Monday, March 24, 2014

බුදු තාත්තේ බොන්න එපා !

2014 මැදින් මස 24 වනදා

එදා ඉරිදාවක් බව මට හොඳට මතකයි. ඒ, එදා මම වැඩට ගියේ ටිකක් පරක්කුවෙලා නිසා හා කලින්ම ආපු බව මතක නිසා. ෂිපින් කරන අපිට වෙලාව, අවෙලාව, සති අන්ත, ඉරිදා, පෝය, අවුරුදු, නත්තල්, වෙසක් ඔය මුකුත්ම හිමි නෑ. නැව් එන්නේ කවදද එදාට සුදානම් වෙලා ඉඳීම අනිවාර්‍යයි. අතේ බැඳපු ඔරලෝසුව බල බල, වෙලාව ගෙවෙනකම් බලන් ඉන්න, සති අන්තේ හරි නිවාඩු එනකම් හරි ඇඟිලි ගනින අයට මේ ජොබ් එක කරන්න බෑ. අපි කතාවට කියන්නේ ෂිපින් කරන උන් මැරුණ ගමන් කෙලින්ම දිව්‍ය ලෝකේ යනවා කියලා.

එදා උදේ මම වැඩට යනකොටත් තාත්තා අසනීපෙන් හිටියේ. හරි හමන් කෑමක් නැතුව, බඩේ අමාරුවක් කිය කිය තැම්බුම් හොදි බිබී හිටියේ. බඩ කොච්චර ඉදිමිලාද කිව්වොත් දිලිසෙනවා. අන්තිම පාර දොස්තර මහත්තයා ගාවට ගියාම කිව්වේ "පණට ආසාවක් ඇත්නම් ආයේ කටේ තියන්න එපා"කියලා. ඕන්නම් දවස් තුනක් පිළිපදින්න ඇති ඒ නියෝගය. ආයේත් පටන් ගත්තා ජරාව බොන්න. මෙච්චර අමාරුවෙන් ඉද්දිත් ගිහිල්ලා අරන් ඇවිත් හංගගෙන බීපු එකනෙ වැඩේ කියන්නේ. මේ ජරා බීමට ඇබ්බැහි වුණාම ආයේ ගැලවිල්ලක් නෑ. තාත්තා බීමට ඇබ්බැහි වුණ විදිහ මට හොඳට මතකයි. මුලින්ම බිව්වේ පඩි දවසට විතරයි. කාලක් ගෙනල්ලා තියාගෙන පැත්තකට වෙලා බිව්වා. කාටවත් කරදරයක් නෑ. අම්මා වුණත් ඒකට දොසක් කිව්වේ නෑ. බයිට් එකක් එහෙමත් හදලා දුන්නා කණු කුණු නොගා. ඊට පස්සේ සති අන්ත වල බොන්න පටන් ගත්තා. ඒකටනම් අම්මා එහෙන් මෙහෙන් පොඩි කරු කුරුවක් දැම්මා. ඊටත් පස්සේ සතියට දවස් දෙක තුනක් බොන්න ගත්තා. ඊළඟට පෝය හැර හැමදාම බොන්න පටන් ගත්තා. අන්තිමට පෝයටත් පස්වෙනි සිල් පදේ කඩන්න තාත්තා බය වුනේ නෑ. ඇබ්බැහියේ තරම එහෙමයි. ඒ කියන්නේ තාත්තා දැන් බේබද්දෙක් වෙලා අහවරයි. හැබැයි ඔය බිව්වේ රෑට විතරයි. ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ උදේටත් බොන්න ගත්තේ ඉරණමෙන් තීන්දු වෙලා තිබුණේ එහෙම නිසා වෙන්න ඕනා. ඊට පස්සේ තාත්තගේ මුළු ජීවිතේම වුණේ බීමත් කම තමා. කොටින්ම, ජීවත් වුණේ බොන්න. බීම වැඩිවීමට සමානුපාතිකව පවුලේ සමගියත් ටික ටික දියවෙලා ගියා. අම්මා හැම තිස්සේම ඇඬු කඳුළින්. ඒත් ඒ කඳුළු වලට පුළුවන් වුණේ නෑ තාත්තව ඒ නරක ඇබ්බැහියෙන් මුදව ගන්න. බීමත් කමට ඇබ්බැහි වුණ තාත්තා කෙනෙක්ගේ දරුවෝ විඳින මානසික පීඩනය මම සහ මගේ සහෝදර සහෝදරියන් නො අඩුව විඳලා තියනවා. තාත්තගේ බීමත් කම නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න වෙයි කියන බය බොහොම තදින්ම දැනෙන දෙයක්. "උඹලෑ තාත්තා හෙන බෙබේ නේද?" එහෙම නැත්නම් "ඒ බං අපි ඊයේ උඹලෑ තාත්තා බීලා වැනි වැනි යනවා දැක්කා" කියලා කවුරුහරි කොයි වෙලේ හරි අහයි, කියයි කියන බය නිතරම අපිව පෙලුවා. අම්මා අඬනවා දකින දේත් ළමයින්ගේ හිත්වලට එච්චර සුවදායක නෑ. තාත්තගෙ බීමත්කම නිසාම අපි මුහුණදීපු ආර්ථික අමාරුකමුත් එමටයි. ඒවා බීමට ඇබ්බැහිවුණ තාත්තා කෙනෙකුට කවදාවත් තේරුම් ගන්න පුළුවන් දේවල්ද !?

මම වැඩට ගිහින් එනකොට තත්ත්වය දරුණු අතට හැරිලා. තාත්තා ලේ වමනේ දාන්න පටන් අරන්. දැන්නම් ඉතින් තවත් බලන් ඉන්න බෑ. තාත්තා බෑ කියනකොටම බලෙන්ම වගේ ස්පිරිතාලේට ගෙනියන්න අපි තීරණය කළා. වෙලාව හවස හතරට විතර ඇති. ත්‍රීවීල් එකක් කතා කරගෙන අම්මයි මමයි තාත්තව මැදි කරගෙන ඒකට නැග්ගා. අයියා මෝටර් සයිකලෙන් අපිත් එක්කම වගේ ආවා. ඒ වෙලාවෙ අපේ ගෙදර ඇවිත් හිටිය් දමිතුත් අපිත් එක්ක එකතු වුනා ඉස්පිරිතාලෙට යන්න.  ස්පිරිතාලෙට ගෙනියනකොටත් තාත්තා හොඳට හිටිය බව මතකයි. සිහි කල්පනාව එහෙම හොඳට තිබුණා. ඕපීඩී එකේදි ලියාපදිංචි කරලා තාත්තව වාට්‍ටුවට යොමු කෙරුවා. ඒ, කලින් දෙවතාවක් හිටපු එකම නිසා තාත්තා යන්නත් ටිකක් අදිමදි කළා දොස්තරලගෙන් බැණුම් අහන්න වෙයි කියලා. කොහොම හරි අපි තුන්දෙනා ගිහින් තාත්තව වාට්‍ටුවට භාර දුන්නා. හොඳ වෙලාවට ඇඳකුත් හම්බුනා. ඒ වෙනකොට ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙලා තිබුණ නිසා "එක්කෙනෙක් ළඟ ඉඳලා අනිත් අය යන්න" කිය කිය සිකියුරිටි කාරයොයි, ඇටෙන්ඩන්ලයි බුරන්න පටන් ගත්ත නිසා අපි තුන්දෙනාටම එතන ඉන්න හැකියාවක් තිබුණේ නෑ. මම, එදා රෑ තාත්තා ළඟ නවතින්න තීරණය කරපු නිසා අයියා කිව්වා මම පහළට ගිහින් මොනවා හරි කාලා එනකම් එයා තාත්තා ළඟ ඉන්නම් කියලා. අම්මයි, මමයි, දමිතුයි තාත්තට ගිහින් එන්නම් කියලා පල්ලෙහාට බහිනකොටත් තාත්තා ඇඳේ වාඩි වෙලා හොඳට හිටියා. "හා" කියලා ඔළුව වැනුව හැටි මට තාම මතකයි. ඒ මේ භවයෙදී අම්මයි, මමයි තාත්තා එක්ක කතා කරපු අන්තිම වචන කිහිපය කියලා අපි මොහොතකටවත් හිතුවේ නැත්තේ තාත්තට ලේ වමනේ ටිකක් යනවට වැඩිය අමාරුවක් නොපෙන්නුව නිසා හා කොහොම හරි සුවකරගෙන නැවත එක්කන් යන බලාපොරොත්තුව අපේ හිත්වල තිබුණ නිසා වෙන්න ඕනා.

අම්මව නතරකරගෙන හිටපු ත්‍රීවීල් එකටම නග්ගලා ගෙදර යවලා, මම රාගම ස්පිරිතාලේ පල්ලෙහා තිබුණ හෝටලයට රිංගුවේ මොනවා හරි බඩට දාගන්න. හේතු දෙකක් නිසා මට කන්න පිරියක් තිබුණේ නෑ. එකක් පැවතුණු වාතාවරණය නිසා හිතේ තිබුණු අවිවේකී බවයි ආතතියයි. අනෙක් එක, මේ හෝටල්වල තියන අපිරිසිදුකම. මට පෙන්නන්නම බැරි වැඩක් තමා තියන ඔක්කොම කෑම ජාති ගෙනල්ලා මේසෙ උඩ තියන එක. කන එවුන් ඔක්කොම අල්ල අල්ල ආයෙ පිගානටම අතාරිනවා. කාපු නැති ටික ආයෙ වීදුරු කූඩුවට යනවා. වෙන කවුරු හරි ඉල්ලුවම ආයේ ඒවම ගෙනත් දෙනවා. මොන ඌරු වැඩක්ද කියලා මටනම් තේරෙන්නෑ. සෞඛ්‍ය පරීක්ෂකයන්ට මේවා පේන්නැද්ද ? නැත්නම් ජරාවෙන් ඒගොල්ලන්ගේ දෑස් වැහිලද?

හංවෙලා තිබුණ බිත්තර රොටියක් කාලා, නහය වහගන්නැතුව බොන්න බැරි නිසා තේ එකක් නොබී, කූල් බීම බෝතලයක් බීලා මම දනි පනි ගාලා ආයේ කන්ද නගින්න ගත්තේ අයියව ඉක්මනින් ගෙදර යවන්න ඕනා නිසා. මම පඩි පෙළත් නැගලා තාත්තා හිටපු වාට්‍ටුවට ඇතුළු වෙනකොටම ටිකක් අමුතු දෙයක් දැක්කා. එක ඇඳක් වටේ කට්ටිය වට වෙලා ඉන්නවා. මම ඒත් හිතුවේ වෙන කවුරු හරි ලෙඩෙකුට අමාරු වෙලා කියලා. ළඟටම ගියාම තමා දැක්කේ ඒ තාත්තගේ ඇඳ තමා කියලා. ඕන් එතකොටයි මට හීන් දාඩිය දාන්න ගත්තේ. මම බැලුවා අයියා කෝ කියලා. එයත් දොස්තරලට, නර්ස්ලට පිටි පස්සෙන් ඉඳගෙන බයවෙලා වගේ තාත්තා දිහා බලන් හිටියා. දොස්තර කෙනෙක් තාත්තගේ පපුව ඔබ ඔබ කෘතිම ශ්වසනය දෙනවා.

"මොකද වුණේ ? " මම අයියගෙන් ඇහුවේ බය වෙලා.

"එක පාරටම මට අමාරුයි කියලා ඇඳේ දිගා වුණා. මම කෑ ගහපුවම තමා කට්ටිය දුවගෙන ආවේ."

වෙන්නේ මොනවද කියලා මමයි අයියයි ඇස් උඩ තියාගෙන බලන් හිටියේ. ඒක මගේ ජීවිතයේ අවිනිශ්චිතවම ගෙවුණු තත්පර කිහිපයක්. තාත්තගේ වෙලාවද නැත්නම් හැමදාම රාගම ස්පිරිතාලේ එහෙමද කියන්න මම දන්නැ, වාට්‍ටුව භාරව නිසි දැනුමක් තියන වෛද්‍යවරයෙක් ඒ වෙලාවේ හිටියේ නෑ. හිටිය ඔක්කොම වෛද්‍ය ශිෂ්‍යයෝ විතරයි හිටියේ. අපි අරක දීලා බලමුද, මේක දීලා බලමුදා කියලා පොත් පෙරළ පෙරළ දෙන්න ඕනා බේත් ජාති හොයමින් නටපු නාඩගමක් ! ෂොක් ට්‍රීට්මන්ට් දීලා බලමු කියලා තීරණය කරලා ඒකත් කෙරුවා. ඒත් තාත්තගේ නැවතුන හදවත නැවත පනගන්වන්න ඔවුන්ට බැරුව ගියා.

"හරියන්නෑ" කියන්න තොල පෙරළන ගමන් කරණ ඔළුව දෙපසට වැනීම, කනගා‍ටුව මුසු වූ බැල්ම, සුදු පිරුවටය තාත්තාගේ හිසත් වසාගෙන ඉහළට ගමන් කිරීම, මුලු ලෝකයම කැරකෙමින් පෙරළෙමින් කඩා වැටීම, ඔක්කොම සිදුවුණේ එකටම වගේ. තාත්තා අපිව දාලා යන්න ගිහින් කියන සත්‍යය පිළිගන්න බැරුව අයියත් මමත් තාත්තගේ නිසල දේහය බදාගෙන කෑගහලා ඇඬුවා. එහෙම කළාට තාත්තා ආයේ නැගිටින්නෑ කියන එක තේරුම් ගන්න තරම් අපේ තර්ක බුද්ධිය ඒ වෙලාවෙ නිරවුල් නෑ. යාළුවන්ගේ තාත්තලගේ මලගෙවල් වල ගියාට අපේ තාත්තා මැරෙයි කියලා කවදාවත් නොහිතුණ හැටි. ඒක කොහෙත්ම වෙන්ඩ බැරිදෙයක් හැටියට අපේ හිත් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම එක අතකින් හරිම පුදුමයි. මේ ලෝකේ හැම මිනිහෙක්ම මැරෙනවා කියන සත්‍ය අපි කවුරුත් දැනන් හිටියට ඒක අපිට සහ අපේ සමීපතයින්ටත් පොදු බව අපිට නොහැ‍ඟෙන හැටි. ඒක තමා අපේ කෙනෙක් නැතිවුනාම අපිව ගල් ගැහෙන්නේ. විශ්වාස කරන්න බැරුව තුෂ්ණිම්භූත වෙන්නේ. මේ වගේ අකල් මරණ වලදී මේ හැඟීම දෙගුණ තෙගුණ වෙලා දැනීම අහන්නත් දෙයක්ද ! අපි ඒ හැඟීම නොඅඩුවම විඳිමින් හිටි මොහොතක් තමා මේ ගෙවෙමින් පැවතුණේ.

ඒ වෙලාවේ වාට්‍ටුව භාරව හිටපු ප්‍රධාන හෙද නිලධාරිය ඇතුළු කට්ටිය අපිව සනසන්න මොන මොනවදෝ කිව්වා වගේ මතකයි. ඒත් ඒ කියපු කිසි දෙයක් අපේ කන්වලින් ඇතුළට නොගිය නිසා කිව්වේ මොනවද කියලා මට මේ මොහොතේ ලියන්න දැනුමක් නෑ. ඔය වගේ වෙලාවට භාවිතා කරණ සාම්ප්‍රදායික වදන් මාලාවම භාවිතා කරන්න ඇති කියන උපකල්පනයක් විතරක් කරන්න පුළුවන්.

ටිකකින්, ට්‍රොලියක් තල්ලු කරන් ආපු රෝහල් සේවකයෝ දෙන්නෙක් තාත්තගේ දේහය උස්සලා ඒකෙන් තියාගෙන යන්න ගියා. වාට්‍ටුවෙන් අපිට කිව්වේ දැන් ගෙදර ගිහින් මිනිය භාර ගන්න හෙට එන්න කියලා. රෝගියව රෝහලට ඇතුළත් කරලා පැය විසිහතරකට වඩා අඩු නිසා අනිවාර්යයෙන් මරණ පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් දැනුම් දුන්නා..

අයියයි මායි කොහොම ගෙදර ආවද කියන එකත් මට නිනව් නෑ. රෑ ළඟ නවතින්න ගිය මිනිහා මොකද ගෙදර ආවේ කියන විස්මයාර්ථය අම්මටත් අනෙක් අයටත් ඇතිවුණා කියලා ඔවුන්ගේ මුණු දැකපු ගමන් මට හිතා ගන්න පුළුවන් වුණා.

"ඇයි පුතේ ! ? " කියලා අම්මා ඇහුවේ හොඳටම බයවෙලා කියලයි මට හිතුණේ. ඒත් ඒකට උත්තර දෙන්න කලින් මගේ කඳුළු ඉස්සර වුණා. ඒකෙන් කියන්න ඕනා ඔක්කොම ඔවුන් වටහා ගන්න ඇති. ඊළඟ නිමේෂයේදී අසල්වැසියෝ අපේ ගේ වට කරගත්තේ පළාතම දෙදුරුම්කන තරමින් නැගුණු විලාපය නිසා. අපි ඔක්කොම එකට ගුලි වෙලා ඇති වෙනකම් ඇඬුවා. ඊළඟට මොනවද කරන්න ඕනා කියන එක වටහා ගන්නත් අපිට ටික වෙලාවක් ගියා. අනාරාධිතවම අසල්වැසියෝ වැඩට බැහැලා. සමහරු ඉස්සරහා මිදුල අස්පස් කරනවා, මඩු ගහන්න. ගැහැණු අය අම්මයි නංගිලයි එක්ක ඔවුන්ගේ දුක බෙදා ගන්නවා. එකම කතාව නැවත නැවත ප්‍රතිරාව කරන්න වුණත් ඒකෙන් වේදනාව තුනීවෙන හැටි හරිම පුදුමයි ! තාත්තගෙන් පස්සේ ගෙදර වැඩිමහලු පිරිමි දෙන්නා හැටියට අයියටයි, මටයි කටයුතු සංවිධානය කිරීමේ වැඩි වගකීමක් පැවරුණා. මස්සිනා නවරත්නත්, ගෙදර නැවතිලා හිටපු මගේ යාළුවා ඉන්දිකත්, මල්ලිත් හිටපු නිසා අපිට කටයුතු බෙදාහදාගෙන කරණ එකනම් කොහෙත්ම ගැටලුවක් වුණේ නෑ. පහුවදා අම්මයි මමයි ස්පිරිතාලෙට ගිහින් මිනිය නිදහස් කරගන්න අතරේ, අයියා අනිත් අයත් එක්ක ගෙදර වැඩ ටික එකලස් කරගන්න කතා කරගත්තා. හෙට කාර්යය බහුල දවසක් නිසා ටිකක් නිදාගන්න බලන්න කියලා හැමෝම කිව්වත් නින්ද අහලකවත් නෑ. එදා රෑ එළිවෙනකම් කුරුන්දෙන් නරි කෑ ගහනවා මම අහගෙන. උන්ට ඒ වගේ දේවල් දැනෙනවා කියලා මම අහලා තියනවා.

පහුවදා උදෙන්ම වගේ අම්මයි මමයි ස්පිරිතාලේට ආවා. ලෙඩගානේ හිටපු අම්මව එක්කන් එන්න වුණේ ලෙඩාව ඇතුළත් කරනකොට අපි කරපු මෝඩ වැඩක් නිසා. ඒ රෝගියාගේ භාරකාරයා හැටියට අම්මගේ නම දාපු එක. භාරකාරයට විතරලු පුළුවන් ලියකියවිලි වලට අත්සන් කරලා මිනිය භාර ගන්න. අපිත් එක්ක ඔය වගේ කටයුතු ගැන හොඳ අවබෝධයක් තියන අසල්වැසියෙක් වුණ ක්‍රිස්ටි මාමත් එකතු වුණා. ඇත්තටම ඒ වෙලාවේ ඒ මනුස්සයා ආපු එක අම්මටයි මට ලොකු පහසුවක් වුණා.

එතනට ගියාම සුපුරුදු විදිහට රස්තියාදුව. අතනට යන්න, මෙතනට යන්න, අතෙන්ට කට උත්තර දෙන්න, මෙතෙන්ට කට උත්තර දෙන්න කිය කිය උපරිමෙන්ම අපිව මැඩෙව්වා. ඒක හිතාමතා කරන දෙයක් නෙමේ වෙන්න ඇති, ඒත් නිසි පිළිවෙළක් නැති කම නිසා මානසිකවත් වැටිලා ඉන්න මිනිස්සු තවත් අසරණ වෙනවා. අනිත් කාරණය රාගම රෝහලේ භූවිෂමතා ලක්ෂණ. අසනීපෙන් ඉන්න අම්මා වගේ කෙනෙකුට ඒකෙ තියන කඳු පල්ලම් නගිමින් බහිමින් හක්කලන් කරන්න ලේසි නෑ. මරණ පරීක්ෂණේ ඉවර වුණාම මෝචරියට ගිහින් මිනිය භාර ගන්න කියපු නිසා අපි තුන්දෙනා ආයේත් පල්ලෙහාට බැහලා මෝචරියට ආවා. අයියලා කතා කරලා හර්ස් එකක් එවලා තිබුණා මිනිය අරගෙන යන්න. එතන ගිහින් මිනී කුණුගඳ දරාගෙන ටිකක් වෙලා ඉන්නකොට කපලා කොටලා විරූපී වෙච්ච තාත්තගේ සිරුර ට්‍රොලියක දාගෙන අපි ලඟින්ම අරගෙන ගියා හර්ස් එකට දාන්න. තාත්තගෙ පපුව මැද්දෙන් බඩ දක්වාම පළලා බොත්තම් ඇරපු කමිසක් වගේ දෙපැත්තට දාලා තියන විදිහ මගේ දෑසින්ම දකින්න තරම් පුතෙක් හැටියට මම අවසනාවන්ත වුණා. ඒ දර්ශනය අම්මගෙන් හංගගන්න මම පුළුවන් උත්සහා කළාට ඒක හරි ගියාද කියලා මට දැන් මතක නෑ. අන්තිමට එතනිනුත් ලියකියවිලි වගයකට අත්සන් අරගෙන තවත් මොකක්ද කොළයක් දුන්නා තව ඔ‍ෆිස් එකකට ගිහින් දෙන්න කියලා. ඒකට ආයෙත් උඩට නගින්න ඕනා වුණා. එතනට ගියාට පස්සේ අම්මවයි මාවයි වෙන වෙනම ප්‍රශ්න කළා වගේ මතකයි. ඊට පස්සේ එතනින් නිකුත් කළා මරණ පරීක්ෂණ සහතිකය. මරණයට හේතුව : Alcoholic Liver Disease කියලා බොහොම පැහැදිලිව ඒකේ ලියවිලා තිබුණා. ඒක අපි නොදන්න දෙයක්වත්, බලාපොරොත්තු නොවෙච්ච දෙයක්වත් නොවන නිසා අපිට ඉතුරුවෙලා තිබුණේ ඒකත් අරන් පල්ලම් බහින්න විතරයි.

මමයි අම්මයි ගෙදර එනකොටත් ගෙදර සෑහෙන පිරිසක් ‍රැස් වෙලා හිටියා. සීයලත් ගමේ ඉඳන් ඇවිත් තිබුණා. සියව දැකපු ගමන් මට හිතුණේ තාත්තා කෙනෙක්ට අකාලයේ තමන්ගේ දරුවෙක් නැති වුණාම දැනෙන දුක, පුතෙක්ට තමන්ගේ තාත්තා අකාලයේ මියැදුණාම දැනෙන එකමද කියලා. හොඳ බෞද්ධයෙක් වුණ සීයා, බුද්ධ ධර්මයෙන් ලැබුණ හික්මීම නිසාද මංදා එච්චර දුකක්නම් පෙන්නුවේ නෑ. අම්මා එක්ක කතා කරන ගමන් අම්මාගේ හිත හදන්නත් එයා සෑහෙන්න උත්සහ කළා.

දැන් ඉතින් අපට තියෙන්නේ මිනිය ගේනකම් බලා ඉන්න විතරයි. එතකම් අවශ්‍ය වෙන සුළු සුළු දේවල් ටිකක් සකස් කරමින් අපි කාලය ගත කළා. ඊයේ තාත්තා මිය ගිය බව දැනගත්ත වෙලාවේ ඉඳලා මේ වෙනකම් කිසිම අවස්ථාවක මට තාත්තා මිය ගිහින් කියන එක පිළිගන්න හැකියාවක් තිබුණේ නෑ. හිතෙන්නෙම තාත්තා අපි අතර ඉන්නවා කියලා විතරයි. සමීපතමයෙක් මිය ගිය කෙනෙක්ට මම මේ කියන අත්දැකීම වටහා ගන්න එච්චර අපහසු වෙන එකක් නෑ. මරණය කියන භයානක සත්‍ය පිළිගන්න අපි එතරම්ම අදිමදි කරනවා.

හවස හතරට විතර තාත්තගේ මෘත දේහය තැන්පත් කරපු හර්ස් එක නිවසට ළඟා වුණා. හීනියට පටන් ගත්තු ඉකිබිදීම් මහා විශාල විලාපයක් වෙන්න වැඩි වෙලා ගියේ නෑ. හර්ස් එකෙන් අපේ කර මතට ආපු තාත්තගේ දේහය තැන්පත් කරපු පෙට්ටිය, සාලේ මැද්දේ මල්ශාලාවේ අය විසින්ම පිහිටවපු කණු හතරක් මත තැන්පත් කළේ බටහිරට ඔළුව තියන විදිහට. ඒක එකම කලබලයක්! එහෙන් අම්මලාගේ ල‍තෝනිය, මෙහෙන් අපි පෙට්ටිය වැටෙන්න නොදී කණු උඩ රඳවන්න ගන්න උත්සහාය. ඔය කලබල සියල්ල අස්සේ තමා හදිසියේම ඒ අසලම ඉඳන් අඬන සීයව දැක්කේ. කොච්චර ලෝක ස්වභාවය ගැන නිතර මෙනෙහි කළත්, තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ දරුවෙක්ව මිනී පෙට්ටියක බාහලා ඉන්නවා දකින්න කවදාවත් බලාපොරොත්තු නොවිච්ච සීයටත් ඒ වෙලාවේ තමන්ව පාලනය කරගන්න බැරුව යන්නැති. ඒකයි ඔහු හඬාවැටෙන්න ඇත්තේ. සීයා අඬනවා මම ඊට කලින් කවදාවත් දැකලා තිබුණේ නෑ. ඒක මගේ හිත තදින්ම කම්පනයට ලක් කළා. ඊට පස්සේ අනිච්ඡානුගව මගේ කටින් පිට වෙච්ච වචන කීපය මට මගේ ජීවිතය තියෙන තුරාම මතක තියේවි. ඒක, කවදාවත් මට ඇසට කඳුළක් එන්නැතිව සිහි කරන්න බැරි සිද්ධියක් වුණා. මේක ලියන මේ මොහොතේත් මගේ දෑස් කඳුළින් තෙමිලා.

"තාත්තේ, අර සීයා අඬනවා පොඩ්ඩක් බලන්නකො." මම කිව්වේ තාත්තව හොයන්න වටපිට බලන ගමන්මයි.

ඊළඟ නිමේෂයේදී හෙණයක් ගැහුවා වගේ මම කියපු වචන වල බරපතල කම මටම වැටහෙනකොටම තාත්තා තවදුරටත් අපි කවුරුවත් අඬන ඒවා බලන්න, අපේ කඳුලු පිහදාන්න අපි අතර නෑ කියන සත්‍යත් මට මුල්ම වරට තදින්ම අවබෝධ වුණා.

ooooo

ඒ අවාසනාවන්ත, කනගා‍ටුදායක ඉරිදාව උදා වුණේ අද වගේ මාර්තු 24 වෙනිදාවකයි. වෙන විදිහකට කිව්වොත් තාත්තා අපිව සදහටම හැරගිහින් අදට අවුරුදු 12ක්. මේ සටහන ඒ වෙනුවෙන්.

මෙය, මතට ඇබ්බැහිවූ එක් පියෙකුගේ හා ඔහුගේ අඹුදරුවන්ගේ කතාවක් පමණක් නොව, අඩු වැඩි වශයෙන් එවන් සියලු පියවරුන්ගේ හා ඔවුන්ගේ අඹුදරුවන්ගේ කතාව විය හැකිය. අම්මාගේ ධෛර්‍යය හේතුකොටගෙන පියාගේ මතට වූ ඇබ්බැහිය අප කෙරෙහි බලපෑවේ සුළු වශයෙන් වුවද, එම නිසාම සිය ජීවිතයම අවාසනාවන්තවූ, අවාසනාවන්තවන දරුවන් කොතෙක්ද නම් වේද ! එවන්වූ සියලු දරුවන්ගේ නාමයෙන්, මෙලොවෙහි මතට ඇබ්බැහිවූ සියලු පියවරුන් එයින් මිදෙත්වා !!

මත්පැන් නිසාම අකාලයේ අප හැරගිය ආදරණීය තාත්තේ, කෙතරම් අඩු පාඩු සහිත වූවද ඔබ අපේ පියාණන් යැයි යන සත්‍යය වෙනස් කිරීමට මෙලොව කිසිඳු බලවේගයකට නොහැකිය. සසර සැරිසරන තුරාවටත් ඔබ අපගේ පියාණන්ම වේවායි යන්න අපගේ එකම පැතුමයි !!!

~~ සෙන්නා / 24.03.2014

Wednesday, March 12, 2014

අත්භූත අමුත්තා

2014 මැදින් මස 12වනදා

තිරිවානා පැහැති ගල් ජාතියකින් නෙලලා තිබුණු බුද්ධ රූපේ දකුණු පැත්තට වෙන්න තිබුණ සමරු ඵලකයේ වාක්‍ය පේළිය කියවන්න තමා මම උත්සහ කරමින් හිටියේ. කාගේදෝ අදහසකට අනුව, තව කෙනෙකුගේ ආරාධනයෙන්, තවත් කෙනෙකුගේ මැදිහත් වීමෙන්, තවත් කෙනෙකුගේ අධීක්ෂණයෙන් ඉදිවූ ගොඩනැගිල්ල තවත් කෙනෙකු අතින් විවෘත්ත වුණා කියලා කොටලා ඇති, ආයේ ඒකෙ සැකයක් නෑ. ආර්. ප්‍රේමදාස, බී සිරිසේන කුරේ, ජේ.ආර්. ජයවර්ධන කියනව වචන ලොකුවට කොටලා තිබුණ නිසා මම ඉන්න තැන ඉඳන් පහසුවෙන් කියව ගන්න පුළුවන් වුණාට අනිත් අය ගැන දැන ගන්න ඕනානම් ඉතින් ළඟටම යන්න වෙනවා. 

මම වාඩි වෙලා හිටියේ පබ් එක ඉස්සරහා තිබුණ ඕවලාකාර බැම්මේ පබ් එකේ ඉදිරි පසට මුහුණ දාලා. අසංක එනකම්. පබ් එකේ පාඩම් කරන එක පැෂන් එකක් වෙලා තිබුණ හින්දද කොහෙද අපිත් පබ් එකට ඇවිල්ලා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියේ ‍රැල්ලට ගහගෙන ගිය හින්දා මිසක් ගෙදර පාඩම් කරගන්න බැරිකමක් නිසා නෙමේ. නැත්නම් මුහුද අද්දර තිබුණු අපේ ගේ ගාව නිස්කලංකව පාඩම් කරන්න තැන් එමටයි. අසංක එනකම් මට වෙන කරන්න වැඩක් නොතිබුණ නිසා මම ළඟ තිබුණ බුදු පිළිමය දිහා බලාගෙන අනිමිසලෝචනයේ යෙදෙමින් ඉන්න කොට තමා පබ් එක හදවපු අයගේ විස්තරේ මගේ ඇහැ ගැ‍ටුණේ. හදවපු අය ගැන මිසක් හදපු අය ගැනනම් කිසිම සඳහනක් එහි තිබුණේ නෑ. මේ ලෝකේ කොහොමත් වැඩකරන මිනිහට වඩා වැඩ කරවන මිනිහගේ තමා නම යන්නේ. රුවන්වැලි මහ සෑය හැදුවෙත් දු‍ටු ගැමුණු රජ්ජුරුවෝ නෙමේනෙ. අනිත් ඔක්කොමත් ඔහොමම තමා.

කවුරු හරි අපි දිහා එක එල්ලේ බලා ඉන්නකොට, අපිට ඒ මනුස්සයා ඉන්න දිහා බලන්න හිතෙන ඒ අරුම පුදුම හැඟීම ඕගොල්ලොත් විඳලා ඇති නේද ? ඔන්න ඔය මොහොතෙම මට ඒ හැඟීම තදින්ම දැනුණ නිසා තමා මම බෙල්ල හරවලා වම් පැත්තෙන් පිටි පස්ස බැලුවේ. මම දිහා කන්න වගේ බලාගෙන මට ටිකක් එහායින් වාඩි වෙලා හිටපු මනුස්සයාව දැක්කම මාව එක පාරම ගැස්සුණා. මට එයා එනවා කියලා හාන්කවිසියක්වත් තේරුන්නෑනෙ !

බැලූ බැල්මට එයාට වයස අවුරුදු හතළිහකට කිට්‍ටු කරලා ඇති. කොණ්ඩේ කොටට කපලා, මොනවා හරි ජෙල් වගයක් ගාලා නීට් එකට පස්සට වෙන්න පීරලා තිබුණා. රැවුල ෆුල් ෂේව් කරලා. හරිම ප්‍රසන්න පෙනුමක් මම එයාගෙන් දැක්කේ. ඒ එක්කම මනුස්සයව කවදා හරි කොහේදී හරි මීට කලින් හම්බෙලා තියනවාය කියන හැඟීමත් මට ඒ වෙලේ තදින්ම දැනුණා. මම පොඩ්ඩක් කල්පනා කරේ කොහෙදිද මීට කලින් මෙයාව දැක්කේ කියලා මතක් කර ගන්න. ඒත් මට එහෙම මතකයක් සිහියට නගා ගන්න බැරි වුණා. 

එයා මාත් එක්ක හිනා වෙච්ච නිසා මමත් හිනාවකින් සංග්‍රහා කරන ගමන් සිරස් බැම්මට පිට දීලා හරි බරි ගැහිලා වාඩි වුණා.

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?"එයා මගෙන් ඇහුවේ හිනා වෙන ගමන්. මම ඒකටත් ලාවට හිනා වුණා මිසක් උත්තර දෙන්න ගියේ නෑ.

"පුතා සමන්ත නේද ?" මේ ප්‍රශ්නෙන් මම තවත් හොල්මන් වුණා. එයා කොහොමද මගේ නම දන්නේ කියන ප්‍රශ්නෙ නිකන්ම මට මතුවුණා.

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?"

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." එහෙම කියපු ඔහු කට කොනකින් හිනා වුණා..

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" එළියට පනින්න ඔන්න මෙන්න තරමට ලොකු වුණ මගේ ඇස් ගෙඩි දෙකෙන් මම එයා දිහා කන්න වගේ බලන් හිටියේ "මොකෙක්ද මූ? " කියලා මගෙන්ම අහ ගන්න ගමන්.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." මම දිගටම පුදුමයෙන්. 

එයත් එක්ක කතා කරනකම්ම මම හිතෙන් උත්සහා කරේ මෙයා කවුද කියලා මතක් කරගන්න. මගේ නම, අසංකගේ නම, මම මෙතන ඉන්න හේතුව දන්න නිසා මෙයා මම ගැන හොඳින් දන්න කවුරුහරි වෙන්න ඕනා කියලා මම අනුමාන කළා. සමහර විට මම නොදන්න අපේ නෑයෙක් වෙන්නත් පුළුවන් ! සාමාන්‍යයෙන් මම අදුනන්නැති අය එක්ක එච්චර බජනෙකට යන්නේ නෑ. වචනෙන් දෙකෙන් උත්තර දීලා නිකන් ඉන්නවා. හැබැයි මෙයා එක්ක කතා කරන්නනම් මට කිසිම චකිතයක්වත්, අකමැත්තක්වත් තිබුණේ නෑ. බර වෙලා තිබුණ අහස දිහා බලලා "වහින්න වගේ නේද?"කියලා ආයේ පටන් ගත්තු අපේ කතාව අතරින් පතර නැවතෙමින්, විවිධ මාතෘකා ඔස්සේ ඇදිලා ගිහිල්ලා අන්තිමට වර්ෂාවසානයේ පැවැත්වීමට නියමිත අපේ විභාගේ දක්වාම ආවා. 

"හැබැයි පුතාට මේ අවුරුද්දේ විභාගේ කරන්නනම් වෙන්නේ නෑ." මේ පාරනම් පුදුමය වැඩි කමට මගේ කටත් ඇරුනා. ඒත් ඊලඟට මම ඒක විහිලුවක් හැටියට තමා සැලකුවේ.

"ඇයි ඒ !? ඔයා කොහොමද දන්නේ ? " 

"මම වැඩි විස්තර කියන්නේ නෑ. යම් හෙයකින් ඔයා වෙන්න තියනදේ වලක්වන්න හැදුවොත් ඒක ඉතාම නරක විදිහට අනාගතයට බලපාන්න පුළුවන්. කොහොමත් ඒකෙන් ඔයාට ලොකු හානියක් වෙන්නේ නෑ."

"මම යන්නම්, යාළුවා එනවා." අසංක ආපු හින්දා මම එයාගෙන් වෙන්වෙලා පබ් එක ඇතුළට යන්න අසංක එක්ක එකතු වුණා. තමන් කවුදැයි හඳුන්වා දීම දිගින් දිගටම මගහැරපු නිසා මම ආයෙ එයාගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ. 

"කවුද බන් ඒ ?"

"අනේ මංදා බන්, මහ අමුතු පොරක්. මිනිහා කියනවා මට මෙදාපාර විභාගේ කරන්න හම්බෙන්නෑල්ලු." ඒ මනුස්සයාව පිස්සෙක් කියලා හඳුන්වන්න තරම් මම ඉක්මන් වුණේ නෑ.මොකක් හරි නොතේරෙන හේතුවක් නිසා මම මේ මනුස්සයට ලොකු ලෙන්ගතු කමක් දක්වනවා. ඒ මොකද කියලා මටම හිතා ගන්න බෑ. 

"මිනිහා කොහොමද එහෙම කියන්නේ? එයා සාත්තර කාරයෙක්ද?"කොහෙද යන පිස්සෙක්ද කොහෙද !"

"අනේ මංදා බන් මටත් තේරෙන්නෑ."

"මම හිතුවේ උඹලෑ අයියා කෙනෙක් වෙන්නැති කියලා. මිනිහා ටිකක් උඹ වගේමයි." අසංක එහෙම කිව්වේ හිනා වෙවී.

"මොකාක් !! මම වගේ !??"  මාව ආපසු හැරුනේ ඉබේමයි. ඒ එයාව ආයෙත් දැකගන්න. ඒත් ඒ වෙනකොටත් එයා එතනින් අතුරුදහන් වෙලා.

එහෙනම් මම හිතුවා හරි. එයා අපේ නෑ කෙනෙක් වෙන්නෝනා. ඒත් එහෙනම් මම එයාව නොදන්නේ කොහොමද ?

විභාගය වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වෙච්ච නිසා, මේ සිද්ධිය මට එහෙම් පිටින්ම අමතක වෙලා ගියා. ඒත් නොවැම්බර් මාසේ අන්තිමදා වෙච්ච මෝටර් සයිකල් අනතුර නිසා ආයෙත් ඔහුව මතක් වුණේ මාසයක් එකහාමාරක් විතර යනකම් දකුණු අතෙන් වැඩක් ගන්න බැරිවෙනවා කියලා දැන ගත්තමයි. මේ වෙනකම් වෙච්ච මහන්සිය වතුරේ ! ඊට පස්සේ අසංකයි මමයි කවුද මේ මනුස්සයා කියලා වරු ගණන් කතා කරන්න ඇති. දවස් ගාණක් පබ් එක ඉස්සරහා මුර කළත් ආයෙ එයාවනම් දකින්න ලැබුණේ නෑ. මේ ලෝකේ අරුම පුදුම මිනිස්සු ඉන්නවා කියලා හිතහදා ගන්නවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. 

මාස කිහිපයක් ඔහොම්මම ගෙවිලා ගියා. දැන් මට තනියමම විභාග කඩුල්ල වෙනුවෙන් ලක ලෑස්ති වෙන්න වෙලා තියන නිසා පබ් උණ එහෙම හොඳ වෙලා තිබුණේ. ගේ ගාවම තිබුණ බීච් එකේ, හෙවණක් යට පොල් කොටන් හිටෝලා අටව ගත්තු තාවකාලික බංකු කෑල්ලකුයි, ඒ විදිහටම හදාගත්තු මේස කෑල්ලකුයි එක්ක මම ආයෙත් වැඩේට බැස්සා. පබ් එකට වැඩිය මේක බොහොම නිස්කලංකයි. යන්න එන්න යන වෙලාවයි, සල්ලියිත් ඉතුරුයි.

එදා මගේ අවධානය තදින්ම ගාණකට යොමු වෙලා තිබුණ වෙලාවෙ කවුදෝ මගේ පිටිපස්සේ ඉඳන් "පුතා කොහොමද ? පාඩම් කරනවා වගේ !" කියනවා ඇහිලයි මම පිටිපස්ස හැරිලා බැලුවේ. දෙවියනේ ! එයා !! ආයෙත් !! මගේ ඇස් ගෙඩි දෙක දොඩම් ගෙඩි දෙකක් විතර ලොකු වෙන්න ඇති මේ බලාපොරොත්තු නොවුන මේ හමුවීමෙන්.

"අපි ඔයාව කොච්චර හෙව්වද ? ඊට පස්සේ නිකන්වත් දකින්න ලැබුණේ නෑනෙ !?"

"මට ඊට පස්සේ එන්න බැරුව ගියා. ඉතින් කොහොමද?  ආයේ පාඩම් කරනවා වගේ !?" 

"ඒකනෙ ! අපි හිතුවේ ඒක විහිළුවක් කියලා. ඔයා කියපු එක එහෙම් පිටින්ම අමතක වෙලයි තිබුණේ මේ සිද්ධිය වෙනකම්ම. ඔයා ඇත්තටම කවුද? කොහොමද එහෙම අනාවැකියක් හරියටම කිව්වේ? 

"මට ඔයිට වැඩිය අනාවැකිත් කියන්න පුළුවන්. හරියටම හරි යන ඒවා. ඔයාට ඒක දැන ගන්න ලැබෙන දවසක් තියනවා පුතා. එතකන් ඉන්න. මම ඒ ගැන මොකුත්ම කියන්නෙ නෑ."

"එහෙනම් ඉතින් කියන්න පුළුවන් කියපු අනාවැකිවත් කියන්න."මම කිව්වේ හිනාවෙන ගමන්. හිනාවුණේ ඔහුට මම කියන දේ විහිළුවක් කියලා පෙන්වන්න. ඒත් ඇත්තටම අනාගතයේදී වෙන්නේ මොනවද කියලා දැනගන්න කාටත් තියන කුතුහලය මටත් අඩු නැතුවම තිබුණා.

ඒත් ඊට පස්සේ එයා අපේ පවුලේ විස්තරයි වෙන වෙන දේවලුයි පැත්තට කතාව අරගෙන ගියා. එයා එහෙම අනාවැකි කියන්න එච්චර මනාපයක් පෙන්නුවෙ නෑ කියලා තමා මට හිතුනේ. ඒත් මගේ කුතුහලය ඊට වැඩිය වැඩියි. ඒක නිසාම ඒ ගැන මම එයාට ආයෙත් මතක් කළා.

"හරි කියන්නම්, හැබැයි ඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන වෙන මුකුත්ම මම කියන්නේ නෑ. ඒක ඔයාට ලොකු මානසික වදයක් වෙයි. හෙට මොනවද වෙන්නෙ කියලා අද දැනගෙන ජීවත් වෙන එක විශාලා මානසික පීඩනයක්. ඒකයි අනාගතේ අපි හැමෝගෙන්ම වහලා තියෙන්නේ.

"එහෙනම් ඇයි එදා කියුවේ? මම විභාගෙට ලෑස්ති වෙන වෙලාවක වෙලත් !" මේ වෙලාවෙනම් මට ඔහු ගැන ටිකක් කේන්ති ගියා කියුවොත් වැරදි නෑ..

"ආහ් ඒක !, මට නිකමට හිතුණා ඔයාට මම ගැන පොඩි ඉඟියක් දෙන්න. අනික මම දැනගෙන හිටියා ඔයා ඒක විශ්වාස නොකර අමතක කරලා දාන බව. ඒත් දැන් තත්ත්වය වෙනස්. දැන් මම කියන හැම අකුරක්ම ඔයා විශ්වාස කරනවා."

"හරි මට තේරුණා. එහෙනම් ඉතින් ඔයාට කියන්න තියෙන්නෙ රටට ලෝකෙට වෙන්නෙ මොනාද කියලා තමා."

"ඔව්, මේ ටික අහගන්න. ඕනනම් කොහෙ හරි ලියා ගන්න. හැබයි කා එක්කවත් ඕවා කියන්න යන්න එපා. කවුරුවත් විශ්වාස කරන්නේනෑ. ඔයාට පිස්සු කියලා හිතනවා මිසක්. හරිද?" මම හා කියලා ඔළුව දෙපැත්තට වැනුවා.

"අනිත් එක මම වෙන අවුරුද්ද විතරයි කියන්නේ, දිනේ කියන්නෑ. ඔයා මොකක් හරි වෙනසක් කරන්න හැදුවොත් ඒක අනාගතේට දරුණු විදිහට බලපාන්න පුළුවන්. තේරුණාද? ඔයා මේවා නිකන් හිතේ තියා ගන්න. එච්චරයි. කොහොමත් වෙන්න තියනදේ වෙනවා." මම ආයෙත් ඔළුව වැනුවා.

"1993දී, ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරයා මියයනවා. බෝම්බෙකට අහුවෙලා."

"නෑහ්...." ඒකට ඔහු නහයෙන් පිඹින ගමන් කට කොනකින් හිනා වුනා.

"නෑ නෙමේ ඔව්. බලාගෙන ඉන්නකෝ ඒකට තව වැඩිකාලයක් නෑනෙ."

" ඊට පස්සේ....1996දී ඕගොල්ලන්ට බොහොම සතු‍ටු වෙන්න පුළුවන් දෙයක් වෙනවා."

"නෑහ්!.. ඒ මොකක්ද?"

"ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගන්නවා."

"මොකාක් !! වෙන්න බෑ ! අපි කොහොමද ලෝක කුසලානයක් දිනන්නෙ ? වෙන්න බෑ. " මගේ වචන අහපු ඔහු හිනා වුණා. "හරි දැන් ඔයාට තේරෙනව නේද මේවා කාට හරි කියුවට කවුරුවත් පිළිගන්නේ නෑ කියලා. අත්දැකීමෙන් දන්න ඔයත් පිළිගන්නේ නැති කොට. හෙහ් හෙහ්.. අඩුම ගානේ ඔයාගෙ යාළුවටවත් කියන්න යන්න එපා."

"අනිත් එක තමා 2004දී මුහුද ගොඩ ගලලා විශාල විනාශයක් වෙනවා. දාස් ගාණක් මැරෙනවා එකෙන්."

"දෙවියනේ ! ඒ මොකද ඒ ? අඩුම ගානේ  ඒකවත් කාටවත් කියන්න එපාද ? වෙන්න තියන විනාශය වළක්වගන්නවත් ! "

"එපා. වෙන්න තියන දේවල් වෙන්නම ඕනා. ඒවා වෙනස් කරන්න හොඳ නෑ. ඒවා එහෙම වෙන්න හොඳ හේතු ඇති. අපි නොදන්නවා වුණාට."

"එතකොට මේ යුද්දෙට මොකද වෙන්නේ ? කවද්ද මේක ඉවර වෙන්නෙ? " 

"ආහ්.. ඒක මට අමතක වුණානෙ. ඔව්, යුද්දේ ඉවර වෙනවා. හැබැයි අද හෙට නෙමේ 2009දී. සෑහෙන විශාල කැපකිරීම්, විනාශවීම් ගොඩකට පස්සේ හමුදාව ත්‍රස්තවාදීන්ව පරාජය කරලා දිනනවා. ඒත්... "

"ඇත්තද ! ඒකනම් බොහොම සතුටට කාරණයක්. ඇයි ඒත් කියලා නැවැත්තුවේ?"

"යුද්දේ ඉවර වුණාට, ලංකාවට කරන්න වෙන යුද්ධයක් ඉතුරු වෙනවා. ඒ තමයි මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට උත්තර හොයන්න වෙන එක. ඒක හරියට කළමනාකරණය කර නොගත්තොත් යුද්ධෙන් බැරි වෙච්ච ඊළම ඔවුන් ඒ මගින් දිනා ගැනීමේ අවදානමක් තියනවා."

"ඇත්තටම එහෙම මානව හිමිකම් කඩවීමක් වෙනවද ? "

"හෙහ් හෙහ්... මානව හිමිකම් ‍රැකගෙන කරන්න පුළුවන් හෝ කරපු යුද්දේ මොකක්ද පුතා !. යුද්දේ කියන වචනෙම ඒක අන්තරගත වෙලා තියනවා. ඒවා ඉතින් ලෝක බලවතුන් තම තමන්ට අවශ්‍යය විදිහට පරිහරණය කරනවා. කන්න ඕනා වුණාම කබරගොයාව තලගොයා කරගෙන කනවා. දුකට කාරණේ ලංකාවෙම මිනිස්සුත් ඒවට උල්පන්දම් දෙන එක තමා. "

"ඉතින් ඒකට මොකද වෙන්නේ කියලා ඔයාට කියන්න බැරිද ? "

"බෑ, ඒක මගේ දැනුමෙන් එහා තියන කාරණයක්."

ඒක වෙන්න ඇති මගේ ජීවිතේ විස්මිතම මිනිත්තු කිහිපය. ඒ වෙලාව අතරතුර මම නොකඩවාම පුදුමයට පත් වෙච්ච එක තමා වුණේ. අන්තිමට ඔහු මගෙන් සමුඅරගෙන වෙරළ දිගේ ඇවිදගෙන යන්න ගියා. ආයේ එන්නෙ කවදද කියලා ඇහුවම කියුවේ "කියන්න බෑ" කියල තමා. ඇත්තටම කවුද මේ මනුස්සයා ?

xxxxxxxx

ජීවිතයේ විවිධාකාරවූ හැලහැප්පීම් මැදින්, මා වැඩිහිටියකු බවට පත් කරමින් කාලය ගලා ගියේය. බිරිඳගේ අකාල මරණයත්, ඉන් ටික කළකට පසු සිදුවූ පියාගේ මරණයත් මා දරුණු කම්පනයකට ලක් කොට ජීවිත ආශාව නැති කෙරුවේ වුවද, ඔත්පලව සිටින මව රැකබලා ගැනීම උදෙසා මා හට ජීවත්වීමට සිදුවී තිබුණි.  ඒ අපූර්ව පුද්ගලයා, අත්භූත අමුත්තා, ඉන්පසු කෙදිනකවත් මා හට මුණ නොගැසුණි. එහෙත් ඔහුගේ අනාවැකි එකින් එක සත්‍යවන විට මා සිතෙහි ඔහු කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින දළුලා වැඩුණි. එම අනාවැකි කිසිවකුත් සමඟ පැවසීමෙන් වළකින ලෙස ඔහු කීවද මා හට එම පොරොන්දුව ඉ‍ටු කිරීමට නොහැකීවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මා විහිළුවට ලක්වූ වාරයන් අනන්ත වුවද ඒවා එලෙසින්ම ඉ‍ටු වූ විට මා හට හිනාවූ පුද්ගලයින් මා දෙස අමුතු සතෙකු දෙස බැලූ බවත් මතකය. එහෙත් සැවොම මෙන් ඒවා "කණා ෂොට්" ලෙසට සැලකූ බවට සැකයක් නොමැත.

අධ්‍යාපනයෙන් ඉහළටම ගිය මගේ අතිජාත මිත්‍රයා, අසංක, යුරෝපයේ පිළිගත් පර්යේෂණායතන කිහිපයකම භෞතික විද්‍යාඥයෙකු ලෙස සේවය කිරීමෙන් පසු ලංකාවට නැවත පැමිණියේ ලොකු සැලැස්මක්ද සහිතවය. ඔහුගේ නවතම පර්යේෂණයට සහායකයකු ලෙස එක්වීමට කළ ඉල්ලීම මා විසින් ඉවත දැමුයේ රෝගී මවගේ උවටැන් කිරීමට එයින් සිදුවන අවහිරය නිසාවෙනි. කෙසේ වෙතත් අවසන මවගේ අභාවයත් සමඟින් මෙලොවෙහි හුදකලා වූ මා ඔහුගේ ඉල්ලීම සලකා බලා ඔහු හා එක්විය. මුලු ලොවම මවිත කළ හැකි වූ එම නිර්මාණයෙහි සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවූයේ අසංකගේ නොපසුබස්නා උත්සහාය නිසාම බව මාගේ විශ්වාසයයි. ඔහු මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුනි. අසංක මාගෙන් බලාපොරොත්තු වූයේ විශ්වාසදායක මිතුරෙකු ලෙස ප්‍රථම අත්හදාබැලීම උදෙසා සහභාගී වීමයි. එය ජීවිතය පිළිබඳ අතිශය තීරණාත්මක කරුණකි. සියල්ල යහතින් සැලසුම් කළ පරිදිම සිදු වුවහොත් යහපත්ය. නැතහොත් ප්‍රතිඵලය විනාශකාරීය. ක්ෂීරපත මංදාකිනියෙන් පිටතට ගොස් නැවත පැමිණෙන අභ්‍යාවකාශ පර්යේෂණයකට සහභාගී වන විට ඇති අවදානම කොතෙක්ද, මෙහි ඇති අවදානමද එයින් බිඳුවක් හෝ අඩු නැත. එහෙත්, ඒවන විට මෙලොවෙහි හුදකාලාවී සිටි මා හට එවැනි තීරණයක් ගැනීම සඳහා බාධාවක් නොවුණි. 

xxx

ගමනාන්තට පැමිණි මා මුලින්ම සිදු කෙරුවේ කිසිවකු හෝ මාගේ පැමිණීම නිරීක්ෂණය කළේදැයි පරික්ෂාකර බැලීමයි. කිසිවකුගේ හෝ විශේෂ අවධානයකට මා ලක්වී නොතිබුණි. මා පැමිණ තිබුණේ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපසටය. එය ඉදිරිපසවූ ඕවලාකර ගල් බැම්මෙහි අසුන් ගෙන ඉදිරියෙන්වූ බුදු පිළිමය දෙස නෙත්යොමාගෙන සිටි වයස දහසයක් තරම් වූ ළමයකු දු‍ටු මට එම අවස්ථාවෙහි යම් හුරු බවක් දැනුණි. මින් පෙර මේ හා සමාන සිද්ධියක් සිදුවී ඇති බව තදින්ම දැනෙන්නට විය. මදක් සිත යොමු වීමේදී ඒ අපූර්ව අතීත සිද්ධිය ඒක්ෂණයෙන් මාගේ සිහියට නැගුණි. 

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." ඔහුගේ වදන් මා සිතෙහි නින්නාද විය.

"දෙවියනේ, මේක වෙන්න පුළුවන් දෙයක්ද ? මේ ගැන නිකමට හරි මීට කලින් මට නොහිතුණේ කොහොමද? "මම මාගෙන්ම අසාගතිමි. මින් බොහෝ කලකට පෙර මා හමුවට පැමිණි ඒ අත්භූත අමුත්තා කවුරුන්දැයි වටහා ගැනීමට මේ මොහොත දක්වාම මාහට නොහැකි වීම එක අතකින් විශ්මයජනකය. අනෙක් අතින් එහි එතරම පුදුමයක්ද නොමැත. මන්දයත් අප කිසිවකුටත් එවැනි අනුමානයක් සිදු කළ නොහැකි හෝ එවැනි දෙයක් විය හැකියැයි අනුමාන නොකරන බැවිනි. එහෙත් මේ සම්බන්ධයෙන් මා අසංකට සහය දක්වන වේලේ අප කෙතරම් මෙවැනි දෑ පිළිබඳ සාකච්ඡා කරන්නට ඇතිද ? ඒ එකඳු අවස්ථාවකවත් මේ අත්භූත පුද්ගලයා කවුරුන්දැයි තේරුම් ගැනීමට නොහැකි වීම ඇත්තෙන්ම විශ්මයජනකය. සමහර විට ඒ වන විටත් ඔහු මාගේ මතකයෙන් බොහෝදුරට ගිලිහී සිටීම නිසා වන්නත් පුළුවන. මම මෙලොවෙහි ඉතාම කලාතුරකින් සිදුවිය හැකි අතිශය විශ්මයජනක සිදුවීමක පංගුකාරයෙකු වෙමින් සිටියෙමි.

ඔහුට නොදැනෙන ලෙස ඔහු අසලට ගිය මම ඒ අසලින්ම අසුන් ගෙන මවිතයෙන් ඔහු දෙස බලාසිටින්නට වීමි. සිදුවෙමින් පවතින දේ තවමත් නිසි අයුරින් ග්‍රහණය කරගැනීමට මම වෙර දරමින් සිටි අතර මෙය මෙලොවෙහි කිසිඳු මිනිසකු මින් පෙර නොවිඳි අත්දැකීමක් බව මට ඉඳුරා කිවත හැකිය. බුදු පිළිමය දෙස අවධානය යොමාගෙන සිටි ඔහු, එකවරම හැරී මා දෙස බැලුවෙ මාගේ පැමිණීම ඔහුට සංවේදනය වූ  නිසා විය යුතුය. මා ඔහු හා සිනාසුණ බැවින් ඔහුද පෙරළා සිනාවකින් සංග්‍රහ කළේය. 

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?" මම ඔහුගෙන් ඇහුවේ සිනාසෙමින්. එහෙත් ඔහු යාන්තමින් සිනාසුණා හැර පිළිතුරක් නොදුන්නේය. 

"පුතා සමන්ත නේද ?" 

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?" මෙයින් ඔහු පුදුමයට පත් වෙනු මා නිරීක්ෂණය කළෙමි.

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." 

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" මේ ප්‍රශ්නෙන් ඔහු පුදුමයෙන් පුදුමයටම පත්වුණා කියුවොත් නිවැරදියි. ඔහුට ජනිතවෙන සිතුවිලි පිළිබඳ අවබෝධයක් තිබූ බැවින් මාගේ මුවගට සිනාවක් නැගුණේ නිතැතිනි.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." 
-- නිමි --

රූප රහිත අවවාදය : ප්‍රස්තුත සංසිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම සිත වෙහෙසීම මගින් මොළයෙහි පරිපථ බිඳවැටීමකට ලක් විය හැකිය.  :D

ලියුවේ;

~~සෙන්නා / 12.03.2014

Friday, December 20, 2013

ඔව්, මේ ඇය තමා...

2013 උඳුවප් මස 20වනදා

කොන්ටෙයාන්ස් යනු යුරෝපයේ ඈත කොනක හුදකලාව පිහිටා තිබුණු පෞරාණික නගරයකි. කෙතරම් පෞරාණිකද යත්, දහසයවන ලුවී රජගේ බිසව ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කීමටත් පෙර, එසේත් නැත්නම් ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර, කොන්ටෙයාන්ස් නගර වැසියෝ සර්ව  සාධාරණ නොවුනද තමන්ගේම යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයකටද, පාසල්, පල්ලි රෝහල් සහිත ජීවන ක්‍රමයකටද උරුමකම් කීහ. කෙසේ වෙතත් ඒ යුගයේදී යුරෝපයේ බොහොමයක් රට වලට පොදු වූ චාරිත්‍ර වාරිත්‍ර, මිත්‍යා විශ්වාස ඔවුන් අතරද හිඟ නොවූහ. අංග විකල, මන්ද බුද්ධික දරුවන් උපන් ගමන් මරා දැමීමට හෝ කැලයකට විසි කිරීමටත්, යක්දෙස්සියන්යයි හඳුනා ගත් කාන්තාවන් පණපිටින් පුළුස්සා දමා ඔල්වරසන් නැගීමටත් ඔවුන් මොහොතකට හෝ නොපැකිළුණහ. සොරකම් පාලනය කිරීම උදෙසා දරුණු දඬුවම් නියම කර තිබුණද අධික දරිද්‍රතාවය හේතුවෙන් සොරකම් නිතරම වාර්තා වූ අතර සතියකට දෙතුන් දෙනෙකු සොරකම් කිරීමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා දැමීම සුලභ දසුනක් විය. පල්ලියේ පියතුමාද ජනතාවට සොරකමෙහි ආදීනව කියා දී ඔවුන් එයින් මුදවා ගැනීමට උත්සහ කළද එයින් පලක් නොවන බව දුටු කල්හී දේශනා කිරීම නවතා දැමූ පියතුමා වහ වහා පල්ලියෙහි දෑ රැක ගැනීමට අවැසි පියවර ගනු ලැබීය. අනෙකුත් අපරාධද අඩු වැඩි වශයෙන් සිදු වුණද, සමස්තයක් වශයෙන් ගත් කළ ඔවුන් යුරෝපයේ අනෙක් නගරවසීන්ට වඩා මදක් ඉදිරියෙන් සිටියහ.

මේ පවුකාර ජනතාව අතරට වන් දේව දූතියක්ද වූවාය. ඒ, පල්ලිය අසල කන්‍යාරාමයේ විසූ ප්‍රධාන කන්‍යා සොයුරිය වූ මේරි තෙරේසා කන්‍යා සොයුරියයි. කුඩා කල සිටම දැහැමි දරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළ ඈ, තුරුණුවියට වන් කල්හී ස්ව කැමැත්තෙන්ම කන්‍යා සොයුරියක් බවට පත්වුණාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දැහැමි භක්තිමත් කාන්තාවක් වූවාය. ඇය අතින් කෙරුණ කිසිඳු පවක් හෝ නපුරු ක්‍රියාවක් පිළිබඳ ඇසූ බවට කිසිඳු නගර වාසියෙකුට මතක නොමැත. ඇය පිළිබඳව දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දුන්නේ හොඳක්ම මිස නරකක්නම් නොවුණේය. මේරි තෙරේසා කන්‍යා සොයුරිය කිසිදා කිසිඳු හේතුවක් නිසා මුසා බස් නොදොඩන්නියක වශයෙන් ඉතා විශාල කීර්තියක් නගර වාසීහු අතර ලබා තිබුණාය. මේ සම්බන්ධයෙන් ඇය සතු වූ කීර්තිය පල්ලියෙ පියතුමාවද අභිබවා යන්නකි.ඇය රහසින්වත් පවු නොකළාය.

එයට අමතරව මේරි තෙරේසා කන්‍යා සොයුරිය කරුණාවන්තකම පිළිබඳවද ඉමහත් කීර්තියක් ඉසුලුවාය. නගර වාසින් විසින් මහ මග හෝ අගු-පිල්වල දමා යන අසරණ ළදරුවන් ඇති දැඩි කිරීම උදෙසා ඇයගේ ප්‍රධානත්වයෙන් ඉඳිවූ ළමා නිවාසය එයට හොඳ නිදර්ශනයකි. මුලින් මුලින් නගරවාසීන් වෙතින් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වූ නමුදු "මෙලොවට බිහිවන සියලුම දරුවන් දෙවියන්වහන්සේගේ ත්‍යාගයන්" යැයි කියමින් ඇයගේ ස්ථාවරයෙහි පසු වීම තුළින්ම ඇය නගරවාසීන්ව මෙල්ල කරනු ලැබුවාය.

ඉරිදා දිනය නගරවාසීන්ට ප්‍රීතිමත් දිනයකි. දිව්‍ය පූජාවෙන් පසු පැවැත්වෙන අධිකරණ සභා වාරය හා එයින් පසු චූදිතයන්ට දඩුවම් දීමේ වාරය, අහිංසක, අවංක නගරවාසීන් හට ඉමහත් විනෝදය ගෙන දෙන්නක් විය. තමනට සිදුවන තෙක් සියලුම ව්‍යසනයන් රස විදීමෙහි ගූඨ මිනිස් ස්වභාවය නිසාම මෙම අහිංසක මිනිසුන් හොරෙක්, වංචා කරුවෙක්, මිනී මරුවෙක් එල්ලා මරන විට ප්‍රීතියෙන් අත්පුඩි නොගැසූවද සිත යටින් රහසින් එහි ආනන්දය උපරිමයෙන් ලැබීමට පුරුදුව සිටියහ. එයින් ප්‍රමුදිතව,  එහෙත්  සිතෙහි පවත්නා සැබෑ හැඟීමට හාත්පසින්ම විරුද්ධ හැඟීමක් මුහුණෙන් පෙන්වමින් ඔවුන් නිවෙස් බලා ගියහ. දැඩි අදහස් ඇත්තෙකු වූ නගරයෙහි අග්‍රවිනිශ්චකාරතුමාද සෑම ඉරිදා දිනකම අඩුම වශයෙන් එක් අයකු හෝ එල්ලා නගරවාසීන් ප්‍රීති ප්‍රමෝදයෙහි ගිල්ලවීමට වග බලා ගත්තේය.

දැන් ඔබට කොන්ටෙයාන්ස් නගරය, එහි වාසීන්, ඔවුන්ගේ විශ්වාසයන් හා සිරිත් විරිත් පිළිබඳව දළ අදහසක් ඇතැයි මම සිතමි. එය ප්‍රස්තුත කතාව කියවා තේරුම් ගැනීමට සෑහේ.

ඒ ඉරිදා, මේරි තෙරේසා කන්‍යා සොයුරියට අකරතැබ්බයක් සිදුවිය. ඇයව නඩුවක සාක්ෂිය වෙනුවෙන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබුවේය. අධිකරණයට හා එහි ක්‍රියාන්විතයන්හට සම්පුර්ණයෙන්ම ආගන්තුක තැනැත්තියකු වූ ඇය, මෙම කැඳවීමත් සමඟම මදක් වෙව්ලා සිටියාය. පසු ගිය සතියේ දිනෙක පල්ලියෙහි පූප දමන රත්‍රන් මංජුසාව හොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට නගරයට අලුතින් පැමිණි වැන්දඹු ස්ත්‍රීයක් වූ ක්‍රිස්තියානාව බාලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. සොරකම් සිදුවන අවස්ථාවෙහි මංජුසාව සොරාගත් හෙර විසින් පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැදින් දිව ගොස් ඇති අතර මේරි තෙරේසා කන්‍යා සොයුරිය එම අවස්ථාවෙහි එහි යාඥා කරමින් සිටි බවට සිද්ධිය ඇසින් දුටූවන් පවසා තිබුණි. ඒ අනුව කන්‍යා සොයුරිය විසින් අදාළ ස්ත්‍රියව හඳුනා ගන්නට ඇතැයි යන අනුමානය ඔස්සේ ඇයව උසාවියට කැඳවා තිබුණි.

ඇය උසාවිය මැදින් සාක්ෂි කූඩුව වෙත හිස බිමට නැබුරු කරගෙන පිය නගනා විට මුළු උසාවියම ඇල්පෙනෙත්තක් බිම වැටෙනා තරම් ශබ්දයක් උවද ඇසෙනා ආකාරයේ නිහඬතාවයක් ඉසිලීය. විනිසුරු තුමා ඇතුළු සියලු දෙනම ඇයට ගරු කරනු වස් නැගී සිටියහ. ඒ, ඇය සිය සත්‍යගරුකභාවය හා කරුණාවන්තබව ඇසුරෙන් ගොඩනගාගත් ධනය වේ. සාක්ෂි කූඩුවට නැගී ඉදිරිය බැලූ කන්‍යා සොයුරියට සම්පූර්ණ කලු අවරණයකින් හිස වැසූ ස්ත්‍රීයක් විත්ති කූඩුවෙහි සිටගෙන සිටිනාකාරය දිස් විය.

නිශ්ශබ්දතාවය බිඳිමින් ප්‍රධාන විනිසුරු තැන විසින් කන්‍යා සොයුරිය ඇමතීය.

"ගරු කන්‍යා සොයුරිය, මෙතැනට ඔබව කැඳවා ඔබට සිදුකළ හිරිහැරය සම්බන්ධයෙන් මුලින්ම මම ඔබෙන් උදක්ම සමාව ඉල්ලා සිටීමට කැමතියි. නමුත් සාධාරණ විනිශ්චයක් උදෙසා ප්‍රබල සාක්ෂිකාරියක් වශයෙන් අපිට ඔබ මෙහි නොකැඳවා සිටීමට කිසිම හැකියාවක් තිබුණේ නෑ. ඔබ තත්ත්වය තේරුම් ගනු ඇතයි අප අපේක්ෂා කරනවා. නැවතත් මම ඔබෙන් මේ හිරිහැරය පිළිබඳව මේ ගරු අධිකරණය වෙනුවෙන්ම සමාව ඉල්ලා සිටිමට කැමතියි." මෙහිදී කන්‍යා සොයුරිය විසින් එය තමන්ට කරදරයක් නොවේයැයි දක්වන ආකාරයේ මද සිනාවක් දක්වා සිටියාය.

"සමහර විට ඔබ දැනටමත් දන්නා පරිදි ගිය සතියේ පල්ලියෙහි සොරකමක් සිදුවී තිබෙනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, මිනිසුන් ලුහුබඳින විට අදාළ හෙර රත්‍රන් මංජුසාව රැගෙන පලා ගොස් ඇත්තේ පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැද්දෙන්. එවිට ඔබ එහි යාඥා කරමින් සිටි නිසා ඔබ ඇයව හොඳින්ම දුටුවා වන්නට ඇතැයි ඔවුන් අනුමාන කරනවා. ඊට දිනකට පස්සෙ අපි මෙහි සිටින සැකකාරියව සැකපිට අත් අඩංගුවට ගනු ලැබුවා. දැනටමත් ඇයට එරෙහිව සාක්ෂි දෙන අයවලුන් සිටිනවා. නමුත් ඒ සාක්ෂි විශ්වාසයෙන් තොරයි. ඔවුන් පරස්පර ප්‍රකාශ නිකුත් කරනවා."

"ඔබගේ සත්‍යගරුකභාවය මේ නගරයෙහිම ප්‍රචලිත දෙයක්. ඒ පිළිබඳව මේ ගරු සභාවෙහි සිටින කිසිවකුටත් අබමල් රේණුවක තරම්වත් සැකයක් නෑ. එමනිසාම මේ ගරු අධිකරණයෙහි පැවති චාරිත්‍රයෙහි යම් වෙනසක් ඔබ වෙනුවෙන් කිරීමට මා සූදානම්. එය ඔබේ සත්‍යගරුකභාවයට කරණ ගෞරවයක් හා මෙම සුපුරුදු චාරිත්‍රය පිළිපැද්දොත් ඒක ඔබේ සත්‍යගරුකභාවයට කරණ අගෞරවයක් හා එය අවිශ්වාස කිරීමක්. සාමාන්‍ය සාක්ෂිකරුවන් කරනා පරිදි ඔබ බයිබලයෙහි අත තබා පවසන දෑ සත්‍යයැයි දිව්රිය යුතු නොවේ. මම ඔබව එයින් නිදහස් කරනවා." කන්‍යා සොයුරිය නැවතත් උපේක්ෂා සහගත මද සිනාවක් නැගීය.

"ගරු කන්‍යා සොයුරිය, මම එසේනම් කාරණයට යොමු වෙනවා. එදා ඔබ ඒ හෙර දුටුවාද ? ඔබ ඈ හඳුනනවාද ? "

"ඔව් මම ඈ දුටුවා. එහෙත් මම ඈ හඳුනන බවක් මට මතක නෑ. "

"ඔබට ඇයව නැවත දුටුවොත් අඳුනා ගත හැකිද ?"

"ඔව් මට පුළුවනි."

"එසේනම් අප මෙහි සිටින සැකකාර ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනවා. බලන්න මේ එදා පල්ලියෙහි ප්‍රධාන ශාලව මැදින් මංජුසාව රැගෙන පලා ගිය හෙරමද කියා. ඔය ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනු ! "

ආවරණය ඉවත් කෙරිණි. සැකකාරියව හඳුනා ගැනීම උදෙසා කන්‍යා සොයුරිය උනන්දුවෙන් දෑස් අයා ඈ දෙස බැලුවාය. එවිට නෙත් සතරක් එකිනෙක ගැටුණි. තත්පරයකටත් අඩු කාලයක් තුළ නෙත් සතරම එකි නෙකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි දාමයන් හේතුකොටෙගෙන දීප්තියෙන් බැබලී විශාල වූහ. දෙනෙතක්, ක්ෂණික හඳුනාගැනීමක්, කාලයේ වැලිතලාවෙන් යටව අමතකව තිබූ අමිහිරි සිද්ධියක ක්ෂණික මතකයක්, ක්ෂණිකව පහළවු පළිගැනීමේ සිතුවිල්ලක් නිසා දීප්තිමත් වන විට අනෙක් දෙනෙත ක්ෂණික හඳුනා ගැනීමක්, ඒ ඔස්සේ ඇතිවූ නව බලාපොරොත්තුවක සේයාවක් හේතු කොටගෙන දීප්තිමත් වූහ.

ක්‍රිස්තියානාගේ සිත, ඇතිවූ නව බලාපොරොත්තුව හේතු ගොටගෙන ප්‍රහර්ෂයෙන් පිම්බී යද්දී, මේරි තෙරේසා කන්‍යා සොයුරිය මානසික ඝට්ටනයකට මැදි වූවාය. දුෂ්ටත්වය, කාරුණිකබව, සත්‍යගරුකභාවය, නැවත කිසිදා නොලැබෙන අපූරු අවස්ථාව, පළිගැනීමේ දුෂ්ට චේතනාව, සමාජයේ තමනට ඇති ප්‍රතිරූපය, දෙවියන් වෙත ඇති බිය ආදී එකිනෙකට පරස් පර සිතුවිලි දාමයක එකෙල මෙකල වෙමින්, විශාල මානසික අරගලයක නිරතව අතීරණව එක් නිමේෂයක් පසු වූවාය. මේ මොහොතේ ඇයගේ මනසට සම කළ හැකි කිසිවක් මෙලොවෙහි නොමැත. එය සමාන කළ හැක්කේ දුෂ්ටත්වය හා සභ්‍යත්වය අතර දෝලනය වන තවත් එවැනිම වූ මනසකටම පමණී. ඒ අතර සිහිනයකින් මෙන් ප්‍රධාන විනිසුරුගේ කටහඬ ද ඇයට ඇසුණි.

" ගරු කන්‍යා සොයුරිය, ඔව් අපිට කියන්න ඔබට මැය හඳුනා ගත හැකිද ? එදා පල්ලිය මැදින් දිව ගියේ මැයද ? "

මේරි තෙරේසා කන්‍යා සොයුරිය පාෂාණිභූතව එක එල්ලේ ක්‍රිස්තියානා දෙස බලා සිටියා මිස පිළිවදන් නොදුන්නාය. ක්‍රිස්තියානාගේ හදවත කල්පයක් තරම් දිගුවූ මේ නිමේෂයේදී වේගයෙන් ගැහෙමින් තිබුණි. කන්‍යා සොයුරියගේ මුවින් නික්මෙන වදන මත තම ජීවිතයෙහි ඉදිරිය තීරණයවන බව ඈ හොඳින් දැන සිටියාය. කොන්ටෙයාන්හීදී පූජනීය දෑ සොරකම් කිරීමට එරෙහිව ලැබෙන දඬුවම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නකි. නගරයට ළඟදී පැමිණියා වුවද ඇය මේ පිළිබඳ දැනුවත්ව සිටියාය. මේ දක්වා තමන්ට එරෙහිව ඇති සාක්ෂි ප්‍රබල බැවින් ඈ ජීවිත ආශාව අත්හැර සිටියාය. අත්හැර තිබූ ජීවිත ආශාව කන්‍යා සොයුරිය දුටු මොහොතේ සිට නැවත දළුලා වැඩෙමින් තිබුණි.පියාත් නොමැති සිය දරු දෙදෙනා ඇයගේ දෑස් ඉදිරියෙහි මැවී පෙනුණි. 

"ඔව් මම එහෙම කියනවා. කවුද දන්නෙ ? මම විතරයි. කවුරුවත් මම කියන එක විශ්වාස කරනවා මිස වෙන මුකුත් පිළිගන්නෙ නෑ. මම මේක රහසක් වශයෙන් තියාගත්තාම ඉවරනෙ. ඒත් එහෙම කරන එක හරිද ? ඒක අපරාධයක්. මේ වෙනකම් මම ගොඩ නගපු සියල්ල විනාශවෙලා යනවා එතකොට. .........." ඔව්, ගරු කන්‍යා සොයුරිය මේ ගරු අධිකරණය ඔබගේ පිළිතුර බලාපොරොත්තුවෙන් ඉන්නව...." .........මම වැඩකට නැති ගැහැනියක් වෙනවා ඊට පස්සෙ. දෙවියන් වහන්සේ මට ශාප කරාවි. මාව සදාකාලික නරකාදියට දමාවි. ඒත් මේක හොඳ අවස්ථාවක්. කිසිදා නොලැබෙන අපූරු අවස්ථාවක්. ඔව් මම ඒක තමා කරන්න ඕනා."

" ගරු කන්‍යා සොයුරිය.. අප ඔබගේ........ "

"ඔව්.. නෑ.. නෑ ඔව්, මේ ඇය තමා..." දුෂ්ටත්වය, සභ්‍යත්වය පරයා නැගී සිටියේය. 

කන්‍යා සොයුරියගේ මුවින් ගිලිහුණ වදන් ක්‍රිස්තියානාට අදහා ගත නොහැකි විය. එක් වරම හෙණයක් පතිතවූවා වැනිය.

"අයියෝ සිස්ටර්.. අයියෝ සිස්ටර් ඇයි මේ ඔබ බොරු කියන්නෙ..?? ඔබ හොඳටම දන්නවා ඒ මම නොවන බව... අයියෝ සිස්ටර් ඔබට මාව හඳුනගන්න බැරිද ?" හයියෝ දෙවියන් වහන්ස මට පිහිට වන්න. මම කිසි දෙයක් හොරකම් කළේ නෑ.. අයියෝ අනේ මගේ අසරණ දරු දෙදෙනා.." යි කියමින් ක්‍රිස්තියානා විසින් සිය පපුවට ගසා ගනිමින් මුළු අධිකරණය දෙවනත් වන සේ විලාප තැබීය. ඒ මැදින් ඇසුණ, ක්‍රිස්තියානාට නිහඬවන ලෙස කරන තර්ජනය කිරීම්, සාප කිරීම් අතරින්, අගවිනිසුරුවරයා විසින් ක්‍රිස්තියානාව ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමේ නියෝගය නිකුත් කොට අදාළ ලියවිල්ලට අත්සන් තැබීය.

නියෝගය ශ්‍රවණය වූ වහාම කන්‍යා සොයුරියගේ හැසිරීමෙහි ප්‍රබල වෙනසක් වූ අතර කුමක්දෝ පැවසීමට වෙර දරනු පෙනිණ. ඒ සමඟම කන්‍යා සොයුරිය සිහි මුර්ජාවී ඇද වැටුණාය. 

පැයකින් පමණ සිහිය ලබා දෑස් අරින විට දුෂ්ටත්වයේ යක්ෂයා ඈ වෙතින් පලාගොස් තිබුණි. සිදුවූ සියල්ල සිහියට නැගෙන විට මේරි තේරේසා කන්‍යා සොයුරිය උමතු බවේ ආසන්නයටම පැමිණියාය.

" ඒ ඇය නෙමේ.. ඒ ඇය නෙමේ.. කෝ ඇය? කෝ ඇය?" යි කියමින් වහා නැගී සිටි ඈ අවට සිසාර බලන්නට වූවාය. ඒ වන විටත් වැඩි පිරිසකට අභ්‍යන්තර ගූඨ නිහඬ විනෝදය සපයමින් ක්‍රිස්තියානාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර කඹයෙකින් එල්ලෙමින් තිබුණි. ඉන් මොහොතකට පසු කන්‍යා සොයුරිය උමතු වෙසින් පල්ලියේ පිය තුමා වෙත දුවයමින් සිටිනු දක්නා ලදී.

"අයියෝ ෆාදර් මම මහා පවුකාරියක්, මම මහා අපරාධයක් කළා. දෙවියන් වහන්සේගෙන් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ."

"කලබල නොවී මොකද වුණේ කියන්න සිස්ටර්"

"මම බොරුවක් කිව්වා ෆාදර්. ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵලය ගැන අවබෝධයකින් තොරව මම බොරුවක් කියුවා ෆාදර්. දැන් මම බොරුකාරියක් විතරක් නෙමේ ෆාදර්, මිනීමරුවෙක්."

"ඔබ කළ පාපය ගැන ඔබ මුලු හදවතින්ම පසු තැවෙනවානම් ඔබට දෙවින්ගේ සමාව ලැබෙවි සිස්ටර්."

"නැහැ ෆාදර් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ. මම හිතාමතාම බොරුවක් කිව්ව. අයියෝ මම මේ කරපු අපරාධය මොකක්ද ? " යි කියමින් ඇය පල්ලිය දෙසට දිවයාමට සැරසෙන විටම පියතුමා විසින් ඈ ඇමතීය.

"සිහි එළවා ගන්න සිස්ටර්. දැන් සිදුවූ දේ සිදුවී අවසානයි. ඊළඟට කළ යුතු දේයි අප සොයා බැලිය යුත්තේ. එයට පියවි සිහියෙන් සිටීම අත්‍යවශ්‍යයි." මෙයින් කන්‍යා සොයුරියගේ කලබල ගතිය මදක් සන්සිඳුණි. 

" මට ඔබෙන් යමක් අහන්න අවසරද ?" ඈ නිහඬව විමතිය සහිත දෑසින් පියතුමා දෙස බලා සිටියය. එය අනුමැතිය ලෙස සැලකූ පියතුමා සිය පැනය යොමු කළේය.

"මට දැන ගන්න පුළුවන්ද ඔබ ඇයි කවදාවත් නැතුව බොරුවක් කිව්වෙ කියලා?"

මොහොතක් නිහඬව, කල්පනාබරිතව සිටි කන්‍යා සොයුරිය කඳුළු අතරින් සිය හඬ අවදි කළාය. "එයා පොඩි කාලෙ දවසක් මට පිරිසක් ඉදිරියේදී කම්මුලට ගැහුවා. ඊට පස්සෙ මගෙ මුලු ගවුමම ඉරලා මාව ලැජ්ජාවට පත්කළා. අයියෝ මට ඒ කාලකණ්ණි සිද්ධිය ඒ මොහොතෙදි මතක් වුණා ෆාදර්, මට ඒක මතක් වුණා. හයියෝ මම මහා පවුකාරියක්... මම මහා පවුකාරියක්" යි කෑ ගසමින් ඈ දෙවියන්ගේ පිළිසරණ සොයා උමතුවෙන් මෙන් පල්ලිය දෙසට දිව යනු පිය තුමා බලා සිටියේ බොහෝ හැඟීම බර මුහුණකිනි. එහෙත් එම මොහොතේම ඔහුගේ හදවතෙහි එක් අඳුරු මුල්ලක ඔහුටද තේරුම් ගත නොහැකි, දෙවියන් වහන්සේට පමණක් තේරුම්ගත හැකි, සතුටත්, නොසතුටත් අතර හැඟීමක් තිබුණි. 

~~නිමි~~

ලියුවේ:
සෙන්නා / 20.12.2013
http://kurundha.blogspot.com/2013/12/blog-post_20.html

Thursday, December 12, 2013

බිළාල ශාපය....

20.03.20__
නිවසේදීය,

මා  ප්‍රිය හිතවත / හිතවතිය, ඔබ මේ බ්ලොග් සටහන කියවන විට මා ජීවිතයට සමුදී සදාකාලික නිද්‍රාවට පිවිස අවසානය. මෙය මෙහි පළවන අවසාන බ්ලොග් සටහන බව ඉතා කරුණාවෙන් සලකන්න. පුරා දෙවසරකට මදක් වැඩි කාලයක් ඔබ හා රැදුණු හෙයින් මේ අවසන් නික්මයාම පිළිබඳව මෙසේ සටහන් කොට තබා යාම මාගේ යුතුකමක් යැයි මම සිතමි. සිදුවූයේ හා වන්නේ කුමක්දැයි පැහැදිලිව පවසා මම ඔබගෙන් සමුගනිමි. එහෙයින් මෙතැන් සිට අවසානය දක්වා සියල්ල ඉතා සාවධානව කියවන මෙන් ඔබෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. මෙතෙක් ඔබ හා මා දොඩමළු නොවූ මාගේ තථ්‍ය ජීවිතයේ, මා හා බැඳුණු චරිත හා සිදුවීම්, අතිශය තීරණාත්මක සිදුවීම් කිහිපයක් ඔබගේ දැන ගැනීම සඳහා මෙතැන් සිට පෙළ ගස්වමි. මා දැන් සිටිනා මානසික වාතාවරණය හේතුකොටගෙන එය නිසියාකාරයෙන් කිරීමට හැකිවේදැයි මටම සැකය. එහෙත් මම උත්සහා කරමි. සිදුවීම් සිදුවූ ආකාරයෙන්ම ලියා තැබීමට උත්සහා කරමි. තව හෝරා කිහිපයකින් එළබෙන ඒ අවාසනාවන්ත දිනයේ කිනම් මොහොහොතක හෝ ඒ කාලවර්ණ නපුරු යක්ෂයා මා වෙත පැමිණෙන බව ඒකාන්තය. එයට පෙර මා ඉක්මන් විය යුතුය. එහෙයින් මෙම ලිපිය හැකිතරම් ඉක්මනින් ලියා අවසන්කොට ප්‍රසිද්ධ කිරීමට මම අදහස් කරගෙන සිටිමි.

+++++

එදා මාර්තු 21 වෙනිදාවක් බව කෙසේනම් අමතක කරන්නද ? මේ දිනය දැන් මාගේ ජීවිතයට සම්බන්ධවී ඇත්තේ එය මාගේ උපන්දිනය නිසාම පමණක් නොවේය. එදා, උපන් දිනය සැමරීම සඳහා අප රාත්‍රී ආහාර වේල පිටින් ගත යුතුයැයි යෝජනා කෙරුවේ තාත්තාය. මුලු සන්ධ්‍යාවම පාහේ පිටත ගතකොට රාත්‍රී ආහාර වේලද ප්‍රසිද්ධ ආපන ශාලාවකින් රැගෙන අප පස් දෙන නැවත නිවස බලා ඒමට පිටත් වන විට රාත්‍රී එකොලහත් පසුවී තිබුණි. තාත්තා වෑන් රථය ධාවනය කළ අතර මම ඉදිරි පස වම් පස අසුනට බරවී සිටියෙමි. අම්මාත් අක්කාත් මල්ලීත් පිටුපස අසුනේය. වාහන නොමැති කමින් පාර පාළු ස්වාභාවයක් ගෙන තිබූ බැවින් තාත්තා සැලකිය යුතු වේගයකින් රථය ධාවනය කළේය. එය සිදුවූයේ ඉතා හදිසියේය. එක වරම වැන් රථයට මීටර දහයක් පමණ දුරින් පාර හරහා දිව යන කළුම කළු බළලෙකු විය. ඌ කොහෙන් කෙසේ ප්‍රාදූර්භූත වූයේ දැයි අදහා ගැනීමටවත් නොහැකි වූ ඒ නිමේෂයේදී තාත්තා වැරදි තීරණයකට යොමු විය. හදිසි තිරිංග පහරින් පැත්තට විසිවී ගිය වෑන් රථය දකුණු පස වූ තාප්පයේ ඉතා තදින් වැදුණේ එයද අනිත් පසට පෙරළා දමමිනි. අනතුරින් සිහිසන් වූ මා රෝහලේදී නැවත සිහිය ලබා ටික වේලාවකින් තාත්තා හා අක්කා අප හැර ගොස් ඇති බව දැනගෙන රෝහලේ වහල ගැලවී යන තරම් හයියෙන් කෑ ගසා හඬා වැටුණි. මාගේ උපන් දිනය අප නිවසේ දෙදෙනෙකුටම සිය ජීවිතයේ අවසන් දිනය වී තිබුණි.

හදවත්හී ඇතිවූ තුවාලයන් කෙමෙන් කෙමෙන් සුවපත් කරමින් කාලය ගලා ගියේය. නෑසිය මිතුරන්ගේ, අසල්වැසියන්ගේ සැනසිලිදායක වදන් අපට යථා තත්ත්වයට පත්වීමට මහඟු පිටිවහලක් විය. අනිත්‍යය හා අටලෝ දහම සිහිකොට එය අපට පමණක් සීමා නොවූ ඉරණමක්යැයි සිතා සිත් සාදා ගත්හ. අවසන තාත්තාත්, අක්කාත් නොමැති ජීවිතයකට අප හුරු වූහ.

වසරක් ගෙවුණි. මාගේ උපන් දිනයත්, තාත්තාගේ හා අක්කාගේ සැමරුමත් එකට යෙදී තිබුණද උපන් දිනය සපුරා අමතක කළ අප වර්ෂ පූර්ණ පින්කම් සඳහා ලක ලෑස්ති වූහ. කිසිසේත් බලාපොරොත්තු නුවූ ලෙස එදිනම මාරාන්තික දෙවන ප්‍රහාරයද එල්ල වූයේ අපගේ ස්නායු භීතියෙන් හිරිවට්ටවමිනි. වර්ෂ පූර්ණය වෙනුවෙන් අම්මාත් මමත් මල්ලීත් කනත්තට ගොස් තාත්තාගේත් අක්කාගේත් සොහොන් අබියස ඉටි පන්දම් දල්වා, අලුතින් මල් පොකුරු තැන්පත් කොට ඔවුන් සිහි කර පින්පතා නැවත එමින් සිටිහය. අප කනත්ත අයිනෙන් වූ මාවතෙහි වම් පසින් ගමන් කරමින් සිටි අතර හදිසියේම කනත්තෙහි වැටෙන් රිංගා පාරට පැමිණ අප දෙසට එකිනෙකා ලුහු බැඳන් එන බළලුන් දෙදෙනෙකු වූහ. එකෙක් සුදු පාට බළලෙකු වූ අතර ඌව හඹා ආ අනෙකා තදම තද කළු පැහැති බළලෙකි. සුදු බළලා අම්මාගේ පාදයක් අසලින් දිව යන විට කළු බළලා ඇයගේ දෙපා අතරින් දිව ගියේ විදුලි වේගයකිනි. මෙයින් කලබලයට පත් ඈ කෑගසමින් අහකට පැන්නේ සතුන්ව මග හැරීම සඳහාය. අවාසනාවක මහත ! කලබලවූ අම්මා එක් වරම පැන්නේ පාර දෙසටය. පිටුපසින් ආ බස් රථය ඇයව යට කරගෙන ඉදිරියට ගොස් නතර විය. අභ්‍යන්තර රුධිර වහනය හා සුසුම්නාව බිඳි යාම නිසා දින දෙකක් රෝහලෙහි අධික ලෙස වේදනා විධි ඇය අවසන මමත් මල්ලීත් මෙලොව හුදකලාකොට අප අත්හැර තාත්තා සහ අක්කා වෙතට ගියාය.

එකිනෙකා විවිධි විවිධ මත ඉදිරිපත් කළහ. සමහරුන් මුහුණට නොකීවද එය මාගේ අවාසනාවක් නිසා වෙන දෙයක් බව කියා තිබූ බව මට කණින් කොනින් ආරංචි විය. ඒ මෙම සියලු මරණ වලට බලපෑ හේතුව මාගේ උපන් දිනය දවසේම සිදුවී තිබීම නිසාය. සමහරුන් බලි තොවිල් ශාන්ති කර්ම ආදී කටයුතු කිරීමට යෝජනා කළ අතර සමහරෙක්ගේ මතය වුයේ අප ප්‍රදේශය අත් හැර යා යුතු බවය. තාත්තාගේත් අක්කාගේත් මරණයට සහභාගී වූ පිරිසෙන් අඩක්වත් අම්මාගේ මරණයට නොවූහ. සිදු වන්නේ කුමක්දැයි මටවත්, මල්ලීටවත් නිසියාකාරයෙන් නිශ්චය කරගැනීමට නොහැක. කුමක් නමුත් අපගේ පාලනයෙන් තොර අමුතු දෙයක් සිදුවන බවක් අපට හැඟුණි. කාලය ගතවීමත් සමඟ අප දෙදෙනා නැවතත් සාමාන්‍ය නොවුණත් එදිනෙදා ජීවිතයට හුරු වූහ. නිවස එකම පාළු අම්බලමක් වී තිබුණි. අප දෙදෙනාම ගෙදර සිටින වේලාවකදී වූවත් අප අතර වැඩි කතා බහක් නොවුණි. දැන් දැන් අප ඇසුරු කරනා යාළු මිත්‍රාදීන්ද හිඟය. අප පවුලම කුමක් හෝ සාපයකට ගොදුරුවී ඇතැයි අනුමාන කළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත් වෙමින් සිටියහ.

ඊළඟ මාර්තු 21 වෙනිදාව උදාවූයේ අප දෙදෙනාගේම හදවත් භීතියෙන් සලිත කරවමිනි. එදින උදයේම අවදිවූ මා දෙවියන් බුදුන් සිහිකර අප දෙදෙනා වෙනුවෙන්ම ආරක්ෂාව පැතුවේය. කිසිඳු අතුරු අන්තරාවකින් තොරව මේ දිනය පහු කර ගැනීමට ලැබේවායි පැතුවෙමි. දෙදෙනාම එදින නිවාඩු දමා ගෙදරට වී සිටියේ අනතුරකට ලක්වීමේ ඉඩ අහුරාලනු වස්ය. නමුත් සිද්ධවීමට ලියවී ඇති දෑ කෙසේනම් වළකාලම්ද !

එදින දහවල් දිවා ආහාරයෙන් පසුව අප දෙදෙනා සාලයේ අසුන් ගෙන රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියහ. හදිසියේම ඇසුණු බළල් පොරයේ හඬට අවධානය යොමු කර පිටත බැලූ අපට, අපගේ බළලා ලුහු බැඳ එන කළු පාට බළලෙකු දිස් විය. අපගේ බළලා ආරක්ෂාව පතා ගෙට වැදී පුටුවක් යටට රිංගුවේය. එහෙත් කළු බළලාද ඌ හඹා විත් පුටුව යටදීම පෙරළාගෙන සපන්නට විය. මෙයින් කෝපාවිෂ්ට වූ මල්ලි අප බළලාව බේරාගැනීම සඳහා එතනට ලංවන විටදීම ඔහු වෙතට කඩා පිනූ කළු බළලා ඔහුව සපා කා පැන දිවීය. දත් පහරවල් හතරක් සමඟින් නියපොතු පහරවල් කිහිපයක් ඔහුගේ දකුණතෙහි විය. ඒවා එතරම් බරපතල තත්ත්වයේ නොවූ හෙයින් ඔහු බේත් දමා ගැනීමට යාම ප්‍රතික්ෂේප කොට ගොඩ වෙදකමකින් සෑහීමකට පත් විය. අප දෙදෙනාට කිසිඳු අනතුරකින් තොරව මාර්තු 21 ගෙවී ගියේය. ඒ ගැන අප බොහෝ සතුටට පත්වූ අතර කිසියම් හෝ අසුබ දෙයක් තිබුණිනම් එය අවසන් වී ඇතැයි අප අනුමාන කළහ.

එතැන් සිට මාස දෙකක් ගෙවුණ තැන මල්ලීගේ හැසිරීමෙහි යම් අමුත්තක් මා හට දිස් විය. ඔහු සාංකාවෙහි හා විශාදියෙහි මූලික ලක්ෂණ පෙන්නුම් කර සිටියේය. එක දිගට පැමිණි කරදර වැල නිසා එසේ වන්නට ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් එන්න එන්නම තත්ත්වය නරක අතටම හැරුණි. ඔහු මහ රෑ හදිසියේම අවදිව භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. යම් යම් රූප හා ඡායාවන් පෙනෙන බවට සඳහන් කළේය. ඔහුට කිසිඳු දියර වර්ගයක් පානය කළ නොහැකි වූ අතර මුත්‍රා පිට කිරීමෙහි පාලනයද ඔහු වෙතින් ගිලිහී තිබු බැවින් නිතරම ඇඳ තෙමීම ඔහු අතින් සිදු විය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මෙම කරදරයට මුහුණ දීමට මා හට සිදුවී තිබුණි. කළ යුතු කිසිඳු ප්‍රතිකර්මයක් නොදුටු තැන අවසන මා ඔහු රෝහලට ඇතුළත් කෙරුවේය. අවාසනාවකි ! ඔහු ජලභීතිකා රෝගයෙන් ඔත්පලව සිටින බැව් වෛද්‍යවරුන් මාහට පවසා සිටියේ එයට කිසිඳු ප්‍රතිකර්මයක් මේ වන විට සොයාගෙන නොමැති බවද දන්වමිනි. මාගේ මුලු ලොවම නැවතත් මා හිස මත කඩා වැටෙමින් තිබුණි. මා හට මෙලොවෙහි වූ එකම හිතවතාද මා හැර යාමට සූදානම් වෙමින් රෝහලෙහි ඇඳක් මත දගලමින් සිටියේය. තවත් දින දෙකක් පෙරකී රෝග ලක්ෂණයන්ගෙන් බැට කෑ මලණුවන් අවසානයේදී මා තනිකර යන්නටම ගියේය. මෙම දරුණු ප්‍රහාරය ඉවසා දරා ගැනීමට තවමත් මාහට ශක්තිය තිබීම ගැන විටෙක මමම පුදුමයට පත් වීමි. වසරක් පාසා එකින් එක මාගේ සමීපතමයන් මා හැර යද්දීත් තවමත් මා නිරුපද්‍රිතව හොඳ සිහියෙන් පසු වීම විටෙක මටම අදහා ගැනීමට නොහැකි තත්ත්වයකි. සැබවින්ම මා ජීවත් වේද ? නැතහොත් මා මේ දකින්නේ සිහිනයක්ද ? මා ඔවුනට පෙර මිය ගොස් ඔවුන්ගේ මරණයන් කොහේ හෝ සිට නරඹමින් සිටින්නේද ?

මල්ලිගේ දේහය නිවසට ගෙන යාමට මම ප්‍රතික්ෂේප කළ බැවින් රෝහල මුල්වී අවසන් කටයුතු සිදු කර දමන ලදී. නෑ හිත මිතුරන් සියල්ලම පාහේ බොහෝ දුරට අප අත් හැර සිටි බැවින් මළ ගෙයි කටයුතු වෙනුවෙන් හෝ ඔවුන් සහභාගී වෙදෝයි මා හට වූයේ සැකයකි. මළ මිනියක් සමඟින් නිවසේ තනිවීම මා උමතු කරවන්නක් වීමට ඉඩ තිබුණි.

මල්ලීගේ මරණයත් සමඟින් මෙතෙක් මා පිළිගැනීමට අදිමදි කළ එක් දෙයක් අකමැත්තෙන් හෝ පිළිගැනීමට වී තිබේ. ඔව්, අප පවුලට කිසිවකුගේ හෝ සාපයක් වැදි ඇත. එහෙත් ඒ කාගේ සාපයද ? දන්නා තරමින් අප කා හට හෝ අහිතක්, නපුරක්, අනතුරක් සිදු කොට නොමැත.

සිදුවන්නේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව අඳුරෙහි අතපත ගාමින් සිටි මාහට ඉතා අහඹු ලෙස ප්‍රහාරකයා හෙළිදරව් කරගැනීමට හැකි විය. මා දැන් විශ්වාස කරනා අන්දමට අවසාන ඉලක්කය වූ මා වෙත ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමාව හඳුන්වා දීමට ඌට උවමනා වූවා වැනිය. මෙතැන් සිට කතාව කීමට මම මදක් පැකිලෙමි. ඒ ඔබ මා අන්ධ විශ්වාසයන් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකුයැයි අනුමාන කිරීමට ඉඩ ඇති බැවිනි. නමුත් මාගේ ඉන්ද්‍රියනට වැටහෙනා පරිධි මෙම ඛේදවාචකයට මීට වඩා තේරුමක් දිය නොහැකිය.

ඉතා අහඹු ලෙස ඔබගෙන් කෙනෙකු ( අදාල නොවන බැවින් මම ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකෙමි ) හා කළ සංවාදයකදී මා හට එඩ්ගා ඇලන් පෝ නැමති ඇමෙරිකානු ලේඛකයාගේ කෘති අඩංගු අඩවියකට සබැඳියක් ලැබුණි. එහි වූ කතා විශාල ගණනක් අතරින් එකවරම මාගේ අවධානය The black cat කතාව වෙතම යොමු වූයේ මන්දැයි මම තවමත් සිතමි. එය කිසිවකුගේ අදෘශ්‍යමාන මගපෙන්වීමක්යැයි විශ්වාස කිරීමට මා කැමතිය.  මා එම කතාව කියවා අවසන් කෙරුවේ ලොමුදැහැගැන්වීය. ඒ එම කථාවෙහි වූ කිසිඳු භයානක කමක් නිසා නොව එය මාගේ එක් දුෂ්ට ක්‍රියාකාරකමක් හා 100%ක් ගැළපීමේ අපූරු සමානකම නිසාවෙනි. එය එසේ සිදු විය හැකිද ? මා විසින් සැබවින්ම කළ ක්‍රියාකාරකමක් එලෙසින්ම අතීතයෙහි වූ ලේඛකයෙකු ලියා තැබුවේ කෙලෙසද ? මෙම කතාව කියවීමෙන් පසු මෙතෙක් මාහට සම්පූර්ණයෙන්ම අමතකව තිබූ, අතීතයේ මා කළ ඒ මහා පාපය මාගේ දෑස් ඉදිරියෙක් මැවී පෙනෙන්නට විය. ඒ සමඟම අපගේ පවුලේ සෑම සාමාජිකයෙකු මිය යාමට ප්‍රථම ප්‍රාදූර්භූත වූ ඒ මහා පොදු සාධකය, කාලවර්ණ නපුරු යක්ෂ බළලා මාගේ දැස් ඉදිරියෙහි මැවී පෙනුණි. ඔව් එය එසේම විය යුතුය. ඒ ගැන මා හට අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් නොමැත.

මෙම බිහිසුණු පලිගන්නාගේ අවසාන ඉලක්කය මා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. තාත්තාව සහ අක්කාව මුලින්ම ක්ෂණිකව මිය යාමට සලස්වන්නේ අන් අයගේ මරණයන් තුළින් ඔවුනට ඇතිවෙන වේදනාව වැළැක්වීමට හා ඔවුන්ගේ මරණයන් තුළින් අප තිදෙනා වේදනාවට පත් කිරීමට බව දැන් මා හට ප්‍රත්‍යක්ෂය. මන්ද යත් ඔවුන් දෙදෙනා මේ මහා පාප කර්මයට කිසි ලෙසකිඳු හවුල් නොවූ බැවිනි. අම්මා මද කෙටිකාලීන වේදනාවකුත්, මල්ලී ඊට වැඩි වේදනාවකුත් විඳ මිය ගියේ ඔවුන් මෙම පාපයට හවුල් වූ ප්‍රමාණයේ අනුපාතයට බව සැකයක් නොමැත. මෙසේ බලන කළ මෙම පාපයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ මා වෙත මෙම පලිගන්නාගේ සැලසුම මොන තරම් බිහිසුණු එකක් වේදැයි හිතා ගැනීමටවත් නොහැක. එය අති බිහිසුණු සෙමෙන් සෙමෙන් ළඟාවන විනාශයක් බවනම් සහතිකය. මෙතෙක් සිදු වී ඇත්තේ අන් අයගේ මරණයන් තුළින් මා දරුණු චිත්ත පීඩාවකට ලක් කිරීම පමණකි. මා හට උරුම සැබෑම දඬුවම තවමත් මා වෙනුවෙන් බලා සිටී. ඒ දිනය එන තෙක් බලා සිටී.

+++++

මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය. මුළු ශරීරයේම වූ සෑම මවිල් ගසක්ම තද කළු පැහැයෙන් යුක්ත වූ මෙම බළලාගේ එකඳු සුදු හෝ වෙන යම් වර්ණයක් සොයා ගැනීමට නොහැකි විය. කට දෙපසින් වූ සන්වේදක ස්පර්ශකයන් පවා තද කළු පැහැයෙන් යුක්ත වූහ. මුලින් මුලින් ඉතා හුරතල් බළලෙකු වූ කපූ අප සැමගේ ආදරයට පාත්‍ර විය. උගේ ආගමනයත් සමඟින් නිවසෙහි අරක්ගෙන සිටි මීයන් අදෘශ්‍යමාන වීමෙහි ගෞරවයද අපි නොඅඩුවම ඌටම පිදුවෙමු. එහෙත් පසු කලෙක මෙම සත්වයාගේ ඇතිවූ නොමනා හැසිරීමක් නිසා අප හට ඌ එපා වෙමින් පැවතුණි. නිවසේ උයා පිහා තැබූ කෑම වලඳේ සිට මේසයට බෙදා තිබූ බත් පත දක්වා හොරා කෑමට ඌ පසු බට නොවීය. එතකින් නොනැවතී අසල්වැසියන්ගේ නිවෙස් වලින්ද සොරා කෑමට පටන් ගැනීම නිසා අප ඔවුන්ගේ දෝෂාරෝපණයටද ලක් වූහ. කෙතරම් දඩුවම් කළත් මෙම සත්වයාගේ මෙම කැත පුරුද්ද අත් හැරීමට සූදානම් වූයේ ඌ නොවේය. මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රකෝපව සිටියේ අම්මාය. එයින් වැඩියෙන්ම පීඩා වින්දේ ඇය බැවින් එය ස්වාභාවිකය.

එය, උක්ත රිය අනතුර සිදුවී තාත්තාත්, අක්කාත් මිය යාමට පෙර වසරේ මාගේ උපන් දිනයයි. මෙවර උපන් දිනය යාළුවන් කිහිප දෙනෙකුටද අරාධනා කොට මදක් උත්සවාකාරයෙන් ගැනීමට අප සැලසුම් කළහ. එදින සවස මුළුතැන්ගෙයින් ඇසුණු අම්මාගේ ගෝරනාඩුව ඇසී මා එදෙසට යන විට පෙර දින ඈ විසින් පිළියෙල කොට කපුවාට විවෘත්ත කළ හොහැකියැයි විශ්වාස කළ ලෙස වසා ඉහළින් තබා තිබුණු කේක් ගෙඩිය බිම වැටී තිබුණ අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ විසින් කා දමා තිබුණි.

"මූව මැරුවත් හිත්වදින්නෑනෙ මේ කරපු වැඩේට. මටනම් මේ යක්ෂ බළලත් එක්ක තවත්නම් බෑ මේ වැඩේ කරන්න. එක්කෝ ඕකව කොහෙට හරි ගිහින් දාපල්ලා, නැත්නම් මරලා දාපල්ලා. කොච්චරක්නම් කියලා ඉවසන්නද මේ වදේ ? " ඒ ආවේගශීලීව බැණ වදින අම්මාය. එය මෙයින් ප්‍රකෝපව සිටි මාගේ ගින්නට දැමූ පිදුරු විය. දඩුවම් කිරීමට සිතා සොයා බලන විට කිසිවක් නොවූ ආකාරයෙන් පුටුවක් උඩට වී අත පය දිගෑරගෙන නිදා සිටි බළලා දුටු මාගේ ප්‍රකෝපය දෙගුණ තෙගුණ විය. කෑ ගසන විටම බෙල්ලෙන් අල්ලා ගෙන රෙදි කඩකින් උගේ මුහුණ වැසූ මා ඌට දරුණු ලෙස පහර දුනිමි. මෙයට මල්ලීද හවුල් විය. බළලා අඩපණ වෙන තෙක්ම අපි ඌට පහර දුනිමු. එහෙත් තවමත් මාගේ සිතට මදිය. අතට හසු වු පටියකින් මා උගේ ගෙල සිර කොට බැඳ කුස්සියෙහි උළුවස්සෙහි එල්ලා නැවතත් තදින් පහර දුන්නේය. එල්ලා ඇති පන්දුවකට ක්‍රිකට් පිත්තකින් පහර දෙන්නාක් මෙන් ඌට පහර දුන්නේය. වදින සෑම පහරක දිම කොන්ද වකුටු කොට, අත් පා එකට ලංකරමින්, යටි ගිරියෙන් ඤාව් හඩ නිකුත් කරමින් බළලා කෑගැසීය. එය "අනේ මාව බේර ගන්න" වැනි ඉල්ලීමක් වන්නට ඇත. එහෙත් අවාසනාවකට මා හට බළල් භාෂාව නොතේරුණි. ටික වේලාවකින් බළලා නිශ්චල විය. ඒ ඌ අඩ පණ වූ නිසායැයි මම සිතුවෙමි.

තාත්තාත්, අක්කාත් උත්සවයට අවැසි බඩු වගයක් ගෙන ඒමට කඩයට ගොස් නැවත පැමිණියේ අප මෙසේ  චූදිතයාව එල්ලුම් ගස් යවා අහවර වූ පසුවය. කර ඇති අපරාධය දුටු තාත්තා දුන් කම්මුල් පහරින් මා විසිවී ගොස් බිම වැටුණි. අක්කා වහ වහා ලණුව ලිහා බළලාව නිදහස් කර ගත්තද ඒ වන විටත් ඌ අවසන් ගමන් ගොස් තිබුණි. මෙය මා කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. බළලුන්ගේ පණ හයිය බැවින් ඔවුන් ලෙහෙසියෙන් නොමැරෙන්නන් ලෙස මම විශ්වාස කළෙමි. එම විශ්වාසයම පෙර කී දරුණු දඬුවමට මා යොමු කළේය. එහෙත් මාගේ විශ්වාසය වැරදී තිබුණි. හිතවත / හිතවතිය මම ඔබට මේ අවසන් මොහොතේ සත්‍යයක් කියමි. මට කපුවාව මැරීමේ කිසිඳු චේතනාවක් නොතිබුණි. එය අප පවුලේ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි තරමටම සත්‍යයකි. මට ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක දිව්රිය හැකිය, චේතනාව කුමක් වූවත් මා අතින් එම අපරාධය සිදුවී තිබුණි.

ඔබ එඩ්ගා ඇලන් පෝ ගේ මතු සඳහන් කෘතිය කියවා ඇත්නම් බළලාට හිංසා කිරීමට ඝාතකයන් දෙදෙනාම යොදා ගන්නා ක්‍රමවේදයේවූ ඒ අපූරු සමානත්වය දකිනු ඇත. සමහරවිට එය කළු බළලෙකු මැරීම සඳහා කාල, ද්වීප, දේශ නොසලකා දෛවයෙන් නියමවී ඇති ක්‍රමවේදය වන්නටද හැකිය. ඒ සමානත්වය නොවන්නට මා පසු පස හඹා එන මේ ශාපය පිළිබඳව නොදැනුවත්වම මා එයට ගොදුරු වනු නියතය. අඩුම තරමින් මම එසේ විශ්වාස කරමි.

+++++

තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත. ඔව් හෙට මාගේ උපන් දිනයයි. මේ දක්වා වූ සියල්ල විශ්ලේෂණයකොට බැලීමේදී හෙට දිනයේදී ඒ කළු බලලා මා ඉදිරියෙහි දර්ශනය වන බව හෙට හිරු නැග එන්නාක් මෙන්ම නිශ්චිතය. මෙවර ඌ පැමිණෙනේ මාරාන්තික ප්‍රහාරයටය. තම නියම සතුරා වෙත ඉලක්කය බලා එල්ල කරනා, තම සතුරා අඩපණ කොට, දීර්ඝ කාලයක් විඳවීමට සලස්වා ක්‍රමක්‍රමයෙන් මරා දමනා ඒ බිහිසුණු ප්‍රහාරයටය. දාමාව කැපීමට ප්‍රථම ඌ වටා ඉන්නා ආරක්ෂක ඉත්තන් කපා ඉවත්කරන්නාක් මෙන්, මා වටා සිටි සියලු හිතවතුන් ඌ විසින් කපා ඉවත් කොට මා හුදකලාකොට තිබේ. මේ ප්‍රහාරය මට දරාගත නොහැකිය. ඒ ගැන සිහිවන විටත් මා සියොලඟම දහදියෙන් තෙත්ව, අප්‍රාණික වී යයි. ඔව්, මා ඉස්සර විය යුතුය. ඒ බිහිසුණු කාලවර්ණ මරණයේ දූතයා සම්මුඛ වීමට ප්‍රථම මා ඉස්සර විය යුතුය.

ඉදින් ප්‍රිය මිතුර / මිතුරිය ඔබ මේ දක්වා කියවූයේ මින් පෙර මා ඔබට නොකී මාගේ සැබෑ කතාවයි. එකක් පැවසිය යුතුමය. මෙම දුෂ්කර,බිහිසුණු කාලපරිච්ඡේදයේ අවසාන වසර දෙක තුළ ඔබ හා දොඩමළු වීමට ලැබීම හේතු කොටගෙන යම් ඉසිඹුවක් ලදිමි. එසේ නොවන්නට මා උන්මන්තකයෙකු වී බොහෝ කල්ය. ඒ ගැන මාගේ ස්තූතියි පිළිගන්න.

දැන් යාමට කාලය පැමිණ ඇත. මෙය ලියා ප්‍රසිද්ධ කළ වහාම උපක්‍රමිකව ලබාගෙන දැන් මේ මොහොතේත් මා ඇස් අබියස ඇති නිදිපෙති අහුරම පානය කොට මා සදාකාලික නිද්‍රාවට පත්වෙමි.  ඒ බිහිසුණු යක්ෂයාට මුහුණ දීමට නොහැකිව මම බියසුල්ලෙකු සේ ජීවිතයෙන් පලා යමි.

ඔබට රිසිනම් වෙනදා සේම මෙයට ප්‍රතිචාර දැක්විය හැකිය. රිසිනම් නොකර සිටින්න. කෙසේ වෙතත් ඒවා කියවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකිවන බව කිව යුතු නොවේ.

ප්‍රිය හිතවත / හිතවතිය වෙන්ව යාමට කලින් ලද අත්දැකීම් ඇසුරෙන් යමක් පැවසීමට අවසර ! කිසි දිනෙක, කිසි විටෙක, කිසිම හේතුවක් අරභයා සම්පූර්ණයෙන් කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න. එය ඔබව විනාශය කරා රැගෙන යනු ඇත. ඔවුන් වනාහී සූක්ෂම පළිගන්නන්ය. එද්මොන් දාන්තේ පවා අභිබවා යන අති සූක්ෂම පළිගන්නන්ය. එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි.

එසේ නම් සදාකාලික සමු ගැන්මකට අවසරයි !

මෙයට ඔබට සදා හිතවත් සෙන්නා. 
20.03.20__

Sunday, December 1, 2013

ද්වන්ද්ව සටන


2013 උඳුවප් මස 01 වනදා

"උඹලට රූල තියලවත් සරල රේඛාවක් ඇඳ ගන්න තමා බැරි. ඒ වුණාට කලිසමේ ෆ්ලීට් එකනම් තියනවා ආයෙ අත කැපෙන්න තරම් කෙළින් හිටින්න."

කමල් සර්ගේ ගෝරනාඩුව ඉදිරිපස සිටි සිසුවකුටය. එයට වස්තු බීජවූ හේතුව කුමක්දැයි නිසි ලෙස මා හට ග්‍රහණය කරගත නොහැකි වූයේ මගේ වම් පසින් අමුතු යමක් සිදුවෙමින් පවතින බව මා නිරීක්ෂණය කරමින් සිටි බැවිනි. එය කුමක් වුවත් හොඳක් නොවන බවනම් මාගේ සවන ඉන්ද්‍රිය මා වෙත දන්වා සිටියේය.

++++++

කමල් සර්ගේ පන්තිය ප්‍රදේශයේ අති ප්‍රසිද්ධ ගණිත පන්තියයි. "මම ඉගැන්වීමටම උපන්නෙමි"යි කියා පෝස්ටර් නොගැසූවද සැබවින්ම ඔහු ඉගැන්වීමටම උපන්නෙක් බව අප අතැඹුලක් සේ දැන සිටි කාරණයකි. අහෝ අවාසනාවක මහත ! ඔහු අප පාසලේ ගුරුවරයෙකු වුවද, පාසලේදී ඔහුගෙන් නිසි පරිදි දැනුම ලබා ගැනීමට තරම් අප වාසනාවන්ත නොවූහ. ඒ ඔහුගේ කුසලතාවයන් එළිදැක්වූයේ සල්ලි ඉදිරියේදී පමණක් වීම නිසයි. ඔහු පාසලේදී නිසි ලෙස උගන්වන්නකු නොවන බව මුළු පාසලම දන්නා ප්‍රසිද්ධ රහසකි. නුමුත්, හේ වනාහී ප්‍රදේශය පුරාම නම රැන්දූ අති දක්ෂ ගණිත ගුරුවරයාණෝමැයි. කොළඹ සුපිරි පාසල් වලට යන සිසුන් පවා ඔහු වෙත ගණිතය උගෙනීමට පැමිණීම මගින් ඔහුගේ හැකියාව, ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකිය. ඇති-හැකි, නැති-බැරි සෑම දෙමාපියෙකුම කෙසේ හෝ මුදලක් සරි කොටගෙන සිය දරුවාව ඔහුගේ ගණිත පන්තියට යොමු කරවීමට වග බලා ගත්තේ එබැවින්මයි. එය මාගේ දෙමාපියන්ටද පොදු වූවකි.

ඔහුගේ ගණිත පන්තිය පැවැත්වුණේ සිය නිවසේම ඉදිරි පස තනා ගත් ටකරන් සෙවිලි කළ විශාල මඩුවක් යටදීය. එය එකවර ළමුන් දෙසීයකට වැඩි පිරිසකට පමණ අසුන් ගැනීමේ පහසුකම් සහිත වූ මඩුවකි. බාල දැවයෙන් තැනූ එකවර ළමුන් දහ දෙනෙකුට පමණ වාඩිවිය හැකි දිග මේස හා දිග බංකු ගණනාවකින් එය සමන්විත වී තිබුණේය. බෙදා වෙන් කොට නොතිබුණද, වම් පස ගැහැණු ළමුන්ටත්, දකුණු පස පිරිමි ළමුන්ටත් ආදී වශයෙන් නිසගයෙන්ම භාවිතා විය. බිමට සිමෙන්ති දමා නොතිබූ එය තනිකරම වැලි සහිත විය. මඩුවෙයි හරි මැදින්ම වාගේ වහලය පලාගෙන අහසට නැගී සිටි දැවැන්ත පේර ගස දකින ඕනෑම කෙනෙකු මොහු පරිසරයට ඇලුම් කරන්නකු හෝ ගස් කැපීමට කැමැත්තක් නොදක්වන්නකුයයි සිතීමට යොමු වීම නොවැළවැක්විය හැකිය. වැට දිගෙහි වූ ලා රතු පැහැහි කොළ වලින් සැරසුණු අති අලංකාර නා ගස් පේළිය හා වත්තෙහි වූ නෙක නෙක වෘක්ෂලතාවන් විසින් එම කරුණ එසේමයයි සාක්ෂි දීමට ඕනෑම මොහොතක සැදී පැහැදී සිටියෝය.

සැබවින්ම ඔහුට ළමුන්ගේ ඒකාග්‍රතාවය රඳවා තබාගෙන එක දිගට රසවත්ව ඉගැන්වීම කරගෙන යා හැකි අමුතුම හැකියාවක් තිබුණි. එබැවින්ම බොහෝ විට සෑම පන්ති වාරයකදීම වාගේ මඩුව පිරෙන තරමටම ළමුන් සිටියහ. අතරින් පතර ඉගැන්වීම නවතා රසවත් කතා කීමද ඔහුගේ සිරිතයි. මා මුල් වරට මැක්කාගේ කතාව අසා දැනගත්තේද කමල් සර්ගෙන්මැයි. ඉගැන්වීම සිදුකෙරෙන අතර තුර පන්තියෙහි එකි නෙකා කතා කිරීම ඔහුව වියරු වට්ටවන්නකි. එය ගැහැණු ළමුන් ඉදිරියේ ප්‍රසිද්ධිය සායම යවා ගැනීමට සිදුවන භයානක වරදකි. එබැවින් ළමුන්, විශේෂයෙන්ම පිරිම පාසලකට ගිය අප එවැනි වරදක් වීමට කිසිසේත්ම ඉඩනොතැබීමට හැකි සෑම විටම වග බලා ගත්හ. ගැහැණු ළමුන් ඉදිරියෙහි සමච්චලයට ලක්වීම අපට නොහුරු අත්දැකීමකි.

දිනක් පාඩම කෙරීගෙන යන අතරතුර ළමයෙකුට ඉක්කාවක් ගියේය. ළමුන්ට පිටුපා බෝඩ් එකෙහි ගාණක් ලියා පැහැදිලි කරමින් සිටි කමල් සර් වහාම තමන් කරමින් සිටි කාර්‍යය නතර කොට පිටු පස නොබලාම "කවුද ඒ ?" යයි ඇසීය. ඉඳිකට්ටක් බිම වැටුණද ඇසෙනාකාරයේ නිශ්ශබ්දතාවයක් පැතිරිණි. ළමුන් දෙසට හැරුණු සර් "ඉක්කා ගහපු එකා නැගිටිනවා,"යි තදින් විධානය කළේය. රැවුලින් වැසුණ ඔහුගේ මුහුණ රකුසු වෙස් ගෙන තිබුණි. කෙනෙකුට පාලනය කරගත නොහැකි ඉක්කාවක් නිසා ඔහු එතරක් ප්‍රකෝප වූයේ මන්ද යන්න මා පෑන කටේ ගසමින් කල්පනා කළ අතර ඒ ඉක්කාව මට නොයාම ගැන දෙවියන්ට ස්තූති කළෙමි. අවසානයේදී විත්තිකරු සෙමින් සෙමින් නැගී සිටියේය.

"ඇයි තමුසෙ ඉක්කා ගැහුවෙ ?" කමල් සර්ගෙන් පැනයකි. අහෝ අර අසරණයාගේ කලිසම ගැලවී යාමට ඔන්න මෙන්නය. පන්තියේ වම්පස වූ කෙල්ලන් රැන කිචි බිචි ගාමින් ඔහුට සිනාසෙයි.

"නෑ සර් මම් සර්......."

" නෑ සර් .. මම් සර්.... ඉස්සෙල්ලම මැනර්ස් ඉගන ගන්නවා. තමුසෙ ආයෙ ඉක්කා ගැහුවොත් මම එළෝනවා පන්තියෙන්. ඒක දැනගන්නවා හරිද ?" කමල් සර් රකුස් මුහුණින්ම අසරණයාට සැර කළේය. "හ්ම් දැන් ඉඳ ගන්නවා." යි කියමින් නැවතත් බෝඩ් එක දෙසට හැරෙමින් අතර මග නැවැත්වූ ගාන සෑදීම ඇරබීය. තත්පර තිහක් පමණ එහි නිරත වූ ඔහු නැවත ළමුන් දෙසට හැරුණේ සිනා සෙමිනි. අර රකුසු මුහුණ කොහේ ගියාද ?

"ඔය ළමයගෙ ඉක්කාව දැන් හොඳයි නේද ? " ඇසුවේ එම ළමයා දෙස බලා සිනා සෙමිනි. විස්මයජනක ලෙස ඔහුගේ ඉක්කාව සුවවී තිබුණි.

"ඔව් සර් "

"බැන්නෙ තරහකට නෙමේ. ඕක තමා ඉක්කාවට නොවරදින බෙහෙත. තිගැස්මකින්, ක්ෂණික බය කිරීමකින් අවධානය වෙන අතකට ගන්න ඕනා. " සියලු දෙනාම මුහුණට මුහුණ බලා ගත්හ. ඒ කමල් සර්ය. ඔහුටම ආවේණික වූ ඔහුගේ ක්‍රම සහ විධිය.

++++++

ඉදිරි පස සිටි ළමයා සරල රේඛාවක් සම්බන්ධයෙන් සර්ගේ ගෝරනාඩුවට ලක්වෙමින් සිටි එම මොහොතේම මගේ වම් පස අසුන් ගෙන සිටි අප පාසලේම  "C" පන්තියේ සිසුවකු වූ රංග ක්‍රමක්‍රමයෙන් මා තෙරපමින් මා දෙසට එන බවක් මම නිරීක්ෂණය කරමින් සිටියෙමි. බොහෝ විට සිදුවන පරිදි මුලු බංකුවම පිරෙන තරමට ළමුන් අසුන් ගෙන සිටියහ. එබැවින් එකි නෙකා අතර පරතරය සීමිත විය. නමුත් සාමාන්‍යයෙන් සිදු වන්නේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව ඉඩ බෙදාගෙන ඉගෙනීමෙහි නිරත වීමයි. ඒ අනුව දකුණතින් ලියන්නකු වූ මා වමත බංකුව යටට ගෙන මාගේ දෙපා මත රඳවා තබාගෙන රංගට හැකිතරම් ඉඩ දුන්නේය. නමුත් මෙම තෙරපීමත් සමඟම එල්ලවූ රැවුම් ගෙරවුම් නිසා සාමාන්‍ය තෙරපීමකට වඩා යමක් සිදුවෙමින් පවතින බව මා හට අවබෝධ විය. රංගට එහායින් අසුන් ගෙන සිටි ගිය සතියේ මා අතින් පරාජයට ලක්වූ නාරදව දැකීම එම අවබෝධය තහවරු කෙළේය.

ගිය සතියේ පන්තිය අවසන්ව නිවෙස් බලා යන විට දැන් නිශ්චිතව මතක් කරගත නොහැකි හේතුවක් නිසා නාරද හා මා අතර ආරවුලක් හට ගත්තේය. අවසානයේදී ආරවුල් සමථයකට පත් කිරීම උදෙසා එවකට අප අනුගමනය කළ පිළිගත් ක්‍රම වේදය වූ ද්වන්ද්ව සටනකට යාම සඳහා නාරද විසින් මා හට අභියෝග කළේය. දෙදෙනෙකු අතර ආරවුලක් හට ගත් විට ද්වන්ද්ව සටනකට යාම එකල අප අතර බෙහෙවින්ම ජනප්‍රියව පැවතුණි. එවිට පිලිමලුන් දෙදෙනාගේ ආධාර කරුවන් විසින් වටවී ඇති කරනා ලබන කවයක් තුළ අදාළ දෙදෙනා සටනට යොමුවීම් සම්ප්‍රදායයි. අනතුරුදායක තත්වයකදී හැර අන් අය සටනට මැදිහත් නොවීම පිළිගත් රීතියයි. කොර්සිකානු සහෝදරයන් ද්වන්ද්ව සටන් මගින් ගැටලු නිරාකරණය කරගත් දහ නව වන සියවසේදී තරම්ම අප අපගේ නීතී රීති වලට ගරු කළහ. එකම වෙනස අප විසින් අවි ආයුධ භාවිතා නොකිරීම පමණයි. ආයුධ තෝරා ගැනීමේ නිදහසක් විසි වන සිය වසේ සිටි අපට නොවූහ. ස්වභාවධර්මයා විසින් ලබා දී තිබූ අත් පා සතර වරණයකින් තොරවම භාවිතා කිරීමට සිදුවී වී තිබුණි.

එවන් අභියෝගයක් එල්ල වූ විට එය මගහැර යාම බානසුල්ලකුගේ ක්‍රියාවකි. එය ළමුන් අතර බියගුල්ලෙකුයැයි කොන්වීමට ලක්වීමට සිදුවන කාරණයකි. සටනට ගොස් පැරදීම වෙනමම කාරණයකි. සටනකින් පැරදුණු කෙනා හට කිසි වෙකුත් බියගුල්ලෙකුයැයි චෝදනා නොකළේය. ශරීර ප්‍රමාණයෙන්ද මට වඩා පොඩි වූ මෙම ඇටයාගේ අභියෝගය පිළිගැනීමට මම දෙවරක් නොසිතීය. මාගේ කල්ලියට පණිවිඩය වාර්තා කෙරුණ සැණින් සටනට අවැසි ස්ථානය තීරණය කර ගත්හ. එය අප යමින් සිටි පාරෙහිම පිහිටි එක් තරා ඉඩ සහිත ස්ථානයක් විය.

සම්ප්‍රදයානූකූලව පිහිටවූ කවය තුළ සටන ඇරඹිණි. අප පන්තියේම සගයකුවූ නුවන් විසින් අප වෙත හඳුන්වා දුන්, ඔහු විසින් නිතර පරිහරණයක කර ජය ලද්දා වූද ප්‍රතිමල්ලවයාගේ ගෙල වටා සුරත යවා එය අනෙක් අතින් ඇද සිර කිරීම තුළින් ඇති කරනු ලබන ග්‍රහණයෙන් ප්‍රතිමල්ලවයාව අඩපණ කරවීමේ ශිල්ප ක්‍රමය මමද යම්තාක් දුරකට ප්‍රගුණ කොට සාර්ථක ප්‍රතිඵල ලබා සිටියේය. දැන් මාගේ එකම උත්සහය නාරදවද එම ග්‍රහණයට ගෙන අඩපණ කිරීමයි. එයට නිසි අවස්ථාව එනතෙක් කල්මරමින්, එහෙට මෙහෙට පනිමින් ඔහුගේ පහරවල් වැළැක්වීමට මම සමත් වීමි. ඔහු මට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වීම හා මගේ අතපය සාපේක්ෂව දිගින් යුක්තවීම යන කාරණය මෙහෙදී මගේ වාසියට සිටියේය. වරක් ඔහු එල්ල කළ පහරක් වැළැක්වූ විට මා බලා සිටි අවස්ථාව උදා වූයේ එම පහර එල්ල කිරීමට ඔහු හට මා වෙත වඩාත් සමීප වීමට සිදුවූ බැවිනි. වමතින් ඔහුගේ ප්‍රහාරය ඉවතට යොමුකළ මා වහා පැන ඔහුගේ ගෙල වටා අත යවා වමතින් මගේ දකුණත කිටි කිටියේ තද කරමින් පහතට නැමුවේය. අති සාර්ථකය ! ප්‍රතිමල්ලවයා කිසිවක් කර කියා ගත නොහැකිව අත් පා ගසමින් දගලමින් සිටියේය. අවසානයේ තමා පරාජය වූ බව ඔහු විසින් පිළිගැනීමත් සමඟම ග්‍රහණය බුරුල් කොට නිදහස් කළේය. මා නැගී සිටියේ ජයග්‍රහාකයෙකු ලෙසය. මා හට මා මිතුරන්ගේ ප්‍රිති ප්‍රශංසා හිමි වන විට නාරද ඇතුළු කණ්ඩායම එතනින් ඉවත්ව ගියහ. එය එතනින් අවසන්යැයි මම සිතුවෙමි. එහෙත් එය එසේමද ?

හදිසියේම රංගගේ දකුණු දණ හිසින්, මාගේ වම් දණ හිසට කකුල පද්ධවා එල්ල කරනු ලබන දරුණු පහරක් එල්ල විය. මා ඔහු දෙස බලන විට ඔහු මා වෙත රවාගෙන සිටියේය. "මොකද ?" කියා ඇසිය යුතුව තිබූ නමුත් මා එසේ නොඇසුවේ සර් දුටුවහොත් ඇතිවිය හැකිව තිබූ දරුණු තත්ත්වය සිහි කිරීමෙනි. කෙල්ලන් රොත්තක් ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවත් වීමට මාහට උවමනාවක් නොතිබුණි. අවසානයේදී සුපුරුදු පරිදි සර් විසින් ගාණක් සෑදීමට දී "තේ එකක් බීලා එන්නම්" යැයි කියමින් සිය නිවස තුළට ගියේය.

"තමුසෙ හරි චණ්ඩියෙක්ලු නේද ? " රංග මගෙන් ඇසීය. ඒ වන විට ලද ජයග්‍රහණය හේතුකොටගෙන මාගේ හිසද යම්තාක් දුරකට මානයෙන් පිරී තිබුණි. ඕනෑම කෙනෙකු ජයගත හැකියයි යන විශ්වාසයද ඇතිවී තිබුණි. රංග යනු ශරීර ප්‍රමාණයෙන් මා හට වඩා උස මහතින් යුතු අයෙක් වීය. සටනක් ඇති වුවහොත් ඔහුට වාසිදායක තත්ත්වයක් ඇතිවීමේ ඉඩ ප්‍රස්ථා බහුල විය. නමුත් මානය හා ආත්ම විශ්වාසය ඊට ඉහළින් සිටියේය.

"මගෙ චණ්ඩි කමෙන් උඹට වැඩක් නෑනෙ. ඇයි ප්‍රශ්නයක්ද ? " යි මමද පෙරළා ඇසුවේ එබැවිනි. ඒ වන විට සැලසුම් සහගත යමක් සිදුවෙමින් පවතින බව මා හට අවබෝධ වෙමින් තිබුණි. මොන දේ වුණත් එයට මුහුණ දීමට මම සිත දැඩි කොටගෙන සිටියෙමි.

"හා එහෙමද ? එහෙනම් එනවකො බලන්න මාත් එක්ක ගහ ගන්න. ඔච්චර චණ්ඩියෙක්නම්." නැවතත් අභියෝගයකි. කිසිසේත්ම පලායා නොහැකි අභියෝගයකි. මෙය කලින් නාරද හා ඇතිවූ සටනේම දිගුවක් බව මාහට පසක් විය.

"මූ ගේම ඉල්ලනවා." මම දකුණු පසින් වාඩිවී සිටි මගේ මිතුරාට කනට කොට කීවෙමි. ඔහුගේ පිළිතුර මා බලාපොරොත්තු වූවම මිස වෙන දෙයක් නොවුණි.

"හරි මම ලෑස්තියි. කවදද ? කොහෙද?" මම අභියෝගය භාරගතිමි. 

"හරි ක්ලාස් ඉවර වෙලා යද්දි. අතන හිස් වත්තෙදි හම්බෙමු."

එයින් පසු අප එකි නෙකාට රවමින් සිටියා මිස සැලකිය යුතු තරම් දෙයක් සිදු නොවීය. මෙම සටන ජයගත හැකි වේද යන අවිනිශ්චිත තාවයම මාගේ හදවතෙහි ගැස්ම වැඩි කරනු ලැබීය. විටෙක සටනින් පලා යාමටද නොසිතුණා නොවේ. එසේ කළහොත් ඇතිවන ලජ්ජාව සිහි කිරීමටත් අපහසුදායක එකකි. එය, පසු ගිය සතියේ ලද ජයග්‍රහණයේ අභිමානය මඩෙහි දමන්නකි. එයින් පසු සර් විසින් ඉගැන්වූ කිසි දෙයක් මාගේ කන් පෙති වලින් ඇතුළට නොගිය බවනම් සහතිකය. ඒවා කන් පෙති ස්පර්ශ කරමින් ඉවත ගසාගෙන ගියේය. වාසනාවකට මෙන් ඔහු මාගෙන් කිසිඳු ප්‍රශ්නයක් නෑසීය. එසේ වූවානම් සටනට පෙරම ප්‍රසිද්ධියේ කලිසම ගැලවීම වැළැක්වීමට සක්කරයාගේ පුතා වයිමටවත් නොහැකි වනු ඇත. 

අවසානයේදී පන්තිය නිමා විය. එකඟ වූ පරිදි මම මාගේ මිතුරන් සමඟම අදාළ ස්ථානයට වාර්තා කළෙමි. රංග හා නාරදද ඔවුන්ගේ මිතුරන් සමඟ එතනට පැමිණියහ. එය කමල් සර්ගේ නිවසේ සිට නිවෙස් දෙකක් එහායින් වූ හිස් වත්තකි. පොත් පත් පොල් ගසක් යට තබා සටනට සූදානම් වූහ. එදා නාරද හා සටනේදී නොවූ අවිනිශ්චිතතාවයකින් මාගේ සිත පෙළුණි. එය රංගගේ ශරීර ප්‍රමාණය හේතුකොටගෙන ඇතිවූවක්යැයි උපකල්පනය කළ මා, බිය නොවීමට සිත දැඩි කොට ගතිමි. අරමුණ වූයේ ඔහුවද සුපුරුදු ග්‍රහණයෙන් මෙල්ල කර ගැනීමයි.

සටන ඇරඹුණි. ඔහු විසින් කරාටේ ක්‍රීඩකයකුගේ ඉරියව් ප්‍රදර්ශනය කරමින් සටනට එළබුණි. වැඩේ වැරදී ඇති බව මා හට තේරුම් යන විට පෙරහැර ගොස් අවසානය. දැන් ආපසු හැරිය නොහැකිය. වන්නක් වේවායි සිතා හැකි අයුරින් මුහුණ දීමට නැවතත් හිත ශක්තිමත් කරගැනීම. මා විසින් එල්ල කළ පහරක් ඉතා පහසුවෙන් මග හැරගිය ඔහු තරු විසි වන ආකාරයේ දරුණු පහරක් මාගේ කම්මුල හරහා එල්ල කළේය. සටනකදී පහර කෑ තැනැත්තා දකිනවායැයි උපකල්පනය කරමින් චිත්‍රකතා කරුවන් විසින් ඔළුවට උඩින් අදිනු ලබන තරු, කොම්බු, කුරුල්ලන් සියල්ල ප්‍රථම වරට මමද එදා දුටිමි. ඒ සමඟම යක්ෂයා මාගේ ඔළුවට ආරූඪ විය. මරු විකල් වූවකු ලෙසින් රංග වෙත කඩා පිනූ මම ඔහුගේ ගෙල වට අත යවා ඔහුවද සුපුරුදු ග්‍රහණයට අර ගත්තෙමි. නුමුත් අමුත්තක් සිදු විය. මින් පෙර මාගේ මේ ග්‍රහණයට හසුවූ කිසිවකුටත් එයින් ලෙහෙසියෙන් නිදහස් වීමට නොහැකි විය. එහෙත් අද සියල්ල නොපිටට සිදු වෙමින් තිබේ. ඉතා පහසුවෙන් මාගේ දකුණු මැණික් කටුවෙන් අල්ලා එම ග්‍රහණයෙන් නිදහස් වූ රංග, එසේ කරමින්ම මාගේ දකුණත පිටු පසට කර කැවීය. කිසිවක් කර කියා ගත නොහැකිව මා අසරණ විය. එවිටම මාගේ හකුපාඩා දෙකට යටින් සිය වමත තැබූ ඔහු විසින් ලෙහෙසියෙන්ම මාගේ උගුර තද වන ලෙස මාව උඩට එසවීය. මාගේ දෑස් නිලංකාර වනවාක් මෙන් දැනුණි. හුස්ම ගැනීමට අපහසු විය. තරු, කුරුල්ලන් හා කොම්බු රංචු වශයෙන් අහසේ පාවෙන විට මා ඔහුගේ ග්‍රහණයෙන් ගැලවීමට දගලමින් සිටියේය. හදිසියේම අප අතරට පැන්න නුවන් විසින් රංගගේ අත ඇද දමා මා බේරා නොගන්නට එය දරුණු ප්‍රතිඵලයකින් අවසන් විය හැකිව තිබූ සටනක් විය. ඒ සමඟම සටන ගැන දැනගත් කමල් සර් එම ස්ථානයට පැමිණෙනවායි යන ආරංචියට, පොලිසියෙන් එන විට විසිර යන්න බූරු ගසන්නන් පිරිසක් මෙන් අප සියල්ල වහ වහා එතනින් ඉවත් වූහ.

ප්‍රධාන පාරට පැමිණි පසුද මාගේ ගෙල ආශ්‍රිත ප්‍රදේශය වේදනා දෙමින් තිබුණි. කහිමින් හා උගුර අතගාමින් වේදනාව සමනය කර ගැනීමට දගලමින් සිටින විට නුවන් පැවසූයේ " ඇයි බන් ඌත් එක්ක ගහ ගන්න ගියේ ? ඕකා කරාටි බෙල්ට් කාරයෙක්. මම හිටියනම් උඹට කීයටවත් ඕකට යන්න දෙන්නැ." යන්නයි. නුවන් හට මේ ගැන් දැන්වූවේවත්, සටන පටන් ගන්නා විට ඔහු නොසිටි බවත් මාහට සිහි වූයේ එවිටයි.

"කවුද බන් දන්නෙ ? ඒත් ඉතින් ඌ මොකා වුණත් චැලෙන්ජ් කරාම නොගිහින් බෑනෙ."

'ඌ ඔය ගත්තෙ නාරදයට ගහපු වාඩුව. ඌට ඒකට කේන්ති ගිහිල්ලලු හිටියෙ. එදා මිනිහා හිටියෙත් නෑනෙ."

අවසානයේදී ජීවිතයට මතක හිටින පාඩමක් ඉතුරු කරමින් එම ගැටලුව සමථයකට පත්විය. " සටනට යාමට පෙර සතුරා පිළිබඳව හොඳින් දැනුවත් වන්න" එම සිද්ධියෙන් පසු ජීවිතයේ කවර ගැටුමකදී ඌවත් මා අනුගමනය කරනා ප්‍රතිපත්තියකි.

ඉන් බොහෝ කලකට පසු හා මින් බොහෝ කලකට පෙර මෙම පිලිමලුන් දෙදෙනා නැවත මුණ ගැසුණි.

"අඩේ සෙන්නා උඹව දැකපු කල් මචන්. උඹට මාව මතකද ?" යි දිනක් අහම්බෙන් හමුවූ රංග මාගෙන් ඇසීය.

"හම්මෝ දැකපු කල්. මොකෝ බන් අමතක. ඉතින් දැන් මොනවද කරන්නෙ ?" ආගිය කතා වාරයකින් පසු " උඹට මතකද අපි දෙන්නා ගහ ගත්තා" යැයි ඔහු ඇසුවේ හිනා වෙමිනි.

"මොකද බන් අමතක. තව පොඩ්ඩෙන් එදා මැරෙනවා." මමත් පිළිවදන් දුන්නේ සිනා සෙමිනි.

"අපිට පිස්සු නේද බන් ඒ කාලේ? "

ඒ පිස්සු කාලය අදටත් සිහිකර රස විඳිය හැකි දෑ ඉතුරු කොට තිබීම ගැන මම තවමත් සතුටු වෙමි. 

පසු සටහන.
1. නම් ගම් මනඃකල්පිතය.
2. ඕගොල්ලොත් ඔය වගේ ජීවිතේට අමතක වෙන්නැති පාඩම් ඉගෙනගන තියනවානම් ලියලා යන්නකො. 

ලියුවේ :
~~සෙන්නා / 01.12.2013

Sunday, October 27, 2013

නොමිනිසුන් මැද මිනිසත්ව......

2013 වප් මස 27 වනදා

මාජය පිරිහිලා කියන එක තමා අද පොදු මතය. ඉස්සරහට තවත් පිරිහෙයි කියලත් සමහරු අනුමාන කරනවා. ඒ කියන්නෙ අපේ ආච්චි, සීයලෑගෙ කාලෙ තිබුණ ගුණයහපත්කම්, සාමාජීය ආචාර ධර්ම මේ වෙනකොට සැලකිය යුතු මට්ටමකින් පිරිහිලා කියන එක තමා කියවෙන්නෙ. සමස්තය සලකලා බැලුවම හා එදිනෙදා ඇහෙන ප්‍රවෘත්ති බැලුවාම ඒ කතාව බොරුයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් හැකියාවක් නෑ. වර්තමාන සමාජයේ, අපිත් ඇතුළුව අති බහුතරය ආර්ථික රැල්ලේ ගසාගෙන යමින් අසීමිත තරගකාරිත්වයක වෙලිලා ඉන්න නිසා සෑමවිටම උත්සහා කරන්නෙ තමන්ගෙ ඉලක්කයන් සපුරා ගන්න මිසක්, අන් අය වෙනුවෙන් කැපවෙන්නවත්, පොදු යහපත උදෙසා සියා කාලය ශ්‍රමය මිඩංගු කරන්නවත් කිසි කෙනෙකුට හැකියාවක්වත්, උවමනාවක්වත් නෑ. ඒත් ඔය තත්ත්වයට ව්‍යතිරේකයන් ඇත්තේම නැද්ද ? නෑ, තියනවා. මේ කියන්න යන්නෙ ඒ වගේ මනුස්සයෙක් ගැන. ඇත්තෙන්ම මේක ඔහුගේ උතුම් සේවයට කරණ ඉතාම සුළු ඇගයීමක් කිව්වත් නිවැරැදයි. පුද්ගලිකව මම ඔහුව අඳුනන්නෙවත්, නම, ගම ආදී විස්තර කිසිත් දන්නේවත් නෑ. මම දැකලා තියෙන්නෙ ඔහු කරන උතුම් කාර්‍යය විතරයි.

+++++++

අපේ ගමේ ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුව තියෙන්නෙ රේල් පාරක් ඉස්සරහා. ගමේ ඉස්කෝලෙ කිව්වට මේක ළමයි දෙදහක් විතර ඉගන ගන්න ජාතික පාසලක්. එතකොට ඔය දෙදාහෙන් 95%කට ආසන්න ගාණක් උදේ හවා ඔය රේල් පාර උඩින් තමා යන්න එන්න ඕනා. අපි පොඩි කාලෙ ඉස්කෝලෙ යනකොටත්, මේ මෑතක් වෙනකම්මත් ඔය තත්ත්වය ඔහොම්මම තමයි. ඒ කියන්නෙ අනාරක්ෂිත දුම්රිය  හරස් මාර්ගයක් හරහා තමා ළමයින්ට ගමන් කරන්න වෙලා තිබුණෙ. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්මයා අනාරක්ෂිත ගේට්ටු හැම එකකටම උණ බම්බු ගේට්ටු දාපු කාලෙනම් ඔතනට බම්බු ගේට්ටුවක් වැටිලා තිබුණට කාලයත් එක්ක ඒ බම්බු දිරලා ගිහින් ආයෙත් පරණ පුරුදු තත්ත්වයටම ආවා. ඒ කියන්නෙ ආනාරක්ෂිත හරස් මාර්‍ගය. අපි ඉස්කෝලෙට සමුදීලා එනකනුත් තත්ත්වය එහෙම්මම තමා. ඊට පස්සෙ මීට අවුරුදු හය හතකට කලින් ඔතෙන්ට සවි කළා සීනුවක් විතරක්. ඒක කෝච්චියක් එනකොට ටෑන් ටෑන් ගාලා වදිනවා. හැබැයි ගේට්ටුවක් නෑ.

තත්ත්වය් ඔහොම තියනකොට ඔතෙනට එනවා මම මේ කියන මනුස්සයා. එයාගෙ දරුවෙක් හරි මුණුබුරෙක් හරිත් ඉස්කෝලෙ ඉගන ගන්නවාලු. උදේ හයා මාරට එතනට එන මේ මනුස්සයා කෝච්චියක් එන ගානෙ ළමයින්ව රේල් පාර ගාව නවත්ව ගන්නවා. ඒ විතරක් නෙමේ වාහන වලටත් සංඥා දෙනවා, හරහා යන්න ආරක්ෂිතද නැද්ද කියලා. එයාගෙ වැඩ අවසන් කරලා යන්නෙ උදේ අටට විතර. ඒ ගිහින් ආයෙත් එනවා දවල් එකොළහා මාර වෙනකොට.

අවුරුදු ගාණක් මේ මනුස්සයා කිසිම ප්‍රතිලාභයක් නොලබා, අනුන් වෙනුවෙන් මෙහෙම කාලය ශ්‍රමය මිඩංගු කරනවා. ඔය අතරෙදි තමයි ඉස්කෝලෙ ළමයෙක් ඒ ආසන්නයේ තියන දුම්රිය පළේදි කෝච්චියට දිවි දෙන්නෙ. එතකොට තනි රේල් පාර, දෙකක් කරපු අලුත. ෆ්ලැට්ෆෝම් දෙකකුත් වැටිලා. හැබැයි ෆ්ලැට්ෆෝම් හරහා යන්න ගුවන් පාලමක් නෑ. ඉස්කෝලෙ ඇරිලා ළමයි ටික ඔක්කොම වෙනදා පුරුදු ෆ්ලැට්ෆෝම් එකේ ඉන්නවා කෝච්චිය එනකම්. හදිසියෙම දුම්රිය ස්ථානාධිපති කියනවා කෝච්චිය එන්නෙ අනිත් ෆ්ලැට්ෆෝම් එකට කියලා. දැන් මොකද කරන්නෙ ! කෝච්චියත් ළඟ ළඟම එනවා. වෙන විකල්පයක් නෑ මේ ෆ්ලැට්ෆෝම් එකෙන් රේල් පාරට බැහැලා, රේල් පාර හරහා ගිහින් අනිත් එකට නගිනවා හැර. නැත්නම් ඉතින් ඊළඟ කෝච්චිය එනකම් ඉන්න වෙනවා. ඔක්කොම ළමයි ඒ ක්‍රියාන්විතය ජය ගන්න සමත් වුණත්, එක ළමයෙක් අසමත් වෙනවා. අනිත් ෆ්ලැත්ෆෝම් එකට නගින්න ඕන්න මෙන්න තියලා කෝච්චිය අර ළමයව යට කරගෙන යනවා.

ඒ  ළමයගෙ ජීවිත පරිත්‍යාගය තමයි බළධාරින්ගෙ ඇස ඇරවන්නෙ, මෙතෙනට ගුවන් පාලමක් අවශ්‍යයයි කියන කාරණය සම්බන්ධයෙන්. ඒ එක්කම වගේ කලින් කියපු දුම්රිය හරස් මාර්‍ගයට ගේට්ටුවකුත් වැටෙනවා. ඒ කියන්නෙ අර මනුස්සයට තමන් කරපු සේවය නවත්වල දාන්න පුළුවන්. ඒත් ඔහු එහෙම කරන්නෑ. හැමදාම එනවා. මමත් හැමදාම උදේට වැඩට යනකොට ඔහුව දකින වාරයක් පාසා කල්පනා කරන්වා ඇයි මේ මනුස්සයා තාම එන්නෙ, දැන් ගේට්ටුව තියනවනෙ කියලා. ඒ කට උත්තරේ මට හම්බුනේ මේ ඊයෙ පෙරේදා දවසක කෝච්චියක් යනකම් රේල් ගේට්ටුව ගාව හිටගෙන ඉන්න වුණාම. මම ගත්තා අතේ තිබුණ ෆෝන් එකෙන් පින්තූරයක්. උත්තරේ එතන තියනවා.

මේ සටහන තියන්න මම ඒ උතුම් මිනිසාගෙන් අවසරයක් ගත්තේනම් නැ. මේ වගේ සටහනක් තියන්න එහෙම අවසරයක් අවශ්‍යය නැතිව ඇති නේද ?




+++++++

මීට අවුරුදු හයකට කලින් අද වගේ ඔක්තෝබර් 27 වෙනිදාවක ඔයා ඉපදෙනකොට හරිම චූටියි. දැන් ඔයාට අවුරුදු හයක් වගේම ඉපදෙනවට හිටියට වඩා උස මහතයි. ඉස්සරහට තව තවත් ලොකු වෙයි. කොච්චර ලොකු වුනත් පොලවෙ පය ගහලා ඉන්න ඉගන ගන්න. ඔය උඩ ඉන්න සීයා වගේ හැකි හැම වෙලාවකම අනුන්ට උදව් කරන්නත් පුරුදු වෙන්න. මේක අද නොකියෙව්වට  ඔයා කවදා හරි කියවයි. එදාට, ගන්න පුළුවන් ආදර්ශයක් අරගෙන හොඳ මිනිහෙක් වෙන්න, ලොකු මිනිහෙක් නෙමේ. අම්මගෙයි, තාත්තගෙයි පැතුම එච්චරයි. සුබ උපන් දිනයක් වේවා !!





~~ සෙන්නා / 27.10.2013

Sunday, October 20, 2013

වෙලා නැති සඳ......

20.10.2013

ඹලට මතකයක් එහෙම තියනවද දන්නෑ එකමත් එක රටක හිටියා සෙන්නා කියලා කම්මැලි බ්ලොග් කරුවෙක්. කම්මැලියි කිව්වෙ ඉඳලා හිටලා පෝස්ට් එකක් දාන හින්දා මිසක් වෙන එහෙකට නෙමේ ඕන්. ඌට ඔන්න ඔය එකමත් එක රටෙන් එන්න වුණ එක පුද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තම හොඳ දෙයක් වුණාට බ්ලොග් කෙරුවාවටනම් තදින්ම බලපෑවෙ නැතෑ. වෙන එකක් තියා කමෙන්ට් එකක්වත් කොටා ගන්න වෙලාවක් නැතුව ගියා කිව්වම ! ඉස්සර වගේ ගවේසන කොරලා, ජාලේ පීරලා ලියන ලිපිනම් ආයේ කවදා ලියන්න ලැබෙයිද දන්නෑ ඕන්. එතකන් මෙහෙම එකෙන් ඉන්නවා කියලා අමතක වෙන එක වළක්වන්න කම්මැලි පෝස්ට් එකක් තමා මේ.

එකමත් එක රටෙන් මෙහෙට එනකොට උස්සන් ආවනෙ කැමරා පොජ්ජක්. ඒකෙන් ගත්තු ගේ වටේ පින්තූර ටිකක් තමා දැන් ඔහොම්ම පල්ලෙහෑට ගියාම දකින්න ලැබෙන්නෙ, හරිය !

පස්සෙ එන්නම්කො.

















මැරුණු ගස

කැපුණු ගස








හඳ



ඇටිකුකුළා මහතා




ලංවූ පොල්


කුරුඳු නැති කුරුන්ද

දෙමළිච්චා සීරුවෙන්


කොවක්කා


කහ කුරුල්ලා


කුරුන්දේ කොටියා



වද මල

ගේ තුළ ඕර්කිඩ්


බත් කූරෝ

හුදෙකලාව

බලු තෙමේ

පුත්‍රය


Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog