Thursday, September 20, 2012

BOAC Flight 781 | ගුවන් ගමනේ අනාගත හැඩ රුව වෙනස් කළ Comet යානා අනතුර.

2012 බිනර මස 20 වනදා.



1954 ජනවාරි 10 වන දින දහවල් 01:30 යි ( ලංඩන් වේලාව ), ලංඩන් හීතෲ ගුවන් තොටුපළ. 

Jain Wilmot සිය මව සහ සහෝදර සහෝදරයින් සමඟ, ඕස්ට්‍රේලියාවේ සිට ගෙදර පැමිණෙන සිය පියාණන් වූ Chester Wilmot මහතාව පිළිගැනීමට නොයිවසිල්ලෙන් බලා සිටියාය. Chester Wilmot, BBC ආයතනය වෙනුවෙන් සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදියෙකි. බ්‍රිතාන්‍යය රැජිනගේ ඕස්ට්‍රේලියානු සංචාරයක් ආවරණය කිරීමට ඕස්ට්‍රේලියාව බලා ගොස් නැවත නිවස කරා පැමිණීමට තිබුණේ එදිනය. 

තත්පරයෙන් තත්පරය ගෙවී ගියේ දස හැවිරිදි අර්ධ ශ්‍රවණාබාධිත Jain ගේ නොයිවසිල්ල තීවෘර කරමිනි. ගුවන් යානය පැමිණීමට නියමිතව තිබූ වේලාව පසු විය. පැමිණීම් සටහන් පුවරුවල ගුවන් යානය "ප්‍රමාදයි" ලෙසින් සටහන් විය. ඇය නැවත නැවතත් පැමිණීම් සටහන් පුවරු පරික්ෂාකරමින් පසු වූවාය. හස්දිසියේම ඇයගේ හිත බියෙන් පුරවාලමින් සිය පියා පැමිණීමට නියමිතව තිබූ BA781 ගුවන් යානය පුවරුවෙන් අතුරුදහන් විය. BOAC - British Overseas Airways Corporation සේවා කවුළුව වෙත ගිය ඈ ඒ ගැන විමසා සිටියාය.

" ඒක ඔයාට කියන්ඩ බෑ දරුවෝ, ගිහින් ඔයාගෙ අම්මව එක්කන් එන්න " ඒ ඈ ලද පිළිතුරයි. 

~~~~~

1954 ජනවාරි 10 වනදින උදෑසන 09:30 යි ( රෝම වේලාව ), Ciampino ගුවන් තොටුපළ, රෝමය.

සිංගප්පූරුවේ සිට පැමිණි  BA 781 යානය සිය ගමනාන්තය වූ ලංඩන් බලා යාම සඳහා ලහි ලහියේ සැකසෙමින් තිබුණි. මෙම යානය එවකට තාක්ෂණයේ සුපිරි සංකේතයක් බඳු වූ, ලොව මුල්ම මගී ජෙට් යානා කාණ්ඩයවූ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Comet යානා වලින් එකකි. Comet යානා එවකට ගුවනෙහි ජය කෙහෙලි නැංවූ, එවකට පැවති උපරිම තාක්ෂණයෙන් සන්නද්ධ වූ මගී ගුවන් යානා සමූහය විය. මෙම යානා අධිබලැති ජෙට් එන්ජින් හතරකින් සමන්විත වූ අතර කාර්යය මණ්ඩලයද ඇතුළුව 42 දෙනෙකුට ගමන් කිරීමේ පහසුව තිබුණි. වේගය පැයට කිලෝ මීටර 800 කි. එය ආසන්නම තරගකාරී යානයේ වේගය මෙන් දෙගුණයට ආසන්න වේගයකි. මෙම සුපිරි වේගය කාර්යක්ෂමව ලබාගැනීමට ආධාරකයක් වශයෙන්, Comet යානා මීටර 12000 ක් තරම් වූ උසකින් ධාවනය වුයේ එම මට්ටමේදී වාතය තුනී බැවිනි. එම වකවානුව වනවිට එවැනි කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් දක්නට වූයේ ප්‍රහාරක යානාවල පමණී. හඳුන්වාදී මාස 20කට පසුවදී යානා 17ක් සේවයේ යෙදවී තිබුණි. එයින් නවයක්ම අයත්ව තිබුණේ  BOAC හටය. BA 781 එයින් එකකි.

රෝම ගුවන් තොටුපලේදී, යානය පිටත් වීමට පෙර BOAC ඉංජිනේරු Gerry Bull ගේ සුපරික්ෂාවට යානය භාජනය විය. උදෑසන දහය වන විට Bull සිය පරික්ෂාකිරීම අවසන් කොට සෑහීමකට පත්ව සිටි බැවින් කාර්යය මණ්ඩලය යානයට ගොඩවැදුණි. යානයේ කපිතාන් වූයේ තිස් එක් හැවිරිදි Alan Gibson ය. ඔහු BOAC හී ලාබාලම කපිතාන් වරුන්ගෙන් කෙනෙකි. මේවන විට රෝම ගුවන් තොටුපළ පර්යන්තයේ මෙම යානයෙන් ලංඩන් බලා ගමන් කිරීමට නියමිතව සිටි මගීන්, පාතරාසය ගනිමින් සිටියහ. ඔවුන් අතර Jain ගේ පියාණන් වූ Chestor Wilmot ද විය. පෙර සඳහන් වූ පරිදි ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංඩන් බලා ගමන් කරමින් සිටියේය. දහයයි පහට යානය ගමනාරම්භ කිරීමට සූදානම්. විසි නව දෙනෙක් වූ මගීන් සහ සය දෙනෙකුගෙන් සමන්විත් කාර්යය මණඩලය සිය දෛවෝපගත ගමනාන්තය බලා යාමට යානයට ගොඩවී සිටියහ. ඔවුන් අතර සිය විවාහය වෙනුවෙන් ගම රට බලා යන විදුලි ඉන්ජිනේරුවකු වූ Bernard Butler ද විය. ඔහු සිය අනාගත මනමාලියව පුදුම කරවීම උදෙසා ඇය වෙනුවෙන් ධවල වර්ණ මංගල ඇඳුමක්ද රැගෙන යමින් සිටියේය.

BA 781 එදින රෝමයේ සිට ලංඩන් බලා යාමට නියමිතව තිබූ ගුවන් යානා පහෙන් එකකි. BA 781 ගුවන් ගත වීමට විනාඩි දහයකට පෙර ලංඩන් බලා ගුවන් ගතවූ පැරණි පන්නයේ ගුවන් යානයක් වූ BOAC Argonaut යානය රෝම ගුවන් තොටින් නික්මුණි. උදෑසන දහයයි තිහට BA 781 ධාවන පථයට පිවිසියේය. ඉන් මොහොතකට පසු යානය අහස් ගැබ දෙබෑ කරවමින් ගුවනට මුසු විය. මේ දක්වා සියල්ල යහපත්.

එය හොඳින් හිරු බැබලූ දිනයකි. ගුවන් ගමනකට යෝග්‍ය කාලගුණ තත්ත්වයක් පැවතුණි. රෝමයේ සිට ලංඩන් දක්වා සම්පූර්ණ කාලය පැය දෙකකුත් විනාඩි තිස් හතක් විය. BA 781 කට කලින් රෝමයෙන් පිටත්වූ BOAC Argonaut යානයට දෙහෝරාවකට ප්‍රථම යානය ලංඩන් වෙත ළගාවීමට නියමිතව තිබුණි. එයයි එහිවූ විශේෂත්වය. එහෙත්, යානයේ සිටි කිසිවකුත් නොදැන සිටි ලොමු දැහැගන්වන රහසක් තිබුණි. ඒ, ඔවුන් කිසි දිනෙක සිය ගමනාන්තය වූ ලංඩන් වෙත ළඟා නොවන බවයි.

ඒ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලොව පුරා සියලු රටවල් හිස ඔසවමින් සිටි අවධියයි. ලොව පුරා ගුවන් මඟීන් සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් දක්නට තිබුණි. අවශ්‍යතාවයට සරිලන ලෙස සැපයුම උදෙසා නව ගුවන් යානා වලට වූ ඉල්ලුමද ශීඝ්‍රයෙන් වැඩිවිය. Comet නිෂ්පාදකයන්වූ De Havilland ගේ මුඛ්‍ය අරමුණ වූයේ මෙම නැගී එන වෙළදපළෙහි සිය අණසක පතුරුවාලීමයි. ඒ සඳහා Comet යානා වලින් ලද සහය අති මහත්ය. ඒ වෙන කිසිවක් නිසා නොව එවකට පැවති කිසිම යානයක්, අමෙරිකාවේ නිෂ්පාදිත Boeing හෝ Douglas යානවන් පවා, Comet යානා සමඟ තරගකිරීමට අසමත්ව සිටි බැවිනි. Comet යානා සේවයට පැමිණීමේ සිට ඒ දක්වා අනතුරු දෙකක් පමණක් වාර්තාවී තිබුණි. එකක් පකිස්තානයේදී, යානයක් ගුවන් ගත කිරීමකදීය. ඊට මාස දෙකකට පමණ පසු ඉන්දියාවේදී තවත් අනතුරක් සිදුවූයේ අයහපත් කාලගුණය හේතුකොටගෙනය. මෙම අනතුරු දෙකෙන්ම මගීන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. අනතුරු දෙකම අපහසු දායක තත්ත්වයන් යටතේ සිදුවූ බැවින්, Comet යානා වල විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න කිරීමක් ඇති නොවුණි.

උදෑසන 10:38 යි. යානය මීටර 11000 ක උසකට ළඟාවිය. යානයේ අභ්‍යන්තර පීඩනය මිනිස් සිරුරට යෝග්‍යවන තරමට වැඩි කෙරිණි. කාර්යය මණ්ඩලය සිය සේවා සැපයීමේ යුහුසුළුව නිරතව සිටිනු දක්නා ලදී. මගීන් කාර්යය මණඩලයේ සත්කාර විඳිමින් සුවපහසු ලෙස සිය අසුන් වලට බරවී සිටියහ. මේ අතර කපිතාන් Gibson, BOAC Argonaut හී කපිතාන් Johnson හා ගුවන් විදුලි පණිවුඩ මගින් සම්බන්ධව කාලගුණ තත්ත්වයන් හා අනෙකුත් විස්තර හුවමාරු කරගන්නා ලදී.

උදෑසන 10:41 යි. කපිතාන් Gibson විසින් රෝම ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානය අමතා විස්තර සපයා සියල්ල යහපත්ව සිදුවන බව වාර්තා කොට සිටියේය. යානය ඒවන විට ඉතාලි වයඹ වෙරළ තීරය ඔස්සේ ගමන් කරමින් සිටි අතර එල්බා දිවයින ආසන්නයේ පසු විය. වේලාව උදෑසන 10:51යි. කපිතාන් Gibson නැවත කපිතාන් Johnson ව සම්බන්ධ කරගන්නා ලදී. ගුවන් විදුලි සන්නිවේදනය අතර තුර හදිසියේම කපිතාන් Johnson ට අනෙක් පසින් ශ්‍රවණය වූයේ විශාල පිපිරුම් හඬක් සමඟ මිනිසුන්ගේ මර ළතෝනියකි. ඒ සමඟම සම්බන්ධතාව විසන්ධි විය. ඔහු, නැවත සම්බන්ධ කර ගැනීමට කිහිප වරක්ම උත්සහා කළද සාර්ථක නොවුණි. සිද්ධිය වහාම රෝම ගුවන් තොටුපලට වර්තා කෙරුණ අතර BA 781 සම්බන්ධ කරගැනීම රෝම ගුවන්තොටුපළ පාලක මධ්‍යස්ථානය දැරූ උත්සහයද අසාර්ථක විය.

සිදු වූයේ කුමක්ද ?? ..............................


රෝමයේ සිට කිලෝ මීටර් 200 ක් පමණ වයඹට වන්නට වූ එල්බා දිවයිනේ, සිය දැල් ආම්පන්න සකසමින් සිටිනා ඉතාලි ධීවර කාර්මිකයන් පිරිසකි. ඔවුන්ගේ අවධානය බිඳිමින් හදිසියේ අහස ගුගුරන්නට විය. එය මින් පෙර කිසිඳු දිනක ඔවුන් නොඇසූ විරූ ගිගිරීමකි. නිතැතින්ම ඉහළ බැලු ඔවුන්, ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ අවසනාවන්ත සිද්ධියක සාක්ෂි කරුවන් පිරිසක් වූහ. ඔවුන් දුටුවේ ගිනි ගෙන දැවෙමින් සයුරට කඩා වැටෙනා ගුවන් යානයක සුන්බුන්ය.

වහා ක්‍රියාත්මක වූ ධීවරයන් පිරිස සිය යාත්‍රා යානය කඩා වැටුණේයැයි ඔවුන් අනුමාන කළ ස්ථානය බලා යාත්‍රා කළහ. මුලින්ම ඔවුනට කිසිවක් දකින්නට නොලැබුණි. සීගල් කුරුලු රංචුවක් පියාසර කරමින් සිටි ඉසව්වක් බලා යාත්‍රා කළ ඔවුනට තමන් බලාපොරොත්තුවූ දෙය දකින්නට ලැබුණි. එය අතිශය ඛේදජනක දසුනකි. සුන්බුන් සහ මල සිරුරු දියෙහි පාවෙමින් තිබුණි. සුන්බුන් අතර පාවෙමින් සුදු පැහැති මංගල වස්ත්‍රයක්ද විය.

ඉතාලි ධීවරයන් වහ වහා මල සිරුරු දියෙන් ගොඩ ගැනීම ඇරඹූහ. අනතුරින් යානයේ සිටි තිස් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව සිටියහ. දිවි ගලවාගත් කිසිවකුදු නොවුණි. පහළොස් දෙනෙකුගේ සිරුරු ධීවරයන් විසින් ගොඩ ගන්නා ලදී. මරණ පරීක්ෂණයෙන් පසු කුඩා දේවස්ථානයක ඔවුන් වෙනුවෙන් පැවැත්වූ දේව මෙහෙයකින් පසු එම සිරුරු එල්බා දිවයිනේ භූමදාන කෙරිණ.

මෙම අවාසනාවන්ත අනතුර ලොව පුරා පුවත්පත් වල ශීර්ෂපාඨ පිරවීමට සමත් විය. සැමගේ මුවග රැඳි ප්‍රශ්නය වූයේ " ගුවන් ගමන් ඉතිහාසයේ මෙතරම්ම දියුණු තාක්ෂණයකින් හෙබි යානය, අහේතුකවම කඩා වැටුනේ කෙසේද ? " යන්නයි. එය සාමාන්‍ය අනතුරක ප්‍රතිඵලයක්ද ? නැතහොත් කිසියම් දුෂ්ට ක්‍රියාවක ප්‍රතිඵලයක්ද ? රහස හෙළිකිරීමේ වගකීම විශේෂඥයනට පැවරුණි.

අනතුරින් හෝරා කිහිපයක් නික්මෙත්ම BOAC විශේෂඥයන් Comet යානා පිළිබඳ තාක්ෂණික පරීක්ෂණ ඇරඹූහ. ඔවුන් විසින් යානාවල සැලැස්මේ හෝ නිෂ්පාදන දෝෂයන් ඇත්දැයි සොයා ගත යුතු වූහ. ලෝකයේ ප්‍රමුඛම මගී ජෙට් යානා නිෂ්පාදකයා ලෙස බ්‍රිතාන්‍යයට තිබුණු තත්ත්වයෙහි අනාගතය එම පරික්ෂණ වල ප්‍රතිඵල මත රඳා පැවතුණි. එයින් ඇරඹුණු පරීක්ෂණය ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ වඩාත් සංකීර්ණම සහ වැදගත්ම පරීක්ෂණය බවට පත්විය.

~~~~~
පරීක්ෂකයන්ට මුල සිටම අති විශාල අභියෝග වලට මුහුණ දීමට සිදු විය. 1954 දී, වර්තමානයේ භාවිතා කරනා කළු පෙට්ටි නොවීය, නියමු කුටියේ හඬ පටිගත කිරීමක්වත්, යානයේ තොරතුරු වාර්තා කරගැනීමේ පහසුකම්වත් එකල නොවීය. සිදුවූයේ කුමක්දැයි නිසියාකාරව දැන ගැනීමේ හැකියාවක් කිසි ලෙසකින්වත් නොතිබුනි. ගුවන් යානා අනතුරක් පරීක්ෂණය කල යුත්තේ කෙසේදැයි ක්‍රමවේදයක්වත් ඒ වන විට සැකසී නොපැවතුණි. ඔවුනට සියල්ල මුල සිට ගොඩනගා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වූහ. තිබුණු ප්‍රබලම සාක්ෂිය වූයේ යානයේ සුන්බුන්ය. අවාසනාවකට එයද මධ්‍යධරණි මුහුදේ සැගව ගොස්ය.

අතරවාරයේ මාධ්‍ය වල සැකය කඩාකප්පල්කාරීන් දෙසට යොමුවිය. ධනවාදය සහ සමාජවාදය ගැටෙමින් තිබූ එම අවධියේ සැකයේ හස්තය සමාජවාදී කදවුරට නිතැතින්ම එල්ල විය. නමුත් එය පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු වූ කරුණකි.

පරීක්ෂකයනට ඉතාලි ධීවරයන්ගෙන් සහ BOAC Argonaut හී කපිතාන් Johnson ගෙන් යම් යම් තොරතුරු දැන ගැනීමට හැකි වුවද ඒ කිසිවක් ඉදිරියට යාමට තරම ප්‍රමාණවත් නොවීය. මේ අතර වාරයේ ඉතාලියානු මරන පරීක්ෂක වෛද්‍ය Antonio Fornari ගේ සුපරික්ෂාවට මගීන්ගේ සිරුරු භාජනය විය. පරික්ෂාවට ලක්වූ සෑම සිරුරකම වාගේ අත පය කැඩී බිඳී හෝ තුවාල වී තිබෙනු දක්නට ලැබුණි. මේවා මරණයට පසු සිදුවූ හානි ලෙස වෛද්‍ය  ෆොනාරි හඳුනා ගත්තේය. මෙයට අමතරව ඔහුව ව්‍යාකූලත්වයට පත්කළ පොදු ලක්ෂණ කිහිපයක් සෑම සිරුරකම පාහේ දක්නට තිබුණි. එනම් බිඳී ගිය හිස් කබල් සහ පුපුරා ගිය පෙනහළුය. බොහොමයක් දෙනාගේ පෙනහළු පුපුරා ගිය බැලුන් ලෙස සුණු විසුණු වී තිබෙනු ඔහු විසින් නිරීක්ෂණය කරණ ලදී. බෝම්බ පිපිරීමක සාක්ෂි දක්නට නොවුණි. අවසානයේදී සිරුරුවල දක්නට ඇති හිසේ සහ පෙනහළු හානිවීම සිදුවූයේ කෙසේදැයි විග්‍රහ කිරීමට නොහැකිව වෛද්‍ය ෆොනාරි අසරණ විය.

ප්‍රමාණවත් නොවූ සාක්ෂි කරණ කොටගෙන පරීක්ෂණය අතර මග නවතා දමන ලදී.

නමුත්, Comet යානා වල සාර්ථකත්වය මත රඳාපැවති බ්‍රිතාන්‍ය ජාතියේ අභිමානය සහ සමෘද්ධිය ගැන සැලකිලිමත් වූ එක් පුද්ගලයෙක්ගේ අණින් නැවතත් සියල්ල සක්‍රීය විය. පරීක්ෂණය ඉදිරියට ගෙන යාමට අවැසි ප්‍රධානම සාධකය යානයේ සුන් බුන් බව අවබෝධ කොට ගත් එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ Sir Winston Churchill, කඩා වැටුණු යානය ගොඩ ගැනීමේ නියෝගය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත නිකුත් කෙරිණ.

නාවික හමුදාවට පැවරුණු කර්තව්‍යය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවුණි. ඉන් පෙර මෙවැනි ගොඩගැනීමේ කටයුත්තක් සිදුවී නොතිබුණි. යානයේ සුන්බුන් මධ්‍යධරණි මුහුදේ මීටර් 120ක් පමණ ගැඹුරේ ගිලී ගොස්ය. කිසිවෙකුටත් ස්ථානය පිළිබඳ අදහසක් නොවුණි. නාවික යාත්‍රා වර්ග කිලෝමීටර 260ක කලාපයක් අවරණය වෙන පරිදි සිය සෙවීම් කටයුතු සිදු කළහ. යාත්‍රා හතරක් මේ සඳහා යොදා ගැනුණි. එම යාත්‍රා, ජලය යට භාවිතා කලහැකි කැමරා සහ මුහුදු අභ්‍යන්තර නිරීක්ෂණ කුටීර වැනි එවකට පැවති නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ වී සිටියහ.

1954 පෙබරවාරි 12 වනදා, අනතුරෙන් දින තිස් තුනකට පසු නාවික හමුදාව සිය කැමරා මගින් යානයේ කුඩා කොටසක් නිරීක්ෂණය කළේය. ඊළඟ සති කිහිපය ඇතුළට වරින් වර ගොඩ ගැනුණු යානයේ කුඩා කොටස් එංගලන්තයට යැවුණි. අවසානයේදී නාවික හමුදාව විශාලම ජයග්‍රහණය ලබා ගනිමින් යානයේ පිටුපස අර්ධයෙහි විශාල කොටසක් සොයාගෙන ගොඩට ගැනීමට සමත්වූහ.

මේ අතරවාරයේ Comet යානා සියල්ල අකර්මණ්‍යව ලංඩන් වල රඳවා තැබිණි. BOAC විසින් සැලකිය යුතු ආයෝජනයක් Comet යානා වෙනුවෙන් සිදුකොට තිබූ බැවින්, යානා නැවතත් සේවයට ගැනීම උදෙසා පීඩනයක් ගොඩනැගෙමින් පැවතුණි. මාර්තු 23 වන දින, අනතුරින් සති දහයකට පසු නැග එන පීඩනය හමුවේ බ්‍රිතාන්‍ය රජය විසින් නැවතත් Comet යානා ගුවන් ගත කිරීමට අවසර ලබා දුනි. කෙසේ වෙතත් ඒ වන විටත් BA 781 යානය කඩා වැටීමට හේතුව සොයා ගෙන නොතිබුණු අතර විශේෂඥයන් ඒ වෙනුවෙන් වෙහෙසෙමින් සිටියහ. වාණිජ කරුණු ගැන පමණක් සලකා බලා ගත් මෙම තීරණය මගින් බ්‍රිතාන්‍ය රජය භයානක වරදක් සිදු කළහ. එය Comet යානා වල සහ එහි නිෂ්පාදකයාගේ අනාගතය තීරණය කරන්නාවූ තීරණයක් විය.

මධ්‍යධරණි මුහුදෙන් ගොඩ ගන්නාවූ සුන්බුන් කැබලි ක්‍රමක්‍රමයෙන් එංගලන්තය වෙත ළඟා වෙමින් තිබුණි. පර්යේෂකයන් ලී වලින් සැදූ  යානා සැකිල්ලකට ඒවා අමුණමින් යානය නැවත ප්‍රතිනිර්මාණය කොට ගැනීමට වෙහෙසෙමින් සිටියේ මෙම අවුල විසඳා ගැනීමට පොටක් පාදා ගන්නා අටියෙනි.

දැන් නැවතත් සියලුම Comet යානා සේවයේ. 1954 අප්‍රේල් 08, ගුවන් ගමන් නැවත ඇරඹීමෙන් දින දාසයකට පසු, මරුවා නැවතත් බිල්ලකට ඉව අල්ලමින් සිටියේය. සුපුරුදු පරිදිම රෝම ගුවන් තොටුපළේදී Gerry Bull අතුළු ඉංජිනේරු කණඩායමේ සුපරික්ෂණයෙන් පසු තවත් Comet යානාවක් ඊජිප්තුව බලා යාමට ගුවන් තොටු පළින් නික්මිණ. මගීන් 14ක් සහ කාර්යය මණ්ඩලයේ 07ක් යානය තුළ විය. විනාඩි 33ක් ධාවනය වීමෙන් පසු යානය මීටර් 11000 ක උස සීමාවට පැමිනුනි. නියමුවා රෝම ගුවන් තොටුපළ අමතා විස්තර වාර්තාකරමින් සිටින අතර තුර සම්බන්ධතාවය විසන්ධි විය. තවත් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින් යානය මධ්‍යධරණි මුහුදට කඩා වැටුණි.

නැවතත් බ්‍රිතාන්‍යය නාවික හමුදාව සාක්ෂි සෙවීමෙහි උත්සුක විය. මල සිරුරු පහක් සමඟ පුද්ගලික බඩු භාණ්ඩ කිහිපයක් සොයා ගැනුණි. ලෝකය පුරාම ප්‍රවෘත්තිය වේගයෙන් පැතිරුණු අතර බ්‍රිතාන්‍ය රජය මෙම අනතුරු සඳහා හේතුව සොයා ගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන් යමක් කළ යුතුව තිබුණි. Winston Churchill, විසින් පරීක්ෂණය Royal Air Craft Establishment වෙත භාර කෙරුණි. එය එවකට බ්‍රිතාන්‍යයේ පැවති ප්‍රමුඛතම ගුවන් ගමන් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය විය. පරීක්ෂණ කණ්ඩායමේ නායකත්වය පිළිගත් විද්‍යඥයෙක් වූ Sir Arnold Hall ට පැවරුණි. Winston Churchill, ගෙන් Arnold Hall ට පුද්ගලිකවම ලැබුණු උපදෙස වූයේ, පරීක්ෂණය සඳහා වැයවන මුදල් ගැන සැලකිලිමත් නොවන ලෙසයි. කෙටියෙන් පැවසුවහොත් පරීක්ෂණයට අවැසි ඕනෑම දෙයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සපයා තිබුණි.

Sir Arnold Hall


දෙවෙනි ගුවන් යානය මීටර් දහස් ගණනක් ගැඹුරු මුහුදේ ගිලී ගොස් තිබූ බැවින් එය ගොඩ ගැනීම ප්‍රායෝගික කාර්යයක් නොවුණි. එකම බලාපොරොත්තුව වූයේ ප්‍රථම ගුවන් යානයේ සුන්බුන්ය. එය කැබැල්ලෙන් කැබැල්ල ඇමිණෙමින් BA 781 යානයේ දළ ආකෘතියක් නිමවමින් සිටියේය. මින් පෙර කිසිවකු මෙසේ විනාශ වී ගිය යානයක් එකලස් කොට නොතිබූ බැවින් පරීක්ෂක කණඩායමට එය සැබෑම අභියෝගයක් විය. ඔවුනට ඒ සඳහා පූර්වාදර්ශයක් නොවූ බැවින් තමන්ගේම ක්‍රමවේදයක් ගොඩනගා ගත යුතුව තිබුණි. මෙම සුන්බුන් පිළිබඳ සිදුකළ සියුම් පරික්ෂාවේදී ඔවුනට වැදගත් සාක්ෂියක් සොයා ගැනීමට හැකිවිය. එනම්, ප්‍රථමාධාර පෙට්ටියක වූ බෙහෙත් ස්වල්පයක්, කාපට් කැබලි කිහිපයක්, පුද්ගලික බඩු භාණ්ඩ කිහිපයක් ඔවුන් යානයේ අපර කොටසේ තිබී සොයා ගනු ලැබූහ. මෙමගින් එළඹි නිගමනය වූයේ යානයේ ඉදිරිපස ඇතිවූ පිපිරීමක් විසින් මෙම ද්‍රව්‍යයන් පිටුපසට විසිකිරීමක් සිදුකොට ඇති බවයි. ප්‍රශ්නය වූයේ කිනම් ස්ථානයක, කෙසේ පිපිරීම සිදුවූවාද යන්නයි !

මේ අතර දෙවන අනතුරෙන් ගොඩ ගත් මළසිරුරු හතරක් මරණ පරික්ෂකයන්ගේ නිරීක්ෂණයට භාජනය විය. ඔවුන්ව මවිතයට පත් කරවමින් පළමු අනතුරේදී දක්නට වූ ශරීර හානි එලෙසින්ම දෙවැන්නේදීද දක්නට ලැබුණි. එනම්, පැලුණු හිස් සහ පුපුරා ගිය පෙනහළුය.

දීර්ඝ පරීක්ෂණ මාලාවකට පසු Arnold Hall සහ ඔහුගේ කණ්ඩායම විය හැකියැයි අනුමාන කළ හැකි න්‍යායක් ගොඩ නැංවීය. එනම්, යානයේ මගීන්ගේ සුව පහසුව සඳහා සිදු කළ කුටීර පීඩනය අඩු වැඩි කිරීම වලදී Comet  යානයේ පිටත ඇලුමිනියම් ආවරණයෙහි දැඩි ආතතියක් ඇතිකරන්නට ඇති බවත්, කිසියම් වූ ව්‍යහාත්මක දෝෂයක් වීනම් එම ස්ථානයෙන් පිපිරීමක් ඇතිවිය හැකි බවටත් ඔවුහූ අනුමාන කළහ. මල සිරුරුවල දක්නට වූ හානිවීම් මේ මගින් පැහැදිලි කළ හැකියැයි ඔවුන් විශ්වාස කළහ.

මෙම න්‍යාය ඔප්පු කිරීම සඳහා ඔවුන් විසින් BA 781 යානයේ දහයෙන් එකක් ප්‍රමාණයේ ආකෘතියක් නිර්මාණයක කළහ. මගීන්ගේ ආකෘති කිහිපයක්ද ආසන වල අසුන්ගන්වන ලදී. ආකෘතියෙහි අභ්‍යන්තර පීඩනය යානය මීටර 12000 ක උසකදී පවත්වා ගන්නා පීඩනයට ගෙනවිත්, ආකෘතිය පුපුරුවා හරින ලදී. ප්‍රතිඵලය අධිවේගී කැමරා කාචයන්හී සටහන් විය. පරීක්ෂණයේ ප්‍රතිඵලය මල සිරුරුවල දක්නට වූ අභ්‍යන්තර හානි සිදුවන ආකාරය කදිමට පෙන්වා සිටියේය. හදිසියේ ඇතිවන පීඩනය අඩුවීම මගින් යානයේ අසුන් ගැලවී මගීන් ( ආකෘති ) සමග ඉහළට විසිවී යන අතර බොහොමයක් මගීන්ගේ ( ආකෘති වල ) හිස් යානයේ සිවිලිමෙහි වැදීම කරණකොටගෙන හානියට පත් වන ආකාරය කැමරා කාචයන්හී පැහැදිලිව සටහන් වී තිබුණි. එසේම හදිසියේ ඇතිවන අවපීඩන තත්ත්වය මගීන්ගේ පෙනහලු ක්ෂණිකව පුපුරා යාමට සලස්වන්නට ඇතැයි නිගමනය කෙරිණ. යානයෙහි මගී කුටීරය අධික පීඩනයක් යටතේ පවතින විට ඇතිවන හදිසි පුපුරා යාමක් විශේෂඥයන් සමාන කරන්නේ රාත්තල් 500 ක බෝම්බයක් ඒ තුළ පුපුරා යාමකටය.




ආකෘතිය හා පරික්ෂණයේ ප්‍රතිඵලය
මෙමගින් පරීක්ෂක කණ්ඩායම යානයෙහි ඇළුමිනියම් බඳෙහි ඇති දෝෂයක් හේතුවෙන් මෙම පුපුරා යාම වන්නට ඇතැයි නිගමනයකට එළඹුණි. එහෙත් නිෂ්පාදකයන්ගේ පරීක්ෂණ වාර්තා වල දැක්වෙන ආකාරයට බඳෙහි ආයු කාලය පියාසර වාර දසදහසකටත් වඩා වැඩිය. එය විනාශවූ යානා ද්විත්වයම ගමන් කළ වාර ගණනට වඩා බෙහෙවින්ම වැඩි වූ අගයකි. නමුත් Arnold Hall එය එලෙසින්ම පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ඔහු සම්පූර්ණ යානයක්ම පූර්ණ පරික්ෂාවකට බඳුන් කිරීමට සැලසුම් කළේය. BOAC වෙතින් ඒ සඳහා ඔහුට  G-ALYU ("Yoke Uncle") යානය ප්‍රදානය කෙරිණ.

මෙම නව පරීක්ෂණය ඇරඹීමට පෙර Arnold Hall ඇතුළු කණ්ඩායම Comet යානා වල සැලැස්ම තියුණු පරීක්ෂාවකට ලක් කෙරෙනි. ගුවන් යානයක පිටත බඳ නිතර නිතර ඇති කරවනු ලබන පීඩන අඩු වැඩි කිරීම් වලට ඔරොත්තු දෙන සවිමත් එකක් විය යුතුය. එමෙන්ම සැහැල්ලු විය යුතුය. මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා De Havilland  විසින් මිලි මීටර භාගයක ඝනකමින් යුක්ත සැහැල්ලු ඇලුමිනියම් ඇලෝයි තහඩු භාවිතා කොට තිබුණි. යානයෙහි බඳෙහි ඔරොත්තුදීමේ ශක්‍යතාවය පිරික්සීම සඳහා Arnold Hall  විසින් ඉන් පෙර සිදුකර නොතිබූ පරීක්ෂණයක් සැලසුම් කළේය. ඒ සඳහා අති විශාල ජල තටාකයක් නිර්මාණය කිරීම අවැසි විය. එය දිගින් මීටර 34ක්, පළලින් මීටර 07ක් සහ ගැඹුරින් මීටර 05 කින් යුක්ත විය. ජල තටාකය සාර්ථකව නිමවා අවසන් කිරීමට සේවකයනට නොකඩවා සති හයක් වැඩ කිරීමට සිදු වූහ. මැයි මස 29 වන දින විට එය පරීක්ෂණය සඳහා සූදානම්ව තිබුණි. එන්ජින් සහ අභ්‍යන්තර කොටස් ඉවත් කළ හිස් යානය තටාකයට ඇතුල් කෙරිණ. තටාකයෙන් දෙපසට විහිදී තිබුණ තටු, බාහිර යාන්ත්‍රණයක් මගින් මෙහෙය වුයේ  පරීක්ෂණයේදී පියාසර තත්ත්වයන් මවා පෑම උදෙසාය. ඉන්ජිනේරුවන් විසින් තටාකයට, යානය වැසී යන පරිදි ජලය පුරවනු ලැබීය. ඉන්පසු යානය පියාසර කරනා විට ඇති කරනු ලබන පීඩනයට සමාන පීඩනයක් ඇති කරනු ලැබූ අතර විනාඩි පහකට පසු නැවතත් පීඩනය අඩු කරන ලදී. මෙම සෑම පරීක්ෂණ අවස්ථාවකදීම, යානය මීටර 12000 ක උසකදී, යානයෙහි බඳ මත පීඩනය වැඩි කිරීමෙන් ඇති කරවනු ලබන තත්ත්වයම ඇති කරවන ලදී. මෙමගින් පරීක්ෂකයන් බලාපොරොත්තු වූයේ දිගින් දිගටම සිදු කෙරෙන පීඩන අඩු වැඩි කිරීම් වලට යානයෙහි ඔරොත්තුදීමේ හැකියාව පරීක්ෂා කිරීමය. පරික්ෂණය නොකඩවා දවසේ පැය 24 පුරාවටම සිදු කෙරුණ අතර බලාපොරොත්තුවන තත්ත්වයට ළඟා වීමට මාස පහක කාලයක්වත් ගතවෙනු ඇතයි අනුමාන කරනු ලැබීය.

අතර වාරයේ අනෙකුත් පරීක්ෂණ කටයුතු නොකඩවා සිදු වෙමින් පැවතිණ. මේ වන විට යානයෙන් තුනෙන් දෙකක් පමණ එකතු කරගත් සුන්බුන් ආධාරයෙන් ලී සැකිල්ල මත ගොඩ නගා තිබුණි. යානයේ පිටත තහඩු ඉරී ගොස් ඇති ආකාරය අධ්‍යනය කිරීමෙන් පරීක්ෂකයන් නිගමනය කෙරුවේ යානය පිපිරීමක් සමඟ දරුණු අවපීඩන තත්ත්වයකට භාජනය වී ඇති බවයි. වැඩිදුර අධ්‍යනයන්ගෙන් පසු පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වූයේ මුල්ම පුපුරා යාම මගී කුටීරයත් නියමු කුටියත් අතර සිදුවී ඉන්පසු අවර සහ පිටිපස බඳ කොටස කැඩිවෙන්වී, තෙවනුව පියාපත්හී පිටුපස කොටස් සහ අග කොටස්, අවසානයට නියමු කුටිය කැඩී වෙන්වී යන්නට ඇති බවයි. නමුත්, අනතුරට මුල්වූ සැබෑ හේතුව තවමත් අභිරහසක්.

ජුනි 24 වන දින, ජල තටාක පරීක්ෂණය සංධිස්ථානයකට ළඟා විය. පරික්ෂණය ඇරඹී මසකටත් වඩා අඩු කාලයකදී, පියාසර වාර තුන්දහසකට සමාන අවස්ථාවකදී යානයේ බඳ පුපුරා ගොස් තිබුණි. මෙමගින් හෙළිවූ කරුණු සියලු දෙනාවම මවිත කරවීමට සමත් විය. තටාකයේ ජලය හිස් කළ කණ්ඩායම යානයට සිදුවී ඇති හානිය තියුණු පරික්ෂාවකට භාජනය කළහ. ඔවුනට යානයේ බඳෙහි විශාල පැලුම් දක්නට ලැබුණු අතර එම පැලුම් යානයෙහි කවුළු සහ දොරවල් ඔස්සෙ පැතිර පැවතිණි. ඔවුන් Comet යානා ව්‍යුහයේ වූ ප්‍රධානතම දුර්වලතාවය හෙළිදරවු කරගැනීමට සමත්ව තිබුණි. Comet යානා සමූහයම මෙම මාරාන්තික දෝෂයෙන් යුක්ත යැයි අනුමාන කෙරින. මෙම දෝෂයේ මූලාරම්භය Metal Fatigue ( ලෝහ ප්‍රයාසය ) යනුවෙන් හැඳින්වූ, ලෝහයක් මත දිගින් දිගටම ප්‍රතිවිරුද්ධව යොදවන තෙරපුමක් හෝ බලයක් හේතුකොටගෙන ලෝහයේ දරාගැනීමේ ශක්තිය අවම වීමෙන් හට ගන්නා දුර්වලතාවය ලෙස සලකනු ලැබීය. ( ලෝහ කැබැල්ලක් ගෙන දිගින් දිගටම ඉහළට හා පහළට නැමීමේදී, මුලින්ම නැමුම් පාරක්ද, ඉන් පසු ටිකෙන් ටික එම ස්ථානයෙන් ලෝහය කැඩී වෙන්වන ආකාරයද ඔබ අත් දැක ඇත. මෙහිදීත් සිදුවනුයේ ඒ හා සමාන ක්‍රියාවලියකි. යානයේ අභ්‍යන්තර පීඩනය වැඩි කිරීමේදී අනිවාර්යයෙන්ම බඳෙහි යම් ප්‍රාසාරණයක් සිදු වන අතර, නැවත පීඩනය අඩු කිරීමේදී යානය පෙර තිබුණු තත්ත්වයට පත්වේ. මෙහිදී ඇතිවන ප්‍රසාරණය හා හැකිලීම මගින් Metal Fatigue හෙවත් ලෝහ ප්‍රයාසය යනුවෙන් හඳුන්වන සංසිද්ධිය ඇති විය හැකි බව පරීක්ෂකයන්ගේ මතයයි. )

නමුත් මෙහිදී ඔවුන් ගැටලු දෙකකට මැදි විය. පළමුවැන්න වූයේ මේ දක්වා ගොඩ ගත් කිසිම කොටසක මෙම දෝෂය පෙන්නුම් කරන ලක්ෂණ දක්නට නොවීමයි. දෙවැන්න වූයේ Comet නිර්මාපකයන් යානා වෙළද පළට නිකුත් කිරීමට පෙර ලෝහ ප්‍රයාසය පිළිබඳ පරීක්ෂණ පවත්වා යෝග්‍යය බවට සහතිකයක් ලබා තිබීමයි. Arnold Hall ඇතුළු කණ්ඩායම තම මතය තහවුරු කිරීම උදෙසා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඒ සඳහා ලෝහ ප්‍රයාසය පෙන්නුම් කෙරෙන යානයේ කොටසක් සොයා ගැනීම අත්‍යවශ්‍යය විය. අවාසනාවකට මෙන් මෙම සාක්ෂිය තවමත් මධ්‍යධරණි මුහුදු පතුලේ සැගව තිබුණි.

මේ අතර සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලින් හෙළි කරගනු ලැබුයේ, යානයේ අභ්‍යන්තර පීඩනය වැඩි කිරීම මගින් යානයේ බඳ මත ඇති කරනු ලබන මුළු ආතතියෙන් 70% ක් පමණ බඳෙහි දුර්වල ස්ථාන වූ කවුළු සහ දොරවල් අවට ඇති කරනු ලබන බවයි. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. මෙම අගය යානයේ සැලසුම් කරුවන් බලාපොරොත්තු වූවාට වඩා දෙගුණයකින් පමණ වැඩි අගයකි. තව දුරටත් කළ පරීක්ෂණ වලින් සොයාගනු ලැබුයේ කවුළු වටා ඉඳි කර ඇති ආධාරකය, ඇලවීම වෙනුවට රිවට් ඇණ යොදා සවිකිරීම හා එම ඇණ විදුම් යන්ත්‍ර මගින් සිදුරු කොට සවිකිරීම වෙනුවට කාවැද්දීම හේතුකොටගෙන ඇණය අවට කලාපයේ ක්ෂුද්‍ර පිපිරුම් සිදුවී ඇති බවයි. ඉතා තදින් ආතතියට හසුවන කවුළු අවට ඇතිවූ මෙම ක්ෂුද්‍ර පිපුරුම් ඔස්සෙ, දිගින් දිගටම සිදුවූ පීඩනය අඩු වැඩි වීම කරණ කොටගෙන, ලෝහ ප්‍රයාසය සිදුවීම මගින් එම ස්ථානයකින් මුල්ම පුපුරා යාම වන්නට ඇති බව අවසන් නිගමනය විය. එහෙත් මෙම නිගමනය සනාථ කෙරෙන යානයේ කොටසක් මේ දක්වා පරීක්ෂකයන්ට සොයා ගැනීමට නොහැකිවී තිබුණි.

කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, අගෝස්තු 12 වන දින, ඉතාලි ධීවර යාත්‍රාවක් මගින් යානයේ තවත් විශාල කොටසක් ගොඩ ගනු ලැබීය. එය යානයේ වහලයෙහි කොටසකි. මෙහි ගුවන් විදුලි තරංග හුවමාරු කරගැනීම සඳහා භාවිතා කළ කවුළු ද්විත්වයක් විය. මෙම කොටස තියුණු පරික්ෂාවකට ලක්කළ Arnold Hall  සහ පිරිස තමන් බලාපොරොත්තුවෙන් සිටි සාක්ෂිය ක්ෂණිකවම සොයා ගන්නා ලදී. එක් කවුළුවක තිබූ රිවට් සිදුරක, ලෝහ ප්‍රයාසය නිසා සිදුවූ කුඩා පිපුරුමක් නිරීක්ෂණය කිරීමට ඔවුනට හැකි විය. යානයේ අනෙකුත් කොටස් හා මෙම කොටස එකතු කළ විට ඔවුන් විසින් නිරීක්ෂණය කෙරුණේ, සිදුව ඇති සියලු පිපුරුම් වල ආරම්භය මෙම ස්ථානය බවයි. අවසානයේදී,  Arnold Hall සහ පිරිස විසින් මෙම අභිරහස  මෙලෙස විසඳනු  ලැබූහ.


පිපිරුම ආරම්භ වූ, ගුවන් විදුලි සංඥා කවුළු.

~~~~~


Paul Withey, ගුවන් යානා ලෝහ පිළිබඳ නූතන විශේෂඥයෙකි. වසර 52 කට පසු ඔහු මේ සැරසෙන්නෙ Arnold Hall ඇතුළු පිරිස 50 දශකයේ තාක්ෂණය යොදාගන විසඳු අභිරහසෙහි නිරවද්‍යතාවය 21වන ශතවර්ෂයේ තාක්ෂණය යොදාගන නැවත පරික්ෂා කිරීමටය. එමගින් Withey විසින් Arnold Hall ගේ සොයාගැනීම් වලට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලදහොත්, ගුවන් යානා පර්යේෂණ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට සිදු වනවා ඇත. Withey ට අනුව Arnold Hall ඇතුළු පිරිස අවසාන පරික්ෂා කිරීම් සිදු කරනු ලැබුවේ සාම්ප්‍රදායික අන්වීක්ෂයක් භාවිතා කරමිනි. පරීක්ෂණ කණ්ඩායම අවසාන නිගමනයට එළබීම සඳහ සිය අත්දැකීම් මත පිහිටා කටයුතු කොට තිබුණි. Withey මේ සැරසෙනුයේ එහි සැක හැර දැනගැනීමටය.

ලංඩන් නුවර Science කෞතුකාගාරයේ තබා ඇති BA 781 යානයේ සුන්බුන් වලින් ලෝහ ප්‍රයාසය දක්වන කොටස් වල අච්චු, සිලිකන් පොටි භාවිතා කර ලබා ගත් Withey , ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මගින් විශාලනය කොට පරික්ෂා කළේය. දෙසිය වාරයක් විශාලනය කළ විට Arnold Hall විස්තර කළ ලෝහ ප්‍රයාසය මගින් ඇතිකළ පැලුම් ඔහුට දක්නට ලැබීය. අටසිය වාරයක් විශාලනය කළ විට Withey  හට දක්නට ලැබුණේ Arnold Hall විසින් කිසි කලකත් නොදුටු, නමුත් ඉතා නිවැරදිවම අනුමාන කරන ලද නිෂ්පාදන දෝෂයයි. එනම්, රිවට් ඇණ කාවැද්දීම නිසා බඳෙහි තහඩුව මත ඇතිකරනු ලබූ ක්ෂුද්‍ර පිපුරුම්ය. මෙලෙස වසර 52කට පසු, 21වන සියවසේ තාක්ෂණය යොදගන Withey  විසින් Arnold Hall සොයා ගත් කරුණු ඉතා නිවැරදි බවට නැවත සහතික කරනු ලැබීය.

~~~~~
සිදු වූයේ කුමක්ද ?? ..............................

Comet යානා බඳ අසාමාන්‍ය ලෙස තුනී ඇලුමිනියම් තහඩු උපයෝගී කරගෙන නිපදවා තිබුණි. එයට අමතරව කවුළු සහ දොරවල් අවට ආධාරක රාමු රිවට් ඇණ කාවැද්දීම මගින් සවි කිරීම හේතුකොටගෙන යානයෙහි තහඩු මත නිෂ්පාදකයන්ද නොදන්නා ක්ෂුද්‍ර පිපිරුම් ඇතිවී තිබුණි. සෑම පියාසර වාරයකදීම ඇති කරවනු ලබන අභ්‍යන්තර පීඩනය, යානයෙහි බඳ මත අති විශාල ආතතියක් ඇති කරනු ලැබූ අතර විශේෂයෙන්ම කවුළු සහ දොරවල් අවට කලාපයන්හී මෙම ආතතිය අති විශාල විය. මෙසේ සෑම පියාසර වාරයකදීම නැවත නැවතත් සිදුවූ පීඩනය වැඩි කිරීම නිසා පෙර සඳහන් ක්ෂුද්‍ර නිෂ්පාදන දෝෂය ක්‍රමක්‍රමයෙන් ලෝහ ප්‍රයාස පිපුරුම් බවට පරිවර්තනය වී සෑම පියාසර වාරයකදීම එය මදින් මද විශාල විය. 1954 ජනවාරි මස 10 වන දින, ඒ අවාසනාවන්ත මොහොතේදී, යානයෙහි වහලය මත වූ ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණ කවුළුවකින් ඇරඹී, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබූ ඒ පැළුම, මිනිස් ජීවිත තිස් පහකට වග කියමින් යානය විනාශ කොට දැමීය.

යානය කැඩී ගිය ආකාරය පෙන්වන සටහනක්. රතු - 1  /  කහ - 2  / දම් - 3  / කොල - 4  / දුඹුරු - 5


Arnold Hall  ඇතුළු කණ්ඩායම මගින් කළ සොයාගැනීම් නිසා එයින් පසු ඇරඹි අනාගත ගුවන් ගමනේ හැඩ රුව බෙහෙවින්ම වෙනස් විය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල මත, යානාවල ආරක්ෂාව වෙනුවෙන් බොහොමයක් වූ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එල්බා දිවයිනේ, මිය ගිය තිස් පස් දෙනා වෙනුවෙන් ඉදිවී ඇති සිහිවටන ස්මාරකය, වසර පනහකටත් වැඩි කාලයක් තිස්සේ නිහඩව කියාපන්නේ, ඔවුන් විසින් සිය ජීවිත පරිත්‍යාග කිරීම මගින් නොදැනුවත්ව හෝ අනාගත මගී ගුවන් යානා වල ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ ඒ අගනා මෙහෙයයි. ඔබ අද ආරක්ෂිතව ගුවනේ ගමන් කරයිද, ඒ සෑම ගුවන් වාරයක් පාසා ඔබගේ ජීවිතය ඔවුනට ණය ගැතිය.

~~ නිමි ~~

Seconds from disaster - Comet Air Crash [ BOAC Flight 781 ]



සහ

http://en.wikipedia.org/wiki/Comet_Flight_781
http://en.wikipedia.org/wiki/Metal_fatigue

ඇසුරින් සකස් කෙරුවේ ;

~~සෙන්නා / 20.09.2012


පින්තූර උපුටා ගැනීම ;
1. Wikipedia
2. modelairplanenews.com
3. Seconds from disaster - Comet Air Crash [ BOAC Flight 781 ] - Video

Friday, July 27, 2012

සැවුලෙකුගේ විලාපය

2012 ඇසල මස 27 වනදා



යාන්තම් ඇහැ පියවීගන ආවා විතරයි, එතකොටම වගේ ඇහැරුණා වගේ තමා මතක. ඒ ඉතින් අපේ හැටිනෙ. තාම හොඳටම කළුවරයි. එළිය බැලුවට එච්චරම පැහැදිලිත් නෑ. මම වාඩි වෙලා හිටපු පටිය දිගේ බිත්තිය අයිනට ගියේ යාන්තම් හරි එළියක් පේනවද බලන්ඩ. මොන ! පට්ට කළුවරයි. අල්ලපු ගෙදර කුකුල් රාජයනම් අඬලන සද්දෙ ඇහුණා. ඒ කියන්නෙ තව සෑහෙන වෙලාවක් මෙහෙම ලැගගන ඉන්ඩ ඕනා කියන එකයි. මට එපාම කරපු දෙයක් තමයි ඇහැරුණාට පස්සෙ මේක ඇතුළට වෙලා ඉන්න එක. ඒත් කොහොමද එළියට යන්නෙ. එකක් දොර අගුල දාලා. ඒ නැතත් බෝධිසත්වයගෙන් කිසිම අවසරයක් නෑ මේ කළුවර ජාමේ එළියට බහින්ඩ.

මට ඉතින් මෙහෙම ඉන්නකොට නා නා ප්‍රකාර දේවල් ඔළුවට එනවා. ආයෙත් අර කුකුළා අඬලනවා. එයාල ඉන්නෙ හරි උඩින්. ඒක නිසා කෑ ගහන සද්දෙ වටේටම හොඳටම ඇහෙනවා. ඒ ගොල්ලන්ගේ කූඩුව හරි අමුතුයි. ඒක තියෙන්නෙ ගහක අත්තක එල්ලලා. ඒ ගෙදර මිනිස්සු හැමදාම හවසට ඒකට ඉණිමගක් හේත්තු කරනවා. එතකොට කුකුල්ලු ටික ඒ ඉණිමග දිගේ නැගලා තමා කූඩුවට යන්නෙ. මම බලන් ඉඳලා තියනවනෙ ඒ ගොල්ලො නගින හැටි. එක එකා සැරින් සැරේ ඒ ගොල්ලන්ට ඕනා වෙලාවට තමා ඇවිත් නගින්නෙ. එක පඩියක් නගිනවා, ආයෙ ටිකක් ඉන්නවා, ඔන්න ඔහොම තමා නැගිල්ල. කොහොමින් කොහොම හරි ගොම්මන් කළුවර වැටෙනකොට ඔක්කොමල්ලා ටික ඉණිමග නැගලා කූඩුවට යනවා. ඒ ගොල්ලො ඒකට පුරුදු වෙලා. ඊට පස්සෙ ඒ ගෙදර මිනිස්සු ඉණිමග අයින් කරනවා. උදේට ඒ ගොල්ලො පියාබලා පහළට එනවා. මාත් දවසක ගිහින් බලන්ඩ ඕනා ඕකට. ඒ කූඩුවෙ ලගින රත්තා අයියානම් කියන්නෙ ඒ ගොල්ලන්ගෙ ආරක්ෂාවටලු ඒක එහෙම හදලා තියෙන්නෙ. කලවැද්දන්ගෙන් එහෙම බේර ගන්ඩ. ඒ කථාවත් ඇත්ත එක අතකින් බලපුවම. එල්ලලා තියන කම්බිය දිගේ බඩගාගන ආවොත් මිසක් කාටවත් ඒකට ළංවෙන්න ලේසි නෑ. කාටද ඔය කම්බි දිගේ බඩ ගාන්ඩ පුළුවන්.

අපිටනම් එච්චර ආරක්ෂාවක් නෑ තමා. මේක නිකම්ම නිකන් ගල් වලින් බැඳපු කූඩුවක්. ඒකත් බිම ඉඳන් අඩි තුනක් විතර. ඊට පස්සෙ වටේටම පුවක් ලී වගේ පටි ජාතියක් ගහලා තියෙන්නෙ. අපේ කට්ටිය නම් තාම හොඳටම නිදි වගේ. එතකොට මට විතරද මේ නින්ද නොයන්නෙ ? නැත්තම් ඒ ගොල්ලොත් නිදි වගේ ඉන්නවද ?

අපි ඔක්කොම අට දෙනෙක් මේ කූඩුව ඇතුළෙ හිටියා. ගෑනු පිරිමි කලවමේ. වැඩියෙන් හිටියෙ පිරිමි තමා. කුකුළො හයයි, කිකිළියො දෙන්නයි. අපි හය දෙනාම ලැගලා හිටියේ කූඩුව හරහා අඩි දෙකක් විතර උඩින් හයි කරලා තිබුණ පටි උඩ. අපිට වෙන් වෙච්ච ස්ථාන තිබුණා ඒ පටි වල. කිසිම හේතුවක් නිසා කවදාවත් ඒවා මාරු වුණේ නෑ. කවදාවත් අනිකගෙ තැන ගන්ඩ අපි පොරකෑවෙත් නෑ. කිකිළියො දෙන්න නම් හිටියෙ බිම ලැගලා. දහයියා ගොඩේ. ඒවයෙ ටිකක් යටට පොඩි වළක් හාරගන ඒක ඇතුලෙ තමා උන් ළගින්නෙ. එහෙම ඉන්නකොට පොඩි උණුසුමක් දැනෙනවා.

අපේ කාණ්ඩෙ නායකයා තමා "බෝධිසත්ත්වයා". ඌ බොහොම ආඩම්බරකාර, හොඳට උස මහතට හැදුණ කුකුල් නාම්බෙක්. අපි ඔකොම ගරු කළේ උගෙ ඇඟේ ප්‍රමාණෙට නෙමේ. උගෙ තියන බෝසත් ගති වලට. ඌ අපි හැමෝටම හොඳ නායකයෙක්. අපි හැමෝ ගැනම හොඳට හොයලා බැලුවා. හොඳ මොකක්ද නරක මොකක්ද කියන එක ගැන ඌට හොඳ අවබෝධයක් තිබුණා. අපි අතර වෙන පොඩි පොඩි සණ්ඩු සරුවල් වුණත් ඌ මැදිහත් වෙලා තමා විසදෙන්නෙ. දවසක් රාජාලියයි මමයි අතර කඳන් පණුවෙකුට ඇතිවුණ පොරය බේරුවෙත් බෝධිසත්ත්වයා තමා. අපිට මේ ඔක්කොම නම් දාලා තියෙන්නෙ මේ ගෙදර ඉන්න ළමයි. ඒ ගොල්ලො ගැන පස්සෙ කියන්නම්. බෝධිසත්ත්වයට ඒ නම් දාන්න ඒ ගොල්ලොත් මේ මම දකින විශේෂ ලක්ෂණ දකින්න ඇති කියලා මට හිතෙනවා. බෝධිසත්ත්වයා තනිකරම සුදුම සුදු කුකුළෙක්. කරමල විතරක් රතු පාටින් කැපිලා පේනවා.

ඊ ළඟට "රාජාලියා". අපේ රැහේ කේන්ති කාරයා. බෝධිසත්ත්වයා ඇරෙන්න අපි හැමෝම ඌට බයයි. ඌට මහ දරුණු පොර කටු දෙකක් තිබුණා. අපිව බය වුණේ ඒ පොර කටු වලට තමයි. ඌ හරි හයිරන් කාරයා. හැමතිස්සෙම අනුන්ගෙ දේවල් බලෙන් උදුර ගන්ඩ තමා මාන බැළුවෙ. පොර කටු දෙකේ හයිය නිසාද මංදා හැම තිස්සෙම වලියකටම තමා අරාදින්නෙ. මමත් හුගක් වෙලාවට ඌට තැන දීලා මගෑරල යනවා. ඒ අර පොර කටු දෙකෙන් පාරක් කන්ඩ අමාරු නිසා. ඒත් හැම වෙලාවෙම ඉවසන්ඩත් බෑනෙ. එහෙම ඇතිවෙච්ච සණ්ඩුවක් තමා එදා බෝධිසත්ත්වයා මැදිහත් වෙලා බේරුවෙ. මූ කෙට්ටු උස කුකුල් නාම්බෙක්. රතට හුරු දුබුරු පාටක් තමා මූට තිබුණෙ. නිකන් රාජාලියෙක්ගෙ පාටට හුරු පාටක්. පෙනුමත් ටිකක් ඒ වගේ. ඒක නිසා වෙන්ඩ ඇති ඌට ඒ නම හම්බෙන්ඩත් ඇත්තෙ.

ඊට පස්සෙ ඉන්නෙ අපේ "ජොකොල". ඌ නම් පොඩි කාලෙම වෙච්ච මොකක්ද අනතුරකින් එක කකුලක කොරයක් තියන එකෙක්. දුබුරු පාට හොඳ පුෂ්ටිමත්ව හැදුණ කුකුල් නාම්බෙක්. හබැයි අහින්සකයා. ඒ ආබාධිත හින්දමත් නෙමේ. ඒ උගේ හැටි. 

ඊළඟට මම ගැන කියන්නම්කො. මට මේ ගෙදර ළමයි දීලා තියන නම තමා "සුද්දා". මම බෝධිසත්ත්වයා තරම්ම සුදු නොවුණත් සැහෙන සුදක් තිබුණ කුකුළෙක්. ඒත් බෝධිසත්ත්වයට සුද්දා නොකියා මට සුද්දා කිව්වෙ, බෝධිසත්ත්වයට, බෝධිසත්ත්වයා කියන නම හොඳටම ගැලපෙන නිසා වෙන්න ඇති. 


ඊළඟට "පොඩි එකා". ඌ ශරීර ප්‍රමාණයෙන්ම පොඩියි. ඒක නිසා වෙන්ඩ ඇති ඒ නම දාන්ඩ ඇත්තෙ. කළුපාට ඇඟේ සුදු පාට වෛරම් වැටිච්ච කුකුළෙක් ඌ. ඌට නාම්බෙක් කියන්ඩ නම් බෑ. එච්චරට පොඩියි.

අන්තිමට ඉන්නෙ " අන්තිමයා ". ඌට ඇයි අන්තිමයා කියන්නෙ කියලා මම දන්නෑ. ඌත් බොහෝ දුරට මම වගේ.. පාටනම් මට ප්‍රතිවිරුද්ධයි. කළු පාට. ඌට "කල්ලා" නොකියා අන්තිමයා කිව්වෙ ඇයි කියලා ඉතින් මේ ගෙදර ළමයින්ගෙන්මයි අහන්ඩ ඕනා.

ඊට පස්සෙ ඉන්නෙ අපේ නෑම්බියො දෙන්නා. උන් දෙන්නා ගැන කියන්ඩ ඉතින් විශේෂ දෙයක් නෑ. අපි හැමෝගෙම ආදරය කරුණාව උන් දෙන්නට යහමින් හම්බුනා. ඉඳලා හිටලා අල්ලපු ගෙදර රත්තයි, අනික් නාම්බයිත් උන්ට ආදරය කරන්ඩ එනවා මම දැකලා තියනවා. කුකුල්ලු වෙච්ච අපිට ඕවා ඉතින් මහ ලොකු දේවල් නෙමේ. බෝධිසත්ත්වයගෙන් උණත් ඒවට විරෝධයක් තිබුණෙ නෑ. ඒ උන්දැට ලෝකස්වභාවය ගැන හොඳ වැටහීමක් තියන නිසා වෙන්ඩ ඇති. අපේ නෑම්බියො දෙන්නා දාන බිත්තර නම් මේ ගෙදර අය ඔක්කොම එකතු කරගන්නවා. මුන් දෙන්නත් ආ මෙන්න ඇවිත් අර ගනිල්ලා කියනැහැ බිත්තරේ දාලා කෑ ගහනවනෙ. ගෙදර අයත් පොඩි වී අහුරක පගාවක් දීලා බිත්තරේ අරගන යනවා.

කුක්කු කූක් කූක්......

ඒ බෝධිසත්ත්වයගේ නාදය. මමත් අඩලන්න කිහිප වරක් උත්සහ කළාට තාම මට ඒක හරියට බෑ. රාජාලියත් ඉඳලා හිටලා අඬලනවා අහලා තියනවා. දැන් ඉතින් බෝධිසත්ත්වයි, එහා ගෙදර නාම්බයි තරගෙට අඩලන එක සාමාන්‍යය දෙයක් අපිට.

අපේ කූඩුවට යාබදව ඉස්සරහින් තියෙන්නෙ අර මම කලින් කියපු ළමයි ඉන්න ගෙදර. බෝධිසත්ත්වයා අඬලලා ටික වෙලාවකින් ඒ ගෙදර එළි පත්තුවෙන්ඩ ගන්නවා. ඕක තමා සාමාන්‍යයෙන් හැමදාම වෙන සුපුරුදු චර්යාව. මේ ගෙදර මිනිස්සු උදෙන්ම ඇහෙරෙන අය. ගෙදර හැමෝමත් නෙමේ. ගෙදර ළමයි "අම්මා" කියලා කතා කරන ගෑනු කෙනා අනිවාර්යයෙන් බෝධිසත්ත්වයා කෑගහලා ටිකකින් නැගිටිනවා. ඒ ඇරුණම ලොකු පිරිමි ළමයි දෙන්නම හෝ එක්කෙන් නැගිටලා ඉන්නවත් පේන්ඩ හම්බෙනවා. වටේ පිටේ අනිත් ගෙවල්වල ඔක්කොම අය ඊට ගොඩක් පස්සෙ තමා අවදිවෙන්නෙ.


දැන්නම් හොඳටම එළිය වැටිලා. ඒත් අපේ කූඩුව තාම වහලා. මට ඔය තරම් කේන්ති එන වැඩක් තවත් නෑ. මෙච්චර එළි වෙලත් අපිව මේ කූඩුවෙ හිර කරන් ඉන්න එක කොච්චර අසාධාරණද ? ඒකට අල්ලපු ගෙදර රත්තලා. උදෙන්ම පහළට පියාබලා එනවා. එහෙව් නිදහසක් !

ටිකකින් අපේ කූඩුව ඇරියේ මේ ගෙදර ලොකු ගෑනු ළමයා. කූඩුව ඇරපු ගමන් උන්දැ දුවලා ගිහින් ළඟ තියන බිත්ති කණ්ඩියට නැග ගන්නවා. මොකද අපි ගාල කඩා ගත්තු හරක් වගේ එක රොත්තට එළියට පැනලා දුවගෙන එන එකට ඒ ළමය බයයිද කොහෙද. රැයක් තිස්සෙ හිරවෙලා ඉඳලා ඇඟේ හිරි ඇරගන්ඩත් එක්ක අපි වේගෙන් වත්ත පල්ලැහට දුවගන ගියා. බෝධිසත්ත්වයා, රාජාලියා එහෙම නම් ටිකාක් දුර පියාබගනත් ගියා. 

අපේ කූඩුව තිබුණ, මේ වත්තෙ ඉස්සරහාම තිබුණෙ මම අර කලින් කියපු ගෙදර. ඊට පස්සෙන් අපේ කූඩුව තිබුණා. වත්තෙ මැද්දට වෙන්ඩ තවත් ගල්වලින් බැඳපු කාමරයක් වගේ එකක් තිබුණා. ඒ ගොල්ලො නම් ඒකට කිව්වෙ " කක්කුස්සිය " කියලා. ඔතනින් එහාට මේ වත්තෙ සෑහෙන විශාල ගස් වලින් ආවරණය වෙලා තිබුණෙ. කොස්, පොල්, දෙල්, කිතුල්, මිල්ල, කෝපි ආදී නනාප්‍රකාර ගස් වලින් වත්ත පිටි පස්ස හෙවන වෙලා තිබුණෙ. අපි කූඩුව ඇරපු ගමන් දුවගන එන්නෙ මේ පිටිපස්සට තමා. එහෙ හොයාගන්ඩ කෑම ඕන තරම්. පොඩ්ඩක් බිම පහුරු ගාපුවම පණුවෙක්, වේයෙක්, කැරපොත්තෙක් හොයාගන්න එක මහ අමාරු දෙයක් උණේ නෑ. රත්තලා හිටපු වත්තත් මේ අපේ එක වගේමයි. ඉස්සරහා ගෙදර, පිටිපස්සෙ වදුල. එතකොට අනිත් පැත්තෙන් තිබුණ වත්තත් එහෙමයි. අපි බඩගෝස්තරය හොයගන යන රාජධානිය වෙලාතිබුනෙ ඔය වතු තුන එකතු වෙච්ච ප්‍රදේශය තමා. ඔය වතු තුනටම පිටිපස්සෙන් ගලාගන ගිය පුංචි දිය අගලක් තිබුණා. අපි වතුර තිබහක් එහෙම ආවොත් ඕකෙන් තමා පිරිමහ ගන්නෙ. ඔය අගලට එහායින් තිබුණෙ මහා කැලයක්. ඒකෙ එක එක ජාතියෙ විශාල ගස් තිබුණා. ගෙදර අය නම් ඒකට කිව්වෙ "කුරුන්ද" කියලා. බෝධිසත්ත්වයා අපිට එහෙට යන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබුණේ. ඒ කුරුන්දෙ අගල් කණ්ඩිය උඩ ඉඳන් නරි කෑ ගහනවා ඇහිච්ච රාත්‍රියේ ඉඳලා. එහෙ නොගියට අපිට මේ වතු තුනේ කෑම ජාති එමටයි. අපි හිටපු වත්තෙ පිටිම පස්සට වෙන්න හරි අපූරු ළිඳක් තිබුණා. මේ මිනිස්සු ඒක පාවිච්චි කළේ වතුර ඇදලා ඇඟේ හලා ගන්ඩ. මට හිතාගන්ඩ බෑ මිනිස්සු ඇයි වතුර අරන් ඇඟේ හලා ගන්නෙ කියලා. දූවිලි ටිකක් ඇඟේ තවරගත්තම ලැබෙන සනීපෙ ලබෙනවද ඒකෙන් ! මෝඩ මිසිස්සු. ඒ ළිඳේ වැහි කාලෙට කට ගාවට වතුර පිරිලා. මේ ගෙදර අය අතින් වතුර ඇදලා තමා ඇඟේ හලා ගත්තෙ. පායන කාලෙට වතුර ටිකක් අඩු වෙනවා. එතකොට ඒ ගොල්ලන්ට කොට කඹ කෑල්ලක් ඕනා වෙනවා. එච්චරයි. ඔය ඇඟේ හලා ගන්න වතුර ඔක්කොම පොඩි කාණුවක් දිගේ යන්නෙ අර මම කලින් කියපු අගලට. ඔන්න ඔය කාණුව අපිට කෑම උල්පතක්. ඔතන පොඩ්ඩක් පහුරු ගාපුවම පණුවො රොත්තක් හොයා ගත්තෑකි.

බා බා බා බා ......

ඔය හඬ ඇහෙන්නෙ අපි කෑම හොයන්ඩ පිටිපස්සට ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සෙ. ඉර මුදුන් වෙන්ඩ ටික වෙලාවක කලින්. ඔය සද්දෙ මොකක්ද කියන්ඩ අපි පුරුද්දෙන්ම දන්නවා. ඒ කතා කරන්නෙ අපිට කෑම දෙන්ඩ. අපිට මෙහෙ කොච්චර කෑම වලින් හිඟයක් නොතිබුණත්, නිකන් හම්බෙන ඒ කෑම ටික කන්ඩ අපි ඔක්කොමලා දුවගන යනවා. ඒ ගියාම ඒ ගෙදර මිනිස්සු බතුයි, පොල්කුඩුයි, පුන්නකුයි අනපු කෑම අහුරු අහුරු අපි ඉන්න දිහාට විසි කරනවා. අපි ඉතින් වටවෙලා ඕවා අහුලගන කනවා. ඉඳලා හිටලා පොඩි පොඩි ආරවුළුත් ඇති වෙනවා කෑම බෙදාගන්ඩ ගිහින්. ඒව ඔක්කොම ඉතින් බෝධිසත්ත්වයගෙ එක කෙටීමකින් ඉවර වෙනවා. ඔය ටික කෑවට පස්සෙ ආයෙත් සුපුරුදු රාජකාරියට යනවා. පොළව පහුරු ගගා කෑම සොයා යාම. ඇති වුණාම හොඳට දූවිලි ඉතියන තැනක් බලල හොඳට පෙරළි පෙරළි දූවිලි ටිකක් නා ගන්නවා. ඔය අතරෙ නෑම්බියන් පස්සෙන් පැන්නීමත් සිද්ධ වෙනවා. ඒකට ඉතින් අපේ නෑම්බියො දෙන්නයි, අල්ලපු ගෙදර රත්තලාගෙ කූඩුවෙ හිටපු නෑම්බියො ටිකයි හිටියා. ඔහොම ඉතින් දවස ගෙවාදාලා ඉර අවරට යන ගොම්මනේ අපි හිමීට කූඩුවට ගාටනවා. ගෙදර අයත් ඒ ගැන දන්න නිසාද කොහෙද කූඩුවෙ දොර ඇරලා තමා තියෙන්නෙ. ඕක තමා අපේ දින චර්යාව. ඇත්තටම මම නම් හරිම තෘප්තිමත් මේ ජීවිතය ගැන. ලෝකෙ කොච්චර ලස්සන තැනක්ද ! 

~~~~~

අද නම් මට ඇහැරුණේ එහා ගෙදර නාම්බගේ ඇඬලිල්ලට. මමත් තටු දෙකම එහම ගහලා පොඩ්ඩක් අඬලන්ඩ උත්සහා කළා, මොන ! තව ටිකක් කල් ඕනා වගේ.

පුරුදු විදිහටම ටිකකින් බෝධිසත්ත්වයා ඇඬලුවා. ඊට ටිකකට පස්සෙ ඉස්සරහා ගෙදර එළි පත්තු වුණා. මට එක අතකින් හරි ප්‍රශ්නයක් ඇයි මේ ගෙදර මිනිස්සු විතරක් උදෙන්ම නැගිටින්නෙ කියලා. අහල පහළ අනිත් ගෙවල්වල ඔක්කොමල්ලා හොඳටම නිදි. වෙන එකක් තියා අපේ සමහර ඇයෝත් හොඳ නින්දේ.

මේ ගෙදර හිටිය පිරිමි මනුස්සයා, අර ළමයි " තාත්තා" කියපු මනුස්සයා, ගෙදර හැමෝටම වඩා උස, උසට සරිලන මහත මනුස්සයෙක්. මට හිතුණ හැටියට නම් ඒ මනුස්සයා හොඳ කෙනෙක්. අපිට නම් අබමල් රේණුවක් තරම් වත් හිරි හැරයක් තිබුණෙ නෑ. හුගක් වෙලාවට උදෙන්ම නැගිටලා රෝද දෙකක් උඩ යකඩ පටි හයිකරපු වාහනයක නැගලා යනවා. ආයෙ එන්නෙ හවසට. ගෙදර ඉන්න දවසට නම් වත්තෙ පිටියෙ මොකක් හරි වැඩක් කරනවා. හුඟක් වෙලාවට මොනවද හප හප රතු පාටට කෙළ ගහනවා. හැබැයි උදේ ඉන්න මනුස්සයා නෙමේ හවසට ඉන්නෙ. උදේට කනට ඇහෙන්ඩ කතා නොකරන මනුස්සයා හවසට හරියට කියවනවා. ඒත් සද්දෙන් කතා කරනවනම් කවදවත්ම ඇහිලා නෑ.

ගෙදර ගැනු මනුස්සයත් හරි උත්සහවන්තී. මම හිතන්නෙ ඔය උදෙන්ම නැගිටින්නෙත් ඒ වගේ මොකක් හරි දේකට තමා. කොයි වෙලේ බැලුවත් මොකක් හරි වැඩක තමා ඉන්නෙ. නිතරෝම ලොකු ඉඳිකටුවක් වගේ එකක් අතේ තියන් ලොකු කඹ වගේ ජාතියක් එකට මහමින් ඉන්නවා මම දැකලා තියනවා, ඉඳල හිටලා ඔය ගේ අතුලට ගිය දවස් වලට. මේ ගෙදර ළමයි ඔය කඹ වගේ ජාතිය ගොතනවා මම දැකලා තියනවා. සමහර වෙලාවට රත්තලෑ ගෙදර හිටපු පිරිමි ළමයෙකුත් ඒකට හවුල් වුණා. ඒ ගොල්ලො ඔය වැඩේ කරනකොට මමත් ඉතින් ඔය අහල පහළ දැවටි දැවටි කෑම හොයනකොට ඇහුණ කතා වලින් තේරුණේ මේවා ගොතනවට ඒ ගොල්ලන්ට අර "අම්මා" කියන ගැහැණු මනුස්සයා පොඩි ගාණක් ගෙවනවා. ඒ ගොල්ලො ඒවයෙන් ඉස්සරහට එන මොකක්ද උත්සවයකදි රතිඤ්ඤාද මොනවද ගන්ඩ තමා කතාව. 

ඊට පස්සෙ ළමයි පස් දෙනා. මම කලින්, සැරින් සැරේ කීවෙ ඒ ගොල්ලො ගැන තමයි. අපිට දාලා තියන නම් ඔක්කොම ඒගොල්ලන්ගෙ නිර්මාණ. ලොකුම එක්කෙනා පිරිමි ළමයෙක්. මිනිහත් හරි ධෛර්යයවන්තයා. හුඟක් වෙලාවට උදෙන්ම නැගිටලා අම්මා කරන මොකක් හරි දේකට එයත් උදව්වෙනවා කියලා තමා මට හිතුණේ.

දෙවෙනියත් පිරිමි ළමයෙක්. මිනිහා ටිකක් අපේ රාජාලියා වගේ. හැමතිස්සෙම මොකක් හරි රණ්ඩුවක පැටලෙන්ඩ තමා බලන්නෙ. එයාට බාල අය නිතරම එයාගෙ අඩන් තේට්ටම් වලට යට වුණා කියලා තමා මට හිතුණේ. " අම්මෙ පොඩි අයියා ගැහුවා " කියන ආඩපාලිය නිතරම වගේ අහන්ඩ ලැබුණා. මිනිහට තව කාලෙන් කාලෙට එක එක පිස්සු තියනවා. කාලයක් පුවක් පටියකට ලණුවක් ගැට ගහලා ඒක මැද්දෙන් තවත් කෝටු කෑල්ලක් තියලා දකින දකින් ඒවට විද විද හිටියා. හුඟක් වෙලාවට අහිංසක කෙහෙල් ගස් තමා ඒවට වන්දි ගෙව්වෙ. කාලයක් වල් කපලා ඒවා උඩින් වහලා ඒවට අනිත් අයව වට්ටන්ඩ හැදුවා. ඒවට වැටුණ කෙනෙක් නෑ.. අඩුම ගානේ පූසෙක්වත් නෑ. බැරිම තැන මිනිහම ගිහින් ඒවට පනිනවා. මිනිහා වෙලාවකට හරිම හොඳයි, අපිවත් අල්ලගන තටු අතගගා හුරතල් කරනවා. වෙලාවකට යකා වගේ අතේ තියන එකෙන් දමලා ගහනවා. හරිම භායානකයි.

තුන්වෙනියා ගෑනු දැරිවියක්. අර ඊයෙ ඇවිත් දොර ඇරියෙ එයා තමා. එයා අර දෙවෙනියට වැඩිය ටිකක් බාල ඇති ඕන නම්. මෙයා එක්ක තමයි අර මනුස්සයා නිතරම රණ්ඩු ඇල්ලුවෙ. එයත් කියන්ඩ තරම් වරදක් තිබුණේ නෑ. අපිටත් වරදක් නෑ. හැබැයි අපි ගේ අතුලෙ ඉන්නවා දැක්කොත් නම් එලෝලා දානවා. අපි බෙටි දානවා කියලා එන්ඩ දෙන්නෑ.

තව හිටියා පිරිමි ළමයෙකුයි, චුටි ගෑනු දරුවෙකුයි. ඒ දෙන්න නම් බොහොම පොඩියි.

ඊට අමතරව හිටියා වයසක ගෑනු කෙනෙක්. වයසෙ හැටියට උන්දෑ බොහොම නිරෝගියි. ගෙදර අනිත් අයට උන්දැගෙන් ලැබුණ සහය අපමණයි. මේ ගෑනු කෙනා අර මම කලින් කීව අගලෙ පොල් ලෙලි පොගවලා ඒවයෙ කොහු අරගන ලණු විව්වා.

ඔයිට අමතරව තව පිරිමි මනුස්සයො දෙන්නෙක් හිටියා. ඒ ගෙදර ළමයි ඒ ගොල්ලන්ට කතා කළේ "ලොකු අංකල් " සහ "පොඩි අංකල්" කියලා.

ඔය ගෙදර තව එක්කෙනෙක් හිටියා. එයා නිකන් ගෙදර අයිතිකාරයා වගේ තමා හිටියේ. ඒ තමයි බලු තඩියා. මූ එච්චර උසත් නැති, දුඹුරු පාට බලු තඩියෙක්. රට බල්ලෙක් එහෙම නෙමේ වල්ම වල් බල්ලෙක්. හැබැයි මූ මහ ආඩම්බර කාර බල්ලෙක්. මම කවදාවත් අහලා නෑ මේ බල්ලා බුරනවා. මම හිතන්නෙ උගෙ අම්මට අමතක වෙලාද කොහෙද ඌට ඒක උගන්වන්ඩ. හැබැයි වටේ පිටේ මිනිස්සුයි, බල්ලොයි ඔක්කොම මූට බයයි. දෙතුන් දෙනෙක්වම පලු යන්ඩ කාලා තිබුණා. ඒ කිසිම සද්දයක් නැතුව හොරෙන්ම පිටි පස්සෙන් ගිහින්. එයාගේ ප්‍රහාරය ඒක තමා. ඌට ගෙදර ඕනැම තැනක ඉන්ඩ ගෙදර අය අවසර දීලා තිබුණේ. අපි පොඩ්ඩකට ගෙට ගොඩ වුණොත් ශෝ ශෝ ගාලා අපිව එළවන මිනිස්සු බලන්ඩ ඕනා අර බල්ලට දීලා තිබුණ නිදහස. ඌ ඉන්නෙ ගෙදර සාලෙ මැද්දෙම තිබුණ ලොකු පුටුව උඩ. අත් දෙක ඉස්සරහට දික්කරගන, කකුල් දෙක පස්සට දික් කරගන. ගෙදර කවුරුවත් නෙමේ ඌට කටක් ඇරලා පලයන් කිව්වෙ. උගේ නම " බුමට්". වෙන බල්ලො වගේ නෙමේ මුගෙන් අපිටත් කිසි කරදරයක් තිබුණෙ නෑ. කවදාවත් විහිලුවටවත් අපේ පස්සෙ පන්නලා නෑ. මූ මහ අමුතු බල්ලෙක්. 

~~~~~

කාලය ඉතින් ඔහොම ගෙවිලා ගියා. අපේ දින චර්යාවෙත් කිසිම වෙනසක් තිබුණෙ නෑ. අපේ පුංචි ලෝකය සතුටින් පිරිලා තිබුණෙ.

පළවෙනි කම්පනය, බිය, ත්‍රාසය දැනුණ දවස මට අද වගේ මතකයි. රාජාලිය එදා තමා මුල්ම වරට බෝධිසත්ත්වයා එක්ක රණ්ඩු කළේ. ඒ රාජාලියා බෝධිසත්ත්වයත් එක්ක කරපු පළමු සහ එකම රණ්ඩුව. රණ්ඩුවට හේතුව රාජාලියාට කුරුන්දට යන්ඩ උවමනා වීම. එහෙ රස කෑම ජාති තියන බව තමා රාජාලියාගේ මතය වුණේ. කොහොම හරි රණ්ඩුවෙන් පස්සෙ බෝධිසත්ත්වයා තීරණය කළා ඔහුට යන්ඩ දෙන්න. ඒ ගියා ගියාමයි එදායින් පස්සෙ අපිට රාජාලියව දකින්ඩ හම්බුනේ නෑ. ගෙදර අය නම් කිව්වෙ එක්කෝ නරියෙකුට අහුවෙන්ඩ ඇති නැත්නම් කවුරුහරි මිනිහෙක් අල්ලගන්ඩ ඇති කියලා. කොහොම හරි එදා අපිට රාජාලියාව නැතිවුණා. අපි කොච්චර උගේ වැඩ වලට අකමැති වුණත් ඌ නැති වෙච්ච එක ගැන අපි හැමෝම කම්පා උණා. රාජාලියා නැතුව ගෙවපු ඒ පළවෙනි රාත්‍රිය මහ මූසල රාත්‍රියක්. මිනිස්සුනම් හිතන්නෙ අපිට හැඟීම දැනෙන්නෑ කියලා. ඒත් ඒක එහෙම නෙමේ කියලා මිනිස්සු කවදා දැනගනියිද ?

ඊට පස්සෙ උදා වුණේ ශීත කාලෙ. උදෙන්ම හමා යන සිහිල් සීතල හුළන් රැල්ල දේශගුණයේ වෙනස්වීම අපිට කියා පෑවා. 

එදා හවස ගෙදර ළමයි ටික එකතු වෙලා වත්ත ඔක්කොම අතු ගෑවා. වැටිලා තිබුණ කොළ ඔක්කොම එකතු කරලා ලොකු කසළ ගොඩක් ගැහුවා. මොනවා කරන්ඩ යනවද කියලා අපිට තේරුමක් තිබුණේ නෑ. පහුවෙනිදා උදේ අපි කූඩුවෙන් එළියට එනකොට මේ ගෙදර ළමයිනුයි රත්තලෑ ගෙදර ළමයිනුයි අර කහළ ගොඩට ගිනි තියලා ඒක වටේ වටවෙලා ඉන්නවා. සීතල දරාගනඩ බැරුවද කොහෙද.

ඔය සිද්ධිය වෙලා ටික දවසකින් පස්සෙ අපි වෙනදා වගේම වත්ත පල්ලැහැ කෑම හොය හොය හිටියේ. එක පාරටම බා බා බා ගාලා අපිට කතා කරනවා ඇහුණා. කවදාවත්ම නැතුව අද දෙපාරක් කෑම ! අපිත් දෙපාරක් නොහිතා දුවගෙන ගියා. හැබැයි මෙදා සැරේ අමුත්තක් තියනවා. වෙනදට එළියට කෑම විසිකරනවා අපිට අහුලන් කන්ඩ. ඒත් අද ! කොටුව ඇතුළටයි කෑම දාලා තියෙන්නෙ. අපිත් ඉතින් දෙපාරක් හිතන්නැතුව කෑම කන්ඩ කොටුව ඇතුළට ගියා. එතකොටම දොර වැහුණා. වෙන දේ ගැන අපි ටිකක් තුෂ්නිම්භුත වෙලා හිටියෙ. මොකද මේක අමුතුයි. මෙන්න ටිකකින් කවදාවත් දැකලා නැති මිනිස්සු දෙන්නෙක් කොටුව ඇතුළට ඇවිත් අපි එක එකාව අල්ලන්ඩ ගත්තා. අපිත් කෑ ගගහා හතර අතේ දිව්වා. ඒත් කවුරුවත් ආවෙ නෑ අපිව බේර ගන්ඩ. අඩු ගානෙ අර ගෙදර මිනිස්සුවත්. ඒගොල්ලොත් ටිකක් එහායින් ඉඳන් බලා ඉන්නවා දැක්කා. ළමයින්ගෙ මූණු දැක්කම නම් මට මොකක්දෝ භයානක දෙයක් වෙන්ඩ යන බව ඉවෙන් වගේ තේරුණා. කොටුවට පැනපු මිනිස්සු බෝධිසත්වයවයි, ජොකොලවයි, පොඩි එකාවයි අන්තිමයවයි අල්ලගන ගෝනියකට දාගත්තා. අපේ යාළුවන්ගේ විලාපය මට අහන් ඉන්ඩ බැරි තරම්. ඒත් දෙවියනේ මම කියලා මොනවා කරන්ඩද ?

අන්තිමට ඉතුරු වුණේ මමයි අපේ නැම්බියො දෙන්නයි විතරයි. අටදෙනෙක් ලැගපු කොටුව ඉවසන්ඩ බැරි පාළුවකින් වෙලිලා ගිහිල්ලා. මුලු ජීවිතේම එපා කරවන කාලකණ්ණි මූසල කමක් හිත පුරාම වෙලිලා. මිනිස්සුන්ට තේරෙනව නම් අපිටත් මේ හැඟීම් දැනෙනවා කියලා. අහෝ මිනිසුනී නුඹලා මෙතරම් රෞද්‍ර වූයේ කෙසේද ?

අන්තිමට ඒ මූසල දවස උදා වුණා. එදා උදේ වෙනදා වගේ කොටුව ඇරියෙ නෑ අපිට එළියට යන්ඩ. කලින් දවසෙ රෑ මහා පිපිරුම් සද්ද ගොඩාක් ඇහුණා. මගෙ ජීවිතේට එච්චර ශබ්ද ගොඩක් ඇහුවමයි ඒ. මොනවද ඒ ?

ඉර මුදුන්වෙන්ඩ ටිකකට කලින් අර පොඩි අංකල් කියන මනුස්සයා කොටුවට ඇවිත් මාව අල්ල ගත්තා. මාව කකුල් දෙකෙන් අල්ලලා තමා උස්ස ගත්තෙ. නෑම්බියො දෙන්නව පයින් ගහලා එළියට එළවලා දැම්මා. මම තටු ගහලා බේරිලා යන්ඩ දැගලුවත් බේරෙන්ඩ නම් හම්බුනේ නෑ. එච්චරට තදින් මිනිහා මාව අල්ලගන හිටියා. මාව දැන් අරගන යනවා කොහාටද තැනකට. අල්ලන් ඉන්න විධිය හින්දා මට පේන්නෙ අහස. ඔක්කොම ගස්කොළන් කැරකෙනවා වගේ දැනුණා. යාන්තමට වගේ දැක්කා මිනිහගෙ දකුණු අතේ තිබුණ ලොකු මන්න පිහිය. මට තේරුණා වෙන්ඩ යන වැඩේ. මේ ලෝකෙ ජීවත් වෙන හැම සතෙකුටම දැනෙන ඒ මාරන්තික මරණ බිය මටත් දැනුණා. ඒත් මම අසරණයි. මගේ දැගලිල්ලෙන් පලක් නෑ.ඒත් මම අන්තිම මොහොත වෙනකම්ම කෑගගහ දැගලුවා. අන්තිමට මාව ගහක කඳක් උඩ තිබ්බා වගේ මතකයි. අන්තිමට දැක්කෙ අර මන්නා පිහියා වේගයෙන් පහළට එන දර්ශනය. ඊට පස්සෙ මගේ ඇස් නිලංකාර උණා. එච්චරයි !

~~නිමි~~

ප/ලි :
අපේ කතාව හීනියට කුකුළකුගේ ඇසින්.

~~සෙන්නා / 27.07.2012




Friday, July 20, 2012

9/11 අතුරු කතාවක් | The Miracle of Stairwell B

2012 ඇසල මස 20 වනදා





මහල් එකසිය ගණනකින් යුත් ගොඩනැගිල්ලක් මහලින් මහල ගැටෙමින් කඩා වැටන විට, ඔබ එම ගොඩ නැගිල්ලේ සිව්වන මහලේ සිටියොත් දැනෙන හැඟීම කිනම් වේවිද ? එසේ සිටි අයකු දිවි ගලවා ගනීද ? එසේ සිටි එක් අයකු නොව පිරිසක්ම දිවිගලවා ගත් කතාවක් අසා තිබේද ?

ටොන් මිලියන භාගයක් තරම් වූ යකඩ සහ කොන්ක්‍රීට් ප්‍රවාහයකට හසුව දිවි ගලවා ගැනීම ඇත්තෙන්ම හාස්කමකි. ආශ්චර්යයකි. ඔවුන්ගේ දිවි ගැලවුණේ කෙසේද ? ඔවුනට දැනුණ හැඟීම් කෙසේ වන්නට ඇතිද ?

එය දැනගැනීමට අපට වසර එකොළහක් අතීතයට යාමට සිදු වේ. මේ ඔවුන්ගේ කතාවයි.

2001 සැප්තැම්බර් 11, නිව් යෝර්ක් නගරය.

දිනය දුටු ගමන්ම, අටුවා ටීකා ටිප්පණි අනවශ්‍යයයි සිතමි. සිදුවූ ඛේදවාචකය ඔබ සැමගේ මතකයෙන් ගිලිහී නැතුව ඇතැයිද සිතමි. නමුත්, මෙම කතාව ඒ ගැන නොවේ. මේ එහි අතුරු කතාවකි.

~~~~~

කතාව ඇරබෙන්නෙ ඔවුන්ව ප්‍රහාරයට ලක් වූ ලෝක වෙළද මධ්‍යස්ථානයට කැඳවීමෙනි. ඒ, නිව් යෝර්ක් නගරයේ ගිනි නිවන භටයන් ලෙස අන් අයගේ ජීවිත ගැලවීමටය.

උදෑසන 08:46 ට ප්‍රථම ගුවන් යානය උතුරු කුළුණේ මහල් අංක 93 හා 99 අතර ගැටෙන විට, ලිපිකරු සහයිකාවක වූ ජොසපින් හැරිස් සේවය කරමින් සිටියේ 78 වන මහලේය. මොහතකින් ඇය ඉවත්වීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් "B" පියගැට මාර්ගයෙහි සිටිනු දක්නා ලදී.





ගිනි නිවන භටයන් 235ක් දෙනෙකු එම ස්ථානයට විනාඩි 15ක් ඇතුළත ළඟාවිය. මුලින්ම පැමිණි කණ්ඩායම් අතර කපිතාන් Jay Jonas අණ දුන් Ladder 6 ඒකකයද විය.






---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අප එම ස්ථානයට ළඟාවන විට දුටුවේ කිසිදා දැකීමට නොසිතූ දර්ශනයක්. ඒ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වම් කුළුණෙහි ඉහළ තට්ටු විස්සක් පමණ ගින්නට හසුවී දැවෙන ආකාරයයි. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------





Jim McGlynn හා ඔහුගේ කණ්ඩායම එම ස්ථානයට පැමිණෙන විට දුටුවේ, ගොඩනැගිල්ලෙන් බිමට පිනූ සහ පනින මිනිසුන්ගේ දර්ශනයයි.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම දැක්කා මිනිසුන් ගොඩනැගිල්ලෙන් බිමට පනින ආකාරය. මට ඔවුන්ව පොළොවෙහි ගැටෙන ශබ්දය පවා ඇසුණා. - Jim McGlynn 
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------




උදෑසන 09:03 ට දෙවන ගුවන් යානය මගින් දකුණු කුළුණට ඒ මාරාන්තික මරාගෙන මැරෙන ප්‍රාහාරය එල්ල කළේය. විනාඩි නවයක් ඇතුළත 3000 කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්විය. Mickey Kross හා ඔහුගේ ඒකකය එම ස්ථානයට ළඟා වුයේ එවිටම වාගේය.

උදෑසන 09:10 ට සැලකිය යුතු ගිනි නිවීම් ඒකක සංඛ්‍යාවක් එම ස්ථානයට ළඟා වී සිටි අතර සියලු ඒකක පාලනය කළ හැකි, අණ නිකුතු ඒකකයක් වහ වහා උතුරු කුළුණේ ප්‍රවේශ ශාලාවෙහි පිහිටුවන ලදී. Peter Hayden එහි ප්‍රධානියා වූ අතර ඒ ඒ ඒකක විසින් සම්පුර්ණ කළ යුතු කාර්යයන් පැවරීම සිදු කෙරුණේ ඔහු අතිනි. 


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔවුන් පැමිණි පසු අප අදාළ කාර්යයන් පැවරුවා. මෙය ඉතා අවදානම් සහ අපහසු කර්තව්‍යයක් බව ඔවුන්ටම වැටහී ඇති බව හොඳින්ම පෙනෙන්නට තිබුණා. - Peter Hayden
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" නැවතත් මා එනතුරු බලා සිටි මාගේ භටයන් වෙතට පැමිණියේ මෙසේ කියමිනි, " හරි, මෙන්න අපිට ලැබුන ගනුදෙනුව. ඒක හරි හමන් ගනුදෙනුවක්. අපි ඒක කරන්ඩ ඕනා. " " - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කපිතාන් Jay Jonas නැවතත් අප වෙත පැමිණෙමින් පැවසු දේ මට කවදාවත් අමතක වෙන්නෑ. " කොල්ලනේ මුන් අපිව මරන්ඩ හදන්නෙ. අපි යමු. "  අපිට ඒකට යනවා හැර වෙන විකල්පයක් තිබුනේ නෑ. ඒකට තමා අපිට ගෙවන්නෙ." - Bill Butler
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------





මෙය නිව් යෝර්ක් ගිනි භටයන්ට සිය ඉතිහාසයේදී මුහුණ දීමට වූ වැඩිම උසකදී ඇතිවූ ගින්නයි. එය මැඩපැවත්වීමට ඔවුනට පිය ගැටපෙළ උපයෝගී කොටගෙන අඩුම වශයෙන් මහල් අනූවක්වත් නැගීමේ දුෂ්කර අභියෝගයට මුහුණ දීමට සිදුවිය.

වේලාව උදෑසන 09:25 යි. වම් කුළුණේ වූ ගින්න ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී පාලනය කළ නොහැකි ලෙස බුර බුරා නැගෙමින් තිබුණි. මේ මොහොත වන විට Josephine Harris හැට වන මහල වෙත ළඟා වී තිබුණි. අනතුරින් ඇයට කිසිදු අනතුරක් වී නොතිබුණද සිය කකුලේ වූ පරණ තුවාලයක් ඇයගේ ගමන ගොළුබෙලි වේගයකට සීමා කළේය. 

ජොසපින් හැරිස් එසේ "B" පිය ගැටපෙළ ඔස්සේ පහතට බසිමින් සිටින විට, කපිතාන් Jay Jonas ප්‍රධාන ගිනි භටයන් එම මාර්ගයෙන්ම ඉහළට නගිමින් සිටිනු දක්නා ලදී.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සෑම තට්ටු හතරකට පහකට සැරයක්ම අප හොඳ හුස්මක් ගැනීම සඳහා විනාඩියකට පමණ නතර වුණා. අපි එකිනෙකාට " දිගටම යන්, දිගටම යන් " කියමින් තමා උඩට නැග්ගේ. ඒ අතර පහතට බසින මිනිසුන් අපට " පරිස්සම් වෙන්න, දෙවි පිහිටයි " කියමින් ආශිර්වාද කළා මතකයි. - Mike Meldrum
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------



ඉහළ මහලයන්හී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1300 ක් පමණ දක්වා වැඩිවී තිබුණි. මෙම තත්ත්වය ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුළුණු ද්විත්වයෙහි ආධාරක වානේ රාමුව ඇද කිරීමට සමත්ව තිබුණි. එහෙත් ! ඉහළට යන ගිනි භටයන් ගොඩනැගිල්ල කඩා වැටීමට කෙතරම් ආසන්නදැයි කිසිසේත්ම නොදැන සිටියහ.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපිට පැයක් විතර ගියා 31 වෙනි තට්ටුවට එන්න. ඒ වෙලාවෙ අපි නැවත කණ්ඩායම් සැකෙසමින් හිටියේ. හදිසියේම ගොඩනැගිල්ල හිටගන ඉන්න බැරි තරමට හෙලවෙන්ඩ පටන් ගත්තා. එම සෙලවීම නිසා අපි සියලු දෙනාම සිටගෙන සිටීමට නොහැකිව ඇද වැටුණා. Jim McGlynn
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ගොඩනැගිල්ල මෙතරම් සෙලවීමකට ලක් කෙරුවේ කුමක්ද ? එය ඒ තුළ සිටි ගිනි භටයනට සිතාගැනීමට අපහසු වූ කාරණයකි. සත්‍යය රුධිරය වතුර කරවන තරම් භයානකය. එය මහල් අනූවකටත් වඩා ඉහළින් පිහිටි ගින්නක් නිවීමට ඉහළට යන ගිනි භටයනට කිසිසේත්ම සුබදායක නොවන ආරංචියකි. ඔවුන්ගේ ගුවන් විදුලි පණිවිඩ සම්ප්‍රේෂණ යන්ත්‍රද ක්‍රියා විරහිතව තිබූ බැවින්, එම සෙලවීම, අසලින් වූ දකුණු ගොඩනැගිල්ල කඩා වැටීම නිසා ඇති වූවක් බව ඔවුන්ට මද වේලාවක් යනතෙක් දැනගැනීමට නොලැබුණි.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සිහි එළව ගත්ත ගමන්ම මට හිතුණේ අපේ ගොඩනැගිල්ලෙ කොටසක් කඩාවැටුණා කියලා. මම බිලීට කිව්වා, " බිලී ඔයා දකුණු පැත්තෙ ජනෙල් වලින් බලන්න මම උතුර පැත්තෙ ඒවයෙන් බලන්නම්. අපිට බලාගන්ඩ ලැබෙයි මොනවද වුණේ කියලා". මම ජනෙල්ලෙන් බැලුවත් දැඩි දූහුවිල්ල මිසක් වෙන කිසිදෙයක් දැක්කෙ නෑ. මම බිලී දිහා බැලුවා. මට හිතුණෙම ඔහු දැන් ගොඩනැගිල්ල කඩන් වැටුනොත් මොනවා වෙයිද කියලා අහයි කියලා. මා දිහා එක එල්ලෙ බලන් හිටපු ඔහු " දකුණු ගොඩනැගිල්ල මේ දැන් කඩන් වැටුණා" කිව්වා. " - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

එය හිතාගැනීමට අපහසු තරමේ ඛේදවාචකයකි. වෙළද මධ්‍යස්ථානය අවට මංමාවත් අධික දුහුවිල්ලෙන් සහ අබලි ද්‍රව්‍යන්ගෙන් මොහොතකින් වැසී ගියේය. දකුණු ගොඩනැගිල්ලෙ සිරවු ජනතාව සහ ඔවුන් මුදවා ගැනීමට ගිය ගිනි භටයන් සියලු දෙනාම මොහොතකින් මරු වැළදගෙන තිබුණි. 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට දැනුණා අපි මොන තරම් අවධානමකද ඉන්නෙ කියන එක. තවදුරටත් කාලය අපත් සමඟ නෙමේ තිබුණේ. අපි වාසනාවන්ත නම් අපිට මේ මර උගුලෙන් ගැලවෙන්ඩ පුළුවන් වෙයි. මම මගේ පිරිස දිහා බලමින් "කණගාටුයි කොල්ලනේ, අරක කඩන් වැටුණා කියන්නෙ, මේකත් මේකත් කොයිවෙලේද කියන්ඩ බෑ. අපි වහාම මෙතනින් ඉවත් වෙන්ඩ ඕනා" යි කිව්වා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කපිතාන් Jay Jonas ප්‍රධාන ගිනි භටයන්, සිය ජීවිතය උදෙසා නැවතත් වේගයෙන් පහළට බසින්නට වූහ. දකුණු කුළුණ ඔවුනට ඒ සඳහා ප්‍රමාණවත් අනතුරු හැඟවීමක් කොට තිබුණි.

උදෑසන 10:15 ට, පහළොස් වෙනි මහලේදී ඔවුනට ඉබි ගමනින් පහත බසින ජොසෆින් හැරිස් මහත්මියව හමු වෙයි. ඇයගේ සහයට ඇයගේ කළමනාකාරවරයාද ඇය සමඟ විය. කපිතාන් ජෝනස් කළමනාකාර වරයාට හැරිස් මහත්මිය හැර යන ලෙස උපදෙස් දෙන්නෙ ඇයගේ වගකීම ඔවුන් අතට ගනිමිනි. එය කඩා වැටෙන ගොඩනැගිල්ලකින් ඉවත්වෙන මිනිසුන්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ කැප කිරීමකි. නිර්භීත කමකි.

හැරිස් මහත්මිය මේ වනවිට හොඳටම විඩාවට පත්වී සිටියාය. ඇයගේ කකුලේ වූ තුවාලය ගමනේ වේගය තවත් අඩාල කළේය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම බිලිට කොඳුරලා කිව්වා බිලී අඩිය ඉක්මන් කරලා යමු කියලා. මම මේක කිව්වෙ බොහොම හිමින්, කලබලයක් නැතිව. ඒත් ඒ මොහොතේ මම ඇතුළෙන් දැවෙමින් හිටියේ. අපි මීට වඩා වේගෙන් නොගියොත් අපිට මේ මර උගුලෙන් ගැලවෙන්ඩ හම්බෙන්නෑ කියන සිතුවිල්ල මට තදින්ම දැනුණා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

උදෑසන 10:24 ට ඔවුන් යාන්තමින් සිව්වන මහල වෙතට ළඟා වූහ. ඒ මොහොතවන විට හැරිස් මහත්මියට තව දුරටත් සිටගෙන සිටීමටවත් නොහැකි තත්ත්වයක ඇය පසු වූවාය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපි හතරවෙනි තට්ටුවට එනකොට හැරිස් මහත්මියට තවදුරටත් සිටගෙනවත් ඉන්ඩ පුළුවන් තත්වයක් තිබුණේ නෑ.. ඇය කිව්වා " මාව අතෑරලා ඕගොල්ලො යන්ඩ " කියලා.. අපි කොහොමද ඇයව අතෑරලා යන්නෙ ? - Capt. Jay Jones
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මේ අතර ප්‍රවේශ ශාලවේ, සියලු දෙනාම සිය ජීවිත ගලවා ගැනීම වෙනුවෙන් පිටතට දිවයනවිට, තම සගයකු තවමත් පිය ගැටපෙළෙහි හිරවී ඇති බව වටහා ගත් ලුතිනන් ජිම් මැග්ලේන් ඔහුට සහය පිණිස ඇතුළට දිව යමින් සිටියේය. තමාව අනුගමනය නොකරණ ලෙස ඔහුගේ ඒකකයට නියෝග කළද ජේම්ස් එෆ්තිමියාඩේස් ඇතුළු අනෙකුත් සගයන් එම නියෝගයට අවනත නොවූහ. ඔවුන්ද ඔහු පසු පස වැටිණි.


ජේම්ස් සිය සගයනට සහය පිණිස පිය ගැට පෙළට ඇතුළු වූවා පමණී, ගොඩනැගිල්ල තුළ සිරවී සිටි අයවලුන් තත්පරයකින් හෝ පමාවේවායි පැතූ ඒ අති බිහිසුණු ඛේදවාචකය ඇරබුණි. ගොඩනැගිල්ල තුළ වූවන්ගේ රුධිරය ජලය බවට පත් කරමින්, හද ගැස්මේ වේගය උපරිම කරමින්, ලොමුදැහැගන්වමින්, උතුරු කුලුණ කඩා වැටීමට ඇරබුණි.

මේ ඔවුන්ගේ මරණාසන්න අත්දැකීම්ය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම පඩි පෙළට ඇතුළු වුණා පමණයි. මට ඇහුණා ගොඩනැගිල්ල කිරි කිරි ගාන ශබ්දය. මට තේරුණා මේකත් කඩා වැටෙන්ඩ තමා යන්නෙ කියලා. - James Efthimiades
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------







---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙදා සැරේ ගොඩනැගිල්ල සෙලවෙන කොට වෙන්න යන්නෙ මොකක්ද කියන එකේ සැකයක් තිබුණෙ නෑ. මොකද, අපිට ඇහුණා තට්ටු එක මත එක පතිත වෙමින් ගොඩනැගිල්ල පහළට එන ආකාරය. - Jim McGlynn
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
එක තට්ටුවක් ඊළඟ එකේ වදින වාරයක් පාසා ලොකු ශබ්දයක් සමඟ විශාල දෙදරීමක් ඇති වුණා. කොච්චරද කියනවනම් අපි හිටපු තට්ටුවෙ අපිව ඉහළ පහළ විසිවුණා. ඒ එක්කම කුලුණ ළඟ ළඟම කඩා වැටීගෙන එන ශබ්දය ඇසුණා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" මම මුල්ලකට පෙරළිලා කකුල් දෙක අතර හිස සඟවන් අවසානය එන තෙක් බලාගන සිටියා."  - Jim McGlynn
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" භූම් භූම් භූම් අනුකරණයෙන් තට්ටු එකින් එක හැප්පෙමින් කඩා වැටෙනවා හඬ අපට හොඳින්ම ඇසුණා. මට මතකයි මම හිතනවා අය්යෝ ඒක පටන් අරන්, අපට පැනගන්ඩ බැරි වුණානෙ කියලා."  - Sal D'agostino
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------



---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම හිතුවෙ ඊළඟ තත්පර කිහිපයෙදි මාව මැරෙනවා කියලා. ඒක ඉක්මනින්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළා. මට ඕනා වුණේ නෑ අබාධිතයෙක් හැටියට ජීවත් වෙන්ඩ නම්. - Mickey Kross
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඒ තත්පර දහයෙදි මට කල්පනා වුණේ ගෙවිච්ච අවුරුදු තිස්තුනටම මම මොනවද කරලා තියෙන්නෙ කියලා. බොහෝ වෙලාවට වැඩ කිරීමම පමණයි. මගේ බිරිඳ දැන් වැන්දබුවක් වේවි. මගේ අවමගුල් උත්සවයට සියලුදෙනාම, දෙමාපියන්, පවුලේ අය සහභාගි වන ආකරයත් මගෙ කල්පනාවට නැගුණා. - James Eftimiades
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


උතුරු කුළුණේ කඩා වැටීම එහි සිරවූ පුද්ගලයන් 1300 කට අධික පිරිසකට මරු කැඳවීය. එහෙත්,
"B" පියගැටපෙළෙහි සමහර කොන්ක්‍රීට් බිත්ති, ඒ තුළ සිරවූ 14 දෙනෙකුගේ ජීවිත රැකගනිමින් නොසැලී සිටියහ.


තම දෑස් විවර කොට බලන විට ඔවුන් ආශ්චර්යයක් අත් විදිමින් සිටියහ. ජීවිතයේ අවසාන මොහොතට සූදානම් වී දෑස පියාගත් පසු නැවත එම දෑසම විවර කොට මෙලොව දකින්නට ලැබීම කිනම් වූ අත්දැකීමක් වේවිද ? ඔවුන් දැන් මේ විදිමින් සිටිනුයේ ඒ විරල අවස්ථාවයි.

අවටින් ඇසුණ ශබ්ද නිසා, කපිතාන් ජෝනස්ට තමන්ද, සිදුවීමට අපහසු හාස්කමක කොටස් කාරයකු වී ඇති බව තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවුණි.


ඛේදවාචකයෙන්, සම්පූර්ණ Ladder 6 කණ්ඩායමම සහ ජොසෆින් හැරිස් මහත්මිය දෛවෝපගත ලෙස දිවිගලවාගන තිබුණි. මෙම හාස්කම සිදුවූයේ කෙසේදැයි මුලදී විශේෂඥයන්ව අන්ධ මන්ද කළද, දැන් ඔවුන් ඒ සඳහා ආසන්න හේතුවක් ඉදිරිපත් කොට ඇත. ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි පිටත කොටස්, ඇතුළත කොටස් වලට වඩා වේගයෙන් කඩා වැටීම හේතුකොටගෙන ගොඩනැගිල්ලෙ පාදම දෙසට වන්නට ආරක්ෂිත අවකාශයක් ඉතිරි වී ඇත. දිවිගලවා ගත්වූවන් සිරවූයේ මෙම කොටසේය.


වෙළද මධ්‍යස්ථානය අවට කලාපයම ඝන දූලි වලාවකින් වැසීගොසිනි. සතර අතින් අනෙකුත් ගොඩනැගිලි මධ්‍යයෙන් දූලිවලාව ගමන් කෙරුවේ කාන්තාර වල ඇතිවෙන වැලි කුණාටුවක් සිහිපත් කරවමිනි. මෙය පිටත සිටි ගිනි භටයනට සිය කාර්යයන් අපහසු කළේය. ගමන් කථන හරහා කෙරුණ සන්නිවේද කටයුතුද ඇන හිටිනි.


දූලි වලාව පහව ගිය වහාම, විදුලි පණිවිඩ සංඥා මගින් දසතින් ඇසෙන්නට වූයේ උපකාර ඉල්ලා නිකුත් කෙරුණ පණිවිඩයි. ( Mayday Messages )


කපිතාන් ජොනස්ද තමන්ගේ Mayday පණිවිඩය ගුවනට මුදා හළේය. එහෙත්, එකවර දසතින් ඇසුණු උපකාර ඉල්ලීම වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. ඔහුගේ පණිවිඩයටද ප්‍රතිචාරයක් නොමැත.



කපිතාන් ජෝනස් ඇතුලු Ladder 6 කණ්ඩායම හා ජොසෆින් හැරිස් සිරවී සිටි ස්ථානයට පහළට වන්නට ලුතිනන් ජිම් මැග්ලේන් හා ඔහුගේ කණ්ඩායමද සිරවී සිටියහ. මිකී ක්‍රොස් අන් අයගෙන් හුදකලාවූ වෙනමම ස්ථානයක තනිවම සිරවී සිටියේය. සියලු දෙනාම පසු වූයේ බරපතල අවිනිශ්චිතතාවයක. බාහිර ලෝකය සමඟ තිබු සම්බන්ධය බිඳී තිබුණ හෙයින් පිටත සිදු වන්නේ කුමක්දැයි ඔවුනට අවබෝධයක් නොවුණි. කපිතාන් ජෝනස් දිගින් දිගටම උපකාර ඉල්ලා කෙරෙන පණිවිඩ නිකුත් කරමින් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් පසු විය. තවමත් ඔහුගේ පණිවිඩ වළට ප්‍රතිචාරයක් නොමැත.


සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඇරබුණි. එහෙත්, එය සිතූ තරම් පහසු කටයුත්තක් නොවුණි. ඉතා සෙමෙන් කළයුතුවූ අනතුරුදායක කටයුත්තක් වී තිබුණි. සිය ගණනින් නව ගිනි භටයන් එම ස්ථානයට ළඟා වන විටත් කපිතාන් ජෝනස් සිය උපකාර පණිවිඩ සඳහා ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් පසු විය. ඔහුට වෙන කළ හැකි කිසිවක් නොවුණි.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපිට තේරුණා මෙතනින් බාහිර උදව් නැතුව ගැලවෙන්ඩ බැරි විත්තිය. ඒක ගිනි භටයකුට ඉතා විශාල මානසික පීඩනයක් ගෙනදෙන කාරණයක්. මොකද අපි නිතරම අන් අයව ගලවා ගැනීමට යන අය. දැන් ඔක්කොම කණපිට හැරිලා, අපිට වෙන කවුරු හරි ඇවිත් අපිව බේර ගන්නකම් බලා ඉන්ඩ වෙලා. - Capt. Jay Jonas 
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


සැප්තැම්බර් 11, මද්‍යහනය වන තුරුත් කපිතාන් ජෝනස්ගේ පණිවිඩ වලට ප්‍රතිචාරයක් නොමැත. පිටත සිටි ගිනි භටයනට ඔවුන් සිරවී සිටින්නේ කෙතරම් ආසන්නයේදැයි අදහසක්ද නොවුණි. කපිතාන් ජෝනස් නැවතත් සිය ගුවන් විදුලි පණිවිඩය මුදා හළේය. මෙවර එය සාර්ථක විය. බලාපොරොත්තු නොවූ ලෙස මෙවර එයට ප්‍රතිචාර දැක්වීය. ඒ ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් සිටි Chief Nick Visconti ය.



---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට ඇහුණා නික් ගුවන් විදුලි යන්ත්‍රයෙන් අප අමතනවා " Operations to ladder 6, all units stand by, operations to ladder 6, Jay, where are you ? " - Capt. Jay Jones
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


නමුත් කපිතාන් ජෝනස් සඳහන් කළ ස්ථානය ඔවුනට කිසිසේත්ම විශ්වාසකළ නොහැකි එකක්ම විය. උතුරු කුළුණක් තව දුරටත් නොපැවතුණි. නික් විසින් කිහිප වරක්ම ජෝනස්ගෙන් ස්ථානය පිළිබඳ විමසා සිටියේ මෙම ව්‍යාකූලතාවය මගහරවා ගැනීමටය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට ඇහුණා කවුදෝ ගුවන් විදුලියෙන් අහනවා " කොහෙද උතුරු කුළුණ තියෙන්නෙ " කියලා. - Capt. Jay Jones
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


නික් විස්කොන්ටී විසින් යුහුසුළුව ඔවුන්ව ගලවා ගැනීම සඳහා කණඩායමක් පිටත් කෙරිණ. ග්ලෙන් රෝහන් ප්‍රධාන කණඩායමට එම කාර්යය පැවරිණ. නමුත් මුලින්ම ඔවුනට උතුරු කුළුණේ නටබුන් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු විය.






---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
නික් කිහිප වරක්ම මට ගුවන් විදුලියෙන් කතා කළා. ඔහු පැවසූවේ " මම උඹව බේරගන්ඩ එනවා සහෝදරයා. මම එනවා. "  - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මේ අතර තවත් දෙයක් සිදු විය. පැවති දූලි වලාව පහව ගොස් අවට වාතාශ්‍රය පැහැදිලි වූ විට, තමන්ගේ ගැලවීම් මාර්ගය වැටී ඇත්තේ කොහෙන්දැයි පෙන්වමින් සූර්යයා දිදුලමින් මග පෙන්වන්නට විය. විවරයක් තුළින් සූර්යාලෝකය ඔවුන් සිටි තැනට වැටී තිබුණි.


එම මාර්ගය ඔස්සෙ ඇඳුණු කඹයක් ආධාරයෙන් සමහර භටයන් ඉහළට නැගීම ඇරඹීය. අනෙක් අය සුන් බුන් අතර තව දුරටත් සිරවී සිටියහ. පැය හතරකට අධික කාලයක් නටබුන් අතර සිරවී සිට ගොඩට පැමිණි භටයන් සිය අවට දක්නට ලබුණු විනාශයේ ප්‍රමාණයෙන් විමතියට පත්වූහ.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම අවට බලද්දි දක්කේ හැමතැනම පැතිරුණු ගින්දර, දුම් සහ නටබුන් විතරයි. හරියට නිකම් න්‍යෂ්ටික බෝම්බයකට අහුවෙලා වගේ. මේකෙන් බේරුණා කියලා මට විශ්වාසකරන්ඩත් බෑ වගේ. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මෙසේ පිරිසක් ගලවා ගැනීමෙන් අනතුරුව, ග්ලෙන් රෝහන් ජොසෆින් හැරිස් මහත්මියව සහ අනෙකුත් භටයන්ව බේරා ගැනීම උදෙසා අදාළ විවරය දිගේ කඹයක් ආධාරයෙන් පහතට බසින්නට විය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට මතකයි ඔහු පහළට එනවා. ඒත් ඔහු ආවෙ කඹයකින්. කොහොමද ඔවුන් මාව කඹයක් ආධාරයෙන් ගලව ගන්ඩ යන්නෙ? - Josephine Harris
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මම කිව්වා ජොස්ෆින්ට, අපේ තව පිරිස් සහ උපකරණ එනවා. අපි ඔබව මෙතනින් ගලව ගන්නම්. ඒ ගැන බය වෙන්ඩ එපා කියලා. - Glenn Rohan
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ජොස්ෆින් හැරිස්ව බේරා ගනීමෙන් අනතුරුව, ග්ලෙන් රෝහන් සිය අවධානය යොමු කෙරුවේ ජිම් මැග්ලේන් අතුළු ඔහුගේ කණ්ඩායම වෙතයි. ජිම් මැග්ලේන් ඔහුට පහතින් සිරවී ඇති සිය සගයන් දෙදෙනා ගලවාගන්නා තුරු එතනින් යාම ප්‍රතික්ෂේප කළේය. පැයක පමණ වූ අති දුෂ්කර ව්‍යායාමයකින් පසුව ග්ලෙන් රෝහන් විසින් පහතින්ම සිරවී සිටි අවසන් භටයන් දෙදෙනාද ගලවා ගන්නා ලදී. "B" පියගැට පෙළෙහි සිරවූ ගිනි භටයන් දාහතර දෙනාවම මෙසේ ගලවා ගන්නා ලදී. පුදුමයකට මෙන් ඔවුන් සියලු දෙනාම බරපතල තුවාල කිසිවක් ලබා නොතිබුණි.

පස්වරු තුනට කපිතාන ජේ ජෝනස්, සිය ආගමනය වාර්තාකිරීම සඳහා අණ නිකුතු ඒකකය සොයාබලන විට   Peter Hayden ගිනි නිවීම් රථයක් මත සිට ගලවා ගැනීම මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් සිටිනු දක්නා ලදී.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජේ මාවෙත පැමිණ ආචාර කොට " කපිතාන් ජෝනස් සේවයට වාර්තා කරනවා " යි පැවසුවා. - Peter Hayden
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඒක අපි දෙදෙනාටම හරිම හැඟුම් බර මොහොතක්. ඔහු කීවා "ජේ ඔබව දකින්න ලබුන එක හොඳයි" කියා, එතකොට මම කීවා නැවත මෙහි සිටීමට ලැබීමත් හොඳයි කියා. - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ඉවතට පැමිණි මිකී ක්‍රොස් සිය ඒකකය සොයන්නට විය. අණ නිකුතු ඒකකයට ආසන්නයේ වූ මේසයක් දුටු මිකී ඒ වෙත ගමන් කෙරිණ.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
එම මේසය වෙත ගමන් කොට මම කිවා " මම ලුතිනන් මිකී ක්‍රොස්, Ladder 16 වෙතින්. " එවිට ඔවුන් දීර්ඝ නම් ලයිස්තුවක් පරික්ෂා කොට " ඔබ අතුරුදහන් වූ හෝ මිය ගිය ලෙස මෙහි වාර්ථා වී තිබෙනවා " යි කීවා. " නැහ් නැහ්.. මම මේ ඉන්නවා.. කෝ මගේ කණ්ඩායම " " ඔවුන් සියලු දෙනාම හොඳින් " යි ඔවුන් කීවා - Mickey Kross
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මිකී ක්‍රොස් ගේ කණඩායමේ සියලු දෙනාම අනතුරින් දිවි ගලවා ගෙන තිබුණි.


සිය ප්‍රථමදාර අවසන් වූ වහාම ජිම් මැග්ලේන් සිය ඒකකයේ අනෙක් සගයන් ගැන සොයා බලන්නට විය. ඔහුගේ කණ්ඩායමේද සියලු දෙනාම දිවි ගලවා ගැනීමට සමත්ව සිටියහ.


ජේමස් එෆ්තිමියාඩේස් තදබල හුස්ම ගනීමේ අපහසු තාවයකින් පෙළෙන්නට විය. ප්‍රථමාධාර වලින් පසුව ඔහුව වහාම රෝහල කරා යොමු කෙරිණ. ඊට පෙර සිය බිරිඳට කතා කිරීමට ඔහු සමත් විය.


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
" මම හොඳින් ඉන්නවා. මම දැන් රෝහලට යන්ඩයි යන්නෙ. අම්මටත් කතා කරලා කියන්න මම හොඳින් කියලා. "  - James Eftimiades
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


~~~~~
පසුව සොයා ගත් සිය ගණනකගේ සිරුරු අනුස්මරණීය ලෙස භූමදාන කරන ලදී. එක්දහස් ගණනක් අංශු මාත්‍රයක හෝ සටහනක් නොතබා සුන්බුන් අතර අතුරුදහන්ව සිටියහ.


කපිතාන් ජෝනස් සිතන පරිදි ජොස්ෆින් හැරිස්ගේ භූමිකාව මෙහිදී ඔවුන්ගේ ජීවිත ගැලවීම කෙරෙහි තදින්ම බලපා ඇත. 


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ජොසෆින් හැරිස්ගේ ජීවිතය ගලවා ගැනීම වෙනුවෙන් නතරවීමට ගත් තීරණය ඇත්තෙන්ම අති විශාල සාධකයක්. අපට මෙන්ම ඇයටත්. අපි ඇයව ගලවා ගැනීමට නතර නොවුණේ නම් මේ වෙනකොට අපි කොහේ ඉඳියිද ? - Capt. Jay Jonas
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ඔවුන් එසේ දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වුවද, නිව් යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ භටයන් 343 දෙනෙකු සිය ජීවිතය පූජා කොට තිබුණි. එය නිව් යෝර්ක් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ අඳුරු දවසකි.


~~නිමි~~


" The Miracle of stairwell  B " වාර්තා චිත්‍රපටය අකුරු වලට හැරවූයේ ;


~~ සෙන්නා / 20.07.2012


පසු සටහන් :
1. කිසිත් නැත. වැරදි ඇතොත් කියන්න.

Sechszehn හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog