිලි තැනක් මචන්...මම ඒ ගැන හෙව්වට කොහොමද දැන ගත්තෙ කියන එක ගැන හරි විස්තරයක් හම්බුනේ නෑ.. සමහර විට එහෙට හිරකාරයන්ව ගේන්න කියලා දැනුම් දුන්න එකෙන් වෙන්න ඇති දැනගන්න ඇත්තෙ..

      ඇත්තෙන්ම ඔව්..ප්‍රධාන නියමුවාත් ප්‍රධාන කාර්යයක් කරණවා තමා මේකෙදි..එයාටත් ජර්මන් රජයෙන් සම්මානයක් පිරිනමලා තියනවා..

      Delete
  13. වෙනදා වගේමයි ඇති විශිෂ්ටයි. සෙන්න අයියේ ඒ පිළිබඳව පොතකුත් ලියවෙලා තිබෙනවා නේද? මම ඒ පොත කියවල තියෙනවා. කොහොම උනත් විශිෂ්ට ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කෝරාලේ, ස්තූතියි මලේ... පොත්නම් ලියවිලා ඇතිනේද ? තව ෆිල්ම් එහෙමත් ඇති. සාමාන්‍යයෙන් මේ වගේ සිද්දි වලින් පොත්, ෆිල්ම් එහෙම පිට වෙනවනෙ..

      Delete
  14. කියවන්න මොනා හරි හොය හොය ඉන්නකොට තමයි ම්මේක හම්බුනේ. බොහොම ස්තුතියි. හරිම රසවත්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාබිත්.. ඒවගේම සතුටක්..

      Delete
  15. සෑම සාර්ථක මිනිහෙක් පිටි පසම ගැහැනියක් ඉන්නවා කියන කතාව බොරු වුනානේ.අන්තිමට කෙළ වුනා නේ මහමුඩ්ලට :)

    ඔය GSG 9 කණ්ඩායම ගැන මම පොතකුත් කියවලා තියෙනවා මට නම නම් මතක නැහැ!
    ආයේ කියන්න දෙයක් නැහැ සුපිරි ලිපියක් අයියා

    ReplyDelete
    Replies
    1. ඒ බන් හොඳ වැඩ කරද්දි.. :)

      ස්තූතියි නිශාන්..

      Delete
    2. @ නිශාන්,

      ඒ ගෑණු හැමතිස්සෙම සාර්ථක මිනිස්සු පිටිපස්සෙ යන හින්දා.. :P

      Delete
  16. ඔය වාබෙල් කියන නම චාබෙල් විදියට වෙනස් වෙන්න ඕනේ මගේ හිතේ. මොකද චාබෙල් කියන්නේ ලෙබනන් වල බොහොම ප්‍රසිද්ධ නමක්. Sayegh කියන නම තියන මිනිස්සු ටිකක් එකවගේ දෝ මට හිතුනේ මං ඔය නම තියන කීප දෙනෙක්ම ඇසුරු කල නිසා. වල්පල් වලින් වැඩක් නෑ. මං නොදැන හිටිය දෙයක් දැනගත්තා මෙතනින්. බොහොම ස්තුතියි සෙන්නා, අපුරු ලිපියක්.

    ReplyDelete
    Replies
    1. එහෙමද ක්සැන්ඩර්.. ස්පෙලින්නම් තියෙන්නෙWabil කියලා.. චාබෙල් කියලා භාවිතා කරන්නෙ ඒ නමමද කියලා පොඩ්ඩක් හොයලා බැලුවෑකිද ? මේ ඇරබික් නම්, නේම් ප්‍රනෞන්සීඒශන් ප්‍රෝග්‍රෑම් වලත් නෑ බන්..මම ඉතින් ලියලා තියන විදිහටම දැම්මා..

      ඒවා වල්පල් නෙමේ බන්.. උඹ හිතන්නෙ මම කොච්චර වෙලා ඔය ජර්මන් නම් එක්ක ඔට්ටු වෙන්න ඇති කියලද ඒවා හරියට කියවෙන විදිහටම ලියන්න..අරක බලලා කියහන්, අපි ඒක හදමු ඒ උඹ කියන නමම නම්.

      ස්තූතියි අගය කෙරුවට..

      Delete
  17. ඉතාමත් ආශාවෙන් කියෙව්වේ සෙන්නා. මේ වගේ ලිපියක් බ්ලොග් වලින් සිංහලෙන් කියවන්න නම් කුරුන්දටම එන්න ඕනෑ. නියමයි මචං. ඒ වගේම උඹේ වටිනා කාලය සහ මහන්සියටත් අපි ණයගැතියි. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතූ.. ගොඩක් ස්තූතියි.. උඹලා ආශාවෙන් කියවනවනම් ඉතින් තව ලියන්න බැරියෑ.. නැද්ද ?

      ඒක නෙමේ, මොකෝ බන් කළු සිදුහත්ට වුනේ ?

      Delete
    2. ඒක තවදුරටත් බ්ලොග් එකට නොලියන්න තීරණය කළා මචං. ලොකු හේතුවක් ඇතුව.

      Delete
    3. අයියෝ එහෙමද ?? පොතක් විධිහට හරි අපිට කියවන්න ලැබෙයි නේද ? එක අතකින් බ්ලොග් එකට ලියන එක හරි පරිස්සමින් කරන්න ඕනා තමා.. මංකොල්ලා කාරයො වැහිවැහැල.. ඒවගේ එකක් බ්ලොග් එකේ නොලියන එක හොඳයි එක අතකින්..

      ඒකෙන් පොතක් ගහපන් මචන්.. ඒක එළ කතාව..

      Delete
  18. මට දැනුනෙ මමත් ඒ මෙහෙයුමේ හිටිය වගේ හැඟීමක්..............ඒ තරම් රසවත්.
    කෝ..මේ...තුවක්කුව..!

    ReplyDelete
    Replies
    1. :D :D හෙහ් හෙහ් ස්තූතියි වීයා.. තුවක්කුව මිසින්ද ? :D

      Delete
  19. අද තමා මම මේ කතාව මුලින්ම ඇහුවේ ඔන්න. අවසානය ඛෙදවාචකයක් නොවී හොඳ අවසානයක් උන එක ගැනනම් සතුටුයි. ත්‍රස්තයින් මොකද ගුවන් යානය ලෝකේ පුරාම රවුම් ගස්සවලා තියෙන්නේ. එක තැනක ඉන්න එක අනතුරුදායකයි කියලා හිතලද?

    ඇපල් ගෙඩියක් කකා බලාගෙන හිටියා කිව්වා? :0 පිළිකුල් දර්ශනයක් නේන්නම් ඒක.

    ReplyDelete
    Replies
    1. ඉන්ධන නිකන්නෙ.. ඒකයි.. :D

      Delete
    2. රවුම් ගස්සපු එකනම් මහමූඩ්ගෙන්ම තමා අහන්න වෙන්නෙ.. කිව්වත් වගේ නිකන් තෙල් හම්බෙන නිසා පොඩි වටයක් යන්න හිතුනද දන්නෑ මිනිහට.. :D

      නිකමට හිතන්න කොච්චර මොළ ශෝධනයකට ලක් වෙලාද කියලා උන්ගෙ..මිනිහෙක්ව මරන් එක හරිම සරළ දෙයක් උන්ට..

      Delete
  20. අද නම් කතාව ටිකක් කෙටියි..

    1. "ඔබට මතක ඇතැයි සිතමි." නෑ.. මට මතක නෑ. :D

    2. "මිනී පෙට්ටි දෙකක් යානයට පැටවීමට සූදානම් කොට තිබෙන අයුරු‍යි" සාමාන්‍යයෙන් මිනී පෙට්ටි යානාවල ගෙනියනවා නේද?

    3. මේ සිද්ධියට සම්බන්ධ ඔක්කොම පොඩි එවුන්නෙ.. සමහරවිට පොඩි කාලෙම මේවට යොමුවෙලා මේ වෙනකොට කප් ගහලා ඉන්නැති..

    4. මට නම් පේන්නෙ මෙතන වෙන සීන් එකක්. මුන් නොමිලේ ඉන්ධන ගහගෙන ලෝකෙ වටේ සවාරියක් ගිහින් වගේ.. දැන්කාලෙත් ඔයවගේ ශෙඩ් වලින් තෙල් ගගහා යන්ඩ ක්‍රමයක් සෙට් කරගත්තනම් හරි..

    5. "මේ අතර වාරයේ යේමන බලධාරීන් විසින් කපිතාන්වරයාව නැවත හරවා එවන බව ගුවන් විදිලි සංනිවේදන යන්ත්‍ර මගින් මහමූඩ් වෙත දන්වා සිටියහ." යේමන් බලධාරීන්ගෙ ක්‍රියා පිළිවෙත නම් අසික්කිතයි. හරියට ඔවුන් ත්‍රස්තවාදීයාට නියමුවාව පාවාදුන්නා වගේ.. මෙතනදී මම නම් වීරයා විදිහට දැක්කෙ නියමුවාව.. ඔහු තමන්ගේ කාරිය හරියට කළා.. ඔහුට ඇගයීමක් සිදුවුනේ නැද්ද?

    6. සෙන්නා පින්තූර යොදාගෙන තියෙනවා නම් මදි කියලයි හිතෙන්නෙ..

    හොඳ ලිපියක්.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. අද නම් කතාව ටිකක් කෙටියි..

      [co="red"]ඊලඟ එක දිග වෙයි..[/co] :D

      1. "ඔබට මතක ඇතැයි සිතමි." නෑ.. මට මතක නෑ.
      [co="red"]ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක්..[/co] :D

      2. "මිනී පෙට්ටි දෙකක් යානයට පැටවීමට සූදානම් කොට තිබෙන අයුරු‍යි" සාමාන්‍යයෙන් මිනී පෙට්ටි යානාවල ගෙනියනවා නේද?
      [co="red"]ඒක ඉතින් එයාගෙ විශ්වාසයක් විතරයි..[/co]

      3. මේ සිද්ධියට සම්බන්ධ ඔක්කොම පොඩි එවුන්නෙ.. සමහරවිට පොඩි කාලෙම මේවට යොමුවෙලා මේ වෙනකොට කප් ගහලා ඉන්නැති..
      [co="red"]එහෙම වෙන්න ඕනා.. නිකන්ම බෑනෙ ඔච්චර දරුණු වැඩ කරන්න..[/co]

      4. මට නම් පේන්නෙ මෙතන වෙන සීන් එකක්. මුන් නොමිලේ ඉන්ධන ගහගෙන ලෝකෙ වටේ සවාරියක් ගිහින් වගේ.. දැන්කාලෙත් ඔයවගේ ශෙඩ් වලින් තෙල් ගගහා යන්ඩ ක්‍රමයක් සෙට් කරගත්තනම් හරි..
      :D

      5. මෙතනදී මම නම් වීරයා විදිහට දැක්කෙ නියමුවාව.. ඔහු තමන්ගේ කාරිය හරියට කළා.. ඔහුට ඇගයීමක් සිදුවුනේ නැද්ද?
      [co="red"]ඔහුට ඇගයීමක් ලැබුනා ජර්මන් රජයෙන්.. මටත් එයා ගැන ටිකක් වැඩි පුර අවධානය යොමු කරන්න තිබුනා කියලා හිතෙනවා..[/co]

      6. සෙන්නා පින්තූර යොදාගෙන තියෙනවා නම් මදි කියලයි හිතෙන්නෙ..
      [co="red"]ඔන්න ඔතනදිනම් මම කම්මැලි වුනා..[/co] :D

      හොඳ ලිපියක්.. ස්තුතියි..
      [co="red"]ස්තූතියි ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව.. අප හා දිගටම රැඳී සිටින්න..[/co] :D :D

      Delete
  21. මේ ලිපියත් වෙනදා වගේම රසවත්. මීට කලින් මේ ගැන කිසිවක් කියවලා නොතිබුනු නිසා බුරාලා, විචාරකලාට දැනෙන අඩුව මට දැනෙන්නෙ නැ. හැබැයි ලිපිය කොච්චර දිග වුනත් අවුලක් නෑ. මේ වගේ ලිපි එක දිගට කියවන්න පුලුවන් වෙන උත්ප්‍රේරකය මේ ලියන ශෛලියෙ ම තියෙනවා. ඒක නිසා කියවන්නෙ නැති වෙයි කියලා නම් කෙටි කරන්නෙ ඒක හොද වැඩක් නෙමෙයි. :D

    අනිත් කාරණය අර බීටලේ කියනවා වගේ ප්‍රධාන නියමුවට ජර්මන් රජයෙන් නිසි ගෞරවය ලැබුනෙ නැත්තෙ ඇයි ද කියන එකත් හොයා බලන්න වටිනවා.

    කොහොමවුනත් අපිට සතුටුවෙන්න පුලුවන් මේක චිත්‍රපටියක් නොවුන එක ගැන. එහෙම වුනානම් අන්තිම මොහොතේ මේ යානයේ සහයක නියමුවත් වෙඩිකනවා. ප්ලේන් එක හසුරුවන්න කිසිම කෙනෙක් නැති වෙලා යනවා. අන්තිමේ වෙග්නර් ලොක්කා තමා අර ගොල්ලන්ටත් තනි අතින් වෙඩි තිය තිය ප්ලෙන් එක ලැන්ඩ් කරන්නෙ..... හෙහ් හේ...

    ReplyDelete
    Replies
    1. බුද්ධි මහතා,

      ස්තූතියි ඔබගේ අදහස් දැක්වීට හා ආසාවෙන් කියවීම සම්බන්ධයෙන්.. මතුකළ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමි.. ස්තූතියි..

      ඒක නෙමේ උබැහැ කියන ඔය ශෛලිය මොකක්ද කියලා මම මේ තාම කම්පනා කොරනවා.. මේකෙ තියෙන්නෙ සාම්ප්‍රදායික කෑවේය, බීවේය ලිවීමේ රටාවනෙ බන්.. :D

      ප්‍රධාන නියමුවට නිසි ගෞරවේ හම්බුන්නැත්තෙ ජර්මන් රජයෙන් නෙමෙයි, මගෙනුයි.. :( මට උන්දෑ ගැන වචන කිහිපයක් හරි අන්තිමට ලියන්න තිබුනා කියලා මතක් වුනේ බීටලේගෙ කමෙන්ට් එක දැක්කට පස්සෙ..

      හැහ් හැහ්.. එහෙම වුනානම් කොහොමද.. වෙගුනර් උන්දෑ පට්ට වීරයෙක් වෙනවා එහෙනම්.. ඉන්දියාවෙ වුනානම් මේ වෙනකොට දෙවියෙක්.. ආන්න ක්‍රිස් ගේල් වත් දෙවියෙක් කරලලු.. :D :D

      Delete
  22. ක්‍රිස්ගේල් දත් තිස්දෙක ම එලියට දාලා ඉන්දියන් කාරයින්ට කෝචෝක් හිනාවක් දාලා කිව්වලු “ඉෆ් සචීන් ඊස් ගෝඩ්, අයි ඇම් ගෝඩ්සිලා“ කියලා.... :D

    ReplyDelete
  23. මං නම් ඕං මුලින්ම මේ සිද්ධිය කියෙව්වේ කුරුන්දෙන්.. ස්තුතියි ලිපියට.

    මට ටිකක් වෙනස් දෙයක් හිතුනා. මේ යානය පැහැර ගත් කණ්ඩායම එච්චරම සුක්ෂ්ම නෑ වගේ එකක්..! තමන්ගේ අරමුණට එන්න කලින් නියමුවා මරා දැමීම.. අර ගින්න වෙලාවේ සම්පූර්ණ අවධානයම ඒ පැත්තට විතරක් යොමු කිරීම, පාලන මධ්‍යස්ථානය එහෙම පිටින්ම විශ්වාස කිරීම වගේ දේවල් නිසයි එහෙම හිතුනේ..

    ඒ කොහොම වෙතත් ගලවා ගැනීමේ කණ්ඩායම නම් හැබෑ දක්ෂයින්.

    ReplyDelete
    Replies
    1. චන්දන,

      ස්තූතියි.. මම හිතන්නෙ මේ ගොල්ලො පුහුණුව ලබලා තියෙන්නෙ, මිනී මරන්න විතරද කොහෙද ! වැඩේට කලින්, සේපාල ඒකනායක යටතෙ පුහුණුවක් ලබන්නයි තිබුනෙ "සුමටව ගුවන් යානයක් පැහැරගන්නා ආකාරය " පිළිබඳව.. :D

      Delete
    2. //"සුමටව ගුවන් යානයක් පැහැරගන්නා ආකාරය " //

      ++++++++++++++++++++ හැක් හැක්...

      Delete
  24. අෆ්ෆා... ෆිල්ම් එකක් බැලුවා හා සමානයි. ඇත්ත සිද්ධිය උනත් කතාව වගේම තියන නිසා කම්මැලි නෑ..
    මං මෙහෙම එකක් දන්නෙත් අදමයි... තැංකූ විස්තරයට හා වින්දනයට

    ReplyDelete
  25. හරිම අපුරුයි සෙන්නා...
    ලස්සනට ලියලා තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්.. ඉස්සරහට තව කියවමුකො මේ ජාතියෙ ඒවා..

      Delete
  26. පමාවෙලා ආවෙ ඉතින් අපිට ඔය සති අන්තවල නෙට් එකේ ඉන්න වෙලවක් නෑනෙ.. විචාරක මහත්තය කියලතියෙන එකත් ටිකක් හරි තමයි ඒත් මම නං කියවගෙන ගියේ අයියෝ මේක තවත් කොටසකට දායිද කියල හිතහිත,. අන්න ඒ හින්දා ඔය කෙටි කල එක මට නං හොඳයි.. ඔය සිදුවීම ඒ දිනවලම පුවත් පත් මාධ්‍ය ම්ගින් කියෙවුවාට මේ තරම් රස වින්දනය කරන්න ලැබුණේ නැ. අපි මේ අපරාධ කතා රස විඳින්නේ අපේ හිතෙ ඇතුලෙත් අපරාධකාරයෙක් හැංගිල ඉන්න හින්දයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියා,

      දන්නවනෙ, මම බැරිම වුනොත් තමා ලිපි කොටස් කරන්නෙ..

      >> අපි මේ අපරාධ කතා රස විඳින්නේ අපේ හිතෙ ඇතුලෙත් අපරාධකාරයෙක් හැංගිල ඉන්න හින්දයි.. <<

      සහතික ඇත්ත.. සභ්‍යත්වය, සදාචාරය, ආගම කියන දම්වැල් වලින් අපි ඇතුලෙ ඉන්න අපරාධකාරයව බැඳලා තියන නිසා ඌ ඔහේ ඉන්නවා..බැමි කඩා ගත්තොත් අපේ ආදිකල්පික වානර ගතිය එලියට එනවා.. එතකන් අනුන් කරන අපරාධ රස විඳිනවා..

      Delete
  27. කුරුන්දෙන් තවත් මම කැමතිම ලිපියක්. ඔය සිදුවීමේ නම අහල තිබුනට විස්තරය හරියටම දැනගත්තේ අද. මහන්සියට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Pisakkaatuwa. ඔයා මේවාට කැමතියි කියලා මම දන්නවා දැන්.. හිමීට තව ලියන්නම්කො ඉස්සරහට..

      Delete
  28. මේ ගැන කියවලා තිබුනෙ නැති නිසා ගොඩක් ආසාවෙන් කියෙව්වා..මාර ගිණි කෙලියක්නේ..

    සෙන්නා මොකද මේ ගුවන් යානා පැහැර ගැනීම් ගැන මෙච්චර උන්න්දු?

    ReplyDelete
    Replies
    1. ගිනි අවි සහ ගිනි කෙළි.. :D

      රූ කැමති නැද්ද හයිජැකර් කෙනෙක්ගෙ බ්ලොග් එකක එයාම ලියපු ඇඩ්වෙන්චර් සීන් එකක් කියවන්න.. :D තාම කේස් ස්ටඩීස් ස්ටේජ් එකේ ඉන්නෙ.. හැක් හැක්.. :D :D

      Delete
  29. අදමයි මේ කතාව ඇහුවේ. වෙනදා වගේම රසවත් සෙන්නා.....
    අර කපිතාන් ෂූමාන්නුත් බේරුනා නම් තමා හොද.... මොනා කරන්නද නේ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමනළී. එයා බේරෙයි මේක ප්‍රබන්ධයක් වුනානම්.. ඒත් ඇත්ත කතා මෙහෙම තමා..

      Delete
  30. මේ සරේනම් හොඳටම පරක්කු වුනා මචං පොස්ට් එක කියවන්න.

    හැමදාම වගේ මහන්සි වෙලා ලියපු ලිපියක්. ඔලින්පික් කතාවේ තරම් ත්‍රාසයක් තිබ්බේ නැහැ නේද?.නමුත් උඹේ උත්සාහය හමාදාම වගේ අගය කරනවා. නොදන්නා සිද්දියක් විස්තර කලාට.

    ReplyDelete
    Replies
    1. මම බැලුවා මොකෝ උඹ නැත්තෙ කියලා !!

      ත්‍රාසය ටිකක් මදි වගේ තමා නේද ? ඔලිම්පික් කතාවනම් හොඳටම තිබුනා කියලා මටත් හිතෙනවා..

      ස්තූතියි අසරණයා.. උබ මෝකෝ සද්දයක් නැත්තෙ ? කාලෙකින් මුකුත්ම ලිව්වෙ නෑනෙ.. බිසිද ?

      Delete
    2. ඔව් මචං ඊටත් වඩා කම්මැලි කමක් ඇවිල්ල තියෙන්නේ.

      Delete
  31. කට්ටිය මදියි මදියි කිව්වට, මට නම් එහෙම තේරුණේ නෑ. මම මේ කතාව මීට කලින් දැනගෙන හිටපු නැති හින්දද දන්නේ නෑ. මොනවා වුනත් හොඳට, පැහැදිළිව ලියලා තියෙනවා.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog