Friday, March 23, 2012

බළල් පණක් තිබූ පූජකයා..

2012 මැදින් මස 23 වනදා,


සාමාන්‍යයෙන් මිනිසෙකුව මැරීමට කෙතරම් සයනයිඩ් ප්‍රමාණයක් අවශ්‍යද ? මෙය ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට හෝ ඒ පිළිබඳ පරීක්ශණ කරන පුද්ගලයෙකුට, වෛද්‍යවරයකුට හැරුන කොට එක එල්ලේ සාමාන්‍යය පුද්ගලයෙකුට පිළිතුරු දිය නොහැකි පැනයක් බවට සැකයක් නැත. කොටි ත්‍රස්තවාදීහූද සයනයිඩ් කරලක් පාවිච්චි කළ බවට අප අසා ඇත්තෙමු. එහි කෙතරම් ප්‍රමාණයක් සයනයිඩ් නම් වූ වස අඩංගුව තිබෙන්නට ඇත්ද ? ඒ කෙසේ වෙතත් අප සැම පොදුවේ දන්නා දෙයක් ඇත. ඒ සයනයිඩ් යනු මාරාන්තික විසක් බවත් එය භාවිතා කළ සැනින් මරණය ලඟා කිරීමට සමත් තියුනු විසක් බවත්ය. එහෙත් එය එසේමද ?

                                                                           xx

1916 දෙසැම්බර් මස 19 වන දින, රුසියාවේ මලයා නෙව්කා නදියෙහි, මහා පෙට්‍රොව්ස්කි පාලම අසලින් ගොඩ ගත් මළසිරුරකි. එය හඳුනා ගත නොහැකි අයුරින් ඒ වන විටත් නරක්ව තිබුනි. වැඩිදුරටත් කළ පරීක්ෂණ වලින් තහවුරු වූයේ, එය අධික ලෙස වස දීමෙන්, තෙවරක් වෙඩි තැබීමෙන්, දරුණු ලෙස පහර දීමෙන් සහ අවසානයේදී දියේ ගිල්වීමෙන් සිදු කළ මරණයක් බවයි. ඔබ දැන් මවිතවී ඇති එක මිනිසකුව මැරීමට මෙතරම් දෑ කළ යුතුද කියා ! ඔව්, සැබවින්ම එලෙස කිරීම අත්‍යවශ්‍යම වී තිබුණි.

                                                                           xx 

20 වන ශතවර්ෂයේ ආරම්භයේදී, රුසියාව දෙවන සාර් නිකොලස් අධිරාජයා යටතේ පාලනය විය. අධිරාජයා සහ රාජිණිය සිත්තැව්ලට පත්කරමින් සිහසුනේ මීළඟ උරුමක්කාරයා වෙනුවෙන් වසර හතරක් වැනි කාලයක් බලා සිටීමට සිදු වූහ. ගැහැණු දරුවන් හතර දෙනෙකු ලැබීමෙන් පසු බලාපොරොත්තු කඩ වූ රාජකීය යුවළ නා නා ප්‍රකාර පුද්ගලයන්ගේ, පූජකයන්ගේ සහය පැතුවේ පෙළපතට උරුමක්කාරයකු වූ පුත්‍ර රත්නයක් ලබාගැනීමටයි. අවසානයේදී බලාපොරොත්තු මල්ඵල ගන්වමින්, 1904 අගෝස්තු 12 වන දින ඇලෙක්සියි නිකොලායෙවිච් ( Alexei Nikolaevich ) දරුවා මෙලොව එළිය දුටුවේය. එහෙත් අවාසනාව තවමත් ඔවුන් පසු පසය. ළදරුවා " රාජකීය රෝගය " යැයි හැදින්වූ හිමෝෆීලියාවෙන් පෙළෙන්නට විය. නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ගත්තද ප්‍රතිඵල රහිත විය.

                                                                           xx 

රස්පුටින්
රස්පුටින් හෙවත් Grigori Yefimovich Rasputin, 19 වන ශතවර්ශයේ අග භාගයේ රුසියාවේ සයිබීරියාවට අයත් කුඩා ගම්මානයක් වූ පොක්රොව්ස්කොයි ( Pokrovskoye ) ගම්මානයේ වැසියකු ලෙස උපත ලැබීය. ඔහුගේ උපන් දිනය පිළිබඳ නිශ්චිත සඳහනක් නොවුනත්, මෑතකදී ඔහුගේ උපන්දිනය 1869 ජනවාරි 10 වන දින ලෙස නිර්ණය කරන ලදී.

ඔහුගේ ළමා විය පිළිබඳ විශේෂ විස්තරයක් නැති අතර ඔහුට එක් සහෝදරයෙක් සහ සොහොයුරියක් සිට ඇත. සහෝදරිය වූ  මරියා අපස්මාර රෝගයෙන් පීඩා විඳි අතර අසල වූ ගඟක ගිලී මිය ගිය බව පැවසේ. සොහොයුරා වූ දිමිත්‍රි, පොකුණක ගිලීමෙන් පසුව හටගත් නිව්මෝනියා රෝගයෙන් මිය ගොස් ඇත. මෙය රස්පුටින්ගේ ජීවිතයට විශාල වශයෙන් බලපෑ අතර, විවාහ වී දරුවන් ලද පසු, ඔහු සිය පුත්‍රයා සහ දියණිය, දිමිත්‍රි සහ මාරියා ලෙස නම් කිරීමට යොමුවිය.

වයස 18 දී, තෙමසක් තාපසාරාමයක ගත කරන ඔහු, තහනම් කළ ක්‍රිස්තියානි නිකායක් ( Khlysty  ) සමඟ සම්බන්ධතා පැවැත්වූ බවටද විශ්වාස කෙරේ. තාපසාරාමයෙන් ඉවත්වූ පසු, අසල විසූ, මකාරී නම් ධාර්මික දිවියක් ගෙවූ මිනිසකු ඇසුරට වැටෙන රස්පුටින් ඔහුව අනුකරණය කිරීමටද පෙළබේ. මකාරී විසින් රස්පුටින් කෙරෙහි දක්වූ බලපෑම අති මහත්ය.

1889 දී රස්පුටින් ප්‍රස්කොවියා ඩුබ්රොවිනා නම් තරුණිය හා විවාහ වන අතර ඔහුට දාව ඇයට දරුවන් තිදෙනෙකි.

1901 දී නිවසින් පිටවන ඔහු, වන්දනා කරුවකු වශයෙන් තැනින් තැනට සංචාරය කරයි. ඔහු ග්‍රීසියට හා ජෙරුසලමට ගිය බවද සඳහන් වේ. 1903 දී ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණෙන රස්පුටින්, ටික කලෙකින් සුවකරන්නකු හා අනාගතවක්තෘ කෙනෙකු ලෙසටද නමක් දිනා ගැනීමට සමත් වේ.

රස්පුටින් ඉතා කාමශක්ත පුද්ගලයකු වූ අතර කාන්තාවන්ව ආකර්ෂණය කර ගැනීමේ අපූරු හැකියාවකින්ද යුක්තවිය. රුසියානු ඉහළ සමාජයේ බොහොමයක් කාන්තාවන් ඔහු විසින් සිය ග්‍රහණයට ගෙන සිටි බවද සඳහන්වේ. එයට අමතරව ඔහු ද්විත්ව ලිංගික ආශාවන්ගෙන් ( Bisexual ) යුක්ත වූ බවද පැවසේ.

ඔහුගේ පෞර්ෂත්වය විදහා දැක්වන අනෙක් කරුණ වූයේ නේත්‍රා යුග්මයයි. මෙය අන්‍යන්ව වශී කරවන සුළු ප්‍රබලතාවයකින් යුක්ත විය.

                                                                           xx 

සිදුකළ සියලු ප්‍රතිකාර අසාර්ථක වූ පසු, රාජකීය යුවළ පිහිටක් ගතහැකි හැම අතටම යොමු වන්නට වූහ. මේ අතරතුරේදී රාජිනියගේ මිතුරියක මාර්ගයෙන් රස්පුටින් ගැන දැනගත් රාජකීය යුවළ ඔහුව මාලිගයට කැඳවනු ලැබූහ. මෙම කැඳවීම ලැබෙන විට ඔහු සයිබීරියාවේ සංචාරය කරමින් සිටියේය.

වෛද්‍යවරුන් පළකළ අනාවැකි බොරු කරමින් රස්පුටින් ළදරුවාට යම් සහනයක් ගෙනදීමට සමත්වේ. ඔහු එය සිදු කළ ආකාරය අදටත් අභිරහසක් වන අතර, සමහරු එය මෝහනය මාර්ගයෙන් කළ බව පවසන අතර සමහරු රස්පුටින් සතුව ඔහු පවසනාකාරයේ විශේෂ සුවකිරීමේ බලයක් ඇතැයි විශ්වාස කළහ. කෙසේ නමුත් රාජකීය යුවලට ඇවැසි දේ ඉෂ්ඨවී තිබුණි.

මෙලෙස වරින් වර දරුවාගේ රෝගය උත්සන්න වූ අවස්ථාවලදී රස්පුටින්ගේ සේවය ලබාගැනීමට ඔවුන් පුරුදු වූ අතර, කලක් ගතවන විට රස්පුටින් රාජකීය පව්ලේ හිතවතකු දක්වා ඔසවා තැබීමට මෙම සම්බන්ධයට හැකිවිය. එය කෙතරම්ද යත් සාර් අධිරාජයා විසින් ඔහුව " අපේ මිතුරා " , " ශුද්ධවූ මිනිසා " යනුවෙන් ඇමතීමට තරම් කුළුපග විය. රාජකීය යුවළ ඔහුව දෙවියකු නැත්නම් සෘෂිවරයකු ලෙස සැලකීමට පුරුදු වූහ. අධිරාජිණිය, දෙවියන් වහන්සේ රස්පුටින් හරහා තමනට කතාකරන බව විශ්වාස කිරීමට තරම් මේ විශ්වාසය දැඩි විය.

1915 සැප්තැම්බර් මස, දෙවන නිකොලස් සර් අධිරාජයා පළමු ලෝක සංග්‍රාමයේ යෙදී සිටි බළමුළු මෙහෙයවීම සඳහා වැඩිකාලයක් යොමු කළ බැවින්, අභ්‍යන්තර දේශපාලනික කටයුතු අධිරාජිණිය විසින් මෙහෙයවන්නට යෙදුනාය. මෙහිදී රස්පුටින් ඇයට අනුශාසකයකු වශයෙන් ක්‍රියාකළ අතර ඔහුගේ මැදිහත්වීම සෑම දේශපාලන තීරණයක වාගේම දක්නට විය. මාස කිහිපයක් අතර ඇමතිවරුන්, ඔවුන්ගේ නියෝජ්‍යයන් හා අනුප්‍රාප්තිකයන් ශීඝ්‍ර ලෙස වෙනස් වනනේ රස්පුටින්ගේ අනුදැනුමද සමඟිනි.

විය යුතු පරිදිම, මෙම තත්ත්වය එරට ප්‍රභූ පැලැන්තිය නොරිස්සන අතර ඔවුනට රස්පුටින්ව නයාට අඳුකොළ තත්ත්වයට පත්වේ. ඔවුන් විසින් මේ ගැන රාජකීය යුවළ දැනුවත් කිරීමට උත්සහා කළද එය නිෂ්ඵල කාර්යයක් වන්නේය.

මේ අතර අධිරාජිණිය සහ රස්පුටින් අතර රහසිගත සබඳතාවයක් ඇතැයිද රාවයක් පැතිර යයි. පිය පාර්ශවයෙන් ජර්මානු සම්භවයක් ඇති රාජිණිය, රස්පුටින් හා එක්ව ජර්මනිය හා රහසිගත එකඟතාවයකට සැරසුණ බවටද කියවේ.

මේ සියල්ල රුසියානු ප්‍රභූ පැලැන්තිය රහසිගත කුමන්ත්‍රණයක් වෙතට තල්ලු කොට දමනු ලබයි.

1916 නොවැම්බර් මස රුසියානු පහළ මන්ත්‍රී මණ්ඩලයේ ( Duma ) නායකයා ලෙස කටයුතු කළ ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් ( Vladimir Purishkevich ) ෆීලික්ස් යුසුපොව් ( Felix Yusupov  ) කුමාරයාට ලිපියක් ලියමින්;

" මම රස්පුටින්ගෙන් මිදීම සඳහාවූ සැලසුමක් ගැන සිතයොමුකරමින් කාර්යය බහුලව සිටී. එය දැන් පැහැදිලිවම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ. ප්‍රමාදය ඉක්මනින්ම සියල්ල අවසන් කරනු ඇත. ඔබත් මෙයට සහභාගී විය යුතුය. දිමිත්‍රි පව්ලොවිච් මේ ගැන සියල්ල දන්නා අතර දෙසැම්බර් මස මැදදී ඔහු නැවත පැමිණි පසු මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මේ ගැන කටේ කෙලබිඳක් නොසොල්වන්න. "

එයට පිළිතුරු යවන ෆීලික්ස් කුමරා;

" ඔබගේ ලිපියට ස්තූතියි. මට එයින් බාගයක්ම තේරුම් ගත නොහැකියි. එහෙත් ඔබ දරුණු ක්‍රියාමර්ගයකට යෑම සඳහා අරාඳින බව පෙනෙන්නට තිබේ. මාගේ ප්‍රධානම විරෝධය, ඔබ මා නොවිමසා සියල්ල සැලසුම් කොට තීරණය කොට තිබීමයි. මම නොමැතිව මෙය ක්‍රියාත්මක කිරීමට නිර්භය නොවන්න. නැතහොත් මා සම්පූර්ණයෙන්ම සහභාගී වීමෙන් වැළකෙමි. "

ඝාතකයෝ :

ෆීලික්ස් යුසුෆොව් කුමරු ( Felix Yusupov  ) :

රුසියාවේ ධනවත් පව්ලකින් පැවත එන මොහු, සාර් රජුගේ ලේලිය වූ රූමත් ඉරිනා හා විවාහ වී සිටියේය. එබවින් මොහුට රජ පවුල හා ඉතා කිට්ටු සබඳතා විය. එසේ වුවද මොහු සමලිංගික ආශ්‍රයන් ප්‍රියකළ පුද්ගලයකු බවද කියවේ. එම රුචිකම් රස්පුටින්ව ග්‍රහණයට ගැනීමට ඉවහල්වී ඇත.

ආදිපාද දිමිත්‍රි පව්ලොවිච් ( Dmitri Pavlovich ) :

මොහු සාර් රජතුමාගේ ඥාති සොහොයුරෙක් විය. රජුගේ වැඩිමහලු දියණිය හා විවාහ ගිවිසගෙන සිටියද, ෆීලික්ස් කුමරා හා පැවැත්වූ සමලිංගික සබඳතාවය නිසා එම විවාහය කඩා කප්පල් විය.

ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් ( Vladimir Purishkevich ) :

ඔබ දනටමත් දන්නා පරිදි මොහු ඩුමා හී ප්‍රධාන තනතුර හෙබවූ පුද්ගලයා විය. කුමන්ත්‍රණයට මුල්වී ක්‍රියා කළ අයගෙන් කෙනෙකි.

ලුතිනන් සුක්හෝටින් :

තරුණ හමුදා නිලධරයෙකි.

දොස්තර ලසාවර්ට් :

පුරිස්කෙවිච්ගේ මිතුරකු සහ වෛද්‍යවරයා වේ.

සැලැස්ම :


රස්පුටින් හා මිතු දමක් වගා කරගන්නා ෆීලික්ස් කුමරු, රස්පුටින්ව ඔහුගේ මාලිගයට රවටා ගෙනවිත් ඝාතනය කිරීමට සැලසුම් කෙරිණි. දෙසැම්බර් 16 වන දින තෙක් දිමිත්‍රි පව්ලොවිච් කාර්යය බහුල බැවින් හා දෙසැම්බර් 17 වන දින පුරිස්කෙවිච් යුද පෙරමුණට යායුතු බැවින් ඝාතනය දෙසැම්බර් 16 රාත්‍රියේදී, 17 ට එළිවන පාන්දර කිරීමට තීරණය කරගත්හ. මධ්‍යම රාත්‍රියෙන් පසුව රස්පුටින්ගේ නිවසට යොදා තිබුණු ආරක්ෂක රැකවල් ඉවත් කිරීමද මෙම වේලාව තෝරා ගැනීමට එක් හේතුවක් විය. දෙසැම්බර් 17 වන දින අලුයම 12.30 ට ෆීලික්ස් විසින් රස්පුටින්ව නිවසින් රැගෙන ඒමට සැලසුම් කරණ ලදී.

එහෙත් රස්පුටින්ව නිවසින් පිටතට ගැනීමට සෑහෙන හේතුව සැපයිය යුතුව තිබුණි. මේ සඳහා, රස්පුටින්ගේ ස්ත්‍රී ලෝලත්වය ගැන හොඳින් දැන සිටි ඝාතකයන්, ෆීලික්ස් කුමරුගේ රූමත් බිරිය ඇමක් ලෙස භාවිතා කිරීමට කතිකා කරගත්හ. ඒ අනුව එවකට ක්‍රිමියා හී නතරව සිටි සිය බිරිඳට ලියන ෆීලික්ස් කුමරු මෙයට සහභාගී වන ලෙස ඇගෙන් ඉල්ලා සිටී. එහෙත් ඇය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම කරණකොටගෙන රස්පුටින්ව බොරුවකින් මුළා කිරීමට එකඟතාවයකට පැමිණේ.

මෙසේ ඉරිනා කුමරිය මුණගැස්වීමටයි රවටා රැගෙන එන රස්පුටින්ව මාලිගයේ බිම්මහලේ රඳවා තබා ගැනීමට ෆීලික්ස්ට නියම විය. ඒ අතරතුර ඉහළ මහලයේ ඉරිනා කුමරිය හදිසියේ පැමිණි අමුත්තකු සමඟ කතා බහක යේදී සිටින බවක් රස්පුටින්ට ඇඟවෙන සේ ක්‍රියා කිරීම, එසේ බලාපොරොත්තුව සිටින අතරතුර රස්පුටින්ට සයනයිඩ් දමූ කේක් සහ වයින් පානය කිරීමට දී ඝාතනය කිරීම, ඝාතනයෙන් පසු ගෝනි වළ දවටන ලද දේහය මලයා නෙව්කා නදියට දැමීම සැලසුමයි. හඬ පිටතට ඇසිය හැකි බැවින් ඝාතකයන් රිවෝල්වර් භාවිතයට යොමු නොව්නි.

                                                                           xx 

නොවම්බර් මස, රස්පුටින්ව හොඳින් දන්නා සිය හිතවතියක් වූ මාරියා ග්ලොවිනා අමතන ෆීලික්ස්, තමනට නිතර නිතර හට ගන්නා පපුවේ අමාරුවක් ගැන දන්වා සිටින්නේ සිය අරමුණට ළඟා වීමේ මාර්ගයක් ලෙසයි. ඔහු බලාපොරොත්තු වූ පරිදිම ඇය විසින් ප්‍රතිකාර සඳහා රස්පුටින්ව යෝජනා කෙරේ. ප්‍රතිකාර සඳහා ඇයගේ නිවසේදී ෆීලික්ස් ට රස්පුටින්ව මුණගස්වන අතර ටික කලෙකින්ම රස්පුටින් හා හොඳ මිතු දමක් ඇති කරගැනීමට ෆීලික්ස් සමත්වේ. ෆීලික්ස් නිතර නිතර රස්පුටින්ගේ නිවසට යැම් ඊම් අරබන අතර, බොහෝදෙනෙකු එය සුවකිරීම් වලට එහා ගිය සමලිංගික සම්බන්ධයක් යයි අනුමාන කිරීමටද පෙළබේ.

සැලැස්මේ වූ පරිදිම සුදුසු කල්හී, ෆීලික්ස් විසින් රස්පුටින් හට සිය බිරියගේ පැමිණීම ගැන දැනුම් දෙන අතර බලාපොරොත්තු වූ පරිදිම රස්පුටින් ඇයව හමුවීමට උනන්දු වේ. ඔවුන් විසින් දෙසැම්බර් 17 වන දින අළුයම 12.30 ට ඇයව රස්පුටින්ට මුණගැස්වීමට විධිවිධාන සැලසූහ.

අවසානයේදී දිනය පැමිනුනි. එදින මධ්‍යම රාත්‍රියේදී පමණ සිය ඇඟලුම් මාරු කළ රස්පුටින් ලා නිල් පැහැති කමිසයකින් හා නිල් පැහැති වෙල්වට් කලිසමකින් සැරසී තමාව රැගෙන යාමට ෆීලික්ස් පැමිණෙන තුරු පොරොත්තුවෙන් සිටියේය. මෙම ගමන ගැන කිසිවකුට නොපවසන ලෙස ෆීලික්ස් ඉල්ලා තිබුණද ඇත්ත වශයෙන්ම රස්පුටින් ඒ වනවිට බොහෝ දෙනෙකුට එය දන්වා තිබුණි. ඒ අතර සිය දියණිය සහ සිය හිතවතිය වූ මාරියා ග්ලොවිනාද වූහ.

මේ අතර ඝාතකයන් විසින් ෆීලික්ස් ගේ මාලිගයේ බිම් මහලේ වූ කෑම කාමරයට එක් රොක්ව සිටියහ. දොස්තර ලසාවර්ට් විසින් සයනයිඩ් කැට කුඩු කොට කේක වළට සහ වයින් වලට දමමින් සිටියේය. කේක් කිහිපයක් සහ වයින් වීදුරු කිහිපයක් වස නොදමා ඉතිරි කළේ අවශ්‍ය වුවහොත් ෆීලික්ස්ට පරිහරණය කිරීමටයි. සියල්ල සකස් කළ පසු දොස්තර ලසාවර්ට් සහ ෆීලික්ස් රස්පුටින්ගේ නිවස බලා සිය මෝටර් රථයෙන් පිටත් වූහ.

12.30 ට ඔවුන් රස්පුටින්ගේ නිවසට ළඟා වුණි. ඔවුන්ව පිළිගත් රස්පුටින් ඔවුන් හා යෑමට එක්විය. නිවසේ මෙහෙකාරිය තවමත් අවදියෙන් සිටි අතර ජනෙල් තිර අතරින් ෆීලික්ස්ව හඳුනා ගැනීමට ඇය සමත් වූවාය.

ඔවුන් ෆීලික්ස් ගේ මාලිගයට පමිණි පසු, ෆීලික්ස් විසින් රස්පුටින්ව පැත්තෙන් වූ ද්වාරයකින් බිම් මහලෙහි කෑම කාමරය වෙත කැඳවාගන එන ලදී. ඉහළ මාලයෙහි සිහින් සංගීතයක් වාදනය වෙමින් පැවතුණි. සිය බිරිඳ හදිසියේ පැමිණි අමුත්තකු සමඟ කතා බහක යෙදෙන බවත්, මොහොතකින් පහළට එන බවත් ෆීලික්ස් විසින් රස්පුටින්ට දැනුම් දෙයි.

ඝාතනය සිදුකළ ෆීලික්ස් කුමරාගේ මාළිගය.
මෙසේ ඉරිනා කුමරිය බලාපොරොත්තුවෙන් සිටින කාලය තුළ, ෆීලික්ස් විසින් රස්පුටින් හට කේක් සහ වයින් පිළිගැන්වූවද එවා පැණිරස අධිකයයි පවසා රස්පුටින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙහිදී සිත කලබලයට පත්වූ ෆීලික්ස්, රස්පුටින්ට විශේෂයක් නොහැඟෙන පරිධි උඩුමහලට ගොස් අනෙක් අයට සිද්ධිය සැලකොට සිටියේය. කුමරා නැවත පහළට එන විට රස්පුටින් විසින් නොදන්නා හේතුවක් මත කේක් සහ වයින් පිළිගැනීමට එකඟ විය.

අප දන්නා පරිදි සයනයිඩ් භාවිතා කළ සැණින් ක්ෂ්ණික මරණයක් උරුම විය යුතු උවද රස්පුටින් කිසිම වෙනසක් නොපෙන්වා පෙර පරිදිම සිටියේය. රස්පුටින්ගේ ඇදවැටීම දැකීමට බලාපොරොත්තුවෙන් ෆීලික්ස් විසින් ඔහු සමඟ කතා බහා කරමින් සිටියේය. කිසිවක් සිඳු නොවෙන බව දුටු ෆීලික්ස් සමාව ගෙන නැවතත් කලබලයෙන් උඩු මහලට දිව ගියේය.

කෙටි සාකච්ඡාවකින් පසු ඔවුන් විසින් රස්පුටින්ව වෙඩිතබා ඝාතනය කිරීමට එකඟ වූහ. දිමිත්‍රිගේ පිස්තෝලය රැගෙන ෆීලික්ස් නැවතත් පහළට පැමිනුනි. ෆීලික්ස් පහළට එන විට රස්පුටින් විසින් එහි වූ කළුවර කැබිනෙට්ටුවක් දෙස සිය අවධානය යොමුකොට සිටියේය. පිස්තෝලය පිටුපස සඟවාගන පැමිණි ෆීලික්ස්, ක්ෂණිකව රස්පුටින් අමතා සිය අවධානය ඔහුවෙතට ගෙන, රස්පුටින්ගේ පපු ප්‍රදේශ ඉලක්ක කොටගෙන උණ්ඩයක් නිකුත් කළේය. මොහොතකින් උණ්ඩය රස්පුටින්ගේ හදවත පසාරු කරගන ගියේය. වෙඩි හඬ ඇසුණු අනෙක් කුමන්ත්‍රණ කරුවන් පිරිසද පහළට දිව ආහ.

ඔවුන් පහළට පැමිණෙන විට, රස්පුටින් බිම වැටී සිටි අතර ෆීලික්ස් පිල්තෝලය අතැතිව ඔහු අසල සිටගෙන සිටියේය. මොහොතක් ගැස්සෙමින් තිබූ රස්පුටින්ගේ සිරුර නිසල විය.

රස්පුටින්ගේ මියයාම ගැන ප්‍රීතියට පත් කුමන්ත්‍රණ කරුවන් උඩුමහලට ගොස් එය සමරන්නට වූහ. තව ටික වේලාවක් ගතවෙන්නට හැර සිරුර නදිය වෙත රැගෙන යාමට සැලසුම් කෙරුවේ කිසිවකුටත් නොපෙනෙන පරිදි එය සිදුකළ යුතු බැවිනි.

පැයකට පමණ පසු, ෆීලික්ස් හට පහළට ගොස් රස්පුටින්ගේ දේහය පරික්ෂාකොට බැලීමේ සිතුවිල්ලක් නැගුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු, බිම්මහලට ගොස් සිරුර පරික්ෂා කොට බැලීය. එය තවමත් උණුසුමින් යුක්තය ! ඔහු සිරුර සොලවා බැලීය. ප්‍රතිචාරයක් නොමැත. සියල්ල සතුටුදායකව අවසන් වී ඇතැයි සිතමින් ආපසු හැරීමෙදී දුටු දෙයින් ඔහුගේ රුධිරය ගල් ගැසුණි. රස්පුටින්ගේ වම් ඇස විවර වෙමින් තිබුණි. ඔහු තවමත් ජීවතුන් අතර !!

ක්ෂණිකව ෆීලික්ස් වෙතට පිනූ රස්පුටින් ඔහුගේ ගෙලින් සහ උරහිසෙන් ග්‍රහණය කොට ගත්තේය. සුලු පොරබැදීමකින් ඔහුගෙන් ගලවුණු ෆීලික්ස් " ඔහු තවම ජීවතුන් අතර " යැයි කෑ ගසමින් උඩුමහලට දිව ගියේය. ඔහු උඩු මහලට එන විට භීතියෙන් ගල් ගැසී සිටි අතර ඇස් දෙක පියන් වලින් එළියට පැනීමට තරම් විශාලව තිබුණි. මේ අවස්ථාවේදී සිය රිවෝල්වරය අරගත් පුරිෂ්කෙවිච් වහාම පහළට දිව ගියේය. ඒ අවස්ථාවේදී රස්පුටින් " ෆීලික්ස් ෆීලික්ස් මම හැම දේම අධිරාජිණියට කියනවා " යි කෑගසමින් මැද මිදුල හරහා එළියට දිව යමින් සිටියේය.

ඔහුව ලුහුබැඳ ගිය පුරිස්කෙවිච් දුවමින්ම දෙපාරක් වෙඩි තැබුවද එම දෙවරම ඉලක්කය මගහැරුණි. තෙවෙනි වෙඩිල්ල ඉලක්කය සම්පුර්ණ කරමින් රස්පුටින් වෙත ළඟා විය. සිව්වෙනි වෙඩිල්ල රස්පුටින්ගේ හිස පසාරු කරගෙන ගමන් කළේය. රස්පුටින් ඇදවැටුණි. සිය හිස් ගැස්සෙමින් තිබුණද ඔහු විසින් බඩ ගාමින් ඉදිරියට යාමට උත්සහා කළත් ඔහු වෙත පැමිණි පුරිෂ්කෙවිච් රස්පුටින්ගේ හිසට පා පහරක් එල්ල කළේය.

ඔවුන් විසින් නැවතත් රස්පුටින්ව මාලිගය තුළට රැගෙන එන්නාහ. රස්පුටින්ගේ මුහුණ දුටු ෆීලික්ස් කෝපයෙන් වියරුව අසල වූ ව්‍යායාම පිණිස බර ඔසවන උපකරණයකින් ( Dumbbell ) දිගට හරහට රස්පුටින්ගේ සිරුරට පහර එල්ල කළේය. එය ෆීලික්ස් විසින් කුමන අරමුණක් උදේසා කළේදයි පැහැදිලි නැත. මිය යන මොහොතේ පවා තමනට හිසරදයක් වූ මිනිසා කෙරෙහි ඔහුගේ සිතේ අසාමාන්‍ය කෝපයක් ඇති වූවා වන්නට පුළුවන. මිනිස් සිත ක්‍රියා කරනා ආකාරය කාටනම් විස්තර කළ හැකිද !

මේ අවස්ථාවේදී වෙඩි හඩ ඇසුණු අසල වීථියේ රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරියා ඒ ගැන පරික්ෂා කිරීමට මාලිගය වෙත පැමිණේ. ෆීලික්ස්ගේ සේවකයා හමුවන ඔහු ඒ ගැන විමසා සිටියද එවැනි දෙයක් නොඇසුණු බව සේවකයා පවසා සිටි නිසා එය මෝටර් රථයක දුම් බටයකින් අතිවූ හඬක් යැයි සිතා නැවතත් සිය රාජකාරි ස්ථානයට ගමන් කරයි.

සේවකයා විසින් මේ ගැන දැනුම් දීමෙන් පසු, පුරිෂ්කෙවිච් විසින් පොලිස් නිලධාරියාව නැවත කැඳවා;

" ඔබ කවදා හෝ පුරිෂ්කෙවිච් කෙනෙක් කියලා කෙනෙක් ගැන අසා තිබේද ? " යි ඇසීය.

" ඔව් සර් "

" හොඳයි, මම තමා පුරිෂ්කෙවිච්. ඔබ කවදා හෝ රස්පුටින් ගැන අසා තිබේද ?"

" ඔව් සර් "

" රස්පුටින් දැන් මැරිලා, ඔබ රුසියානු මාතාවට ආදරයක් දක්වන්නේ නම් මෙහිදී ඇසූ දුටු දේවල් ගැන කටේ කෙලබිඳක් නොසොල්වන්න. "

" හොඳයි සර් "

ඔවුන් විසින් පොලිස් නිලධාරියාව පිටත් කොට හරිනු ලබයි. සිය රාජකාරි ස්ථානයට ආපසු ගමන් කළ පොලිස් නිලධාරියා සිය ප්‍රධානියාට සියල්ල වාර්තා කොට සිටියේය. කුමන්ත්‍රණ කරුවන්ට දෙවියන්ගේම පිහිටයි !

ඇදහිය නොහැකි පරිදි, වස දීමෙන්, තුන් වරක් වෙඩි තැබීමෙන් සහ අධික ලෙස පහර දීමෙන් පසු පවා රස්පුටින් තවමත් මිය ගොස් නොසිටියේය !

මෙම කරදරයෙන් කල් නොයවාම මිදීමට සිතූ ඝාතකයන්, ඔහුගේ අත් පා බැඳ සිරුර බර රෙදිවලින් ඔතා මෝටර් රථයට දමා, නෙව්කා නදිය වෙත ගමන් කළහ. මෙය සීතල උඳුවප් මාසය බැවින්, ගඟ බොහෝ දුරට මිදී තිබුණි. ඔවුන් විසින් කලින් කළ පරික්ෂණ වලදී අයිස් තට්ටුව කැඩී ගිය එක් විවරයක් හඳුනාගන තිබුණ අතර එතනින් මිනිය ගඟට දැමීමට සැලසුම් කොට තිබුණි. සැලසුමේ වූ පරිදිම ක්‍රියාත්මක විය. එහෙත් ඔවුනට සිරුරට බරක් ගැට ගැසීමට අමතක වී තිබුණි.

සිය කාර්යය නිමා කළ ඝාතකයන් විසිර ගියේ තමන් මරණයට හසුනොවනු ඇතැයි සිතමිනි. එහෙත් එය වැරදි සිතුවිල්ලකි.

පසුදින උදයේ, රස්පුටින්ගේ නිවසේ අය ෆීලික්ස් සමඟ ඊයේ රාත්‍රියේ පිටත්ව ගිය රස්පුටින් ආපසු පැමිණ නොමැති බව නිරීක්ෂණය කොට ඒ ගැන සොයා බලන්නට වූහ. ඔවුන් විසින් ග්ලෝරියා වෙතද ඔහුගේ නොපැමිණීම ගැන සැල කොට සිටියහ. ෆීලික්ස්ගෙන් ඒ ගැන විමසා සිටි විට ඔහු පැවසූයේ, පසු ගිය රාත්‍රියේදී තමා රස්පුටින්ව නොදුටු බවකුයි. මෙය බොරුවක් බව මෙහෙකාරිය ඇතුළු එම නිවැසියන්ට රහසක් නොවීය.

මේ අතර පොලිස් නිලධාරියා විසින් සිදුකළ ප්‍රකාශය අරභයා පරික්ෂණ ඇරඹී තිබුණි. පොලිස් පරික්ෂණයක් සිදුවෙතැයි අනුමාන කළ ෆීලික්ස් සිය සුනඛයාව මරා උගේ රුධිරය අපරාධය වූ ප්‍රදේශයේ විසුරුවා හැරියේය. පසුගිය රාත්‍රියේ සම්භාෂණයට සහභාගී වූ අමුත්තකු සුනඛයකු වෙඩි තබා මැරීම ඉස්තරම් විහිළුවක් යයි පවසා මෙය සිදුකළ බවත් එමනිසා සෑම තැනම රුධිරය විසිරී ඇති බවත් පොලීසියට දැනුම් දුන්නේය. එහෙත් ඔහුට පොලීසිය නොමග යැවීමට නොහැකි විය. එහි සුනඛකයකුගෙන් නිකුත්විය හැකි ප්‍රමාණයට වඩා රුධිරය වූ අතර පොලිස් නිලධාරියා වෙඩි හඬ තුනකටද වඩා ශ්‍රවණය කොට තිබුණි. ප්‍රබලම සාක්ෂිය වූයේ පෙරිස්කොවිච් විසින් රස්පුටින්ව ඝාතනය කළ බවට කළ ප්‍රකාශයයි.

දෙසැම්බර් 19 වන දින පොලීසිය විසින් පාලම අසල තිබී ලේවලින් නැහැවී ගොස් තිබුණු සපත්තුවක් සොයා ගත් අතර, වැඩි දුරටත් කළ පරීක්ෂන වලින් පසු පාලමට මදක් ඔබ්බෙන් රස්පුටින්ගේ දේහය සොයා ගැනීමට ඔවුන් සමත් වූහ. දේහය ගොඩ ගන්නා විට රස්පුටින්ගේ එක් අතක් ඉහළට එසවී සිටිනා ආකාරයෙන් ගල්වී තිබුණි. මෙම නිසා රස්පුටින් ගඟට දමන විටත් පණපිටින් සිටින්නට ඇතැයිද, දිවිගලවා ගනීමට සටන් කොට ඇතයිද සියලු දෙනාම විශ්වාස කරන්නට වූහ.

වහාම මරණ පරීක්ෂණය සිදුකළ අතර ප්‍රතිඵල පහත පරිදි වේ.


මරණ පරික්ශනයේදී
1. මියයාමට මදකට මත්තෙන් ඇල්කොහොල් භාවිතා කොට ඇතිබව තහවුරු වූ නමුදු කිසිම විසක් ශරීර ගතවී නොතිබුණි.

2. වෙඩි උණ්ඩ තුනකින් සිදුවූ මාරාන්තික තුවාල ශරීරයේ නිරික්ෂණය කරන ලදී. ප්‍රථම උණ්ඩය පපු ප්‍රදේශයෙන් අතුල්වී ආමාශයට හා අක්මාවට තුවාල සිදු කොට තිබුණි. දෙවන උණ්ඩය ශරීරයේ පිටු පසින් ඇතුල්වී වකුගඩු වලට හානි සිදු කොට තිබුණි. තෙවන උණ්ඩය මොළයට මාරාන්තික තුවාල සිදුකොට තිබුණි.

3. පෙනහළුවල වූ ජලය ස්වල්පයක්ද පරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කරන ලදී.


රස්පුටින්ගේ දේහය දෙසැම්බර් මස 22වන දින සුලු අවමංගල්‍ය චාරිත්‍රයකින් පසු භූමදාන කරණ ලදී.

ඝාතකයන්ව සැකයකින් තොරව ඔප්පු වූවද, සාර් රජ විසින් සිය ඥාතිත්ත්වය සලකා ඔවුනට එරෙහිව නඩු විභාගයකින් සිදුකරනු ලබන දඩුවම් දීමකින් වැළකේ. එහෙත් නගරයෙන් පිටුවහල් කිරීමකට ඔවුන් ලක්වේ.

රස්පුටින්ගේ මරණය රුසියානු රාජාණ්ඩුවට සාපයක් වූ බවටද මතයක් ඇත. රස්පුටින්ගේ ඝාතනයෙන් තෙමසක් ඉක්මයාමට මත්තෙන් පෙබරවාරි විප්ලවය මගින් රාජාණ්ඩුව බිඳ දමන අතර වසරක් ඉක්මයාමට මත්තෙන් රොමානොව් පව්ලම ඝාතනයට ලක්වේ.

ඇත්ත වශයෙන්ම රස්පුටින් වස දැමූ කේක් අනුභව කළාද ? එසේ කළානම් මරණ පරීක්ෂනයෙන් ඒ බව තහවුරු නොවූයේ මන්ද ? නො එසේනම් ඔහුම පවසන පරිධි ඔහු අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු මිනිස් බව ඉක්මවා ගිය පුද්ගලයෙකුද ? ඔහුගේ ඝාතනය රජ පව්ලට සාපයක් වූයේද ?

මෙම පැනයන් අදටත් නොවිසඳී ශේෂව පවතී.

Boney M සංගීත කණ්ඩායම විසින් රස්පුටින් ගැන ගායනා කළ ගීතය. උපුටා ගැනීම You Tube වෙතින්.



පසු සටහන : 

* සිද්ධිය වූ අවධිය වන විට රුසියාව ග්‍රෙගෝරියානු දින දර්ශනය භාවිතයට ගෙන නොතිබූ බැවින්, ඉහත       සඳහන් සියලුම දින වකවානු ජූලියන් දින දර්ශනයට අනුව බව සලකන්න. ඒ ගැන වැඩි විස්තර මෙතනින්.

* ඡායාරූප Wikipedia වෙතිනි.

මූලාශ්‍ර :

1. http://history1900s.about.com/od/famouscrimesscandals/a/rasputin.htm
2. http://www.spartacus.schoolnet.co.uk/RUSrasputin.htm
3. http://en.wikipedia.org/wiki/Rasputin
4. http://www.youtube.com/watch?v=-o6B_aq5-2s&feature=autoplay&list=PLCFB15F60DB3639D9&lf=results_main&index=2&playnext=2

~~ සෙන්නා / 23.03.2012

87 comments:

  1. හරිම පුදුම කථාවක් නෙ... කොහොම උනත් ආශාවන්ට මුල් තැන දීම නිසා තමා රස්පුටින්ට මේ වගේ මරණයක් උරුම උනේ...

    නොදන්න කථා අපිට කියනවට ස්තුති සෙන්නා ...

    ReplyDelete
    Replies
    1. Sammani,

      මේවා ඉතින් ප්‍රබන්ධ පරදන සත්‍යය කතානේ.. :-) ඇත්තටම ලෝක ඉතිහාසය හාරගන යනකොට මාර මාර සිද්ධි වෙලා තියනවා කියලා තමා පේන්ඩ තියෙන්නේ.

      ඔව් ඉතින් පස් පවෙන් නොවැළකුනොත් දුක තමා..

      ස්තූතියි.

      Delete
  2. මම දන්න තරමන් නම් සයනයිඩ් කෙලින්ම ලේ වලට එකතු උනොත් තමයි ක්ෂනිකව මැරෙන්නෙ. LTTE භාවිතා කල සයනයිඩ් කරල් වීදුරු වලින් හදල තියන නිසා ඒවා සැපීමේදී කට තුවාල වන නිසා ක්ෂණිකවම සයනයිඩ් රුධිරගත වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් වීදුරුවලින් තුවාල වන නිසා සයනයිඩ් රුධිර ගත වෙලා මැරෙන් සීන් එක තමා වෙන්නේ. මෙතන තියෙනනේ කේක් එක්ක දාල දුන්න සීන් එකක්. කමෙන්ටුවෙන් තමා මටත් ඒක ක්ලික් වුනේ..

      Delete
    2. එදිරි සහ සෑම්,

      බොහොම ස්තූතියි.. ඇත්තටම මමනම් ඔය ගැන දැනගනම හිටියේ නැහැ. මමත් හිතන් හිටියේ සයනයිඩ් බඩට ගිය ගමන්ම ක්ෂණික මරණයක් වෙනවා කියලා. ස්තුතියි දැනුවත් කළාට.

      එහෙනම් එතකොට ඒකද දන්නෑ රස්පුටින්ට වස වැඩ කරලා නැත්තේ.. ඒත් වෛද්‍යවරයෙකුත් වැඩේට සහභාගී වෙලා තියනවා.. මට හිතෙන්නේ සයනයිඩ් කියලා පැටලිලා වෙනමොනවා හරි දීලවත්ද කියලා. මොකද මරණ පරික්ෂනේනුත් කියවිලා තියනවාලු වස ශරීර ගතවීමක් වෙලා නැහැ කියලා.

      අනේ මංදා...

      Delete
    3. එහෙමත් නැත්තං දොස්තර මහත්තයා ශේප් එකේ වෙන මොනවා හරි දාලා තිබ්බාද දන්නෙත් නැහැනේ. එයාත් රස්පුටින්ට බයයිද දන්නේ නැහැ

      Delete
  3. මම නම අහල තිබ්බ ඒ වගේම පොර හෙන කාමාශක්ත පොරක් කියල අහල තිබ්බ. අපේ ඔපීසියේ අයිය කෙනෙක් කිව්ව පොර ගැන කියවපං කියලා.

    ස්තුති සහෝ හොද දෙයක් කරල තියෙන්නේ.. ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑමෝ. ඔව් තව පොත් එහෙම ඇති මේ ගැන ලියවිච්ච. මේක ඉතින් සීමිත් සීමාවන් තුල කරපු සංක්ශිප්ත සටහනක්නේ. හොයාගන කියෙව්වනම් වටියි ඒවත්.

      Delete
  4. ස්තූතියි සහෝ. රස්පුටින් ගැන අහල තිබුනට මෙච්චර විස්තර දැනගත්තෙ දැන්. මම අහල තියෙන විදියට සයනයිඩ් ලේ සමඟ මිශ්‍ර වුනාම මරණය ඉක්මන් වෙනවා. ඒකලු කොටි සයනයිඩ් කරල ගිලින්නෙ නැතුව හපන්නෙ. එතකොට තොල්පට තුවාල වෙලා ලේ සම්ඟ සයනයිඩ් මිශ්‍ර වීමේ හැකියාවක් තියෙනවලු.

    ReplyDelete
    Replies
    1. කිරි පුතා,

      සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.

      මමත් ඔය ලේවලට මිශ්‍ර උනාම මරණය වෙනවා හෝ ඉක්මන් වෙනවා කියලා දැන ගත්තේ උඩ තියන එදිරිගේ/සෑම්ගෙ කමෙන්ට්ස් වලින්. ඒකවෙන්ඩ ඇති එහෙනම් කොටියොන්ට වීදුරු බටේකට දාලා සයනයිඩ් දුන්නේ..

      ස්තූතියි ඇවිල්ල කමෙන්ට් එකකුත් කරලම ගියාට.

      Delete
  5. මට මාතෘකාව කියවද්දිම මතකයට ආවේ රස්පුටීන් වෙන්න ඇති කියලා....ඒත් පූජකයෙක් ගැන කියලා තිබුන හන්දා මේ රස්පුටීන් නොවුනොත් අයියට එයා ගැනත් ලියන්න කියන්නයි හිතුවේ...දියත පත්තරේ මට මතක විදියට රස්පුටීන් ගැන ලිපි පෙලක්ම ගියා...හැබැයි මට ඒ ලිපිවලට වඩා මේ ලිපිය රසවත් කියලා දැනෙනවා ඒ ලිවීමේ දක්ෂතාවය නිසා වෙන්නැති....අයියගේ ලිපි සෑහෙන්න වටින දුර්ලභ තොරතුරු වලින් පිරිලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියෝ..

      අන්න එහෙම රස මුසු සිද්දි ගැන දැනුවත් කලොත්, කරුණු හොයාගන්ඩ පුලුවන් උනොත් වෙලා තියන වෙලාවකට ගැටගහ ගන්ඩ පුලුවන්.

      මලේ මට ඒ දියත පත්තරේ ගිය ලිපිපෙලේ සබැඳියක් හොයාගන්ඩ පුලුවන් වෙයිද ? මටත් ඕක ලාවට මතකයි. ආයේ කියවලා බලන්ඩ ඕනා..

      ස්තූතියි පැමිණියාට.

      Delete
  6. බොනීඇම් ලගෙ සින්දුවෙන් තමයි මම මුලින්ම රස්පූටින් ගැන දැනගත්තෙ. පස්සෙ පුද්ගලික පන්තියකදී ඔය ගැන ටිකක් ඉගෙන ගත්තා. වැඩිම විස්තර දැන ගත්තෙ කුරුන්දෙන් විත්තිය අමුතු වෙන්කියන්න දෙයක් නෑනේ

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ආයෙත් සුබ පතනවා සයිබර් යාය " අසනිය කුසුමෙ " හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය වීම පිළිබඳව..

      බුද්ධි පහුගිය දොහේ මේවගේ ලිපි කියවන්ඩ පෙන්නපු උනන්දුව නිසා මම අනිවාර්යයෙන් ඔබගේ පැමිණීම බලාපොරොත්තු උණා.

      මගෙ ලිපියෙ තියෙන්නෙනම් බොහොම සංක්ෂිප්ත කරුණු ටිකක් විතරයි. දීලා තියන සබැඳි පරිහරණය කළොත් තව බොහෝ තොරතුරු දැනගන්ඩ පුළුවන් වෙයි.

      නැවතත් ස්තූතියි පැමිණීම සහ කමෙන්ට් එකකින් සංග්‍රහ කිරීම පිළිබඳව.

      Delete
    2. දැන් ඉතිං කුරුන්ද මගේ බ්ලොග් රෝලෙත් තියෙනවා. හැකි සෑම වෙලාවෙම එනවා. මේ වගේ තොරතුරු දැන ගන්න මම මාර කැමතියි. ලිපිය කොච්චර දිග උනත් කියවන එක නවත්වන්න හිතෙන්නෙ නෑ.

      Delete
    3. ස්තූතියි බුද්ධි..

      ඉඳලා හිටලා වෙන වෙන කතාත් යයි.. මොකද දිගටම මේවම ලියන එක ටිකක වෙහෙසකර වැඩක්.. ආස නැද්ද හොල්මන් කතාවක් එහෙම කියවන්ඩ ? :-)

      Delete
    4. අනිවා. එකාකාරී වෙන්ඩ නරකයි. ඒකනෙ මමත් චරිත හතරක් තියාගෙන ඉන්නෙ බ්ලොග් එක කරගෙන යන්න....

      Delete
    5. මෙයැයිට නං මොකද, මොනවැයින් අඩුවක්ද, දිය ගොඩ සැම තැන කිරි ඉතිරේනේ.......... 4කට නෙමෙයි 10කට හරි පඩි ගෙවන්ට බැරිය........ අපිට එහෙමය ???.......... අපි ම තමයි අපේ බ්ලොගේ කරගෙන යන්න වෙලා තියෙන්නේ........ :D

      Delete
    6. Randil,

      මේ කමෙන්ට් එක මගේ E-mail එකට ආපුවම මම හොල්මන් උනා. මුකුත්ම හිතා ගන්ඩ බැරුව ගියා. මම හිතුවේ වෙන කාගේ හරි බ්ලොග් එකක දාන්ඩ ඕනා කමෙන්ට් එකක් වැරදිලා මගේ එකේ දාලා කියලා. හිහ් දැනුයි තේරුනේ..

      ස්තූතියි කුරුන්දට ගොඩවැදුනට..

      Delete
    7. සෙනා, ඔයා වැඩිය ඕවා ගණන් ගන්ඩ එපා... එයාට පොඩි මෙව්වා එකක් තියෙනවා මදර් බෝඩ් එකේ! ඒකයි ඔය මෙමරි අවුල් යන්නෙ......:P

      Delete
    8. එහෙමද... :-)

      මගෙ මදර් බෝඩ් එක පිච්චෙනවා තව පොඩ්ඩෙන්.. හිහ්..

      Delete
    9. දැන් ඔය රිප්ලයි එක දැම්මේ,
      කෙහෙල්කොටුවේ චුටි එකාද?
      ටිකිරි කොලුවද?
      විදෙස් සිත්තරාද?
      බුද්ධිද?

      අනිත් තුන්දෙනාගෙන් එක්කෙනෙක් නං පරිස්සං වෙනවා හොඳයි...... මං මේ දැන්ම රපෝර්තු කරනවා බුද්ධිට, උන්දැගේ ලොගින්ස් වලින් මුං නැටුං නටනවා කියලා......... කෙහෙල් කොට්ටෙන් වහාම පන්නලා දාන්ටය කියලා............. :D

      Delete
    10. මේ සෙන්නා විලියම් සෙන්නාගේ කවුද? :)

      Delete
    11. මළ මගුලයි... ඒ කව්ද බොලේ ඒ .. ?

      අයර්ටන් සෙන්නෙක් ගැනනම් අහලා තිබුනා ඒත් උන්දැ දැන් කජ්ජ ගහලනේ..

      Delete
    12. අපොයි ඔයා ‍විලියම් සෙන්නා දන්නේ නැද්ද? අපේ ගමට අල්ලපු ගමේ පොල් කඩන්නේ එයානේ.............

      (කෑවා කෑවා කෑවා
      අර මදර් බෝර්ඩ් කථාව මං සනාථ කලාද මන්දා..... විලියම් නෙමෙයිනේ අයර්ටන් තමයිනේ....... ඒත් ඒක එහෙම නෙමෙයි වගේ ඉන්ට ඕනා)

      :D :D :D

      Delete
    13. ඔව් ඔව් එහෙමම ඉන්ඩ.. මම කාටවත් කියන්නෑ... හිහ්.. :-)

      Delete
  7. Excellent research work. A complete story about Rasputin. I too first heard of Rasputin from BoneyM's song and later read a lot about the guy.

    ReplyDelete
    Replies
    1. Nandasiri,

      welcome to Kurundha !

      Many thanks for your appreciation. i too first came to know about him by that song only. later, some times back i read some article about him in a magazine.

      thanks again visiting Kurundha and leaving your comment about the article.

      Delete
  8. http://www.youtube.com/watch?v=TmjdZKfumEI
    හොයන්න අමතක වුනත් කියවන්න ආසාවෙන් හිටය දෙයක්. ගොඩක් ස්තූතියි මහන්සිවෙලා අපට දුන්නට.

    ReplyDelete
    Replies
    1. හෙලයකුගෙන් ලොවට,

      සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.

      ස්තූතියි ගීතයේ සබැඳිය දුන්නට. මම පදමාලවත් සමගම වූ ගීතයක් ඇමිනුවා ලිපියට.. ඒක මතක් කලාට ස්තූතියි.

      Delete
    2. ආ මම ඒක දැක්කෙම නැහැ. මගේ කමෙන්ට් එකත් මගෙ අතින් කට් වෙලා වගේ..

      කියන්න ගියෙ, රස්පුටින්ට වස කේක් දෙද්දි, ඒක චිත්‍රපටයක වගේ කේක් ටික මාරු උනාද දන්නෑ‍‍!! නැත්තං මරණ පරීක්ෂනයේදී ශරීරයේ වස තියෙන්න ඕනා. බුලට් වැදුන හිල් තිබ්බනම් වසත් තියෙන්න ඕනා.?

      Delete
    3. නෑ නෑ මම ගීතය ඇමිනුවෙ ඔබ ගීතයේ සබැඳිය දුන්නට පස්සේ.. මට එතකොටයි මතක් උනේ ඒකත් දැම්මනම් හොඳයි කියලා. හැබැයි ඔබ දුන්නු එක නෙමේ පදමාලවත් සහිත එකක් තමා මම ඇමිනුවේ.. ස්තූතියි ඒක මතක් කලාට.

      මටත් ඕක හිතුනා මොකද සමහර කේක්/වයින් වස නොදා ඉතුරු කරපු නිසා මාරු උනාද, මාරු කලාද දන්නෙත් නැහැ..

      Delete
  9. senna බ්ලොග් එකක් ලියනවා කියල මන් දන්නේ අදනේ . මාරයාගේ පොස්ට් එකෙන් තමයි හොයන් ආවේ . ආ මේ රස්පුටින් ...මේ යෝධයා ගැන මාත් ටිකක් කියෙව්වා . ඔයා සැහෙන තොරතුරු සොයල තියෙනවනේ . O /L කාලේදී හිමෝෆීලියා ගැන උගන්නද්දී අපේ සර් කෙනෙක් මෙයා ගැන කිව්වා .හැබැයි රුසියන් පොත් වලවත් එච්චර විස්තර තිබුනේ නැහැ . පස්සේ අනස්ටේසියා ගැන ලිපියක් ලියන්න සොයද්දී රස්පුටින් ගැන කියෙව්වා . ලඟදි National Geography වල ගියා ''රමනොව්ස් ''කියල වැඩසටහනක් . සාර් රජ පවුලේ අවසානය ගැන . සමහර විට අන්තර්ජාලයේ ඇති . මේ ඉතිහාස කතා කොච්චර ඇහුවත් තවත් ආසයි . මන් දැන් හැමදාම එනවා ඔන්න .

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ බින්දි !!

      බොහොම උණුසුම් ලෙස පිළිගන්නවා කුරුන්දට. ආඩම්බරයි ඔබගේ පමිනීම ගැන. බ්ලොග් ලෝකයේ මගේ වීරවරියක්.. ඔයා දන්නවද මම බ්ලොග් කියවන්ඩ පටන් ගත්තු කාලේ කියෙව්වේ සත්සමුදුරයි, නෙලුම් විලයි විතරයි. මම ඔය දෙකට බූක් මාක් දාගන කියවමින් සිටියේ.. ඒ කාලේ මම බ්ලොග් ගැන මුකුත්ම දන්නේ නැහැ. අඩුම තරමෙ ප්‍රොෆයිල් එකක්වත් තිබුනේ නැහැ.

      ඕගොල්ලන්ගේ ලිවීමී මනරම් බව තමා මටත් බ්ලොග් එකක් පටන් ගන්ඩ ඕනා කියන උත්තේජනය සැපවූයේ..

      කුරුන්ද තාම ලපටි බ්ලොග් එකක්. යාන්තම් ලිපි හත අටක් තියනවා එච්චරයි..

      දිගටම පැමිණීම මට ආඩම්බරයක් සහ හයියක්.

      මාරයට මගේ හද පිරි ස්තූතිය.

      Delete
  10. මේ ගැන නම් දැනගෙන හිටියෙම නැහැ..ස්තුතිය් දැනුම බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. රූ,

      බොහොම සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.. මේක ඉතින් සියවසක් පැරණි සිද්ධියක්නේ.. ඉතින් ඒ ගැන හෙව්වොත් මිසක් නැත්නම් දැනගන්ඩ තියන ඉඩ අඩුයි නොවැ.

      නැවතත් ස්තූතියි පැමිණීමට සහ කමෙන්ට් එකට.

      Delete
  11. හදිස්සියේ කියෙව්වේ ආයේ මුල ඉදන් කියවන්න එන්න ඕන නියමයි මචෝ.

    ReplyDelete
    Replies
    1. නිශාන්,

      බොහොම ස්තූතියි හදිසියේ කියවලා කමෙන්ට් එකක් දාලා ගියාට. මෙවගේ ඒවා ඉතින් නිවාඩුවෙ කියවන තරමට හොඳයි..

      පස්සෙ කියවපන් හිමීට.

      Delete
    2. ඕන් කියෙව්වා මචං.දැන්නේ මීටර් වුනේ මේ යකා එච්චර දේවල් වෙලත් ජීවත් වුනා නම් ආයුෂ දිග ඇති ඒත් එයාගේ ඉරණම අරුන් ටික විසදුවා.හෆෝයි මෙහෙම දේවල් නම් අහන්න නොලැබේවා.

      Delete
  12. හැමදාම වගේ අලුත් විස්තරයක්.මේ ගැන දැනගහ්ට්ඨෙත් අද.මරන්න බැරි මිනිහා ලේසියෙන් මරන්න බැහැ කියල තවත් ශාක්ෂියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණයො.. ඒක ඇත්ත.. බළල් පණ තියන උන්ව ලේසියෙන් මරන්ඩ බෑ..

      Delete
  13. සෙන්නා අයියා නම් කොහෙන් හොයා ගන්නවද මන්දා මේ කතා. කවදාවත්ම අහපු නැති හරිම සිත් අද ගන්න සුළු කතා අපිට කියනවට බොහොම ස්තුතියි. ඒක මැවිලා පේන විදියට ලියන නිසා තමයි වැඩියත්ම ලස්සන.

    රස්පුටින් නම් හරි පුදුමාකාර මිනිහෙක් වගේ. අච්චර දේවල් කරලත් මරන්න අමාරු උනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි..

      පොඩ්ඩක් ඉතින් හාරගන හාරගන යනකොට ලස්සන ලස්සන කතා හම්බෙනවා...

      බළල් පණ, බළල් පණ.. ඒකයි ඔය.. හිහ්

      Delete
    2. මටත් හිතෙන්නේ සයිනයිඩ් කැවෙන්න නැතුව ඇති..සයිනයිඩ් වලින් වෙන්නේ මට මතක හැටියට ලේ වල තියෙන ඔක්සිජන් ඉවත් වීම..ඒ කියන්නේ අභන්තර හුස්ම හිර වීමක්..ප්‍රතිපලය ක්ෂණික මරණය...( මට මතක විදිහට )

      කෙසේ උනත් අකුරක් නෑර කියෙව්වා සෙන්නා..

      Delete
  14. කවද හරි එපේ එලියන්ත වයිට් ගැනත් මේ වගේ ලියවෙයිද ? හෙහ් හෙහ්..

    කාලෙකට පස්සෙ රා..රා..රස්පුටින් සිංදුව ඇහුවෙ, තෑන්ක් යූ.

    ReplyDelete
    Replies
    1. රා....රා.....රස්පුයින් සින්දුව කාලයක් රුසියාවේ තහනම් කරලා තිබුනලු.

      Delete
    2. දැන් තියෙන ක්‍රමේ එන්න ඉස්සර වෙන්නැති

      Delete
    3. ඔබා මාමටත් හිතෙන දේවල්.. හිහිහ්.. කිව්වත් වගේ පොඩි සමාන කමකුත් තියනවා නේද.. ඕවා කතා කරන්ඩ ගිහින් රාජ උදහසට ලක් වෙන්ඩ බැරි නැහැ..

      බුද්ධි,

      එහෙමද.. මම නම් ඒක දැන් තමා දැන ගත්තේ.. ස්තූතියි..

      Delete
  15. අපූරු විස්තරයක් සහෝ...මේ විස්තරේ කියවගෙන යනකොට හිතුනේ හරියට කුරුන්දා එතන හිටියා වගේ කියලා..මරන්න බැරි එකාව මරන්න බෑ....දවසක් අපි සෙට් එකක් ඈත පලාතක ගිහිල්ලා බයිට් එකට කුකුලෙක් ගෙනාවා..ඒ පැත්තේ කුකුල්ලු විකුනන්නේ පන පිටින්..එකෙක්වත් දන්නේ නෑ මූව මරන්න..උයන්න දන්නවා..කොහොමහරි එකෙක් දර කොටයක තියලා මන්නෙන් බෙල්ල කැපුවා..විස්වාස කරන්න බෙල්ල නැතිව ඌ විනාඩි 10 විතර එහෙ මෙහෙ දිව්වා...ගොඩාක් කල් යනකං මම මස් කෑවේ නෑ මේක මතක් වෙනවා....

    ReplyDelete
    Replies
    1. අපොයි උඹලා බන්.. කොහොමද ඒ අහිංසක සතාව මැරුවේ... ?

      මට පේන්නේ උඹලමද කොහෙද රස්පුටින්ටත් ගේම දීලා තියෙන්නේ.. පෙර ආත්මෙදි... හිහ්..

      ස්තූතියි ඉතින් අගේ කළාට..

      Delete
    2. අපොයි දෙය්යනේ..ඔබා...

      Delete
    3. මිනී මස් හරි කනවා ඒ කාලේ කරපු රස්සාවට මචෝ.....පස්සේ ඒ ඔක්කොගෙන්ම අයින් උනා....

      Delete
  16. බලන් යද්දී රුසියාවේ ඉඳල තියෙන්නේ කොල්ලෝ කරයෝනේ!:p
    කොහොම උනත් අගේ ඇති කතාව අය්යෙ!:)

    ReplyDelete
    Replies
    1. හිහ්.. ඒ ගැනනම් අදහසක් පලකරන්ඩ අමාරුයි...

      ස්තූතියි අගය කිරීම ගැන.

      Delete
  17. බළල් පණ කතාවට හොඳම උදාහරණයක් තමයි මේක.වැදගත් වගේම ලස්සනට මේ ලියන ලිපි ලිපි කියවද්දී ගොඩක් ආසාවෙන් කියවන්න පුළුවන්.

    සෙන්න අයිය මේ හැමදාම මහන්සි වෙලා විස්තර හොයන දාන ලිපිනම් හරිම අපුරුයි.මේ මහන්සිවෙලා කරන දැනුවත් කිරීම් වලට ගොඩාක් ස්තුතියි සෙන්න අයියේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිහින මල්ලී.. නැවත පැමිණීම සතුටක්.. ඉක්මනින්ම ලිපියක් දාන්ඩ..

      Delete
  18. මටත් හිතුනෙ ඔබා මාමා කියපු කථාවමයි.. සයනයිඩ් ලේ එක්ක කලවම් වෙන්න ඔනෙ කථාවත් උඩින් කියලනෙ..

    මට ඉතුරුවෙලා තියෙන්නෙ කථාව හොඳයි කියන්න තමයි..

    නියමයි.. රස්පුටින් ගැන ඇහුවෙත් අදයි... ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරී..

      ඔබා මාමා කියපු එකනම් ටිකක භයානක එකක්.. සුදු වෑන් හීනෙන් පෙනුනොත් එහෙම ඔන්න මම නෑ... හිහ්..

      Delete
  19. ගොඩක් වටින කතාවක්..නොදන්න බොහෝ දේවල් දැනගත්තා...
    ගොඩක් ස්තුතියි සෙන්නා..

    ReplyDelete
    Replies
    1. පුංචි කුමාරිහාමි කාලෙකට පස්සෙ...

      දැනුමට යමක් එකතු කරන්ඩ ලැබුනනම් මගේ ව්‍යායාමය සාර්ථකයි.

      කියවලා කමෙන්ට් එකකුත් දාලා ගියාට තුති.

      Delete
  20. කලින් අහලා තිබුන රස්පුටින් ගැන. ඒත් මෙච්චර විස්තර දැනගත්තේ අද. ලස්සනට ලියල තියනවා senna.

    ReplyDelete
  21. මේ රස්පුටින් ගැන මාත් අහල තියෙනවා... හරි පුදුම මනුස්සයෙක්...!!!

    ReplyDelete
    Replies
    1. ඔව් නේද.. ? හරි පුදුම මනුස්සයෙක් තමා..

      ස්තූතියි Shani

      Delete
  22. රස්පුටින් ගැන අහල තිබුනට මැරුණ හැටි අහල තිබ්බෙ නෑ නෙ... ලොකු විස්තරයක්... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චේජනා.

      සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.

      Delete
  23. Replies
    1. එහෙමද ? මේවා ඉතින් පරණ කතන්දරනේ...

      ස්තූතියි ආවට.

      Delete
  24. මේ ගැන නම් දැනගෙන හිටියෙ නැහැ ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇති යන්තම් කියවලා.. ස්තූතියි Srimi.

      Delete
  25. මෙදා මං ප්‍රමාදයි. රස්පුටින් ගැන කියවන්න කිහිපවරක්ම එන්න වුනේ කොටස් වශයෙන් කියවන්නට සිදුවූ නිසා. බොනි එම් සිංදුවට කැමැත්තක් තිබුණත් මෙතරම් විස්තර දැන ගත් පළමුවතාව.

    ReplyDelete
    Replies
    1. කිසිම පමාවක් නැහැ ඩීන් අයියා.. කොටස් වශයෙන් හරි කියවලා කමෙන්ට් එකකුත් දාපු කොච්චර වටිනවද. අපි හැමෝම ඉතින් කර්යය බහුල මිනිස්සුනෙ. දහසකුත් එකක් වඩ මැද්දෙනෙ මේ ඔක්කොම කරන්නෙ නේද.

      නැවතත් බොහොම ස්තූතියි.

      ලඟදි නැද්ද අපිට හොඳ නිර්මාණයක්.. දකින්ඩ බලන්ඩ විදින්ඩ..

      Delete
  26. අනේ සෙන්න අයියා මම මේ ලිපිය කියෙව්වෙ අදනෙ..ගොඩක් ප්‍රමාධයි..අද දැක්කෙ..මම රස්පුටින් ගැන අහල තිබ්බෙවත් නැහැ අයියා..දැන් මටත් මෙ විස්තර වෙන කාට හරි වීරයා වගේ කියන්න පුලුවන්..ඒ තරම් මතක හිටිනවා ඔයාගෙ ලියවිල්ල..අයිය වැඩිය ලිපි නොලිවට ඉඳල හිටල ලියන ලිපි ගැන කියන්න වචන නෑ..මාරයි..

    ReplyDelete
    Replies
    1. අපොයි නැග්ගුවා නේද මාව මුරුන්ග ගහේ දල්ලටම... හිහ්..

      ලිවිල්ලෙනම් එච්චර විශේෂයක් නැහැ කියලා තමා මටනම් හිතෙන්නේ. ආවේය, ගියේය, කෑවේය බිව්වේය කියලා ලියවෙන සාම්ප්‍රදායක ලියවිල්ලක් තමා මගෙ ලිවිල්ල. ඒ වගේද පණ පිහිටුවලා ලස්සනට ලියන කොච්චර ලස්සන ලිවිලි කාරයො ඉන්නවද මේ බ්ලොග් අවකාශේ..

      හිමින් ලියන්නෙ නම් ඉතින් මේ වගේ ඒවට ගොඩක් කාලය ඕනා සහ මට ඉතින් හැමදාම රෑට පැයක් දෙකක් තමා ලියන්ඩ වෙලාව ලැබෙන්නේ.

      ස්තූතියි ඉතින් සුපුරුදු විදිහට ඇවිල්ලා කියවලා කමෙන්ට් එකකුත් දාලා ගියාට.

      Delete
  27. අති විශිෂ්ටයි සෙන්නා අති විශිෂ්ටයි. ඔබ මේ ලියා ඇති තොරතුරු මීට පෙර මා කියවා තිබුනේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. මෙලෙස පාඨක බුද්ධිය වර්ධනය කිරීම මහඟු පිනක්.

    එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කරේ පැළඳගෙන හිටියේ, සිගරට් එකකට මඳක් කුඩා, දෙපසින් ප්ලාස්ටික් කැප් යොදා සීල් කල සයනයිඩ් කරල්. ඒවා එකක ග්රෑම් එකක් පමණ සයනයිඩ් තිබුනා. ඒවා කාලා මැරෙනවා මම දැකලා තියනවා. ඉතාම බිය ජනක අප්‍රසන්න දර්ශනයක්.

    ඔබ මට මීට පෙර ඔබේ බ්ලොග් ලිපිනය ලබාදී නැහැ. අද දැනගත්තේ හරී ගෙන්.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයෝ,

      ඇත්තෙන්ම ඔබගේ පැමිණීම මට හරිම සතුටක්. ඔබ වගේ දැන උගත් කෙනෙක් මගේ බ්ලොග් එක කියවන එක මට සෑහෙන ආඩම්බරයක්..

      ඔබගේ ඔය හැම අත් දැකීමක්ම ටික ටික අපිට කියයි කියලා බලාපොරොත්තු වෙනවා.

      මම ප්‍රතිපත්තියක් වශයෙන් වෙන කිසිම තැනක මගේ බ්ලොග් එක ගැන සඳහනක් කරන්නෑ. ඇවිල්ලා මගේ බ්ලොග් එක කියවන්ඩ කියලා ඉල්ලීමක් කරන්නෙත් නැහැ.. ඒකයි මම ඔබටත් මගේ බ්ලොග් එක ගැන සඳහනක් නොකලේ.. අනිත් එක තාම ඉතින් කියන්ඩ කියලා මහලොකු දේකුත් නෑනේ..

      බොහොමත්ම ස්තූතියි ඇවිල්ලා, කියවලා, ප්‍රශංසා කරලා, අගය කරලා, කමෙන්ට් එකකුත් දාලා ගියාට. වෙලාවක් ලැබෙන විදිහට ඇවිත් වැරදි පෙන්නුවොත් හරිම අගේ කරනවා..

      විචාරක මහත්තයට මේ පැත්තට පාර පෙන්නීම ගැන හරීටත් ස්තූතියි.

      Delete
  28. රස්පු‍ටින් කියන්නේ ම්‍ධ්‍යතන යු‍ගයේ න්‍යෂ්ඨාවශේෂයක් කිවුවත් වැරැද්දක් නැහැ. එයට හේතුව තමයි රස්පුටින් සිටි කාලය එනම් 1917 වෙනකම්ම රුසියාවේ තිබුනේ මධ්‍යතන යුගයට සමාන පරිසරයකුයි. පුනරුදය හා කාර්මික විප්ලවය බටහිර යුරෝපය වෙනසකට භාජනය කලත් නැගෙනහිර යුරෝපයේ රටවලට එය දැනුනේ අඩුවෙන් බව තමයි පැවසෙන්නේ. ඒ නිසානේ ලෙනින් විප්ලයව ජයග්‍රහණය කරනතෙක්ම රදලයන්, ප්‍රවේණිදාස ගොවීන් ආදිය පවා රුසියාවේ දක්නට ලැබෙන්නේ. පිටිසරබද ගමක ගොවිතැන් කරමින් සිටිය රස්පුටින් ලෙස ඉතිහාසඥයන් හදුන්වන්නේ අපිරිසිදු, බීමත්කමින් සල්ලාලකම්වල යෙදුන කෙනෙක් හැටියටයි. කොහොමවුනත් ඔහු සතුව තිබූ කෙනෙක් තමන් වෙත නම්මා ගැනීමට හැකි ආකාරයේ පෞරශය හා කෙනෙක් වසඟයට ගැනීමට හැකි ආකාරයේ ඇස් ඔහු වෙත පූජනීයත්වයක් හා අනුගාමිකයන් එක්රැස් කර ගැනීමට හේතුවක් වූ බව පැවසිය යුතුයි.

    ඔහු සාර් රජකුමාරයාගේ හිමෝ‍ෆීලියා රෝගය දිව්‍යමය ඖෂධයකින් සුවපත් කල බව අතිශෝතියකින් පැවසුනත් ඔහු ඒ සදහා ලබා දුන්නේ ඇස්ප්‍රින් අඩංගු යමක් බව තමයි පැවසෙන්නේ. ඒත් ඒ අවධියේ ඇස්ප්‍රින් කියන්නේ සොයා ගත් අළුත හා වැඩවසම් යුගයක් තිබුන රුසියාවේ බහුතරයක් මේ ගැන නොදත් නිසා එය සත්‍ය වශයෙන්ම "දිව්‍යමය ඖෂධයක්" වන්නට ඇති. කොටින්ම රස්පුටින් පවා සත්‍ය වශයෙන් තමන් භාවිතා කරන්නේ ලෝකයේ පසුකලෙක නැතුවම බැරි බෙහෙතක් වෙන ඇස්ප්‍රින් කියා නොදැනුනත් ඒ කාලයේ ගම්වල අත්බෙහෙතක් ලෙස ඇස්ප්‍රින් අඩංගු ද්‍රව්‍ය භාවිතා වෙන්නට ඇති විවිද ලෙඩ රෝග වලට.

    මේ විශ්මය ජනක "ඒලිය** වයි*" වර්ගයේ සුවපත් කිරීමත් සමග එදා ගස් ගද ගහපු රස්තියාදුකාර පූජකයා රුසියානු ඉහල පැලැන්තියේ පවුල් අතරත් නැතුවම බැරි කෙනෙක් වුනා වගේම එසා රුසියාවේ ඉහල පෙලේ කතුන් බහුතරයක්ම රස්පුටින්ගේ "මැජික් ය**යේ" සේවාව ලබාගන්නට පැමිණි බව තමයි පැවසෙන්නේ.

    ඒ එක්කම රස්පුටින් ඝාතන ක්‍රියාවලිය සිදුවන අවස්ථාවේ බ්‍රිතාන්‍ය ඔත්තුසේවාවක ඔත්තුකරුවෙකු පවා එම ස්ථානයේ සිටි බවට හා වෙඩි තැබූ රිවෝලවරය ඔවුන්ට අයත්වූ එකක් බවටත් මතයක් තිබෙනවා. කොහොමවුනත් සාර් රජපවුල හා එංගලන්ත රජපවුල අතර නෑදෑකම් තිබෙන නිසා මේ දේවලුත් තිරයෙන් පිටුපස සිදුවෙන්නට ඇති.

    අවසාන වශයෙන් කියන්න ඕන රස්පුටින් මැරුනත් ඔහු වැඩියෙන්ම ආදරය කල "අවයවය" නම් තවමත් සුරක්‍ෂිතව පවත්වාගෙන යන බව පැවසෙන අතර මෙන්න මෙතන ඒ ගැන වැඩිදුරු විස්තර තිබෙනවා...
    http://www.st-petersburg-life.com/st-petersburg/rasputins-penis

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේශ්..

      ඔබගේ කමෙන්ට් එකෙන් මගේ ලිපියෙ තිබුනු බොහොමයක් අඩු පාඩු මැකී ගිහින්. සමහර කරුණු මම ඒ පිළිබඳව තොරතුරු හොයද්දීවත් හමූ නොවූ දේවල්..

      ඔබට හැම ක්ෂේත්‍රයක් පිළිබඳවම ඇති දැණුම මාව වෙලාවකට මවිත කරවනවා.

      බොහොම ස්තූතියි නැවතත්..

      Delete
  29. කලින් කියවල් තිබුන කතාවක් උනත් ආපහු ආසාවෙන් කියෙවුවා. ඔහොම බලල පණක් තියෙන කෙනෙක්.. එක්කෝ ඕන නැහැ..

    ReplyDelete
    Replies
    1. සරත් ලංකාප්‍රිය,

      ස්තූතියි ආසාවෙන් කියෙව්වට. අර හංගගත්තු කතාව කියන්ඩ බැරි එකක්ද ?

      Delete
  30. අරුම පුදුම බලයක් තියෙන මිනිස්සු ඉන්න පුලුවන්. අරුම පුදුම අනාවැකි කියපු නොත්‍රදාමුස් ගැන අහලා ඇතිනේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අහල තියනවා.. එයා කියපුවා ගොඩක් ඇත්ත වෙලත් තියනවලු නේද ?

      Delete
  31. සෙන්නා....චූටි මහත්තයාගෙ බ්ලොග් එක හරහා පළමු වතාවටයි එන්නේ. දිගටම එන්නම්. හැරී පොටර් කතා මාලාවෙ ස්නේප් ට රඟපාන ඇලන් රික්මන් රස්පුටින්ගේ චරිතය නිරූපනය කරන චිත්‍රපටියක් මම නරඹලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලකී, පිළිගන්නවා සාදරයෙන් ! චූටි මහත්තයා හින්දා ගොඩක් දෙනෙක් මේ අහ බැලුවා.

      මමනම් හැරී පෝටර් බලලා නෑ.. ඒක හින්දා ඔය කියන කෙනාව මම දන්නෙ නෑ.

      ජයම පතමි !!!

      Delete
  32. අඩියක් පමණ දිග රස්පුටින් ගේ ශ්ෂ්ණය. ගැහැණු අල්ලා ගැනිමෙ රහස. බලන්න මෙම බෙබ් site එකේ.
    http://www.metro.co.uk/weird/746637-is-this-the-foot-long-preserved-penis-of-rasputin

    ReplyDelete
  33. රස්පූටින් ගැන මීට කලින් අහලා තිබුනේ බොහොම පොඩ්ඩයි. විස්තරයට බොහොම ස්තූතියි සෙන්නා

    ReplyDelete
  34. මිනිහා යකඩයෙක්නේ........ රස්පුටින් යාර් කියල පැත්තකුත් රුසියාවේ තියෙනවා කියල මම අහල තියෙනවා අධි ආරක්‍ෂිත කලාපයක්

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog